Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 8601-8700 න් 9627

324-326. ශක්‍රදේවේන්‍ද්‍රයා වැනි ධර්‍මමේඝය වස්වන ආස්‍රව රහිත සරාහිරු බඳු රැස්මාලා ඇති ජිනේන්‍ද්‍රයන් දැක සිත පහදවා ඔබගේ සුභාෂිතය ද අසා නරශ්‍රේෂ්‍ඨයන් වහන්සේ (සිය) සුළුමව වූ මෙහෙණ අගතන්හි (ඒතදග්‍රයෙහි) තබනු අසා අකම්ප්‍ය ගුණ ඇති ඔබට සත්දිනක් මහදන්දී සඞ්ඝයා සහිත නරෝත්තමයන් වහන්සේ ට බොහෝ ප්‍රත්‍යය ද ප්‍රදානය කොටැ -
327. (ඔබ) පාමුල්හි වැදහෙවැ එ තනතුර පැතූමු. ඉක්බිති ඍෂිශ්‍රේෂ්ඨයන් වහන්සේ මහපිරිස් මැද මෙසේ වදාළ සේක.
328. “යම් කාන්තාවක් සඞ්ඝයා සහිත ලෝකනාථයන් සත් දිනක් මුළුල්ලෙහි වැළඳ වූ ද, මම් ඇය කීර්‍තනය (ප්‍රකාශ) කරමි. (එසේ) කියන මාගේ බස් අසවු:
329. “මෙයින් සියක්දහස්වන කප්හි ඔක්කාක කුලය සම්භව කොට ඇති ගෝත්‍රයෙන් ගොතම නම් වූ ශාස්තෘ තෙමේ ලොවැ පහළ වන්නේ යැ.
330. (මෙ කාන්තා තොමෝ) ඔබ දහමට හිමි වූ ඖරස වූ ධර්‍මයෙන් නිර්මිත වූ නමින් ගෝතමී නම් වූ ශාස්තෘශ්‍රාවිකාවක් වන්නී යැ.
331. ඒ තථාගතයන්ගේ දිවි වඩාලන සුළුමවු වන මෝ රාත්‍රඥ (පැවිදි වැ බොහෝකල් ඇති) මෙහෙණන් අතර අග්‍රබව ලබන්නී යැ.”
332. එ අසා ප්‍රමුදිත වූ මම එකලැ දිවිහිම් කොට ජිනේන්‍ද්‍රයන් වහන්සේ (සිවු) පසයෙන් උපස්ථාන කොට එ අත්බැවින් කලුරිය කෙළෙමි -
333. සියලු කාමයෙන් සමෘද්ධ වූ තව්තිසා දෙවියන් අතරැ උපන්නෙම් සෙසු දෙවියන් දස කරුණකින් අභිභවා සිටියමු.
334. රූපයෙන් ශබ්දයෙන් ගන්‍ධයෙන් රසයෙන් හා ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද, ආයුෂයෙන් ද වර්‍ණයෙන් සුඛයෙන් හා වැළි යශසින් ද -
335. එසෙයින් ම අධිපතිභාවයෙන් ද (සෙසු දෙවියන්) අභිභවා බැබළුණෙම් මම එහි දෙව්රජුගේ ප්‍රේමණීය මෙහෙසි වූමු.
336. සසර සැරිසරන මම කර්‍මවායුයෙන් මෙහෙයන ලදුයෙම් කාසි රජුගේ විජිතයෙහි දාසග්‍රාමයෙකැ උපන්මු.
337. එකලැ එගම්හි නො අඩු වැ පන්සියයක් දස්හු වෙසෙති. එහි සියල්ලනට යමෙක් දෙටු ද, මම් ඔහුගේ භාර්‍ය්‍යා වූමු.
338-339. පන්සියයක් පසේබුදුහු පිඬු පිණිස ගමට පිවිසුණාහ. ඔබ දැක තුටුපත් වැ සියලු නෑයන් සමග පන්සියයක් කුටි තනා සිවුමසක් මුළුල්ලෙහි උවටැන් කොට තුන්සිවුරු දී සැමියන් සහිත වැ ප්‍රසන්න වූම්හ.
340. සැමියන් සහිත අපි එයින් සැවැ තව්තිසාවට ගියම්හ. දැන් පැසුළු බෙවෙහි දු දෙව්දහ නුවරැ (එක්වැ) උපනුම්හ.
341. මාගේ පිය තෙමේ අඤ්ජන ශාක්‍යරජ යැ, මාගේ මව සුලක්ඛණාදේවි ය. ඒ දෙව්දහ නුවරින් කිඹුල්වත් පුරැ සුදොවුන් රජුගේ ගෙට (සරණ) ගියා වෙමි.
342. ශාක්‍ය කුලයෙහි උපන් සෙසු දැස්සෝ ශාක්‍යරජුන්ගේ ගෙට ගියහ. (ශාක්‍යරජුන් හා විවාහ වූහ.) සියල්ලන් අතුරෙහි විශිෂ්ට වූ මම ජිනේනද්‍රයන්ගේ පෝෂක (-කිරි) මව වූමු.
343-344. මාගේ පුත් අභිනිෂ්ක්‍රමණය කොට (තමහට නායකයකු නැති හෙයින්) විනායක බුද්ධ වියැ. පසු කලැ මම් පන්සියයක් ශාක්‍ය කුමරියන් සමග පැවිදි වැ ධීර වූ ඔවුන් හා ශාන්තිසුඛය (-නිවන් සුව) ස්පර්‍ශ කළමු. ඒ පෙරදෑහි යම් කෙනෙක් අපගේ ස්වාමිපුරුෂ වූහු ද -
345. එක් වැ පින් කළ (දැන්) මහාසමයකාරක ඔහු සුගතයන් වහන්සේ විසින් අනුකම්පිත වූවාහු අර්‍හත්‍වය ස්පර්‍ශ කළාහ.
346. ඒ සෙසු මෙහෙණහු අහස්තලයට නැගුණාහ. මහත් ඍද්ධි ඇත්තාහු එක්රැස්වූ තාරකා සෙයින් බැබළුණාහු යැ.
347-348. (ඔහු) නොයෙක් ඍද්ධි දැක්වූහු. රන්කම්හි මොනොවට හික්මුණු කර්‍මාරපුත්‍රයකු (-රන්කරුවකු) කර්‍මණ්‍ය ස්වර්‍ණයකින් බොහෝ ආභරණ විශේෂ (තනා ප්‍රදර්‍ශනය කරන්නාක්) සෙයින් (එ මෙහෙණහු) බොහෝ විසිතුරු පෙළහර දක්වා එදිනැ පිරිස් සහිත වාදීවර මුනීන්‍ද්‍රයන් වහන්සේ සතුටු කොට -
349. අහසින් බැස උත්තම ඍෂි වූ මුනිරජුන් නැමැ ද නරාග්‍ර තථාගතයන් වහන්සේ විසින් අනුදන්නා ලද්දාහු සුදුසු තන්හි හුන්හ.
350. වීරයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයෙක, ගෝතමි තොමෝ අප සියල්ලන්ට අනුකම්පා ඇත්තී යැ, නුඹ වහන්සේගේ කුශලයන් විසින් වාසිත වූ අපි ආස්‍රවක්‍ෂය සංඛ්‍යාත නිවනට පැමිණියම්හ.
351. අප විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ මුල් සිඳ නසන ලදහ. බැඳුම් සිඳ සරණ හස්තිරාජිනීන් සෙයින් ආස්‍රව රහිත වැ වාස කරමු.
352. බුදුරජාණන් වහන්සේ වෙතැ (එළැඹීමෙන්) අපට ස්වාගතයෙක් වියැ. ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ. බුදුසසුන් කරන ලදි.
353. මේ සිවුපිළිසිඹියා ද අෂ්ටවිමෝක්‍ෂ ද ෂට් අභිඥා ද ප්‍රත්‍යක්‍ෂ කරන ලද යැ. බුදුසසුන් කරන ලදි.
354. මහාමුනිතුමනි, ඍද්ධීන්හි වශී වෙමු, දිබ්බසෝතධාතුයෙහි (-දිවකන්හි) ද චේතෝපරියඤාණයෙහි (-පරසිත් දන්නා නුවණෙහි) ද වශී වෙමු.
355. පෙර විසූ කඳපිළිවෙළ දනිමු. දිවැස පිරිසිදු කරන ලද යැ. සියලු ආස්‍රව ගෙවී ගියේ යැ, දැන් යළි ඉපැත්මෙක් නැති.
356. මහාවීරයන් වහන්ස, අපට අර්‍ත්‍ථයෙහිත් ධර්‍මයෙහිත් නිරුක්තියෙහිත් ප්‍රතිභානයෙහිත් යම් ඥානයක් වේ ද, (එ ඥානය) තොප හමියෙහි දී උපනැ.
357. නායකයන් වහන්ස, අප විසින් මෙත් සිතැති වැ පුරුදු (-ඇසුරු) කරන ලදහු. (අප) සියල්ලනට පිරිනිවන් පිණිස අනුදැන වදාළ මැනැවි.
358. “පිරිනිවෙන්නමු යි මෙසේ පවසන්නන්හට කුමක් කියම් ද, යමක් පිණිස (කාලය අපේක්‍ෂා කරන්නහු නම්) තෙපි (ඒ කාලය) දනිවු” යි ජිනේන්‍ද්‍රයන් වහන්සේ වදාළ සේකැ.
359. එවිට ගෝතමි ආදි ඒ භික්‍ෂුණීහු ජිනේන්‍ද්‍රයන් වැඳ එ හුනස්නෙන් නැගැ ගියාහ.
360. ඒ වීර වූ ලෝකාග්‍රනායකයන් වහන්සේ මහාජන සමූහයා සමග දොරකොටුව තෙක් සුළුමව අනුව වැඩම කළ සේකැ.
361. එකලැ ගෝතමි තෙරණියෝ සෙසු සියල්ලන් සමග පැසුළු පා වැඳුම කෙරෙමින් ලෝකබන්‍ධු බුදුරදුන් පා මුල වැඳ වැටුණාහ.
362. (ඕ මෙසේ පවසයි:) “ලෝකනාථයන් පිළිබඳ මේ මාගේ පැසුළු දැකුම යි, අමෘතයට ආකර වූ තොපගේ මුඛය යළි නො දක්මු.
363. වීරයන් වහන්ස, මුඹ වහන්සේගේ සියුමැලි පා සඟළ නැවත වැඳීමෙක් මට නො ද ඇති, ලෝකාග්‍රයන් වහන්ස, (ඔබ පා) ස්පර්‍ශ කරමි. අද පිරිනිවනට යමි.
364. තොපගේ යථාස්වභාව (සත්‍ය) ධර්‍මය දුටු කල්හි මේ රූපයෙන් කවර වැඩෙක් ද, තෙල සියල්ල සඞ්ඛත (හේතුයෙන් හටගත්තේ) යැ, ආස්වාද (අස්වැසිලි) රහිත යැ, බොහෝ කල් නො පවත්නේ” යි.
365. ඕ ඔවුන් සමග සිය මෙහෙණවරට ගොස් අඩ පළඟ බැඳ උතුම් අස්නෙහි හුන්නා යැ.
366. එකලැ එහි බුද්ධශාසනමාමක වූ උවැසියෝ ඇය (ගෝතමී) ගේ පුවත් අසා පා වඳිනු රිසියෝ වැ එළඹුණාහ.
367. (ඔහු) ළෙහි අතින් පැහැර බැගෑ හඬින් හඬමින් සොවින් පෙළුණෝ වැ මුල්සුන් ලියවැල් සෙයින් බිම වැටීම් ඇති වූවාහු -
368. “අපහට ශරණදායක වූ, නාථ වූ උත්තමාවනී, අපි සියල්ලෝ සිරසින් වැඳ වැටී (තොප) අයැදුම්හ, අප හැරපියා නිවනට නහමක් යනු මැනැවි” යි කීහු.
369. ඔවුනතරැ ප්‍රධානතම වූ සැදැහැවත් නුවණ ඇති යම් උවැසියක් වූ ද, (ගෝතමි) ඇය හිස පිරිමදිමින් මෙ වදන් පැවසූ:
370. “දරුවනි, මාරබන්‍ධන අනුව වටනා සොවින් කම් නැත, සඞ්ඛත ධර්‍ම සියල්ල අනිස යැ, වෙන්වීම කෙළවර කොට ඇත, නිරතුරු වෙනස්වනසුලු”යි (කියා යි.)
371-372. ඉක්බිති ඕ ඔවුන් බැහැර යවා උතුම් වූ ප්‍රථමධ්‍යානයට සමවැදුණු. දෙවැනි, තෙවැනි, සිවුවැනි ධ්‍යානයනට ද එසෙයින් ම පිළිවෙළින් ආකාසානඤ්චායතන යැ විඤ්ඤාණඤ්චායතන යැ ආකිඤ්චඤ්ඤායතන යැ නේවසඤ්ඤා නාසඤ්ඤායතන යැ යන සමවතට ද සමවැදුණා යැ.
373. ගෝතමි තෙරණියෝ පළමුවැනි ධ්‍යානය තෙක් පිළිලොම් විසින් ධ්‍යානයනට සමවැදුණාහ. එයින් (අනුලොම් විසින්) සිවුවැනි ධ්‍යානය තෙක් සමවන්හ.
374. එයින් නැගී සිට තෙල් නැති පහන් සිළක් සෙයින් පිරිනිවියාහ. (එකෙණෙහි) මහාභූමිචලනයෙක් වියැ. අහසින් විදුලිධාරා ද පතිත වී.
375. මහාමේඝයෝ ගර්‍ජනා කළහ. දෙවියෝ වැළපුණාහ. අහසින් පොළොවට මල්වැසි ද වට.
376. රඟමඬලෙහි නළුවකු මෙන් මේරුපර්‍වතය ද කම්පිත වියැ, සොවින් දීන වූ සෙයින් මහසයුර ද විරාව (මහත් ඝෝෂ) ඇති වී.
377-378. එකෙණෙහි දෙවියෝ ද නාගයෝ ද අසුරයෝ ද බ්‍රහ්මයෝ ද සංවිග්න වැ (මෙසේ) කීහු: “ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යහ. යම්සේ මෝ නිවීමට ගියා ද, එසේ ශාස්තෘ ශාසනකාරිණී වූ (-බුදුවදන් අනු වැ හැසුරුණු) යම් මෙහෙණ කෙනෙක් මැය පිරිවරා සිටියාහු ද ඔහු ද (තෙල් නැති) පහන් සිළු හෙයින් උපාදාන රහිතවැ නිවීමට ගියාහු” යි.
379. “අහෝ! එක්වීම වෙන්වීම අන්තකොට ඇත්තේ යැ, අහෝ! සියලු සඞ්ඛත ධම්ම අනිත්‍ය යැ. අහෝ! ජීවිතය විනාශය කෙළවර තොට ඇත්තේ යැ” මෙසේ (ඔවුනතර) පරිදේවනා (වැලපීම්) ද ඇති වූයේ යි.
380. ඉක්බිති දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද ඍෂිශ්‍රේෂ්ඨ බුදුරදුන් කරා එළැඹ, ලෝසිරිත් අනු වැ කටයුතු දෑ කාලානුරූප කොට කෙරෙත්.
381. එකලැ ශාස්තෲන් වහන්සේ ශ්‍රැතිසාගර වූ (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආනන්‍ද තෙරණුවන් ඇමැතූ සේක: “ආනන්‍ද, යව, මවුගේ පිරිනිවීම භික්‍ෂූන්ට දන්ව” යි.
382. එවිටැ නිරානන්‍ද (සතුටින් තොර) ආනන්‍ද තෙරණුවෝ කඳුළින් පිරුණු නෙත් ඇති වැ “(ආයුෂ්මත්) මහණෙනි, එක්රැස් වෙත්වයි” ගද්ගද (පැකුලුණු) හඬින් කීහ.
383. “පෙර - දකුණු - පැසුළු - දිග්හි ද, උතුරු දිග්හි ද බුද්ධපුත්‍ර යම් භික්‍ෂු කෙනෙක් වෙසෙත් නම් ඔහු මගේ වචනය අසත්වා.
384. මුනීන්‍ද්‍රයන් වහන්සේගේ පශ්චිම ශරීරය යම් මවක් ප්‍රයත්නයෙන් වර්ධනය කළා ද, ඒ ගෝතමි තොමෝ සූර්‍ය්‍යයෝදයෙහි තාරකාවක් සෙයින් ශාන්තියට ගියා යැ.
385. පසැස් ඇති නායකයන් වහන්සේ පවා යම් තෙනෙකැ ගිය ඇය නො දක්නාසේක් ද (ඕ) ‘බුද්ධමාතා’ යන අසම වූ ප්‍රඥප්තිය (අප අතර) කබා (නිවීමට) ගියා යැ.
386. සුගතයන් වහන්සේ කෙරෙහි යමකුගේ ශ්‍රද්ධා ඇත් ද, මහාමුනි කෙරෙහි යමෙක් ප්‍රිය ද, (ඒ) බුද්ධ පුත්‍රතෙමේ බුද්ධමාතෘ කෙරෙහි සත්කාර කෙරේවා.”
387. ඉතා දුර සිටියාවූ ද භික්‍ෂූහු එ අසා බුද්ධානුභාවයෙන් ඇතැම්හු ද ඍද්ධිවිෂයෙහි නිපුණ ඇතැම්හු ද වහා පැමිණියාහු යි.
388. ගෝතමි තොමෝ යම්තෙනෙකැ සැතපී සිටියා ද ඒ මඤ්චකය (හැඳ) සියල්ල රනින් නිම වූ ශුභ වූ රම්‍ය වූ උතුම් කුළුගෙයකැ ආරෝපණය කළහ.
389. ඒ ලෝකපාල දෙවියෝ සිවුදෙන (කුළුගෙය) දසරුවෙහි ලා ධැරූහ. සෙසු ශක්‍රාදි දෙවියෝ කුළුගෙවල් ගත්හු.
390. කුළුගෙවල් පන්සියයක් වියැ, එ සියල්ල සරාහිරු බඳු වියැ, විස්කම්හු විසින් කරන ලද වී.
391. ඒ සියලු භික්‍ෂුණීහු මඤ්චයන්හි ශයනය කරවන ලද වූහු. දෙවියන්ගේ දසරුවට නංවන ලද්දාහු අනුපිළිවෙළින් (ආදාහනස්ථානය වෙතැ) ගෙනයනු ලැබෙත්.
392. අහස්තලය හැමදෙසින් වියනින් වසනලද වියැ, තරු සහිත සඳහිරු රන්මුවා වැ ලකුණු කරන ලද වී.
393. නොයෙක් පතාකාවෝ ඔසවන ලදහ, පුෂ්පකඤ්චුකයෝ පතුරුවා හරින ලදහ, අහසෙහි පද්මයෝ එල්බුණාහ, පොළොවෙන් පුෂ්පයෝ උද්ගත වූහු.
394. සඳහිරු දක්නා ලැබෙයි, තාරකා දිලියෙයි, හිරු මධ්‍යාහ්න ගත නමුදු සඳ මෙන් (කිසිවකු) නො තවයි.
395. දෙවියෝ දිව්‍යමය ගන්‍ධයෙනුදු මනාසුවඳැති මල්දමිනුදු වාදනයෙනුදු නෘත්‍යයෙනුදු සංගීතියෙනුදු පිදූහු.
396. නාගයෝ ද අසුරයෝ ද බ්‍රහ්මයෝ ද පිරිනිවි (සොහොන වෙතැ) ගෙනයනු ලබන බුද්ධමාතාව ශක්ති පමණින් බල පමණින් පූජා කළෝ යි.
397. සුගතෝරස වූ පිරිනිවි සියලු මෙහෙණහු පෙරටු කොට ගෙනයන ලද්දාහු ය, බුදුන් (ළදරුකල) පෝෂණය කළ ගෝතමි තොමෝ සත්කාර කරනලදුව පසුව ගෙනයනු ලබයි.
398. නාග අසුර බ්‍රහ්ම ගණයා සහිත දෙව්මිනිස්හු පෙරටුව ගමන් කළහ. මවට පූජා පිණිස ශ්‍රාවකයන් සහිත වූ බුදුහු පසුවැ වැඩම කළාහු යැ.
399. ගෝතමියගේ පරිනිර්‍වාණය යම්සේ අතිශයින් ආශ්චර්‍ය්‍ය ජනක වී ද, බුද්ධපරිනිර්‍වාණය එසේ ආශ්චර්‍ය්‍යජනක නො වී යැ.
400. බුද්ධපරිනිර්‍වාණයෙහි බුදුහු නො දක්නා ලැබෙති, ගෝතමි පරිනිර්‍වාණයෙහි බුදුහු ද එසේ ම ශාරිපුත්‍රාදි තෙරණුවෝ ද දක්නා ලැබෙත්.
401. ඒ දෙව්මිනිස්හු සුවඳ සුණු බහාලූ සියලු සුවඳ දැයින් යුතු සෑ කරවා ඔවුන් (ඒ මෙහෙණන්) එහි තැන්පත් කොට දැවූහු.
402. අස්ථිධාතු ශේෂ කොට ඇති (ශරීරගත) සෙසු කොටස්හු සර්‍වප්‍රකාරයෙන් දැවුණාහ. එවිට අනඳ තෙරණුවෝ ද සංවේග දනවන වදන් පැවසූහ:
403. “ගෝතමී නිවීමට ගියායැ. ඇගේ සිරුර ද දැවිණ, බුද්ධ පරිනිර්‍වාණය නොබෝ කලකින් වෙතැයි මම සැක කරමි.”
404. ඉක්බිති බුදුරදුන් විසින් මෙහෙයවන ලද ඒ අනඳ තෙරණුවෝ ගෝතමි තෙරණියගේ අස්‍ථිධාතු ඇයගේ පාත්‍රගත කොට නාථ වූ බුදුරදුන්හට එළැවූහ.
405-406. ඒ අස්ථිධාතූන් අතින් පිළිගෙන ඍෂිශ්‍රේෂ්ඨයන් වහන්සේ (මෙසේ) වදාළ සේක: “හරඇති පවත්නා මහරුකෙක යම් ඒ ඉතා මහත්වූ කඳ යම්සේ අනිත්‍යතා හේතුයෙන් වැනසියේ ද එසේ භික්‍ෂුණීසඞ්ඝයාගේ මහත්කඳ වූ ගෝතමී පිරිනිවියා යැ.”
407. අහෝ! ආශ්චර්‍ය්‍යයෙකි, සිරුර පමණක් ඉතුරු කොට මව පිරිනිවිකල්හි දු මට ශෝකයෙක් පරිදේවයෙක් නැති.
408. තරණය කළ සසර සයුරු ඇති දුරු කළ සන්තාප ඇති සිහිල් වූ මොනොවට නිවුණු ඕ මෙරමා විසින් ශෝක කටයුතු නො වෙයි.
409. මහණෙනි, මෙසේ ධරවු: ඕ පණ්ඩිත යැ, මහාප්‍රාඥ යැ, පුථුප්‍රාඥ (පැතුරුණු නුවණ ඇති) යැ, මෙහෙණන් අතරැ රාත්‍රඥ (පැවිදි වැ බොහෝකල් ඇතැ) යි.
410. ගෝතමි ඍද්ධියෙහි වශී වූ යැ, දිබ්බසෝතධාතුයෙහි (දිව කනෙහි) ද, චේතෝපරියඤාණයෙහි (පරසිත් දන්නා නුවණෙහි) ද වශී වූ.
411. පෙර විසූ කඳ පිළිවෙළ දතු, දිවැස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ, දැන් ඇයට පුනර්‍භවයෙක් නැති.
412. අර්‍ත්‍ථ - ධර්‍ම - නිරුක්තියෙහි ද එසේ ම ප්‍රතිභානයෙහි ද (ඇගේ) ඥානය පිරිසිදු වියැ. එහෙයින් ඕ ශෝක කටයුතු නො වෙයි.
413. යකුළින් පහළ පිළිවෙළින් නිවුණු දිලියෙන ගින්න ගිය තැන් යම්සේ නො පැනේ ද,
414. එසේ මොනොවට (සමුච්ඡේදප්‍රහාණ විසින් කෙලෙසුන් කෙරෙන්) මිදුණු බන්‍ධන සඞ්ඛ්‍යාත කාමෝඝය (හා සෙසු ඕඝ ද) තරණය කළ නිර්‍වාණ පදයට පැමිණි රහතුන්හට පනවන්නට (දෙව්මිනිස් ආදි) ගතියෙක් නැති.
415. එසේ හෙයින් තමා පිහිට කොට ඇති වව, සතිපට්ඨාන විෂය දොට ඇති වව. සප්තබෝධ්‍යඞ්ග වඩා දුක් කෙළවර කරව” යි.
මෙසෙයින් මහාපජාපතී ගෝතමි මේ ගාථා ප්‍රකාශ කළා යැ.
පස්වැනි මහාපජාපතී ගෝතමී ස්ථවිරාපදාන යි.
2. 8 ඛේමාපදානය
416. සියලු (ලොවී ලොවුතුරා) දහම්හි චක්‍ෂුර්මත් වූ (භවත්‍රයට ම) නායක වූ පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙයින් සියක් දහසක් වන කප්හි පහළ වූ සේකැ.
417. එකල මම හංසවතී නගරයෙහි දිලියෙන නන් රුවන් ඇති සිටු කුලයෙකැ උපන්නෙම් මහත් සුවයෙන් සමර්පිත ද වූමු.
418. ඒ මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ දම් දෙසුම් ඇසූමු. එයින් උපන් ප්‍රසාද ඇති මම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ සරණ කොට ගියා වෙමු.
419. මව ද පියා ද ආයාචනා කොට බුදුරජාණන් වහන්සේ පවරා ශ්‍රාවකයන් සහිත වූ උන්වහන්සේ සත් දිනක් වැළඳවූමු.
420. සත් දවස ඉක්මගිය කල්හි මහනුවණැත්තන් අතුරෙහි අග්‍ර වූ මෙහෙණක නරදම් සැරි තථාගතයන් වහන්සේ ඒතදග්‍රස්ථානයෙහි තබාලූ සේකැ.
421. එ අසා ප්‍රමුදිත වැ යළි ඒ මහර්ෂීන් වහන්සේට සත්කාර කොට වැඳ හෙවැ ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු.
422. ඉක්බිති ඒ ජිනේන්‍ද්‍රයන් වහන්සේ “තොපගේ ප්‍රාර්‍ත්‍ථනාව සමෘද්ධ වේවා. සඞ්ඝයා සහිත මට තොප විසින් කරන ලද සත්කාරය අප්‍රමේය විපාක ඇත්තකි.”
423. මෙයින් සියක්දහස් වන කප්හි ඔක්කාක වංසය සම්භව කොට ඇති ගොතින් ගොතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොවැ පහළ වන සේකැ.
424. (තෙපි) ඔබ ධර්‍මයට හිමිවූ ධර්‍මයෙන් නිර්මිත වූ ඒතදග්‍රයට පැමිණි ඛේමා නම් ඖරස ශ්‍රාවිකා වන්නහු.”
425. ඒ කුශල කර්‍ම හේතුයෙන් ද චේතනා ප්‍රණිධි හේතුයෙන් ද මම මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොව ට පැමිණියා වෙමි.
426. එයින් සැව යාම දෙව්ලොවට ගියමු, මම් එයින් තුෂිතයට ගියමු, එයින් නිර්‍මාණරතියට ද එයින් පරනිර්මිතවශවර්ති දෙව් ලොවට ද ගියමු.
427. යම් යම් තෙනෙක උපනුමු ද, ඒ (කුශල) කර්‍ම බලයෙන් ඒ ඒ තන්හි රජුනට මෙහෙසිබව කරවූමු.
428. එයින් සැව මිනිසත් බව්හි සක්විති රජුනට ද, පෙදෙසි රජුනට ද මෙහෙසි බව කරවූමු.