මෙසේ අම්බපාලී මෙහෙණ මේ ගාථාවන් කිවු යැ.
නවවැනි අම්බපාලී ස්ථවිරාවදාන යි.
4. 10 පේසලාපදානය
1323. මේ භද්‍රකල්පයෙහි බ්‍රහ්මබන්‍ධු වූ මහායශස් ඇති වාදීන් කෙරෙහි උතුම් වූ නමින් කස්සප නම් බුදුහු උපන් සේක.
1324. මම සැවැත්පුරවරයෙහි උවසුකුලයෙක උපන්මු. ඒ ජිනවරයන් දැක දේශනාව ද අසා -
1325-1326. ඒ වීරයන් සරණ ගොස් සිල් ද සමාදන් වීමි, කිසිකලෙක ඒ නරාසභ වූ මහාවීරයන් වහන්සේ මහාජන සමාගමයෙහි තමන් වහන්සේගේ අභිසම්බෝධිය ප්‍රකාශ කළ සේක: “දුක්ඛා දි වූ පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි -
1327. නුවණැස ද ඥානය ද ප්‍රඥාව ද මාගේ විද්‍යාලෝකය ද වී” යයි ඒ අසා ඉගෙන යළි භික්‍ෂූන් විචාළමු.
1328. මොනොවට කළ ඒ කර්‍මයෙන් ද චේතනා පිහිටුවීමෙන් ද මම මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
1329. දැන් පශ්චිම භවයෙහි මහ සිටුකුලයෙහි උපන්මු. බුදුන් කරා එළැඹැ සත්‍යප්‍රතිසංයුක්ත වූ සද්ධර්‍මය අසා -
1330. පැවිදි වැ නොබෝ කලෙකින් මැ සත්‍යාර්‍ත්‍ථයන් විමසමින් සියලු ආස්‍රවයන් ගෙවා රහත්බවට පැමිණියමු.
1331. මහාමුනිවරය, ඍද්ධීන්හි ද දිවසෝධායෙහි ද වසී වෙමි, චේතෝපරියඤාණයාගේ ද වසී වෙමි.
1332. පූර්‍වනිවාස දනිමි, දිව ඇස විශෝධිත යැ, සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්‍භවයෙක් නැති.
1333. බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ අනුහසින් අත්‍ථ ධම්ම නිරුත්තීන්හි ද එසේ මැ පටිභානයෙහි ද මාගේ ඥානය විමල යැ, පරිශුද්ධ යි.
1334. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, කෙලෙස් බැඳුම් සිඳ ආස්‍රව රහිත වැ ඇතින්නක මෙන් වෙසෙමි.
1335. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි එකැතින් මාගේ ස්වාගතය විය, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්තයහ, බුදුසසුන් කරන ලද.
1336. සිව්පිළිසිඹියා ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥා ද පසක් කරන ලදහ, බුදුසසුන් කරන ලදී.
මෙසෙයින් පේසලා මෙහෙණ මේ ගාථා කිවු යැ.
දසවැනි පේසලා ස්ථවිරාවදාන යි.
හතරවැනි ඛත්තියා වර්‍ග යි.
එහි උද්දානය:
කැත් මෙහෙණන්ගේ අපදාන යැ, බැමිණි මෙහෙණන්ගේ අපදාන යැ, උප්පලදායිකා යැ, සිගාලමාතු යැ, සුක්කා යැ, අභිරූපනන්‍දා යැ, අඩ්ඪකාසීයැ -
පුණ්ණා යැ, අම්බපාලී යැ, පේසලා යැයි අපදාන දසයක් වෙති. එහි ගාථා දෙසාලිසක් අධික කොට ඇති දෙසියයක් වෙත්.
යළි වර්‍ග උද්දානය:
සුමේධා වර්‍ග යැ, ඒකුපෝසථික වර්‍ග යැ, කුණ්ඩලකේසී වර්‍ග යැ, ඛත්තියා වර්‍ග යි එහි ගාථා සත්සාලිසක් හා එක්දහස් තුන්සියෙකි.
විභාවීන් විසින් උද්දාන ගාථා සමග ගණන ලද්දාහු එක්දහස් තුන්සියසත්පනසෙකි.
ථේරීඅපදානය සමාප්ත යැ.
අපදානපාළි සමාප්ත යි.