Buddhavaṁsa

Chronicle of the Buddhas

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1370 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 301-400 න් 1370

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-bv:58.4
26. නන්‍දා යැ සුනන්‍දා යැයි අග්‍රශ්‍රාවිකා දෙදෙනෙක් වූහ, ඒ භාග්‍යවත්හුගේ බෝධිය පළොල් යයි කියනු ලැබේ.
kn-bv:58.5
27. දීපඞ්කර ශාස්තෲන් වහන්සේට තපුස්ස යැ භල්ලික යැ යන නම් ඇති අග්‍ර–උපස්ථායකයෝ වූහ. සිරිමා යැ සෝණා යැ (යන උපාසිකාවෝ) උපස්ථායිකා වූහ.
kn-bv:58.6
28. මහාමුනි වූ දීපඞ්කර සර්‍වඥයන් වහන්සේ අසූරියන් උස ඇති සේක් (නැඟූ) පහන්රුකක් සෙයින් ද පිපිණු සල්රුකක් සෙයින් ද හොබනා සේක.
kn-bv:58.7
29. ඒ මහර්ෂී සර්‍වඥයන් වහන්සේට හවුරුදු සියදහසක් ආයු විය. එතෙක් හවුරුදු වැඩ සිටි ඒ බුදුහු බොහෝ ජනසමූහයා (සසර කතරින්) එතෙර කැරැවූහ.
kn-bv:58.8
30. සද්ධර්‍මය බබුළුවා මහාජනයා තරණය කරවා ශ්‍රාවකයන් සහිත වූ ඒ සර්‍වඥයන් වහන්සේ ගිනිකඳක් සෙයින් දිලියෙමින් සිට පිරිනිවි සේක.
kn-bv:58.9
31. ඒ අනුභාවසම්පත් ද ඒ පරිවාරයශස් ද පා සඟුළුවන්හි වූ ඒ සක්රුවන් ලකුණු ද යන සියල්ල අතුරුදහන් වී. සියලු සංස්කාරධර්‍මයෝ තුච්ඡ වූවාහු නො වෙද්ද. (සියලු සඞ්ඛතයෝ අනිත්‍ය වූහ’යි සේ යි).
kn-bv:58.10
32. පස්මරුන් දිනූ දීපඞ්කර ශාස්තෲන් වහන්සේ නන්‍දාරාමයෙහි පිරිනිවිසේක. එහි මැ උන්වහන්සේ ගේ සර්‍වඥධාතු ස්තූපය සතිස් යොදුන් උස්වූයේ වී යයි.
kn-bv:58.11
පළමුවන දීපංකර බුද්ධවංශ නිමි.
kn-bv:60.1
2. කොණ්ඩඤ්ඤ බුද්ධවංශය
kn-bv:60.2
1. දීපඞ්කර සර්‍වඥයන් වහන්සේට මෑතභාගයෙහි අපරිමිත ලෝක ධාතුයෙහි පතළ ශීලගුණතේජස් ඇති අනන්ත වූ පරිවාර හා ගුණකීර්ති ඇති ගුණගණපරිමාණ විසින් අප්‍රමේය වූ අනභිභවනීය වූ කොණ්ඩඤ්ඤ නම් සර්‍වඥයන් වහන්සේ පහළ වූ සේක.
kn-bv:60.3
2. ඒ බුදුහු ක්‍ෂාන්තියෙන් පෘථිවිය හා සම වූහ, ශීලසංවරයෙන් සාගරය හා සම වූහ. සමාධියෙන් මේරුපර්‍වතය හා සමවූහ. (අනන්ත වූ) ඥානයෙන් ගගනූපම වූහ.
kn-bv:60.4
3. ඒ බුදුහු හැම කල්හි සියලු සත්නට හිත පිණිස ඉන්‍ද්‍රිය බල බෝධ්‍යඞ්ග මාර්‍ග සත්‍යප්‍රකාශක වූ (සත්තතිංස බෝධිපක්ඛිය) ධර්‍මය ප්‍රකාශ කළහ.
kn-bv:60.5
4. කොණ්ඩඤ්ඤ නම් ලෝකනායකයන් වහන්සේ දම්සක් පවත්වන කල්හි කෙළසියදහසක් සත්නට ධර්‍මාභිසමය වී,
kn-bv:60.6
5. එයින් අපරභාගයෙහි දු දෙවිමිනිසුන් ගේ (මහාමඞ්ගල) සමාගමයෙහි අනූකෙළදහසක් සත්නට ද්විතීයධර්‍මාභිසමය විය.
kn-bv:60.7
6. යම් කලෙක (යමාමහපෙළහර පෑ) තීර්‍ත්‍ථකයන් අභිමර්දනය කෙරෙමින් දහම් දෙසූ සේක් ද, (එකල්හි අසූකෙළදහසක් සත්නට තුන්වැනි) ධර්‍මාභිසමය වී.
kn-bv:60.8
7. මහර්ෂී වූ කොණ්ඩඤ්ඤ සර්‍වඥයන් වහන්සේට විගතරාගාදි මල ඇති සන්හුන් සිත් ඇති ලාභලාභාදියෙහි තාදී වූ ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධි වූ ශ්‍රාවකසන්නිපාත තුනක් වූහ.
kn-bv:60.9
8. කෙළසියදහසක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය ද, කෙළදහසක්හු ගේ දෙවන සන්නිපාතය ද අනූකෙළක් රහතුන්ගේ තුන්වන සන්නිපාතය ද වී.
kn-bv:60.10
9. මම් එසමයෙහි විජිතාවී නම් සක්විතිරජ වීමි. මම් සක්වළගල හිමි කොට ඇති මහසයුර ඇතුළු කොට ආධිපත්‍යය පැවැත්වීමි.
kn-bv:60.11
10. ලෝකාග්‍රනාථ වූ සර්‍වඥයන් වහන්සේ සමග මහර්ෂී වූ කෙළසියදහසක් රහතුන් වහන්සේ මධුර වූ ආහාරයෙන් සන්තර්‍පණය කෙළෙමි.
kn-bv:62.1
11. ලෝකනායක වූ ඒ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ ද මෙයින් අපරිමේය කල්පයෙහි (මේ තෙමේ) ලොවැ බුදුවන්නේ යයි මට විවරණ දුන් සේක.
kn-bv:62.2
12. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් මූ මනරම් නුවරින් නික්ම ප්‍රධන් වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:62.3
13. තථාගත වූ බෝසත් අජපල් නම් රුක්මුලැ හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට එළැඹෙන්නේ ය–
kn-bv:62.4
14. ඒ ජිතපඤ්චමාරයෝ නිල්දලා ගංතෙර හිඳ පායාසය වළඳා දෙවියන් සැරැසූ උතුම් මඟින් බොධිමූලයට පැමිණෙන්නාහ.
kn-bv:62.5
15. ඉක්බිති අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසතු රුක්මුලැ හිඳ බුදුවන්නේ යැ.
kn-bv:62.6
16. මොවුන්ගේ ජනික මවු තොමෝ මායා වන්නී ය, පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ ය. මේ තෙමේ ගෞතම නම් වන්නේ ය–
kn-bv:62.7
17. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙමේ ඒ බුදුන් උපස්ථාන කරන්නේ යැ–
kn-bv:62.8
18. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන අග්‍රශ්‍රාවිකාවෝ වන්නාහ, ඒ භාග්‍යවත්හු ගේ බෝධිය අස්සත්‍ථ යයි කියනු ලැබේ–
kn-bv:62.9
19. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍ර–උපස්ථායක වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍ර– උපස්ථායිකා වන්නාහ, ඒ ගෞතම යශස්වීන්ට හවුරුදු සියයක් ආයු වන්නේ යයි.
kn-bv:62.10
20. අසම වූ ඒ කොණ්ඩඤ්ඤ මහර්ෂීන්ගේ මෙ වදන් අසා දේවමනුෂ්‍යයෝ මේ තෙමේ බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූවාහු.–
kn-bv:62.11
21. ඔල්වරසන් පැවැත්වූහ, අත්පොළසන් දුන්හ, සිනහසුනාහ. දසදහසක් සක්වළ දෙවියන් සහිත වූවාහු කළ ඇඳිලි ඇති ව නමස්කාර කළහ.
kn-bv:62.12
22. ඉදින් මේ ලෝකනාථයන් වහන්සේගේ ශාසනය වරදමෝ නම්, අනාගතකාලයෙහි මොවුන් වහන්සේ හමු වන්නම්හ–
kn-bv:64.1
23. යම්සේ නදියක් තරණය කරන මනුෂ්‍යයෝ හමුයෙහි වූ තොට වැරැදැ යට තොටෙහි ලා ගෙන මහානදිය තරණය කෙරෙත් ද–
kn-bv:64.2
24. එසෙයින් මැ ඇපි හැම දෙනමෝ මේ කොණ්ඩඤ්ඤ නම් බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් වහන්සේ හමු වන්නම්හ’යි.
kn-bv:64.3
25. මම් ඒ බුදුන් ගේ බස් අසා අතිශයින් සිත පැහැදැවීමි, එ මැ බුද්ධකාරකකාර්‍ත්‍ථය වූ දානපාරමිතාව සිද්ධ කරනුයෙම් (පුරනුයෙම්) සක්විතිරජය බුදුන් විෂයෙහි පිදුයෙමි. මහාරාජ්‍යය පරිත්‍යාග කොට ඔබ සමීපයෙහි පැවිදි වීමි.
kn-bv:64.4
26. සූත්‍රාන්තපිටකය ද විනයපිටකය ද යළි සියලු නවාඞ්ග ශාස්තෘශාසනය ද ප්‍රගුණ කොට (ලෞකික වූ ආගාමාධිගමයෙන්) බුදුසසුන හෙබැවීමි.
kn-bv:64.5
27. මම් ඒ බුදුසස්නෙහි හිඳීම් සිටීම් සක්මනෙහි ස්මෘති–අවිප්‍රවාස වැ වසනුයෙම් පඤ්චාභිඥයෙහි පරතෙරට පැමිණ (පිළිසඳ විසින්) බඹ ලොවට ගියෙමි.
kn-bv:64.6
28. කොණ්ඩඤ්ඤ නම් මහර්ෂීන් ගේ නගරය රම්මවතී නම් විය. සුනන්‍ද නම් ක්‍ෂත්‍රිය තෙමේ පියා විය, මව් තොමෝ සුජාතා නම් වූ ය.
kn-bv:64.7
29. ඒ බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) සුචි යැ සුරුචි යැ සුභ යැ යන උතුම් වූ තුන් ප්‍රාසාද කෙනෙක් වූහ.
kn-bv:64.8
30. මොනොවට සැරැසුණු පරිවාරස්ත්‍රීහු තුන්ලක්‍ෂයක් වූහ, රුචිදේවී නම් අගබිසොවක් වූ ය, පුත්‍ර තෙමේ විජිතසේන නම් වී,
kn-bv:64.9
31. සතර පෙරනිමිති දැක ඒ ජිතපඤ්චමාරයෝ රථයානයෙකින් අභිනිෂ්ක්‍රමණය කළහ, පිරිපුන් දසමසක් ප්‍රධන් වීර්‍ය්‍යය කළහ.
kn-bv:64.10
32. මහත් වූ වීර්‍ය්‍යය ඇති කොණ්ඩඤ්ඤ නම් සම්මාසම්බුදුහු මහබඹහු විසින් අයදනාලදහු දෙවියන්ගේ නගරවරයෙහි දී දම්සක් පැවැත්වූහ.
kn-bv:64.11
33. කොණ්ඩඤ්ඤ නම් බුදුනට භද්‍ර ද සුභද්‍ර ද යන අග්‍රශ්‍රාවකයෝ වූහ. අනුරුද්ධ නම් (තෙර කෙනෙක්) උපස්ථායක වූහ.
kn-bv:66.1
34. කොණ්ඩඤ්ඤ නම් බුදුනට තිස්සා ද උපතිස්සා ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. සල්කලණ නම් බෝධිවෘක්‍ෂයෙක් වී යැ.
kn-bv:66.2
35. සෝණ ද උපසොණ ද යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. නන්‍දා ද සිරිමා ද යන දෙදෙන අග්‍ර උපස්ථායිකා වූහ.
kn-bv:66.3
36. අටඅසූරියනක් උස්වූ ඒ මහාමුනීහු චන්‍ද්‍රයා සෙයින් ද මධ්‍යාහ්නසමයෙහි සූර්‍ය්‍යයා සෙයින් ද හොබිති.
kn-bv:66.4
37. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයු පැනෙයි. ඒ තාක් කල් වැඩසිටිමින් ඒ බුදුහු බොහෝ ජන සමූහයා (සසරසයුරින්) තරණය කළහ.
kn-bv:66.5
38. පෘථිවි තොමෝ පහවූ රාගාදි මල ඇති රහතුන් කරණ කොට විචිත්‍ර වූ යැ. තාරකාවන්ගෙන් ගුවන්තලය යම්සේ හොබී නම් එසෙයින් උන් වහන්සේ ශෝභමාන වූහ.
kn-bv:66.6
39. ගුණපමණ විසින් නො මිනිය හැකි ලෝදමින් නො කැළැඹෙන මෙරමා විසින් අභිභවනය නො කට හැකි වූ මහායශස් ඇති ඒ ක්‍ෂීණාස්‍රවයෝ ද විදුලිය හෙළීමක් මෙන් දක්වා පිරිනිවියාහ.
kn-bv:66.7
40. බුදුන්ගේ ඒ අතුල්‍ය වූ ඍද්ධිය ද ඥානයෙන් පරිභාවිත (වඩනාලද) වූ සමාධිය ද යන සියල්ල අතුරුදහන් විය. හැම සංස්කාරයෝ සිස් වූවාහු නො.
kn-bv:66.8
41. උත්තම වූ කොණ්ඩඤ්ඤ නම් බුදුහු චන්‍දාරාමයෙහි දී පිරිනිවියහ. එහි මැ විසිතුරු සෑයෙක් සත් යොදුන් උස්කොට බඳවන ලද්දේ යි.
kn-bv:66.9
දෙවැනි වූ කොණ්ඩඤ්ඤ බුද්ධවංශ යි.
kn-bv:68.1
3. මඞ්ගල බුද්ධවංශය
kn-bv:68.2
1. කොණ්ඩඤ්ඤ නම් සම්මාසම්බුදුනට මෑත භාගයෙහි මඞ්ගල නම් බුදුහු ලොව අවිඅඳුර නසා දහම් නැමැති දඬවැටපහන දැරූහ.
kn-bv:68.3
2. අන් බුදුවරුන් කෙරෙන් අධිකව ඒ මඞ්ගල බුදුන්ගේ අසදෘස වූ ප්‍රභායෙක් විය. සඳහිරු කැලුම් නසා දසදහසක් සක්වළ බැබැළවී.
kn-bv:68.4
3. ඒ බුදුහු ද ඉතා උතුම් සතර සත්‍යයන් ප්‍රකාශ කළ සේක. දිව්‍යමනුෂ්‍යාදි ඒ ඒ සත්ත්‍වයෝ සත්‍යරසය පානය කොට අවිද්‍යාන්‍ධකාරය දුරු කෙරෙති.
kn-bv:68.5
4. අතුල වූ සම්බෝධියට පැමිණ කළ ප්‍රථම ධර්‍මදේශනායෙහි දී කෙළලක්‍ෂයක් සත්ත්‍වයනට ප්‍රථමාභිසමය වී යැ.
kn-bv:68.6
5. සර්‍වඥයන් වහන්සේ ශක්‍රභවනයෙහි දී දහම් දෙසූසේක. නවකෙළදහසක් ප්‍රාණීන්ට දෙවැනි වූ ධර්‍මාභිසමය වී යැ.
kn-bv:68.7
6. යම් කලෙක සුනන්‍ද නම් සක්විති රජ සම්බුදුන් කරා එළඹියේ ද එකල්හි සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ දහම්බෙරය පහළාහ.
kn-bv:68.8
7. එකල්හි සුනන්‍ද සක්විතිහට පරිවාරජනතාව අනූදහසක් විය. එ හැමදෙන නිරවශේෂ වැ ඒහිභික්‍ෂූ වූහ.
kn-bv:68.9
8. මඞ්ගල සම්මාසම්බුදුනට ශ්‍රාවකසන්නිපාතයෝ තිදෙනෙක් වූහ. කෙළලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සන්නිපාතය විය.
kn-bv:68.10
9. ද්වීතිය සන්නිපාතය කෙළදහසක් ශ්‍රාවකයන්ගේ ද තෘතීය සන්නිපාතය අනූකෝටියක් ශ්‍රාවකයන්ගේ දැ යි එකල්හි පහවූ රාගාදිමල ඇති රහතුන්ගේ සමාගමය වී යැ.
kn-bv:70.1
10. එසමයෙහි මම් සුරුචි නම් බ්‍රාහ්මණ වැ මන්ත්‍ර හදාරවනුයෙම් මන්ත්‍ර ධරනුයෙම් ත්‍රිවේදයෙහි පාරප්‍රාප්ත වූයෙම් වීමි.
kn-bv:70.2
11. මම් ඒ මඞ්ගල බුදුන් කරා එළැඹ බුදුන් සරණ ගොස් බුදුපාමොක් මහසඟන ගඳින් මලින් පිදුයෙමි. ගඳින් මලින් පුදා ගවපාන භොජනයෙන් සැතැපීමි.
kn-bv:70.3
12. ද්වීපදෝත්තම වූ ඒ මඞ්ගල බුදුහු ද මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි මේ තෙම බුදු වන්නේ යයි මා ප්‍රකාශ කළහ.
kn-bv:70.4
13. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් වූ සිත්කලු පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:70.5
14. තථාගත තෙම අජපල් නම් රුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝතෙරට එළැඹෙයි.
kn-bv:70.6
15. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසතු බෝරුක වෙත එළැඹෙයි.
kn-bv:70.7
16. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසැතුරුක්මුල්හි හිඳ බුදුවන්නේ යැ.
kn-bv:70.8
17. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා වන්නී යැ ජනක පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
kn-bv:70.9
18. කෝලිත ද උපතිස්ස ද යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාරයනට උපස්ථාන කෙරෙයි.
kn-bv:70.10
19. ඛේමා ද උප්පලවණ්ණා ද යන දෙදෙන අග්‍රශාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
kn-bv:70.11
20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග උවටු වෙති. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අගඋවට වෙත්. යශස් ඇති ඒ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
kn-bv:70.12
21. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
kn-bv:72.1
22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැසියෝ කළ ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.
kn-bv:72.2
23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:72.3
24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු නම් ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරදැයට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
kn-bv:72.4
25. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වම්හ යි.
kn-bv:72.5
26. මම් ඒ බුදුන්ගේ බස් අසා අතිශයින් සිත පැහැදැවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය (පාරමී) අධිෂ්ඨාන කෙළෙමි.
kn-bv:72.6
27. එකල්හි උතුම් වූ බුද්ධත්‍වයට පැමිණෙනු පිණිස ප්‍රීති වර්ධනය කෙරෙමින් මාගේ ගෘහය බුදුන් කෙරෙහි පුදා උන් වහන්සේ වෙත පැවිදි වීමි.
kn-bv:72.7
28. සූත්‍රාන්තපිටකය ද විනයපිටකය ද යළි සියලු නවාඞ්ගශාස්තෘශාසනය ද ප්‍රගුණ කොට (ලෞකික වූ ආගමාධිගමයෙන) බුදුසසුන හෙබැවීමි.
kn-bv:72.8
29. මම් ඒ බුදුසසුන්හි අප්‍රමාද වැ වාසය කරන්නෙම් බ්‍රහ්මවිහාර භාවනා වඩා අභිඤාපාරයට ගොස් බඹලොවට ගියෙමි.
kn-bv:72.9
30. මඞ්ගල නම් මහර්ෂීන්ගේ නගරය උත්තර නම් විය උත්තර නම් ක්‍ෂත්‍රිය තෙමේ පියා විය, මව් තොමෝ උත්තරා නම් වූ යැ.
kn-bv:72.10
31. ඒ බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) යසවත් යැ ශුචිමත් යැ ශ්‍රීමත් යැ යි උතුම් වූ තුන් ප්‍රාසාද කෙනෙක් වූහ.
kn-bv:72.11
32. මොනොවට සැරැසුණු පරිවාරස්ත්‍රීහු තිස් දහසක් වූහ. යසවතී නම් අගබිසොවක් වූ යැ. පුත්‍ර තෙමේ සීවල නම් වී.
kn-bv:74.1
33. සතර පෙරනිමිති දැක ඒ ජිතපඤ්චමාරයෝ අශ්වයානයෙකින් අභිනිෂ්ක්‍රමණය කළහ. පිරිපුන් අටමසක් ප්‍රධන් වීර්‍ය්‍යය කළහ.
kn-bv:74.2
34. මහත් වූ වීර්‍ය්‍ය ඇති මඞ්ගල නම් සම්මාසම්බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු උතුම් වූ ශ්‍රීවනයෙහි දී දම්සක් පැවැත්වූහ.
kn-bv:74.3
35. මහර්ෂීවූ මඞ්ගල නම් බුදුන්ට සුදේව යැ ධර්‍මසේන යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. පාලිත නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
kn-bv:74.4
36. සීවලා යැ අශෝකා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුන් ගේ බෝධිය නාගවෘක්‍ෂයෙකැ’යි කියනු ලැබේ.
kn-bv:74.5
37. නන්‍ද යැ විශාඛා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. අනුලා යැ සුතනා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.
kn-bv:74.6
38. ඒ මහාමුනීහු අටඅසූරියනක් උස් වූහ. ඒ බුදුන් කෙරෙන් නොයෙක් සුවහස් ගණන් රශ්මීහු නික්මෙත්.
kn-bv:74.7
39. එකල්හි අනූදහසක් හවුරුදු ආයු පැනෙයි ඒ තාක් කල් සිටිමින් ඒ බුදුහු බොහෝ ජනසමූහය (සසරින්) තරණය කළහ.
kn-bv:74.8
40. යම්සේ සාගරයෙහි තරඞ්ගයෝ ගණනට නො හැක්කාහු ද එසෙයින් මැ උන්වහන්සේ ගේ ශ්‍රාවකයෝ ගණනට නො හැක්කාහ.
kn-bv:74.9
41. ලෝකනායක වූ මඞ්ගල නම් සම්මා සම්බුදුහු යම්තාක් සිටියාහු ද එකල්හි ඔබගේ සංක්ලේශමරණයෙක් නැති.
kn-bv:74.10
42. මහායශස් ඇති ඒ සම්මා සම්බුදු දහම් නැමැති දඬුවැටපහන ධරා මහදනා සසරින් තරණය කරවා දුම්කෙහෙල්ලක් සෙයින් දිලියී පිරිනිවියහ.
kn-bv:74.11
43. සංස්කාරයන්ගේ ස්වභාවය දෙවියන් සහිත ලෝවැසියාට දක්වා ගිනිකඳක් සෙයින් දිලියී අස්තඞ්ගතසූර්‍ය්‍යයා සෙයින්–
kn-bv:74.12
44. වෙස්සර නම් උයන්හි දී මඞ්ගල බුදුහු පිරිනිවියහ. එහි මැ (බඳවනලද) ඒ බුදුන්ගේ ස්තූපය තිස් යොදුනක් උස් වූයේ යි.
kn-bv:74.13
තුන්වැනි වූ මඞ්ගල බුද්ධවංශ යි.
kn-bv:76.1
4. සුමන බුද්ධවංශය
kn-bv:76.2
1. මඞ්ගල නම් සම්මාසම්බුදුන්ට මෑතභාගයෙහි (ශීලාදි) සියලු දහම්හි අසම වූ හැම සත්නට උතුම් වූ සුමන නම් බුදුහු (ලොව පහළ වූහ.)
kn-bv:76.3
2. එකල්හි ඒ සම්මාසම්බුදුහු ද මෙඛල නම් පුරයෙහි දී සිව්සස් දහම් නැමැති සක් හඬින් යුත් නවාඞ්ගශාස්තෘශාසන සඞ්ඛ්‍යාත අමා බෙරය පහළහ.