Buddhavaṁsa

Chronicle of the Buddhas

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1370 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1001-1100 න් 1370

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-bv:176.4
39. පවනින් වලා සෙයින් ද හිරුගෙන් පිනිබිඳු සෙයින් ද පහනින් අඳුර සෙයින් ද එබුදුහු සව්වන් හා සමග පිරිනිවියාහ.
kn-bv:176.5
40. ජිනවර වූ තිස්ස බුදුහු නන්‍දාරාමයෙහි පිරිනිවියාහ, එහි මැ උන් වහන්සේගේ ජිනස්තූපය තුන් යොත්නක් උස් කොට බඳවන ලද්දේ යි.
kn-bv:176.6
සතළොස් වැනි තිස්ස බුද්ධවංශය යි.
kn-bv:178.1
18. ඵුස්ස බුද්ධවංශය
kn-bv:178.2
1. එ මැ මණ්ඩ නම් කල්පයෙහි අනුත්තර වූ අනුපම වූ අසදෘශ වූ ලෝකාග්‍රනායක වූ ඵුස්ස නම් ශාස්තෘ කෙනෙක් පහළ වූහ.
kn-bv:178.3
2. ඒ ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේ ද සියලු අවිද්‍යාන්‍ධකාර නසා තෘෂ්ණාව හැරපියා සදේවක ලෝකයා අමෘත සඞ්ඛ්‍යාත දහම් කථා ජලයෙන් පිණවමින් දහම් වැසි වැස් වූහ.
kn-bv:178.4
3. නකත්මඟුල් දින ඵුස්ස බුදුන් දම්සක් පවත්වන කල්හි කෙළ ලක්‍ෂයක් සත්නට පළමු වන ධර්‍මාභිසමය වී.
kn-bv:178.5
4. අනූලක්‍ෂයක් සත්නට දෙ වැනි ධර්‍මාභිසමය විය, අසූලක්‍ෂයක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.
kn-bv:178.6
5. මහර්ෂි වූ ඵුස්ස බුදුනට ද විමල වූ ශාන්ත සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රව ශ්‍රාවකයන්ගේ සන්නිපාත තුනෙක් වී.
kn-bv:178.7
6. සැට ලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වීය, පනස්ලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ද්විතීයසන්නිපාතය වී.
kn-bv:178.8
7. උපාදා රහිත වැ කෙලෙසුන් කෙරෙන් මිදුණු සිඳහළ ප්‍රතිසන්‍ධි ඇති සතලිස් ලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ තෘතීය සන්නිපාතය වී.
kn-bv:178.9
8. එසමයෙහි මම් විජිතාවී නම් ක්‍ෂත්‍රිය වූයෙම් මහරජය හැරපියා ඒ ඵුස්ස බුදුන් වෙත පැවිදි වීමි.
kn-bv:178.10
9. ලෝකාග්‍රනායක වූ ඒ ඵුස්ස බුදුරජාණන් වහන්සේ ද ‘මේ තෙම මෙයින් දෙයානූ වන කප්හි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන්සේක.
kn-bv:178.11
10. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිලවාස්තු නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:178.12
11. තථාගතයෝ අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
kn-bv:180.1
12. ඒ ජින තෙම නිල්දලාහෝතෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙල කළ උතුම් මඟින් බෝමුල වෙත පැමිණෙන්නේය.
kn-bv:180.2
13. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි දී බුදු වන්නේය.
kn-bv:180.3
14. මොවුන්ගේ ජනිකමව මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
kn-bv:180.4
15. (ඔබට) කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් එ බුදුන්ට උවැටන් කරන්නාහ.
kn-bv:180.5
16. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබේ.
kn-bv:180.6
17. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ, යසස්වී වූ ඒ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
kn-bv:180.7
18. අසම වූ මහර්ෂීන්ගේ මෙ තෙපුල් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූ දෙවිමිනිස්සු–
kn-bv:180.8
19. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනාසෙති, දසදහසක් සක්වළ සදේවකලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
kn-bv:180.9
20. ඉදින් අපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:180.10
21. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
kn-bv:180.11
22. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මෙබුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:180.12
23. එ බුදුන්ගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
kn-bv:180.13
24. සූත්‍රාන්තපිටකය ද විනය ද නවාඞ්ගශාස්තෘශාසනය ද යන සියල්ල පිරිවහා බුදු සස්න හෙබැ වීමි.
kn-bv:182.1
25. මම් එසසුන්හි අප්‍රමාද වැ වාසය කරනුයෙම්. බ්‍රහ්මවිහාරභාවනා කොට අභිඥාවන්හි පාරප්‍රාප්ත වැ බඹලොවට ගියෙමි.
kn-bv:182.2
26. මහර්ෂි වූ ඵුස්ස බුදුන්ට ද නගරය කසී නම් විය, ජයසේන නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ විය, මව්තොමෝ සිරිමා නමු.
kn-bv:182.3
27. ඒ ඵුස්ස බුදුහු නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට ගරුඩපක්‍ෂ යැ හංස යැ ස්වර්‍ණහාර යැයි උතුම් තුන්පහයෙක් වී.
kn-bv:182.4
28. මොනොවට සරසනලද තිස්දහසක් පිරිවර අඟනෝ වූහ. කිසාගෝතමී නම් අගමෙහෙසියක් වූ යැ. අනුපම නම් පුත්‍රයෙක් වී.
kn-bv:182.5
29. පුරුෂෝත්තම ඵුස්ස බුදුහු සතර පෙරනිමිති දැක ඇත්යානයෙකින් මහබිනික්මන් කළහ. සමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
kn-bv:182.6
30. මහත්වීර්‍ය්‍ය ඇති පුරුෂශ්‍රේෂ්ඨ වූ ලෝකාග්‍රනායක වූ ඵුස්ස බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු ඉසිපතන නම් මුවළැව්හි දී දම්සක් පැවැත්වූසේක.
kn-bv:182.7
31. මහර්ෂි වූ ඵුස්ස බුදුන්ට සුරක්‍ෂිත යැ ධර්‍මසේන යැ යන දෙදෙන අගසවු වූහ. සභිය නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ,
kn-bv:182.8
32. චාලා යැ උපචාලා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘ඇඹලරුකැ’යි කියනු ලැබේ.
kn-bv:182.9
33. ධනඤ්ජය යැ විශාඛ යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. පද්මා යැ නාගා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ,
kn-bv:182.10
34. ඒ ඵුස්ස මුනිහු ද අටපනස්රියන් උස්වූ සේක් දිවයුරු සෙයින් ද පුන්සඳ සෙයින් ද ශෝභමාන වූහ.
kn-bv:182.11
35. එකල්හි අනූදහසක් හවුරුදු ආයු පැනෙයි, උන්වහන්සේ එතෙක් වැඩසිටිමින් බොහෝ ජනසමූහයා සසරකතරින් තැරැවූ සේක.
kn-bv:182.12
36. අතුල්‍ය වූ යසස් ඇති ඒ ඵුස්ස බුදුහු ද බොහෝ සත්නට ඔවා දී මහජනයා සසර කතරින් තරවා ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ.
kn-bv:182.13
37. ජිනෝත්තම වූ ඵුස්ස බුදුහු ශ්වේතාරාමයෙහි පිරිනිවියාහ. ඒ ඒ ප්‍රදේශයන්හි ධාතු පතළේ යි.
kn-bv:182.14
අටළොස් වැනි ඵුස්ස බුද්ධවංශය යි.
kn-bv:184.1
19. විපස්සී බුද්ධවංශය
kn-bv:184.2
1. ඵුස්ස බුදුන්ට මෑත භාගයෙහි නමින් විපස්සී නම් වූ පසැස් ඇති ද්විපදෝත්තම වූ සම්බුදුරජාණන් වහන්සේ ලොවැ පහළවූසේක.
kn-bv:184.3
2. හැම අවිදු අඳුරු බිඳ උතුම් වූ සම්බෝධියට පැමිණියාහු දම්සක් පවත්වන්නට බන්‍ධුමතී පුරයට වැඩිසේක.
kn-bv:184.4
3. දම්සක් පවත්වා (මල්බෑ ඛණ්ඩ රාජපුත්‍ර යැ, තිස්ස පුරෝහිත පුත්‍ර යැ යන) දෙදෙනාට සත්‍යාවබෝධය කරවූහ. ගණනින් නො කියහෙන සත්ත්‍ව කෙනෙක් පළමු වැනි ධර්‍මාවබෝධය කළහ.
kn-bv:184.5
4. යළි අප්‍රමාණ යශස් ඇති විදර්ශී බුදුහු ඒ ක්‍ෂේම නම් මුවළැව්හි දී සිව්සස් පැවැසූහ. සුවාසූ දහසක් සත්නට ද්විතීයාභිසමය වී.
kn-bv:184.6
5. සුවාසූ දහසක් සත්හු බුදුනට පසුව ලා පැවිදි වූහ, පසැස් ඇති බුදුහු අරමට පැමිණි ඔවුනට දහම් දෙසූසේක.
kn-bv:184.7
6. සර්‍වාකාරයෙන් කරුණු එළවමින් වදාරන විපස්සී බුදුන්ගේ දහම් අසා ඒ සුවාසූ දහසක් මහණහු ද උතුම් දහම් දැන (මෙසේ ඔවුන්ගේ) තුන් වැනි ධර්‍මාවබෝධය වී.
kn-bv:184.8
7. මහර්ෂි වූ විපස්සී සර්‍වඥයන් වහන්සේට විමල වූ ශාන්ත සිත් ඇති තාදිගුණ ඇති රහතුන්ගේ ශ්‍රාවක සන්නිපාත තුනෙක් වී.
kn-bv:184.9
8. අටසැටලක්‍ෂයක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය වී යැ, ලක්‍ෂයක් රහත්මහණුන්ගේ ද්විතීය සන්නිපාතය වී.
kn-bv:184.10
9. අසූ දහසක් ක්‍ෂීණාස්‍රව භික්‍ෂුන්ගේ තෘතීය සන්නිපාතය වී යැ. එහි මහණගණ මැද සම්බුදුහු අතිශයින් දිලියුණාහ.
kn-bv:184.11
10. එසමයෙහි මම් නමින් අතුල නම් වූ පින් ඇති පැහැපත් මහ ඉඳුහ ඇති නාරජ වූයෙමි.
kn-bv:184.12
11. එකල්හි මම් නොයෙක් කෙළගණන් නයින් පිරිවරා දිවපසඟවයමින් බුදුන් කරා එළැඹියෙමි.
kn-bv:186.1
12. මම ලෝකස්වාමී වූ විදර්ශී සම්බුදුන් කරා එළැඹ දහම්රජ වූ බුදුන් පවරා මිණිමුතු ඈ රුවනින් නිමවන ලද පබළු ඈ සැරැහුමෙන් සරහන ලද රන් පුටුවක් පිදීමි.
kn-bv:186.2
13. ඒ විදර්ශී සර්‍වඥයන් වහන්සේ ද සඟ මැද වැඩහිඳ මේ තෙමේ මෙයින් එක් අනූවන කල්පයෙහි බුදු වන්නේ යයි විවරණ දුන් සේක.
kn-bv:186.3
14. ඒ තථාගත වූ බෝසත් සිත්කලු වූ කිඹුල්වත් නම් නුවරින් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:186.4
15. තථාගත වූ බෝසත් අජපල් නම් නුගරුක්මුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝතෙරට පැමිණෙන්නේ ය.
kn-bv:186.5
16. ජිතමාර වූ බෝසත්හු නිල්දලා හෝ තෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උතුම් මඟින් බෝමුල වෙත පැමිණෙන්නාහ.
kn-bv:186.6
17. ඉක්බිති මහායශස් ඇති අනුත්තර වූ මහසත්හු බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි හිඳ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරන්නාහ.
kn-bv:186.7
18. මොවුන් ගේ ජනිකා මව මායා නම් වන්නීය. ජනකපිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ ය. මේ තෙමෙ ගෞතම නම් වන්නේ යි.
kn-bv:186.8
19. අනාස්‍රව වූ විගතරාග ඇති ශාන්ත වූ සිත් ඇති ඵලසමාපත්තියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙනා අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නේ ය.
kn-bv:186.9
20. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
kn-bv:186.10
21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වන්නාහ. ඒ යශස්වී වූ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
kn-bv:186.11
22. අසම වූ මහර්ෂි වූ බුදුන් ගේ මෙ වදන් අසා මේ තෙමේ බුද්ධබිජාංකූරයෙකැ’යි සතුටු වූ දේව මනුෂ්‍යයෝ–
kn-bv:188.1
23. ඔල්වරසන් පැවැත්වූහ. අත්පොළසන් දුන්හ. සිනහසුණහ. දසදහසක් සක්වළැ දෙවියන් සහිත ලෝකවාසීහු බදැඳිලි වැ නමස්කාර කළහ.
kn-bv:188.2
24. ඉදින් ඇපි මෙ ලෝහිමියන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
kn-bv:188.3
25. යම්සේ නදිය තරණය කරන මිනිස්සු හමුයෙහි වූ ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ලා ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
kn-bv:188.4
26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමුවන්නම්හ.
kn-bv:188.5
27. මම් ඒ විදර්ශී බුදුන්ගේ බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි. දසපැරුම් මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
kn-bv:188.6
28. මහර්ෂි වූ විදර්ශී බුදුන් ගේ නගරය බන්‍ධුමතී නම් විය. බන්‍ධුමත් නම් ක්‍ෂත්‍රිය තෙමේ පියා විය. මවු තොමෝ බන්‍ධුමතී නම් වූය.
kn-bv:188.7
29. ඒ බුදුහු අටදහසක් හවුරුදු ගිහිගෙයි වුසූහ. නන්‍ද යැ, සුනන්‍ද යැ, සිරිමත් යැයි උතුම් වූ තුන් පහයෙක් විය.
kn-bv:188.8
30. මොනොවට සැරැසුණු තෙසාලිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. සූතනා නම් ප්‍රසිද්ධ ස්ත්‍රිය අගමෙහෙසුන් බිසෝ වූය. සමවත්තක්ඛන්‍ධ නම් පුතණු කෙනෙක් වූහ.
kn-bv:188.9
31. සතර පෙරනිමිති දැක රථයානයෙකින් මහබිනික්මන් කළහ. එ ජිතපඤ්චමාරයෝ පිරිපුන් අටමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
kn-bv:188.10
32. මහාවීර වූ නරෝත්තම වූ විදර්ශී ලෝකස්වාමීහු මහබඹහු විසින් අයදනා ලද්දාහු මිගදාය නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
kn-bv:188.11
33. විදර්ශී බුදුන්ට ඛණ්ඩ යැ තිස්ස යැ යන නම් ඇති අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. අසෝක නම් උපස්ථායක භික්‍ෂු කෙනෙක් වූහ.
kn-bv:188.12
34. චන්‍ද්‍රා යැ චන්‍දමිත්තා යැයි අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ බුදුන් ගේ බෝධිය පළොල් යැයි කියනු ලැබේ.
kn-bv:190.1
35. පුනබ්බසුමිත්ත යැ නාග යැ යන අග්‍රෝපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. සිරිමා යැ උත්තරා යැ යන අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.
kn-bv:190.2
36. විදර්ශී ලෝකස්වාමීහු අසූරියන් උස් වූහ. ඔබගේ ශරීරකාන්තිය හාත්පස සත්යොදුනෙක්හි පැතිරැ සිටුනේ යි.
kn-bv:190.3
37. එකල්හි ඒ බුදුන්ගේ ආයුෂ හවුරුදු අසූදහසෙක් විය, එතෙක් කල් වැඩසිටි ඒ බුදුහු බොහෝ ජනසමූහයා (සසර සයුරෙන්) තැරැ වූහ.
kn-bv:190.4
38. බොහෝ දෙවියන් ද මිනිසුන් ද සංසාරබන්‍ධනයෙන් මිදැ වූහ. සෙසු පුහුදුවනට (ශාශ්වතෝච්ඡේද විරහිත මධ්‍යමප්‍රතිපදා සඞ්ඛ්‍යාත අමෘතාධිගමයට) මාර්‍ගය ද (කායකිළමථාදි) අමාර්‍ගය ද වදාළහ.
kn-bv:190.5
39. ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුහු මාර්‍ගඥනාලෝකය දක්වා අමෘතපදය දේශනා කොට ගිනිකඳසෙයින් දිලියෙමින් වැඩසිට පිරිනිවි සේක.
kn-bv:190.6
40. උත්තමඍද්ධිය ද උත්තම පුණ්‍ය ද චක්‍රලක්‍ෂණාදීන් මණ්ඩිත වූ බුදු සිරුර ද යන සියල්ල අන්තර්හිත විය. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නු?
kn-bv:190.7
41. ජිනවර වූ විදර්ශී බුදුහු සුමිත්තාරාමයෙහි දී පිරිනිවියහ. එහි මැ ඔබ ගේ ස්තූපවරය සත්යොදුන් කොට බඳනා ලද්දේ යි.
kn-bv:190.8
එකුන්විසි වැනි විදර්ශී බුද්ධවංශ යි.
kn-bv:192.1
20. සිඛී බුද්ධවංශය
kn-bv:192.2
1. විදර්ශී නම් බුදුන්ට මෑතභාගයෙහි ද්විපදෝත්තම වූ පස්මරුන් දිනූ අසම වූ අප්‍රතිපුද්ගල වූ සිඛී නම් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ලොවැ පහළ වූ සේක.
kn-bv:192.3
2. මරසෙනඟ මැඩපියා උතුම්වූ සම්බෝධියට පැමිණි සේක් සත්ත්‍වයන්ට අනුකම්පා පිණිස දම්සක් පැවැත්වූ සේක.
kn-bv:192.4
3. මුනිශ්‍රෙෂ්ඨ වූ සිඛී බුදුරජාණන් වහන්සේ දම්සක් පවත්වන කල්හි කෙළ ලක්‍ෂයක් සත්නට පළමුවන ධර්‍මාභිසමය වී.
kn-bv:192.5
4. නැවත ද ගණශ්‍රේෂ්ඨ වූ නරෝත්තම වූ බුදුරදුන් දහම් දෙසන කල්හි අනූකෙළදහසක් සත්නට දෙවෙනි ධර්‍මාභිසමය වී.
kn-bv:192.6
5. සදේවක ලෝකයා විෂයෙහි යමාමහ පෙළහර දක්වන බුදුන් දහම් දෙසන කල්හි අසූකෙළදහසක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.
kn-bv:192.7
6. මහර්ෂී වූ සිඛී බුදුරදුන්ට ද විගත වූ කෙලෙස්මල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධි වූ තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ.
kn-bv:192.8
7. භික්‍ෂූන් සියදහසක් සම්බන්‍ධී වූ ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය විය. භික්‍ෂූන් අසූදහසක් සම්බන්‍ධි වූ ද්විතීය ශ්‍රාවක සන්නිපාතය වී.
kn-bv:192.9
8. භික්‍ෂූන් සැත්තෑදහසක් සම්බන්‍ධි වූ තෘතීය ශ්‍රාවකසන්නිපාතය වී (දියෙහි ඉපදැ) දියෙහි වැඩුණු දිය හා අලිප්ත වූ පියුමක් සෙයින් (ඒ භික්‍ෂු සන්නිපාතය ද) ලොකධර්‍මයන් හා අලිප්ත වූයේ වී.
kn-bv:192.10
9. එ සමයෙහි මම අරින්‍දම නම් ක්‍ෂත්‍රිය වූයෙම් බුදුපාමොක් සඟන ආහාරපානයෙන් සන්තර්‍පණය කෙළෙමි.
kn-bv:192.11
10. මම් බොහෝ වූ උතුම් වස්ත්‍ර ද, අනල්ප වූ වස්ත්‍ර කෝටි ද දී, බුදුරදුන්ට (රන්දැල් ආදීන්) සරසන ලද හස්තියානයක් දිනිමි.
kn-bv:192.12
11. හස්තියානය ප්‍රමාණ කොට (ඇතු උසට) කප්පියභාණ්ඩ පූජා කෙළෙමි. නිරතුරු දැඩිව එළැඹ සිටි මා ගේ මනස පිරීමි.
kn-bv:194.1
12. ලෝකාග්‍රනායක වූ ඒ සිඛී බුදුහු දු මේ තෙමේ මෙයින් එක්තිස්වන කල්පයෙහි බුදු වන්නේ ය’යි මට විවරණ දුන්හ.
kn-bv:194.2
13. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කර ක්‍රියා කොට–
kn-bv:194.3
14. එ තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට පැමිණෙන්නනාහ.