759. කඳුපාමුලක (= ශිලාපර්‍වතයෙක්හි විවෙකස්ථානයක) වැඩ හුන්නා වූ මනුෂ්‍යොත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ ඒ ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේ වෙත මම එළඹියෙමි.
760. එකල්හි මම මැනැවින් පිපුනු කිණිහිරිමලක් දැක නටුවෙන් කඩා ගෙණ එ මලින් ඡත්‍රය අලඞ්කාර කොට බුදුරජානන් වහන්සේට (ඒ ඡත්‍රය) නැගීමි.
761. සුන්‍දරභෝජනසඞ්ඛ්‍යාත උත්තම ආහාරය වූ පිණ්ඩපාතය ද දිනිමි. එහි දී බුදුරජානන් වහන්සේ නව වැනි කොට ඇති ශ්‍රමණයන් අටනමක් වැළඳවීමි.
762-763. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ, අග්‍රපුද්ගල වූ, මහාවීර වූ (පදුමුත්තර) බුදුරජ තෙම (මෙසේ) අනුමෝදනාව කෙළේ ය: “මෙ ම ඡත්‍රදානය ද උතුම් ආහාරදානය ද හේතු කොට ගෙණ (ඇති වූ) එ ම චිත්තප්‍රසාදයෙන් (මෙතෙමේ) සම්පත් අනුභව කරන්නේ ය. සතිස් වරක් ශක්‍ර ව දිව්‍ය රාජ්‍යය කරන්නේ ය.
764. එක්විසිවරක් සක්විතිරජ වන්නේ ය. මහත් වූ ප්‍රදේශරාජ්‍යය කරණ (වාරගණන) සඞ්ඛ්‍යාපථාතික්‍රාන්ත ය.
765. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේ ය.
766. (උන්වහන්සේගේ) සසුන බබළන කල්හි මිනිසත්බවට පැමිණෙන්නේ ය. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූයේ ධර්‍මයෙන් ම නිර්මිත කළාක් වැනි වූ නමින් ‘උපසේන’ නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය”.
767. (මෙය) මාගේ අන්තිමආත්මය වන්නේ ය. සියලු භවයෝ නසන ලදහ. සේනා සහිත වූ මාරයා ජය ගෙන අන්තිම ශරීරය දරමි.
768. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් උපසේනවඞ්ගන්තපුත්තස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.
උපසෙනවඞ්ගන්තපුත්ත ස්ථවිරාවදානය සත්වැනි යි.
තෙවෙනි බණවර යි.
18. රට්ඨපාල ස්ථවිරාවදානය
769-770. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදී ගුණ ඇති ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේට (නගුලිස් පමණ වූ) විශාල දළ ඇති රාජාර්‍හ (=රජුනට සුදුසු) වූ (ඇත්කඳෙහි ඔසවන ලද) ශ්වේතච්ඡත්‍රයෙන් ශෝභමාන වූ හස්ත්‍යාලඞ්කාර සහිත වූ ඇත්ගොව්වෙකු සහිත වූ උතුම් හස්තියෙක් තෙම මා විසින් දෙන ලදී. ඒ සියල්ලෙහි වටිනා කමින් (සියල්ල විකුණා) සඞ්ඝාරාමයක් ද කරවීමි.
771. මම සූපණස්දහක් ප්‍රාසාදයන් ද කරවීමි. මහදනක් (පිළියෙල) කොට මහර්ෂි වූ බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි.
772. මහාවීර වූ සියල්ල තෙමේ ම දැන වදාළා වූ අග්‍රපුද්ගල වූ බුදුරජානන් වහන්සේ සියලු ජනයන් සතුටු කරමින් අමෘතපදය (=නිර්‍වාණ ධර්‍මය) දෙසූ සේක.
773. ‘පදුමුත්තර’ නම් වූ බුදුරජානන් වහන්සේ මාගේ ඒ පින්කම (ගැන මෙසේ) පැවසූ සේක. භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් දේශනා කළසේක:
774. “මෙතෙම සිවුපණස්දහසක් ප්‍රාසාදයන් කරවී ය. (එහි) විපාකය කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.
775. (මොහුට) අටළොස්දහසක් කූටාගාරයෝ වන්නාහු ය. උතුම් විමනෙහි පහළ වූ ඒ (කූටාගාරයෝ) සර්‍වස්වර්‍ණමයහ.
776. (මෙතෙම) ශක්‍රදේවේන්‍ද්‍ර ව පණස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටපණස් වරක් සක්විතිරජ වන්නේ ය.
777. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ‘ගෞතම’ නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේ ය.
778. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් චුත ව එකෙණෙහි ආඪ්‍ය වූ මහත් භොග ඇති කුලයක උපදින්නේ ය.
779. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ හෙතෙම පසු ව පැවිදි ව නමින් රට්ඨපාල ය යි ප්‍රසිද්ධශ්‍රාවකයෙක් වන්නේ ය:
780. වීර්‍ය්‍යයෙහි යොදන ලද සිත් ඇත්තේ උපශාන්ත වූ උපධිරහිත වූ හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන දුරු කොට ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.”
781. (උත්‍ථානවීර්‍ය්‍යයෙන්) නැගිට අභිනිෂ්ක්‍රමණය කොට කෙල පිඬු මෙන් භෝගසම්පත් තොමෝ හරණා ලද්දී ය. මාගේ (ඒ) භොග සම්පත්තියෙහි ඇලීමෙක් නැත.
782. යෝගක්‍ෂේමසඞ්ඛ්‍යාත නිර්‍වාණයට පමුණුවන ධුරවාහකයා (=ගැල්බර උසුලනගවයා) මාගේ වීර්‍ය්‍යය යි. (මම) මේ සර්‍වඥශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
783. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රට්ඨපාලස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
රට්ඨපාල ස්ථවිරාවදානය අටවැනි යි.
19. ස්වපාක ස්ථවිරාවදානය
784. වනයෙහි උතුම් පර්‍වතයෙක්හි ගුහාවක් පිරිසිදු කරන්නා වූ මා වෙත සිද්ධාර්‍ත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේක.
785. මම එළඹ සිටියා වූ බුදුරජානන් වහන්සේ දැක තාදිගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේට ඇතිරියක් අතුරා පුෂ්පාසනයක් (=මලසුනක්) දිනිමි.
786. සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ පුෂ්පාසනයෙහි වැඩහිඳ මාගේ මතු උත්පත්තිස්ථානය ද දැන අනිත්‍යභාවය වදාළ සේක.
787. “ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යයහ. ඉපදීම හා විනාශය ස්වභාවය කොට ඇත්තාහ. ඉපදී නැති වෙත්. ඔවුන්ගේ සන්සිඳීම සැප යි.
788. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ ප්‍රාඥ වූ සර්‍වඥයන් වහන්සේ මෙය වදාරා අහසෙහි (යන) හංසරාජයකු මෙන් අහසට පැනනැංගේ ය.
789. මම ස්වකීය ලබ්ධිය හැර අනිත්‍යසංඥාව වැඩීමි. එක්දිනක් භාවනා කොට මම එයින් චුත වීමි.
790. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් (දිව්‍ය මනුෂ්‍ය සඞ්ඛ්‍යාත) ද්විවිධසම්පත් අනුභව කොට අන්තිමභවය පැමිණි කල්හි (ස්වකීය පාකය වූ බත අනුන් අනුභව නො කරණ බැවින්) ‘සපාක’ නම් සැඩොල් කුලයට උත්පත්තිවශයෙන් එළඹුනෙමි.
791. අගාර සඞ්ඛ්‍යාත ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදි වීමි. උත්පත්තියෙන් සත්හැවිරිදි වයස් වූ මම රහත් බවට පැමිණියෙමි.
792. ඇරඹූ වීර්‍ය්‍යය ඇත්තෙම් (නිවන කෙරෙහි) මෙහෙයන ලද සිත් ඇත්තෙම් ශීලයන්හි මැනැවින් හික්මුනෙම් බුදුරජානන් වහන්සේ සතුටු කොට උපසම්පදාව ලැබීමි.
793. මෙයින් සිවුඅනූවන කපෙහි (වූ) එ ම කාලයෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (එයින්) දුගතියක් නො දනිමි. මෙය පුෂ්පදානයාගේ විපාකය යි.
794. මෙයින් සිවුඅනූවන කපෙහි (වූ) එ ම කාලයෙහි යම් අනිත්‍ය සංඥාවක් වැඩුයෙම් නම් එ ම, සංඥාව වඩන්නා වූ මාහට ආශ්‍රවක්‍ෂය ය පැමිණියේ ය.
795. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘සෝපාක’ ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් දේශනා කළ සේක් යී.
ස්වපාක ස්ථවිරා’වදානය නවවැනි යී.
20. සුමඞ්ගල ස්ථවිරාවදානය
796. යාගයක් කරණු කැමැති (දානයක් දෙනු කැමැති) මම බොජුන් පිළියෙල කරවා (ප්‍රතිග්‍රාහක වූ ශුද්ධ පැවිදි) බමුණන් සොයමින් විශාල මාළකයෙහි සිටියෙමි.
797-798. ඉක්බිති මහත් යසස් ඇති, සියලු ලෝකයා (නිවණට) පමුණුවන්නා වූ, තමා ම සියල්ල අවබෝධ කළා වූ, අග්‍රපුද්ගල වූ, ප්‍රභාසම්පන්න වූ, ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද, සූර්‍ය්‍යයා මෙන් බබලන, වීථියට පිළිපන් පියදස්සි බුදුරජානන් වහන්සේ දුටුවෙමි.
799. ඇඳිලි බැඳ ස්වකීය චිත්තය පැහැදවීමි. මහාමුනි වූ බුදුරජානන් වහන්සේ (මාගේ නිවෙසට) වඩින සේක්වා යි සිතින් ම ආරාධනා කෙළෙමි.
800. ලෝකයෙහි අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන රහතුන් දහසක් සමග මාගේ ගෙදොරට එළඹි සේක.
801. “පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ පහයට නැගී සිහසුනෙහි වැඩ හිඳුනු මැනව”.
802. දැමුනු සේක් දැමුනු පිරිවර ඇති (සසරින්) එතෙර වූ එතෙර කරන්නවුන් අතුරෙන් උතුම් වූ බුදුරජානන් වහන්සේ පහයට නැගී උතුම් අසුනෙහි වැඩ හුන් සේක.
803. ස්වකීයගෘහයෙහි මට සම්පාදනය කරණලද යම් ආහාරයක් වී ද, පහන් සිත් ඇති මම සියතින් ම බුදුරජානන් වහන්සේට එ ම ආහාර (දානය) දිනිමි.
804. පහන් සිත් ඇත්තෙම් සතුටු වූයේ හටගත් සොම්නස් ඇත්තෙම් කරණ ලද ඇඳිලි ඇත්තෙම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට නමස්කාර කරන්නෙමි. බුදුරජානන් වහන්සේගේ උදාරබව ආශ්චර්‍ය්‍ය යි.
805. (එහි) වළඳන්නා වූ පර්‍ය්‍යුපාසනය කරණ අෂ්ටආර්‍ය්‍යපුද්ගලයන් අතුරෙන් රහත්හු ම බොහෝ වූහ. මෙය ඔබ වහන්සේගේ ම අනුභාවය යි. මම (ඔබවහන්සේ) සරණ කොට යෙමි.
806. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පියදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක.
807. “ඍජුප්‍රතිපන්නතාදි ගුණ යුත් සන්සුන් සංඝයා ද තථාගත වූ බුදුරජානන් වහන්සේ ද ඒ යමෙක් වැළඳවී ද, (ඔහු පිළිබඳව) කියන්නා වූ මාගේ වචනය අසවු.
808. හෙතෙම සත්විසිවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. පටන් ගත් ස්වකීය කට යුතු ඇති හෙතෙම දිව්‍යලෝකයෙහි සිත් අලවා වෙසෙයි.
809. හෙතෙම අටළොස්වරක් සක්විතිරජ වන්නේ ය. පන්සිය වරක් පෘථිවියෙහි රාජ්‍යය ගෙණ පොළොවෙහි වාසය කරන්නේ ය.”
810. ව්‍යාඝ්‍රයන් (ව්‍යාලමෘගයන්) විසින් සෙවුනා ලද මහාවනයට පිවිස වීර්‍ය්‍යය කොට මා විසින් කෙලෙස් දවන ලදී.
811. එක්සිය අටළොස්වන කපෙහි වූ එකල්හි යම් දානයක් දිනිම් ද, (එබැවින්) දුගතියක් නො දනිමි. ආහාරදානයාගේ මේ විපාකය යි.
812. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමඞ්ගලස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
සුමඞ්ගලස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
සිහසුන් ද එක්ටැම් - දුන් දෙනම හා නන්‍ද ද, සුළුපතු පිළිඳි රාහුල - වංගන්න රටපල් හා. සෝපාක මංගල ය යි - දසසිරිතකි දෙවන වගැ, එක්සියඅටතිසෙක් ගී - යෙන් එය මෙහි කියන ලදී.
දෙවෙනි සිංහාසනදායකවර්‍ග යයි.
3. සුභූති වර්‍ගය
21. සුභූති ස්ථවිරාවදානය
813. හිමවතට නුදුරෙහි නිසභ නම් පර්‍වතයකි. (එහි) මට අසපුවක් කරණලදී. පන්සලක් ද මැනැවින් නිර්මිත කරණලදි.
814. (මම එහි) උග්‍ර වූ තපස් ඇති ‘කෝසිය’ නම් ජටිලයෙක් (ජටාධරයෙක්) වීමි. එකල්හි මම ‘නිසභ’ පර්‍වතයෙහි එකලා ව දෙවැන්නෙකු නො මැති ව වසමි.
815. එකල්හි මම පළ මුල් කොළ (ගස්වලින් නෙළාගෙණ) අනුභව නො කරමි. එකෙණෙහි ස්වයංපතිත (ඉබේ වැටුනු) පඬුවන් පත් ඇසුරු කර (අනුභව කොට) ජීවත් වෙමි.
816. මම ජීවිතය හැර දමන්නෙම් නමුදු (සම්‍යක්) ආජීවය (පලමුල් ආදි ආහාර සෙවීමෙන්) විකෝපනය නො කරමි. ස්වකීය සිත (අල්පෙච්ඡ සන්තුෂ්ඨතාවන්ගෙන්) පහදවමි. (වෙදකම් ආදි එක්විසි) අනෙසනයන් දුරු කරමි.
817. යම් කලෙක්හි රාගයෙන් යුත් වූ සිතක් මට උපදී නම්, (එකල්හි) තෙමේ ම ප්‍රත්‍යවේක්‍ෂා කරමි. එකඟ වූ සිත් ඇති මම එම රාග අදහස) මෙසේ අවවාද කරගණිමින් දමනය කරමි. (කෙසේ ද? යත්:-)
818. “තෝ ඇලුම් කට යුතු දැයෙහි ඇලෙහි ද, ද්වේෂ කට යුතු දැයෙහි ද්වේෂ කෙරෙහි ද, මුළා විය යුතු දැයෙහි මුළාවෙහි ද, (එසේ නම්) වනයෙන් නික්ම යව.
819. මේ (අරණ්‍ය) වාසය පිරිසිදු වූ නිර්‍මල තපෝගුණ ඇතියනට ය. තෝ මේ පිරිසිදු (වාසය) දූෂ්‍ය (අපිරිසිදු) නො කරව. (එසේ නම්) වනයෙන් නික්ම යව.
820. ගිහි ව හැමකල්හි (ඒ තමාට) සුදුසු දෑ ලබන්නෙහි ය. තෝ (ගිහිබව හා පැවිදිබව යන) දෙක ම වරද්දා නො ගණුව, වනයෙන් නික්ම යව.
821. සොහොන්පෙනෙල්ල යම් සේ කිසි කට යුත්තකට නො යෙදේ ද, ගමෙහි හෝ අරණෙහි හෝ කාෂ්ට (=දර) ය යි සම්මත නො වේ ද, (එසේ ම)
822. තෝ සොහොන්පෙනෙල්ලක් වැනි වෙහි ය. ගිහියෙක් නො වෙහි. පැවිද්දෙක් ද නො වෙහි. ගිහි පැවිදි දෙපසින් ම මිදුනේ වෙහි ය. අද ම වනයෙන් නික්ම යව.
823. තාගේ මෙබඳු ගතියක් වේ නම්, එය කවරෙක් දනී ද? තාගේ ශ්‍රද්ධාධුරය දුරු කෙරෙහි නම්, (එය) කුසීතබව වැඩි වීම පිණිස ද පවතී.
824. යම් සේ නුවර වැසියෙක් අශුචි පිළිකුල් කරන්නේ ද, එසේ නුවණැත්තෝ තට පිළිකුල් කරන්නාහු ය. ඍෂීහු තා ඇද දමා හැම කල්හි චෝදනා කරන්නාහු ය.
825. නුවණැත්තෝ තා ඉක්මවූ සසුන ඇත්තෙකැයි (චෝදනා වශයෙන්) කියන්නාහු ය. නුවණැත්තන්ගේ සහවාසය නො ලබන්නා වූ තෝ කෙසේ ජීවත් වන්නෙහි ද?
826. බලවත් ඇත් රජෙක් තෙම එළඹ ත්‍රිමදගලිත වූ මාතඞ්ග හස්තිකුලයෙහි ජාත වූ උපතින් සැටවස් ඉක්ම ගිය මහඇතෙකු ඇත්රැළෙන් බැහැර කෙරෙයි නම්,
827. ඇත්රැළෙන් බැහැර වූ එ ම ඇතා ලොකුසුවයක් නො විඳී. දුඃඛිත ව දොම්නස් සහිත වේ. ලත වමින් වෙවුල යි.
828. එසේ ම ජටාධර තවුසෝ අඥාන වූ තා (තවුස් පිරිසෙන්) බැහැර කෙරෙත්. ඔවුන් විසින් බැහැර කරණ ලද තෝ (සිත - කය දෙකින් ම) සුවයක් නො ලබන්නෙහි ය.
829. දිවාකල්හි ද යලි රාත්‍රියෙහි ද ඇනුනු ශෝක නමැති හුල් ඇත්තේ ඇත් රැලෙන් බැහැර කළ ඇතෙකු මෙන් (තෝ) පරිලාහයෙන් දැවෙහි ය.
830. යම් සේ ස්වර්‍ණය කිසි තැනෙක්හි යකුළ නො දවා ද එසේ ම සීලයෙන් තොර වූ තෝ කිසි තැනෙක්හි (කෙලෙස්) නො දවන්නෙහි ය.
831. තෝ ගිහිගෙයි වසන්නේ නමුදු කෙසේ ජීවත් වන්නෙහි ද? තට මව සතු වූ හෝ පියා සතු වූ තැන්පත් කොට තබන ලද ධනයක් නැත.
832. සිරුරෙහි ඩහ වගුරුවමින් තෙමේ ම කර්‍මාන්ත කොට ගිහිගෙයි මෙසේ ජීවත් වන්නෙහි ය. තට එය රිසි නො වේ නම් මැනවි.”
833. මෙසේ මම එහි දී කිලිටිබවට ගිය සිත වළක්වමි. නොයෙක් ධර්‍මකථා කියා පවින් සිත වැළකීමි.
834. නො පමා ව වෙසෙනසුලු වූ මෙසේ වනයෙහි වසන මට හවුරුදු තිස්දහසක් ඉක්ම ගියේ ය.
835. උත්තමාර්‍ත්‍ථය වූ (නිවණ) සොයන අප්‍රමාදයෙහි ඇලුනු මා දැක පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ සමීපයට එළඹි සේක.
836. තියඹරාගෙඩියක වර්‍ණයට බඳු පැහැ ඇති පමණ කළ නො හැකි ගුණ ඇති උපමාවිෂයාතික්‍රාන්ත වූ රූපයෙන් අසදෘශ වූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
837. මැනැවින් පිපුනු මහසල්රුකක් මෙන් ද, වැසිවලාකුළු අතුරෙහි වූ විදුලියක් මෙන් ද, නුවණින් අසදෘශ වූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
838. අභීත වූ සිංහරාජයකු මෙන් ද, දර්පිත වූ ඇත්රජකු මෙන් ද, බැබළුනු ව්‍යාඝ්‍රරාජයකු මෙන් ද, (බුදුරජානන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
839. (දිව්‍යස්වර්‍ණයනට ද වඩා ශ්‍රේෂ්ඨ) සිඞ්ගී නම් ස්වර්‍ණ නිෂ්කයක{*} පැහැයට බඳු පැහැ ඇති කිහිරඟුරු මෙන් (දිලිසෙන්නා) වූ ජෝතිරස නම් මැණික මෙන් වූ බුදුරජානන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
840. නිර්‍මල කෛලාසය වැනි වූ පූර්‍ණචන්‍ද්‍රයා වැනි වූ මධ්‍යාහ්නයෙහි සූර්‍ය්‍යයා වැනි වූ (බුදුරජානන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
841. මම එකල්හි අහසෙහි සක්මන් කරන්නා වූ උන්වහන්සේ දැක මෙසේ සිතීමි :- ‘මේ සත්‍ව තෙමේ දෙවියෙක් ද? නැතහොත් මෙ තෙමේ මනුෂ්‍යයෙක් ද?
842. මා විසින් පොළොවෙහි (වසන) මෙබඳු මනුෂ්‍යයෙක් තෙම නො අසනලදී. එසේ ම නො දක්නාලදී. (පුරුෂ ලක්‍ෂණප්‍රකාශක) මන්ත්‍රපදයකුදු ඇත. මේ ශාස්තෘ තෙමේ වන්නේ ය, (කියායි.)
843. එකල්හි මම මෙසේ සිතා ස්වකීය සිත පැහැදවීමි. මම නොයෙක් මල් ද සුවඳ ද රැස් කොට,
844. මල්අසුනක් පණවා යහපත් සිත් ඇති මනෝඥ වූ පුරුෂයන් දමනය කරන්නවුන්ට අග්‍ර වූ බුදුරජානන් වහන්සේට මෙම වචනය කීමි.