429. දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සැපත් වළඳා සැම තන්හි සුවපත් වැ නොයෙක් කප්හි හැසුරුණමු.
430. මෙයින් එක් අනූවන කප්හි මනහර නුවන් ඇති සියලු ධර්‍මයන් දක්නා විදර්ශී නම් ලෝකනාථයන් වහන්සේ උපන් සේකැ.
431. මම නරසාරථී වූ ඒ ලෝකනාථයන් වහන්සේ වෙතැ එළැඹැ ප්‍රණීත ධර්‍මය අසා (ඔබ) සසුන්හි පැවිදි වූමු.
432-433. දස දහස් වසරක් ඒ වීරයන් වහන්සේගේ සසුන්හි බඹසර සරා ශමථ - විදර්‍ශනා භාවනානුයෝගී වැ බහුශ්‍රුත වැ (පර්‍ය්‍යාප්ති - ප්‍රතිපත්ති දෙක්හි) නිපුණ වැ චිත්‍ර කථා ඇති වැ ශාස්තෲන් වහන්සේගේ අනුසසුන් කරන්නක් වැ වුසූමු.
434. එ අත් බැවින් සැවැ තුෂිත දෙව්ලොවැ යශස් ඇති වැ උපන්මු. බඹසර බෙලෙන් එහි සෙසු දෙවියන් අභිභවා සිටියා වෙමි.
435-436. යම් යම් තෙනෙකැ මම් (උපත් විසින්) එළැඹියෙම් ද, ඒ (ඒ තෙනැ) මහාභෝග - මහාධන ඇති වූමු, නුවණැති වූමු. රූමත් වූමු, වැළි විනීත පිරිස් ඇති වූමු. ඒ කුශල කර්‍මයෙන් බුදුසසුන්හි බ්‍රහ්මචර්‍ය්‍යයෝග හේතුයෙන් චිත්තප්‍රිය වූ සියලු සම්පත්තීහු මට සුලභ වූහු.
437. (උත්පත්ති වශයෙන්) යම් යම් තෙනකට ගියා වූ ද, මා හට යම් කිසිවෙක් ස්වාමි පුරුෂ වේ ද, හේ මාගේ (පූර්‍ව) ප්‍රතිපත් ඵල හේතුයෙන් මට අවමන් නො කරයි.
438. මේ භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණගෝත්‍රික මහායශස් ඇති කෝණාගමන නම් වූ බුදුරජාණන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
439-440. එකලැ මම බරණැසැ බොහෝ සමෘද්ධිමත් කුලයෙකැ දුහිතෘවක් වූමු. පෙර (අත්බව්හි) දානසහායිකා වූ ධනඤ්ජානී යැ, සුමේධා යැ, මම් යැ යන අපි තිදෙන මහසඟනට අරමක් දුනුම්හ. සඟන උදෙසා වෙහෙරක් ද කරවූම්හ.
441. එයින් සැවැ අපි සියල්ලෝ තව්තිසා දෙව්ලොවැ උපනුම්හ. යශසින් අගතැන් පැමිණියමු. මිනිසුන් කෙරෙහි දු එසේමැ යි.
442. මේ කල්පයෙහි ම බ්‍රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ ශාස්තෲන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
443. එකලැ බරණැස් පුරවරයෙහි මහර්ෂි බුදුරජාණන් වහන්සේ ගේ උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කසී රජෙක් වූයේ යැ.
444. එ රජුහට සමණී යයි විශ්‍රැත වූ දෙටු දියණි වූ මම් ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රිසි වූමු.
445-446. පිය තෙමේ අපගේ පැවිද්ද නො අනුදත්තේ යැ. එකලැ අපි හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වැ කුමරි බඹසර වුසූම්හ, රාජදුහිතෘ වූ සුවසේ වැඩුණු බුද්ධෝපස්ථානයෙහි නිරතුරු ඇලුණු ප්‍රමුදිත වූ (කිකී රජුගේ) සත් දියණිවරු නම්:
447. සමණී යැ සමණගුත්තා යැ භික්ඛුනී යැ භික්ඛුදාසිකා යැ ධම්මා යැ සුධම්මා යැ සත්වැනි සඞ්ඝදාසී යැ යන මොහු යි.
448. (මෙ කලැ) මම් යැ උප්පලවණ්ණා යැ පටාචාරා යැ කුණ්ඩලා (කුණ්ඩල කේසී) යැ කිසාගෝතමී යැ ධම්මදින්නා යැ (යන අපි වෙමු) විශාඛා උවැසි සත්වැනි වෙයි.
449. ඒ නරශ්‍රේෂ්ඨ (කාශ්‍යප) බුදුරජාණන් වහන්සේ කිසි විටෙකැ ආශ්චර්‍ය්‍ය ජනක දහම් දෙසන සේකැ, මහානිදාන සූත්‍රාන්තය අසා එය ප්‍රගුණ කළමු.
450. ඒ කුශල කර්‍මහේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස් කය හැරපියා තව්තිසාවට (උපත් විසින්) ගියමු.
451. දැන් පැසුළු බෙවෙහි උතුම් සාගල නුවර මද්‍ද රජුගේ මනවඩන දයාජනක ප්‍රිය වූ දුහිතෘ වෙමි.
452. මා උපන් කෙණෙහි ඒ සමග ම එ නුවර ක්‍ෂේම (-නිර්‍භය) වියැ, එහෙයින් මට ඛේමා යන නම ගුණ වශයෙන් ලැබිණි.
453. රූපලාවණ්‍යයෙන් භූෂිත වූ මා යම් කලෙකැ යොවුන් බවට පැමිණියා ද, එකලැ පිය තෙමේ මා බිම්සර රජහට (මෙහෙසි කොට) දුන්නේ යැ.
454. රූපයෙහි මමායනයෙන් ඇලුණු මම ඒ රජුට අතිශයින් ප්‍රිය වූමු. රූපයෙහි දොස් පවසතැ යි මහාකාරුණික බුදුරදුන් වෙතැ නො එළඹුණමු.
455. එකල්හි බිම්සර මහරජ මට අනුග්‍රහ බුද්ධියෙන් වේළුවනය වර්‍ණනා කරවා ගායකයන් ලවා මා උදෙසා ගායනා කරවී.
456. “බුදුරදුන්ගේ ගඳකිළිය පිහිටි රම්‍ය වූ වේළුවනය යමකු විසින් නො දක්නා ලද නම් ඔහු නන්‍දන වනය නොදක්නා ලදැ යි අපි හඟනෙමු.
457. යමක්හු විසින් නරපුත්‍රයන්ට නන්‍දන වූ සතුටු එළවන (වේළුවනය) දක්නා ලද ද ඔහු විසින් දෙවියන්ට අතිශයින් සතුටු එළවන නදුනුයන දක්නා ලද වෙයි.
458. දෙවියෝ නඳුනුයන හැරපියා මිහිතලයට බැස රම්‍ය වූ වේළුවනය දැක බෙහෙවින් විස්මිත වූවාහු තෘප්තිමත් නො වෙත්.
459. රජුගේ පිනින් උපන්, බුදුරදුන්ගේ පිනින් මනරම් වූ යම් වනයෙක් වේ ද, ඒ වනයාගේ ගුණ සමුදායය කවරෙක් නොඅඩු වැ කියන්නේ ද,”
460. එවිටැ මාගේ කනට මිහිරි වූ ඒ වනසමෘද්ධිය අසා එ උයන දකිනු රිසි වැ රජුට සැලකෙමු.
461. එවිටැ ඒ මිහිපල් තෙමේ එ උයන දක්නට උත්සුක වූ මා මහත් පිරිවරින් (උයනට) යැවී.
462. මහාභෝග ඇත්ත, සුගතයන් වහන්සේගේ ප්‍රහායෙන් යළි යළි රැඳුණු යම් වනයක් සැමදා බබළා ද, යා, නේත්‍රරසායන “නෙත්කලු” එ වනය බල.
463. යම් දිනෙක මුනීන්‍ද්‍රයන් වහන්සේ පිඬු පිණිස ගිරිව්‍රජ (රජගහ) පුරවරයට වැඩිසේක් ද එදින මම් වේළුවනය දක්නට එළඹුණමු.
464-466. එදවසැ මම් නානා බමරුන්ගේ ගුමු ගුමු රැව් ඇති කෙවිල්ලන්ගේ ගී හඬ සහිත වූ මොනර ගණයාගේ නැටුම් ඇති, විරල මිනිස් හඬ ඇති ජනාකීර්‍ණ නොවූ නොයෙක් සක්මන් මළුයෙන් හොබනා කුටිමණ්ඩපයෙන් ගැවසුණු යෝගීවරයන්ගෙන් බැබැළුණු පිපුණු උයනට පිවිසැ හැසිරෙනුයෙම් “මාගේ නෙත් සළුල විණැ” යි සිතුමු. එහි දු යෝගාවචර (-භාවනානුයෝගී) තරුණ මහණ කෙනෙකුන් දැක (මෙසේ) සිතූමු.
467. මෙබඳු සිත්කලු වෙනෙහි වසන නව යොවුන් වියෙහි සිටි මේ මහණ රූපයෙන් සමන්‍විත ද වෙයි, කාන්තියෙන් වසන්තය මෙනි.
468. මුඬු වූ මේ මහණ සඟළ සිවුරු පෙරවැ (රූපාදි) විෂයජ රතිය (ඇල්ම) හැරපියා රුක් මුල්හි හුන්නේ ධ්‍යාන කරනුයේ විනැ.
469. ගෘහස්ථයා විසින් සුවසේ කම් සැප විඳ පසුවැ ජරාවට පැමිණියහු විසින් මේ ධර්‍මය සැරියයුතුයැ. එය සුභද්‍ර (යහපත්) නො වන්නේ නො?
470. සිස් යයි (-බුදුරදුන් නැතැ යි) සිතා ජිනාලය (ජිනේන්‍ද්‍රයන්ගේ වාසස්ථානය) වූ ගඳකිළියට එළැඹැ උදාහිරු වැනි ජිනේන්‍ද්‍රයන් දුටුමු.
471. පවන් සලන වරඟනක සමග එකලා වැ සුවසේ වැඩ හුන් මුනිඳුන් දැක ‘මේ නරශ්‍රේෂ්ඨයා රූක්‍ෂ නො වෙති’ යි මෙසේ සිතුමු.
472. එ යුවතිය රන්වන් පැහැ ඇත්තක, පියුම් බඳු මුහුණ හා නෙත් ඇත්තක, බිඹුපල වන් ලවන් ඇත්තක, කොඳවන් දසන් ඇත්තක, මන නුවන් පිනවන්නක.
473. රනෝවිලි වන් සවන් ඇත්තක, කලස් වැනි මනා පියොවුරු ඇත්තක, සිහිනිග ඇත්තක, මනා උකුල් පෙදෙස් ඇත්තක, රඹ වන් ඌරු ඇත්තක, මනහර අබරණ ඇත්තක.
474. රතු වස්ත්‍ර පොරෝනා හැඳි නිල්වන් මටසිලුටු වස්ත්‍ර ඇති තෘප්තියට නො පැමිණියහෙන රූපයෙන් යුතු ඕ භාවහාවයෙන් සමන්‍විත වූ යැ.
475. ඇය දැක මෙසේ සිතූමු. ආශ්චර්‍ය්‍යයෙකි! මේ අභිරූපිකාව කිසි කලෙකත් මේ ඇසින් මා නුදුටුවිරූ යැ.
476. ඉක්බිති ඕ ජරාවෙන් මඩනාලදු වැ විවර්‍ණ වැ පුළුල් මුව ඇති වැ බුන් දත් ඇති වැ සුදු කෙහෙ ඇති වැ කෙලතොලු වැ අපිරිසිදු වැ -
477. හැකුළුණු කන් ඇති වැ සුදුවන් නෙත් ඇති වැ එල්බෙන අශුභ වූ පියෙවුරු ඇති වැ රැළි වැටුණු සියලඟ ඇති වැ නහර ඉල්පුණු සිරුරැති වැ -
478. වක්වූ කය ඇති වැ සැරයටිය දෙවැනි වැ බෙහෙවින් පඬුවන් වැ කෘශ වැ වෙවුළුම් ඇති වැ වරින් වර නිශ්ශ්වාස කෙරෙමින් ඇද වැටුණා යැ.
479. ඒ හේතුයෙන් මාහට “යමෙක්හි අන්‍ධබාලයෝ ඇලෙත් ද ඒ අපවිත්‍ර රූපයට නින්‍දා වේව” යි නො වූ විරූ ලොමුදහගන්වන සංවේගයෙක් වූයේ යි.
480. එකල්හි මහාකාරුණික වූ උඩුහුරු සිතැති සුගතයන් වහන්සේ සංවිග්න මනසැති මා දැක මේ ගාථා වදාළ සේකැ.
481. “ඛේමාවනි, (රෝගාදියෙන්) ආතුර වූ (දෙතිස් කුණප හෙයින්) අපවිත්‍ර වූ කුණු වූ (පූයා) උතුරන වැගිරෙන අඥයන් විසින් (තෘෂ්ණා විසින්) අභිනන්‍දිත වූ කය බලව,
482. අසුභානුපස්සනා සම්පාදනය පිණිස සිත (උපචාර සමාධි විසින්) එකඟ කොට (අර්‍පණා සමාධි විසින්) සුසමාහිත කොට වඩව. තොපට කායගතාසතිය වේවා. (පස් කඳෙහි කලකිරීම සංඛ්‍යාත) නිර්විදාව බහුල කොට ඇති වව.
483. මේ අධ්‍යාත්මකාය යම්සේ ද තෙල බාහිරකයත් එසේ යැ, තෙල බාහිර කය යම්සේ ද මේ අධ්‍යාත්ම කයත් එසේ යැ යි අධ්‍යාත්ම වූත් බාහිර වූත් කයෙහි කාමච්ඡන්‍දය දුරු කර.
484. (නිත්‍යනිමිති රහිත හෙයින්) අනිමිත්ත (නම් වූ අනිත්‍ය) සංඥාව වඩව, මානානුශය උපුටාලව, ඉක්බිති මානයාගේ ප්‍රහාණාහි සමයෙන් උපශාන්ත වැ හැසිරෙන්නෙහි.
485. යම් කෙනෙක් රාගයෙන් ඇලුණාහු වෙත් ද, තමා කළ දැලෙහි වැටෙන මකුළුවා සෙයින් උහු පුන පුනා ශෝකයට වැටෙත්. අපේක්‍ෂා රහිතයෝ තෙල රාගය සිඳ කම්සුව හැරපියා සසර හැරයෙත්” යි.
486. නරසාරථි වූ සර්‍වඥයන් වහන්සේ (අශ්‍රද්‍ධාදියෙන් දුරු වැ මතු දේශනාවට බඳුන් වැ සිටුනා හෙයින්) කර්‍මණ්‍ය වූ සිතැති මා දැන හික්මෙනු පිණිස මට මහානිදාන සූත්‍රාන්තය දේශනා කළ සේකැ.
487. ඒ උතුම් සූත්‍රාන්තය ශ්‍රවණ කොට පෙර (කසුප් බුදුන් සෙමෙහි භාවිත (මහානිදාන සූත්‍රාන්‍ත) සංඥාව සිහි කළමු. එහි සිටියා වූ මැ මම් ධර්‍මචක්‍ෂුස (-සෝතාපත්තිමග්ග ඤාණය) පිරිසිදු කළමු.
488. එකෙණෙහි මහර්ෂීන් වහන්සේගේ පාමුල වැඳ වැටී (කළ) වරද දෙසනු පිණිස මෙ වදන් කීමු.
489. සියල්ල දක්නාසුලු උතුමාණෙනි, තොපට නමස්කාර වේවා, කරුණාකරයාණනි, තොපට නමස්කාර වේවා. සසර තරණය කළ මහතාණනි, තොපට නමස්කාර වේවා. අමෘතදායකයාණනි, තොපට නමස්කාර වේවා.
490. දෘෂ්ටිගහන (-වන) යට වැදුනු කාමරාගයෙන් බෙහෙවින් මුළා වූ මම සම්‍යග්උපායෙන් තොප විසින් හික්මවන ලදුයෙම් විනයෙහි ඇලුණා වෙමි.
491. තොප වැනි මහර්ෂීන්ගේ නොදැක්මෙන් (සම්‍යග් මාර්‍ගයෙන්) වෙන් වූ සත්‍වයෝ සසර සයුරෙහි (ගිලී) මහදුක් විඳිති.
492. යම් කලෙක මම ලොවට පිහිට වූ කෙලෙස් රහිත වූ මරණාන්තයට ගිය නුදුරු අරම්හි වැඩ සිටුනා බුදුරදුන් නුදුටුයෙම් ද ඒ වරද දෙසමි.
493. මහාහිත වූ නිර්‍වාණදායක වූ (මා විසින්) අහිත යයි සැක කරන ලද බුදුරදුන් වෙතැ රූපලාලනයෙහි නිරත වූ යෙම් නො එළැඹුණුමු. ඒ වරද දේශනා කරමි’යි කියා යි.
494. එකල්හි මහා කාරුණික වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේ මා අමා දියෙන් ඉසිනසේක් මිහිරි වූ ගැඹුරුඝෝස ඇති වැ ‘ඛේමාවනි, නැඟී සිටුව’ යි වදාළ සේකැ.
495. එවිටැ මස්තකයෙන් නැමැද ඔබ ප්‍රදක්‍ෂිණා ද කොට (රජ ගෙට) ගොස් රජු දැක මෙ වදන් පැවසූමු.
496. “රජතුමනි, පුදුමයෙකි. ඔබ විසින් මේ සම්‍යග්උපාය සිතන ලද යැ, උයන දකිනු රිසි ඇත්ත විසින් නිර්‍වාණදායක මුනිඳු දක්නා ලදි.
497. මහරජ, ඉදින් තොපට රිසි වේ නම් අකම්ප්‍ය ගුණ ඇති ඒ බුදුන්ගේ සසුන්හි පැවිදි වන්නෙමි, බුදු වදනින් මම රූපයෙහි කලකිරුණා වෙමි.”
දෙවැනි බණවර යි.
498. එවිටැ ඒ මිහිපල් තෙමේ ඇඳිලි බැඳ “සොඳුර තොපට (පැවිද්ද) අනුදනිමි. තොපගේ පැවිද්ද සිදු වේවා.”
499. එකල්හි මම පැවිදි වැ අඩමසක් එළැඹැසිටි කල්හි පහන දැල්වීමත් නිවීමත් දැක සංවිග්නමනස් ඇතියෙම් -
500. සියලු සංස්කාරයෙහි කලකිරුණෙම් ප්‍රත්‍යයාකාරයෙහි දක්‍ෂ වැ චතුරෝඝ ඉක්මැ රහක් බවට පැමිණියෙමු.
501. මම ඍද්ධියෙහිද දිබ්බසෝතධාතුයෙහි ද වශී වූමු. චේතෝපරියඤාණයෙහි (-පරසිත් දන්නා නුවණෙහි) දු වශී වූවා වෙමි.
502. පෙරැ විසූකඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ, දැන් පුනර්‍භවයෙක් නැති.
503. අත්‍ථ - ධර්‍ම - නිරුත්තියෙහි ද එසෙයින් ම ප්‍රතිභානයෙහි ද මාගේ ඥානය පිරිසිදු යැ, බුදුසසුන්හි ඥානය උපනැ.
504. මම (සප්ත) විශුද්ධියෙහි දක්‍ෂයෙමි, කථාවස්තුවිෂයෙහි විශාරද (-නිර්‍භය) වෙමි, අභිධර්‍මනය දන්මි, සසුන්හි වශීප්‍රාප්ත වෙමි.
505. ඉක්බිති කෝශලාධිපති රජු විසින් භෝජනවස්තුයෙහි පුළුවුත් සියුම් පැන ඇති සැටියෙන් විසඳන්නක් වූමු.
506. එකල්හි ඒ රජ සුගතයන් වහන්සේ වෙතැ එළැඹ විචාළේ ය. ඒ පැන යම් අයුරෙකින් මා විසඳන ලදද, එසෙයින් ම බුදුහු විසඳා වදාළහ.
507. නරෝත්තම ජිනේන්‍ද්‍රයන් වහන්සේ ඒ ගුණයෙහි තුටු වූ සේක් මහා ප්‍රඥා ඇති භික්‍ෂුණීන් අතරැ අග්‍ර යයි මා ඒතදග්‍රයෙහි තැබූ සේකැ.
508. - 510. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.
මෙසෙයින් වනාහි ඛේමා තෙරණියෝ මේ ගාථා පැවසූහ.
අටවැනි ඛේමා ස්ථවිරාපදාන යි.
2. 9 උප්පලවණ්ණා අපදානය
511. ඍද්ධියෙන් අගතැන්පත් උත්පලවර්‍ණා භික්‍ෂුණී තොමෝ ශාස්තෲන් වහන්සේගේ පා වැඳ මෙවදන් පැවසූ:
512. ඒ ඒ ජාතිවල (උපන් විසින්) හැසිරීම තරණය කළ මම අචල වූ නිර්‍වාණපදයට පැමිණියා වෙමි. මා විසින් සියලු දුක් ක්‍ෂය කරන ලද, මහාමුනිතුමනි, (එය) සැලකරමි.
513. බුදුසසුන්හි පහන් වූ යම් පමණ පිරිස් ඇත් ද, යම් කෙකෙකුන් ට මා කළ අපරාධයෙකුත් ඇත් ද, බුදුරදුන් හමුයෙහි (මට) කමත් වා.
514. මහාවීරයන් වහන්ස, ආරෝචනා කරමි: සසර සැරිසරන මාගේ ඉදින් (යම්) දොසෙක් වී නම් ඒ දොස ක්‍ෂමා කරන සේක්වා.”
515. (බුදුහු) “මාගේ අනුසසුන් කරන්න, ඍද්ධි ද දක්වව, යම් පමණ සිවුපිරිස් වේ ද, අද (ඔවුන්ගේ) සැක සිඳුව.”
516. (උප්පලවණ්ණා) “ප්‍රඥාවත් ජුතින්‍ධර මහාවීරයාණෙනි, ඔබගේ දුහිතෘ වූ මා විසින් බෙහෙවින් අපහසු වූ බොහෝ දුෂ්කර වූ ක්‍රියා කරන ලදි.
517. මාගේ (සිවි) පැහැය උපුලක පැහැ බඳු වෙයි. චක්‍ෂුර්මත් මහාවීරයාණනි, නමින් උත්පලා නම් වූ ශ්‍රාවිකා තොමෝ ඔබ පා වඳියි.
518. රාහුලත්, මමත් නොයෙක් බොහෝ සියගණන් ජාතිවලැ එක ම කුලයෙකැ උපනුම්හ, සමාන රිසි හා මනස් ඇත්තෝ ද වූම්හ.
519. බෙහෙවින් (ඒ ඒ) ජාතිවලැ මාගේ ඉපැත්ම (රාහුල) හා එක් වැ වෙයි. පැසුළු භවය පැමිණි කල්හි දෙදෙන ම වෙන වෙන උපත් ඇත්තෝ වූම්හ.”
520. පුත් රාහුල නම් විය, දූ උත්පල නම් වූ. වීරයන් වහන්ස, මාගේ ඍද්ධි බලනු මැනැවි. ශාස්තෲන් වහන්සේ ට (මාගේ) බලය දක්වමි.
521. කෝමාරභව්ව නම් වෛද්‍යයා අතට පත්, තෛලයක් සෙයින් සිව්සයුරු අත් නමැති තලියෙහි බහාලූ යැ.
522. තරුණ කෝමාරක යම් පරිදි මුදුතණ සින්දේ ද එසෙයින් පොළොව උපුරා අත් නමැති තලියෙහි බහාලූ යැ.
523. සක්වළ සම කොට අත්ලෙන් මස්තකය වසා නැවත නැවත නන්වැදෑරුම් පැහැපත් වැසිපොද වර්‍ෂා කරවා -
524. පොළොව වනක් කොට සකුරු (-වැලි කැට) ධාන්‍ය කොට මේරුව මොහොලක් කොට දැරියක මෙන් මැඩලූ යැ.
(උත්පලවර්‍ණා මෙසේ කියයි:)
525. මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ දුහිතෘ වෙමි. නමින් උප්පලවණ්ණා නමු. අභිඥාහි වශීභූත වූ මම් ඔබගේ අනුසසුන් කරන්නක් වෙමි.
526. නොයෙක් ඍද්ධිවිකුර්‍වණ කොට ලෝකනායකයන් වහන්සේට දක්වා නම්ගොත් ද අස්වා පසැස් ඇති උතුමාණනි, ඔබ පා වඳිමි.
527. මහාමුනිතුමනි, (මම) ඍද්ධියෙහි ද වශී වෙමි. දිබ්බසෝත ධාතුයෙහි ද චේතෝපරියඤාණයෙහි ද වශී වෙමි.
528. පෙරවිසූ කඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රව ගෙවී ගියේ යැ, දැන් පුනර්‍භවයෙක් (යළි ඉපැත්මෙක්) නැත.
529. මහර්ෂීන් වහන්සේගේ ප්‍රභායෙන් අර්‍ත්‍ථ - ධර්‍ම - නිරුක්තියෙහි ද, එසේ මැ ප්‍රතිභානයෙහි ද මගේ ඥානය නිර්‍මල යැ, පරිශුද්ධ යැ.
530. මහාමුනිතුමනි, තොප සඳහා පෙර බුදුවරයන්ගේ සම්මුඛයෙහි ද පරාම්මුඛයෙහි ද මාගේ අධිකාරය (-කුසල් රැස් කිරීම) බොහෝ යැ.
531. මා විසින් යම් කුශල කර්‍මයක් පුරන ලද ද, මාගේ ඒ කර්‍මය සිහි කරනු මැනැවි, මහාවීරයන් වහන්ස තොප පිණිස මා විසින් පින් රැස් කරන ලද යැ.