Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 9501-9600 න් 9627

1222. මේ භද්‍රකල්පයෙහි නරශාර්දූල වූ කකුසන්‍ධ නම් ජිනෝත්තමයන් වහන්සේ උපන්හ. එකල්හිදු මා එසෙයින් මැ -
1223. පැවිදි ව, ආයු පමණින් සිට බුද්ධමතය බබුළුවා එයින් ච්‍යුත වූ මම් සිය භවනයට මෙන් දෙව්ලොවට ගියමු.
1224. මේ කල්පයෙහි මැ ලොවට සරණ වූ සියලු සත්නට උතුම් වූ කෝණාගමන නම් නායකයන් වහන්සේ උපන්හ.
1225. එකල්හි දු ඒ තාදී බුදුරදුන්ගේ සසුන්හි පැවිදි වැ බහුශ්‍රුත ව, ධර්‍මධර ව, බුදුසසුන බැබළවීමි.
1226. මේ කල්පයෙහි මැ කෙලෙස් රණ රහිත වූ මරණාන්තයට (නිවනට) පැමිණි ලෝකනායක වූ කස්සප නම් පුරුෂෝත්තමයන් වහන්සේ උපන්හ.
1227. ඒ නරවීරයන්ගේ ද සසුන්හි පැවිදි වැ පුහුණු කළ සදහම් ඇති ව පරිපෘච්ඡායෙහි විශාරද වූවා -
1228. සුසීල ද ලජ්ජා ඇත්තී ද වී ත්‍රිවිධ ශික්‍ෂායෙහි නිපුණ වී යාවජ්ජීවයෙන් හිත එළවන බොහෝ ධර්‍මකථා කොට -
1229. මනා කොට කළ ඒ කර්‍මයෙන් ද චේතනා පිහිටුවීමෙන් ද මම මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
1230. දැන් පශ්චිම භවයෙහි ගිරිව්‍රජ (රජගහ) පුරවරයෙහි සමෘද්ධ වූ මහත් රත්න සඤ්චය ඇති සිටුකුලයෙහි ජාත වූවා -
1231. යම් කලෙක භික්‍ෂුදහසුන් විසින් පිරිවරන ලද ලෝකනායකයන් වහන්සේ සහසැස්හු විසින් පසස්නා ලද්දාහු රජගහ නුවරට වැඩිසේක් ද (කිසෙ යැ යත්:)
1232. රන්නීකක් සම වර්‍ණ ඇති භාග්‍යවතුන් වහන්සේ (තමන්) දැමුණු සේක් (තමන්) විප්‍රමුක්ත සේක් (කෙලෙසුන් කෙරෙන්) වෙසෙසින් මිදුණු පුරාණ ජටිල වූ දහසක් රහතුන් සමග රජගහ නුවරට පිවිසි සේකැ යි.
1233. ඒ බුද්ධානුභාවය ද දැක ගුණ සමූහය ද අසා බුදුන් කෙරෙහි සිත පහදවා ශක්ති පරිදි උන්වහන්සේ පිදීමි.
1234. යළි පසුකලෙක ගිහිගෙන් නික්මැ ධම්මදින්නා මෙහෙණ සමීපයෙහි අනගාරිය සාසනයෙහි පැවිදි වීමි.
1235. මම කෙස් සිඳිනු ලබත් මැ කෙලෙසුන් දැවීමි, පැවිදි වැ නොබෝ කලෙකින් මම සියලු ශාසනය ඉගෙනගත්මි.
1236-1237. ඉක්බිති මහජන සමාගමයෙහි දහම් දෙසීමි, (මා) දහම් දෙසන කල්හි නොයෙක් දහස්ගණන් සත්ත්‍වයන්ට ධර්‍මාවබෝධය වී, ඒ දැන අතිශයින් විස්මයට පැමිණි මාගේ (දහමට) පැහැදුණු යක්‍ෂයෙක් රජගහනුවර හැසිරැ -
1238. “යම් කෙනෙක් අමෘතපදය දේශනා කරන සුක්කා මෙහෙණන් ඇසුරු නො කෙරෙත් ද, මේ රජගහනුවර මිනිස්සු කුමක් කළාහු සුරා පානය කළවුන් සෙයින් සිටිත් දැ” යි.
1239. බැහැර නො ලියැයුතු පියවින් මිහිරි වූ ඕජාවත් ඒ ධර්‍මය ද මැගියෝ වලාහකයක් මෙන් නුවණැත්තාහු පානය කෙරෙති සිතම්.
1240. මහාමුනිවරය, ඍද්ධියෙහි ද දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙහි ද වශී වෙමි, පරසිත් දන්නා නුවණෙහි ද වශී වෙමි.
1241. පෙර විසූ කඳපිළිවෙළ දනිමි, දිව ඇස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්‍භවයෙක් නැති.
1242. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අර්‍ත්‍ථ ධර්‍ම නිරුක්තීන්හි ද එසේමැ පටිභානයෙහි ද මාගේ නුවණ උපන.
1243-1245. ක්ලේශයෝ දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
මෙසේ සුක්කා මෙහෙණ මේ ගාථා ප්‍රකාශ කළා යි.
පස්වැනි සුක්කා ස්ථවිරාපදාන යි.
4. 6 රූපනන්‍දාපදානය
1246. මෙයින් එක්අනූවන කපෙහි මනහර ඇස් ඇති සියලු දහම් විසයෙහි නුවණැස් ඇති විපස්සී නම් නායකයන් වහන්සේ පහළ වූ සේක.
1247. එකල මම බන්‍ධුමතී නුවර සමෘද්ධ වූ ධනධාන්‍යයෙන් පිරුණු මහාකුලයෙහි උපන්නී මනා රූ ඇති මහජනයාට ප්‍රිය ද පූජනීය ද වූමු.
1248. මහාවීර වූ විපස්සී ලෝකනායකයන් වහන්සේ කරා එළඹැ බණ අසා නරනායක වූ බුදුන් සරණ ගියමු.
1249. සීලයෙන් සංවර වැ යළි බුදුන් පිරිනිවි කල්හි ධාතු ස්තූපය මතුයෙහි රන්සතක් පිදූමු.
1250. මුදන ලද ත්‍යාග ඇති ව යාවජීවයෙන් සිල්වත් වැ එයින් සැවැ මම මිනිස්කය හැරපියා තව්තිසාවට පැමිණියමු.
1251-1252. එකල්හි මම රූපයෙන් ශබ්දයෙන් ගන්‍ධයෙන් රසයෙන් හා ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද ආයුෂයෙන් ද වර්‍ණයෙන් සුඛයෙන් යශසින් ද එසේ මැ ආධිපත්‍යයෙන් ද යන දස කරුණෙන් සෙසු දෙවියන් යටපත් කොට අභිභවා බැබැළීමි.
1253. දැන් මම පශ්චිම භවයෙහි කිඹුල්වත් නුවර උපන්මු. ඛේමක ශාක්‍ය රජුගේ දියණි වූ අතිශයින් ප්‍රසිද්ධ නන්‍දා නම් වූමු.
1254. කාන්තිය සූචනය කරන “අභිරූප” යන උපපදය මට විය, යම් කලෙක මම රූප ලාවණ්‍යයෙන් අලඞ්කාර වූ යොවුන් වියට පැමිණියෙම් ද -
1255. එකල මා සඳහා ශාක්‍යයන්ගේ ඉතා මහත් විවාදයෙක් විය, ඉක්බිති පියරජ තෙමේ ශාක්‍යයෝ නහමක් වැනසෙත්ව’ යි මා පැවිදි කැරැවී.
1256. පැවිදි වැ නරෝත්තම වූ තථාගතයන් රූපයට ද්වේෂ්‍ය වූහ යි අසා මාගේ රූපයෙන් ගර්විත වැ බුදුන් වෙත නො යමි.
1257. බුදුන් දැකීමෙහි බියපත් වූවා අවවාදයට ද නො යමි, එකල බුදුහු උපායෙකින් තමන් වහන්සේ සමීපයට (මා) පමුණුවා -
1258. මාර්‍ගයෙහි නිපුණු වූ බුදුහු අප්සරා රූපයක් බඳු වූ තරුණියක ද ජරාවට පැමිණියක ද මළ එකක ද යන තුන් ස්ත්‍රී කෙනෙකුන් ඍද්ධියෙන් දැක්වූ සේක.
1259. ඔවුන් දැක අතිශයින් සංවේගයට පැමිණියා සිය සිරුරෙහි විරක්ත වැ භවයෙහි කලකිරී සිටියමු, එකල්හි මට නායකයන් වහන්සේ මේ වදාළහ:
1260. “නන්‍දාවෙනි, (රෝගයෙන්) ආතුර වූ අපවිත්‍ර වූ කුණු වූ සෙම් සොටු නැඟෙන මල මූ වැගිරෙන, බාලයන් විසින් අභිනන්‍දනය කළ ශරීරය බලව.
1261. අරමුණෙහි එකඟ වූ මොනොවට සමාහිත වූ සිත අසුභය නිමිති කොට වඩව, මේ කය යම්සේ ද තෙල කයත් එබඳු යැ, තෙල අසුභය යම්සේ ද මේ කයත් එබඳු යැ.
1262. රෑ දහවලැ නො මැලි වැ තෙල අසුභය මෙසේ බලමින් යළි ස්වකීය ප්‍රඥායෙන් නිර්වේදයට පැමිණ වාසය කරන්නාව.
1263. මෙහි නො පමාව නුවණින් යුක්ත වැ වාසය කරන ඒ මා විසින් සාන්තර බාහිර වූ මේ කය තතුසේ දක්නා ලද්දේ ය.
1264. ඉක්බිති මම කයෙහි කලකිරීමි, මම අධ්‍යාත්මයෙහි ද නො ඇලුණිමි. අප්‍රමාද වැ සංයෝග රහිත වූවා උපශාන්ත වැ (කෙලෙස් පිරිනිවනින්) පිරිනිවියා වෙමි.
1265. මහාමුනිවරය, මම ඍද්ධි විෂයෙහි ද දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙහි ද වශී වෙමි. පරසිත් දන්නා නුවණෙහි ද වශී වෙමි.
1266. පෙර විසූ කඳ පිළිවෙළ දනිමි, දිව ඇස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්‍භවයෙක් නැති.
1267. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අත්‍ථ ධම්ම - නිරුක්තීන්හි ද එසේ මැ පටිභානයෙහි ද මාගේ ඥානය උපන.
1268-1270. ක්ලේශයෝ දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
මෙසේ රූපනන්‍දා මෙහෙණ මේ ගාථාවන් කිවු යැ.
සවැනි රූපනන්‍දා ස්ථවිරාවදාන යි.
4. 7 අඩ්ඪකාසී අපදානය
1271. මේ භද්‍රකල්පයෙහි බ්‍රහ්මබන්‍ධු වූ මහා යශස් ඇති වාදීන් කෙරෙහි උතුම් වූ නමින් කස්සප නම් වූ බුදුරජාණන් වහන්සේ උපන්සේක.
1272. එකල්හි මම් ඒ බුදුන්ගේ ශාසනයෙහි පැවිදි වැ ප්‍රාතිමෝක්‍ෂයෙහි ද පඤ්චේන්‍ද්‍රියයන්හි ද සංවෘත වැ -
1273-1274. භෝජනයෙහි පමණ දන්නී නිදිවැරීමෙහි ද යෙදුණි, යෝගයෙහි යෙදී වාස කරන මම රහත් මෙහෙණකට ආක්‍රෝශ කළමු. එකල මම දුෂ්ට සිත් ඇති වැ “ගණිකාවකැ” යි කීමි. ඒ පව් කැමින් නිරයෙහි පැසීමි.
1275. එ මැ කර්‍මාවශේෂයෙන් බෙහෙවින් මැ පරාධීන වැ ගණිකා කුලයෙහි උපන්මු. යළි පශ්චිම ජාතියෙහි -
1276. බඹසර ඵලයෙන් මම කාසිජනපදයෙහි සිටුකුලයෙකැ ඉපිදැ රූ සපුයෙන් දෙව්ලොවැ අප්සරාවක මෙන් වීමු.
1277. දර්‍ශනීය වූ මා දැක මාගේ ආක්‍රෝශඵලය හේතු කොටගෙන රජගහ පුරවරයෙහි ගණිකා බැව්හි තබාපූහ.
1278. ඒ මම් බුද්ධශ්‍රේෂ්ඨයන් විසින් දෙසනලද සදහම් අසා පූර්‍වවාසනායෙන් සමන්‍විත වැ ශාසනයෙහි පැවිදි වීමු.
1279. ඉක්බිති උපසම්පදා වීම සඳහා බුදුන් සමීපයට යන්නී මගැ ධූර්‍තයන් සිටියවුන් අසා දුතොපසම්පදාව ලදිමු.
1280. සියලු කර්‍ම ද එසේ මැ පින්පව් ද ක්‍ෂය විය, සියලු සසර තරණය කළමු. ගණිකාබව ද ක්‍ෂය කරනලද.
1281. මහාමුනිවරය, ඍද්ධීන්හි ද දිවසෝධායෙහි ද වශී වෙමි, චේතෝපරියඤාණයාගේ ද වශි වෙමි.
1282. පෙර විසූ කඳ පිළිවෙළ දනිමි, දිව ඇස පිරිසිදු කරනලද, සර්‍වාස්‍රවයෝ පරික්‍ෂීණයහ. දැන් පුනර්‍භවයෙක් නැති.
1283. මහාවීරයන් වහන්ස, නුඹවහන්සේ සමීපයෙහි අත්‍ථ - ධම්ම - නිරුක්තීන්හි ද එසේ මැ පටිභානයෙහි ද මාගේ නුවණ උපන.
1284. – 1286. කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන කරන ලදී.
මෙසේ අඩ්ඪකාසී මෙහෙණ මේ ගාථා කිවු යැ.
සත්වැනි අඩ්ඪකාසී ස්ථවිරාවදාන යි.
4. 8 පුණ්ණාපදානය
1287. විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ද, සිඛී - වෙස්සභූ - කකුසන්‍ධ යන මුනිවරයන්ගේ ද, කෝණාගමන තාදීන් වහන්සේගේ ද -
1288. කස්සප බුදුරදුන්ගේ ද ශාසනයෙහි පැවිදි වැ සිල්සපන් නුවණැති සන්හුන් ඉඳුරන් ඇති මෙහෙණක් වැ -
1289. බහුශ්‍රුත වූ ධර්‍මධර වූ ධර්‍මාර්‍ත්‍ථ පුළුවුස්නා වූ (මම) දහම් උගන්නී ද අසන්නී ද (ගුරුන්) ඇසුරුකරන්නී ද වීමි.
1290. ජනයා මැද දහම් දෙසන මම බුදුසසුන්හි (ප්‍රකට) වීමි, ඒ බහුශ්‍රුත භාවය හේතු කොටගෙන මම ප්‍රියසීල මෙහෙණන් ඉක්මවා සිතීමි.
1291. යළි දැන් පශ්චිම භවයෙහි සැවැත් පුරයෙහි මම අනේපිඬු සිටුහුගේ ගෙයි කළදැස්සක කුස උපන්මු.
1292. දිය ගෙන ඒමට ගියා දියමැද සීතලෙන් වෙවුළන සොත්‍ථිය බමුණකු දිටිමි. ඔහු දැක මෙය කීමි:
1293. හැම කලැ සීතයෙහි දිය ගෙන යන මම හිමියන්ගේ දඬුවම් බියෙන් බිය පත්වැ වාක් දෝෂ භයින් පීඩිත වැ ජලයට බස්මු.
1294. බමුණ, තෙපි කවරකුට බියපත් වැ හැම කල්හි වෙවුළන ගාත්‍රයෙන් යුක්ත වැ දියට බසිහු ද, අතිශයින් සීත විඳිනවු යැ.
1295. භවතිය පුණ්ණාවෙනි, කුශලකර්‍මයක් කරන කළ පව් වළහාලන මා ඒකාන්තයෙන් දැනැ දැනැ ම පුළුවුස්වා.
1296. භවතිය, මහලු වූ හෝ තරුණ වූ හෝ යමෙක් පව් කම් කෙරේ නම් උදකාභිසේවනයෙන් පාපකර්‍මයෙන් මිදේ යයි.
1297. දියෙන් නැගීසිටිනහුට ධර්‍මාර්‍ත්‍ථයෙන් යුක්ත වූ වදනක් කීමි, එ ද අසා සංවේගයට පත් හේ පැවිදි වැ රහත් වී.
1298. එකකින් ඌන වූ සියය පුරමින් යම් හෙයෙකින් දැස් කුලෙහි උපන්මු ද, එහෙයින් “පුණ්ණා” යයි මාගේ නම විය, ඔව්හු මා නිදස් කළහ.
1299. ඉක්බිති සිටාණන්ට අනුමෝදනා කොට ශාසනයෙහි පැවිදි වීමි, නොබෝ කලෙකින් මැ රහත්බවට පැමිණියමු.
1300. මහාමුනිවරය, ඍද්ධීන්හි ද දිබ්බසෝතධාතුයෙහි වසී වෙමි, චේතෝපරියඤාණයාගේ ද වසී වෙමි.
1301. පූර්‍වනිවාස දනිමි, දිව ඇස ශුද්ධ කරන ලද, සර්‍වාස්‍රවයෝ පරික්‍ෂීණයහ, දැන් පුනර්‍භවයෙක් නැති.
1302. බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ අනුහසින් අර්‍ත්‍ථ ධර්‍ම නිරුක්තීන්හි ද එසේ මැ ප්‍රතිභානයෙහි ද මාගේ ඥානය නිර්‍මල විය, පරිශුද්ධ වී.
1303. භාවනායෙන් මහාප්‍රඥා ඇතිවීමි, ශ්‍රැතය හේතු කොට ගෙන ශ්‍රැතාවිනී වෙමි, මානයෙන් නීචකුලයෙහි උපන්මු. එසේ මැය, කර්‍මය නො නැසෙන්නේ යි.
1304. – 1306. ක්ලේශයෝ දවන ලදහු ... බුදුසසුන් කරන ලදී.
මෙසේ පුණ්ණා මෙහෙණ මේ ගාථා කිවු යැ.
අටවැනි පුණ්ණා ස්ථවිරාපදාන යි.
4. 9 අම්බපාලී අපදානය
1307. රස් පහස් ලද රැළි ඇති යම් ඵුස්ස නම් මහාමුනි කෙනෙක් වූවාහු ද, මම් ඔබට බුහුන වීමු. කැත්කුලෙහි උපන්මු.
1308. ඒ බුදුන්ගේ දහම් අසා වෙසෙසින් පහන් සිතින් යුක්ත වැ මහදන් දී රූප සම්පත් ප්‍රාර්‍ත්‍ථනා කළමු.
1309. මොබින් එක්තිස්වන කපෙහි ලෝකාග්‍රනායක වූ ලොවට ප්‍රදීප වූ තුන්ලොවට සරණ වූ සිඛී නම් ජිතපඤ්චමාරයන් වහන්සේ පහළ වූ සේක.
1310. එකල රම්‍ය වූ අරුණ පුරයෙහි බමුණු කුලයෙහි උපන්මු, කිපුණු කිත් ඇති වැ රහත් මෙහෙණකට ශාප කළමු.
1311. “වෛශ්‍යාවක මෙන් අනාචාර ඇති වැ බුදුසසුන දූෂණය කරන්නී” යයි මෙසේ ආක්‍රෝශ කොට ඒ පව් කැමින් -
1312. දරුණු වූ නිරයට ගොස් මහත් වූ දුකින් මඩනා ලදුමු, එයින් සැවැ මිනිස් ලොවැ බැගෑපත් වැ උපන්මු.
1313. දසදහසක් ජාතියෙහි ගණිකාබව කළමු, දුෂ්ට වූ විෂයක් වළඳා මෙන් ඒ පාපයෙන් නො මිදිණිමි.
1314. කසුප් බුදුන්ගේ ශාසනයෙහි බඹසර විසීමි, ඒ කර්‍ම විපාකයෙන් දෙව්ලොවැ උපන්මු.
1315. පශ්චිම භවය පැමිණි කල්හි ඕපපාතිකා වීමි, අඹ අතු අතරැ උපන්නී එයින් මම ‘අම්බපාලී’ නම් වීමු.
1316. ප්‍රාණකොටීන් විසින් පිරිවරන ලදු වැ බුදුසසුන්හි පැවිදි වීමි, අචල වූ (නිර්‍වාණ) ස්ථානයට පැමිණියා බුදුරදුන්ට ඖරෂ වූ දියණියක් වීමු.
1317. දිව්‍යශ්‍රෝත්‍රධාතු විශුද්ධියෙන් යුක්ත වැ ඍද්ධීන්හි ද වසී වෙමි, මහාමුනිවරය, චේතෝපරියඤාණයාගේ ද වසී වෙමි.
1318. පූර්‍වනිවාස දනිමි, දිව ඇස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරන ලදහ, දැන් පුනර්‍භවයෙක් නැති.
1319. බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ අනුහසින් අත්‍ථ ධම්ම නිරුත්තීන්හි ද එසේමැ පටිභානයෙහි ද මගේ ඥානය නිර්‍මල යැ, පරිශුද්ධ වී.
1320. – 1322. ක්ලේශයෝ දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.