733. මෙ කපින් සුවහස් වන කප්හි සියලු ධර්‍මයන්ගේ පාරයට පැමිණි ලෝකනායක වූ පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
734. එ සමයෙහි මම හංසවතී නුවරැ එක්තරා කුලයෙකැ උපන්මු. නුවණැති ශීලයෙන් සංවර වූ මෙරමා වැඩ කරන්නක් (දැස්සක්) වූමු.
735. පියුමතුරා බුදුරදුන්ගේ සුජාත නම් අග්‍රශ්‍රාවකයාණෝ වෙහෙරින් නික්මැ පිඬු පිණිස වඩනාහ.
736. එකලැ ඝටවෙටිකාවක් (කළදැස්සක්) වූ මම කළයක් රැගෙන යන්නෙම් ඔබ දැක ස්වකීය ප්‍රාණපරිත්‍යාගයෙන් ප්‍රසන්න වැ පූපයක් දුනුමු.
737. ඔබ (එය) පිළිගෙන එහි මැ හිඳ වැළඳූහ. ඉක්බිති ඒ තෙරණුවන් ගෙට කැඳවා ගෙන ගොස් ඔබට බොජුන් පිළිගැන්වූමු.
738. එයින් මාගේ ස්වාමි තෙමේ සතුටු වූයේ (මා) සිය ලෙහෙලිය කෙළේ යැ. නැන්දණිය සමග (අරමට) ගොස් සම්බුදු රදුන් අභිවාදන කළමු.
739-740. එකල්හි උන්වහන්සේ ධර්‍මකථික මෙහෙණක ගුණ කථනය කරනසේක් ඒතදග්‍රයෙහි තැබූසේකැ. එ අසා ප්‍රමුදිත වූ මම් සඞ්ඝයා සහිත ලෝකනායක වූ සුගතයන් වහන්සේ නිමන්ත්‍රණ කොට මහදන් දී ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු.
741-742. ඉක්බිති සුගත වූ බුදුරජාණන් වහන්සේ ගැඹුරු නින්නාද සහිත මනාහඬ ඇති වැ මට මෙසේ වදාළසේක: “උපස්ථාන කිරීමෙහි ඇලුණු, සඞ්ඝයා සහිත මා වළඳවන, සදහම් ඇසීමෙහි යෙදුණු, ගුණයෙන් වැඩුණු සිත් ඇති භද්‍රාවනි, ප්‍රමුදිත වව, ප්‍රාර්‍ත්‍ථනාඵලය ලබන්නෙහි.
743. මෙයින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොවැ පහළ වන්නා හ.
744. (තෝ) ඔබ දහම්හි දායාද වූ ඖරස වූ ධර්‍මනිර්මිත වූ නමින් ධම්මදින්නා යි ප්‍රසිද්ධ ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නෙහි” යි.
745. එ අසා සතොස් වැ විනායක වූ මහාමුනිවරයන් වහන්සේ මෙත්සිත් ඇතියෙම් දිවිහිම් කොට ප්‍රත්‍යයෙන් උපස්ථාන කළමු.
746. ඒ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
747. මේ භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණවංශික මහා යශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ වක්තෘවර සර්‍වඥයන් වහන්සේ (ලෝකයෙහි) පහළ වූ සේකැ.
748. එකලැ මහර්ෂි බුදුරජුනට උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කාශිරාජයෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.
749. මම ඒ රජුට සුධම්මා යි ප්‍රසිද්ධ සවැනි දුහිතෘ වූමු. ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා ප්‍රව්‍රජ්‍යාව කැමැති වූමු.
750-751. පිය තෙමේ මා නො අනුදත්තේ යැ. අපි ගිහිගෙහි අනාලය වූවමෝ විසිදහසක් හවුරුදු අනලස් වැ කුමරිබඹසර සැරුම්හ. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු බුද්ධෝපස්ථානයෙහි නිරත ප්‍රමුදිත සත් දුහිතෘහු නම්:
752. සමණී යැ, සමණගුත්තා යැ, භික්ඛුනී යැ, භික්ඛුනීදාසිකා යැ, ධම්මා යැ, සුධම්මා යැ, සත්වැනි සංඞ්ඝදායිකා යැ යන මොහු වෙත්.
753. (මෙකලැ) ඛේමා යැ, උප්පලවන්නා යැ, පටාචාරා යැ, කුණ්ඩලකේසා යැ, කිසාගෝතමී යැ, මම් යැ යන අපි වෙමු. විශාඛා සත්වැනි වෙයි.
754. මම ඒ කුශල කර්‍මයෙන් ද, චේතනාප්‍රණිධියෙන් ද, මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
755. දැන් පශ්චිම භවයෙහි ගිරිව්‍රජ (-රජගහ) පුරවරයෙහි ධනාඪ්‍ය සියලු කම්සැපතින් සමෘද්ධ වූ සිටු කුලයෙකැ උපන්මු.
756. යම් කලෙකැ රූපයෙන් ගුණයෙන් යුතුවැ පළමු යොවුන් වියෙහි සිටියා වෙම් ද එකලැ පර (-පති) කුලයට ගොස් සැපයෙන් සමර්පිත වූමු.
757. වෙසෙසින් බුද්ධිමත් වූ මාගේ ස්වාමිපුරුෂ (-විශාඛ) තෙමේ ලෝකනාථයන් වහන්සේ වෙතැ එළැඹැ දම් දෙසුම් අසා අනාගාමී ඵලයට පැමිණියේ යි.
758. එකල්හි ඔහු අනුදන්වා බුදුසසුන්හි පැවැදි වූමු. නොබෝ කලකින් මැ රහත්බවට පැමිණියමු.
759. ඒ උවසු මා වෙතැ අවුත් ගැඹුරු සියුම් පැන විචාළේ යැ. මම් ඒ සියල්ල විසඳා කීමු.
760-761. ඒ ගුණයෙහි සතුටු වූ බුදුහු “තෙල මෙහෙණ බඳු ධර්‍මකථික අනෙකක නො දක්මි, ධම්මදින්නා යම් හෙයෙකින් ධීර ද මහණෙනි, එසේ ධරවු” යි මා ඒතදග්‍රයෙහි තබාලූහ. මෙසේ ලෝකනාථයන් වහන්සේ විසින් අනුකම්පිත වූ මම් නුවණැති වූමු.
762. මා විසින් ශාස්තෘහු ඇසුරු කරන ලදහ, බුදුසසුන් කරන ලද යැ, ගුරු වූ කෙලෙස් බර බහා තබන ලදයැ, තෘෂ්ණාව සමූල කොට නසන ලදී.
763. යම් ඵලයක් සඳහා ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවැදි වූමු නම් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීම වූ ඒ ඵලය මාහට අනුපිළිවෙළින් පැමිණියේ වෙයි.
764. ශාස්තෘන් වහන්සේගේ අනුසසුන් කරන මම ඍද්ධියෙහි ද දිබ්බසෝතධාතුයෙහි ද වශී වෙමි. පරසිත් ද දනිමි.
765. පෙර විසූ තඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරන ලදී. සියලු ආස්‍රවයන් නසා වෙසෙසින් මල රහිත වැ විශුද්ධ වෙමි.
766. - 768. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
මෙසෙයින් ධම්මදින්නා මෙහෙණ මේ ගාථා පැවැසූ.
තෙවැනි ධම්මදින්නා ස්ථවිරාපදාන යි.
3. 4 සකුලාපදානය
769. මෙකපින් සියක්දහස් වන කප්හි (ලොවි ලොව්තුරු) සියලු දහම්හි පරතෙර පැමිණි (ලොවට) නායක වූ පියුමතුරා නම් සම්බුදු රජාණන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
770. වක්තෲන් (දේශකයන්) අතරැ උත්තම වූ ආජානේය (උතුම්) පුරුෂ වූ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි සියලු සත්නට හිත පිණිස සුව පිණිස වැඩ පිණිස පිළිපන් සේකැ.
771. ජිනේන්‍ද්‍රයන් වහන්සේ යශසින් අගපත් සේකැ, ශ්‍රීමත් සේකැ, කීර්ති ප්‍රශංසා දැරූ සේකැ, සියලු ලෝකයා විසින් පූජිත සේකැ, සියලු දිශායෙහි (සර්‍වඥහ යි) ප්‍රකට වූ සේකැ.
772. ඔබ විචිකිච්ඡායෙන් නැගී සිටිසේකැ, ඉක්මැවූ සැක ඇති සේකැ, පිරිපුන් චිත්තසංකල්පනා ඇති සේකැ, උතුම් සම්බෝධියට පැමිණි සේකැ.
773. නරෝත්තමයන් වහන්සේ නූපන් (නිවන්) මග උපදවාලු සේකැ, (අන් ශාස්තෘවරයන්) ප්‍රකාශ නො කළ දෑ ප්‍රකාශ කළ සේකැ, නූපන් (ආවෘත) ලොවුතුරු දහම් උපදවාලු (අනාවරණය) කළ සේකැ.
774. නරශ්‍රේෂ්ඨයන් වහන්සේ නිවන්මග දත් සේකැ, නිවන් මග අවබෝධ කළ සේකැ, නිවන් මග ප්‍රකාශ කළ සේකැ, නිවන් මගෙහි දක්‍ෂ සේකැ, ශාස්තෘ සේකැ, උත්තම පුරුෂදම්‍යසාරථි සේකැ.
775. (ලෝක) නායක ශාස්තෘ වූ මහාකාරුණිකයන් වහන්සේ දහම් දෙසූ සේකැ, කාම නැමැති මඩවගුරෙහි එරුණු ප්‍රාණීන් නඟා සිටුවන සේකි.
776. එසමයෙහි මම හංසවතී නුවරැ කැත් දුවක් වැ ඉපැදැ මනාරූ ඇති ධනඇත්තක් වූමු, ප්‍රිය ද ශ්‍රීමත් ද වූමු.
777. ආනන්‍ද මහරජුගේ අතිශය ශෝභා ඇති දුහිතෘ වූමු. පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ වෛමාතෘක (අන් මවකගෙන් උපන්) නැගණි ද වූමු.
778. රාජකන්‍යාවන් සහිත වූවා සර්‍වාභරණභූෂිත වැ මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ ධර්‍මදේශනා ශ්‍රවණ කළමු.
779. එකල්හි ඒ ලෝකගුරු තථාගතයන් වහන්සේ දිවැස් ඇති මෙහෙණක කීර්‍තනය (-ගුණ කථා) කරන සේක් පර්‍ෂද්මධ්‍යයෙහි ඇය අග්‍රස්ථානයෙහි තබාලූ සේකැ.
780. එ අසා මම ප්‍රීතිමත් වූවා ශාස්තෘ වූ සම්බුදුරජාණන් වහන්සේට දන් දී පූජා ද කොට දිවැස ප්‍රාර්‍ත්‍ථනා කළමු.
781. ඉක්බිති ශාස්තෘන් වහන්සේ නන්‍දාවතී, පැතූ දෑ ලබන්නෙහි, ප්‍රදීපදාන - ධර්‍මදානයන්ගේ මේ සුනිශ්චිත වූ ප්‍රතිඵල යි මට වදාළහ.
782. මෙයින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් ශාස්‍තෘහු ලොවැ පහළ වන්නාහ.
783. ඔබ දහම්හි දායාද වූ ධර්‍මනිර්මිත වූ එහෙයින් ම ඖරස වූ නමින් සකුලා නම් වූ බුද්ධශ්‍රාවිකාවක් වන්නෙහි” යි.
784. ඒ කුශල කර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට (උපත් විසින්) ගියමු.
785. මේ භද්‍ර කල්පයෙහි බ්‍රහ්මබන්‍ධු වූ මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ ශාස්තෘන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
786. එකලැ මම් එකලා වැ හැසිරෙන පිරිවැජ්ජක් වූමු. භික්‍ෂායෙහි හැසිර තෙල් සුඟක් ලත්මු.
787. එ තෙලින් පහනක් දල්වා වෙසෙසින් පහන් වූ සිතින් ද්විපදෝත්තමයන් වහන්සේගේ සෑය මුළු රැයෙකැ උවටැන් කළමු.
788. මම ඒ කුශල කර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස් කය හැරපියා තව්තිසාවට ගියමු.
789. යම් යම් තෙනෙකැ උපදිම් ද ඒ කර්‍මවේගයෙන් ඒ ඒ තෙනැ ගිය මට මහාප්‍රදීපයෝ දැල්වෙත්.
790. මම යමක් (දක්නට) රිසියෙම් ද, (එය) පවුර සරසැ, ශෛලය සරසැ පර්‍වතය ඉක් මැ ගෙන දක්මි. මේ (වූකලි) ප්‍රදීප දානයාගේ ඵල යි.
791. මම වෙසෙසින් පහන් නුවන් ඇතියෙම්, යශසින් ද දිලියෙමි, ශ්‍රද්ධා - ප්‍රඥා ද ඇති වෙමි. මේ (වනාහි) ප්‍රදීප දානයාගේ ඵල යි.
792. මම මෙකලැ පැසුලු බෙවෙහි බොහෝ ධන ධාන්‍ය ඇති ප්‍රමුදිත වූ රාජපූජිත බ්‍රාහ්මණ කුලයෙකැ උපන්නෙම් -
793-794. සර්‍වාඞ්ග සම්පන්න සර්‍වාභරණභූෂිත වූමු. මම වාකවුළුව වෙතැ සිටියා යශසින් දිලියෙන, දෙව්මිනිසුන් විසින් සත්කෘත, (සත්කාර කරන ලද) අසූ අනුව්‍යඤ්ජනයෙන් හා දෙතිස් මහපුරිස් ලකුණෙන් හෙබි සුගතයන් වහන්සේ නගරයට පිවිසෙන වේලෙහි දැකැ -
795. ඔදවැඩි සිත් ඇතියෙම් සුමනස් වැ පැවිද්ද රිසි කළමු. (පැවිද්ද ලබා) නොබෝ කලෙකින් මැ රහත්බවට පැමිණියෙමු.
796. ශාස්තෘශාසනකාරී වූ මම ඍද්ධියෙහි ද දිබ්බසෝතධාතුයෙහි ද වශී වෙමි, මෙරමා සිත් දනිමි.
797. පෙරවිසූ කඳපිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදි. සියලු ආස්‍රවයන් නසා මොනොවට මල රහිත වැ විශුද්ධ වූමු.
798. මා විසින් ශාස්තෘන් වහන්සේ ඇසුරු කරන ලදහ. බුදු සසුන් කරන ලද යැ, මහත් කෙලෙස්බර බහා තබන ලද යැ, තෘෂ්ණාව මුලිනුපුටා හරන ලදි.
799. යම් අර්‍ත්‍ථය පිණිස ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූවා වෙම් ද, සියලු සංයෝජනයන්ගේ ක්‍ෂයය වූ ඒ අර්‍ත්‍ථය මා විසින් අනුප්‍රාප්ත යි.
800. ඉක්බිති මහාකාරුණික නරෝත්තමයන් වහන්සේ “සකුලා දිවැස් ඇති මෙහෙණන් අතරැ අග්‍රය” යි මා ඒතදග්‍රයෙහි තබා වදාළ සේක.
801. - 803. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
මෙසෙයින් සකුලා මෙහෙණ මේ ගාථා පැවසූ.
සතරවැනි සකුලා ස්ථවිරාපදාන යි.
3. 5 නන්‍දා ජනපදකල්‍යාණී අපදානය
804. සියලු ධර්‍මයන්ගේ පාරයට පැමිණි ලෝකනායක වූ පදුමුත්තර ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙයින් සුවහස්වන කප්හි (ලොවැ) පහළවී වදාළ සේකැ.
805. සියලු ප්‍රාණීන්ට අවවාද කරන, (දහම්) අවබෝධ කරවන (සසරින්) එතර කරවන, දේශනාකූශල වූ බුදුරජාණන් වහන්සේ බොහෝ ජනතාව (සසරින්) එතෙර කරවූ සේකැ.
806. සියලු ප්‍රාණීන්ට අනුකම්පා කරන කරුණා ඇති හිතෛෂී වූ ශාස්තෘන් වහන්සේ වෙතැ පැමිණි සියලු අන්තොටුවන් පන්සිල්හි පිහිට වූ සේකි.
807. මෙසේ (ලොව) නිරවුල් වියැ, අන්තොටුවන්ගෙන් සිස් ද වියැ, චිත්තවශී වූ මැදහත් ගුණ ඇති රහතුන්ගෙන් විසිතුරු වී.
808. ඒ මහාමුනිහු අටපනස් රියනක් උස් වූහ, රන්ඇගෑයක් බඳු වූහ, දෙතිස් මහාපුරිස් ලකුණින් යුතු වූහ.
809. එකලැ (මිනිස්නට) හවුරුදු සියක්දහසක් ආයු වෙයි. එපමණ කල් වැඩසිටිමින් ඔබ බොහෝ ජනතාව සසරින් ගොඩ නඟාලූහු.
810. එකලැ මම හංසවතී නුවරැ නන් රුවනින් බබළන මහත් සුවයෙන් සමර්පිත සිටුකුලෙකැ උපන්මු.
811. ඒ (පියුමතුරා) මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ අමෘත වූ පරම ආස්වාදකර පරමාර්‍ත්‍ථප්‍රකාශක ධර්‍මදේශනා ශ්‍රවණ කළමු.
812-813. එකල්හි සඞ්ඝයා සහිත ලෝකනායකයන් වහන්සේ නිමන්ත්‍රණය කොට ඔබට මහදන් දී සිය දිවිහිමියෙන් ප්‍රසන්න වූවා සඞ්ඝයා සහිත ලෝකනායක වීරයන් වහන්සේ (වෙත) මස්තකයෙන් වැඳ වැටී ඣායිනී (ධ්‍යාන කරන) භික්‍ෂුණීන් අතරැ අග්‍ර ස්ථානය ප්‍රාර්‍ත්‍ථනා කළමු.
814. එවිට අදාන්තදමක වූ තිලෝකසරණ වූ ප්‍රභූ වූ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ ‘ඒ මනා ප්‍රාර්‍ත්‍ථනාව ලබන්නෙහි’ යි ප්‍රකාශ කළ සේකැ. (වැළිදු)
815. “මෙකපින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොවැ පහළ වන්නාහ.
816. ඔබ දහම්හි දායාද වූ ඖරස වූ ධර්‍මනිර්මිත වූ නමින් නන්‍දා නම්වූ ශාස්තෘශ්‍රාවිකාවක් වන්නෙහි” යි (ප්‍රකාශ කළ සේකැ.)
817. එ අසා ප්‍රමුදිත වැ මෙත්සිත් ඇතිව විනායක වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේ දිවිහිම් කොට (සිවු) පසින් උවටැන් කළමු.
818. මම ඒ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
819. මම එයින් ච්‍යුත වූවා යාම දෙව්ලොවට ගියමු, එයින් තුෂිතයට ද, එයින් නිර්‍මාණරතියට ද, එයින් වශවර්ති පුරයට ද ගියමු.
820. ඒ කර්‍මබලයෙන් යම් යම් තෙනෙකැ උපන්මු ද, ඒ ඒ තැන (දෙව්) රජුනට මෙහෙසිබව කරවූමු.
821. ඒ දෙව්ලොවින් ච්‍යුත වූවා මිනිසත්බෙවෙහි සක්විති රජුනට ද පෙදෙසි රජුනට ද මෙහෙසිබව කරවූමු.
822. සැපත් වළඳා දෙවියන් කෙරෙහි ද මිනිසුන් කෙරෙහි ද සුඛිත වැ නොයෙක් කප්හි සැරිසැරූමු.
823. පශ්චිම භවය පැමිණිකල්හි මම කිඹුල්වත් නුවරැ සුද්ධෝදන රජුහට අනින්‍දිත වූ දුහිතෘ වූමු.
824. සිරිකතවන් රූමත් මා දැක එකුලය ප්‍රීතිමත් වියැ, ඒ හේතුයෙන් නන්‍දා යන මාගේ නාමය ‘සුන්‍දරී’ යන උපපද ඇති වී.
825. ඒ රම්‍ය වූ නගරයෙහි යශෝධරාව තබා සියලු යුවතීන් අතරැ ‘කල්‍යාණී’ යි ප්‍රකට වූමු.
826. (මාගේ) දෙටු බෑයා තුන්ලොවට අග්‍ර වූ බුදුරජාණෝ යැ, එසෙයින් මැ කණිටු බෑයා රහත් නමකි. එකලා වැ ගිහිගෙහි සිටුනා මම් මව විසින් චෝදනා කරන ලදමු:
827. “දියණිනි, තෝ ශාක්‍යකුලයෙහි උපන්හි, බුදුරදුන්ගේ බුහුන වෙහි, නන්‍දයන්ගෙනුදු වෙන් වූවා කුමක් හෙයින් ගෙහි වසනෙහි ද?
828. යොවුන්බව ජරාව අන්ත කොට ඇත්තේ යැ, රූපය අපවිත්‍ර යයි සම්මත යැ, නිරෝගි බව රෝගය අන්ත කොට ඇත්තේ යැ, ජීවිතය මරණය අන්ත කොට ඇත්තේ යි.
829-830. චන්‍ද්‍රයා සේ කාන්ත වූ මනහර වූ භූෂණයනට වඩා අලඞ්කාර වූ ශ්‍රී සමූහයක් බඳු වූ ලෝකසාරය පිඬු කළාක් වැනි වූ නේත්‍රරසායන වූ තොපගේ මේ ශුභ වූ රූපය ද -
831. නොබෝ කලකින් ම ජරාව (මහලු බව) මැඩලන්නේ යැ (ජරාවෙන් රූපය මඩිනු ලැබේ.) අනින්‍දිත දියණියනි, ගෙය හැරපියා තුරුණුවියෙහි දී ධර්‍මචාරී වව” යි.
832. රූපලාවණ්‍ය යොබ්බනලාලන පරවශ වූ මම මවුගේ බස් අසා බුදුසසුන්හි කයින් පැවිදි වූමු, එසේ වුවද සිතින් පැවිදි නුවූමු.
833. මවු තොමෝ මහත්ප්‍රයත්නයෙන් මා ධ්‍යාන ඉගැන් මෙහි යෙදුනක කරන්නට කථා කරයි, මම එහි නොද උත්සුක වූමු.
834-835. ඉක්බිති මහාකාරුණික ජිනේන්‍ද්‍රයන් වහන්සේ කාමයෙහි ලොල් වූ මා දැක රූපයෙහි කළකිරවනු පිණිස මා ඇස් හමුයෙහි ස්වකීය අනුභාවයෙන් ශෝභා ඇති දැකුම්කලු ඉතා මනහර මාහටත් වඩා අතිශයින් රූමත් වූ ස්ත්‍රියක මැවූසේකැ.
836. අතිවිෂ්මයජනක සිරුරු ඇති ඇය දැක විස්මයට පැමිණි මම “මාගේ නේත්‍රලාභයත් මිනිසත්බවත් සඵලැ” යි සිතූමු.
(මම)
837. “ප්‍රියාවනි, එව, යමකින් ප්‍රයෝජන ඇත් ද එය මට කියව, ඉදින් තොපට ප්‍රිය වේ නම් තොපගේ නාමගෝත්‍ර ද කියව” යි කීමු.