Pali BJT13. යථා ගූථගතො පුරිසො තළාකං දිස්වාන පූරිතං න ගවෙසති තං තළාකං න දොසො තළාකස්ස සො.
Sinhala BJT13. යම්සේ මල වැකුණු මිනිසෙක් දිය පිරුණු තඩාගයක් දැක ඒ තඩාගය නො සොයා ද ඒ තඩාගයාගේ දෝෂයෙක් නො වේ.
Pali BJT14. එවං කිලෙසමලධොවං{2} විජ්ජන්තෙ අමතන්තළෙ න ගවෙසති තං තළාකං න දොසො අමතන්තළෙ.
Sinhala BJT14. එසෙයින් කෙලෙස්මල දෙවීමෙහි පොහොසත් අමාවිල ඇති කල්හි ඒ අමාවිල නො සොයා නම් අමෘත සඞ්ඛ්‍යාත තඩාගයාගේ දොසෙක් නො වේ.
Pali BJT15. යථා අරීහි පරිරුද්ධො විජ්ජන්තෙ ගමනංපථෙ{3}. න පලායති සො පුරිසො න දොසො අඤ්ජසස්ස සො.
Sinhala BJT15. යම්සේ සතුරන් විසින් අවුරන ලදුයෙක් ගමනට නිසි මඟ ඇති කල්හි ඒ පුරුෂ තෙමේ නො පලායේ නම් ඒ මාර්‍ගයාගේ දොසෙක් නො වේ.
Pali BJT16. එවං කිලෙසපරිරුද්ධො විජ්ජමානෙ සිවෙ පථෙ න ගවෙසති තං මග්ගං න දොසො සිවමඤ්ජසෙ.
Sinhala BJT16. එසෙයින් කෙලෙසුන් විසින් හාත්පසින් අවුරන ලදුයේ නිවන් මඟ ඇති කල්හි ඒ මඟ නො සොයා නම් ඒ නිර්‍වාණමාර්‍ගයාගේ දොසෙක් නො වේ.
Pali BJT17. යථ’පි බ්යාධිතො පුරිසො විජ්ජමානෙ තිකිච්ඡකෙ න තිකිච්ඡාපෙති තං ව්යාධිං න සො දොසො තිකිච්ඡකෙ.
Sinhala BJT17. යම්සේ හටගත් ව්‍යාධි ඇති මිනිසෙක් පිළියම් කරන වෙදකු ඇති කල්හි ඒ ව්‍යාධියට පිළියම් නො කරවා නම් ඒ වෛද්‍යයාගේ දොසෙක් නො වේ.
Pali BJT18. එවං කිලෙසව්යාධීහි දුක්ඛිතො පරිපීළිතො{4}. න ගවෙසති තං ආචරියං න සො දොසො{5}. විනායකෙ.
Sinhala BJT18. එසෙයින් ක්ලේශ නමැති ව්‍යාධීන් විසින් දුකට පැමිණියේ හාත්පසින් පෙළෙන ලදුයේ ඒ මෝක්‍ෂාචාර්‍ය්‍යයා නො සොයා නම් ඒ විනේතෘ වූ ආචාර්‍ය්‍යයාගේ දොසෙක් නො වේ.
Pali BJT19. යථා’පි කුණපං පුරිසො කණ්ඨෙ බද්ධං ජිගුච්ඡිය මොචයිත්වාන ගච්ඡෙය්ය සුඛී සෙරී සයං වසී.
Sinhala BJT19. යම්සේ මිනිසෙක් ගෙලෙහි බද කුණපය ජුගුප්සා කොට හැරපියා සුඛිත වූයේ ස්වෛරී වූයේ ස්වයංවශී වූයේ නික්ම යේ ද,
Pali BJT20. තථෙ’විමං පූතිකායං නානා කුණපසඤ්චයං{6} ඡඩ්ඩයිත්වාන{7} ගච්ඡෙය්යං අනපෙඛො{8} අනත්ථිකො.
Sinhala BJT20. එසෙයින් ම අනේකවිධ කුණපයන් රැස් වූ මේ කුණුකය හැරපියා අපේක්‍ෂා රහිතයෙම් අනර්ත්‍ථී වූයෙම් යන්නෙමි.
Pali BJT21. යථා උච්චාරඨානම්හි{9} කරීසං නරනාරියො ඡඩ්ඩයිත්ථාන{7} ගච්ඡන්ති අනපෙඛා අනත්ථිකා.
Sinhala BJT21. යම්සේ ස්ත්‍රීපුරුෂයෝ ඔවස් කිළියෙහි කරීස (මල) ය අපේක්‍ෂා රහිත වූවාහු අනර්ත්‍ථික වූවාහු හැරපියා යෙද්ද,
Pali BJT22. එවමෙවා’හං ඉමං කායං නානා කුණපපූරිතං ඡඩ්ඩයිත්වාන ගච්ඡිස්සං වච්චං කත්වා යථා කුටිං.
Sinhala BJT22. එසෙයින් මම නන් වැදෑරුම් කුණපයෙන් පිරුණු මේ කය (ස්ත්‍රීපුරුෂයන්) සිරුරුකිස කොට (හැරපියා) යන කුටියා සෙයින් හැරපියා යන්නෙමි.
Pali BJT23. යථා’පි ජජ්ජරං නාවං පලුග්ගං උදකගාහිනිං{1} සාමී ඡඩ්ඩෙත්ව{2} ගච්ඡන්ති අනපෙඛා අනත්ථිකා.
Sinhala BJT23. යම්සේ නැව්හිමියෝ දැදුරු වූ දිය වෑහෙන බිඳුණු නැව අපේක්‍ෂා රහිත වූවාහු අනර්ත්‍ථී වූවාහු හැරපියා යෙද්ද,
Pali BJT24. එවමෙවාහං ඉමං කායං නවච්ඡිද්දං ධුවස්සවං ඡඩ්ඩයිත්වාන ගච්ඡිස්සං ඡින්නනාවං’ව සාමිකා.
Sinhala BJT24. එසෙයින් මම නව සිදුරු ඇති නිරතුරු මල වැගිරෙන මේ කය නැව්හිමියන් දිරාගිය නැවක් මෙන් හැරපියා යන්නෙමි.
Pali BJT25. යථා’පි පුරිසො චොරෙහි ගච්ඡන්තො භණ්ඩමාදිය භණ්ඩච්ඡෙදභයං දිස්වා ඡඩ්ඩයිත්වාන ගච්ඡති.
Sinhala BJT25. යම්සේ මිනිසෙක් රත්නාදි භාණ්ඩ ගෙන සොරුන් සමග යනුයේ භාණ්ඩ අසිඳ ගැනීමෙන් වන බිය දැක හැරපියා යෙත් ද,
Pali BJT26. එවමෙවමයං කායො මහාචොරසමො විය පහායිමං ගමිස්සාමි කුසලච්ඡෙදනා භයා.
Sinhala BJT26. එසෙයින් මැ මේ කය මහසොරකු වැන්න. කුසල්දහම් වොලොගන්නා බියෙන් මේ කය හැරපියා යන්නෙමි.
Pali BJT27. එවා’හං චින්තයිත්වාන නෙකකොටිසතං ධනං නාථානාථානං දත්වාන හිමවන්තමුපාගමිං.
Sinhala BJT27. මම් මෙසේ සිතා නොයෙක් කෙළගණන් ධනය නාථානාථයනට දී හිමවත කරා එළැඹියෙමි.
Pali BJT28. හිමවන්තස්ස අවිදූරෙ{3} ධම්මකො නාම පබ්බතො අස්සමො සුකතො මය්හං පණ්ණසාලා සුමාපිතා.
Sinhala BJT28. හිමවතට නුදුරු තැන ධම්මක නම් පර්‍වතයෙක් වෙයි. (එහි) මට අසපුයෙක් මොනොවට මවන ලද. පන්සලෙකුදු මොනොවට මවන ලදි.
Pali BJT29. චඞ්කමං තත්ථ මාපෙසි පඤ්චදොසවිවජ්ජිතං අට්ඨගුණසමුපෙතං අභිඤ්ඤාබලමාහරිං.
Sinhala BJT29. ඒ අසපුයෙහි පස්වැදෑරුම් (සක්මන්) දොසින් තොර වූ සක්මනක් මැවී. නොහොත් පඤ්චනීවරණ දෝෂයෙන් තොර වූ (පරිශුද්ධතාදි) අෂ්ට ගුණයෙන් යුක්ත වූ අභිඥාබලය ලැබීමි.
Pali BJT30. සාටකං පජහිං තත්ථ නවදොසමුපාගතං වාකචීරං නිවාසෙසිං ද්වාදසගුණමුපාගතං{4}
Sinhala BJT30. එහි දි නව දොසෙකින් යුක්ත වූ (ඇඳි) සළුව හැරපීමි. දොළොස් අනුසසෙකින් යුක්ත වූ වැහැරි සිවුරු හැන්දෙමි.
Pali BJT31. අට්ඨදොසසමාකිණ්ණං පජහිං පණ්ණසාලකං උපාගමිං රුක්ඛමූලං ගුණෙදසහුපාගතං{5}.
Sinhala BJT31. අටදොසෙකින් ගැවැසිගත් පන්සල හැරපිමි. දසගුණයෙකින් යුක්ත වූ රුක්මුලට එළැඹියෙමි.
Pali BJT32. වාපිතං රොපිතං ධඤ්ඤං පජහිං නිරවසෙසතො අනෙකගුණසම්පන්නං පවත්තඵලමාදියිං.
Sinhala BJT32. වපුට නිපන් රෝපණය කොට නිපන් ධ්‍යානය නිරවශේෂයෙන් හළිමි. නොයෙක් ගුණයෙන් යුක්ත වූ, තුවටුයෙන් ගිලිහී වැටුණු ඵල වැළඳීමි.
Pali BJT33. තත්ථ පධානං{6} පදහිං නිසජ්ජට්ඨානචඞ්කමෙ අබ්භන්තරම්හි සත්තාහෙ අභිඤ්ඤාබලමපාපුණිං{7}
Sinhala BJT33. ඒ අසපුවෙහි හිඳීම් සිටීම් සක්මනින් ප්‍රධන් – වීර්‍ය්‍යය කෙළෙමි. සතියක් ඇතුළත අභිඥාබලයට පැමිණියෙමි.
Pali BJT34. එවං මෙ සිද්ධිප්පත්තස්ස වසීභූතස්ස සාසනෙ දීපඞ්කරො නාම ජිනො උප්පජ්ජි ලොකනායකො.
Sinhala BJT34. මෙසෙයින් තාපසශාසනයෙහි වශී වූ මා අභිඥා සිද්ධියට පැමිණි කල්හි ලෝකනායක වූ දීපඞ්කර නම් ජිතපඤ්චමාරයන් වහන්සේ උපන්සේක.
Pali BJT35. උප්පජ්ජන්තෙ ච ජායන්තෙ බුජ්ඣන්තෙ ධම්මදෙසනෙ චතුරො නිමිත්තෙ නාද්දසං ඣානරතිසමප්පිතො.
Sinhala BJT35. (ඔබ) පිළිසිඳගන්නා කල්හි ද මව්කුසින් නික්මෙන කල්හි ද බුදු වන කල්හි ද දම්සක් පවත්වන කල්හි ද (මම්) ධ්‍යානරතියෙහි ඇලුනෙම් සතර තැන්හි දෙතිස් පෙරනිමිති නො දිටිමි.
Pali BJT36. පච්චන්තදෙසවිසයෙ නිමන්තෙත්වා තථාගතං තස්ස ආගමනං මග්ගං සොධෙන්ති තුට්ඨමානසා.
Sinhala BJT36. පසල් දනවියෙහි ජනයෝ තථාගතයන් පවරා තුටුසිත් ඇත්තාහු ඔබ වඩනා මඟ ශුද්ධ කෙරෙති.
Pali BJT37. අහං තෙන සමයෙන නික්ඛමිත්වා සකස්සමා ධුනන්තො වාකචීරානි ගච්ඡාමි අම්බරෙ තදා.
Sinhala BJT37. එකල්හි මම් සිය අසපුයෙන් නික්ම එදවස් වැහැරි සලමින් අහස්හි යෙමි.
Pali BJT38. වෙදජාතං ජනං දිස්වා තුට්ඨහට්ඨං පමොදිතං ඔරොහිත්වාන ගගනා මානුසෙ පුච්ඡිං තාවදෙ.
Sinhala BJT38. හටගත් සොම්නස් ඇති තුටුපහටු වූ ප්‍රමුදිත වූ ජනයා දැක එකෙණෙහිම අහසින් බැස මිනිසුන් විචාළෙමි.
Pali BJT39. තුට්ඨහට්ඨො පමුදිතො “වෙදජාතො මහාජනො කස්ස සොධීයති මග්ගො අඤ්ජසං වටුමායනං.
Sinhala BJT39. තුටුපහටු වූ ප්‍රමුදිත වූ හටගත් සොම්නස් ඇති මහාජන තෙමේ (මාර්‍ගය ශුද්ධ කෙරෙයි. තොප විසින්) අඤ්ජස වටුම අයන සඞ්ඛ්‍යාත වූ මාර්‍ගය කවරක්හට ශුද්ධ කරනු ලැබේ ද?
Pali BJT40. තෙ මෙ පුට්ඨා බ්යාකරිංසු{1} බුද්ධො ලොකෙ අනුත්තරො දීපඞ්කරො නාම ජිනො උප්පජ්ජී ලොකනායකො. තස්ස සොධීයතො මග්ගො{2} අඤ්ජසං වටුමායනං.
Sinhala BJT40. මා විසින් පුළුවුස්නා ලද ඔහු මෙසේ පැවැසූහ: ලොවැ අනුත්තර වූ සම්‍යක්සම්බුද්ධ වූ ලෝකනායක වූ දීපඞ්කර නම් ජිතපඤ්චමාර වූ බුදුහු උපන්හ, ඔබට අඤ්ජස වටුම අයන සඞ්ඛ්‍යාත මාර්‍ගය ශුද්ධ කරනු ලැබේ’ යයි.
Pali BJT41. බුද්ධො’ති මම සුත්වාන පීති උප්පජ්ජි තාවදෙ ‘බුද්ධො බුද්ධො’ති කථයන්තො සොමනස්සං පවෙදයිං.
Sinhala BJT41. ‘බුද්ධ’ යනු අසා එකෙණෙහි මට ප්‍රීති උපන. ‘බුද්ධෝ බුද්ධෝ’ යි කියමින් සොම්නස් වින්දෙමි.
Pali BJT42. තත්ථ ඨත්වා විචින්තෙසිං තුට්ඨො සංවිග්ගමානසො ඉධ බීජානි රොපිස්සං ඛණො චෙ මා උපච්චගා.
Sinhala BJT42. එහි සිට සතුටු වූයෙම් ප්‍රීතියෙන් විස්මිත සිත් ඇතියෙම් මෙසේ සිතීමි: මේ දීපඞ්කර පින්කෙත්හි කුසල්බිජුවට රෝපණය කරන්නෙමි. ක්‍ෂණසම්පත් නහමක් ඉක්මැ යේවයි.
Pali BJT43. යදි බුද්ධස්ස සොධෙථ එකොකාසං දදාථ මෙ අහම්පි සොධයිස්සාමි අඤ්ජසං වටුමායනං.
Sinhala BJT43. ඉදින් බුදුනට මඟ ශුද්ධ කරවු නම් මට එක් අවකාශයක් දෙව මම ද වටුම අයන සඞ්ඛ්‍යාත මාර්‍ගය ශුද්ධ කරන්නෙමි.
Pali BJT44. අදංසු තෙ මමොකාසං සොධෙතුං අඤ්ජසං තදා ‘බුද්ධො බුද්ධො’ති චින්තෙන්තො මග්ගං සොධෙමහං තදා.
Sinhala BJT44. එකල්හි ඔහු මට මඟ ශුද්ධ කරනු සඳහා එක් පෙදෙසක් දුන්හු. එකල්හි මම් ‘බුද්ධෝ බුද්ධෝ’ යි සිතමින් මඟ ශුද්ධ කෙරෙමි.
Pali BJT45. අනිට්ඨිතෙ මමොකාසෙ දීපඞ්කරො මහාමුනි චතූහි සතසහස්සෙහි ඡළභිඤ්ඤෙහි තාදිහි ඛීණාසවෙහි විමලෙහි පටිපජ්ජි අඤ්ජසං ජිනො.
Sinhala BJT45. මාගේ මාර්‍ග කොට්ඨාශය කොට නො නිමි කල්හි මහාමුනි වූ පස්මරුන් දිනූ දීපඞ්කර සර්‍වඥයන් වහන්සේ ෂඩභිඥ වූ තාදී ගුණ ඇති පහවූ රාගාදි මල ඇති සාරලක්‍ෂයක් රහතුන් සමග මඟට පිළිපන් සේක.
Pali BJT46. පච්චුග්ගමනා වත්තන්ති වජ්ජන්ති භෙරියො බහු අමොදිතා නරමරූ සාධුකාරං පවත්තයුං.
Sinhala BJT46. සතුටු වූ දේවමනුෂ්‍යයෝ පෙරගමන් කෙරෙති, බොහෝ බෙර වයති, සාධුකාර පවත්වති.
Pali BJT47. දෙවා මනුස්සෙ පස්සන්ති මනුස්සාපි ච දෙවතා උභො’පි තෙ පඤ්ජලිකා අනුයන්ති තථාගතං.
Sinhala BJT47. දෙවියෝ මිනිසුන් දකිති, මනුෂ්‍යයෝත් දෙවියන් දකිති, එ දෙව් මිනිස් දෙපස මැ ඇඳිලි බැඳ තථාගතයන් පසුපස්හි යෙති.
Pali BJT48. දෙවා දිබ්බෙහි තුරියෙහි මනුස්සා මානුසෙහි{1} ච උභො’පි තෙ වජ්ජයන්තා අනුයන්තී තථාගතං.
Sinhala BJT48. දෙවියෝ දිව්‍යතූර්‍ය්‍යයෙන් ද මනුෂ්‍යයෝ මානුෂක තූර්‍ය්‍යයෙන් ද ඒ දෙපක්‍ෂයෙහි වූවෝ වාදනය කෙරෙමින් තථාගතයන් පසුපස්හි යෙති.
Pali BJT49. දිබ්බං මන්දාරවං පුප්ඵං පදුමං පාරිච්ඡත්තකං දිසො දිසං ඔකිරන්ති ආකාසනභගතා මරූ.
Sinhala BJT49. ආකාශ සඞ්ඛ්‍යාත නහස්හි නොහොත් අහස්හි ද දෙව්ලොව්හි ද වූ දෙවියෝ දිව මදාරා මල් ද පියුම් ද පරසතු මල් ද ඒ ඒ දෙසින් විසුරුවත්.
Pali BJT50. චම්පකං සලලං නීපං නාගපුන්නාගකෙතකං දිසො දිසං උක්ඛිපන්ති භූමිතලගතා නරා.
Sinhala BJT50. පොළෝ තෙලෙහි වූ මනුෂ්‍යයෝ සපුමල් ද සරල (හොර) කුසුම් ද කොළොම්මල් ද නා– දොඹ– වැටකේ මල් ද ඒ ඒ දෙසින් නඟත්.
Pali BJT51. කෙසෙ මුඤ්චිත්වහං තත්ථ වාකචීරඤ්ච චම්මකං කලලෙ පත්ථරිත්ථාන අවකුජ්ජො නිපජ්ජහං.
Sinhala BJT51. මම එහි හිසකෙස් මුදා වැහැරි සම්කඩ ද කලල්මත වතුරුවා අධෝමුඛ යැ හොත්මි.
Pali BJT52. අක්කමිත්වාන මං බුද්ධො සහ සිස්සෙහි ගච්ඡතු මා නං කලලෙ අක්කමිත්ථො හිතාය මෙ භවිස්සති.
Sinhala BJT52. බුදුහු මා ඇක්මගෙන අතැවැසියන් සමග වඩනාසේක්වා. නහමක් කලල්හි ඇක්මෙත්වා, ඒ මට බොහෝ කලක් හිත පිණිස වන්නේ යැ.
Pali BJT53. පඨවියං{2} නිපන්නස්ස එවං මෙ ආසි චෙතසො ඉච්ඡමානො අහං අජ්ජ කිලෙසෙ ඣාපයෙ මමං
Sinhala BJT53. පෘථිවියෙහි හොත් මට මෙබඳු වූ චිත්ත පරිවිතර්‍කයෙක් වී: මම අද කැමැති වූයෙම් නම් මාගේ රාගාදි කෙලෙසුන් දවන්නෙමි.
Pali BJT54. කිං මෙ අඤ්ඤාතවෙසෙන ධම්මං සච්ඡිකතෙනිධ සබ්බඤ්ඤුතං පාපුණිත්වා බුද්ධො හෙස්සං සදෙවකෙ.
Sinhala BJT54. මෙ අත්බැව්හි අප්‍රකට වේශයෙන් දහම් පසක් කිරීමෙන් මට කවර ප්‍රයෝජන ද සර්‍වඥතාඥානයට පැමිණ දෙවියන් සහිත ලොවැ බුදු වන්නෙමි.
Pali BJT55. කිං මෙ එකෙන තිණ්ණෙන පුරිසෙන ථාමදස්සිනා සබ්බඤ්ඤුතං පාපුණිත්වා සන්තාරෙස්සං සදෙවකෙ.
Sinhala BJT55. තමාගේ බල දක්නා වූ පිරිනිම්යක් වැ එකලා වැ තරණය කිරීමෙන් මට කවර ප්‍රයෝජන ද? සර්‍වඥතාඥානයට පැමිණ දෙවියන් සහිත ලොවැසියන් තරණය කරවන්නෙම්.
Pali BJT56. ඉමිනා මෙ අධිකාරෙන කතෙන පුරිසුත්තමෙ සබ්බඤ්ඤුතං පාපුණිත්වා{3} තාරෙමි ජනතං බහු.
Sinhala BJT56. පුරුෂෝත්තම වූ බුදුන් කෙරෙහි කරන ලද මාගේ මේ අධික සත්කාරයෙන් සර්‍වඥතාඥානයට පැමිණ බොහෝ ජන සමූහයා (සසරින්) තරවමි.
Pali BJT57. සංසාරසොතං ඡින්දිත්වා විද්ධංසෙත්වා තයො භවෙ ධම්මනාවං සමාරුය්හ සන්තාරෙස්සං සදෙවකෙ.
Sinhala BJT57. සංසාර නමැති ශ්‍රෝතස සිඳ පියා තුන් භවය නසා දහම් නැවට නැඟී දෙවියන් සහිත ලෝකයා තරවන්නෙම්.
Pali BJT58. මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති හෙතු සත්ථාරදස්සනං පබ්බජ්ජාගුණසම්පත්ති අධිකාරො ච ඡන්දතා අට්ඨධම්මසමොධානා අභිනීහාරො සමිජ්ඣති.
Sinhala BJT58. මිනිසත් බව යැ ලිඞ්ගසම්පත් යැ (අර්‍හත්‍වයට) හේතුසම්පන්න බව යැ දිවමන් බුදුන් දැකීම යැ පැවිද්ද යැ අෂ්ටසමාපත්ති සඞ්ඛ්‍යාත ගුණසම්පත් යැ ජීවිතපරිත්‍යාග සඞ්ඛ්‍යාත අධිකාර යැ (බුදුකුරුදහම්හි කළ) කුශලච්ඡන්‍ද ඇති බව යැ යන අට දහමුන් එක්වීම හේතු කොට ගෙන,
Pali BJT59. දීපඞ්කරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො උස්සීසකෙ මං ඨත්වාන ඉදං වචනමබ්රුවි.
Sinhala BJT59. දක්‍ෂිණේය හෙයින් දන් පිළිගන්නා වූ දීපඞ්කර සර්‍වඥයන් වහන්සේ මා හිස්දොර වැඩ සිට මෙවදන් වදාළහ.
Pali BJT60. පස්සථ ඉමං තාපසං ජටිලං උග්ගතාපනං අපරිමෙය්යෙ ඉතො කප්පෙ බුද්ධො ලොකෙ භවිස්සති.
Sinhala BJT60. ජටාධර වූ උග්‍ර වූ තපස් ඇති මේ තවුස්හු බලවු. මෙයින් අප්‍රමේය කල්පයෙහි ලො වැ බුදු වෙයි.
Pali BJT61. අහු{1} කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං{*}
Sinhala BJT61. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් සිත්කලු වූ පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT62. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො{*} තත්ථ පායාසමග්ගය්හ{2} නෙරඤ්ජරමුපෙහිති
Sinhala BJT62. තථාගත තෙම අජපල් නම් රුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට එළැඹෙයි.
Pali BJT63. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය{3} සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලං හි එහිති.
Sinhala BJT63. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්‍ගයෙන් ඇසැතුබෝරුක වෙත එළැඹෙයි.
Pali BJT64. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො{4} අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT64. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායසස් ඇතියේ ඇසැතුරුක්මුල්හි හිඳ බුදුවන්නේ යැ.
Pali BJT65. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT65. මොවුන්ගේ ජනික මව් තොමෝ මායා නම් වන්නී යැ ජනක පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙම ගෞතම නම් වන්නේ යැ.
Pali BJT66. අනාසවා වීතරාගා{5} සන්තචිත්තා සමාහිතා කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා.
Sinhala BJT66. අනාස්‍රව වූ විගතරාග ඇති සන්හුන් සිත් ඇති එකඟ වූ සිත් ඇති කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ.
Pali BJT67. ආනන්දො නාමුපට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා.
Sinhala BJT67. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාරයනට උවටැන් කෙරෙයි, ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ.
Pali BJT68. අනාසවා වීතරාගා{5} සන්තචිත්තා සමාහිතා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT68. ඔවුහු අනාස්‍රව වූවාහු වීතරාග වූවාහු සන්හුන් සිත් ඇත්තාහු සමාහිත වූවාහු වෙති. ඒ භගවත්හුගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබේ.
Pali BJT69. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තූපට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තුපට්ඨිකා. ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT69. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග උවටු වෙති, උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග උවට වෙත්.
Pali BJT70. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT70. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා මේ බුද්ධබීජාඞ්කුරයෙකැ’යි දේවමනුෂ්‍යයෝ සතුටු වූවාහු–
Pali BJT71. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති{1} අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT71. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැසියෝ කළ ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.
Pali BJT72. යදිමස්ස ලොනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT72. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT73. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT73. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙද්ද,
Pali BJT74. එවමෙව මයං සබ්බෙ යදිමුඤ්චාමිමං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT74. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වම්හ.
Pali BJT75. දීපඞ්කරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො මම කම්මං පකිත්තෙත්වා දක්ඛිණං පදමුද්ධරි.
Sinhala BJT75. පූජා පිළිගන්නා වූ දීපඞ්කර නම් බුදුහු මාගේ කර්‍මය ප්‍රකාශ කොට දකුණු පිය නැඟූහ.
Pali BJT76. යෙ තත්ථාසුං ජිනපුත්තා පදක්ඛීණමකංසු මං දෙවා මනුස්සා අසුරා ච අභිවාදෙත්වාන පක්කමුං.
Sinhala BJT76. එහි යම් බුද්ධ පුත්‍ර කෙනෙක් වූවාහු ද ඔහු මා පැදකුණු කළාහු යැ දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද මා අභිවාදන කොට නික්ම ගියාහු යැ.
Pali BJT77. දස්සනං මෙ අතික්කන්තෙ සසඞ්ඝෙ ලොකනායකෙ සයනා වුට්ඨහිත්වාන පල්ලඞ්කමාභුජිං තදා.
Sinhala BJT77. සඞ්ඝයා සහිත වූ ලෝකස්වාමීන් මාගේ දර්‍ශනය ඉක්ම වූ කල්හි ශයනයෙන් නැඟී සිට එකල්හි පලක් බැඳ හුන්මි.
Pali BJT78. සුඛෙන සුඛිතො හොමි පාමොජ්ජෙන පමොදිතො පීතියා ච අභිස්සන්තො පල්ලඞ්කං ආභුජිං තදා.
Sinhala BJT78. එකල්හි කායික චෛතසික සුඛයෙන් සුඛිතයෙම් වෙමි, ප්‍රාමෝද්‍යයෙන් ප්‍රමුදිතයෙමි, ප්‍රීතියෙන් පැතුරුණෙම් පලක් බැඳ හුන්මි.
Pali BJT79. පල්ලඞ්කෙන නිසීදිත්වා එවං චින්තෙසහං තදා වසීභූතො අහං ඣානෙ අභිඤ්ඤාපාරමිං ගතො.
Sinhala BJT79. එකල්හි මම් පලගින් හිඳ මෙසේ සිතීමි: ‘මම් ධ්‍යානයෙහි වශී වූයෙමි, පඤ්චාභිඥායෙහි පරතෙරට ගියෙමි.
Pali BJT80. සහස්සියම්හි ලොකම්හි ඉසයො නත්ථි මෙ සමා අසමො ඉද්ධිධම්මෙසු අලභිං ඊදිසං සුඛං.
Sinhala BJT80. දශසහශ්‍රීලෝකධාතුයෙහි මා හා සම වූ ඍෂිහු නැතැ’යි (පඤ්චවිධ) ඍද්ධිධර්‍මයන්හි අචල වූයෙම් මෙබඳු වූ සොම්නස් ලදිමි.
Pali BJT81. පල්ලඞ්කාභූජෙන මය්හං දසසහස්සාධිවාසිනො මහානාදං පවත්තෙසුං ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT81. මාගේ පලග බැඳීමෙහි ලා දශසහශ්‍රීලෝකධාතු වැසි (මහාබ්‍රාහ්ම) යෝ ‘තෙපි ඒකාන්තයෙන් බුදු වව’යි මහානාද පැවැත්වූහ.
Pali BJT82. යා පුබ්බෙ බොධිසත්තානං පල්ලඞ්කවරමාභුජෙ නිමිත්තානි පදිස්සන්ති තානි අජ්ජ පදීස්සරෙ.
Sinhala BJT82. පෙර බෝසතුන්ගේ උතුම් පලග බැඳුමෙහි යම් නිමිති කෙනෙක් පැනුණාහු ද අද ඒ නිමිතිහු දක්නා ලැබෙත්.
Pali BJT83. සීතං ව්යපගතං හොති උණ්හඤ්ච උපසම්මති තානි අජ්ජ පදිස්සන්ති ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT83. (පෙර බෝසතුන් කලැ) සිහිල් බව පහවැ ගියේ වන, උණුසුම ද සන්හිණ, දැන් ඒ නිමිත්හු දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) ඒකාන්තයෙන් බුදුවන්නවු යැ.
Pali BJT84. දසසහස්සී ලොකධාතු නිස්සද්දා හොති නිරුකුලා තානි අජ්ජ පදිස්සන්ති ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT84. (පෙර බෝසතුන් කෙරෙහි) දසදහසක් සක්වළ නිශ්ශබ්ද වූවා නිරාකූල වී. ඒ පෙරනිමිත්හු අද දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT85. මහාවාතා න වායන්ති න සන්දන්ති සවන්තියො තානි අජ්ජ පදිස්සන්ති ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT85. (පෙර බෝසතුන් කලැ) මහපවන්හු නො හැමූහ, නදීහු නො ගැළූහ. අද ඒ පෙරනිමිත්හු දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT86. ථලජා දකජා පුප්ඵා සබ්බෙ පුප්ඵන්ති තාවදෙ තෙපජ්ජ පුප්ඵිතා සබ්බෙ ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT86. ගොඩ උපදනාවූ ද දියෙහි උපදනාවූ ද හැම මල්හු එකෙණෙහි පිපුණාහ. දැනුදු එ හැම කුසුමයෝ පිපුණාහු. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT87. ලතා වා යදි වා රුක්ඛා ඵලභාරා හොන්ති තාවදෙ තෙපජ්ජ ඵලිතා සබ්බෙ ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT87. ලියහු ද රුක්හු ද එකෙණෙහි පලබර වූහ. දැනුදු එ හැම ලියරුක්හු හටගත් ඵල ඇති වූහ. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT88. ආකාසට්ඨා ච භුම්මට්ඨා රතනා ජොතන්ති තාවදෙ තෙපජ්ජ රතනා ජොතන්ති ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT88. අහස්ගත වූ ද භූමිගත වූ ද (මුතු මැණික් ඈ) රුවන්හු එකෙණෙහි බැබැළූහ. දැනුදු ඒ රුවන්හු බබලති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT89. මානුසකා ච දිබ්බා ච තුරියා වජ්ජන්ති තාවදෙ තෙපජ්ජුභො අභිරවන්ති ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT89. මිනිසුන් අයත් වූ ද දෙවියන් අයත් වූ ද (ආතත–විතතාදි) තූර්‍ය්‍යයෝ එකෙණෙහි වාදනය වූහ. දැනුදු ඒ උභය තූර්‍ය්‍යයයෝ මැනැවින් නාද වෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT90. විචිත්තපුප්ඵා ගගනා අභිවස්සන්ති තාවදෙ තෙපි අජ්ජ පදිස්සන්ති ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT90. විසිතුරු පැහැති සුවඳ කුසුම්හු එකෙණෙහි අහසින් වටහ, දැනුදු ඒ පෙරනිමිත්හු දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT91. මහාසමුද්දො ආභුජති දසසහස්සී පකම්පති තෙපජ්ජුභො අභිරවන්ති ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT91. (පෙර බෝසතුන් කලැ) මහමුහුද හැකිළිණ, දසදහස් ලෝධා සැලිණ, දැනුදු ඒ මුහුදු ලෝකධාතු යන දෙකින් අතිශයින් නාද කෙරෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT92. නිරයෙසු දසසහස්සී{1} අග්ගී නිබ්බන්ති තාවදෙ තෙපජ්ජ නිබ්බුතා අග්ගී ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT92. දස දහසක් ලෝධාහි නිරැවලැ එකෙණෙහි ගිනි නිවිණ, දැනුදු එගිනි නිවීගියේ වන, (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT93. විමලො හොති සුරියො සබ්බා{2} දිස්සන්ති තාරකා තෙ’පි අජ්ජ පදිස්සන්ති ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT93. හිරු නිර්‍මල විය. හැම නකත්තරු පෙනුණාහ. දැනුදු එ පෙර නිමිත්හු දක්නා ලැබෙත්. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT94. අනොවට්ඨෙන උදකං මහියා උබ්හිජ්ජි තාවදෙ තම්පජ්ජුබ්හිජ්ජතෙ මහියා ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT94. නො වට කල්හි මැ එකෙණෙහි මැ පොළොවින් දිය පැන නැඟිණි. දැනුදු එ දිය පොළොවින් පැන නැඟෙයි. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT95. තාරාගණා විරොචන්ති නක්ඛත්තා ගගනමණ්ඩලෙ විසාඛා චන්දිමයුත්තා ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT95. තාරකා සමූහයෝ ද නකත් තරු ද සියලු ගගනමණ්ඩලය ද සඳු හා සමග යෙදුණු විසා නකත් ද බබළති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT96. බිලාසයා දරීසයා නික්ඛමන්ති සකාසයා තෙපජ්ජ ආසයා ඡුද්ධා ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT96. බිලයෙහි හෝනා සත්හු ද ගුහායෙහි හෝනා සත්හු ද ස්වකීය ආසයස්ථානයෙන් නික්මුණාහ. දැනුදු ඔහු ආසයෙන් නික්මුණාහ. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT97. න හොති අරති සත්තානං සන්තුට්ඨා හොන්ති තාවදෙ. තෙපජ්ජ සබ්බෙ සන්තුට්ඨා ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT97. එකෙණෙහි සත්නට උකටලි නො වී යැ. (හැම සත්හු) සතුටු වූහ. දැනුදු එ සියල්ලෝ සතුටු වූවාහ. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT98. රොගා තදුපසම්මන්ති ජිගච්ඡා ච විනස්සති තානි අජ්ජ පදිස්සන්ති ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT98. ඒ පෙර බෝසතුන් කල රෝගයෝ සන්හුන්හ, සාගිනි ද නැසිණ. දැනුදු ඒ පෙරනිමිත්හු දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) ඒකාන්තයෙන් බුදු වන්නවු යැ.
Pali BJT99. රාගො තදා තනු හොති දොසො මොහො විනස්සති තෙ’ පජ්ජ විගතා සබ්බෙ ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT99. එකල්හි කාමරාගය තුනී (පරියුට්ඨාන රහිත) විය. ද්වේෂය ද මෝහය ද නැසිණ. දැනුදු එ සියල්ලෝ ද පහවගියාහ. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT100. භයං තදා න භවති අජ්ජපෙතං පදිස්සති තෙන ලිඞ්ගෙන ජානාම ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT100. ඒ පෙර බෝසතුන් දවස (සත්නට) බියෙක් නො වී. දැනුදු තෙල බිය රහිත බව දක්නා ලැබෙයි. ඇපි එ ලකුණෙන් දනුම්හ, (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT101. රජොනුද්ධංසති උද්ධං අජ්ජපෙතං පදිස්සති තෙන ලිඞ්ගෙන ජානාම ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT101. (පෙර බෝසතුන් කල) රජස් උඩට නොනැඟිණ. දැනුදු තෙල නිමිති දක්නා ලැබෙයි. ඇපි එ ලකුණෙන් දනුම්හ, (තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT102. අනිට්ඨගන්ධො පක්කමති දිබ්බගන්ධෙ පවායති සොපජ්ජ වායති ගන්ධො ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT102. (පෙර බෝසතුන් කලැ) අනිටුගඳ පහවගියේ යැ. දිවසුවඳ හැමී යැ දැනුදු එ දිවසුවඳ හමයි. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT103. සබ්බෙ දෙවා පදිස්සන්ති ඨපයිත්වා අරූපිනො තෙ’පජ්ජ සබ්බෙ දිස්සන්ති ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT103. (පෙර බෝසතුන් කලැ) අරූතල වැසි දෙවියන් තබා හැම දෙවියෝ පැණුනාහ. දැනුදු එ හැම දෙවියෝ පැනෙති (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT104. යාවතා නිරයා නාම සබ්බෙ දිස්සන්ති තාවදෙ තෙ’පජ්ජ සබ්බෙ දිස්සන්ති ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT104. යම් පමණ නිරයෝ නම් වෙත් ද එ හැම එකෙණෙහි පැනුණාහ දැනුදු එ හැම නරකයෝ දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT105. කුඩ්ඩා කවාටා සෙලා ච න හොන්තාවරණා{1} තදා ආකාසභූතා තෙ’ පජ්ජ ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT105. ඒ පෙර බෝසතුන් කල්හි පවුරු ද දොර කවුළු ද පර්‍වත ද ආවරණ නො වීය. දැනුදු ඔහු නිරාවරණ වෙත්. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT106. චුතී ච උපපත්ති ච ඛණෙ තස්මිං න විජ්ජති තානි අජ්ජ පදිස්සන්ති ධුවං බුද්ධො භවිස්සසි.
Sinhala BJT106. එකෙණෙහි මරණ ද ඉපැත්ම ද නො වී. දැන් ඒ පෙර නිමිත්හු දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT107. දළ්හං පග්ගණ්හ විරියං මා නිවත්ති{2} අභික්කම මයම්පෙතං පජානාම ධුවං බුද්ධො භවිස්සසීති.
Sinhala BJT107. වීර්‍ය්‍යය දැඩි කොට ගන්ව, නහමක් නවත්ව, පෙරට යව, ඇපිදු තෙල කරුණු දනුම්හ. (තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
Pali BJT108. බුද්ධස්ස වචනං සුත්වා දසසහස්සීන චූභයං තුට්ඨහට්ඨො{3} පමුදිතො එවං චින්තෙසහං තදා.
Sinhala BJT108. දිවකුරු බුදුන්ගේ ද දසදහසක් සක්වළ දෙවියන්ගේ ද යන දෙපක්‍ෂයෙහි වදන් අසා එකල්හි මම හටු පහටු වූයෙම් සතුටු සිත් ඇත්තෙම් මෙසේ සිතීමි.
Pali BJT109. අද්වෙජ්ඣාවචනා බුද්ධා අමොඝවචනා ජිනා විතථං නත්ථි බුද්ධානං ධුවං බුද්ධො භවාමහං
Sinhala BJT109. බුදුවරයෝ ඒකාන්ත වචන ඇත්තාහ. ජින වූ සර්‍වඥයෝ නො සිස් වචන ඇත්තාහ. බුදුවරයන්ගේ අතථ්‍ය බසෙක් නැති, මම් ඒකාන්තයෙන් බුදු වෙමි.
Pali BJT110. යථා ඛිත්තං නභෙ ලෙඩ්ඩු ධුවං පතති භූමියං තථෙ’ව බුද්ධසෙට්ඨානං වචනං ධුවසස්සතං විතථං නත්ථි බුද්ධානං ධුවං බුද්ධො භවාමහං
Sinhala BJT110. යම්සේ අහස්හි දමන ලද කැටක් ඒකාන්තයෙන් බිම වැටේ ද එසෙයින් මැ බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ වචනය ඒකාන්තයෙන් වනසුලු ද ශාශ්වවත ද වෙයි. බුදුවරයන්ගේ අතථ්‍ය බසෙක් නැති, නියතයෙන් මම් බුදු වෙමි.
Pali BJT111. යථා’පි සබ්බසත්තානං මරණං ධුවසස්සතං තථෙ’ව බුද්ධසෙට්ඨානං වචනං ධුවසස්සතං විතථං නත්ථි බුද්ධානං ධුවං බුද්ධො භවාමහං.
Sinhala BJT111. යම්සේ සියලු සත්නට මරණය ඒකාන්ත ශාශ්වත ද එසෙයින් මැ බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ බස ද ඒකාන්ත ශාශ්වත වෙයි. බුදුවරයන්ගේ අතථ්‍ය බසෙක් නැති. නියතයෙන් මම් බුදු වෙමි.
Pali BJT112. යථා රත්තික්ඛයෙ පත්තෙ සුරියස්සුග්ගමනං ධුවං තථෙ’ව බුද්ධසෙට්ඨානං වචනං ධුවසස්සතං විතථං නත්ථි බුද්ධානං ධුවං බුද්ධො භවාමහං.
Sinhala BJT112. යම්සේ රැය ගෙවීම පැමිණි කල්හි හිරු උදාවීම ඒකාන්ත වේ ද එසෙයින් මැ බුදුවරයන්ගේ වචනය ශාශ්වත වෙයි, බුදුවරයන්ගේ අතථ්‍ය බසෙක් නැති, නියතයෙන් මම් බුදු වෙමි.