Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 8901-9000 න් 9627

636-638. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
මෙසෙයින් පටාචාරා මෙහෙණ මේ ගාථා පැවැසූ.
දසවැනි පටාචාරා ස්ථවිරාපදාන යි.
3. කුණ්ඩලකේසී වර්‍ගය
3. 1 කුණ්ඩලකේසාපදානය
639. මෙයින් සියක්දහස්වන කප්හි ලොවට නායක වූ සියලු ධර්‍මයන්ගේ පාරයට පැමිණි පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
640. එකල්හි මම හංසවතී නුවර නොයෙක් රුවනින් දිලියෙන මහත්සුඛයෙන් සමර්පිත වූ සිටුකුලයෙකැ උපන්මු.
641.ඒ මහාවීර වූ බුදුරදුන් වෙතැ එළැඹැ (ඔබ) දම්දෙසුන් ඇසූමු. එයින් උපන් පැහැදීම් ඇති මම් ජිනේන්‍ද්‍රයන් සරණ කොට ගියමු.
642. එකලැ මහාකාරුණික වූ පදුමුත්තර නම් සර්‍වඥයන් වහන්සේ සුභ නම් මෙහෙණ ඛිප්පාභිඤ්ඤා (ධර්‍මය වහා අවබෝධ කළ) මෙහෙණනන් අතරැ අගතන්හි තබා වදාළසේකැ.
643. එ අසා ප්‍රමුදිත වැ මහර්ෂිබුදුරදුනට දන් දී පාමුල මස්තකයෙන් නමස්කාර කොට ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු.
644. “භද්‍රාවනි, තොප විසින් යමක් පතනලද නම් ඒ සියල්ල සමෘද්ධ වන්නේ යැ, සැප ඇති වවු, නිවුණා වවු” යි මහා වීරයන් වහන්සේ අනුමෝදනා කළසේකැ.
645.මෙකපින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලෝකයෙහි පහළ වන්නාහ.
646. ඔබ දහම්හි දායාද (හිමි) වූ (දහම් පසක් කොට රහත් වූ හෙයින්) ධර්‍මනිර්මිත වූ (එහෙයින් මැ) ඖරස (දුහිතෘ) වූ “භද්දා කුණ්ඩලකේසා” යි බුද්ධශ්‍රාවිකාවක් වන්නෙහි.
647. ඒ කුසලකර්‍මහේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා (උපත් විසින්) තව්තිසාවට ගියමු.
648. එතැනින් ච්‍යුත වූවා යාම දෙව්ලොවට ගියමු. මම එයින් තුසිතයට ද, එයින් නිම්මාණරතියට ද, එයින් වසවත්තිපුරයට ද ගියා වෙමි.
649. ඒ කුශලකර්‍මයාගේ ශක්තියෙන් යම් යම් තෙනෙකැ (උපත් විසින්) යෙම් ද ඒ ඒ තෙනැ දෙව්රජුනට මෙහෙසිබව කරවූමු.
650. එයින් සැවැ මිනිසුන් කෙරෙහි සක්විතිරජුනට ද, මාණ්ඩලික රජුනට ද මෙහෙසිබව කරවූමු.
651. දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සැපත් වළඳා සැමතන්හි සුඛිත වැ නොයෙක් කල්පයන්හි සැරූමු.
652. මේ භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ සර්‍වඥයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
653. එකල්හි මහර්ෂි මුනිරජුනට උපස්ථායක නරපති වූ කිකී නම් කාසිරාජයෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.
654. එ රජුහට භික්ඛුදාසී යි ප්‍රසිද්ධ වූ සිවුවැනි දුහිතෘ වූමු. ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රිසි කළමු.
655-656. පිය තෙමේ අප නො අනුදත්තේ යැ, එවිට අපි හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වැ කුමරිබඹසර සැරූමු. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු බුද්ධෝපස්ථානයෙහි නිරත ප්‍රමුදිත සප්තදුහීතෘහු නම්:
657. සමණී යැ, සමණගුත්තා යැ, භික්ඛුනී යැ, භික්ඛුනීදාසිකා යැ, ධම්මා යැ, සුධම්මා යැ, සඞ්ඝදාසිකා යැ යන මොහු වූහු.
658. (උහු මෙකලැ) ඛේමා යැ, උප්පලවණ්ණා යැ, පටාචාරා යැ, එසේ ම මම් යැ, කිසාගෝතමී යැ, ධම්මදින්නා යැ යන අපි වෙමු. විශාඛා සත්වැනි වෙයි.
659. මම ඒ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස් කය හැරපියා තව්තිසාවට ගියමු.
660. දැන් පැසුළු බෙවෙහි සමෘද්ධිමත් සිටුකුලයෙකැ උපන් මම යම් කලෙකැ තුරුණු වියෙහි සිටියා වමු ද, (එකලැ)
661-662. වධ (මරනු) පිණිස ගෙනයනු ලබන සොරකු දැක මම ඔහු කෙරෙහි ඇලුණුමු. මාගේ පිය තෙමේ දහසකින් ඔහු ඒ වධයෙන් මුදා මාගේ සිත දැන මා ඔහුට (සරණ කොට) දුන්නේ යැ. මම ඔහුට නිසැක වූමු, අතිශයින් ප්‍රිය වූමු. හිත වූමු.
663. කිලිටි අදහස් ඇති ඒ සොරා මාගේ අබරණවලට ලොබින් චෝරප්‍රපාත (සොරුන් හෙළා මරන) පර්‍වතයට ගෙන ගොස් (මා) මරන්නට සිතුයේ යැ.
664. එවිටැ මම සැමියා ප්‍රණාම කොට මොනොවට බදැඳිලි වැ සියදිවි රක්නෙම් මෙවදන් කීමු:
665. “ස්වාමීනි, මේ අඟුපලඳනා ද, බොහෝ මුතු හා වෙරළුමිණි ද යන සියල්ල ගනු මැනැවැ, මාද දස්සකැයි අස්වනු මැනැවි” යි.
(එවිට සොරා)
666. “භද්‍රාව, (අබරණ) මුදුනු, දැඩි වැ නො වැළපෙනු, නෝ නසා ධන පැහැර ගැනීමෙක් මම නො ද දන්මි.”
(භද්‍රා)
667. “යම් කලෙක පටන් තමා සරනුයෙම් ද යම් කලෙක පටන් දන්නාබවට පැමිණියා වෙම් ද, තොපට වඩා අන් ප්‍රියතරයෙක් මම නො දනිමි.
668. එව, තොප වැළඳගන්නෙමි, තොප ප්‍රදක්‍ෂිණා කරන්නෙමි, මාගේත් තොපගේත් සඞ්ගමයෙක් දැන් යලි නො ද ඇත්තේ යි.” (මෙසේ කියා සොරා ප්‍රපාතයට පෙරළා හැරියා යැ.)
(මෙය දැක දෙවියෙක් මෙසේ කියයි:)
669. “සියලු තන්හි පුරුෂ තෙමේ පණ්ඩිත නො වේ මැ යි, ස්ත්‍රී ද පණ්ඩිත වෙයි, ඒ ඒ කරුණෙහි විචක්‍ෂණ ද වේ.
670. සියලු තන්හි පුරුෂ තෙමේ පණ්ඩිත නො වේ මැ යි, ස්ත්‍රී ද පණ්ඩිත වෙයි, වහා අරුත් සිතන්නී ද වේ.”
671. ඒකාන්තයෙන් නිකෘෂ්ඨයා කෙරෙහි මැනැවින් සිතීමි. මෘගරෝමයෙකින් යම්සේ ද, එසෙයින් එකල්හි මම සතුරා නැසීමි.
672. යමෙක් උපන් කරුණ වහා වටහා නො ගනී ද, හේ ගිරිගුහායෙහි නැසුණු අනුවණ සොරු මෙන් නැසෙයි.
673. යමෙකුත් උපන් කරුණ වහා වටහාගනී ද, හේ යම්සේ එදවසැ මම් සතුරාගෙන් මිදිණුමු ද, එසේ සතුරු උවදුරින් මිදෙයි.
674. එදවසැ මම ඒ සතුරා ගිරිදුර්‍ගයෙහි හෙළා ශ්වේතාම්බරයන් (සුදුවත් හඳනා නිවටුන්) වෙතැ එළැඹැ පැවිදි වූමු.
675. එකල්හි (ඔහු) හඬුවකින් මාගේ කෙහෙ සර්‍වප්‍රකාරයෙන් උදුරා පැවිදි කොට නිරතුරු ස්වසමය කීහු.
676-677. ඔවුන්ගෙන් එය ඉගෙන එකලා වැ හිඳ ඒ සමය විමසාලූමු. (එවිටැ) සුනඛයෙක් සුන් මිනිස් අතක් ඩැහැගෙන අවුත් මා වෙතැ හෙළා ඉවත් වැ ගියේ යැ. පණුවන් පිරුණු ඒ අත දැක අසුබනිමිති ලදුමු.
678. එතැනින් නැගැ සංවිග්න වැ සහධැමියන් පුළුවුත්මු. උහු ‘එහි අරුත ශාක්‍යභික්‍ෂුහු දනිතැ’ යි කීහු.
679. ‘බුද්ධශ්‍රාවකයන් වෙතැ එළැඹැ එහි අරුත පුළුවුස්නෙමි’ යි ඒ මම් (ඔවුනට කීමු.) ඔහු මා කැඳවාගෙන බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ ගියාහු යැ.
680. ඒ නායකයන් වහන්සේ ‘ස්කන්‍ධ - ආයතන - ධාතූහු අශුභය, අනිත්‍යහ, දුඃඛහයි ද අනාත්මහ’ යි ද දහම් දෙසූ සේකැ.
681-682. ඔබගේ දහම් අසා මම් ධර්‍මචක්‍ෂුස (සෝතාපත්ති මග්‍ගඤාණය) පිරිසිදු කළමු. ඉක්බිති දත් සදහම් ඇතියෙම් පැවිද්ද හා උපසම්පදාව යාච්ඤා කළමු. එකල්හි ඒ නායකයන් වහන්සේ ‘භද්‍රාවනි, එව’ යි වදාළ සේකැ. එවිටැ උපසම්පන්න වූ මම මද ජලයක් දුටුමු.
683. එකල්හි මම පා දෙවීමෙන් (ඒ ජලය) උදයව්‍යය (ඇති වීම හා නැතිවීම) සහිත යයි දැන සියලු සංස්කරායෝ ද එසෙයින් මැ ඇති වැ නැති වන්නාහ යි මෙසේ සිතූමු.
684. එයින් මාගේ සිත උපාදාන විසින් ග්‍රහණය නො කොට සැමඅයුරින් (කෙලෙසුන්ගෙන්) සිත මිදුනේ යැ. එකල්හි ජිනේන්‍ද්‍රයන් වහන්සේ ඛිප්පාභිඤ්ඤා (වහා දහම් අවබෝධ කළ) මෙහෙණන් අතරැ මා අග්‍ර කොට පැනවූ සේකැ.
685. බුදුරදුන්ගේ අනුසසුන් කරන මම ඍද්ධින්හි ද දිබ්බසෝතධාතුයෙහි ද වශී වෙමි. පරසිත් දනිමි.
686. පෙර විසූ කඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරන ලද යැ, සියලු ආස්‍රව ක්‍ෂය කොට මොනොවට කෙලෙස්මල රහිත වැ විශුද්ධ වූමු.
687. මැ විසින් ශාස්තෘහු ඇසුරු කරන ලදහ, බුදුසසුන් කරන ලද යැ, ගුරු වූ කෙලෙස්බර බහා තබන ලද යැ, තෘෂ්ණාව නසන ලදි.
688. යම් අර්‍ත්‍ථයක් පිණිස ගිහිගෙන් නික් මැ බුදුසසුන්හි පැවිදි වූවා නම් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීම වූ ඒ අර්‍ත්‍ථය මා විසින් අනුප්‍රාප්ත යැ.
689. අර්‍ත්‍ථ - ධර්‍ම - නිරුක්තියෙහි ද ප්‍රතිභානයෙහි ද එසේ මැ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ අනුශාසනයෙහි ද මාගේ ඥානය පැතිර පවත්නේ යැ, විශුද්ධ වැ සිටුනේ යි.
690. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳ සරන ඇත් රැජිනක සෙයින් ආස්‍රව රහිත වූවා වාස කරමි.
691. බුදුරජාණන් වහන්සේ වෙතැ ඒකාන්තයෙන් මට ස්වාගතයෙක් (යහපතෙක්) වියැ. ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ. බුදුසසුන් කරන ලදි.
692. මේ සිවුපිළිසිඹියා ද අෂ්ටවිමෝක්‍ෂය ද ෂට් අභිඥා ද සාක්‍ෂාත් කරන ලද යැ, බුදුසසුන් කරන ලදී.
මෙසෙයින් භද්දා කුණ්ඩලකේසා මෙහෙණ මේ ගාථා පැවසූ.
පළමුවැනි කුණ්ඩලකේසා ස්ථවිරාපදාන යි.
3. 2 කිසාගෝතමී අපදානය
693. (තුන්ලොවට) නායක වූ සියලු ධර්‍මයන්ගේ පරතෙරට පැමිණි පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
694. එකල්හි මම හංසවතී නුවර එක්තරා කුලයෙකැ උපන්නෙම් ඒ නරෝත්තමයන් වහන්සේ කරා එළැඹැ (ඔවුන්) සරණ කොට ගියමු.
695. ඔබගේ චතුස්සත්‍යයෙන් යුක්ත වූ මධුර වූ පරමාස්වාදජනක වූ වෘත්ත (දුඃඛොපසම සඞ්ඛ්‍යාත) ශාන්ති සුඛය එළවන ධර්‍මය ද ඇසූමු.
696. එකල්හි වීර වූ පුරුෂෝත්තමන් වහන්සේ ඒතදග්‍රයෙහි තබමින් රුක්‍ෂචීවර ධරන මෙහෙණක වර්‍ණනා කළ සේකැ.
697. මෙහෙණගේ ගුණ අසා අපමණ ප්‍රීතිය උපදවා ශක්ති පමණින් බල පමණින් බුදුරජාණන් වහන්සේට සත්කාර කොට
698. ඒ මුනිවරයන් වහන්සේ ප්‍රණාම කොට ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු. එකල්හි නායක වූ සම්බුද්ධයන් වහන්සේ අනුමෝදනා කළ සේකැ.
699. මෙකපින් සියදහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොව පහළ වන්නාහ.
700. “තෝ ඔබ දහම්හි දායාද වූ ඖරස වූ ධර්‍මනිර්මිත වූ නමින් ගෝතමී නම් වූ ශාස්තෘශ්‍රාවිකාවක් වන්නෙහි.”
701. එ අසා මෘදු වැ විනායක වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේ දිවිහිම් කොට සිවුපසයෙන් උවටැන් කළමු.
702. ඒ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මම මිනිස්කය හැරපියා තව්තිසාවට ගියමු.
703. මේ භද්‍ර කල්පයෙහි බ්‍රහ්මබන්‍ධු වූ මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ සර්‍වඥයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
704. එ සමයෙහි මහර්ෂී බුදුරජාණන් වහන්සේ ට උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කසීරජෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.
705. ඒ රජුට ධම්මා යන නමින් විශ්‍රැත වූ පස්වැනි දුහිතෘ වූමු. ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා ප්‍රව්‍රජ්‍යාව කැමැති වූමු.
706-707. පියතෙමේ අපට පැවිද්ද නො අනුදත්තේ යැ, එකල්හි අපා ගෙහි මැ හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වූවමෝ කුමරි බඹසර සැරූම්හ. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු බුදුවටන්හි නියැලි ප්‍රමුදිත වූ සප්තදුහිතෘහු නම්:
708. සමණී යැ, සමණගුත්තා යැ, භික්ඛුනී යැ, භික්ඛුදාසිකා යැ, ධම්මා යැ, සුධම්මා යැ, සත්වැනි සඞ්ඝදාසිකා යැ යන මොහු වෙති.
709. (මෙකලැ) ඛේමා යැ, උප්පලවණ්ණා යැ, පටාචාරා යැ, කුණ්ඩලා යැ, මම් යැ, ධම්මදින්නා යැ යන අපි වෙමු. විශාඛා සත්වැනි වෙයි.
710. එ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මම මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙමු.
711. මෙකලැ පැසුලු බෙවෙහි මම දුගී ධන නැති ධනය නැසුණු සිටු කුලයෙකැ උපන්මු. ධන ඇති (පති) කුලයකට ගියා ද වෙමි.
712. සැමියා තබා සෙස්සෝ ‘නිර්ධන එකකැ’ යි මට ද්වේෂ කරත්. යම් කලෙකැ සපුත්‍ර වූවා ද එකලැ සියල්ලන්ට ප්‍රිය වූමු.
713. යම් කලෙක්හි හේ (පුත්) තරුණ ද, භද්‍ර ද, කොමළ අවයව ඇත්තේ ද, සුවසේ වැඩුණේ වේද, සිය පණ මෙන් මට කාන්ත ද, එකල්හි මරුවශයට ගියේ යි.
714. සොවින් පෙළුණු මම බැගෑ මුහුණු ඇති වැ කඳුළු පිරුණු නෙත් ඇති වැ හඬන මුව ඇති වැ මළකුණ රැගෙන වැලපෙමින් (ඒ ඒ තෙනැ) ඇවිද්දෙමි.
715. එවිටැ එකකු විසින් දක්නවු ලදුයෙම් වෛද්‍යරාජයන් (බුදුරදුන්) වෙතැ පැමිණ “පින්වත් උතුමාණනි, පුතු ජීවත් කරන බෙහෙදක් දෙනු මැනැවැ” යි කීමු.
716. “යම් ගෙයෙකැ මළාහු නො වෙත් ද, එබඳු ගෙයකින් සිදුහතු (අබ) සුඟක් ගෙන එව” යි හික්මවීමේ උපායෙහි දක්‍ෂ ජිනේන්‍ද්‍රයන් වහන්සේ වදාළසේකැ.
717-718. එවිටැ සැවතට ගොස් (ඇවිද) එබඳු ගෙයක් නො ලත්මු. සිදුහතු කොතැනින් ලබම් ද? කුමක් හෙයින් ද? එයින් මම සිහිය ලැබ මළකුණ හැරදමා ලෝකනායකයන් වහන්සේ වෙතැ එළැඹුණමු. මධුරස්වර ඇති ඔබ දුර දී මැ මා දැක මෙසේ වදාළහ:
719. පඤ්චස්කන්‍ධයාගේ උදයව්‍යය (ඇතිවීම හා නැතිවීම) නො දක්නා යමෙක් හවුරුදු සියයක් ජීවත්වන්නේ නමුදු (ඔහුගේ ජීවත් වීමට වඩා) උදයව්‍යය නුවණින් දක්නහුගේ එක් දවසක් ජීවත්වීම උතුම් වෙයි.
720. මේ මරණ දහම එක් ගමකට අයත් ස්වභාවයෙක් නො වෙයි, එක් නියම් ගමකට අයත් ස්වභාවයෙක් ද නො වෙයි, එක් කුලයකට අයත් ස්වභාවයකුදු නො වෙයි, තෙල දහම සදේවක ලෝකයාට මැ අයත් ස්වභාවයෙකි. එනම් අනිත්‍යතාව යි.
721. ඒ මම මේ ගාථා අසා සෝතාපත්තිමග්ගඤාණය පිරිසිදු කළමු. ඉක්බිති දත් සදහම් ඇත්තෙම් බුදුසසුනෙහි පැවැදි වූමු.
722. එසේ පැවිදි වූවා මැ ජිනසසුන්හි යෙදෙන්නෙම් (විවසුන් වඩනුයෙම්) නොබෝ කලකින් මැ රහත්බවට පැමිණියෙමු.
723. ශාස්තෘශාසනකාරිණී වූයෙම්, ඍද්ධියෙහි ද, දිව්‍යශ්‍රෝත්‍ර ධාතුයෙහි ද වශී වෙමි. පරසිත් දනිමි.
724. පෙර විසූ කඳපිළිවෙළ දිනිමි, දිවැස පිරිසිදු කරන ලදී. සියලු ආස්‍රව නසා අතිශයින් නිර්‍මල වූයෙම් විශුද්ධ වූමු.
725. ශාස්තෘහු මා විසින් ඇසුරු කරන ලදහ. බුදුසසුන් කරන ලදි. මහත් කෙලෙස් බර බහා තබන ලද්දේ වෙයි. තෘෂ්ණාව මුලිනුපුටා නසන ලදි.
726. යම් අර්‍ත්‍ථයක් පිණිස ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූවා වෙම් ද, සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීම වූ ඒ අර්‍ත්‍ථය මා විසින් අනුප්‍රාප්ත යි.
727. අර්‍ත්‍ථ - ධර්‍ම - නිරුක්තියෙහි ද එසේ මැ ප්‍රතිභානයෙහි ද බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ අනුබලයෙන් මාගේ ඥානය නිරුමල යැ. පිරිසිදු යැ.
728. කසළගොඩින් ද සොහොනෙන් ද වීථියෙන් ද (රෙදි කඩ) අවුලාගෙන අවුත් එයින් සඟලක් කොට රූක්‍ෂ සිවුරු ධරමි.
729. (තමන්හට නායකයකු නැති හෙයින්) විනායක වූ බුදුරජාණන් වහන්සේ රූක්‍ෂ චීවර ධැරීම වූ ඒ ගුණයෙහි සතුටු වූ සේක් පිරිස් මධ්‍යයෙහි මා ඒතදග්‍රයෙහි තැබූසේකැ.
730. - 732. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.
මෙසෙයින් කිසාගෝතමී මෙහෙණ මේ ගාථා පැවැසූ.
දෙවැනි කිසාගෝතමී ස්ථවිරාපදාන යි.
3. 3 ධම්මදින්නාපදානය