Pali BJT36. සො’පි බුද්ධො සට්ඨිරතනො අහු උච්චත්තනෙ{1} ජිනො අනුපමො අසදිසො හිමවා විය දිස්සති.
Sinhala BJT36. පස් මරුන් දිනූ එබුදුහු ද උස්බැව්හි සැටරියන් ඇති වූහ. ඔබ අනුපම අසදෘශ වූවාහු හිමගිරි සෙයින් පැනුණාහ.
Pali BJT37. තස්සා’පි අතුලතෙජස්ස ආයු ආසි අනුත්තරො වස්සසතසහස්සානි ලොකෙ අට්ඨාසි චක්ඛුමා.
Sinhala BJT37. අතුල වූ තේජස් ඇති ඒ තිස්ස බුදුනට ද සුවහසෙක් හවුරුදු ආයු වීය. පසැස් ඇති අනුත්තර බුදුහු එතෙක් කල් ලොවැ වැඩසිටියහ.
Pali BJT38. උත්තමං පවරං සෙට්ඨං අනුභොත්වා මහායසං ජලිත්වා අග්ගික්ඛන්ධො’ව නිබ්බුතො සො සසාවකො.
Sinhala BJT38. ඒ තිස්ස බුදුහු උත්තම වූ ප්‍රවර වූ ශ්‍රේෂ්ඨ වූ මහායසස් අනුභව කොට ගිනිකඳක් සෙයින් දිලිහී ශ්‍රාවකයන් හා සමග පිරිනිවියාහ.
Pali BJT39. වලාහකොව අනිලෙන සුරියෙන විය උස්සාවො අන්ධකාරොව දීපෙන නිබ්බුතො සො සසාවකො.
Sinhala BJT39. පවනින් වලා සෙයින් ද හිරුගෙන් පිනිබිඳු සෙයින් ද පහනින් අඳුර සෙයින් ද එබුදුහු සව්වන් හා සමග පිරිනිවියාහ.
Pali BJT40. තිස්සො ජිනවරො බුද්ධො නන්දාරාමම්හි නිබ්බුතො තත්ථෙ’ව තස්ස ජිනථූපො තීණි යොජනමුස්සිතො’ති.
Sinhala BJT40. ජිනවර වූ තිස්ස බුදුහු නන්‍දාරාමයෙහි පිරිනිවියාහ, එහි මැ උන් වහන්සේගේ ජිනස්තූපය තුන් යොත්නක් උස් කොට බඳවන ලද්දේ යි.
Pali BJTතිස්ස බුද්ධවංසො සත්තරසමො.
Sinhala BJTසතළොස් වැනි තිස්ස බුද්ධවංශය යි.
Pali BJT18. ඵුස්ස බුද්ධවංසො
Sinhala BJT18. ඵුස්ස බුද්ධවංශය
Pali BJT1. තත්ථෙ’ව මණ්ඩකප්පම්හි අහු සත්ථා අනුත්තරො අනුපමො අසදිසො{1} ඵුස්සො ලොකග්ගනායකො.
Sinhala BJT1. එ මැ මණ්ඩ නම් කල්පයෙහි අනුත්තර වූ අනුපම වූ අසදෘශ වූ ලෝකාග්‍රනායක වූ ඵුස්ස නම් ශාස්තෘ කෙනෙක් පහළ වූහ.
Pali BJT2. සො’පි සබ්බං තමං හන්ත්වා විජටෙත්වා මහාජටං සදෙවකං තප්පයන්තො අභිවස්සී අමතම්බුනා.
Sinhala BJT2. ඒ ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේ ද සියලු අවිද්‍යාන්‍ධකාර නසා තෘෂ්ණාව හැරපියා සදේවක ලෝකයා අමෘත සඞ්ඛ්‍යාත දහම් කථා ජලයෙන් පිණවමින් දහම් වැසි වැස් වූහ.
Pali BJT3. ධම්මචක්කං පවත්තෙන්තෙ ඵුස්සෙ නක්ඛත්තමඞ්ගලෙ කොටිසතසහස්සානං පඨමා’භිසමයො අහු.
Sinhala BJT3. නකත්මඟුල් දින ඵුස්ස බුදුන් දම්සක් පවත්වන කල්හි කෙළ ලක්‍ෂයක් සත්නට පළමු වන ධර්‍මාභිසමය වී.
Pali BJT4. නවුතිසතසහස්සානං දුතියා’භිසමයො අහු අසීතිසතසහස්සානං තතියා’භිසමයො අහු.
Sinhala BJT4. අනූලක්‍ෂයක් සත්නට දෙ වැනි ධර්‍මාභිසමය විය, අසූලක්‍ෂයක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.
Pali BJT5. සන්නිපාතා තයො ආසුං ඵුස්සස්ස’පි මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන’තාදිනං.
Sinhala BJT5. මහර්ෂි වූ ඵුස්ස බුදුනට ද විමල වූ ශාන්ත සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රව ශ්‍රාවකයන්ගේ සන්නිපාත තුනෙක් වී.
Pali BJT6. සට්ඨිසතසහස්සානං පඨමො ආසි සමාගමො පඤ්ඤාසසතසහස්සානං දුතියො ආසි සමාගමො.
Sinhala BJT6. සැට ලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වීය, පනස්ලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ද්විතීයසන්නිපාතය වී.
Pali BJT7. චත්තාරීසසතසහස්සානං තතියො ආසි සමාගමො අනුපාදා විමුත්තානාං වොච්ඡින්නපටිසන්ධිනං.
Sinhala BJT7. උපාදා රහිත වැ කෙලෙසුන් කෙරෙන් මිදුණු සිඳහළ ප්‍රතිසන්‍ධි ඇති සතලිස් ලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ තෘතීය සන්නිපාතය වී.
Pali BJT8. අහං තෙන සමයෙන විජිතාවි නාම ඛත්තියො ඡඩ්ඩයිත්වා{2} මහාරජ්ජං පබ්බජිං තස්ස සන්තිකෙ.
Sinhala BJT8. එසමයෙහි මම් විජිතාවී නම් ක්‍ෂත්‍රිය වූයෙම් මහරජය හැරපියා ඒ ඵුස්ස බුදුන් වෙත පැවිදි වීමි.
Pali BJT9. සො’පි මං බුද්ධො ව්යාකාසි ඵුස්සො ලොකග්ගනායකො ඉතො ද්වෙ නවුති{3} කප්පෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT9. ලෝකාග්‍රනායක වූ ඒ ඵුස්ස බුදුරජාණන් වහන්සේ ද ‘මේ තෙම මෙයින් දෙයානූ වන කප්හි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන්සේක.
Pali BJT10. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT10. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිලවාස්තු නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT11. අජපාලරුක්ඛමූලම්හි නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT11. තථාගතයෝ අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
Pali BJT12. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
Sinhala BJT12. ඒ ජින තෙම නිල්දලාහෝතෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙල කළ උතුම් මඟින් බෝමුල වෙත පැමිණෙන්නේය.
Pali BJT13. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT13. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි දී බුදු වන්නේය.
Pali BJT14. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT14. මොවුන්ගේ ජනිකමව මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
Pali BJT15. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT15. (ඔබට) කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් එ බුදුන්ට උවැටන් කරන්නාහ.
Pali BJT16. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT16. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබේ.
Pali BJT17. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්ස සතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT17. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ, යසස්වී වූ ඒ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
Pali BJT18. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT18. අසම වූ මහර්ෂීන්ගේ මෙ තෙපුල් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූ දෙවිමිනිස්සු–
Pali BJT19. උක්කුට්ඨි සද්දං වත්තෙන්ති අප්ඵොඨෙන්ති{1} හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT19. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනාසෙති, දසදහසක් සක්වළ සදේවකලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
Pali BJT20. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT20. ඉදින් අපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT21. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරඣිය හෙට්ඨා තිත්ථෙ{1} ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT21. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
Pali BJT22. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT22. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මෙබුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT23. තස්සා’පි වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වත මධිට්ඨාසිං දසපාරමිපූරියා.
Sinhala BJT23. එ බුදුන්ගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
Pali BJT24. සුත්තන්තං විනයඤ්චා’පි නවඞ්ගං සත්ථුසාසනං සබ්බං පරියාපුණිත්වාන සොභයිං ජිනසාසනං.
Sinhala BJT24. සූත්‍රාන්තපිටකය ද විනය ද නවාඞ්ගශාස්තෘශාසනය ද යන සියල්ල පිරිවහා බුදු සස්න හෙබැ වීමි.
Pali BJT25. තත්ථප්ප’මත්තො විහරන්තො බ්රහ්මං භාවෙත්ව{1} භාවනං අභිඤ්ඤාසු පාරමිං ගන්ත්වා බ්රහ්මලොක’මගච්ඡ’හං.
Sinhala BJT25. මම් එසසුන්හි අප්‍රමාද වැ වාසය කරනුයෙම්. බ්‍රහ්මවිහාරභාවනා කොට අභිඥාවන්හි පාරප්‍රාප්ත වැ බඹලොවට ගියෙමි.
Pali BJT26. කාසිකං නාම නගරං ජයසෙනො නාම ඛත්තියො සිරිමා නාම ජනිකා ඵුස්ස’ස්සාපි මහෙසිනො.
Sinhala BJT26. මහර්ෂි වූ ඵුස්ස බුදුන්ට ද නගරය කසී නම් විය, ජයසේන නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ විය, මව්තොමෝ සිරිමා නමු.
Pali BJT27. නවවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී ගරුළපක්ඛහංසසුවණ්ණහාරා{2} තයො පාසාදමුත්තමා.
Sinhala BJT27. ඒ ඵුස්ස බුදුහු නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට ගරුඩපක්‍ෂ යැ හංස යැ ස්වර්‍ණහාර යැයි උතුම් තුන්පහයෙක් වී.
Pali BJT28. තීණිදසසහස්සානි{3} නාරියො සමලඞ්කතා කිසාගොතමී නාම නාරි අනුපමො{4} නාම අත්රජො.
Sinhala BJT28. මොනොවට සරසනලද තිස්දහසක් පිරිවර අඟනෝ වූහ. කිසාගෝතමී නම් අගමෙහෙසියක් වූ යැ. අනුපම නම් පුත්‍රයෙක් වී.
Pali BJT29. නිමිත්තෙ චතුරො දිස්වා හත්ථියානෙන නික්ඛමි ඡමාසං පධානචාරං අචරී පුරිසුත්තමො.
Sinhala BJT29. පුරුෂෝත්තම ඵුස්ස බුදුහු සතර පෙරනිමිති දැක ඇත්යානයෙකින් මහබිනික්මන් කළහ. සමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
Pali BJT30. බ්රහ්මුනා යාචිතො සන්තො ඵුස්සො ලොකග්ගනායකො වත්ති චක්කං මහාවීරො මිගදායෙ නරුත්තමො.
Sinhala BJT30. මහත්වීර්‍ය්‍ය ඇති පුරුෂශ්‍රේෂ්ඨ වූ ලෝකාග්‍රනායක වූ ඵුස්ස බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු ඉසිපතන නම් මුවළැව්හි දී දම්සක් පැවැත්වූසේක.
Pali BJT31. සුරක්ඛිතො{5} ධම්මසෙනො ච අහෙසුං අග්ගසාවකා සභියො නාමු’පට්ඨාකො ඵුස්සස්ස ච මහෙසිනො.
Sinhala BJT31. මහර්ෂි වූ ඵුස්ස බුදුන්ට සුරක්‍ෂිත යැ ධර්‍මසේන යැ යන දෙදෙන අගසවු වූහ. සභිය නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ,
Pali BJT32. චාලා ච උපචාලා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො ආමණ්ඩො’ති පවුච්චති.
Sinhala BJT32. චාලා යැ උපචාලා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘ඇඹලරුකැ’යි කියනු ලැබේ.
Pali BJT33. ධනඤ්ජයො විසාඛො ච අහෙසුං අග්ගු’පට්ඨකා පදුමා චෙ’ව නාගා ච අහෙසුං අග්ගුපට්ඨිකා.
Sinhala BJT33. ධනඤ්ජය යැ විශාඛ යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. පද්මා යැ නාගා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ,
Pali BJT34. අට්ඨපඤ්ඤාසරතනං සො’පි අච්චුග්ගතො මුනි සොභති සතරංසීව උලුරාජාව පූරිතො{6}.
Sinhala BJT34. ඒ ඵුස්ස මුනිහු ද අටපනස්රියන් උස්වූ සේක් දිවයුරු සෙයින් ද පුන්සඳ සෙයින් ද ශෝභමාන වූහ.
Pali BJT35. නවුතිවස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT35. එකල්හි අනූදහසක් හවුරුදු ආයු පැනෙයි, උන්වහන්සේ එතෙක් වැඩසිටිමින් බොහෝ ජනසමූහයා සසරකතරින් තැරැවූ සේක.
Pali BJT36. ඔවදිත්වා බහූ සත්තෙ සන්තාරෙත්වා මහාජනෙ සො’පි සත්ථා අතුලයසො නිබ්බුතො’සො සසාවකො{7}.
Sinhala BJT36. අතුල්‍ය වූ යසස් ඇති ඒ ඵුස්ස බුදුහු ද බොහෝ සත්නට ඔවා දී මහජනයා සසර කතරින් තරවා ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ.
Pali BJT37. ඵුස්සො ජිනවරො සත්ථා සෙතාරාමම්හි{8} නිබ්බුතො ධාතුවිත්ථාරිකං ආසී තෙසු තෙසු පදෙසතො’ති.
Sinhala BJT37. ජිනෝත්තම වූ ඵුස්ස බුදුහු ශ්වේතාරාමයෙහි පිරිනිවියාහ. ඒ ඒ ප්‍රදේශයන්හි ධාතු පතළේ යි.
Pali BJTඵුස්ස බුද්ධවංසො අට්ඨාරසමො.
Sinhala BJTඅටළොස් වැනි ඵුස්ස බුද්ධවංශය යි.
Pali BJT19. විපස්සී බුද්ධවංසො
Sinhala BJT19. විපස්සී බුද්ධවංශය
Pali BJT1. ඵුස්සස්ස ච අපරෙන සම්බුද්ධො දිපදුත්තමො විපස්සී නාම නාමෙන ලොකෙ උප්පජ්ජි චක්ඛුමා{1}.
Sinhala BJT1. ඵුස්ස බුදුන්ට මෑත භාගයෙහි නමින් විපස්සී නම් වූ පසැස් ඇති ද්විපදෝත්තම වූ සම්බුදුරජාණන් වහන්සේ ලොවැ පහළවූසේක.
Pali BJT2. අවිජ්ජං සබ්බං පදාලෙත්වා පත්තො සම්බොධිමුත්තමං ධම්මචක්කං පවත්තෙතුං පක්කාමි බන්ධුමතිං පුරං.
Sinhala BJT2. හැම අවිදු අඳුරු බිඳ උතුම් වූ සම්බෝධියට පැමිණියාහු දම්සක් පවත්වන්නට බන්‍ධුමතී පුරයට වැඩිසේක.
Pali BJT3. ධම්මචක්කං පවත්තෙත්වා උභො බොධෙසි නායකො ගණනාය න වත්තබ්බො පඨමා’භිසමයො අහු.
Sinhala BJT3. දම්සක් පවත්වා (මල්බෑ ඛණ්ඩ රාජපුත්‍ර යැ, තිස්ස පුරෝහිත පුත්‍ර යැ යන) දෙදෙනාට සත්‍යාවබෝධය කරවූහ. ගණනින් නො කියහෙන සත්ත්‍ව කෙනෙක් පළමු වැනි ධර්‍මාවබෝධය කළහ.
Pali BJT4. පුනාපරං අමිතයසො තත්ථ සච්චං පකාසයි චතුරාසීති සහස්සානං දුතියා’භිසමයො අහු.
Sinhala BJT4. යළි අප්‍රමාණ යශස් ඇති විදර්ශී බුදුහු ඒ ක්‍ෂේම නම් මුවළැව්හි දී සිව්සස් පැවැසූහ. සුවාසූ දහසක් සත්නට ද්විතීයාභිසමය වී.
Pali BJT5. චතුරාසීති සහස්සානි සම්බුද්ධං අනුපබ්බජුං තෙසමාරාමපත්තානං ධම්මං දෙසෙසි චක්ඛුමා.
Sinhala BJT5. සුවාසූ දහසක් සත්හු බුදුනට පසුව ලා පැවිදි වූහ, පසැස් ඇති බුදුහු අරමට පැමිණි ඔවුනට දහම් දෙසූසේක.
Pali BJT6. සබ්බාකාරෙන භාසතො සුත්වා උපනිසාදිනො{2} තෙ’පි ධම්මං වරං ගන්ත්වා තතියා’භිසමයො අහු.
Sinhala BJT6. සර්‍වාකාරයෙන් කරුණු එළවමින් වදාරන විපස්සී බුදුන්ගේ දහම් අසා ඒ සුවාසූ දහසක් මහණහු ද උතුම් දහම් දැන (මෙසේ ඔවුන්ගේ) තුන් වැනි ධර්‍මාවබෝධය වී.
Pali BJT7. සන්නිපාතා තයො ආසුං විපස්සිස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තානතාදිනං.
Sinhala BJT7. මහර්ෂි වූ විපස්සී සර්‍වඥයන් වහන්සේට විමල වූ ශාන්ත සිත් ඇති තාදිගුණ ඇති රහතුන්ගේ ශ්‍රාවක සන්නිපාත තුනෙක් වී.
Pali BJT8. අට්ඨසට්ඨිසතසහස්සානං{3} පඨමො ආසි සමාගමො භික්ඛුසතසහස්සානං දුතියො ආසි සමාගමො.
Sinhala BJT8. අටසැටලක්‍ෂයක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය වී යැ, ලක්‍ෂයක් රහත්මහණුන්ගේ ද්විතීය සන්නිපාතය වී.
Pali BJT9. අසීතිභික්ඛුසහස්සානං තතියො ආසි සමාගමො තත්ථ භික්ඛුගණමජ්ඣෙ සම්බුද්ධො අතිරොචති.
Sinhala BJT9. අසූ දහසක් ක්‍ෂීණාස්‍රව භික්‍ෂුන්ගේ තෘතීය සන්නිපාතය වී යැ. එහි මහණගණ මැද සම්බුදුහු අතිශයින් දිලියුණාහ.
Pali BJT10. අහං තෙන සමයෙන නාගරාජා මහිද්ධිකො අතුලො නාම නාමෙන පුඤ්ඤවන්තො ජුතින්ධරො.
Sinhala BJT10. එසමයෙහි මම් නමින් අතුල නම් වූ පින් ඇති පැහැපත් මහ ඉඳුහ ඇති නාරජ වූයෙමි.
Pali BJT11. නෙකානං නාගකොටීනං පරිවාරෙත්වාන’හං තදා වජ්ජෙන්තො’ දිබ්බතුරියෙහි ලොකජෙට්ඨං උපාගමිං.
Sinhala BJT11. එකල්හි මම් නොයෙක් කෙළගණන් නයින් පිරිවරා දිවපසඟවයමින් බුදුන් කරා එළැඹියෙමි.
Pali BJT12. උපසඞ්කමිත්වා සම්බුද්ධං විපස්සිං ලොකනායකං මණිමුත්තරතනඛචිතං සබ්බාභරණභූසිතං නිමන්තෙත්වා ධම්මරාජස්ස සුවණ්ණපීඨ’ මදාසහං.
Sinhala BJT12. මම ලෝකස්වාමී වූ විදර්ශී සම්බුදුන් කරා එළැඹ දහම්රජ වූ බුදුන් පවරා මිණිමුතු ඈ රුවනින් නිමවන ලද පබළු ඈ සැරැහුමෙන් සරහන ලද රන් පුටුවක් පිදීමි.
Pali BJT13. සො’පි මං බුද්ධො ව්යාකාසි සඞ්ඝමජ්ඣෙ නිසීදිය එකනවුතෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT13. ඒ විදර්ශී සර්‍වඥයන් වහන්සේ ද සඟ මැද වැඩහිඳ මේ තෙමේ මෙයින් එක් අනූවන කල්පයෙහි බුදු වන්නේ යයි විවරණ දුන් සේක.
Pali BJT14. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT14. ඒ තථාගත වූ බෝසත් සිත්කලු වූ කිඹුල්වත් නම් නුවරින් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT15. අජපාලරුක්ඛමූලම්හි නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජර’මුපෙහිති.
Sinhala BJT15. තථාගත වූ බෝසත් අජපල් නම් නුගරුක්මුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝතෙරට පැමිණෙන්නේ ය.
Pali BJT16. නෙරඤ්ජරානදීතීරෙ පායාසං අසති ජිනො, පටියත්තවරමග්ගෙන බොධිමූල’මුපෙහිති.
Sinhala BJT16. ජිතමාර වූ බෝසත්හු නිල්දලා හෝ තෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උතුම් මඟින් බෝමුල වෙත පැමිණෙන්නාහ.
Pali BJT17. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩමනුත්තරං අස්සත්ථමූලෙ සම්බොධිං බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT17. ඉක්බිති මහායශස් ඇති අනුත්තර වූ මහසත්හු බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි හිඳ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරන්නාහ.
Pali BJT18. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT18. මොවුන් ගේ ජනිකා මව මායා නම් වන්නීය. ජනකපිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ ය. මේ තෙමෙ ගෞතම නම් වන්නේ යි.
Pali BJT19. අනාසවා වීතරාගා{1} සන්තචිත්තා සමාහිතා කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දොනා’මුපට්ඨාකො{2} උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT19. අනාස්‍රව වූ විගතරාග ඇති ශාන්ත වූ සිත් ඇති ඵලසමාපත්තියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙනා අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නේ ය.
Pali BJT20. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථොති පවුච්චති.
Sinhala BJT20. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
Pali BJT21. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වන්නාහ. ඒ යශස්වී වූ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
Pali BJT22. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT22. අසම වූ මහර්ෂි වූ බුදුන් ගේ මෙ වදන් අසා මේ තෙමේ බුද්ධබිජාංකූරයෙකැ’යි සතුටු වූ දේව මනුෂ්‍යයෝ–
Pali BJT23. උක්කුට්ඨි සද්දං වත්තෙන්ති අප්ඵොඨෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT23. ඔල්වරසන් පැවැත්වූහ. අත්පොළසන් දුන්හ. සිනහසුණහ. දසදහසක් සක්වළැ දෙවියන් සහිත ලෝකවාසීහු බදැඳිලි වැ නමස්කාර කළහ.
Pali BJT24. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT24. ඉදින් ඇපි මෙ ලෝහිමියන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
Pali BJT25. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT25. යම්සේ නදිය තරණය කරන මිනිස්සු හමුයෙහි වූ ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ලා ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
Pali BJT26. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමිමං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමුවන්නම්හ.
Pali BJT27. තස්සා’හං වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දස පාරමි පූරියා.
Sinhala BJT27. මම් ඒ විදර්ශී බුදුන්ගේ බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි. දසපැරුම් මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
Pali BJT28. නගරං බන්ධුමතී නාම බන්ධුමා නාම ඛත්තියො මාතා බන්ධුමතී නාම විපස්සිස්ස මහෙසිනො.
Sinhala BJT28. මහර්ෂි වූ විදර්ශී බුදුන් ගේ නගරය බන්‍ධුමතී නම් විය. බන්‍ධුමත් නම් ක්‍ෂත්‍රිය තෙමේ පියා විය. මවු තොමෝ බන්‍ධුමතී නම් වූය.
Pali BJT29. අට්ඨවස්සසහස්සානි අගාරමජ්ඣ සො වසී නන්දො සුනන්දො සිරිමා තයො පාසාදමුත්තවා.
Sinhala BJT29. ඒ බුදුහු අටදහසක් හවුරුදු ගිහිගෙයි වුසූහ. නන්‍ද යැ, සුනන්‍ද යැ, සිරිමත් යැයි උතුම් වූ තුන් පහයෙක් විය.
Pali BJT30. තිවත්තාරීස සහස්සානි නාරියො සමලඞ්කතා සුතනා නාම සා නාරි සමවත්තක්ඛන්ධො නාම අත්රජො.
Sinhala BJT30. මොනොවට සැරැසුණු තෙසාලිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. සූතනා නම් ප්‍රසිද්ධ ස්ත්‍රිය අගමෙහෙසුන් බිසෝ වූය. සමවත්තක්ඛන්‍ධ නම් පුතණු කෙනෙක් වූහ.
Pali BJT31. නිමිත්තෙ චතුරො දිස්වා රථයානෙන නික්ඛමී අනූනඅට්ඨමාසානි පධානං පදහී ජිනො.
Sinhala BJT31. සතර පෙරනිමිති දැක රථයානයෙකින් මහබිනික්මන් කළහ. එ ජිතපඤ්චමාරයෝ පිරිපුන් අටමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
Pali BJT32. බ්රහ්මුනා යාචිතො සන්තො විපස්සී ලොකනායකො වත්ති චක්කං මහාවීරො මිගදායො නරුත්තමො.
Sinhala BJT32. මහාවීර වූ නරෝත්තම වූ විදර්ශී ලෝකස්වාමීහු මහබඹහු විසින් අයදනා ලද්දාහු මිගදාය නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
Pali BJT33. ඛණ්ඩො{1} ච තිස්සනාමො ච අහෙසුං අග්ගසාවකා අසොකො නාමු’පට්ඨාකො විපස්සිස්ස මහෙසිනො.
Sinhala BJT33. විදර්ශී බුදුන්ට ඛණ්ඩ යැ තිස්ස යැ යන නම් ඇති අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. අසෝක නම් උපස්ථායක භික්‍ෂු කෙනෙක් වූහ.
Pali BJT34. චන්දා ච චන්දමිත්තා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො පාටලී’ති පවුච්චති.
Sinhala BJT34. චන්‍ද්‍රා යැ චන්‍දමිත්තා යැයි අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ බුදුන් ගේ බෝධිය පළොල් යැයි කියනු ලැබේ.
Pali BJT35. පුනබ්බසුමිත්තො නාගො ච අහෙසුං අග්ගු’පට්ඨකා සිරිමා උත්තරා චෙව අහෙසුං අග්ගු’පට්ඨිකා.
Sinhala BJT35. පුනබ්බසුමිත්ත යැ නාග යැ යන අග්‍රෝපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. සිරිමා යැ උත්තරා යැ යන අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.
Pali BJT36. අසීති හත්ථමුබ්බෙධො{1} විපස්සී ලොකනායකො පභා නිද්ධාවති තස්ස සමන්තා සත්ත යොජනෙ.
Sinhala BJT36. විදර්ශී ලෝකස්වාමීහු අසූරියන් උස් වූහ. ඔබගේ ශරීරකාන්තිය හාත්පස සත්යොදුනෙක්හි පැතිරැ සිටුනේ යි.
Pali BJT37. අසීති වස්සසහස්සානි ආයු බුද්ධස්ස තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT37. එකල්හි ඒ බුදුන්ගේ ආයුෂ හවුරුදු අසූදහසෙක් විය, එතෙක් කල් වැඩසිටි ඒ බුදුහු බොහෝ ජනසමූහයා (සසර සයුරෙන්) තැරැ වූහ.
Pali BJT38. බහූ දෙවෙ මනුස්සෙ ච බන්ධනා පරිමොචයී මග්ගා’ මග්ගඤ්ච ආචික්ඛි අවසෙසපුථුජ්ජනෙ.
Sinhala BJT38. බොහෝ දෙවියන් ද මිනිසුන් ද සංසාරබන්‍ධනයෙන් මිදැ වූහ. සෙසු පුහුදුවනට (ශාශ්වතෝච්ඡේද විරහිත මධ්‍යමප්‍රතිපදා සඞ්ඛ්‍යාත අමෘතාධිගමයට) මාර්‍ගය ද (කායකිළමථාදි) අමාර්‍ගය ද වදාළහ.
Pali BJT39. ආලොකං දස්සයිත්වාන දෙසෙත්වා{2} අමතං පදං ජලිත්වා අග්ගික්ඛන්ධො’ව නිබ්බුතො සො සසාවකො.
Sinhala BJT39. ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුහු මාර්‍ගඥනාලෝකය දක්වා අමෘතපදය දේශනා කොට ගිනිකඳසෙයින් දිලියෙමින් වැඩසිට පිරිනිවි සේක.
Pali BJT40. ඉද්ධීවරං පුඤ්ඤවරං ලක්ඛණං ච කුසුමිතං සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
Sinhala BJT40. උත්තමඍද්ධිය ද උත්තම පුණ්‍ය ද චක්‍රලක්‍ෂණාදීන් මණ්ඩිත වූ බුදු සිරුර ද යන සියල්ල අන්තර්හිත විය. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නු?
Pali BJT41. විපස්සීජිනවරො බුද්ධො{3} සුමිත්තාරාමම්හි නිබ්බුතො තත්ථෙ’ව තස්ස ථූපවරො සත්තයොජන මුස්සීතො’ති.
Sinhala BJT41. ජිනවර වූ විදර්ශී බුදුහු සුමිත්තාරාමයෙහි දී පිරිනිවියහ. එහි මැ ඔබ ගේ ස්තූපවරය සත්යොදුන් කොට බඳනා ලද්දේ යි.
Pali BJTවිපස්සී බුද්ධවංසො එකූනවීසතිමො.
Sinhala BJTඑකුන්විසි වැනි විදර්ශී බුද්ධවංශ යි.
Pali BJT20. සිඛී බුද්ධවංසො
Sinhala BJT20. සිඛී බුද්ධවංශය
Pali BJT1. විපස්සිස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො සිඛිව්හයො{1} ආසි ජිනො අසමො අප්පටිපුග්ගලො.
Sinhala BJT1. විදර්ශී නම් බුදුන්ට මෑතභාගයෙහි ද්විපදෝත්තම වූ පස්මරුන් දිනූ අසම වූ අප්‍රතිපුද්ගල වූ සිඛී නම් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ලොවැ පහළ වූ සේක.
Pali BJT2. මාරසෙනං පමද්දිත්වා{2} පත්තො සම්බොධිමුත්තමං ධම්මචක්කං පවත්තෙසි අනුකම්පාය පාණිනං.
Sinhala BJT2. මරසෙනඟ මැඩපියා උතුම්වූ සම්බෝධියට පැමිණි සේක් සත්ත්‍වයන්ට අනුකම්පා පිණිස දම්සක් පැවැත්වූ සේක.
Pali BJT3. ධම්මචක්කං පවත්තෙන්තෙ සිඛිම්හි මුනි පුඞ්ගවෙ{3} කොටිසතසහස්සානං පඨමා’භිසමයො අහු.
Sinhala BJT3. මුනිශ්‍රෙෂ්ඨ වූ සිඛී බුදුරජාණන් වහන්සේ දම්සක් පවත්වන කල්හි කෙළ ලක්‍ෂයක් සත්නට පළමුවන ධර්‍මාභිසමය වී.
Pali BJT4. අපරම්පි ධම්මං දෙසෙන්තො ගණසෙට්ඨෙ නරුත්තමෙ නවුතිකොටිසහස්සානං දුතියා’භිසමයො අහු.
Sinhala BJT4. නැවත ද ගණශ්‍රේෂ්ඨ වූ නරෝත්තම වූ බුදුරදුන් දහම් දෙසන කල්හි අනූකෙළදහසක් සත්නට දෙවෙනි ධර්‍මාභිසමය වී.
Pali BJT5. යමකං පාටිහීරඤ්ච දස්සයන්තෙ සදෙවකෙ අසීතිකොටිසහස්සානං තතියා’භිසමයො අහු.
Sinhala BJT5. සදේවක ලෝකයා විෂයෙහි යමාමහ පෙළහර දක්වන බුදුන් දහම් දෙසන කල්හි අසූකෙළදහසක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.
Pali BJT6. සන්නිපාතා තයො ආසුං සිඛිස්ස’පි මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන’තාදිනං.
Sinhala BJT6. මහර්ෂී වූ සිඛී බුදුරදුන්ට ද විගත වූ කෙලෙස්මල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධි වූ තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ.
Pali BJT7. භික්ඛුසතසහස්සානං පඨමො ආසි සමාගමො අසීති භික්ඛුසහස්සානං දුතියො ආසි සමාගමො.
Sinhala BJT7. භික්‍ෂූන් සියදහසක් සම්බන්‍ධී වූ ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය විය. භික්‍ෂූන් අසූදහසක් සම්බන්‍ධි වූ ද්විතීය ශ්‍රාවක සන්නිපාතය වී.
Pali BJT8. සත්තති භික්ඛුසහස්සානං තතියො ආසි සමාගමො අනුපලිත්තො පදුමං’ව තොයම්හි සම්පවඩ්ඪිතං.
Sinhala BJT8. භික්‍ෂූන් සැත්තෑදහසක් සම්බන්‍ධි වූ තෘතීය ශ්‍රාවකසන්නිපාතය වී (දියෙහි ඉපදැ) දියෙහි වැඩුණු දිය හා අලිප්ත වූ පියුමක් සෙයින් (ඒ භික්‍ෂු සන්නිපාතය ද) ලොකධර්‍මයන් හා අලිප්ත වූයේ වී.
Pali BJT9. අහං තෙන සමයෙන අරින්දමො නාම ඛත්තියො සම්බුද්ධපමුඛං සඞ්ඝං අන්නපානෙන තප්පයිං.
Sinhala BJT9. එ සමයෙහි මම අරින්‍දම නම් ක්‍ෂත්‍රිය වූයෙම් බුදුපාමොක් සඟන ආහාරපානයෙන් සන්තර්‍පණය කෙළෙමි.
Pali BJT10. බහුං දුස්සවරං දත්වා දුස්සකොටිං අනප්පකං අලඞ්කතං හත්ථියානං සම්බුද්ධස්ස අදාස’හං.
Sinhala BJT10. මම් බොහෝ වූ උතුම් වස්ත්‍ර ද, අනල්ප වූ වස්ත්‍ර කෝටි ද දී, බුදුරදුන්ට (රන්දැල් ආදීන්) සරසන ලද හස්තියානයක් දිනිමි.
Pali BJT11. හත්ථියානං නිම්මිනිත්වා කප්පියං උපනාමයිං පූරයිං මානසං මය්හං නිච්චං දළ්හමුපට්ඨිතං.
Sinhala BJT11. හස්තියානය ප්‍රමාණ කොට (ඇතු උසට) කප්පියභාණ්ඩ පූජා කෙළෙමි. නිරතුරු දැඩිව එළැඹ සිටි මා ගේ මනස පිරීමි.