Buddhavaṁsa

Chronicle of the Buddhas

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1370 segments

පෙන්වන කොටස් 901-1000 න් 1370

15. මොවුන්ගේ ජනික මව මායා නම් වන්නී’ යැ, පිය තෙම සුද්ධෝදන නම් වන්නේ’ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
16. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
17. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
18. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
19. අසම වූ මහර්ෂීන්ගේ මෙ වදන් අසා ‘මේ බුද්ධබීජාංකුරයෙකැ’ යි සතුටු වූ දෙවිමිනිස්සු–
20. ඔල්වරසන් පවත්වති අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත මිනිස්සු කළ ඇඳිලි ඇති වැ නමස්කාර කෙරෙත්.
21. ඉදින් ඇපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
22. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථයවැරැද යැටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
23. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ ජිතපඤ්චමාරයන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
24. ඒ ධර්‍මදර්ශී බුදුන්ගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
25. ධර්‍මදර්ශී නම් ශාස්තෘන් වහන්සේගේ නගරය සරණ නම් විය, සරණ නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ විය, මව් තොමෝ සුනන්‍දා නමු.
26. උන්වහන්සේ අට දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට අරජයැ විරජ යැ සුදර්‍ශන යැ යි උතුම් තුන් පහයෙක් වී.
27. මොනොවට සරහනලද තෙසාලිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ, විචිතොලී නම් අගමෙහෙසියක් වූ, පුත්‍ර තෙම පුණ්‍යවර්ධන නම් වී.
28. පුරුෂෝත්තම වූ ධර්‍මදර්ශී බුදුහු සතර පෙරනිමිති දැක ප්‍රාසාදය හා සමග මහබිනික්මන් කළහ, සතියක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
29. මහත්වීර්‍ය්‍ය ඇති නරශ්‍රේෂ්ඨ වූ නරෝත්තම වූ ධර්‍මදර්ශී සර්‍වඥයන් වහන්සේ මහබඹහු විසින් අයදනාලදහු මුවළැව්හි දී දම්සක් පැවැත්වූහ.
30. ධර්‍මදර්ශී නම් ශාස්තෘන් වහන්සේට පදුම යැ ඵුස්සදේව යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. සුනෙත්‍ර නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
31. ඛේමා යැ සච්චනාමා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘රත්කරව්රුකැ’යි කියනුලැබේ,
32. සුභද්‍ර යැ කටිසභ යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ, සාලියා යැ වලියා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.
33. අසමසම වූ ඒ බුදුහු ද අසූරියනක් උස් වූවාහු දසදහසක් සක්වළ තේජසින් අධික වැ බැබැළූහ.
34. සුපිපි සල්රුකක් සෙයින් ද ගුවන්තෙලෙහි විදුලිය සෙයින් ද මධ්‍යාහ්නයෙහි සූර්‍ය්‍යයා සෙයින් ද උන් වහන්සේ ශෝභමාන වූහ.
35. අතුල වූ තේජස් ඇති ඒ ධර්‍මදර්ශී සර්‍වඥයන් වහන්සේගේ ද ජීවිතය සෙසුවන් හා සම විය, පසැස් ඇති බුදුහු හවුරුදු ලක්‍ෂයක් ලොවැ වැඩවිසූ සේක.
36. ඒ බුදුහු අවභාස දක්වා සස්න නිර්‍මල කොට ගුවන්තෙලෙහි සඳහිරු සෙයින් ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියහ.
37. මහත්වීර්‍ය්‍ය ඇති ධර්‍මදර්ශී සර්‍වඥයන් වහන්සේ කෙසාරාමයෙහි පිරිනිවියහ, එහි මැ උන් වහන්සේ ගේ උත්තමස්තූපය තුන්යොත්නක් උස් කොට බඳවනලද්දේ යි.
පසළොස් වැනි ධර්‍මදර්ශී බුද්ධවංශය යි.
16. සිද්ධාර්‍ත්‍ථ බුද්ධවංශය
1. ධර්‍මදර්ශී නම් බුදුන්ට මෑතභාගයෙහි සිද්ධාර්‍ත්‍ථ නම් ලෝකනායකයන් වහන්සේ හැම අඳුරු නසා උදාවූ සූර්‍ය්‍යයා සෙයින් ලොවැ පහළ වූසේක.
2. උන් වහන්සේ ද සම්බෝධියට පැමිණ සදේවකලෝකයා සසර කතරින් තරවමින් සදේවකලෝකයා නිවමින් දහම්වැසි වැස් වූ සේක.
3. අතුල වූ තේජස් ඇති උන් වහන්සේට ද අභිසමය තුනෙක් විය, කෙළ ලක්‍ෂයක් සත්නට ප්‍රථමාභිසමය වී.
4. යළි යම් කලෙකැ භීමරථ නම් නගරයෙහි දහම් අමා බෙර වැයූ සේක් ද, එකල්හි අනූ කෙළක් සත්නට ද්විතීයාභිසමය වී.
5. යම් කලෙකැ ඒ සිද්ධාර්‍ත්‍ථ නම් බුදුහු වෙභාර නම් පුරවරයෙහි (ඥාතිසමාගමයෙහි) දහම් දෙසූසේක් ද, එකල්හි අනූ කෙළක් සත්නට තෘතීයාභිසමය වී.
6. ද්විපදෝත්තම වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුන් කෙරෙහි දු විමල වූ සන්හුන්සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන්ගේ සන්නිපාත්‍රයෙක් වී.
7. කෙළසියක් ද අනූ කෙළක් ද අසූ කෙළක් ද යන තෙල තිදෙන රහතුන්ගේ සමාගමයෙහි සන්නිපාතස්ථානයෝ වූහ.
8. එසමයෙහි මම් උග්‍ර තේජස් ඇති නො ගැටියහැකි අභිඥාබලසමාධි ඇති මඞ්ගල නම් තවුස් වීමි.
9. මම් දඹරුකින් ඵල ගෙනවුත් සිද්ධාර්‍ත්‍ථ බුදුන්ට දුනිමි, සම්බුදුහු පිළිගෙන මෙවදන් වදාළහ.
10. ජටාධර වූ උග්‍රතපස් ඇති මෙ තවුස් බලව. මේ තෙම මෙයින් සිවු අනූ වන කප්හි බුදු වන්නේ ය.
11. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
12. තථාගතයෝ අජපාල නම් නුගරුක් මුල්හි වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට පැමිණෙන්නාහ.
13. ඒ පස්මරුන් දිනූ බෝසත්හු නිල්දලාහෝතෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් බෝමුල වෙත පැමිණෙන්නාහ.
14. ඉක්බිති මහායසස් ඇති අනුත්තර මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි දී බුදු වන්නේ යි.
15. මොවුන්ගේ ජනිකමව මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙම ගෞතම නම් වන්නේ යි.
16. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
17. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
18. චිත්‍ර යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ. ඒ යසස් ඇති ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
19. අසම වූ මහර්ෂීන්ගේ මෙ වදන් අසා ‘මේ බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූ දෙවිමිනිස්සු–
20. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
21. ඉදින් ඇපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
22. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මගගඟ තරණය කෙරෙත් ද–
23. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
24. උන් වහන්සේගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැදැවීමි. දසපාරමීන් පුරනු පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
25. මහර්ෂි වූ සිද්ධාර්‍ත්‍ථ බුදුන් ගේ නගරය වෙභාර නම උදේන නම් ක්‍ෂත්‍රිය තෙම පියා විය, මව් තොමෝ සුඵස්සා නමු.
26. උන් වහන්සේ දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) කොකාසය යැ උත්පල යැ කොකනද යැ යි උතුම් තුන් පහයෙක් වී.
27. ඔබට මොනොවට සරසන ලද අටසාලිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. අගමෙහෙසි සුමනා නමු. පුත්‍ර තෙම අනුපම නමි.
28. පස්මරුන් දිනූ බුදුහු සතර පෙරනිමිති දැක රන්සිවිගෙයෙකින් මහබිනික්මන් කළහ. පිරිපුන් දසමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
29. මහත්වීර්‍ය්‍ය ඇති පුරුෂෝත්තම වූ සිද්ධාර්‍ත්‍ථ නම් බුදුහු මහබඹහු විසින් අයදනාලදහු (ගයා නම් වූ) මිගදායෙහි දී දම්සක් පැවැත්වූසේක.
30. මහර්ෂි වූ සිද්ධාර්‍ත්‍ථ නම් සර්‍වඥයන් වහන්සේට සම්බල යැ සුමිත්‍ර යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. රේවත නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
31. සීවලා යැ සුරාමා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය කිණිහිරි යයි කියනු ලැබේ.
32. සුප්‍රිය යැ සමුද්‍ර යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. රම්මා යැ සුරම්මා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.
33. ඒ බුදුහු සැටරියන් උස් වූහ. කසුන් ඇගෑයක් සෙයින් දසදහසක් සක්වළ බැබැළ වූහ.
34. අසමසම වූ අතුල්‍ය වූ ප්‍රතිපුද්ගලයන් නැති පසැස් ඇති ඒ බුදුහු ද හවුරුදු ලක්‍ෂයක් ලොවැ වැඩසිටියහ.
35. ඒ බුදුහු උදාර වූ ආලොකය දක්වා (ධ්‍යානභිඥා මාර්‍ග ඵලකුසුමයෙන්) ශ්‍රාවකයන් විකසිත කරවා (ලොවිලොවුතුරා) සමවතින් ක්‍රීඩා කරවා ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ.
36. මුනිවර වූ සිද්ධාර්‍ත්‍ථ බුදුහු අනෝමාරාමයෙහි පිරිනිවියහ. එහි මැ උන් වහන්සේගේ ස්තූපය සිව්යොත්නක් උස් කොට බඳවනලදි.
සොළොස් වැනි සිද්ධාර්‍ත්‍ථ බුද්ධවංශය යි.
17. තිස්ස බුද්ධවංශය
1-2. සිද්ධාර්‍ත්‍ථ නම් බුදුන්ට මෑතභාගයෙහි අසම වූ අප්‍රතිපුද්ගල වූ අනන්තතේජස් ඇති අප්‍රමාණ යසස් ඇති ලෝකාග්‍රනායක වූ අනුකම්පා ඇති මහත්වීර්‍ය්‍ය ඇති පසැස් ඇති තිස්ස නම් බුදුහු අවිද්‍යාන්‍ධකාරය නසා සදේවක ලෝකය බබුළුවා ලොවැ පහළ වූ සේක.
3. ඒ තිස්ස නම් බුදුන්ගේ ද ඍද්ධිය අතුල්‍ය වූ යැ ශීලය ද සමාධිය ද අතුල්‍ය වී. (ඒ බුදුහු) සියලු දහම් විෂයෙහි පරතෙරට පැමිණ දම්සක් පැවැත් වූසේක.
4. ඒ බුදුහු දසදහසක් සක්වළැ පවිත්‍ර වූ සිව්සස්වදන් අවබෝධ කරවූහ, ප්‍රථම ධර්‍මදේශනායෙහි කෙළසියක් සත්හු ධර්‍මාවබෝධය කළහ.
5. අනූකෙළක් සත්නට දෙ වැනි ධර්‍මාභිසමය වී, තෙ වැනි ධර්‍මදේශනයෙහි සැටකෙළක් සත්හු ධර්‍මාවබෝධය කළහ, එකල්හි පැමිණි දෙවිමිනිසුන් දශසංයොජනයෙන් මිදූ සේක.
6. තිස්ස නම් බුදුරජාණන් වහන්සේට විගත රාගාදිමල ඇති සන්හුන්සිත් ඇති තාදීගුණ ඇති රහත් ශ්‍රාවකයන්ගේ සන්නිපාත තුනෙක් වී.
7. ලක්‍ෂයක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය වී යැ, අනූ ලක්‍ෂයක් රහතුන්ගේ ද්විතීය සන්නිපාතය වී.
8. අර්‍හත්ඵල විමුක්තියෙන් විකසිත වූ විගතරගාදි මල ඇති අසූ ලක්‍ෂයක් රහතුන්ගේ තෘතීය සන්නිපාතය වී.
9. එසමයෙහි මම් සුජාත නම් ක්‍ෂත්‍රිය වූයෙම් මහත් වූ භොග හැර පියා ඍෂිප්‍රව්‍රජ්‍යාවට පැමිණියෙමි.
10. මා පැවිදි වූ කල්හි බුදුහු ලොවැ පහළ වූහ. ‘බුද්ධ’ යන හඬ අසා මට ප්‍රීති උපන.
11. දිවමදාරාමල් පරසතු කුසුම් දොහොතින් ගෙන සැලෙනුයෙම් බුදුන් කරා එළැඹියෙමි.
12. මම් එකුසුම් ගෙන සිව්පිරිස් පිරිවැරූ, ලොවට එක් මැ නායක වූ තිස්ස නම් බුදුන්ගේ මස්තකයෙහි ධැරීමි.
13. ඒ බුදුහු ද පිරිස්මැද වැඩහිඳ ‘මේ තෙම මෙයින් දෙයානූ වන කප්හි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
14. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කර ක්‍රියා කොට–
15. තථාගතයෝ අජපාල නම් න්‍යග්‍රෝධ මූලයෙහි වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
16. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝ තෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්‍ගයෙන් බෝමුල් වෙත එන්නාහ.
17. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ බුදුහු බෝමැඩ පැදකුණු කොට ඇසතුරුක් මුල්හි දී බුදු වන්නාහ.
18. මොවුන්ගේ ජනිකමව මායා නම් වන්නී යැ, පිය තෙම සුදොවුන් නම් වන්නේ යැ, මේ තෙම ගොයුම් නම් වන්නේ යි.
19. ඔබට ‘කෝලිත’ යැ ‘උපතිස්ස’ යැ යන දෙදෙන අගසවු වන්නාහ. “අනඳ’ නම් තෙර කෙනෙක් පස්මරුන් දිනූ එබුදුන්ට උවැටන් කරන්නාහ.
20. ‘ඛේමා’ යැ උප්පලවණ්ණා’ යැ යන දෙදෙන අගසැවි වන්නාහ. එබුදුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබේ.
21. චිත්ත යැ හත‍්‍ථාළවක යැ යන දෙදෙන අග උවටු වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග උවට වන්නාහ. යසස් ඇති ඒ ගොයුම් ගොත් බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
22. අසම වූ මහර්ෂීන්ගේ මෙ තෙපුල් අසා ‘මේ බුද්ධබීජාඞ්කුරයෙකැ” යි සතුටු වූ දෙවිමිනිස්සු–
23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත සත්ත්‍වයෝ ඇඳිලිබැඳ නමස්කාර කෙරෙති.
24. ඉදින් ඇපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැදැ යටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
27. මම් ඒ බුදුනුදුගේ තෙපුල් අසා බෙහෙවින් සිත පැහැදවීමි, දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
28. මහර්ෂි වූ තිස්ස බුදුන්ගේ නගරය ඛේමක නම. පිය වූ ක්‍ෂත්‍රිය තෙම ‘ජනසන්‍ධ’ නම, මව පදුමා නමු.
29. ඒ තිස්ස බුදුහු සත් දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට ‘ගුහා’ යැ ‘සෙලනාරි’ යැ ‘නිසභා’ යැ යි උතුම් තුන් පහයෙක් වී.
30. මොනොවට සරසනලද තිස්දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. සුභද්‍රා නම් ස්ත්‍රිය අගමෙහෙසි වූ. පුත්‍ර තෙම ආනන්‍ද නම් වී.
31. ජිතපඤ්චමාර බුදුහු සතර පෙරනිමිති දැක අශ්වයානයෙකින් මහබිනික්මන් කළහ. පුරා අටමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
32. මහාවීර වූ තිස්ස නම් බුදුහු මහබඹහු විසින් අයදනාලදහු, උතුම් වූ යසවත් නම් මුවළැව්හි දී දම්සක් පැවැත්වූසේක.
33. මහර්ෂි වූ තිස්ස බුදුනට බ්‍රහ්මදේව යැ උදය යැ යන දෙදෙන. අගසවු වූහ. සමඞ්ග නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ.
34. ඵුස්සා යැ සුදත්තා යැ යන දෙදෙන අගසැවි වූහ. එබුදුන්ගේ බෝධිය ‘පියාරුකැ’ යි කියනුලැබේ.
35. ඔබට සම්බල යැ සිරි යැ යන දෙදෙන අග උවටු වූහ. කිසාගෝතමී යැ. උපසේනා යැ යන දෙදෙන අග උවට වූහ.
36. පස් මරුන් දිනූ එබුදුහු ද උස්බැව්හි සැටරියන් ඇති වූහ. ඔබ අනුපම අසදෘශ වූවාහු හිමගිරි සෙයින් පැනුණාහ.
37. අතුල වූ තේජස් ඇති ඒ තිස්ස බුදුනට ද සුවහසෙක් හවුරුදු ආයු වීය. පසැස් ඇති අනුත්තර බුදුහු එතෙක් කල් ලොවැ වැඩසිටියහ.
38. ඒ තිස්ස බුදුහු උත්තම වූ ප්‍රවර වූ ශ්‍රේෂ්ඨ වූ මහායසස් අනුභව කොට ගිනිකඳක් සෙයින් දිලිහී ශ්‍රාවකයන් හා සමග පිරිනිවියාහ.