Buddhavaṁsa

Chronicle of the Buddhas

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 1373

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT113. යථා නික්ඛන්තසයනස්ස සීහස්ස නදනං ධුවං තථෙව බුද්ධසෙට්ඨානං වචනං ධුවසස්සතං විතථං නත්ථි බුද්ධානං ධුවං බුද්ධො භවාමහං.
Sinhala BJT113. මෙසේ ශයනයෙන් නික්මුණු සිංහයාගේ නාද කිරීම ඒකාන්ත වේ ද එසෙයින් මැ බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ වචනය ඒකාන්ත ශාශ්වත වෙයි. බුදුවරයන් ගේ අතථ්‍ය බසෙක් නැති, නියතයෙන් මම් බුදු වෙමි.
Pali BJT114. යථා ආපන්නසත්තානං භාරමොරොනං ධුවං තථෙව බුද්ධසෙට්ඨානං වචනං ධුවසස්සතං විතථං නත්ථි බුද්ධානං ධුවං බුද්ධො භවාමහං
Sinhala BJT114. යම්සේ ආපන්නසත්ත්‍ව (ගැබිනි) යන්ගේ ප්‍රසූතිය ඒකාන්ත වේ ද එසෙයින් මැ බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ වචනය ඒකාන්ත ශාශ්වත වෙයි. බුදුවරයන්ගේ අතථ්‍ය බසෙක් නැති. (එයින්) මම් නියතයෙන් බුදුවෙමි.
Pali BJT115. හන්ද බුද්ධකරෙ ධම්මෙ විවිනාමි ඉතො චිතො උද්ධං අධො දසදිසා යාවතා ධම්මධාතුයා,
Sinhala BJT115. උඩ දෙව්ලොව යැ යට මිනිස්ලොව යැ දශදිශායෙහි යැ යන ධර්‍මධාතුව හිම් කොට ඔබිනොබ බුදුකුරු දහම් සොයම් නම් මැනැවි.
Pali BJT116. විචිනන්තො තදා දක්ඛිං{1} පඨමං දානපාරමිං පුබ්බකෙහි මහෙසීහි අනුචිණ්ණං මහාපථං.
Sinhala BJT116. එකල්හි (බුදුකුරු දහම්) විමසනුයෙම් මහර්ෂී වූ පූර්‍ව බෝසතුන් විසින් ඇසුරු කළ (සම්බෝධියට) මහාමාර්‍ග වූ පළමු වන දානපාරමීතාව දිටිමි.
Pali BJT117. ඉමං ත්වං පඨමං තාව දළ්හං කත්වා සමාදිය දානපාරමිතං ගච්ඡ යදි බොධිං පත්තුමිච්ඡසි.
Sinhala BJT117. ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට රිසියවු නම් පළමු කොට මේ දානපාරමිතාව දැඩි කොට සමාදන් වැ දානපාරාමිතාව පූරණය කරව. හෙවත් දානයාගේ පරතෙරට යව.
Pali BJT118. යථා’පි කුම්භො සම්පුණ්ණො යස්ස කස්සචි අධොකතො වමතෙ උදකං නිස්සෙසං න තත්ථ පරිරක්ඛති
Sinhala BJT118. යම්සේ (දිය කිරි ඈ) යම් කිසිවකින් පරිපූර්‍ණ වූ කුම්භයෙක් යටිහුරු කරන ලදුයේ දිය නිරවශේෂ කොට වගුරුවා ද, එහි නො රැඳේ ද,
Pali BJT119. තථෙව යාචකෙ දිස්වා හීනමුක්කට්ඨමජ්ඣිමෙ දදාහි දානං නිස්සෙසං කුම්භො විය අධොකතො
Sinhala BJT119. එසෙයින් මැ හීනෝත්කෘෂ්ටමධ්‍යම වූ යාචකයන් දැක යටිහුරු කළ කළයක් සෙයින් නිරවශේෂ කොට දන් දෙව.
Pali BJT120. න හෙ තෙ එත්තකායෙව බුද්ධධම්මා භවිස්සරෙ අඤ්ඤෙ’පි විචිනිස්සාමි යෙ ධම්මා බොධිපාචනා
Sinhala BJT120. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නො වන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු ද ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
Pali BJT121. විචිනන්තො තදාදක්ඛිං{1} දුතියං සීලපාරමිං පුබ්බකෙහි මහෙසීහි අසෙවිතනිසෙවිතං.
Sinhala BJT121. එකල්හි සොයන්නෙම් මහර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ දෙවැනි ශීලපාරමිතාව දිටිමි.
Pali BJT122. ඉමං ත්වං දුතියං තාව දළ්හං කත්වා සමාදිය සීලපාරමිතං ගච්ඡ යදි බොධිං පත්තුමිච්ඡසි.
Sinhala BJT122. ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට රිසියවු නම් දෙ වැනි වූ මේ ශීලපාරමිතාව දැඩි කොට සමාදන් වැ ශීලපාරමිතාව පූරණය කරව හෙවත් ශීලයාගේ පරතෙරට යව.
Pali BJT123. යථාපි චමරී වාලං{2} කිස්මිචි{3} පතිලග්ගිතං උපෙති මරණං තත්ථ න විකොපෙති වාලධිං.
Sinhala BJT123. යම්සේ සෙමෙරමුව තෙමේ වලක් කිසිවෙක්හි ලැගුණේ වාලධිය නො සිඳී ද එහි මැ මරණයට පැමිණේ ද–
Pali BJT124. තථෙව ත්වං චතුසු භූමිසු සීලානි පරිපූරය පරිරක්ඛ සබ්බදා සීලං චමරී විය වාලධිං.
Sinhala BJT124. එ සෙයින් මැ තෙපි (ප්‍රාතිමෝක්‍ෂ සංවරාදි) සිව් බිම්හි සිල් පුරව, සෙමෙරමුව වාලධිය සෙයින් හැම කල්හි ශීලය රක්‍ෂා කරව.
Pali BJT125. න හෙතෙ එත්තකායෙව බුද්ධධම්මා භවිස්සරෙ අඤ්ඤෙ’පි විචිනිස්සාමි යෙ ධම්මා බොධිපාචනා.
Sinhala BJT125. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නො වන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු ද ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
Pali BJT126. විචිනන්තො තදා දක්ඛිං තතියං නෙක්ඛම්මපාරමිං පුබ්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.
Sinhala BJT126. එකල්හි සොයන්නෙම් මහර්ෂී වූ පෙර බෝසතුන් විසින් භාවිත බහුලීකෘත වූ තුන් වැනි නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව දිටිමි.
Pali BJT127. ඉමං ත්වං තතියං තාව දළ්හං කත්වා සමාදිය නෙක්ඛම්මපාරමි{1} ගච්ඡ යදි බොධිං පත්තුමිච්ඡසි.
Sinhala BJT127. ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට රිසියෙවු නම් තුන්වැනි වූ මේ නෛෂ්ක්‍රම්‍යපාරමිතාව දැඩි කොට සමාදන් වැ ශීලපාරමිතාව පූරණය කරව හෙවත් නෛෂ්ක්‍රම්‍යයාගේ පරතෙරට යව.
Pali BJT128. යථා අන්දුඝරෙ පුරිසො චිරවුත්ථො දුඛද්දිතො ත තත්ථ රාගං අභිජනෙති මුත්තිං යෙව ගවෙසති.
Sinhala BJT128. යම්සේ බන්‍ධනාගාරයෙහි බොහෝ කල් විසූ දුකින් පීඩිත වූ පුරුෂයෙක් එහි ඇලුම් නූපදවා ද මිදීම මැ සොයා ද–
Pali BJT129. තථෙව ත්වං සබ්බභවෙ පස්ස අන්දුඝරෙ විය නෙක්ඛම්මාභිමුඛො හොහි භවතො පරිමුත්තියා.
Sinhala BJT129. එසෙයින් මැ තෙපි කාමාදි සියලු භවයන් බන්‍ධනාගාරයන් සෙයින් දක්ව, භවයෙන් මිදීම සඳහා නෛෂ්ක්‍රම්‍යයට අභිමුඛ වව.
Pali BJT130. න හෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ අඤ්ඤෙ’පි විචිනිස්සාමි යෙ ධම්මා බොධිපාචනා.
Sinhala BJT130. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නොවන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරුවන්නාහු ද ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
Pali BJT131. විචිනන්තො තදා දක්ඛිං චතුත්ථං පඤ්ඤාපාරමිං පුබ්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.
Sinhala BJT131. විමසනුයෙම් මහර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ ප්‍රඥාපාරමිතාව දිටිමි.
Pali BJT132. ඉමං ත්වං චතුත්ථං තාව දළ්හං කත්වා සමාදිය පඤ්ඤාපාරමිතං{2} ගච්ඡ යදි බොධිං පත්තුමිච්ඡසි.
Sinhala BJT132. ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට රිසියවු නම් සතර වැනි වූ මේ ප්‍රඥාමිතාව දැඩිකොට සමාදන් වැ ප්‍රඥාපාරමිතාව පුරව.
Pali BJT133. යථා’පි{3} භික්ඛු භික්ඛන්තො හීනමුක්කට්ඨමජ්ඣිමෙ කුලානි න විවජ්ජෙන්තො එවං ලභති යාපනං.
Sinhala BJT133. යම්සේ මහණ පිඬුසිඟා යනුයේ හීනෝත්කෘෂ්ට මධ්‍යම වූ කුලයන් නො හරනේ මෙසේ යැපෙන පමණ අහර ලබා ද,
Pali BJT134. තථෙව ත්වං සබ්බකාලං පරිපුච්ඡන්තො බුධං ජනං පඤ්ඤාපාරමිතං{2} ගන්ත්වා සම්බොධිං පාපුණිස්සසි.
Sinhala BJT134. එසෙයින් මැ තෙපි හැම කල්හි පණ්ඩිත ජනයා පුළුවුස්නහු ප්‍රඥා පාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
Pali BJT135. න හෙතෙ එත්තකායෙව බුද්ධධම්මා භවිස්සරෙ අඤ්ඤෙපි විචිනිස්සාමි යෙ ධම්මා බොධිපාචනා.
Sinhala BJT135. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නො වන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු ද ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
Pali BJT136. විචිනන්තො තදා දක්ඛිං පඤ්චමිං විරිය පාරමිං{4} පුබ්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.
Sinhala BJT136. එකල්හි විමසනුයෙම් පෙර මහර්ෂී වූ බෝධිසත්ත්‍වයන් විසින් ආදරයෙන් සෙවුනා ලද නිරතුරු සෙවුනා ලද පස් වැනි වූ වීර්‍ය්‍ය පාරමිතාව දිටිමි.
Pali BJT137. ඉමං ත්වං පඤ්චමං තාව දළ්හං කත්වා සමාදිය විරිය පාරමිතං ගච්ඡ යදි බොධිං පත්තුමිච්ඡසි.
Sinhala BJT137. ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට රිසියවු නම් පස් වැනි වූ මේ වීර්‍ය්‍යපාරමිතාව දැඩි කොට සමාදන් වැ වීර්‍ය්‍යපාරමිතාව සම්පූර්‍ණ කරව.
Pali BJT138. යථා’පි සීහො මිගරාජා නිසජ්ජට්ඨානචඞ්කමෙ අලීනචිරියො හොති පග්ගහිතමනො තදා
Sinhala BJT138. යම්සේ සිංහමෘගරාජතෙමේ හිඳීම් – සිටීම් – සක්මන්හි නො පසුබස්නා වීර්‍ය්‍ය ඇත්තේ දැඩි කොට ගන්නා ලද සිත් ඇත්තේ වේ ද.
Pali BJT139. තථෙව ත්වං{1} සබ්බභවෙ පග්ගණ්හ විරියං දළ්හං විරියපාරමිතං ගන්ත්වා සම්බොධිං පාපුණිස්සසි.
Sinhala BJT139. එසෙයින් මැ තෙපි (උපනුපන්) හැම භවයෙහි වීර්‍ය්‍යය දැඩි කොට ගන්ව, වීර්‍ය්‍ය පාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
Pali BJT140. න හෙතෙ එත්තකායෙව බුද්ධධම්මා භවිස්සරෙ අඤ්ඤෙ’පි විචිනිස්සාමි යෙ ධම්මා බොධිපාචනා.
Sinhala BJT140. යම් හෙයෙකින් තෙල බුදුකුරුදහම්හු මෙතෙක් මැ නො වන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු නම් ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
Pali BJT141. විචිනන්තො තදා දක්ඛිං ඡට්ඨමං ඛන්තිපාරමිං පුබ්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.
Sinhala BJT141. එකල්හි විමසනුයෙම් මහර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ ස වැනි ක්‍ෂාන්තිපාරමිතාව දිටිමි.
Pali BJT142. ඉමං ත්වං ඡට්ඨමං තාව දළ්හං කත්වා සමාදිය තත්ථ අද්වෙජ්ඣමනසො{2} සම්බොධිං පාපුණිස්සසි.
Sinhala BJT142. තෙපි මේ සවැනි ක්‍ෂාන්තිපාරමිතාව දැඩි කොට සමාදන් වැ ගෙන ඒ ක්‍ෂාන්තියෙහි ඒකාන්ත සිත් ඇතියහු සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
Pali BJT143. යථා’පි පඨවී{3} නාම සුචිම්පි අසුචිම්පි ච සබ්බං සහති නික්ඛෙපං න කරොති පටිඝං දයං{4}
Sinhala BJT143. යම්සේ පෘථිවිය නම් බහාලන ලද සඳුන් ආදි පවිත්‍රය ද කුණපාදි අපවිත්‍රය ද යන සියල්ල ඉවසා ද (ඒ සුචි අසුචි නික්‍ෂේපයෙන්) කෝප ස්නේහ නො කෙරේ ද.
Pali BJT144. තථෙ’ව ත්වම්පි සබ්බෙසං සම්මානාවමානක්ඛමො{5} ඛන්තිපාරමිතං ගන්ත්වා සම්බොධිං පාපුණිස්සසි.
Sinhala BJT144. එ සෙයින් මැ තෙපිදු සියල්ලන්ගේ බුහුමන් අවමන් ඉවසනුවහු ක්‍ෂාන්තිපාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
Pali BJT145. න හෙතෙ එත්තකායෙව බුද්ධධම්මා භවිස්සරෙ අඤ්ඤෙපි විචිනිස්සාමි යෙ ධම්මා බොධිපාචනා.
Sinhala BJT145. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නො වන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු නම් ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
Pali BJT146. විචිනන්තො තදා දක්ඛිං සත්තමං සච්චපාරමිං පුබ්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.
Sinhala BJT146. එකල්හි විමසනුයෙම් මහර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ සත් වැනි සත්‍යපාරමිතාව දිටිමි.
Pali BJT147. ඉමං ත්වං සත්තමං තාව දළ්හං කත්වා සමාදිය තත්ථ අද්වෙජ්ඣවචනො සම්බොධිං පාපුණිස්සසි.
Sinhala BJT147. තෙපි මේ සත් වැනි සත්‍යපාරමිතාව දැඩිකොට සමාදන් වැ ගෙන ඒ සත්‍යපාරමිතායෙහි අතථ්‍යවචන රහිත වූවහු සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
Pali BJT148. යථා’පි ඔසධී නාම තුලාභූතා සදෙවකෙ සමයෙ උතුවස්සෙ{1} වා නෙවොක්කමති{2} වීථිතො.
Sinhala BJT148. යම්සේ ඕසධීතාරකා නම් සදේවක ලෝකයාහට තුලා සදෘශ වූවා වැසි කල්හිදු හිමත් ගිමන් කල්හිදු ගමන වීථියෙන් ඉවත් වැ නො යේ ද නොහොත් සදේවකලෝකයාහට ප්‍රාණාරක්‍ෂායෙහි ප්‍රමාණ වූ සිඟුරු මිරිස් ආදිය ඵලදාන සමයෙහි තත් තත් රෝගෝපශම විධියෙන් නො ඉක්මැ පවතී ද,
Pali BJT149. තථෙ’ව ත්වම්පි සච්චෙසු මා ඔක්කමි හි{3} වීථිතො සච්චපාරමිතං ගන්ත්වා සම්බොධිං පාපුණිස්සසි.
Sinhala BJT149. එසෙයින් තෙපිදු සත්‍යයෙහි වීථියෙන් නො ඉක්මෙව. සත්‍ය පාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
Pali BJT150. න හෙතෙ එත්තකායෙව බුද්ධධම්මා භවිස්සරෙ අඤ්ඤෙ’පි විචිනිස්සාමි යෙ ධම්මා බොධිපාචනා.
Sinhala BJT150. යම් හෙයෙකින් තෙල බුදුකුරුදහම්හු මෙතෙක්මැ නොවන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු නම් ඒ අනෙකුදු බුදුකුරුදහම් සොයන්නෙමි.
Pali BJT151. විචිනන්තො තදා දක්ඛිං අට්ඨමං අධිට්ඨානපාරමිං පුබ්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.
Sinhala BJT151. එකල්හි විමසනුයෙම් මහර්ෂී පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ අටවැනි අධිෂ්ඨානපාරමිතාව දිටිමි.
Pali BJT152. ඉමං ත්වං අට්ඨමං තාව දළ්හං කත්වා සමාදිය තත්ථ ත්වං අචලො හුත්වා සම්බොධිං පාපුණිස්සසි.
Sinhala BJT152. තෙපි මේ අටවැනි පාරමිතාව දැඩි කොට සමාදන් වැ ගෙන ඒ අධිෂ්ඨානපාරමිතායෙහි නිශ්චල වැ සිට සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
Pali BJT153. යථා’පි පබ්බතො සෙලො අචලො සුප්පතිට්ඨිතො න කම්පති භුසවාතෙහි සකට්ඨානෙ’ව තිට්ඨති.
Sinhala BJT153. යම්සේ ශෛලපර්‍වතයෙක් අචල වූයේ එහෙයින් මැ මොනොවට පිහිටියේ සැඬ පවනින් නො සැලේ ද තමා සිටිතැන්හි මැ සිටී ද,
Pali BJT154. තථෙ’ච ත්වම්පි අධිට්ඨානෙ සබ්බදා අචලො භව අධිට්ඨානපාරමිං{4} ගන්ත්වා සම්බොධිං පාපුණිස්සසි.
Sinhala BJT154. එසෙයින් මැ තෙපි අධිෂ්ඨානයෙහි හැම කල්හි නිශ්චල වව. අධිෂ්ඨානපාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
Pali BJT155. න හෙතෙ එත්තකායෙව බුද්ධධම්මා භවිස්සරෙ අඤ්ඤෙ’පි විචිනිස්සාමි යෙ ධම්මා බොධිපාචනා.
Sinhala BJT155. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නොවන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරුවන්නාහු නම් ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
Pali BJT156. විචිනන්තො තදා දක්ඛිං නවමං මෙත්තාපාරමිං පුබ්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.
Sinhala BJT156. එකල්හි විමසනුයෙම් මහාර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ නව වැනි මෛත්‍රීපාරමිතාව දිටිමි.
Pali BJT157. ඉමං ත්වං නවමං තාව දළ්හං කත්වා සමාදිය මෙත්තාය අසමො හොහි යදි බොධිං පත්තුමිච්ඡසි.
Sinhala BJT157. තෙපි මේ නව වැනි මෙත්‍රී පාරමිතාව දැඩි කොට සමාදන් වැ ගෙන ඉදින් සම්‍යක් සම්බෝධියට පැමිණෙනු රිසියවු නම් මෛත්‍රීභාවනායෙහි අසම වව.
Pali BJT158. යථා’පි උදකං නාම කල්යාණෙ පාපකෙ ජනෙ සමං ඵරති සීතෙන පවාහෙති රජොමලං.{5}
Sinhala BJT158. යම්සේ ජලය නම් කල්‍යාණ වූ ද පාපක වූ ද ජනයන් සිහිල් ගුණයෙන් සම වැ ස්පර්‍ශ කෙරේ ද රජස්මල ආදිය පවිත්‍ර කෙරේ ද–
Pali BJT159. තථෙ’ව ත්වම්පි හිතාහිතෙ{1} සමං මෙත්තාය භාවය මෙත්තාපාරමිතං ගන්ත්වා සම්බොධිං පාපුණිස්සසි.
Sinhala BJT159. එසෙයින් මැ තෙපි දු හිතාහිතයන් කෙරෙහි මෙත්තාභාවනාව සම කොට වඩව. මෛත්‍රීපාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
Pali BJT160. න හෙතෙ එත්තකායෙව බුද්ධධම්මා භවිස්සරෙ අඤ්ඤෙ’පි විචිනිස්සාමි යෙ ධම්මා බොධිපාචනා.
Sinhala BJT160. යම් හෙයෙකින් තෙල බුදුකුරුදහම්හු මෙතෙක් මැ නොවන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරුවන්නාහු නම් ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
Pali BJT161. විචිනන්තො තදා දක්ඛිං දසමං උපෙක්ඛාපාරමිං. පුබ්බකෙහි මහෙසීහි ආසෙවිතනිසෙවිතං.
Sinhala BJT161. එකල්හි විමසනුයෙම් මහර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ දසවැනි උපේක්‍ෂාපාරමිතාව දිටිමි.
Pali BJT162. ඉමං ත්වං අසමං තාව දළ්හං කත්වා සමාදිය තුලාභූතො දළ්හො හුත්වා සම්බොධිං පාපුණිස්සසි.
Sinhala BJT162. තෙපි මේ දස වැනි පාරමිතාව දැඩි කොට සමාදන් වැ ගෙන තුලා (තරාදිය) සදෘස වූවහු දැඩි වැ සිට සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
Pali BJT163. යථා’පි පඨවී{2} නාම නික්ඛිත්තං අසුචිං සුචිං උපෙක්ඛති උභොපෙතෙ කොපානුනයවජ්ජිතා.
Sinhala BJT163. යම් සේ පෘථිවිය නම් බහාලනලද අපවිත්‍රය ද පවිත්‍රය ද යන මෙ දෙක කෝප ය අනුනය යන දෙකින් තොර වැ උපේක්‍ෂා කෙරේ ද–
Pali BJT164. තථෙ’ව ත්වම්පි සුඛදුක්ඛෙ තුලාභූතො සදා භව උපෙක්ඛාපාරමිං ගන්ත්වා සම්බොධිං පාපුණිස්සසි.
Sinhala BJT164. එසෙයින් මැ තෙපිදු හැම කල්හි සුඛදුඃඛයෙහි තුලා සදෘස වව. උපේක්‍ෂාපාරමිතාවට පැමිණ සම්බෝධියට පැමිණෙන්නවු යැ.
Pali BJT165. එත්තකායෙ’ව තෙ ලොකෙ යෙ ධම්මා බොධිපාචනා තතුද්ධං නත්ථි අඤ්ඤත්ර දළ්හං තත්ථ පතිට්ඨහ.
Sinhala BJT165. ලෝකයෙහි යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරුවන්නාහු නම් ඔහු මෙතෙක් මැ යි. ඒ දශපාමීරන් හැර මත්තෙහි අන්‍ය බුද්ධකාරකධර්‍මයෙක් නැති. එහි දැඩිසේ සිටුව.
Pali BJT166. ඉමෙ ධම්මෙ සම්මසතො සභාවසරසලක්ඛණා.{3} ධම්මතෙජෙන වසුධා දසසහස්සී පකම්පථ.
Sinhala BJT166. මේ පාරමීධර්‍මයන් ස්වභාව සඞ්ඛ්‍යාත සරසලක්‍ෂණ හෙයින් සම්මර්‍ශනය කරන්නහුගේ දහම් තෙදින් දසදහසක් සක්වළ පෘථිවිය කම්පා වූ යැ.
Pali BJT167. චලති රවති පඨවී{4} උච්ඡුයන්තං ව පීළිතං{5} තෙලයන්තෙ යථා චක්කං එවං කම්පති මෙදිනී.
Sinhala BJT167. මහපොළොව පෙළනලද උක්යතක් සෙයින් සැලිණ, ගුගුළා ය. මේදිනී තොමෝ තෙලියතෙක සකක් සෙයින් කම්පා වූ ය.
Pali BJT168. යාවතා පරිසා{6} ආසී බුද්ධස්ස පරිවෙසනෙ පවෙධමානා සා තත්ථ මුච්ඡිතා සෙති භූමියං.
Sinhala BJT168. දීපඞ්කර බුදුරදුන් (වළඳවන) දන්හල්හි යම් පමණ පිරිස් කෙනෙක් වූවාහු ද, එහු කම්පා වෙමින් මුසපත් වැ එතැන් හි බිමැ වැතිරැගත්හ.
Pali BJT169. ඝටානෙකසහස්සානි කුම්භීනඤ්ච සතා බහූ සඤ්චුණ්ණා මථිතා තත්ථ අඤ්ඤමඤ්ඤං පඝට්ටිතා.{7}
Sinhala BJT169. නේසුවහස් ගණන් කළ ද බොහෝ සියගණන් සැළ ද එකිනෙක ගැටුණාහු ඇලැළ සුණුවිසුණු වැ ගියහ.
Pali BJT170. උබ්බිග්ගා තසිතා භීතා භන්තා බ්යාධිතමානසා මහාජනා සමාගම්ම දීපඞ්කරමුපාගමුං.
Sinhala BJT170. තැතිගත් සිතැති (එහෙයින්) තැවුණු බියපත් වූ භ්‍රාන්ත වූ පීඩිත සිත් ඇති මහාජනයෝ රැස්වැගෙන දීපඞ්කර බුදුන් කරා එළැඹියාහ.
Pali BJT171. කිං භවිස්සති ලොකස්ස කල්යාණමථ පාපකං සබ්බො උපද්දුතො ලොකො තං විනොදෙහි චක්ඛුම.
Sinhala BJT171. කිමැ (වහන්ස,) ලොවට කල්‍යාණයෙක් හෝ යලි පාපයෙක් හෝ වන්නේ ද, හැම වැසි තෙමෙ උපද්‍රැත විය. පසැස් වූ භාග්‍යවතුන් වහන්ස, ඒ දුරුකළ මැනැව.
Pali BJT172. තෙසං තදා සඤ්ඤපෙසි දීපඞ්කරො මහාමුනි විස්සත්ථා හොථ මා භාථ{1} ඉමස්මිං පඨවිකම්පනෙ.
Sinhala BJT172. එකල්හි මහාමුනි වූ දීපඞ්කර සර්‍වඥයන් වහන්සේ මේ පෘථිවි කම්පනයෙහි (තෙපි) විශ්වස්ත වවු, නහමක් බියපත් වව’යි ඒ ජනයනට මෙසේ හඟවාලූ සේක:
Pali BJT173. යමහං අජ්ජ බ්යාකාසිං බුද්ධො ලොකෙ භවිස්සති එසො සම්මසති ධම්මං පුබ්බකං ජිනසෙවිතං
Sinhala BJT173. ‘මේ තෙමේ මතු ලොවැ බුදු වේ’යයි මම් අද යමක්හට ප්‍රකාශ කෙළෙම් ද, ඒ සුමේධ තවුස් පෙර බුදුවරයන් බෝසත් කලැ සෙවුනා ලද පැරුම් දම් සම්මර්‍ශන කෙරෙයි.
Pali BJT174. තස්ස සම්මසතො ධම්මං බුද්ධභූමිං අසෙසතො තෙනා’යං කම්පිතා පඨවී{2} දසසහස්සී සදෙවකෙ.
Sinhala BJT174. බුදුබවට කාරණ වූ පැරුම්දම් නිරවසෙස්නෙන් සිමිදුනා ඔහුට එකරුණෙන් දෙව්ලෝ සහිත දසදහසක් සක්වළැ මේ පෘථිවිය කම්පා වී යයි.
Pali BJT175. බුද්ධස්ස වචනං සුත්වා මනො නිබ්බායි තාවදෙ සබ්බෙ මං උපසඞ්කම්ම පුනාපි අභිවාදයුං{3}
Sinhala BJT175. බුදුරදුන්ගේ බස් අසා එ කෙණෙහි (ඔවුන්ගේ) සිත නිවිණ. යළිදු ඔහු සියල්ලෝ මා වෙත පැමිණ මට අභිවාදනය කළාහුය.
Pali BJT176. සමාදියිත්වා බුද්ධගුණං දළ්හං කත්වාන මානසං දීපඞ්කරං නමස්සිත්වා ආසනා උට්ඨහිං තදා.
Sinhala BJT176. එකල්හි සිත තරකොට බුදුගුණ (–පැරුම්දම්) සමාදන් ව දිවකුරු බුදුරදුන් වැඳ හුනස්නෙන් නැඟී සිටියෙමි.
Pali BJT177. දිබ්බං මාසුසකං පුප්ඵං දෙවා මානුසකා උභො සමොකිරන්ති පුප්ඵෙහි වුට්ඨාහන්තස්ස ආසනා.
Sinhala BJT177. දෙවියෝ ද මනුෂ්‍යයෝ ද යන දෙපක්‍ෂය (මදාරාදි) දිවමල් ද මිනිස් ලොවැ මල් ද ගෙන ආසනයෙන් නැඟීසිටුනා මා මතුයෙහි මල් වගුරුවාලූහ.
Pali BJT178. වෙදයන්ති ච තෙ සොත්ථිං දෙවා මානුසකා. උභො මහන්තං පත්ථිතං තුය්හං තං ලභස්සු යථිච්ඡිතං.
Sinhala BJT178. ඒ දෙවිමිනිස් යන දෙ පක්‍ෂය “තොප විසින් මහත් වූ තනතුරක් පතන ලද, ඒ තනතුර රිසි සේ ලබව’යි ස්වස්තිභාවය ප්‍රකාශ කළාහු ය.
Pali BJT179. සබ්බීතියො විවජ්ජන්තු සොකො රොගො{4} විනස්සතු මා තෙ භවත්ථවන්තරායො{5} ඵුස ඛිප්පං බොධිමුත්තමං.
Sinhala BJT179. සියලු උවදුරු දුරු වැ සෙත් වේවා ශෝක රෝග නැසීයේවා තොපට අන්තරායෙක් නහම් වේවා, උතුම් වූ සම්‍යක්සම්බෝධිය වහා අවබෝධ කරව’යි.
Pali BJT180. යථා’පි සමයෙ පත්තෙ පුප්ඵන්ති පුප්ඵිනො දුමා තථෙව ත්වං බුද්ධවීර බුද්ධඤාණෙන පුප්ඵසි.
Sinhala BJT180. යම්සේ ඒ ඒ ගස මල් ගන්නා කාලය පැමිණි කල්හි මල් හට ගන්නා වෘක්‍ෂයෝ විකසිත වෙත් ද, මහාවීරයන් වහන්ස, එසෙයිනි තෙපි දු බුද්ධඥානයෙන් ප්‍රබෝධ වෙව.
Pali BJT181. යථා යෙ කෙචි සම්බුද්ධා පූරයුං දසපාරමී තථෙව ත්වං මහාවීර පූරය දසපාරමී.
Sinhala BJT181. යම්සේ යම් කිසි බුදු කෙනෙක් දසපැරුම් පිරුවාහු ද, මහාවීරයන් වහන්ස, එසෙයින්ම තෙපි දසපැරුම් පුරව.
Pali BJT182. යථා යෙ කෙචි සම්බුද්ධා බොධිමණ්ඩම්හි බුජ්ඣරෙ තථෙව ත්වං මහාවීර බුජ්ඣස්සු ජිනබොධියං.
Sinhala BJT182. යම්සේ යම් කිසි සම්බුදු කෙනෙක් බෝමැඩ වැඩහිඳ (සර්‍වඥතාඥානය) අවබෝධ කළාහු ද, මහාවීරයන් වහන්ස, එසෙයින් තෙපිදු බුද්ධබෝධියෙන් නොහොත් සර්‍වඥ බෝධිමූලයෙහි (සිව්සස්) අවාබොධ කළ මැනැව.
Pali BJT183. යථා යෙ කෙචි සම්බුද්ධා ධම්මචක්කං පවත්තයුං තථෙව ත්වං මහාවීර ධම්මචක්කං පවත්තය.
Sinhala BJT183. යම්සේ යම්කිසි සම්බුදු කෙනෙක් දම්සක් පැවැත්වූවාහු ද, මහා වීරයන් වහන්ස, එහෙයින් තෙපි දු දම්සක් පවත්වාලුව මැනැව.
Pali BJT184. පුණ්ණමාසෙ යථා චන්දො පරිසුද්ධො විරොචති තථෙව ත්වං පුණ්ණමනො විරොච දසසහස්සියං.
Sinhala BJT184. යම්සේ පණුරැසිපොහොයෙහි (උපද්‍රවාපගමයෙන්) පරිශුද්ධ වූ සඳු බබළා ද එසෙයින් තෙපි දු පිරිපුන් මනදොළ ඇතියහු දසදහසක් සක්වළැ බැබැළුණ මැනැව.
Pali BJT185. රාහුමුත්තො යථා සුරියො තාපෙන අභිරොචති{1} තථෙව ලොකා මුඤ්චිත්වා විරොච සිරියා තුවං.
Sinhala BJT185. යම්සේ රාහු ග්‍රහයා කෙරෙන් මිදුණු හිරු තෙදින් දිලියේ ද එසෙයින් මැ තෙපි දු ලෝ දහම් හා අලිප්ත වැ බුදුසිරින් බබළනු මැනැව.
Pali BJT186. යථා යා කාචි නදියො ඔසරන්ති මහොදධිං එවං සදෙවකා ලොකා ඔසරන්තු{2} තවන්තිකෙ.
Sinhala BJT186. යම්සේ යම් කිසි නදී කෙනෙක් (වෙත් නම් ඔහු) මහසයුර කරා ගලාබසිත් ද, එසෙයින් දෙවියන් සහිත ලෝවැසියෝ තොප සමීපයට එළැඹෙත්වා.
Pali BJT187. තෙහි ථුතප්පසත්ථො{3} සො දසධම්මෙ සමාදිය තෙ ධම්මෙ පරිපූරෙන්තො පවනං පාවිසී{4} තදාති.
Sinhala BJT187. ඒ දෙවියන් විසින් ස්තූතප්‍රශස්ත වූ ඒ සුමේධ තවුස්හු දස පැරුම් දම් සමාදන් වැ ගෙන එකල්හි ඒ පැරුම්දම් පුරමින් ධම්මක පර්‍වතයෙහි මහවනයට පිවිසියාහ’යි.
Pali BJTසුමෙධකථා නිට්ඨිතා
Sinhala BJTසුමේධකථා නිමි.
Pali BJT1. දීපඞ්කර බුද්ධවංසො
Sinhala BJT1. දීපඞ්කර බුද්ධවංශය
Pali BJT1. තදා තෙ භොජයිත්වාන සසඞ්ඝං ලොකනායකං උපගඤ්ඡුං සරණං තස්ස{1} දීපඞ්කරස්ස සත්ථුනො.
Sinhala BJT1. එකල්හි ඒ රඹගම් වැසියෝ සඞ්ඝයා සහිත වූ ලෝකනායකයන් වහන්සේ වළඳවා ඒ දිවකුරු බුදුන් සරණ ගියාහු ය.
Pali BJT2. සරණාගමනෙ කඤ්චි නිවෙසෙති{2} තථාගතො කඤ්චි පඤ්චසු සීලෙසු සීලෙ දසවිධෙ පරං
Sinhala BJT2. තථාගතයන් වහන්සේ කිසිවක්හු සරණාගමනයෙහි ද, කිසිවක්හු පන්සිල්හි ද, සමහරුන් දශවිධ ශීලයෙහි ද, පිහිටුවූහ.
Pali BJT3. කස්සචි දෙති සාමඤ්ඤං චතුරො ඵලමුත්තමෙ කස්සචි අසමෙ ධම්මෙ දෙති සො පටිසම්භිදා.
Sinhala BJT3. ඒ දිවකුරු බුදුහු කිසිවක්හට සතර ශ්‍රාමණ්‍ය සඞ්ඛ්‍යාත මාර්‍ගය ද, උතුම් වූ සතර ආර්‍ය්‍යඵලය ද දුන්හ, කිසිවක්හට අසම වූ සිව්පිළිසැඹියා දහම් දුන්හ.
Pali BJT4. කස්සචි වරසමාපත්තියො අට්ඨ දෙති නරාසභො තිස්සො කස්සචි විජ්ජායො ඡළභිඤ්ඤා පවෙච්ඡති.
Sinhala BJT4. නරශ්‍රේෂ්ඨ වු සර්‍වඥයන් වහන්සේ කිසිවක්හට උතුම් වූ අටසමවත් දුන්හ. කිසිවක්හට ත්‍රිවිද්‍යා ද ෂඩභිඥාවන් ද දුන්හ.
Pali BJT5. තෙන යොගෙන ජනකායං ඔවදි සො මහාමුනි තෙන විත්ථාරිකං ආසි ලොකනාථස්ස සාසනං
Sinhala BJT5. ඒ මහාමුනි වු සර්‍වඥයන් වහන්සේ ඒ නයින් ජනසමූහයාට අවවාද කළහ. ඒ අවවාදයෙන් ලෝකනාථයන් වහන්සේගේ ශාසනය පතළේ වී.
Pali BJT6. මහාහනූසභක්ඛන්ධො{3} දීපඞ්කරසනාමකො{4}. බහූ ජනෙ තාරයති පරිමොචෙති දුග්ගතිං.
Sinhala BJT6. මහත් වූ (සිංහසදෘස වූ පිරිපුන්) හනු ඇති වෘෂභසදෘස වූ (සමවෘත්ත මනෝඥ) ස්කන්‍ධ ඇති දීපඞ්කර නම් වූ සර්‍වඥයන් වහන්සේ (බුද්ධ වෛනෙය වූ) බොහෝ ජනයන් (සසරින්) තැරැවූහ. දුගතයෙන් මුදාලූහ.
Pali BJT7. බොධනෙය්යං ජනං දිස්වා සතසහස්සෙපි යොජනෙ ඛණෙන උපගන්ත්වාන බොධෙති තං මහාමුනි.
Sinhala BJT7. මහාමුනි වූ සර්‍වඥයන් වහන්සේ සියදහස්යොදුන්හි පවා සිටි සත්‍යාවබෝධයට නිසි වූ ප්‍රජාව දැක ඇසිල්ලෙකින් සමීපයට එළැඹ ඒ ප්‍රජාවට සත්‍යාවබෝධය කැරැවූහ.
Pali BJT8. පඨමාභිසමයෙ බුද්ධො කොටිසතමබොධයි දුතියාභිසමයෙ නාථො නවුතිකොටිමබොධයී.
Sinhala BJT8. දීපඞ්කර බුදුරජාණන් වහන්සේ ප්‍රථමධර්‍මාභිසමයෙහි කෙළසියක් සත්නට සත්‍යාවබෝධය කැරැවූහ. ලෝකස්වාමී වූ බුදුහු ද්විතීය ධර්‍මාභිසමයෙහි (නාරදකූටයෙහි දී) අනූකෙළක් සත්නට සත්‍යාවබෝධය කැරැවූහ.
Pali BJT9. යදා ච දෙවභවනම්හි බුද්ධො ධම්මමදෙසයි නවුතිකොටිසහස්සානං තතියාභිසමයො අහු.
Sinhala BJT9. තවද යම් කලෙක බුදුහු දේවභවනයෙහි වැඩසිට දහම් දෙසූසේක් ද ( එකල්හි) අනූකෙළදහසක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.
Pali BJT10. සන්නිපාතා තයො ආසුං දීපඞ්කරස්ස සත්ථුනො කොටිසතසහස්සානං පඨමො ආසි සමාගමො.
Sinhala BJT10. දීපඞ්කර ශාස්තෲන් වහන්සේට තුන් ශ්‍රාවකසන්නිපාතයෙක් වී, කෙළසියදහසක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
Pali BJT11. පුන නාරදකූටම්හි පවිවෙකගතෙ ජිනෙ ඛීණාසවා වීතමලා සමිංසු සතකොටියො.
Sinhala BJT11. යලි ජිතපඤ්චමාර වූ සර්‍වඥයන් වහන්සේ නාරදකූටයෙහි විවෙක සඳහා වැඩි කල්හි විගත වූ (රාගාදි) මල ඇති සියකෙළක් රහත්හු රැස්වූහ.
Pali BJT12. යම්හි කාලෙ මහාවීරො සුදස්සනසිලුච්චයෙ නවුතිකොටිසහස්සෙහි පවාරෙසි{1} මහාමුනි.
Sinhala BJT12. මහාවීර වූ සර්‍වඥයන් වහන්සේ යම් කලෙක්හි සුදර්‍ශනකූටයෙහි විසූ සේක් ද, (එකල්හි) මහාමුනි වූ බුදුහු අනූකෙළදහසක් (භික්‍ෂූන්) සමග පවාරණය කළ සේක.
Pali BJT13. [අහං තෙන සමයෙන ජටිලො උග්ගතාපනො අන්තලික්ඛම්හි චරණෙ පඤ්චාභිඤ්ඤාසු පාරගූ.{*}]
Sinhala BJT13. (මම් එ සමයෙහි දළමඬුලු ඇති උග්‍ර වූ තපස් ඇති අහස්හි හැසිරෙනසුලු පඤ්චාභිඥාවන්හි තෙරපත් තවුස් වීමි.)
Pali BJT14. දසවීසසහස්සානං ධම්මාභිසමයො අහු එකද්වින්නං අභිසමයා ගණනාතො අසඞ්ඛියා.
Sinhala BJT14. දස – විසිදහසුන්ගේ ද ධර්‍මාභිසමය විය. එක්–දෙ–(තුන්) දෙනකුන්ගේ අභිසමය ගණන් විසින් නො ගිණිය හැක්ක.
Pali BJT15. විත්ථාරිකං බාහුජඤ්ඤං ඉද්ධං ඵීතං අහූ තදා දීපඞ්කරස්ස භගවතො සාසනං සුවිසොධිතං.
Sinhala BJT15. එකල්හි දීපඞ්කර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය (එ බුදුන් විසින්) මොනොවට විශෝධිත වූයේ මහත්ත්‍වයට පැමිණියේ බොහෝ දේවමනුෂ්‍යයන් විසින් නෛර්‍ය්‍යාණිකත්‍වයෙන් දන්නා ලදුයේ (අධිශීලශික්‍ෂාදියෙන්) සමෘද්ධ වූයේ (ස්මෘති සමාධි ආදියෙන්) වැඩුණේ ද වී.
Pali BJT16. චත්තාරිසතසහස්සානි ඡළභිඤ්ඤා මහිද්ධිකා දීපඞ්කරං ලොකවිදුං පරිවාරෙන්ති සබ්බදා.
Sinhala BJT16. ෂඩභිඥ වූ මහත් ඍද්ධි ඇති සාරලක්‍ෂයක් ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු හැම කල්හි දීපඞ්කර බුදුන් පිරිවරා වෙසෙත්,
Pali BJT17. යෙ කෙචි තෙන සමයෙන ජහන්ති මානුසං භවං අප්පත්තමානසා සෙඛා ගරහිතා ව{2} භවන්ති තෙ.
Sinhala BJT17. එසමයෙහි යම් කිසි කෙනෙක් නොපත් අර්‍හත්‍වය ඇති වැ ශෛක්‍ෂ වූවාහු මිනිස් බව පියත් ද, ඔහු ගර්හිත වූවාහු මැ වෙත්.
Pali BJT18. සුපුප්ඵිතං පාවචනං අරහන්තෙහි තාදිහි ඛීණාසවෙහි විමලෙහි උපසොභති සබ්බදා{3}
Sinhala BJT18. (අභිඥා කුසුමයෙන්) සුපිපි ප්‍රවචනශාසනය ලෝදහම්හි තාදී වූ ක්‍ෂීණාස්‍රව වූ විගත රාගාදි මල ඇති රහතුන් විසින් හැම කල්හි සෝභිත වී.
Pali BJT19. නගරං රම්මවතී නාම සුදෙවො නාම ඛත්තියො සුමෙධා නාම ජානිකා දීපඞ්කරස්ස සත්ථුනො.
Sinhala BJT19. දීපඞ්කර ශාස්තෲන් වහන්සේ ගේ ජාතනගරය රම්මවතී නම් විය, ක්‍ෂත්‍රිය වූ සුදේව නම් රජ පිතෘ විය. මවු තොමෝ සුමේධා නම් වූ.
Pali BJT20. දසවස්සසහස්සානි අගාරමජ්ඣ සො{4} වසී හංසා කොඤ්චා මයූරා ච තයො පාසාදමුත්තමා.
Sinhala BJT20. ඒ බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. හංසා යැ කොඤ්චා යැ මයූරා යැ යි උත්තම වූ තුන් ප්‍රාසාදයෝ වූහ.
Pali BJT21. තීණි සතසහානි නාරියො සමලඞ්කතා පදුමා නාම සා නාරී උසභක්ඛන්ධො නාම අත්රජො.
Sinhala BJT21. මොනොවට සැරැසුණු තුන් ලක්‍ෂයක් පරිවාර ස්ත්‍රීහු වූහ, පදුමා නම් ප්‍රසිද්ධ අගබිසෝ වූ උසභක්ඛන්‍ධ නම් කුමාර පුත්‍ර වී.
Pali BJT22. නිමිත්තෙ චතුරො දිස්වා හත්ථියානෙන නික්ඛමි අනූනදසමාසානි පධානං පදහි ජිනො.
Sinhala BJT22. ජින වූ දීපඞ්කර බුදුහු සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් අභිනිෂ්ක්‍රමණ කළහ. අනූන වූ දසමසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍යය කළහ.
Pali BJT23. පධානචාරං චරිත්වාන අබුජ්ඣි මානසං{1} මුනි බ්රහ්මුනා යාචිතො සන්නො දීපඞ්කරො මහාමුනි.
Sinhala BJT23-24. ඒ මුනිහු ප්‍රධන්වීර්‍ය්‍යය කොට අර්‍හත්ඵලය අවබෝධ කළහ. මහාවීර වූ දීපඞ්කර මහාමුනිහු මහබඹහු විසින් අයදනා ලද්දාහු ලක්‍ෂ්මී වාස වූ නන්‍දාරාමයෙහි දම්සක් පැවැත්වූහ. මහරි රුක්මුල්හි වැඩහිඳ තීර්‍ත්‍ථක මර්දනය කළහ.