1040. ආහාර පාන ද වස්ත්‍ර හා සෙනසුන් ද ලාභී වූම්හ. සියලු ප්‍රත්‍යයෝ ලැබෙත්. හැම කල්හි සත්කෘත පූජිත වූම්හ.
1041. අප විසින් ක්ලේශයෝ දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතින්නන් මෙන් අස්‍රව රහිත වැ වාස කරම්හ.
1042. බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ ශාසනයට ඒකාන්තයෙන් අපගේ මනා පැමිණීම විය, ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ, බුදුසසුන් කරන ලද.
1043. සිවුපිළිසිඹියාවෝ ද ... බුදුසසුන් කරන ලදි.
මෙසේ යසෝධරාවන් ප්‍රමුඛ දසදහසක් භික්‍ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා ප්‍රකාශ කළහ.
නවවැනි දසදහසක් භික්‍ෂුණීන්ගේ අපදාන යි.
3. 10 යසෝධරා ප්‍රමුඛ අටළොස්දහසක් භික්‍ෂුණීන්ගේ අපදානය
1044. යසෝධරාවන් ප්‍රමුඛ ශාක්‍යවංශයෙහි උපන් අටළොස් දහසක් භික්‍ෂුණීහු සම්බුදුන් කරා පැමිණායාහු ය.
1045. අටළොස්දහසක් භික්‍ෂුණීහු සියල්ලෝ මහත් ඍද්ධි ඇත්තාහු වෙති, මුනීන්‍ද්‍රයන්ගේ පාසඟුළුවන් වඳිති, ශක්ති පරිදි දන්වා සිටිත්.
1046. මහාමුනිතුමනි, ජාතිය ද ජරාව ද ව්‍යාධිය ද මරණය ද ක්‍ෂය විය. නායකයාණනි, අනාස්‍රව වූ ශාන්ත වූ අමෘතපදයට යම්හ.
1047. මහාමුනීන්‍ද්‍රයෙනි, ඉදින් පෙර සියල්ලන්ගේ මැ යම් දොසක් ඇද්ද, විනායකයෙනි, ඒ අපරාධය නො දන්නා වූ අපට කමා කළ මැනැව.
1048. මාගේ සසුන් කරන මෙහෙණියනි, ඍද්ධිය ද දක්වවු. යම්පමණ පිරිස් වැසියන්ගේ සැකය ද සිඳිවු.
1049. මහාවීරයන් වහන්ස, යශස් දරන මනවඩන ප්‍රියදර්‍ශන ඇති සියල්ලෝ ගිහිගෙයි දී නුඹ වහන්සේගේ ප්‍රජාපතී වූම්හ.
1050. වීරයන් වහන්ස, අපි නුඹ වහන්සේගේ භවනයෙහි සියදහසක් ස්ත්‍රීන්ට ද, සයක් අධික වූ අනූවකට ද ප්‍රමුඛව සියල්ලන්ට ඉසුරු ඇති වූම්හ.
1051. රූපයෙන් හා ආචාරගුණයෙන් යුක්ත වූ යොවුන් වියෙහි සිටි ප්‍රියවදන් ඇති සියල්ලෝ මිනිස් ලොවැ දෙවියකුට මෙන් පුදත්.
1052. ශාක්‍යකුලයෙහි උපන් සියල්ලෝ අටළොස්දහසක් වූහ, (ඔවුනතුරෙහි) යශස්ධර වූ දහසක් දෙන එකල්හි ප්‍රමුඛ වූවාහු ඉසුරු ඇති වූහ.
1053. මහාමුනීන්‍ද්‍රයෙනි, කාමධාතුව ඉක්මවූවාහු, රූපධාතුයෙහි සිටියාහු ඒ දහසක් ස්ත්‍රීන්ට රූපයෙන් සදෘශ වූවාහු නැති.
1054. සම්බුදුන් වැඳ ශාස්තෘන් වහන්සේට ඍද්ධි දැක්වූහ, ලොවැ නන්වැදෑරුම් වූ මහත් ඍද්ධි ද දැක්වූහ.
1055. සක්වළ සම වූ කය ඇති උතුරුකුරුයෙහි හිස ඇති (විදේහ ගොයාන යන) දෙදිවයිනැ දෙපියා ඇති ශරීරයෙන් දඹදිව වසා සිටි -
1056. දකුණු සයුර විල්කලබ ඇති නානාශාඛා බඳු පත්‍ර ඇති සඳු හිරු මෙන් විශාල ඇස් ඇති මේරුපර්‍වතයෙහි සිළු ඇති -
1057. සක්වළගිරෙහි තුඩු ඇති ව (ගුරුළුවෙස් ගෙන) මුල් සහිත දඹරුක සලමින් සමීපයට පැමිණ ලෝකනායකයන් වඳිති.
1058. හස්තිවේශය ද එසේ මැ අශ්වවේශය ද පර්‍වත ද එසේ මැ සයුර ද සඳු ද හිරු ද මෙරගල් ද ශක්‍රවේශය ද දැක්වූහ.
1059. පසැස් ඇති වීරයන් වහන්ස, යශස්ධර වූ ඇපි පා සඟුළුවන් වඳුම්හ. නරනායක වූ වීරයන් වහන්ස, ඔබගේ මහිමයෙන් නිෂ්පන්නයම්හ.
1060. මහාමුනින්‍ද්‍රයන් වහන්ස ඍද්ධිවිෂයෙහි ද දිවසෝධාභි ද වශී වම්හ, පරසිත් දන්නා නුවණෙහි වශී වම්හ.
1061. පෙර විසූ කඳපිළිවෙළ දැනුම්හ, දිව ඇස පිරිසිදු කරනලද සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්‍භවයෙක් නැති.
1062. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අපට අත්‍ථ, ධම්ම, නිරුත්ති විෂයෙහි ද පටිභානයෙහි ද නුවණ උපන.
1063. මහාමුනිවරය, පූර්‍වලෝකනාථයන්ගේ සංගමය අපට දක්වනලද, නුඹ වහන්සේ සඳහා අපගේ අධිකාරයෝ බොහෝ වූහ.
1064. මුනීන්‍ද්‍රයන් වහන්ස, අපගේ යම් පූර්‍වකුශලකර්‍මයක් සිහිකරන්නහු ද, මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අප විසින් පුණ්‍යයෝ රැස්කරන ලදහ.
1065. අභව්‍යස්ථානයන් හැරපියා අනාචාරය වැළැකුම්හ. මහා වීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අප විසින් දිවි පුදන ලද.
1066. මහාමුනිවරය, නොයෙක් කෙළසුවහසුන්ට භාර්‍ය්‍යා පිණිස අප දුන්නේ ය, එහි ලා නුඹ වහන්සේ සඳහා නො සතුටු නො වම්හ.
1067. නොයෙක් කෙළසුවහසුන්ට උපකාර පිණිස අප දුන්නේ ය, මහාමුනිවරය, එහි ලා නුඹ වහන්සේ ට නො සතුටු නො වම්හ.
1068. නොයෙක් කෙළසුවහසුන්ට භෝජන සඳහා අප දුන්නේ ය, මහාමුනිවරය එහි ලා නුඹ වහන්සේට නො සතුටු නො වම්හ.
1069. අපගේ නොයෙක් කෙළ සුවහස් ජීවිතයන් පිදුම්හ, භයින් මිදීම කරම්හ’යි ජීවිතයන් ත්‍යාග කළම්හ.
1070. මහාමුනිවරය, නුඹ වහන්සේ සඳහා ශරීරගත ආභරණ ද නන්වැදෑරුම් බොහෝ වස්ත්‍ර ද ස්ත්‍රී භාණ්ඩ ද නො සඟවම්හ.
1071. මහාමුනිවරය, ධනධාන්‍ය පරිත්‍යාග කළම්හ, ගම් ද නියම්ගම් ද කෙත් ද පුත්‍රයෝ ද දුහිතෲහු ද පරිත්‍යාග කරන ලදහ.
1072. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අසංඛ්‍ය වූ ඇත් අස් ගවයෝ ද දාසීහු ද පිරිවර ස්ත්‍රීහු ද පරිත්‍යාග කරන ලදහ.
1073. යම්හෙයකින් අප යාචකයන්ට දන් දෙම්හ යි ප්‍රතිඥා කෙළේ ද එකල්හි උතුම් දානය දෙන නුඹ වහන්සේට අපගේ නො සතුටක් නො දක්වම්හ.
1074. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා බහුප්‍රකාර වූ සංසාරයෙහි අසංඛ්‍ය වූ නන්වැදෑරුම් බොහෝ දුක් විඳුනා ලද.
1075. මහාමුනිවරය, නුඹවහන්සේ සඳහා සුවපත් වූවමෝ සතුටු නො වම්හ, දුකෙහි නොසතුටු නො ද වම්හ, හැම තන්හි ම සම වම්හ.
1076. සම්බුද්ධයන් වහන්සේ (අන් බුදුවරයන්) ගියමඟින් යම් බෝසඹර දහමක් රැස් කළාහු ද, එයින් මහාමුනිහු සුවදුක් විඳ බුද්ධ බෝධියට පැමිණියහ.
1077. බ්‍රහ්මදේව සම්බුදුන් ද ගෞතම ලෝකනායකයන් වහන්සේ ද අන්‍ය ලෝකනාථයන් වහන්සේ ද යන ඒ බුදුවරුන් සමග අපගේ බොහෝ සංගමයෝ වූහ.
1078. මහාමුනිවරය, නුඹ වහන්සේ සඳහා අපගේ බොහෝ අධිකාරයෝ වූහ, බුද්ධධර්‍මයන් ගවේෂණය කරන නුඹ වහන්සේට ඇපි පරිචාරිකා වූම්හ.
1079. සාරාසංඛ්‍යකල්පලක්‍ෂයකින් මතුයෙහි මහාවීර වූ දීපඞ්කර නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක.
1080. ප්‍රත්‍යන්ත දේශයෙහි (මනුෂ්‍යයෝ) තථාගතයන් වහන්සේ පවරා සතුටු සිත් ඇත්තාහු උන් වහන්සේ වඩනා මඟ ශුද්ධ කෙරෙත්.
1081. එකල්හි ඒ ගෞතම බුදුහු සුමේධ නම් බමුණු වූහ, සර්‍වදර්ශී වූ බුදුරදුන්ට දීර්‍ඝ වූ මාර්‍ගය ද පිළියෙළ කළහ.
1082. එකල්හි අප සියල්ලෝ බමුණු කුලයෙහි උපනුම්හ, දිය ගොඩ උපදනා මල් ඒ සමාගමයට ගෙන ආම්හ.
1083. එසමයෙහි මහායශස් ඇති මහාවීර වූ ඒ දිවකුරු බුදුහු උද්ගත වූ සිත් ඇති ඍෂිහුට විවරණ දුන්හ.
1084. උද්ගත වූ සිත් ඇති ඒ ඍෂිහුගේ අධිකාර කර්‍මය පවසන කල්හි මහ පොළොව සැලෙයි නාද කෙරෙයි සදේවක ලෝකය කම්පා වෙයි.
1085. දිව්‍යකන්‍යාවෝ ද මනුෂ්‍යයෝ ද ඇපි ද දෙවියන් සහිත ලෝවැසියෝ ද නානාපූජනීය භාණ්ඩ පුදා ප්‍රාර්‍ත්‍ථනා කළම්හ.
1086. දීපඞ්කර නම් බුදුහු ඔවුනට ‘අද ප්‍රාර්‍ත්‍ථනා කළ යම් කෙනෙක් ඇද්ද ඔහු සම්මුඛ වන්නාහ’ යි ප්‍රකාශ කළ සේක.
1087. මෙයින් අපරිමේය කල්පයෙහි දිවකුරු බුදුහු අපට යමක් ප්‍රකාශ කළසේක් ද, අපි ඒ බස අනුමෝදන් වෙමින් එ පරිදි කරනසුලු වූම්හ.
1088. එහි සිත් පහදවා මොනවට කළ ඒ කර්‍මයාගේ විපාකයෙන් අසංඛ්‍ය වූ දෙව්මිනිස් දෙගතිය ලබා -
1089. දෙව්ලොව ද මිනිස්ලොව ද සුවදුක් විඳ පශ්චිම භවය පැමිණි කල්හි ශාක්‍යකුලයෙහි උපනුම්හ.
1090. රූ ඇත්තමෝ භෝග ඇත්තමෝ යශස් හා සිල් ඇත්තමෝ යළි සියලු ශරීර සම්පත් ඇත්තමෝ කුලයන්හි අතිශයින් සත්කාර කරන ලදුවම්හ.
1091. ලාභය ප්‍රශංසාය සත්කාරය ලෝකධර්‍මසමාගමය හා දුප්පත් සිත ද නැති, කොයිනුත් නො බිය වැ වාස කරම්හ.
1092. එකල්හි (සුදොවුන්) රජුගේ ඇතොවුරෙහි දී භාග්‍යවතුන් විසින් තෙල වදාරන ලද මැ යි, වීරයන් වහන්සේ ක්‍ෂත්‍රියයන්ගේ කිඹුල්වත් පුරෙහි දී, (පෙර ලද) උපකාරය ද ප්‍රකාශ කළහ.
1093. යම් ස්‍ත්‍රියක් උපකාර ඇති වූ ද යම් ස්ත්‍රියක් සුව දුක් දෙකෙහි සම වූ ද, යම් ස්ත්‍රියක් හිතවැඩ පවසන්නී ද යම් ස්ත්‍රියක් (ස්වාමියාට) අනුකම්පා කරන්නී ද -
1094. සුචරිත ධර්‍මයෙහි හැසිරෙන්නේ යැ, දුශ්චරිතයෙහි නො හැසිරෙන්නේ යැ, ධම්මචාරී පුද්ගල මෙලොවැ ද පරලොවැ ද සුවසේ හැසිරෙයි.
1095. ගිහිගෙය හැරපියා ශාසනයෙහි පැවිදි වූම්හ, අඩමසක් නො පත් කල්හි ඇපි සිවුසස් අවබෝධ කළම්හ.
1096. සාගරයාගේ රළ මෙන් අපට බොහෝ දෙන සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනසුන් ද එළවත්.
1097. අප විසින් ක්ලේශයෝ දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතිනියන් මෙන් ආස්‍රව රහිත වැ වාස කරම්හ.
1098. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි අපගේ ස්‍වාගතය විය, ත්‍රිවිද්‍යාවෝ පසක් කරන ලදහ, බුදුසසුන් කරන ලද.
1099. සිව්පිළිසිඹියාවෝ ද පසක් කරන ලදහ ... බුදුසසුන් කරන ලද.
1100. මෙසේ බහුප්‍රකාර දුක් විඳ බහුප්‍රකාර සම්පත් ලැබ විසුද්ධභාවයට පැමිණියමෝ සියලු සම්පත් ලබම්හ.
1101. යම් ස්ත්‍රී කෙනෙක් ස්වකීය ආත්මභාවය පින් සඳහා මහර්ෂීන්ට පුදත් ද ඔවුනට සහායසම්පත්තීහු වෙති, අසංඛත වූ නිවන ද වේ.
1102. අතීතය ද ප්‍රත්‍යුත්පන්නය ද අනාගතය ද ගෙවී ගියේ යැ, අපගේ සියලු කර්‍ම ද ක්‍ෂය වී, පසැස් ඇති සර්‍වඥයෙනි, ඔබගේ පාසඟුළුවන් වඳුම්හ.
1103. නිවනට වදනා වූ තොපට මතුයෙහි කුමක් කියන්නෙම් ද, යම් හෙයෙකින් සන්හුන් සංඛතදෝස ඇති අමෘතපදයට පැමිණෙ වූ ද එහෙයිනි.
මෙසේ යසෝධරාවන් ප්‍රමුඛ වූ අටළොස්දහසක් භික්‍ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා ප්‍රකාශ කළාහු යැ.
දසවැනි යසෝධරා ප්‍රමුඛ අටළොස් මෙහෙණදහසුන්ගේ අපදාන යි.
තුන්වැනි කුණ්ඩලකේසී වර්‍ග යි.
එහි උද්දානය:
කුණ්ඩලකෙසි අපදාන යැ, කිසාගෝතමී අපදාන යැ, ධම්මදින්නා අපදාන යැ, සකුලාපදාන යැ, ජනපදකල්‍යාණී නන්‍දාපදාන යැ, සෝණාපදාන යැ, කාපිලානී අපදාන යැ, යසොධරාපදාන යැ - දසදහසක් භික්‍ෂුණීන්ගේ අපදාන යැ, අටළොස්දහසක් භික්‍ෂුණීන්ගේ අපදාන යැ යි දසයෙකි. ගාථා සාරසිය සැත්තෑසයෙක් ද වේ.
4. ඛත්තියා වර්‍ගය
4. 1 යසවතීප්‍රමුඛ භික්‍ෂුණීන්ගේ අපදානය
1104. මහාමුනිවරය, ඔබට ආරෝචනය කරම්හ. අපගේ සියලු භවයෝ ක්‍ෂය වූහ. භවසන‍්ධිය මුදනා ලදු, අපගේ සියලු ආස්‍රවයෝ නැති.
1105. මහාමුනිවරය, පූර්‍වකුශලකර්‍ම (ජනිත වූ) මනා කොට පතන ලද යම් කිසි පරිභෝගාර්‍හ (වස්තුවක් ඇද්ද) එය නුඹවහන්සේ සඳහා දෙන ලද.
1106. මහාමුනිවරය, නුඹ වහන්සේ සඳහා බුදු පසේබුදුවරයන්ට ද බුද්ධශ්‍රාවකයන්ට ද පරිභෝගාර්‍හ වස්තු දෙන ලද.
1107. මහාමුනිවරය, භික්‍ෂූන්ට (පරිත්‍යාගයෙන්) කුදුමහත් පින්කම් කොට මොනවට පතන ලද උච්චාකුල (උපතට නිසි) වතාවත් කරන ලද.
1108. එ මැ කුශලමූලයෙන් මෙහෙයන ලද කර්‍මසම්පත්තියෙන් මානුෂික (රූපාදිය) ඉක්මවූවාහු කැත් කුලයෙහි උපන්හ.
1109. උපතෙහි ද පින්කම් කරන කල්හි ද ජාතියෙන් ද එක්ව විසුම්හ, පශ්චිම භවයෙහි එක්ව ක්‍ෂත්‍රිය කුලයෙහි උපනුම්හ.
1110. මහාවීරයන් වහන්ස, රූපවත් ව භෝගවත් ව ලාභසත්කාරයෙන් පූජිත ව දෙවියන්ගේ නන්‍දනයෙහි මෙන් අන්තඃපුරයෙහි විසුම්හ.
1111. ගිහිගෙයින් කලකිරී ශාසනයෙහි පැවිදි වූම්හ, කිහිප දවසක් ඉක්මැයෑමෙන් ඇපි සියලු දෙන නිවනට පැමිණියම්හ.
1112. හැම කල්හි අපට සත්කාර පූජා කරන බොහෝ ජනයෝ සිවුරු පිඬුවා ගිලන්පස හා සෙනසුන් ද එළවත්.
1113. අප විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතින්නන් මෙන් ආස්‍රව රහිත ව වාස කරම්හ.
1114. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි අපගේ පැමිණීම ස්වාගත විය ... බුදුසසුන් කරන ලද.
1115. සිවිපිළිසිඹියා ලබන ලද ... බුදුසසුන් කරන ලදී.
මෙසේ යසවතී ප්‍රමුඛ අටළොස්දහසක් ක්‍ෂත්‍රියකන්‍යා භික්‍ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා කීහු.
යසවතී ප්‍රමුඛ අටළොස් මෙහෙණදහසුන්ගේ අපදාන යි.
4. 2 බ්‍රාහ්මණකන්‍යා භික්‍ෂුණීන්ගේ අපදානය
1116. මහාමුනිවරයන් වහන්ස, පෙර නුඹ වහන්සේට (සුළු) අසූදහසක් සියුමැලි අත්පා ඇති බමුණුකුලයෙහි උපන් (කන්‍යාවෝ වූහ.)
1117. මහාමුනිවරයන් වහන්ස, පෙර නුඹ වහන්සේට වෛශ්‍ය ශුද්‍ර කුලයෙහි උපන්නා වූ ද දේව නාග කින්නර වූ ද සිවුමහ දිවයින්හි, වූ බොහෝ කන්‍යාවෝ වූහ.
1118. කිසි කෙනෙක් පැවිදි වූවාහු ඇත, බොහෝ දෙන සිවුසස් දක්නාසුලු වෙති, දෙවියෝ ද කින්නරයෝ ද නාගයෝ ද අනාගතයෙහි සිවුසස් අවබෝධ කරන්නාහ.
1119. සියලු යශස් වළඳා සියලු සම්පතට පැමිණ නුඹ වහන්සේ කෙරෙහි ප්‍රසාදය උපදවා අනාගතයෙහි සත්‍යාවබෝධය කරන්නාහ.
1120. පසැස් ඇති මහාවීරයන් වහන්ස, බමුණු කුලයෙහි උපන් බ්‍රාහ්මණධීතෘ වූ අපි වැලිත් දක්නා වූ නුඹ වහන්සේගේ පාසඟුළුවන් වඳුම්හ.
1121. සියලු භවයෝ නසන ලදහ, තෘෂ්ණාමූලය මුලුසුන් කරන ලද, අනුශයයෝ සිඳින ලදහ, පුණ්‍යසංස්කාරයෝ බිඳින ලදහ.
1122. සියල්ලෝ සමාධි ගෝචර කොට ඇත්තාහ, එසේ මැ සමවත්හි වශී වූහ, හැම කල්හි ඇපි ධ්‍යානය හේතු කොට ධර්‍මරතියෙන් යුක්ත වැ වාසය කරම්හ.
1123. භවනෙත්ති වූ අවිද්‍යාව ද සංස්කාරයෝ ද ගෙවන ලදහ, නායකයන් වහන්ස, සුදුර්දශ වූ නිර්‍වාණ පදයට යන්නට අනුදැන වදාළ මැනැව.
1124. කළ කිස ඇති තෙපි බොහෝ කලක් මට උපකාර වූවහු යැ, බොහෝ දෙනාගේ සැක සිඳපියා සියල්ලෝ නිවනට යෙත්වා.
1125. මුනීන්‍ද්‍රයන්ගේ පාසඟුළුවන් වැඳ ඍද්ධිවිකුර්‍වණ කොට කිසි කෙනෙක් ආලෝකය දක්වති, යළි අන්‍යයෝ අන්‍ධකාරය දක්වත්.
1126. සඳහිරු දක්වති. මසුන් සහිත සයුර ද මහමෙර හා කුලපව් ද පරසතු රුක ද දක්වත්.