Pali BJTසුත්තන්තපිටකෙ ඛුද්දකනිකායෙ
Sinhala BJTසුත්‍රාන්තපිටකයේ කුදුගොත්සඟියෙහි
Pali BJTබුද්ධවංසපාළි
Sinhala BJTබුද්ධවංශපාළිය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් වූ අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
Pali BJTරතනචඞ්කමනකණ්ඩො
Sinhala BJTරත්නචඞ්ක්‍රමණ කාණ්ඩය
Pali BJT1. බ්රහ්මා ච ලොකාධිපතී සහම්පති{1} කතඤ්ජලී අනධිවරං අයාචථ සන්තීධ සත්තා අප්පරජක්ඛජාතිකා{2} දෙසෙහි ධම්මං අනුකම්පිමං පජං.
Sinhala BJT1. සත්ත්‍වලෝකයට අධිපති වු සහම්පති නම් බ්‍රහ්ම තෙමේ මුදුනෙහී කළ ඇඳිලිපුට ඇති ව – ‘මෙ සත්ලොවැ නුවණැස්හි අල්ප වූ කෙලේස රජස් ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. ඔවුනට සිව්සස්දහම් දෙසනු මැනවැ මේ සත්ත්‍වප්‍රජාවට අනුකම්පා කළ මැනවැ’යි අනුත්තර වූ සර්‍වඥයන් වහන්සේට ආයාචනා කෙළේ ය.
Pali BJT2. සම්පන්නවිජ්ජාචරණස්ස තාදිනො ජුතින්ධරස්සන්තිමදෙහධාරිනො තථාගතස්සප්පටිපුග්ගලස්ස උප්පජ්ජි කාරුඤ්ඤතා සබ්බසත්තෙ.
Sinhala BJT2. පරිපූර්‍ණ වූ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍ම ඇති (ඉෂ්ටානිෂ්ටාදියෙහි) තාදී වූ ශරීරකාන්ති හෝ ප්‍රඥප්‍රදීප ධරන්නා වූ පශ්චිමශරීරධාරී වු අප්‍රතිපුද්ගල වූ තථාගතයන් වහන්සේට සියලු සත්ත්‍වනිකායෙහි කරුණාව උපන.
Pali BJT3. න හෙතෙ ජානන්ති සදෙවමානුසා බුද්ධො අයං කීදිසකො නරුත්තමො ඉද්ධිබලං පඤ්ඤාබලඤ්ච කීදිසං බුද්ධිබලං ලොකහිතස්ස කීදිසං.
Sinhala BJT3. තෙල (මාගේ ඥාති ආදි) සදේවමනුෂ්‍යයෝ ‘නරෝත්තම වූ මේ සර්‍වඥයන් වහන්සේ කෙබඳු වූවාහු ද, ලොවට හිත වූ සර්‍වඥයන්ගේ ඍද්ධිබලයත් ප්‍රඥාබලයත් කෙබඳු වී ද. බුද්ධබලය කෙබඳු වී දැ’යි යම් හෙයෙකින් නො දනිත් ද,
Pali BJT4. න හෙතෙ ජානන්ති සදෙවමානුසා බුද්ධො අයං ඊදිසකො නරුත්තමො ඉද්ධිබලං පඤ්ඤාබලඤ්ච ඊදිසං{3} බුද්ධබලං ලොකහිතස්ස ඊදිසං{3}
Sinhala BJT4. තෙල දෙවියන් සහිත මනුෂ්‍යයෝ ‘නරෝත්තම වූ මේ සර්‍වඥයෝ මෙ බඳු වූවාහු යැ, ලොවට හිත වූ සර්‍වඥයන්ගේ ඍද්ධිබලයත් ප්‍රඥාබලයත් මෙ බඳු විය. බුද්ධබලය මෙබඳු වී ‘යයි යම් හෙයෙකින් නො දන්නාහු ද,
Pali BJT5. හන්දාහං දස්සයිස්සාමි - බුද්ධබලං අනුත්තරං{4} චඞ්කමං මාපයිස්සාමි - නභෙ රතනමණ්ඩිතං{5}
Sinhala BJT5. එහෙයින් මම අනුත්තර වූ බුද්ධඅනුභාවය දක්වමි. අහස්හි මුක්තාමණි ආදි රත්නයෙන් අලඞ්කෘත වු චඞ්ක්‍රමණයක් මවාලමි. (සිතූ සේක එකල්හි)
Pali BJT6. භුම්මා මහාරාජිකා තාවතිංසා යාමා ච දෙවා තුසිතා ච නිම්මිතා පරනිම්මිතා යෙපි ච බ්රහ්මකායිකා ආනන්දිතා විපුලමකංසු ඝොසං.
Sinhala BJT6. (ප්‍රාසාද පර්‍වත වන වෘක්‍ෂාදියෙහි සිටි) බූමාටු දෙවියෝ ද සිව්මහරජයෙහි දෙවියෝ ද තව්තිසායෙහි දෙවියෝ ද යාම දෙවියෝ ද තුෂිත දෙවියෝ ද නිර්‍මාණරතී නම් දෙව්ලොවැ දෙවියෝ ද පරනිර්මිත වශවර්තී නම් දෙවියෝ ද සොළොස් බඹතල වැසි දෙවියෝ ද සතුටු සිත් ඇත්තාහු මහත් වූ ඔල්වරසන් නැඟූහ.
Pali BJT7. ඔභාසිතා ච පඨවී සදෙවකා පුථූ ච ලොකන්තරිකා අසංවුතා තමො ච තිබ්බො විහතො තදා අහූ දිස්වාන අච්ඡෙරකං පාටිහීරං.
Sinhala BJT7. දේවලෝක සහිත වූ පෘථිවිය ද අසංවෘත වූ බොහෝ ලොකාන්තරිකයෝ ද අවභාෂිත වූහ. එකල්හි ඝනාන්‍ධකාරය ද නැසුණේ වී. ඒ අසිරිමත් පෙළහර දැක දේවමනුෂ්‍යයයෝ සතුටු වූහ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(බුදුහු ඕදාතකිසුණු සමවත් සමවැද දහසක් සක්වළ ආලෝක වේව’යි ඉටූහ. එකෙණෙහි)
Pali BJT8. සදෙවගන්ධබ්බමනුස්සරක්ඛසෙ ආභා උළාරා විපුලා අජායථ{1} ඉමස්මිං ලොකෙ පරස්මිඤ්චොහයස්මිං{2} අධො’පි උද්ධං තිරියඤ්ච විත්ථතං.
Sinhala BJT8. දෙව් ගඳඹ මිනිස් රකුස් යන මොවුන් සහිත මේ ලොව ද අන් දෙව්ලෝ ද යන උභයලෝකයෙහි ද යට (අවීචිය ආදි නරකයන්හි) ද උඩ (අජටාකාශයෙහි) ද සරස (දසදහසක් සක්වළ) ද පැතිර පැවති මහත් වූ අප්‍රමාණ වූ ආලොකයෙක් උපන.
Pali BJT9. සත්තුත්තමො අනධිවරො විනායකො සත්ථා අහූ දෙවමනුස්සපූජිතො මහානුභාවො සතපුඤ්ඤලක්ඛණො දස්සෙසි අච්ඡෙරකං පාටිහීරං.
Sinhala BJT9. ශීලාදිගුණයෙන් සියලු සත්ත්‍වයන් කෙරෙහි උතුම් වූ තමන් වහන්සේට වඩා උසස් කෙනෙක් නැති. සත්ත්‍වයන් හික්මවන්නා වූ ශාස්තෲන් වහන්සේ දෙවිමිනිසුන් විසින් පුදනලද වූහ. මහත් අනුභාව ඇති සියපින්ලකුණෙන් යුත් සර්‍වඥයන් වහන්සේ ආශ්චර්‍ය්‍ය වූ පෙළහරක් දැක්වූ සේක.
Pali BJT10. සො යාචිතො දෙවවරෙන චක්ඛුමා අත්ථං සමෙක්ඛිත්ව තදා නරුත්තමො චඞ්කමං තත්ථ{3} මාපයි ලොකනායකො සුනිට්ඨිතං සබ්බරතනානිම්මිතං.
Sinhala BJT10 එකල්හි (පෙළහර අවසන්හි) මිනිසුන් අතර උතුම් වූ පසැස් ඇති ලෝනාහිමි වූ ඒ බුදුරජහු සහම්පති නම් මහබඹහු විසින් අයදනා ලද්දාහු දෙවිමිනිසුනට වන වැඩ සලකා එහි මනාව නිමියා වූ සියලු රුවනින් නිමවනලද සක්මනක් මැවූහ.
Pali BJT11. ඉද්ධි ච ආදෙසන නුසාසනී තිපාටිහීරෙ භගවා වසී අහූ චඞ්කමං මාපයි ලොකනායකො සුනිට්ඨිතං සබ්බරතනනිම්මිතං.
Sinhala BJT11. බුදුහු ඍද්ධි – ආදේශනා – අනුශාසනී යන තුන් පෙළහරෙහි (පස් අයුරෙකින්) වශී වූහ. ලෝකනායක වූ බුදුහු මනාව නිමියා වූ සව්රුවන්මුවා සක්මනක් මැවූහ.
Pali BJT12. දසසහස්සී ලොකධාතුයා සිනෙරුපබ්බතුත්තමෙ ථම්භෙ’ව දස්සෙසි පටිපාටියා චඞ්කමෙ රතනාමයෙ
Sinhala BJT12. දසදහසක් සක්වළෙහි උතුම් වූ මහාමේරුපර්‍වතයන් රුවන් සක්මන්හි ටැඹ සෙයින් පිළිවෙළින් දැක්වූහ.
Pali BJT13. දසසහස්සී අතික්කම්ම චඞ්කමං මාපයී ජිනො සබ්බසොවණ්ණමයා{4} පස්සෙ චඞ්කමෙ රතනාමයෙ
Sinhala BJT13. පස්මරුන් දිනූ බුදුහු දසදහසක් සක්වළ ඉක්මවා සක්මන මැවූහ. රුවන්මුවා සක්මන්හි දෙපස සර්‍වස්වර්‍ණමයභූමි විය.
Pali BJT14. තුලාසඞ්ඝාටානුවග්ගා සොවණ්ණඵලකත්ථතා වෙදිකා සබ්බසොවණ්ණා{1} දුභතො පස්සෙසු නිම්මිතා
Sinhala BJT14. යටකී මහමෙර ටැඹ මත ඊට අනුරූප වූ තුලාහඟුළු මතුයෙහි රන්පෝරු අතුරනලද යැ. දෙපසැ මවනලද වේදිකාව සර්‍වස්වර්‍ණමය වි.
Pali BJT15. මණිමුත්තා වාලුකාකිණ්ණා{2}නිම්මිතා රතනාමයා ඔභාසෙති දිසා සබ්බා සතරංසී’ව උග්ගතො.
Sinhala BJT15. මිණිමුතුවැල්ලෙන් ගැවැසුණු මවනලද රුවන්මුවා සක්මන උදාහිරු මෙන් සියලු දික් හොබවයි.
Pali BJT16. තස්මිං චඞ්කමනෙ ධීරො ද්වත්තිංසවරලක්ඛණො විරොචමානො සම්බුද්ධො චඞ්කමෙ චඞ්කමී ජිනො.
Sinhala BJT16. ධීර වූ දෙතිස්මහපුරිස්ලකුණින් යුත් පස්මරුන් දිනූ සම්බුදුහු ඒ සක්මන්හි බබළමින් සක්මන් කළහ.
Pali BJT17. දිබ්බං මන්දාරවං පුප්ඵං පදුමං පාරිච්ඡත්තකං{3} චඞ්කමනෙ ඔකිරන්ති සබ්බෙ දෙවා සමාගතා.
Sinhala BJT17. එහි රැස් වූ සියලු දෙවියෝ දෙව්ලොවැ හටගත් මදාරාමල් ද පියුම් ද පරසතුමල් ද සක්මනෙහි විසුරුවති.
Pali BJT18. පස්සන්ති තං දෙවසඞ්ඝා දසසහස්සී පමොදිතා නමස්සමානා නිපතන්ති තුට්ඨහට්ඨා පමොදිතා.
Sinhala BJT18. දසදහසක් සක්වළ දේවසමූහයෝ සතුටු සිත් ඇත්තාහු උන් වහන්සේ දක්නාහ. සතුටු වූවාහු තුටුපහටු වූවාහු වඳිමින් රැස් වෙති.
Pali BJT19. තාවතිංසා ච යාමා ච තුසිතා චා’පි දෙවතා නිම්මානරතිනො දෙවා යෙ දෙවා වසවත්තිනො උදග්ගචිත්තා සුමනා පස්සන්ති ලොකනායකං.
Sinhala BJT19. තව්තිසාවෙහි දෙවියෝ ද යාමයෙහි දෙවියෝ ද තවත් තුෂිතයෙහි දෙවියෝ ද නිර්‍මාණරතියෙහි දෙවියෝ ද පරනිර්මිතවසවරතී දෙවියෝ ද ඔදවැඩිසිත් ඇත්තාහු සතුටු වූවාහු ලෝකනායකයන් බලති.
Pali BJT20. සදෙවගන්ධබ්බමනුස්සරක්ඛසා නාගා සුපණ්ණා අථවා’පි රක්ඛසා පස්සන්ති තං ලොකහිතානුකම්පකං නභෙ’ව අච්චුග්ගතචන්දමණ්ඩලං.
Sinhala BJT20. දෙවි ගඳඹ මිනිස් යක් යන මොවුන් සහිත නා ගුරුළු යන මොහු ද තවත් රකුසෝ ද සත්ලොවට හිතානුකම්පා ඇති උන් වහන්සේ අහස්හි උදා වූ සඳ සෙයින් දකිති.
Pali BJT21. ආභස්සරා සුභකිණ්ණා වෙහප්ඵලා අකනිට්ඨා ච දෙවතා සුසුද්ධ සුක්කවත්ථවසනා{4} තිට්ඨන්ති පඤ්ජලීකතා.
Sinhala BJT21. ආභස්සර බඹුහු ද සුභකිණ්ණ බඹහු ද වෙහප්ඵල බඹහු ද අකනිටා බඹහු ද ඉතා පිරිසිදු සුදුවත් හැද පෙරෙවියාහු මුදුනෙහි ඇඳිලි බැඳ සිටිත්.
Pali BJT22. මුඤ්චන්ති පුප්ඵං පන{5} පඤ්චවණ්ණිකං මන්දාරවං චන්දනචුණ්ණමිස්සිතං භමෙන්ති චෙලානි ච අම්බරෙ තදා අහො ජිනො ලොකහිතානුකම්පකො.
Sinhala BJT22. තවද ආශ්චර්‍ය්‍යයෙකි, ජිනරාජයන් වහන්සේ සත්ලොවට හිතානුකම්පා ඇතිසේකැ’යි (ඒ පෙළහර දක්වන කල්හි) සඳුන්සුණු මුසු පස් පෑ දිස්නා මදාරාමල් ද විසුරුවති. අහස්හි දිවසළු ද බමවත්.
Pali BJT23. තුවං සත්ථා ච කෙතූ ච ධජො යූපො ච පාණිනං පරායනො පතිට්ඨා{6} ච දීපො ච දිපදුත්තමො{7}
Sinhala BJT23. නුඹ වහන්සේ ලොසත්නට ශාස්තෲ වූවහ. කෙහෙලි වැන්නහ. ධ්වජයක් වැන්නහ. යාගස්තම්භයක් වැන්නහ. පිළිසරණයහ. ප්‍රතිෂ්ඨා වූවහ. ප්‍රදීපයක් වැන්නහ. දෙපා ඇතියනට උතුම් වූවහ’යි.
Pali BJT24. දසසහස්සීලොකධාතුයා දෙවතායො මහිද්ධිකා පරිවාරෙත්වා නමස්සන්ති තුට්ඨහට්ඨා පමොදිතා.
Sinhala BJT24. දසදහස්ලෝධාභි මහත් ඍද්ධි ඇති දෙවියෝ තුටුපහටු වූවාහු ප්‍රමුදිත වූවාහු පිරිවරා සිට නමස්කාර කෙරෙති.
Pali BJT25. දෙවතා දෙවකඤ්ඤා ච පසන්නා තුට්ඨමානසා පඤ්චවණ්ණිකපුප්ඵෙහි පූජයන්ති නරාසභං.
Sinhala BJT25. දෙවියෝ ද දෙවඟනෝ ද ප්‍රසන්න වූවාහු සතුටුසිත් ඇත්තාහු පස්වනන් මලින් නරශ්‍රේෂ්ඨ වූ බුදුන් පුදති.
Pali BJT26. පස්සන්ති තං දෙවසඞ්ඝා පසන්නා තුට්ඨමානසා පඤ්චවණ්ණිකපුප්ඵෙහි පූජයන්ති නරාසභං.
Sinhala BJT26. දිව්‍යසමූහයෝ ප්‍රසන්න වූවාහු සතුටුසිත් ඇත්තාහු ඒ නරශ්‍රේෂ්ඨ වූ බුදුන් දකිති. පස්වනක් මලින් පූජා කෙරෙත්.
Pali BJT27. අහො අච්ඡරියං ලොකෙ අබ්භුතං ලොමහංසනං න මෙදිසං භූතපුබ්බං අච්ඡෙරං ලොමහංසනං.
Sinhala BJT27. අහෝ! ලෝකයෙහි ආශ්චර්‍ය්‍ය නියා යැ අද්භූත නියා යැ ලොමුදහනසුලු යැ. මා විසින් මෙබඳු ලොමුදහන ආශ්චර්‍ය්‍ය වූ අද්භූතයෙක් නුදුටුවිරූ යයි.
Pali BJT28. සකං සකං හි{1} භවනෙ නිසීදිත්වාන දෙවතා හසන්ති තා{2} මහාහසිතං දිස්වානච්ඡෙරකං නභෙ.
Sinhala BJT28. දෙවියෝ තමන් තමන්ගේ විමන්හි හිඳ අහස්හි ආශ්චර්‍ය්‍ය (පෙළහර) දැක මහසිනායෙන් සෙති.
Pali BJT29. ආකාසට්ඨා ච භුම්මට්ඨා තිණපන්ථනිවාසිනො{3} කතඤ්ජලී නමස්සන්ති තුට්ඨහට්ඨා පමොදිතා.
Sinhala BJT29. අහස්විමන්වැසි වූ ද බූමාටුවිමන්වැසි වූ ද තල්ආදි තණරුක්මුදුන්වැසි වූ ද මංවැසි වූ ද දෙවියෝ සතුටු වූවාහු තුටුපහටු වූවාහු බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
Pali BJT30. යෙ’පි දීඝායුකා නාගා පුඤ්ඤවන්තො මහිද්ධිකා පමොදිතා නමස්සන්ති පූජයන්ති නරුත්තමං.
Sinhala BJT30. බොහෝ ආයුෂ ඇති පින්වත් වු මහත් ඍද්ධි ඇති යම් නාග කෙනෙක් වෙත් නම් (ඔහු ද) සතුටුසිත් ඇත්තාහු නරෝත්තම බුදුරදුන් වඳිත් පුදත්.
Pali BJT31. සඞ්ගීතියො පවත්තෙන්ති අම්බරෙ අනිලඤ්ජසෙ චම්මනද්ධානි වාදෙන්ති දිස්වානච්ඡෙරකං නභෙ.
Sinhala BJT31. (දෙවියෝ) අහස්හි ආශ්චර්‍ය්‍ය (පෙළහර) දැක පවන්මඟැ – අහස්හි දෙව්නළුගී පවත්වති, දිවබෙර වයත්.
Pali BJT32. සඞ්ඛා ච පණවා චෙව අථො දෙණ්ඩිමා{4} බහූ අන්තලික්ඛස්මිං වජ්ජෙන්ති{5} දිස්වානච්ඡෙරකං නභෙ.
Sinhala BJT32. (දෙවියෝ) අහස්හි ආශ්චර්‍ය්‍ය දැක සක් ද පණාබෙර ද යළි බොහෝ මිහිඟුබෙර ද අහස්හි වාදනය කෙරෙත්.
Pali BJT33. අබ්භුතො වත නො අජ්ජ උප්පජ්ජි ලොමහංසනො ධුවං අත්ථසිද්ධිං{6} ලභාම ඛණො නො පටිපාදිතො.
Sinhala BJT33. ඒකාන්තයෙන් අද අද්භූත වූ ලෝමහර්‍ෂයෙක් උපන්නේ නො! අවශ්‍යයෙන් අර්‍ත්‍ථසිද්ධිය ලබම්හ. අප විසින් බුද්ධොත්පාද ක්‍ෂණය ලබන ලද.
Pali BJT34. බුද්ධො’ති තෙසං සුත්වාන පීති උප්පජ්ජි තාවදෙ බුද්ධො බුද්ධො’ති කථයන්තා තිට්ඨන්ති පඤ්ජලී කතා.
Sinhala BJT34. ‘බුද්ධ’ යන වදන් අසා එකෙණෙහිම ඒ දෙවියනට (පස්වණක්) ප්‍රීති උපන. ඔහු ‘බුදුහ බුදුහ’ කියමින් මුදුනෙහි ඇඳිලි බැඳ සිටිති.
Pali BJT35. හිංකාරං සාධුකාරඤ්ච{7} උක්කුට්ඨිං සම්පසාදනං{8} පජා ච විවිධා ගගනෙ වත්තෙන්ති{9} පඤ්ජලීකතා.
Sinhala BJT35. දෙවාදි විවිධ ප්‍රජාවෝ අහස්හි බදැඳිලි වැ සිට හිංකාර නාදය ද සාධුකාර නාදය ද ඔල්වරහඬ ද ප්‍රසන්නාකාරය ද පවත්වති.
Pali BJT36. ගායන්ති සෙලෙන්ති ච වාදයන්ති ච භුජානි පොඨෙන්ති{1} ච නච්චයන්ති ච මුඤ්චන්ති පුප්ඵං පන පඤ්චවණ්ණිකං මන්දාරවං චන්දනචුණ්ණමිස්සිතං.
Sinhala BJT36. බුදුගුණ ගයතති සීරුසන් පවත්වති වාදනය කෙරෙති, අපොළති, නටවති, (තුමූත් නටති) යළි පස්වණක් මල් වගුරුවති, සඳුන් සුණු මුසු වු මදාරා මල් ද වගුරුවත්.
Pali BJT37. යථා තුය්හං මහාවීර පාදෙසු චක්කලක්ඛණං ධජවජිරපතාකා{2} වඩ්ඪමානඞ්කුසාචිතං
Sinhala BJT37. මහාවීරයන් වහන්සා, යම්සේ නුඹ වහන්සේ ගේ පාසඟලෙහි සර්‍වාකාරයෙන් පරිපූර්‍ණ වූ චක්‍රලක්‍ෂණ බබළා ද එසෙයින් ධ්වජයෙන් පතාකායෙන් වර්ධමානයෙන් හා අඞ්කුශයෙන් ද (ඒ චක්‍රලක්‍ෂණය අලඞ්කෘත වී.)
Pali BJT38. රූපෙ සීලසමාධිම්හි පඤ්ඤාය ච අසාදිසො විමුත්තියා අසමසමො ධම්මචක්කප්පවත්තනෙ
Sinhala BJT38. රූපකාය සම්පත්තියෙහි ද ශීලයෙහි ද සමාධියෙහි ද ලෝකෝත්තරප්‍රඥායෙහි ද අනුපම වූවහ. ඵලවිමුක්තියෙහි ද දම්සක් පැවැතුම්හි ද අසම වූ අතීත බුදුවරයන් හා සම වූවහ.
Pali BJT39. දසනාගබලං කායෙ තුය්හං පාකතිකං බලං ඉද්ධිබලෙන අසමො ධම්මචක්කප්පවත්තනෙ.
Sinhala BJT39. සදත්කුලයෙහි වූ දස ඇත් කෙනකුන් ගේ බලය නුඹ වහන්සේ ගේ කයෙහි පියවි බලය වෙයි. (විකුර්‍වණාදි) ඍද්ධිබලයෙන් අසමසමයහ. දම්සක් පැවැතුම්හි දේශනාඥනයෙහි ද අසමයහ.
Pali BJT40. එවං සබ්බගුණොපෙතං සබ්බඞ්ගසමුපාගතං මහාමුනිං කාරුණිකං ලොකනාථං නමස්සථ.
Sinhala BJT40. මෙසෙයින් සියලු ලොවි ලොවුතුරා ගුණයෙන් යුක්ත වූ සියලු ගුණාංගයෙන් සමුපේත වූ මහාමුනි වු කාරුණික වූ ලෝක ස්වාමීන් නමස්කාර කරවු.
Pali BJT41. අභිවාදනං ථොමනඤ්ච වන්දනඤ්ච පසංසනං නමස්සනඤ්ච පූජඤ්ච සබ්බං අරහසී තුවං.
Sinhala BJT41. අභිවාදනයට ද (නො හමුයෙහි කරන) ස්තුතියට ද ප්‍රණාමයට ද (හමුයෙහි කරන) ප්‍රශංසාවට ද ඇඳිලි බැඳීමට ද (මල්ගඳ විලෙවුන් ආදියෙන්) පිදීමට ද යන සියලු සත්කාර විශේෂයට නුඹ වහන්සේ නිසි වූවහ.
Pali BJT42. යෙ කෙචි ලොකෙ වන්දනෙය්යා වන්දනං අරහන්ති යෙ සබ්බසෙට්ඨො මහාවීර සදිසො තෙ න විජ්ජති.
Sinhala BJT42. මහාවීරයන් වහන්ස, ලොවැ යම් කෙනෙක් වන්‍දනීය වූවාහු ද යම් කෙනෙක් වන්‍දනාවට නිසි වූවාහු ද නුඹ වහන්සේ ඒ සියල්ලන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූවහු යැ. නුඹ වහන්සේට සම වූයෙක් නැති.
Pali BJT43. සාරිපුත්තො මහාපඤ්ඤො සමාධිජ්ඣානකොවිදො ගිජ්ඣකූටෙ ඨිතොයෙව පස්සති ලොකනායකං.
Sinhala BJT43. මහාප්‍රඥා වූ චිත්තසමාධියෙහි හා ප්‍රථමධ්‍යානාදියෙහි නිපුණ වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගිජුකුළු පව්වෙහි සිටියාහු මැ (රුවන් සක්මන්හි සක්මන් කරන) ලෝකනායක වූ සර්‍වඥයන් වහන්සේ දුටුවාහ.
Pali BJT44. සුඵුල්ලං සාලරාජං ව{3} චන්දංව ගගනෙ යථා මජ්ඣන්තිකෙ’ව{4} සුරියං ඔලොකෙති නරාසභං
Sinhala BJT44. නරශ්‍රේෂ්ඨ වූ සර්‍වඥයන් වහන්සේ සුපිපි සල්රුකක් මෙන් ද, අහසෙහි (තරු පිරිවරන ලද) පුන්සඳු සෙයින් ද, බබලන මධ්‍යාහ්න සූර්‍ය්‍යයා සෙයින් ද දුටුවාහ.
Pali BJT45. ජලන්තං දීපරුක්ඛං’ව තරුණසුරියං’ව{5} උග්ගතං. බ්යාමප්පභානුරඤ්ජිතං ධීරං පස්සති නායකං.
Sinhala BJT45. දිලියෙන ව්‍යාමප්‍රභායෙන් හාත්පසින් රැඳුණු ධීර වූ ලෝකනායකයන් වහන්සේ (නැඟූ පහන් ඇති) දිලියෙන පහන් රුකක් සෙයින් ද උදයට පැමිණි ළහිරු මඬලක් සෙයින් ද දුටුවාහ.
Pali BJT46. පඤ්චන්නං භික්ඛුසතානං කතකිච්චානතාදිනං ඛීණාසවානං විමලානං ඛණෙන සන්නිපාතයි.
Sinhala BJT46. සිව්සස්හි කොට නිමැ වූ කිස ඇති ලාභලාභාදියෙහි තාදී වූ මඟනැණින් ක්‍ෂය කළ ආස්‍රව ඇති විගත වූ රාගාදි මල ඇති පන්සියක් භික්‍ෂූන් ඇසිල්ලෙකින් රැස් කරවූහ.
Pali BJT47. ලොකප්පසාදනං{1} නාම පාටිහීරං නිදස්සයි අම්හෙ’පි තත්ථ ගමිස්සාම{2} වන්දිස්සාම මයං ජිනං.
Sinhala BJT47. බුදුහු ලෝකවිවරණ නම් වූ ප්‍රාතිහාර්‍ය්‍යයක් දැක්වූහ. ඇපිදු එහි යම්හ. ඇපි ජිතපඤ්චමාර වූ සර්‍වඥයන් වහන්සේ වඳිම්හ.
Pali BJT48. එථ සබ්බෙ සමාගන්ත්වා පුච්ඡිස්සාම මයං ජිනං. කඞ්ඛං විනොදයිස්සාම පස්සිත්වා ලොකනායකං.
Sinhala BJT48. එනු මැන ඇපි හැමදෙනමෝ රැස් වැ සිට ජිතපඤ්චමාර වූ බුදුරදුන් විචාරම්හ. ලෝකනායකයන් වහන්සේ දැක කාඞ්ක්‍ෂා දුරු කරම්හ.
Pali BJT49. සාධූති තෙ පටිස්සුත්වා නිපකා සංවුතින්ද්රියා පත්තචීවරමාදාය තරමානා උපාගමුං{3}
Sinhala BJT49. නිපකප්‍රඥා ඇති සංවර කළ ඉඳුරන් ඇති ඒ භික්‍ෂූහු මැනැවැ යි පිළිවදන් දි පාසිවුරු ගෙන යුහු වැ තෙරුන් කරා එළඹියාහු යැ.
Pali BJT50. ඛීණාසවෙහි විමලෙහි දන්තෙහි උත්තමෙ දමෙ සාරිපුත්තො මහාපඤ්ඤො ඉද්ධියා උපසඞ්කමි.
Sinhala BJT50. උත්තම දම සඞ්ඛ්‍යාත අර්‍හත්‍වය නිමිති කොට කයින් හා සිතින් හා දැමුණු විගතමල වූ ඒ ක්‍ෂීණාස්‍රවයන් සමග මහාප්‍රාඥ වූ සැරියුත් මහතෙරණුවෝ ඍද්ධියෙන් බුදුන් වෙත එළඹියහ.
Pali BJT51. තෙහි භික්ඛූහි පරිවුතො සාරිපුත්තො මහාගණී. ජලන්තො දෙවො ගගනෙ’ව{4} ඉද්ධියා උපසඞ්කමි.
Sinhala BJT51. මහත් වූ ගණ ඇති ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ ඒ භික්‍ෂූන් විසින් පිරිවරන ලද්දාහු අහස්හි දිලියෙන දෙවියකු සෙයින් ඍද්ධියෙන් බුදුරදුන් කරා එළඹියහ.
Pali BJT52. උක්කාසිතඤ්ච ඛිපිතං{5} අජ්ඣුපෙක්ඛිත්ව{6} සුබ්බතා සගාරවා සප්පතිස්සා සම්බුද්ධං උපසඞ්කමුං.
Sinhala BJT52. ඒ භික්‍ෂූහු උකැසිහඬ ද කිවිසිහඬ ද නො කොට සුවිමල ධුතගුණ ඇත්තාහු බුද්ධ ගෞරවයෙන් සගෞරව වූවාහු නීචවෘත්ති ඇත්තාහු සම්මාසම්බුදුන් කරා එළඹියාහ.
Pali BJT53. උපසඞ්කමිත්වා පස්සන්ති සයම්භුං ලොකනායකං නභෙ අච්චුග්ගතං ධීරං චන්දං’ව ගගනෙ යථා.
Sinhala BJT53. එළැඹ ගුවන්තෙලෙහි උදයට පැමිණි චන්‍ද්‍රයා සෙයින් ස්වයම්භූ වූ ලෝකනායක වූ අහස්හි පැන නැඟී සිටි ධීර වූ සර්‍වඥයන් වහන්සේ දක්නාහ.
Pali BJT54. ජලන්තං දීපරුක්ඛං’ව විජ්ජුං’ව{7} ගගනෙ යථා මජ්ඣන්තිකෙ’ව සුරියං පස්සන්ති ලොකනායකං.
Sinhala BJT54. දිලියෙන පහන්රුකක් සෙයින් ද ගුවන්තෙලෙහි විදුලිය සෙයින් ද මධ්‍යාහ්නයෙහි සූර්‍ය්‍යයා සෙයින් ද ලෝකනාථයන් වහන්සේ දුටුවාහ.
Pali BJT55. පඤ්චභික්ඛුසතා සබ්බෙ පස්සන්ති ලොකනායකං රහදමිව විප්පසන්නං සලිලං සුඵුල්ල පදුමං යථා{8}
Sinhala BJT55. සියලු පන්සියක් භික්‍ෂූහු පහන්දිය ඇති සුපිපි පියුම් ඇති විලක් සෙයින් ලෝකනායකයන් වහන්සේ දුටුවාහ.
Pali BJT56. අඤ්ජලිං පග්ගහෙත්වාන තුට්ඨහට්ඨා{9} පමොදිතා නමස්සමානා නිපතන්ති සත්ථුනො චක්කලක්ඛණෙ.
Sinhala BJT56. (සැරියුත් තෙරුන් ප්‍රමුඛ ඒ භික්‍ෂූහු) මුදුනෙහි ඇඳිලි බැඳගෙන තුටුපහටු වූවාහු ප්‍රමුදිත වූවාහු නමස්කාර කෙරෙමින් ශාස්තෲන් වහන්සේ ගේ චක්‍රලක්‍ෂණ ඇති පාද සමීපයෙහි වැඳ වැටුණාහ.
Pali BJT57. සාරිපුත්තො මහාපඤ්ඤො කොරණ්ඩසමසාදිසො සමාධිජ්ඣානකුසලො වන්දති{10} ලොකනායකං.
Sinhala BJT57. මහනුවණැති වූ කටුකරඬු මල් සුදුසු පැහැ ඇති වූ චිත්තසමාධියෙහි හා ප්‍රථමධ්‍යානයෙහි ඡේක වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ලෝකනායක වූ සර්‍වඥයන් වහන්සේ වැන්දාහ.
Pali BJT58. ගජ්ජිතා{1} කාළමෙඝො’ව නීලුප්පලසමසාදිසො ඉද්ධිබලෙන{2} අසමො මොග්ගල්ලානො මහිද්ධිකො.
Sinhala BJT58. ගර්‍ජනා කරන කාළමේඝයක් බඳු වූ නීලෝත්පල සදෘශ ප්‍රභා ඇති ඍද්ධිබලයෙන් අසම වූ මහත් ඍද්ධි ඇති මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ සර්‍වඥයන් වහන්සේ වැන්දාහ.
Pali BJT59. මහාකස්සපො’පි ච ථෙරො උත්තත්තකනකසන්නිභො ධුතගුණෙ අග්ගනික්ඛිත්තො ථොමිතො සත්ථු වණ්ණිතො.
Sinhala BJT59. රත්රන් බඳු සිවිපැහැ ඇති, ධූතගුණයෙහි අගතැන්හි තබන ලද, ශාස්තෲන් වහන්සේ විසින් ස්තූති කරන ලද වර්‍ණනා කරන ලද මහසුප් මහතෙරණුවෝ ද සර්‍වඥයන් වහන්සේ වැන්දාහ.
Pali BJT60. දිබ්බක්ඛූනං යො අග්ගො අනුරුද්ධො මහාගණී ඤාතිසෙට්ඨො භගවතො අවිදූරෙ’ව තිට්ඨති.
Sinhala BJT60. යම් කෙනෙක් දිවැස් ඇතියන් අතුරින් අග්‍ර වූ නම් භාග්‍යවතුන් වහන්සේගේ ඥාතිශ්‍රේෂ්ඨ වූ නම් ඒ මහත් ගණ ඇති අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ නුදුරෙහි මැ සිටියාහ.
Pali BJT61. ආපත්තිඅනාපත්තියා සතෙකිච්ඡාය{3} කොවිදො විනයෙ අග්ගනික්ඛිත්තො උපාලි සත්ථු වණ්ණිතො.
Sinhala BJT61. ප්‍රතිකර්‍ම සහිත වූ ද රහිත වූ ද, ආපත්තිඅනාපත්තියෙහි ඡේක වූ, විනයෙහි අගතැන්හි තබන ලද, ශාස්තෲන් විසින් වර්‍ණනා කරන ලද උපාලි තෙරණුවෝ (නුදුරෙහි මැ සිටියාහ.)
Pali BJT62. සුඛුමනිපුණත්ථපටිවිද්ධො කථීකානං පවරො ගණී ඉසි මන්තානියා පුත්තො පුණ්ණො නාමා’ති විස්සුතො.
Sinhala BJT62. ප්‍රතිවේධ කළ සූක්‍ෂම වූ නිපුණ වූ අර්‍ත්‍ථ ඇති, ධර්‍ම කථිකයන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ ගණ ඇති ඍෂී වූ, මන්තානි නම් බැමිණියගේ පුත්‍ර වූ ‘පුණ්ණ’ නමැයි ප්‍රසිද්ධ වූ තෙරණුවෝ ද (නුදුරෙහි සිටියාහ.)
Pali BJT63. එතෙසං චිත්තමඤ්ඤාය ඔපම්මකුසලො මුනි කඞ්ඛච්ඡෙදො මහාවීරො කථෙසි අත්තනො ගුණං.
Sinhala BJT63. මොවුන්ගේ සිත් දැන උපමායෙහි දක්‍ෂ වූ සැක සිඳුනා වූ මහත් වීර්‍ය්‍ය ඇති සර්‍වඥයන් වහන්සේ තමන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කළහ.
Pali BJT64. චත්තාරො තෙ අසඞ්ඛෙය්යා කොටි යෙසං න ඤායති සත්තකායො ච ආකාසො චක්කවාළා ච නන්තකා බුද්ධඤාණං අප්පමෙය්යං න සක්කා එතෙ විජානිතුං.
Sinhala BJT64. යම් කෙනකුන්ගේ අන්තය නො පැනේ නම් මොහු සතර දෙන සඞ්ඛ්‍යානයට (ගණනට) නො හැකි වෙති: සත්ත්‍ව සමූහය ද ආකාශය ද චක්‍රවාටයෝ ද අනන්තයෝ යැ බුද්ධඥානය ප්‍රමාණ කළ නො හැක්කේ යැ. මොහු දැනගන්නට නො හැක්කාහ.
Pali BJT65. කිං එතං අච්ඡරියං ලොකෙ යං මෙ ඉද්ධිවිකුබ්බනං අඤ්ඤෙ බහූ අච්ඡරියා අබ්භුතා ලොමහංසනා.
Sinhala BJT65. මාගේ ඍද්ධි විකුර්‍වණය යන යමෙක් ඇද්ද තෙල ලොවැ කවර නම් ආශ්චර්‍ය්‍යයෙක් ද? අද්භූත වූ ලොමුදහ ගන්වන අර්‍න්‍ය වූ ආශ්චර්‍ය්‍යයෝ බොහෝ වෙති.
Pali BJT66. යදා’හං තුසිතෙ කායෙ සන්තුසිතො නාමහං තදා දසසහස්සී සමාගම්ම යාචන්ති පඤ්ජලී මමං.
Sinhala BJT66. යම් කලෙකැ මම් තුෂිත දිව්‍යනිකායයෙහි සන්තුෂිත නම් දෙවි වූයෙම් ද එකල්හි දසදහසක් සක්වළැ දෙවියෝ රැස් වැ මා කරා පැමිණ බදැඳිලි වැ අයදිත්:
Pali BJT67. කාලො’යං තෙ{4} මහාවීර උප්පජ්ජමාතුකුච්ඡියං සදෙවකං තාරයන්තො බුජ්ඣස්සු අමතං පදං.
Sinhala BJT67. මහාවීරයාණෙනි, මේ මුඹට බුදුවන්නට කලි. මව්කුසැ පිළිසිඳගනු මැනැවැ. දෙවියන් සහිත ලෝකය තරණය කෙරෙමින් අමෘතපදය අවබෝධ කළ මැනැවැ’යි.
Pali BJT68. තුසිතා කායා චවිත්වාන යදා ඔක්කමී{1} කුච්ඡියං දසසහස්සීලොකධාතු කම්පිත්ථ ධරණී තදා.
Sinhala BJT68. යම් කලෙක තුෂිත දිව්‍යනිකායෙන් ච්‍යුත වැ මව් කුසැ පිවිසියෙම් ද එකල්හි දශස්හශ්‍රීලෙකධාතු ධරණිය කම්පා විය.
Pali BJT69. යදා’හං මාතුකුච්ඡිතො සම්පජානො’ව නික්ඛමිං සාධුකාරං පවත්තෙන්තී{2} දසසහස්සී පකම්පථ{3}.
Sinhala BJT69. යම් කලෙක මම් සිහි ඇති වැ මව්කුසින් නික්මියෙම් ද එකල්හි දශස්හශ්‍රීලෙකධාතුව සාධුකාර පවත්වමින් කම්පා විය.
Pali BJT70. ඔක්කන්ති{4} මෙ සමො නත්ථි ජාතිතො අභිනික්ඛමෙ සම්බොධියං අහං සෙට්ඨො ධම්මචක්කප්පවත්තනෙ.
Sinhala BJT70. ගර්‍භාවක්‍රාන්තියෙහි ද මව්කුසින් බිහිවීමෙහි ද මා හා සමයෙක් නැති. සම්බෝධියෙහි දම්සක්පැවැත්මෙහි මම් ශ්‍රේෂ්ඨයෙමි.
Pali BJT71. අහො අච්ඡරියං ලොකෙ බුද්ධානං ගුණමහන්තතා දසසහස්සීලොකධාතු ඡප්පකාරං පකම්පථ ඔභාසො ච මහා ආසි අච්ඡෙරං ලොමහංසනං.
Sinhala BJT71. ලොවැ බුදුවරයන්ගේ ගුණමහත් බව අහෝ ආශ්චර්‍ය්‍ය යැ. දසදහසක් සක්වළැ මහපොළොව ෂට්ප්‍රකාරයෙකින් සැලුණේ යැ. මහත් වූ අවභාසයෙක් ද ආශ්චර්‍ය්‍යයෙක් ද ලෝමහර්‍ෂයෙක් ද විය.
Pali BJT72. භගවා ච තම්හි සමයෙ ලොනජෙට්ඨො නරාසභො සදෙවකං දස්සයන්තො ඉද්ධියා චඞ්කමී ජිනො.
Sinhala BJT72. එසමයෙහි ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ ජිතපඤ්චමාර වූ භාග්‍යවතුන් වහන්සේ ද දෙවියන් සහිත ලෝකයාට පෙළහර දක්වමින් ඍධියෙන් සක්මන් කළහ.
Pali BJT73. චඞ්කමෙ චඞ්කමන්තො’ව කථෙසි ලොකනායකො අන්තරා න නිවත්තෙති චතුහත්ථෙ චඞ්කමෙ යථා{5}.
Sinhala BJT73. ලෝකනායක වූ ශාස්තෲන් වහන්සේ සක්මන්හි සක්මන් කරන්නාහු මැ (මිහිරි දහම් කථා) වදාළහ. (පැළ–පැදුන් සක්වළ මුවවිට හිම් කොට ඇති සක්මන්හි) සතර රියන් සක්මනෙක්හි සෙයින් අතුරෙහි නො නවත්නාහ.
Pali BJT74. සාරිපුත්තො මහාපඤ්ඤො සමාධිජ්ඣානකොවිදො පඤ්ඤාය පාරමිප්පත්තො{6} පුච්ඡති ලොකනායකං.
Sinhala BJT74. මහාප්‍රාඥ වූ චිත්තසමාධියෙහි හා ප්‍රථමාධ්‍යානාදියෙහි ඡේක වූ ශ්‍රාවකපාරමිඥානයෙහි පාරයට පැමිණි ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ලෝකනායක වූ භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්ති:
Pali BJT75. කීදිසො තෙ මහාවීර අභිනීහාරො නරාසභ කම්හි කාලෙ තයා ධීර පත්ථිතා බොධිමුත්තමා.
Sinhala BJT75. මහ වීරයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, මුඹ වහන්සේ ගේ අභිනීහාරය කිබඳු යැ? ධීරයන් වහන්ස, මුඹ වහන්සේ විසින් කවර කලෙකැ උත්තම බෝධිය ප්‍රාර්‍ත්‍ථනා කරන ලද ද?
Pali BJT76. දානං සීලං ච නෙක්ඛම්මං පඤ්ඤාවිරියං ච කීදිසං ඛන්තිසච්චමධිට්ඨානං මෙත්තුපෙක්ඛා ච කීදිසා.
Sinhala BJT76. (මුඹ වහන්සේ ගේ) දානය ද ශීලය ද නෛෂ්ක්‍රම්‍යය ද ප්‍රඥාව ද වීර්‍ය්‍ය ද කිබඳු යැ? ක්‍ෂාන්තිය ද සත්‍යය ද අධිෂ්ඨානය ද මෛත්‍රිය ද උපේක්‍ෂාව ද කිබඳු යැ?
Pali BJT77. දසපාරමී තයා ධීර කීදිසා{1} ලොකනායක කථං උපපාරමී පුණ්ණා පරමත්ථපාරමී කථං.
Sinhala BJT77. ධීර වූ ලෝකනායකයන් වහන්ස, මුඹ වහන්සේ විසින් කෙබඳු දසපාරමී පුරන ලද ද? කෙසේ දස උපපාරමී පුරන ලද ද? කෙසේ දස පරමත්‍ථපාරමී පුරන ලද දැ? යි.
Pali BJT78. තස්ස පුට්ඨො වියාකාසි{2} කරවීකමධුරං ගිරො{3} නිබ්බාපයන්තො හදයං හාසයන්තො සදෙවකං.
Sinhala BJT78. ඒ සැරියුත් තෙරුන් විසින් පුළුවුස්නා ලද කුරවිකෙවිල්ලනට බඳු මිහිරි වදන් ඇති සර්‍වඥයන් වහන්සේ (කෙලෙසින් තැවුණවුන්ගේ) ළය නිවමින් සදේවක ලෝකයා තුටු කෙරෙමින් ප්‍රකාශ කළාහු යැ.
Pali BJT79. අතීතබුද්ධානං ජිනානං දෙසිතං නිකීළිතං{4} බුද්ධපරම්පරාගතං පුබ්බෙනිවාසානුගතාය බුද්ධියා පකාසයී ලොකහිතං සදෙවකෙ.
Sinhala BJT79. ජිතපඤ්චමාර වූ අතීත බුදුවරයන් විසින් දේශිත වූ උන්වහන්සේගේ චරිතය වු සම්බුදු පරපුරෙන් පැවැත ආවා වූ ලොවට හිත වූ බුද්ධවංශය පෙරවිසූ කඳපිළිවෙළ දන්නා නුවණින් දෙවියන් සහිත ලෝකයාට ප්‍රකාශ කළ සේක.
Pali BJT80. පීතිපාමොජ්ජජනනං සොකසල්ලවිනොදනං සබ්බසම්පත්තිපටිලාභං චිත්තීකත්වා සුණොථ{5} මෙ
Sinhala BJT80. ප්‍රීතිප්‍රමෝදය උපදනා වූ ශෝකශල්‍යය දුරු කරන්නා වූ සර්‍වසම්පත් ලාභයට කරුණු වූ මා කියන බුද්ධවංශ දේශනාව සිත්හි ලා අසවු.
Pali BJT81. මදනිම්මදනං සොකනුදං සංසාරපරිමොචනං{6} සබ්බදුක්ඛක්ඛයං මග්ගං සක්කච්චං පටිපජ්ජථා’ති.
Sinhala BJT81. ජාත්‍යාදි මද නිර්‍මදනය කරන්නා වූ ශෝකය දුරු කරන්නා වූ සංසාරබන්‍ධනයෙන් මුදාලන්නා වූ ජාත්‍යාදි හැම දුක් ක්‍ෂය කරන්නා වූ මාර්‍ගය වු බුද්ධවංශදේශනාව සකසා අසවු. නොහොත් ප්‍රීතිප්‍රමෝදය උපදනා ශෝකශල්‍ය දුරු කරන, සියලු සම්පත් ප්‍රතිලාභයට කරුණු වූ බුද්ධවංශදේශනාව අසා. මද නිර්‍මදනය කරන ශෝකය දුරලන සසර බැඳුමින් මුදාලන සියලු දුක් ක්‍ෂය කරන බුද්ධභාව සඞ්ඛ්‍යාත මාර්‍ගයට බසිවු” යයි.
Pali BJTරතනචඞ්කමනකණ්ඩො නිට්ඨිතො.
Sinhala BJTරත්නචඞ්ක්‍රමණ කාණ්ඩය නිමි.
Pali BJTසුමෙධ කථා
Sinhala BJTසුමේධ කථා
Pali BJT1. කප්පෙ ච සතසහස්සෙ ච චතුරො ච අසඞ්ඛියෙ අමරං නාම නගරං දස්සනෙය්යං මනොරමං.
Sinhala BJT1. සාරාසැකි කප්සුවහස් මතුයෙහි දැකුම්කලු මනහර වූ අමර නම් නුවරෙක් වී.
Pali BJT2. දසහි සද්දෙහි අවිවිත්තං අන්නපානසමායුතං හත්ථිසද්දං අස්සසද්දං භෙරිසඞ්ඛරථානි ච{1} ඛාදථ පිවථ චෙව අන්නපානෙන ඝොසිතං.
Sinhala BJT2. ආහාරපානයෙන් යුක්ත වූ ඇතුන්ගේ කුඤ්චනාදය අසුන්ගේ හේසාරවය බෙර සක් රිය හඬින් ද (වීණා ගිත සම්මතාල ශබ්දයෙන් ද) කව පොව ආදි වූ ආහාරපාන පිළිබඳ ශබ්දයෙන් ඝෝෂා කරන ලද දස වැදෑරුම් ශබ්දයෙන් නො වෙන් වූ,
Pali BJT3. නගරං සබ්බඞ්ගසම්පන්නං සබ්බකම්මමුපාගතං සත්තරතනසම්පන්නං නානාජනසමාකුලං සමිද්ධං දෙවනගරංව ආවාසං පුඤ්ඤකම්මිනං.
Sinhala BJT3. සියලු නගරාඞ්ගයෙන් සම්පූර්‍ණ වූ සියලු කර්‍මාන්තයෙන් යුක්ත වූ සත්රුවනින් සමෘද්ධ වූ නානා ජනයා විසින් ගැවැසිගත් එනුවර සමෘද්ධ වූ (ආලකමන්‍දා) දෙව්නුවර සෙයින් පින්කම් කළ ජනයන්ට ආවාස වී.
Pali BJT4. නගරෙ අමරවතියා සුමෙධො නාම බ්රාහ්මණො අනෙකකොටිනිචයො පහූතධනධඤ්ඤවා.
Sinhala BJT4-5. ඒ අමරවතී නගරයෙහි රැස්කළ නොයෙක් කෙළ ගණන් බොහෝ ධන ධාන්‍ය ඇති වේද හදාරන්නා වූ වේද මන්ත්‍ර ධරන්නා වූ ත්‍රිවේදයාගේ පරතෙරට ගිය ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ද ඉතිහාසයෙහි ද ස්වකීය බ්‍රාහ්මණධර්‍මයෙහි ද පරතෙරට ගිය සුමේධ නම් බ්‍රාහ්මණයෙක් වී.
Pali BJT5. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානපාරගූ ලක්ඛණෙ ඉතිහාසෙ ච සධම්මෙ පාරමිං ගතො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6. රහොගතො නිසීදිත්වා එවං චින්තෙසහං තදා දුක්ඛො පුනබ්භවො නාම සරීරස්ස ච භෙදනං (සම්මොහමරණං දුක්ඛං ජරාය අභිමද්දනං.){*}
Sinhala BJT6. එකල්හි සුමේධපණ්ඩිත නම් වූ මම් එකලා වැ හිඳ මෙසේ සිතීමි: පුනර්‍භවය නම් දුකෙකි, ශරීරභෙදන සඞ්ඛ්‍යාත මරණය ද දුකෙකි.
Pali BJT7. ජාතිධම්මො ජරාධම්මො ව්යාධිධම්මො ච’හං සදා අජරං අමරං ඛෙමං පරියෙසිස්සාමි නිබ්බුතිං.
Sinhala BJT7. ඒ සුමේධපණ්ඩිත සමයෙහි මම ඉපදීම ස්වභාව කොට ඇත්තෙම් ජරාව ස්වභාව කොට ඇත්තෙම් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙම් වෙමි. එහෙයින් ජරා රහිත වූ මරණ රහිත වූ නිර්‍භය වූ නිර්‍වාණය සොයන්නෙමි.
Pali BJT8. යන්නූනිමං පූතිකායං නානා කුණපපූරිතං ඡඩ්ඩයිත්වාන ගච්ඡෙය්යං අනපෙඛො{2} අනත්ථිකො.
Sinhala BJT8. නානා කුණපයෙන් පිරුණු මේ කුණු කය හැර දමා නිරාලය වූයෙම් අර්ත්‍ථී නො වූයෙම් යන්නෙම් නම් යෙහෙකැ යි.
Pali BJT9. අත්ථි හෙහිති සො මග්ගො න සො සක්කා න හෙතුයෙ පරියෙසිස්සාමි තං මග්ගං භවතො පරිමුත්තියා.
Sinhala BJT9. (යම් මාර්‍ගයෙකින් නිවනට යෙම් ද) ඒ මඟ අවශ්‍යයෙන් ඇත, වන්නේ යැ, ඒ මඟ හේතු නො වන්නට නො හැකි, භවයෙන් මිදීම පිණිස ඒ මඟ සොයන්නෙමි.
Pali BJT10. යථා’පි දුක්ඛෙ විජ්ජන්තෙ සුඛං නාම’පි විජ්ජතී එවං භවෙ විජ්ජමානෙ විභවො’පි ඉච්ඡිතබ්බකො.
Sinhala BJT10. යම්සේ දුක ඇති කල්හි සුවයෙකුදු ඇද්ද එසෙයින් භවය ඇති කල්හි විභවයෙකුදු කැමැති වියයුතු යැ.
Pali BJT11. යථා’පි උණ්හෙ විජ්ජන්තෙ අපරං විජ්ජති සීතලං එවං තිවිධග්ගි විජ්ජන්තෙ නිබ්බානං ඉච්ඡිතබ්බකං.
Sinhala BJT11. යම්සේ උෂ්ණය ඇති කල්හි අන්‍ය ශීතයෙකුදු ඇද්ද එසෙයින් (රාගාදි) තුන් ගිනි ඇති කල්හි නිවනෙක් කැමැති වියයුතු යැ.
Pali BJT12. යථා’පි පාපෙ විජ්ජන්තෙ කල්යාණම්පි විජ්ජති එවමෙව ජාති විජ්ජන්තෙ අජාතිපිච්ඡිතබ්බකා{1}
Sinhala BJT12. යම්සේ පාපය ඇති කල්හි කුශලයෙකුදු ඇද්ද, එසෙයින් ජාතිය ඇති කල්හි නො ඉපැද්මකුදු කැමැති වියයුතු යැ.