Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 8801-8900 න් 9627

532. අභව්‍යස්ථාන හැරපියා අනාචාරය බැහැර ලන්නක් වූමු. මහාවීරයන් වහන්ස, තොප පිණිස මාගේ උතුම් ජීවිතය ද පරිත්‍යාග කළමු.
533. මහාමුනිතුමනි, තොප පිණිස දසකෙළදහසක් (ධනය) දුන්මු. මා විසින් මාගේ ජීවිතය ද පරිත්‍යාග කරන ලද වෙයි.”
534. එකල්හි අතිවිස්මිත වූ සියලු පිරිස මුදුනින් බදැඳිලි වැ “ආර්‍ය්‍යාවනි, කෙසේ නම් (මෙබඳු) අසම වූ ඍද්ධි පරාක්‍රම ඇතිවූ දැ” යි පිළිවිසී.
(උත්පලවණ්ණා පිළිතුරු දෙයි:)
535. මෙයින් සුවහස්වන කප්හි නාගකන්‍යාවක් වූමු. එකලැ නමින් විමලා නම් වූ මම කන්‍යාවන් අතරැ සාධුසම්මත වූවා වෙමි.
536. මහොරග නම් වූ මහනාරජ තෙමේ බුදුසසුන්හි පහන් වූයේ ශ්‍රාවකයන් සහිත වූ මහත් තෙද ඇති පදුමුත්තර මුනිරජුන් නිමන්ත්‍රණය කෙළේ යි.
537-538. රුවන්මුවා මණ්ඩපයක් ද, රුවන්මුවා පළඟක් ද, රුවන් මුවා උපභෝග දෑ ද, රුවන් දදින් සැරහුණු රුවන්වැලි විසුරුණු මඟ ද පිළියෙළ කෙළේ ය. හේ තූර්‍ය්‍යයන් වයනු ලබන්නේ පෙර ගමන් කොට සම්බුදුරදුන් (වැඩම කරවූයේ යි.)
539. ඒ ලෝකනාථයන් වහන්සේ සිවු පිරිස් සහිත වූ සේක් මහොරග නා රජුගේ භවනෙහි උතුම් අස්නෙකැ වැඩහුන්සේකැ.
540. මහායසස් ඇති නාරජ ආහාර ද පාන ද කෑයුතු දෑ ද බිදියයුතු දෑ ද මා ඇඟි උතුම් උතුම් දෑ ද දුන්නේ යැ.
541. සම්බුදුරජාණන් වහන්සේ අහරකිස නිමවා පා දොවා මහත් ඍද්ධි ඇති නාරජුගේ නුවණ පමණින් අනුමෝදනා කළසේකැ.
542. මහත් යශස් ඇති නාගකන්‍යා තොමෝ විකසිත පියුමක් බඳු සර්‍වඥයන් දැක ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුනා, මොනොවට බඳනා ලද සිත් ඇති වූ,
543. එකෙණෙහි පියුමතුරා බුදුරජාණන් වහන්සේ මාගේ සිත දැන ඍද්ධියෙන් අගතැන්පත් මෙහෙණක දැක් වූ සේකැ.
544. විශාරද වූ ඒ මෙහෙණ නොයෙක් ඍද්ධි දැක්වූ. ප්‍රමුදිත වූ හටගත් ප්‍රීති ඇති මම ශාස්තෲන් වහන්සේ ට මෙය කීමු.
545. වීරයන් වහන්ස, සතුටුසිත් ඇති මම් ඒ මෙහෙණගේ මේ ඍද්ධිය දිටිමි. ඕ තොමෝ කිසෙයින් ඍද්ධියෙහි සුවිසාරද වූ ද?
546. “මහත්ඍද්ධි ඇති මෝ මාගේ අනුසාසනා කරන ඍද්ධියෙහි අතිශයින් විශාරද වු (දෙසුම් අසා සවුබවට පත් හෙයින්) මුවින් උපන් මාගේ ඖරස දුහිතෘ වෙයි.”
547. බුදුරදුන්ගේ වදන් අසා එවිටැ මම මෙසේ ප්‍රාර්‍ත්‍ථනා කළමු: මම්දු ඍද්ධියෙහි සුවිශාරද වැ ඇය බඳු වෙමි.
548. නායකයන් වහන්ස, ප්‍රමුදිත වූ සුමනස් ඇති මම් අනාගතයෙහි (ඍද්ධි) ප්‍රාප්ත උත්තම මනස් ඇති වැ මැය බඳු වන්නෙමි.
549. ප්‍රභා විහිදෙන මණ්ඩපයෙක්හි මිණිමුවා පළඟෙකැ සඞ්ඝයා සහිත ලෝකනාථයන් වහන්සේ වඩා හිඳුවා ආහාරපානයෙන් සන්තර්‍පණය කොට -
550. නාගයන්ගේ උතුම් පුෂ්පයක් වූ අරුණ නම් උපුලෙක් වෙයි. “මාගේ පැහැය මෙසේ වේව” යි (එයින්) ලෝකනාථයන් වහන්සේ පිදුමු.
551. මම ඒ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
552. එයින් ච්‍යුත වූ මම මිනිසුන් කෙරෙහි උපත් විසින් පැමිණියා වෙමි. පසේබුදු නමකට මම් උපුලින් වැසුණු පිණ්‍ඩාහාරයක් දුනුමු.
553. මෙයින් එකානූවන කප්හි සොඳුරු නුවන් ඇති (ලොවී ලොව්තුරු) සියලු දහම්හි චක්‍ෂුර්මත් වූ විපස්සී නම් සර්‍වඥයන් වහන්සේ පහළ වූ සේකැ.
554. එකලැ බරණැස් පුරවරයෙහි සිටු දුවක් වැ සඞ්ඝයා සහිත වූ ලෝකනාථ සම්බුදුරජාණන් වහන්සේ නිමන්ත්‍රණය කොට -
555. මහදන් දී විනායක වූ මුනිරජුන් උපුලින් පුදා සිතින් ම වර්‍ණශෝභා ප්‍රාර්‍ත්‍ථනා කළමු.
556. මේ භද්‍ර කල්පයෙහි මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ දේශකයන් අතරැ ශ්‍රේෂ්ඨ වූ සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ සේකැ.
557. එකලැ මහර්ෂීන් වහන්සේ ට උපස්ථායක නරදෙටු වූ කිකී නම් කසීරජෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.
558. (මම) ඔහුට සමණගුත්තා නම් වූ දෙවැනි දූ වූමු. ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රිසි කළමු.
559-560. පිය තෙමේ අප පැවිද්ද නො අනුදත්තේ යැ. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු පුමුදිත වූ අපි දියණිවරු සත්දෙන එකලැ බුද්ධෝපස්ථානයෙහි නිරත වූවමෝ ගෙහි මැ (හිඳ) අනලස් වැ විසිදහසක් හවුරුදු මුළුල්ලෙහි කුමරි බඹසර සැරූම්හ.
561. (උහු නම්:) සමණී ය සමණගුත්තා යැ භික්ඛුණී යැ භික්ඛුණීදාසිකා යැ ධම්මා යැ සුධම්මා යැ, සත්වැනි සඞ්ඝදාසිකා යි.
562. (මෙකලැ පිළිවෙළින්) මම් යැ සප්‍රාඥ ඛේමා යැ පටාචාරා යැ කුණ්‍ඩලා යැ කිසාගෝතමී යැ ධම්මදින්නා යැ (යන අපි වෙමු.) විශාඛා සත්වැනි වෙයි.
563. එ කුශලකර්‍මහේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද, මම මිනිස්කය හැරපියා තව්තිසාවට පැමිණියා වෙමි.
564. එයින් සැවැ මිනිසුන් කෙරෙහි මහාකුලයෙකැ උපන් මම රන්වන් මටසිලිටි උතුම් වස්ත්‍රයක් රහත් නමකට දුන්මු.
565. එයින් ච්‍යුත වූ මම් අරිට්ඨපුරයෙහි බමුණු කුලයෙකැ තිරීටවච්ඡ නමැත්තහුගේ උම්මාදන්තී නම් මනහර දුහිතෘ වැ උපන්මු.
566. මම එ අත්බවින් ච්‍යුත වූයෙම් (එරට එක්) දනව්වකැ ඉතා සමෘද්ධිමත් නො වූ එක්තරා කුලෙක්හි උපන්මු. එකලැ මම් හැල් කෙතක් රකිමි.
567-568. මම පසේබුදු කෙනෙකුන් දැක පියුමෙන් වසන ලද පන්සියයක් ලාජා (විළඳ ඔබට) දී පන්සියයක් පුතුන් ද පැතුමු. ඔහු ද පසේබුදුරදුනට මී දන් දී (එය ම) පැතූහු. මම ඒ දැයින් ච්‍යුත වූයෙම් අරණ්‍යයෙහි පියුම්ගැබෙකැ උපනුමු.
569. මම කසීරට රජුගේ මෙහෙසිය වී සත්කාර - පූජා කරන ලදුයෙම් රාජපුත්‍රයන් පන්සියයක් නො අඩු වැ ප්‍රසූත කළමු.
570. යම් කලෙකැ ඔහු යොවුන්බවට පැමිණියාහු ද ජල ක්‍රීඩා කරන්නාහු පත් ගිලිහුණු පියුමක් දැක පසේබුදු වූහු.
571. ඒ මම් ඒ උතුම් පුතුන්ගෙන් වෙන් වූවා (එහෙයින් ම) ශෝක ඇති වූයෙම් ඒ අත්බවින් ච්‍යුත වැ ඉසිගිලි පසැ එක්තරා ගමෙකැ උපන්මු.
572-573. යම් කලෙකැ වැඩිවියපත් වූවා දරුවන් ඇති මම් පුතුනට ද සැමියාට ද හුළුකැන් රැගෙන යන්නෙම් පසේබුදුරදුන් අට නමක් පිඬු පිණිස ගමට වඩිනු දැක පුතුන් සිහි කළමුද, එකලැ මාහට පුත්‍රප්‍රේමයෙන් ක්‍ෂිරධාරා නිකුත්වී.
574. ඉක්බිති පහන් වූයෙම් ඔබට සියතින් හුළුකැන් දුන්මු. මම් එයින් ච්‍යුත වූයෙම් දෙව්ලොව නන්‍දන උයන්හි උපනුමු.
575. මහාවීරයාණෙනි, (අනතුරුව) කුදුමහත් බෙවෙහි සරා සුව දුක් අනුභව කොට තොප පිණිස ජීවිත පරිත්‍යාග කළා ද වෙමි.
576. මෙසේ බහුප්‍රකාර වූ දුක්විඳ බහුප්‍රකාර වූ සම්පත් ද ලැබ පශ්චිම භවය පැමිණි කල්හි සැවැත් නුවර උපන්මු.
577. මහත් වූ ධන සම්පත් ඇති සුඛිත වූ සුසැදුණු දිලිසෙන නන්රුවන් ඇති සිටුකුලයෙකැ ඉපද සියලු කාමයෙහි සමෘද්ධ වූ (මම).
578. (ලෝකයා විසින්) සත්කාර කරන ලද පුදන ලද වූමු. එසේ මැ, බුහුමන් කරන ලද අපචායන කරන ලද වූමු. අග්‍ර වූ රූපශෝභායෙන් යුක්ත වැ කුලයෙහි අභිසම්මත වූමු.
579. රූප ය භෝග ය ශ්‍රී යැ යන මේ කරණ කොටගෙන අතිශයින් ප්‍රාර්‍ත්‍ථනා කරන ලද ද වූමු, නොයෙක් සිය ගණන් සිටු පුත්‍රයන් විසිනුදු ප්‍රාර්‍ත්‍ථනා කරන ලද ද වූමු.
580. ගිහිගෙය හැරපියා ශාසනයෙහි පැවිදි වූමු. අඩ මසක් නො පත් කල්හි රහත්බවට පැමිණියා වෙමි.
581. මම ඍද්ධියෙන් සියුරැස් රියක් නිර්‍මාණය කොට ලෝකනාථ වූ ශ්‍රීමත් වූ බුදුරදුන්ගේ පාසඟුළුවන් වැන්දෙමි.
582. මෙහෙණියනි, තෙපි අග දක්වා පිපුණු මල් ඇති රුකක් කරා එළැඹැ (එ) සල්රුක්මුල එකලාව සිටිනාව. පැහැසටහනින් තොපට දෙවැන්නක් නො ද ඇති, බාලාව, තෙපි ධූර්‍තයනට බියපත් නො වවු ද?
583. මෙහි පැමිණි තා බඳු වූවෝ වන්නාහු නම්, (එබඳු) සියදහස් ගණන් ධූර්‍තයනට ද බියපත් නො වෙමි, ලොම් නො සලමි, නො තැතිගනිමි. මාරය, එකලා වුව ද තට බියපත් නො වෙමි.
584. තෙල මම් අතුරුදහන් වෙමි, තාගේ කුසතුළට හෝ පිවිසෙමි, ඇසිපිය අතුරෙහි සිටිනා වූ ද මා තෝ නො දක්නෙහි.
585. සිත වසඟ වූ කල්හි ඍද්ධිපාදයෝ මා විසින් මොනොවට වඩන ලදහ, සියලු බන්‍ධනයෙන් මිදුණා වෙමි. ඇවැත, තට බියපත් නො වෙමි.
586. කාමයෝ අඩයටිහුල් බන්දහ. ස්කන්‍ධයෝ ඔවුන්ගේ ප්‍රහාරයෝ යැ, තෙපි යමක් කාමරති යයි කියවු ද ඒ මට දැන් අරති යයි.
587. සියලු භවයෙහි නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණාව නසන ලද, චතුස්සත්‍යප්‍රතිච්ඡාදක තමස්කන්‍ධය පළන ලද, පාපිමය, මෙසේ දැනගනු, අන්තකය, තෝ මා විසින් නසන ලද.
588. ජිතපඤ්චමාරයන් වහන්සේ ඒ ගුණයෙහි තුටු වූවාහු විනායකයන් වහන්සේ පිරිස් මැද ඍද්ධිමත් මෙහෙණන් කෙරෙහි (මෝ) අග්‍ර යයි මා ඒතදග්‍රහයෙහි තැබූ සේක.
589. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන ලදහ. බුදුසසුන් කරන ලද, ගුරු වූ ස්කන්‍ධභාරය බහා තබන ලද. භවතෘෂ්ණාව සමූලඝාතනය කරන ලද.
590. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූම් ද සර්‍වසංයෝජනක්‍ෂය සංඛ්‍යාත ඒ අර්‍ත්‍ථය මා විසින් ලබන ලද වේ.
591. සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනුසුන් ද දහස් ගණන් ඇසිල්ලෙක හාත්පසින් එළවත්.
592. - 594 මා විසින් ක්ලේශයෝ දවන ලදහ ... බුදුසසුන් කරන ලද
උත්පලවණ්ණා මෙහෙණ, මේ ගාථා කිවු යැයි.
නවවැනි උප්පලවණ්ණා ථේරී අපදාන යි.
2. 10 පටාචාරාපදානය
595. මෙයින් සුවහස්වන කප්හි සියලු ධර්‍මයන්ගේ පාරයට ගිය ලෝකනායක වූ පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
596. එකලැ මම හංසවතී නුවරැ නොයෙක් රුවනින් දිලෙන සිටුකුලෙකැ උපනෙම්, මහත් සුවයෙන් සමර්පිත වූමු.
597. ඒ මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ දම් දෙසුම් ඇසූමු එයින් පහන් වූ මම් බුදුන් සරණ කොට එළඹුණමු.
598. නායකයන් වහන්සේ ලජ්ජා ඇති තාදී ගුණ ඇති කප්පිය අකප්පිය දෙක්හි විශාරද වූ මෙහෙණක විනයධර මෙහෙණන් අතරැ අග්‍ර කොට වර්‍ණනා කළසේකැ.
599. එකල්හි ප්‍රමුදිත සිත් ඇති මම ඒ තනතුර කැමැති වන්නෙම් සඞ්ඝයා සහිත වූ ලෝකනායක දශබලධාරීන් වහන්සේ නිමන්ත්‍රණ කොට -
600. සත්දිනක් මුළුල්ලෙහි වළඳවා තුන්සිවුරු ද පුදා (ඔබ) පා මුල සිරසින් වැඳ වැටී මෙවදන් පැවැසූමු:
601. “වීරයන් වහන්ස, මෙයින් අටවැනි දින ඔබ විසින් යම් මෙහෙණක් වර්ණිත වූවා ද, නායකයන් වහන්ස, ඉදින් (මාගේ ප්‍රාර්‍ත්‍ථනා) සමෘද්ධ වේ නම් මම ඇය බඳු වන්නෙමි.”
602. එකල්හි ශාස්තෲන් වහන්සේ මට (මෙසේ) වදාළ සේක: “භද්‍රාවනි, නොබව, සන්හුන්වව, මතුකල්හි ඒ අදහස ලබන්නෙහි.
603. මෙයින් සියක්දහස්වන කල්හි ඔක්කාක කුලය සම්භව කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲහු ලොවැ පහළ වන්නාහ.
604. ඔබගේ ධර්‍මයට හිමි වූ ඖරස වූ ධර්‍මනිර්මිත වූ නමින් පටාචාරා යි ප්‍රසිද්ධ වන ශාස්තෘශ්‍රාවිකාවක් වන්නෙහි.”
605. එකල්හි මම ප්‍රමුදිත වැ මෙත් සිත් ඇතියෙම් සඞ්ඝයා සහිත වූ ලෝකනායක ජිනේන්‍ද්‍රයන් වහන්සේට දිවිහිමියෙන් උපස්ථාන කළමු. ඉක්බිති -
606. එ කුශලකර්‍මහේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා මම තව්තිසා දෙව්ලොවට ගියමු.
607. මෙ භද්‍රකල්පයෙහි බ්‍රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ සර්‍වඥයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
608. එ සමයෙහි මහර්ෂීන් වහන්සේට උපස්ථායක වූ නරපති වූ කිකී නම් කසීරජෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.
609. එ රජුහට භික්ඛුනී යයි ප්‍රසිද්ධ තෙවැනි දූ වූමු. ජිනේන්‍ද්‍රයන්ගේ දහම් අසා (මම) පැවිද්ද රිසි වූමු.
610-611. පිය තෙමේ අපගේ පැවිද්ද නො අනුදත්තේ යැ. එකල්හි අපි ගිහිගෙහි මැ (වෙසෙමින්) හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වූවමෝ කුමරි බඹසර සැරූම්හ. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු බුද්ධෝපස්ථානයෙහි නිශ්ශේෂයෙන් ඇලුණු ප්‍රමුදිත වූ සප්ත දූහීතෘහු නම්:
612. සමණී යැ, සමණගුත්තා යැ, භික්ඛුනී යැ, භික්ඛුදාසිකා යැ, ධම්මා යැ, සුධම්මා යැ සත්වැනි සඞ්ඝදාසිකා යැ යන අපි වෙමු.
613. (ඔහු මෙකලැ) මම් යැ, උප්පලවණ්ණා යැ, ඛේමා යැ, භද්දා භික්ඛුනී (කුණ්ඩලකේසා) යැ, කිසාගෝතමී යැ. ධම්මදින්නා යැ යන අපි වෙමු. විශාඛා සත්වැනි වෙයි.
614. එ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්සිරුර හැරපියා තව්තිසාවට ගියමු.
615. දැන් පැසුලු බෙවෙහි මම සැවැත් පුරවරයෙහි සමෘද්ධිමත් ධනාඪ්‍ය එහෙයින් ම මහත් ධන ඇති සිටු කුලයෙකැ උපන්මු.
616. යම් කලෙකැ යොවුන් බැවින් යුතු වූමු ද එකලැ මම (කාම) විතර්‍කවශයට ගියා වෙමි, මම දනවුවැසි මිනිසකු දැක ඔහු සමග (පලා) ගියමු.
617. මම එක් පුතකු ප්‍රසූත කළමු. මාගේ කුසෙහි දෙවැනි පුත් වෙයි, එකල්හි මම් මවුපියන් දක්නෙමැ යි දැඩි නිශ්චය ඇති කළමු.
618. මාගේ සැමියා (එය) රුචි නො කෙළේ යැ. ඔහු බැහැරක ගිය කල්හි උතුම් සැවැතට යනු පිණිස එකලා වැ නික්මුණුමු.
619. ඉක්බිති මාගේ සැමියා අවුත් මඟ දී මා හමු වූයේ යැ, එවිටැ ඉතා දරුණු කර්‍මජවාතයෝ මට උපන්හ.
620. මාගේ ප්‍රසූති සමයෙහි මහාමේඝය නැඟී සිටියේ යැ. එකල්හි ස්වාමිපුරුෂ දැව සඳහා ගොස් සර්‍පයකු විසින් (ඩැහැ) මරණ ලද්දේ යි.
621. එකල්හි ප්‍රසුත දුඃඛයෙන් අනාථ වූ බැගෑ වූ මම සිය නෑ නිවසට යන්නෙම් කුඩා නදියක් පිරිතිබෙනු දැක -
622-623. බාලයා රැගෙන (ගඟ) තරණය කළමු. (ඒ) කුඩා පුතු පරතෙරැ එකලා කොට හොවා අනෙක් පුතු එතෙරැ කරවනු පිණිස මම හැරී ආවා වෙමි. (එකල්හි) උකුස්සෙක් කුඩා දරුවා වැල පෙන්නහු පැහැර ගෙන ගියේ යැ. අනෙක් පුතු ගඟෙහි සැඬ පහර හැරගෙන ගියේ යි. ඒ මම් ශෝකයෙන් මුසපත් වූවා -
624. සැවැත්නුවරට ගොස් මළ සියනෑයන් ගැන ඇසූමු. එවිටැ ශෝකයෙන් පෙළුණෙම් මහසොවින් මුසපත් වූයෙම් (මෙසේ) කීමු:
625. “දෙපුත්හු කලුරිය කළහ, මාගේ ස්වාමිපුරුෂ තෙමේ මහමගැ මෙළේ ය. මවත් පියාත් බෑයාත් එක් දරසෑයෙකැ දැවෙත්” යි.
626. ඒ අවස්ථායෙහි කෘශ වැ පඬුවන් වැ අනාථ වැ බැගෑ මනස් ඇති වැ ඔබ මොබ දිවැ ඇවිදින මම නරසාරථි වූ මුනි රජුන් දුටුමු.
627. ඉක්බිති ශාස්තෲන් වහන්සේ මට (මෙසේ) වදාළසේක: “දියණියනි, ශෝක නො කර, සැනසෙව, තෝ තමා ගැන සොය, කුමක් හෙයින් නිරර්‍ත්‍ථක සේ පෙළෙන්නෙහි ද?
628. මරහු විසින් මඬනා ලද සත්‍වයාහට ආරක්‍ෂා පිණිස පුත්තු නො වන්නාහ, පියා ආරක්‍ෂා පිණිස නො වන්නේ යැ, (සෙසු) නෑයෝ ද ආරක්‍ෂා පිණිස නො වන්නාහු යැ, නෑයන් කෙරෙහි පිහිටෙක් නැත්තේ යි.”
629. මුනිඳුන්ගේ ඒ දේශනාව අසා පළමු වැනි ඵලය අවබෝධ කළමු. පැවිදි වැ නොබෝ කලකින් රහත්බවට පැමිණියෙමු.
630. ශාස්තෲන් වහන්සේගේ අනුසසුන් කරන මම ඍද්ධියෙහි ද දිබ්බසෝතධාතුයෙහි ද වශී වෙමි. පරසිත් දනිමි.
631. පෙර විසූ කඳපිළිවෙළ දන්මි, දිවැස පිරිසිදු කරන ලද යැ, සියලු ආස්‍රවයන් ක්‍ෂය කොට මොනොවට කෙලෙස් මල රහිත වැ විශුද්ධ වූවා වෙමි.
632. ඉක්බිති මම සියල්ල දක්නා බුදුරදුන් වෙතැ සියලු විනය උගතුමු. ඇති සැටියෙන් සියල්ල විස්තර කොට දේශනා ද කළමු.
633. ඒ ගුණයෙහි සතුටු වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේ එක මැ පටාචාරාව විනයධර මෙහෙණන් අතරැ අග්‍ර යයි මා ඒතදග්‍රහයෙහ් තබා වදාළසේකැ.
634. මා විසින් ශාස්තෘහු ඇසුරු කරන ලදහ. බුදුසසුන් කරන ලද යැ. ගුරු වූ කෙලෙස්බර බහා තබන ලද යැ, තෘෂ්ණාව නසන ලදී.
635. යම් අර්‍ත්‍ථයක් පිණිස ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූවා නම් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීම වූ ඒ අර්‍ත්‍ථය මා විසින් අනුප්‍රාප්ත යැ.