1127. තව්තිසා භවන ද යාමය ද තුසිතය ද නිර්‍මාණරති දෙවියන් ද මහත් ඉසුරු ඇති වසවර්තී දෙවියන් ද ඍද්ධියෙන් දක්වත්.
1128. කිසි කෙනෙක් බඹුන් දක්වති, මාහැඟි සක්මන ද කෙරෙති, බ්‍රහ්මවේශය ද මවා ශුන්‍යත ධර්‍මය දේශනා කෙරෙත්.
1129. නානා විකුර්‍වණ කොට ශාස්තෘන් වහන්සේට ඍද්ධි දක්වා සියල්ලෝ බලය දැක් වූහ, ශාස්තෘන් වහන්සේගේ පාසඟුළුවන් වැන්දාහ.
1130. මහාමුනිවරය, ඍද්ධියෙහි ද වශී වම්හ, දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙහි ද චේතෝපරියඥානයෙහි ද වශී වම්හ.
1131. පෙර විසූ කඳපිළිවෙළ දනුම්හ, දිව ඇස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරන ලදහ, දැන් පුනර්‍භවයෙක් නැති.
1132. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අපට අර්‍ත්‍ථධර්‍මනිරුක්තීන්හි ද ප්‍රතිභානයෙහි ද ඥානය උපන.
1133. මහාමුනිවරය, පූර්‍වලෝකනාථයන්ගේ සංගමය අපට දක්වන ලද, නුඹ වහන්සේ සඳහා අපගේ බොහෝ අධිකාරයෝ වූහ.
1134. මුනිවරය, යම් කුශලකර්‍මයක් කරන ලද ද, එය සිහි කළ මැනැව, මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අප විසින් පින් රැස්කරන ලද.
1135. මෙයින් සියදහස්වන කල්පයෙහි පියුමතුරා නම් මහා මුනිහු වූහ, ඒ සම්බුදුන්ට කුලභවන වූ නුවර හංසවතී නම් විය.
1136. හංසවතී නගරද්වාරයෙන් හැම කල්හි ගංගානදිය ගලයි, නදියෙන් බාධිත වූ ඒ භික්‍ෂුහු (පරතෙර) ගමන නො ලබත්.
1137. ඒ භික්‍ෂූහු දවසක් දෙකක් තුනක් ද සතියක් මාසයක් ද යළි සපුරා සාරමසක් ද (පරතෙර) ගමන නො ලබත්.
1138. එකල්හි සත්ත්‍වසාර වූ බෝසත් ජටිල නම් රැටියෙක් විය, හේ ඇවිරුණු භික්‍ෂූන් දැක ගඞ්ගායෙහි හෙයක් කැරැවී.
1139. එකල්හි සියදහසකින් ගඞ්ගායෙහි හෙයක් කැරැවී සඞ්ඝයාට (ගඟින්) මෙතෙර විහාරයක් ද කැරැවී.
1140. ස්ත්‍රීහු ද පුරුෂයෝ ද උස්පහත් කුලවැසියෝ ද යන ඔහු ඒ හෙයෙහි ද විහාරයෙහි ද සම කොටස් කළහ.
1141. ඇපිදු නගරයෙහි ද ජනපදයෙහි ද වූ අන් මිනිස්සු ද පහන් සිතින් යුක්ත වැ ඔහුගේ කුශලකර්‍මයන්හි හිමිකරු වූම්හ.
1142. බොහෝ ස්ත්‍රීපුරුෂයෝ ද කුමරු කුමරියෝ ද යන ඔහු හෙයට ද විහාරයට ද වැලි විසුළහ.
1143. වීදි හැමදැ රඹගස් පුන්කලස් හා ධජ ද සුවඳ දුම් හා සුණු ද මල්මාලා ද (යන මෙයින්) ශාස්තෘන් වහන්සේට සත්කාර කොට -
1144. හෙය හා විහාරය කරවා විනායක වූ බුදුරදුන් පවරා මහදන් දී සම්බෝධිය ප්‍රාර්‍ත්‍ථනා කෙළේ යි.
1145. මහාවීර වූ, සියලු ප්‍රාණීන් (සසරින්) තරණය කරවන පියුමතුරා මහාමුනිහු ජටිල රැටියාට අනුමෙවෙනි කළහ.
1146. කප් සියදහසක් ඉක්මැගිය කල්හි භද්‍රකල්පයෙක් වන්නේ යැ, කුදුමහත් භවයෙහි සුවදුක් විඳ සම්බෝධියට පැමිණෙන්නේ යැ.
1147. යම්කිසි ස්ත්‍රී පුරුෂ කෙනෙක් එහි අත්තම් කළාහු ද, ඔහු සියල්ලෝ අනාගත කාලයෙහි (ඒ බුදුන්ට) හමු වන්නාහ.
1148. ඒ කර්‍මවිපාකයෙන් ද චිත්තප්‍රණිධියෙන් ද ඒ (අපි) දෙව්ලොවට පැමිණියමෝ නුඹ වහන්සේට පිරිවර වූම්හ.
1149. අසංඛ්‍ය වූ දිව සුව ද අසංඛ්‍ය වූ මිනිස් සුව ද විඳිමින් බොහෝ කලක් කුදුමහත් භවයෙහි සැරිසැරූම්හ.
1150. මෙයින් සියදහස්වන කපෙහි මොනොවට කළ යම් කර්‍මසම්පත්තියෙක් වී ද එයින් මිනිසුන් කෙරෙහි ද යළි උතුම් දෙව්ලොව ද සියුමැලි වැ උපනුම්හ.
1151. සුකෘත වූ යම් කර්‍මසම්පත්තියක් ඇද්ද එයින් රූප භෝග යශස් ද යළි කීර්තිය ද සත්කාර ද යන සියල්ල නිරතුරු ලබම්හ.
1152. පශ්චිම භවය පැමිණි කල්හි බමුණුකුලෙහි උපනුම්හ, සියුමැලි අත්පා ඇතියමෝ ශාක්‍යපුත්‍රයන්ගේ මාළිගායෙහි විසූම්හ.
1153. මහාමුනිවරය, සියලු කල්හි මැ නො සැරැසූ පොළොවක් නො දකුම්හ, නො පිරිසිදු මඩබිමක් නො දකුම්හ.
1154. ගිහිගෙයි වසන අපට සාර්‍වකාලික සත්කාරය විය, පූර්‍ව කර්‍මබලයෙන් අපට හැම කල්හි සියල්ල එළවත්.
1155. ගිහිගෙය හැරපියා ශාසනයට වැද සසරමහ තරණය කළමෝ වීතරාග වූම්හ.
1156. හැම කල්හි අපට ඒ ඒ තැනින් දහස්ගණන් සිවුරු පිඬුවා ගිලන්පස හා සෙනසුන් එළවත්.
1157. අප විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතින්නන් සෙයින් ආස්‍රව රහිත වැ වාස කරම්හ.
1158. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි ඒකාන්තයෙන් අපගේ ස්වාගතය විය, ත්‍රිවිද්‍යා ලබන ලද. බුදුසසුන් කරන ලද.
1159. සිවුපිළිසිඹියා ලබන ලද ... බුදුසසුන් කරන ලදී.
මෙසේ සුවාසූදහසක් බමුණු කන්‍යා මෙහෙණහු භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා කීවාහු යැ.
දෙවැනි සුවාසූ මෙහෙණදහසුන්ගේ අපදාන යි.
4. 3 උප්පලදායිකාපදානය
1160. අරුණවතී නගරයෙහි අරුණ නම් රජෙක් විය, එ රජුට භාර්‍ය්‍යා වූ මම් එක් තැනැ සිත් අලවා වෙසෙමි.
1161. එකල්හි මම රහෝගත වැ හිඳ මෙසේ සිතීමි; යම් හෙයකින් මා විසින් කළ ගෙනයායුතු කුශලයක් නැද්ද, එහෙයින් -
1162. මහත් තැවුලි ඇති කටුක වූ කැකුළු පියවි ඇති ඉතා දරුණු වූ නිරයට ඒකාන්තයෙන් යෙමි, මෙහි ලා මට සැකයෙක් නැති.
1163. මම මෙසේ සිතා සිත පහදවාගෙන රජු සමීපයට ගොස් මෙවදන් කීමි:
1164. “දේවයන් වහන්ස, ඇපි ස්ත්‍රීහු නම් හැම කල්හි පුරුෂයන් අනුව ගියම්හ, ක්‍ෂත්‍රියය, මට එක් මහණකු දුන මැනැවැ, වළඳවන්නෙමි” යි.
1165. එකල්හි රජ, වැඩූ ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති මහණකු මට දින, ඔබගේ පාත්‍රය ගෙන උතුම් අහරින් පිරැවීමි.
1166. උතුම් අහර පුරවා මම දහසක් අගනා මහත් වස්ත්‍රයකින් වසා සතුටු සිත් ඇති වැ දිනිමි.
1167. මොනවට කළ ඒ පින්කමින් ද චිත්තප්‍රණිධියෙන් ද මම මිනිස්කය හැරපියා තවුතිසා දෙව්ලොවට ගියෙමි.
1168. දහසක් දෙව්රජුන්ට මෙහෙසිබව කළමු, දහසක් සක්විත්තනට මෙහෙසිබව කළමු.
1169. මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් අසංඛ්‍ය වෙයි, ඒ කුශලයාගේ එයින් අන්‍ය වූ නන්වැදෑරුම් බොහෝ කර්‍මඵලය විය.
1170. මාගේ පැහැය උපුලකට බඳු වෙයි, අභිරූප වූ දැකුම් කලු වූ සර්‍වාඞ්ග සම්පන්න අභිජාත වූ සෝභාවත් ස්ත්‍රියක් වෙමි.
1171. පැසුළු භවය පැමිණි කල්හි ශාක්‍යකුලයෙහි උපන්මු, මම ශුද්ධෝදන පුත්‍රයාගේ ස්ත්‍රීන් දහසකට පාමොක් වූමු.
1172. මම ගිහිගෙයි කලකිරී ශාසනයෙහි පැවිදි වූමු, සත්වැනි රාත්‍රියට නො පැමිණ චතුස්සත්‍යාවබෝධයට පැමිණියමු.
1173. සිවුරු පිඬුවා ගිලන්පස හා සෙනසුන් ද පමණ කරන්නට නො හැකි වෙමි, මේ පිණ්ඩපාතයාගේ අනුසසි.
1174. මුනිවරයන් වහන්ස, මාගේ යම් පූර්‍වකුශලකර්‍මයක් සිහි කරන්නහු ද මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා මා විසින් බොහෝ දෑ පරිත්‍යාග කරන ලද.
1175. මෙයින් එක්තිස්වැනි කපැ එකල යම් දනක් දුනුමු ද, එයින් දුගතිය නො දනිමි, පිණ්ඩපාතයාගේ මේ විපාක යි.
1176. දෙවිබව ද යළි මිනිස්බව ද යන දෙගතිය දනිමි, අන් ගතියක් නො දනිමි, මේ පිණ්ඩපාතයාගේ විපාක යි.
1177. මහාසාර වූ මහද්ධන ඇති උදිච්‍යකුලයෙහි උපදිමි, අන් කුලයක් නො දනිමි, පිණ්ඩපාතයාගේ මේ විපාක යි.
1178. කුදුමහත් භවයෙහි සැරිසරා කුශලමූලයෙන් මෙහෙයන ලදු වැ අමනාප දැයක් නො දක්මි, සොම්නස් සහගියබැව්හි මේ විපාක යි.
1179. ඍද්ධියෙහි ද දිවසෝධාහි ද වශී වෙමි, මහා මුනිවරය, චේතෝපරියඤාණයෙහි වශී වෙමි.
1180. පෙර විසූ කඳපිළිවෙළ දනිමි, දිව ඇස පිරිසිදු කරන ලද සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරන ලදහ, දැන් පුනර්‍භවයෙක් නැති.
1181. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අර්‍ත්‍ථ ධර්‍ම නිරුක්තීන්හි ද එසේ ම ප්‍රතිභානයෙහි ද මාගේ ඤාණය උපන.
1182. – 1184. මා විසින් කෙලෙස් දවන ලදහ ... බුදුසසුන් කරන ලද.
මෙසේ උප්පලදායිකා මෙහෙණ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා පැවසූ යැ යි.
තුන්වැනි උප්පලදායිකා මෙහෙණියගේ අපදාන යි.
4. 4 සිගාලමාතාපදානය
1185. මෙයින් සියක්දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පියුමතුරා නම් ජිතපඤ්චමාරයෝ පහළ වූහ.
1186. එකල්හි මම හංසවතියෙහි නන්රුවනින් බබළන සමෘද්ධ වූ ආඪ්‍ය වූ මහත් ධන ඇති ඇමැතිකුලයෙක උපන්මු.
1187. මහාජනයා විසින් පෙරටු කරන ලදු වැ පියා සමග ගොස් බුදුරදුන්ගේ දහම් අසා ශාසනයට පැමිණියෙමි.
1188. පැවිදි වැ කයින් පව්කම් දුරු කළමු, වාක් දුසිරිත හැරපියා ආජීවය පිරිසිදු කළමු.
1189. බුදුන් කෙරෙහි පහන් වූවා දහම්හි ද සඟුන් කෙරෙහි ද දැඩි ගෞරව ඇති වැ බණ ඇසීමෙහි යෙදුණි, බුදුන් දැකීමෙහි ලොල් වූමු.
1190. එකල්හි සද්ධාධිමුත්ත වූවන් කෙරෙහි අග්‍ර වූ මෙහෙණක ඇසූමු, ඒ තනතුර පතා ත්‍රිවිධ ශික්‍ෂාවන් පිරූමු, ඉක්බිති කරුණායෙන් යුත් සිත් ඇති සුගතයන් වහන්සේ මට මේ වදාළහ.
1191. “තථාගතයන් කෙරෙහි යමක්හුගේ ශ්‍රද්ධා නො සැලී පිහිටියා ද, යමක්හට (මාර්‍ගඵලසම්ප්‍රයුක්ත හෙයින්) ආර්‍ය්‍යකාන්ත වූ පසස්නා ලද කල්‍යාණ ශීලය ඇද්ද,
1192. යමක්හට සඞ්ඝයා කෙරෙහි ප්‍රසාදය ඇද්ද, ධර්‍මදර්‍ශනය ඍජු වූයේත් වේ ද, ඔහු නො දිළින්දෙකැයි කියති, ඔහුගේ ජීවිතය නො සිස් වේ.
1193. එහෙයින් නුවණැතියේ බුදුන්ගේ අනුසසුන් සිහි කෙරෙමින් ශ්‍රද්ධාව ද ශීලය ද ප්‍රසාදය ද ධර්‍මදර්‍ශනය ද යන මෙහි යෙදෙන්නේ” යයි.
1194. ඒ අසා මම සතුටුව ප්‍රණිධිය (ගෙන) පුළුවුස්මු, එකල්හි අමිත ගුණ ඇති අනෝම නම් විනායකයන් වහන්සේ මේ ප්‍රකාශ කළහ.
1195. කල්‍යාණිය, (තෝ) බුදුන් කෙරෙහි පහන් වූවා තෙල පතන ලද්ද ලබන්නාව, මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි ඔක්කාක කුලයෙහි උපන් නමින් ‘ගොතම’ නම් වූ ශාස්තෘන් වහන්සේ ලොවැ පහළ වන්නාහ.
1196. ඔබගේ දහම්හි දායාද ඇති ඖරස වූ ධර්‍ම නිර්මිත වූ ‘සිගාලමාතු’ යන නම් ඇති ශාස්තෘශ්‍රාවිකාවක් වන්නී ය.
1197. ඒ අසා සතුටු වැ එකල්හි යාවජ්ජීවයෙන් මෙත් සිත් ඇති වැ ජින වූ ලෝකනායකයන් වහන්සේට පිළිවෙතින් පරිචරියා කළමු.
1198. මනා කොට කරන ලද ඒ පින්කමින් ද සිත පිහිටුවීමෙන් ද මම මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
1199. යළි දැන් පශ්චිම භවයෙහි ගිරිව්‍රජ (රජගහ) පුරවරයෙහි මහත් රත්නසඤ්චය ඇති සමෘද්ධ වූ සිටුකුලයෙහි උපන්මු.
1200. මට විරුද්ධ මාර්‍ගයෙහි ඇලුණු දෘෂ්ටිගහනයට පිවිසි දිශාවන් පිදීමෙහි, තත්පර වූ, ‘සිගාලක’ නම් පිතෙක් වී.
1201. පිඬු සිඟා නුවරට වඩනා විනායක වූ බුදුහු නානාදිශාවන් නමස්කාර කරන ඔහු දැක මාර්‍ගයෙහි සිට -
1202. ඔහුට දහම් දෙසන බුදුරදුන්ගේ නිනාදය විස්මය දනවනු විය, දෙකෙළක් ස්ත්‍රී පුරුෂයනට ධර්‍මාවබෝධය වී.
1203. එකල්හි මම පිරිස කරා ගොස් සුගතයන්ගේ භාෂිතය අසා සෝවත් ඵලයට පැමිණියා ශාසනයට පැමිණියමු.
1204. නොබෝ කලකින් ම බුදුන් දැකීමෙහි ලොල් වූ මම ඒ බුද්ධානුස්මෘතිය වඩා රහත්බවට පැමිණියමු.
1205. බුදුන් දැකීම පිණිස මම හැම දින මැ යමි, නයන නන්‍දන වූ බුද්ධ රූපය තෘප්ති රහිත ව මැ දක්මි.
1206. සියලු පාරමී බලයෙන් හටගත් ලක්‍ෂමී නිවාස වූ සියලු ශුභ ලක්‍ෂණයෙන් ගැවැසීගත් උත්තම රූපය මම අතෘප්ත වැ (බලමින්) වෙසෙමි.
1207. ඒ ගුණයෙහි සතුටු වූ ජින වූ බුදුහු ‘සිගාලක’ ගේ මාතෘ වූ මෙහෙණ අග්‍ර වූ ශ්‍රද්ධාධිමුක්ති ඇත්තී යයි මා ඒතදග්‍රයෙහි තැබූහ.
1208. මහාමුනීද්‍රයන් වහන්ස, ඍද්ධි විෂයෙහි ද දිව්‍යශ්‍රෝත්‍ර ධාතුයෙහි ද වශී වෙමි, පරසිත් දන්නා නුවණෙහි ද වශී වෙමි.
1209. පූර්‍වනිවාස දනිමි, දිවඇස පිරිසිදු කරන ලද සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්‍භවයෙක් නැති,
1210. මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ සමීපයෙහි අත්‍ථ ධම්ම නිරුක්තීන්හි ද එසේ මැ පටිභානයෙහි ද මාගේ ඤාණය උපන.
1211. – 1213. මා විසින් ක්ලේශයෝ දවන ලදහු ... බුදුන්ගේ අනුසසුන් කරන ලද.
මෙසෙයින් සිගාලමාතා මෙහෙණ මේ ගාථා කිවු යැ.
හතරවැනි සිගාලමාතා ස්ථවිරාපදාන යි.
4. 5 සුක්කාපදානය
1214. මෙයින් එක්අනූවන කපෙහි මනහර ඇස් ඇති සර්‍වධර්‍මයන් දන්නා වූ විපස්සී නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක.
1215. එකල්හි මම් බන්‍ධුමතී නුවර එක්තරා කුලයෙක්හි උපන්මු, මුනීන්‍ද්‍රයන්ගේ දහම් අසා ශාසනයෙහි පැවිදි වූමු.
1216. බහුශ්‍රුත වූ ධර්‍මධර වූ එසේම ම වැටහෙන නුවණැති බුදුසසුන් පිළිපදනා විචිත්‍ර ධර්‍මකථිකාවක් ද වූමු.
1217. එකල ජනතාවට හිත වූ බොහෝ ධර්‍මකථා කොට මම එයින් සැවැ යශස් ඇති වැ තුසිත දෙව්ලොවැ උපන්මු.
1218. මෙයින් එක්තිස්වන කපැ ගිනිසිළක් මෙන් දිලියෙන යශසින් යුත් දේශකයන් අතුරෙන් උතුම් වූ සිඛී නම් ජිතපඤ්චමාරයන් වහන්සේ ලොවැ උපන්හ.
1219. එකල්හි දු පැවිදි වැ බුදුසසුන්හි නිපුණ වැ බුදුවදන් බබුළුවා එයිනුදු සැවැ දෙව්ලො වැ උපන්මු.
1220. මෙයින් එක්තිස්වන කපැ මහත් ඥාන ඇති වෙස්සභූ නම් නායකයන් වහන්සේ උපන්හ, එකල්හි දු මම් එසෙයින් මැ -
1221. පැවිදි වැ ධර්‍මධර වූවා බුදුසසුන හෙබැවීමි, (ඉනුදු සැවැ) සිත්කලු දෙව්ලොවට ගොස් මහත් සුව වින්දමු.