Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 8501-8600 න් 9627

220. මට කුසල් ඇත. බුදුසසුන්හි පැවිදි වූමු. මම් අද ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ ශාසනයෙහි පූජාර්‍හ වෙමි.
221. අද පිරිසිදු මනස් ඇති වෙමි. පහවූ චිත්ත සංක්ලේශ ඇති වෙමි. සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් (මට) පුනර්‍භවයෙක් නැති.
222. මෙයින් සිවු අනූවන කප්හි යම්හෙයෙකින් බුදුරදුන් පිදුයෙම් ද එහෙයින් දුගතිය නො මැ දනිමි. මේ වූකලී සාලමාලා පූජායෙහි ඵලයි.
223. - 225. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
සාලමාලිකා මෙහෙණ මෙසෙයින් මේ ගාථා පැවසුවා යැ.
සවැනි සාලමාලිකා ස්ථවිරාපදාන යි.
2. 7 මහාපජාපතී ගෝතමී අපදානය
226. ලොවට පහනක් වූ වෙනෙය්‍යජන දමනයෙහි සාරථී වූ බුදුරජාණන් වහන්සේ එක්සමයෙකැ විශාලා මහනුවර මහාවනයෙහි මැනවින් කරන ලද කූටාගාර ශාලායෙහි වැඩ වසන සේකැ.
227-228. එකල්හි ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ සුළුමවු වූ මහා පජාපති ගෝතමී තෙරණියෝ එ නගරයෙහි කරන ලද රම්‍ය වූ මෙහෙණවරෙහි කෙලෙසුන්ගෙන් මිදුණු (-රහත්) මෙහෙණන් පන්සියයක් සමග වාසය කළහ. විවේකී වැ හුන් ඔවුනට මෙබඳු මනෝසංකල්පයෙක් පහළ වියැ.
229. “මම බුදුරදුන්ගේ පිරිනිවීම හෝ දෙ අගසව්වන් වහන්දෑගේ පිරිනිවීම හෝ රාහුල - ආනන්‍ද - නන්‍ද තෙරණුවන්ගේ පිරිනිවීම හෝ දක්නට නො ලබමි.
230. ලෝකනාථ වූ මහර්ෂීන් වහන්සේ විසින් අනුදන්නා ලදු වැ කල් ඇති වැ ආයුසංස්කාරයන් හැර පියා නිවීමට යන්නෙම් නම් මැනැවි.”
231. පන්සියයක් මෙහෙණන්හට ද එබඳු ම විතර්‍කයෙක් වියැ, ඛේමාදි තෙරණිවරුනට ද තෙල විතර්‍කයම වූයේ යැ.
232. එකෙණෙහි මහපොළොව කම්පිත වියැ. මේඝගර්‍ජනා ද වූයේ යැ. මෙහෙණවරට අරක්ගත් දේවතාවෝ ශෝකයෙන් පෙළුණාහු, වැලපෙමින් කඳුළු වැගිරවූහු.
233. ඒ (ගෝතමී තෙරණිය හා) මිත්‍ර මෙහෙණෝ ද ගෝතමිය වෙතැ එළැඹැ පා මත සිරසින් වැඳ වැටී මෙවදන් බිණූහු:
234. “ආර්‍ය්‍යාවනි, දිය පොදකින් (සිය සිරුරු) තෙමාගත් අපි එහි රහෝගත (-එකලා) වූම්හ. ඒ අචල වූ පොළොව සැලිණ, මේඝයෝ ගර්‍ජනා කළහ, වැලපීම් ද ඇසෙයි, ගෝතමී උත්තමාවනි, එකැතින් (මේ) කුමක් සඳහා ද?”
235. එවිට ඕ යම් අයුරකින් විතර්‍කකරනලද නම් සියල්ල කීවා යැ. ඒ සියලු මෙහෙණෝ ද (තමන්) විතර්‍කකළ අයුරු (එලෙසින් ම) කීහු.
236. “ආර්‍ය්‍යාවෙනි, පරම ශාන්ත වූ නිවන ඉදින් ඔබට රිසි නම් මනා ව්‍රත ඇති උත්තමාවනි, (අපි) සියල්ලෝ ද බුද්ධානුඥානයෙන් පිරිනිවෙන්නමු.
237. අපි එක් වැ ම ගෙයිනුදු භවයෙනුදු නික්මුණෝ වම්හ. උතුම් නිවන්පුරයට එක්වැ ම යන්නෙමු.”
238. එවිටැ ඕ තොමෝ (ගෝතමී) “නිවනට යන්නන්හට කුමකු කියම් දැ” යි පවසමින් සියල්ලන් සමග මෙහෙණවරින් බැහැර වැ ගියා යැ.
239. “මෙහෙණවර අරක්ගත් යම් දෙවිකෙනෙක් වෙත් නම් උහු තුමූ මට ක්‍ෂමා කෙරෙත්වා. මෙහෙණවර මේ මාගේ පශ්චිම දර්‍ශනයයි.
240. යම් තෙනෙකැ ජරා වේවයි, මරණ වේවයි, අප්‍රියසම්ප්‍රයෝග වේවයි, ප්‍රියවිප්‍රයෝග වේවයි නැත්ද අසංස්කෘත වූ (-ප්‍රත්‍යයෙන් සකස් නොවූ) එතැනට යන්නෙමි.” යි (කිවු.)
241. නො රහත් බුද්ධපුත්‍රයෝ එ වදන් අසා සොවින් පෙළුණාහු “අහෝ, අපගේ මඳපින් ඇතිබවැ” යි වැලපුනාහු යි.
242. ඔවුන්ගෙන් වෙන් වැ මේ භික්‍ෂුණී ආරාමය හිස් වියැ, සූර්‍ය්‍යයෝදයයෙහි තාරකා මෙන් බුද්ධපුත්‍රී (භික්‍ෂුණී) හූ නො පැණෙත්.
243. ගඞ්ගා නදිය පන්සියයක් නදීන් සමග සයුරට වදනාසේ මහාපජාපති ගෝතමි පන්සියයක් මෙහෙණන් සමග නිවනට යෙයි.
244. වීථියෙහි වඩනා ඇය දැක සැදැහැ ඇති උවැසියෝ ගෙයින් නික් මැ පා මතුයෙහි වැඳ හෙවැ මෙ වදන් බිණූහු.
245. “මහාභාග්‍යවත් උත්තමාවනි, (අප කෙරෙහි) පහදිනු මැනැවි. අනාථ වූ අප හැරැ පියා ඔබ පිරිනිවෙන්නට යුතු නැතැ” යි ඔහු මහත්සේ හඬ නගා වැලපුනාහ.
246. ඔවුන්ගේ ශෝකප්‍රහාණය සඳහා (ගෝතමි තොමෝ) මිහිරි වදන් පැවැසූ යැ: “දරුවෙනි, හැඬීමෙන් කම් නැත, තොපට අද මේ සිනාසීමට කාලයයි.
247. මා විසින් දුක පිරිසිඳ දක්නා ලද යැ, දුකට හේතුව දුරු කරන ලද යැ, මා විසින් දුංඛ නිරෝධය පසක් කරන ලද යැ, මාර්‍ගය ද මැනැවින් වඩනා ලද වෙයි.”
(පළමු බණවර යි)
248. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන ලදහ, බුදුසසුන් කොට නිමවන ලද, ස්කන්‍ධාභාරය බහාලන ලද, තෘෂ්ණාව මුලිනුපුටා නසන ලදි.
249. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූයෙම් ද සියලු සංයෝජනයන්ගේ ක්‍ෂයය වූ ඒ අර්‍ත්‍ථය මා විසින් අනුප්‍රාප්තයි.
250. බුදුරජාණන් වහන්සේත් ඔබගේ අනූන වූ සද්ධර්‍මයත් යම්තාක් සිටුනා සේක් ද ඒතාක් පිරිනිවෙන්නට මට කාලය වෙයි. දියණියනි, මා ගැන සෝක නොකරව.
251. කොණ්ඩඤ්ඤ - ආනන්‍ද - නන්‍ද ආදී තෙරණුවෝ ද, ජිනපුත්‍ර රාහුල තෙරහු ද සිටුනාහ. සඞ්ඝ තෙමේ සුඛිත යැ සහිත යැ තීර්‍ත්‍ථකයෝ නැසුණු දර්ප (-මාන) ඇත්තාහු යි.
252. ඔක්කාක වංසයේ මරුන් මඩනා යශස උස්වැ නැගැ සිටියේ යැ. දැරියනි, නිවන් සඳහා මාහට දැන් කාලය නො වන්නේ ද?
253. බොහෝ කලෙකැ සිට මා විසින් යමක් පතන ලද නම් එය අද සිදු වෙයි, මේ වනාහි සන්තෝෂජනක හේරිවාදනයට කාලයයි. දැරියනි, තොපගේ කඳුළින් කවර වැඩෙක් ද?
254. ඉදින් මා කෙරෙහි දයායෙක් ඇත් නම් කෘතඥතායෙක් ඇත් නම් (තෙපි) සියල්ලෝ සද්ධර්‍මස්ථිතිය සඳහා දැඩි වීර්‍ය්‍ය කරව.
255. මා විසින් අයදනා ලද බුදුරජාණන් වහන්සේ මාගමුන්ට ප්‍රව්‍රජ්‍යාව දුන්සේකැ, එහෙයින් යම්සේ මම් සතුටු වන්නෙම් නම් එසේ ඒ අනු වැ (තෙපි දු) සිටුව” යි.
256. ඔවුනට මෙසේ අනුශාසනා කොට මෙහෙණන් විසින් පෙරටු කරන ලද්දී බුදුරදුන් වෙතැ එළැඹැ වැඳ මෙ වදන් පැවසූ යැ:
257. “සුගතයන් වහන්ස, මම ඔබගේ මවු වෙමි, වීරයන් වහන්ස, ඔබ ද මාගේ පියා වෙති. නාථයන් වහන්ස, (ඔබ මට) සදහම් සුව දුන්හ, ගෞතමයන් වහන්ස, ඔබ වෙතින් (මම්) උපන්නෙම් වෙමි.
258. සුගතයන් වහන්ස, ඔබගේ රූ කය මා විසින් වඩන ලද යැ, මාගේ අනින්‍දනීය දහම් කය ඔබ විසින් වඩන ලදි.
259. මා විසින් ඔබ මොහොතක් (සා) පිපාසා සන්හිඳුවන කිරි පොවන ලදහු. මම ඔබ විසින් අත්‍යන්ත ශාන්ත වූ දහම් නැමැති කිරි පොවන ලද වෙමි.
260. මහාමුණිවරයාණෙනි, මා විසින් වැඩීමෙහි රැකීමෙහි ලා ඔබ ණයගැති නො වෙති. පුතුන් කැමැති යම් ස්ත්‍රීහු වෙත් නම් ඔහු ඔබ බඳු පුතකු ලබත්වා.
261. මන්‍ධාතු ආදී රජුන්ගේ යම් මවක් වූ නම් ඕ බවසයුරෙහි ගිලුණා යැ. පුත්‍රයාණෙනි, ඔබ විසින් (මම්) බවසයුරෙන් තරණය කරන ලද වෙමි.
262. “රාජ මාතා - රාජ මහේසී” යන නම ස්ත්‍රීන්හට සුලභ යැ, බුද්ධමාතා යි යම් නමෙක් ඇද්ද, තෙල නම පරම දුර්‍ලභ යි.
263. මාගේ ඒ ප්‍රණිධිය ද ඔබ වෙතින් මා ලද යැ. කුඩා වේවයි, මහත් වේවයි ඒ සියලු කිස මා විසින් පුරණ ලදි.
264. මේ කය හැර පියා පිරිනිවෙන්නට රිසියෙමි, වීර වූ දුක් කෙළවර කරන නායකයන් වහන්ස, (ඒ සඳහා) මට අනුදැන වදාළ මැනැවි.
265. සක් - අකුසු - දද ලකුණින් ගැවැසුණු පියුම් බඳු සියුමැලි පා දිගු කරනු මැනැවි. පුත්‍රප්‍රේමයෙන් ඔබට ප්‍රණාම කරමි.
266. රන්කඳක් බඳු (ඔබ) සිරුර පාළ කරනු මැනැවි. නායකයන් වහන්ස, ඔබගේ කය මැනැවින් දැකීමකොට ශාන්තියට යන්නෙමි” යි.
267. ජිනේන්‍ද්‍රයන් වහන්සේ ද්වත්ත්‍රීංශද්වර ලක්‍ෂණොපේත සුප්‍රභායෙන් අලංකෘත සන්‍ධ්‍යාවලායෙන් ඉවත් වූ බාලාර්ක (ළහිරු) බඳු (ස්ව) ශරීරය සුළුමවට දර්‍ශනය කර වූ සේකැ.
268. ඉක්බිති ඕ තොමෝ ප්‍රබුද්ධපද්මසදෘශ වූ තරුණ සූර්‍ය්‍යා බඳු ප්‍රභාවත් චක්‍ර ලක්‍ෂණ ඇති ශ්‍රීපාද මතුයෙහි සිරසින් වැඳ වැටුනා යැ.
269. සූර්‍ය්‍යවංශයට ධ්‍වජයක් වූ නරාදිත්‍යයන් (නරශ්‍රේෂ්ඨයන්) හට මේ පැසුළු මරණයෙහි දී ප්‍රණාම කරමි. මම යළි තොප නො දක්මි.
270. ලෝකාග්‍රයන් වහන්ස, ස්ත්‍රීහු නම් සියලු වරද කෙරෙත් යි දන්නා ලදහ. ඉදින් මාගේ කිසියම් දොසෙක් ඇත්නම් කරුණාවට ආකර වූ උතුමාණෙනි, එය ක්‍ෂමා කරනු මැනැවි.
271. යම් හෙයෙකින් මම් ස්ත්‍රීනට ද පැවිද්ද පුනපුනා යාඥා කළමු ද, ඉදින් එහිලා මාගේ දොසෙක් ඇත්නම් නරෝත්තමයාණෙනි, එය ක්‍ෂමා කරනු මැනැවි.
272. වීරයන්වහන්ස, ඔබගේ අනුඥානයෙන් භික්‍ෂුණීහු මා විසින් අනුශාසිතයහ. ඉදින් එහිලා වරදවා කළ අනුශාසනයෙක් වේ නම් ක්‍ෂමාධිපයාණනි, එද කමන්න.
273. ගුණාහරණ ඇති තැනැත්තිය, ක්‍ෂමාවට කරුණු නැති තන්හි ක්‍ෂමා කළයුතු කුමක් නම් වන්නේ ද, පිරිනිවන සඳහා යන තොපට මතුයෙහි කුමක් කියම් ද.
274. පවිත්‍ර වූ අනූන වූ මාගේ භික්‍ෂු සඞ්ඝයා මෙ ලොවින් නිස්සරණයට යන කල්හි, පහන්වන කල්හි ග්‍රහතාරකාවන්ගේ ව්‍යසනය දැක චන්‍ද්‍රලේඛාව නික්මැ යන්නා මෙනි.
275. මේරු පර්‍වතය වටා යන චන්‍ද්‍රානුගත තාරකා සෙයින් ඒ සෙසු භික්‍ෂුණීහු ජිනේන්‍ද්‍රයන් වහන්සේ ප්‍රදක්‍ෂිණා තොට පාමුල වැඳ වැටී (බුදුරදුන්) මවග බලමින් සිටියාහ.
276. (වැළි දු ගෝතමිය මෙසේ පවසයි:) “ඔබගේ දර්‍ශනයෙන් (අපගේ) ඇස තෘප්ත නොවූ විරූ යැ. ඔබගේ භාෂිතයෙන් කන තෘප්ත නොවූ විරූ යැ. හුදෙක් මාගේ ඒ එකම සිත ධර්‍ම රසයෙන් තෘප්තියට පැමිණ සිටියි.
277. නරශ්‍රේෂ්ඨයාණනි, අභීතනාද පවත්වන (පර) වාදීමානමථනය කරන ඔබගේ ශ්‍රී මුඛය යම් ඒ කෙනෙක් දකිත් ද, උහු තුමූ භාග්‍යවත් හ.
278. (ලෞකික - ලෝකෝත්තර) ගුණ ධරණ උතුමාණෙනි, දිගු ඇඟිලි ඇති, තඹවන් නිය ඇති, දිගු විළුම් ඇති ශුභ වූ (ඔබ) පා යම් කෙනෙක් ප්‍රණාම කෙරෙත් ද, උහු ද ධන්‍ය (පින්වත්) හ.
279. නරෝත්තමයාණනි, මිහිරි ප්‍රීතිය ඇති කරන ද්වේෂය නසන (මෛත්‍රීසහගත වූ) හිත වූ ඔබගේ වචන යම් කෙනෙක් ශ්‍රවණ කෙරෙත් ද, ඔහු ද ධන්‍යයෝ යි.
280. මහාවීරයන් වහන්ස, ඔබ පා පිදීමෙහි නිරත වූ තරණය කළ සසරකතර ඇති මම් ශ්‍රීමතාණන්ගේ සුන්‍දර වාක්‍යයෙන් භාග්‍යසම්පන්න වෙමි.”
281. ඉක්බිති මනාව්‍රත ඇති භික්‍ෂුසඞ්ඝයාට ද අනුශාසනා කොට රාහුල - නන්‍ද - ආනන්‍ද යන තෙරණුවන් වැඳ මෙවදන් පැවසූ:
282-283. “සර්‍පාවාසයක් බඳු රෝගයනට වාසස්ථාන වූ දුක් කඳක් වූ නොහොත් දුකින් පෙලුණු ජරා - මරණ දෙකට ගොදුරු වූ නොයෙක් කුණු කසලින් ආකීර්‍ණ වූ ආත්මායත්ත (තමාසතු) නො වූ අනුත්සුක වූ ශරීරයෙහි කලකිරුණෙම් වෙමි. එහෙයින් පිරිනිවෙන්නට රිසියෙමි. දරුවනි, (එය) අනු දනි වු”.
284. පහ වූ ශෝක ඇති ආස්‍රව රහිත නන්‍ද තෙරණුවෝ ද රාහුල භද්‍රයෝ ද පව්වක් (නොසැලී) සිටුනා සෙයින් තිර වැ සිටියාහු දහම් සැහැවි අනු වැ සිතූ හු.
285. “ප්‍රත්‍යයෙන් සකැසුණු සැලෙන අසාර (එහෙයින්ම) රඹකඳක් වැනි මායාවක් මිරිඟුවක් බඳු බොහෝ කල් නො පවත්නා තිර වැ නො සිටි මේ කයට නින්‍දා වේවා.
286. මෝ තොමෝ වූකලී ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ සුළු මව යැ, බුදුරදුන් පෝෂණය කළ ගෝතමී පිරිනිවීමට යෙයි. සියලු සතර දහම් අනිස යැ.”
287-288. එකලැ ආනන්‍ද තෙරණුවෝ සේඛ (සෝවාන්) හ, බුදුරදුන් කෙරෙහි ස්නෙහ ඇති සොවින් පෙළුණු ඔබ “අහෝ! ගෝතමි ශාන්තියට යෙයි, නොබෝ දිනකින් බුදුරජාණෝ ද ඉන්‍ධන (දර) රහිත ගිනි සෙයින් නිවීමට යන්නාහ” යි සානුකම්පික වැ කඳුළු දරමින් වැලපෙති.
289-290. මෙසේ වැලපෙන ඒ ආනන්‍ද තෙරණුවනට ගෝතමි මෙසේ කිවු: “ශ්‍රැතියට සාගර (බහුශ්‍රුත) වූ, ගැඹුරු ගුණ ඇති බුද්ධෝපස්ථානයෙහි නියැලි පුත්‍රයාණනි, ශෝක කරන්නට අයුතු යැ, හාස (සිනහවට) කාලය එළඹැ සිටියේ යැ, පුත, නිවන වෙත එළැඹ සිටුනා මට තොපගේ පිහිටයි.
291. දරුව, තොප විසින් සමාරාධිත බුදුහු අපට පැවිද්ද අනු දත්හ. පුත, දොම්නස් නො ව, තොපගේ උත්සාහය සඵලයි.
292. පැරැණි තීර්‍ත්‍ථක ඇදුරන් විසින් යම් ශාන්ත ප්‍රතිෂ්ඨාවක් නො දක්නා ලද ද, ඒ ප්‍රතිෂ්ඨාව සිවුමැලි සත්හැවිරිදි දැරියන් විසිනුදු දක්නා ලද යැ.
293. බුදුසසුන පාලනය කරන පුතණුවනි, මේ තොපගේ පශ්චිම දර්‍ශනයයි. යම් තෙනෙකැ ගියේ නො දක්නා ලැබේ ද, මම එහි යන්නෙමි.
294. ලෝකාග්‍රනායකයන් වහන්සේ කිසිවිටෙකැ දහම් දෙසමින් කිවිසිසේක් ද, එවිට අනුකම්පා ඇති මම ආශිර්‍වාද වචනයක් කීමු:
295. “මහාවීරයන් වහන්ස, බොහෝ කල් ජීවත්වන සේක්වා. මහාමුනීන්‍ද්‍රයන් වහන්ස, කපක් වැඩසිටුනා සේක්වා. මුළුලොවට වැඩ පිණිස අජරාමර වන සේක්වා” යි.
296. එසේ කියන ඒ මට බුදුහු තෙල වදාළහ: “ගෝතමිය, (තෙපි) යම් අයුරකින් වඳනහු ද, ඒ අයුරින් තථාගතයෝ නො වැන්ද යුත්තාහු” යි.
297. “සර්‍වඥයන් වහන්ස, තථාගතයෝ කිසෙයින් වැන්ද යුතු ද, බුදුහු කිසෙයින් නො වැන්ද යුතු දැ යි පුළුවුත් ඔබ එ කරුණ මට කියනසේක් වා”.
298. බුදුහු “රුකුළු වැර ඇති නිවනට මෙහෙයූ සිත් ඇති සතතයෙන් දැඩි පැරකුම් ඇති සමග වැ සිටුනා සව්වන් දක්නේ නම් තෙලෙ බුදුනට වන්‍දනා වෙයි.” වදාළහ.
299. ඉක්බිති මම මෙහෙණවරට ගොස් එකලා වැ සිතුමු: “ත්‍රිවිධ භවයාගේ අන්තතයට ගිය නාථයන්වහන්සේ සමගපිරිස් රිසිවන සේකැ.
300-301. මම පිරිනිවෙන්නෙමි, ඒ විපත නො දකිම්වා” යි මම් මෙසේ සිතා විනායක මහාර්ෂි බුදුරදුන් දැක, මාගේ පරිනිර්‍වාණ කාලය ආරෝචනා කළමු. ඉක්බිති ඔබ “ගෝතමි, කල් දනුව” යි අනුදත්හ.
302. (ගෝතමි) “මා විසින් කෙලෙස්හි දවන ලදහ. සියලු භවයෝ මුලිනුපුටා නසන ලදහ. බැඳුම් සිඳ සරණ ඇත්රැජිනක සෙයින් ආස්‍රව රහිත වැ වාස කරමි.
303. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙතැ මට යහපතෙක් වියැ. ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ, බුදුසසුන් කරන ලද.
304. මෙ සිවුපිළිසිඹියා ද අෂ්ටවිමෝක්‍ෂ ද ෂට්අභිඥා ද පසක් කරන ලද යැ, බුදුසසුන් කරන ලදී.
305. (බුදුහු) “මාගමුන්ගේ ධර්‍මාභිසමයෙහි යම් අඥානකෙනෙක් විමතියට ගියාහු ද, ඔවුන්ගේ දෘෂ්ටිප්‍රහාණය පිණිස ගෝතමිය, ඍද්ධි දක්වන්න.”
306. එකලැ ගෝතමි මෙහෙණ සම්බුදුන් ප්‍රණාම කොට අහසට පැන නැගැ බුදුරදුන්ගේ අනුදැන්මෙන් නොයෙක් ඍද්ධි දැක්වූ.
307-308. එකක්වැ බොහෝ ආකාර වූ, එසෙයින් ම බොහෝ වැ එකක් වූ, ප්‍රකට බවට, අප්‍රකට බවට, පවුරෙන් සරසැ පව්වෙන් මරමැ (නොගැටි) ගියා යැ. (දියෙහි මෙන්) පොළොවෙහි ද ගැලුණා යැ. පොළොවෙහි මෙන් දියෙහි නො බිඳිමින් ඇවිද්දා යැ.
309. කිරිල්ලක මෙන් අහසෙහි පර්‍ය්‍යඞ්කයෙන් යුතු වැ ගියා යැ, බඹලොව තෙක් (මුළු ලොව) කයින් වශයෙහි පැවැත් වූ
310. මහමෙර සැත්දණ්ඩ කොටැ මහ පොළොව සතක් කොටැ සහමුලින් පෙරළා ධරමින් නභෝගර්‍භයෙහි සක්මන් කළා යැ.
311. සහිරු උදා කල්හි මෙන් ලොව දුම් ඇති කළා යැ. ඕ කල්පාන්තයෙහි දී මෙන් ලෝකය අග්නිජාලායෙන් ආකුල කළා යැ.
312. මුචලින්‍ද මහාශෛලය, මේරු - මන්‍දාර - දද්දර පර්‍වත යන සියල්ල අබඇට සෙයින් එක් මිටකින් ගත්තා යැ.
313. නිසයුරු සහිත හිරු ඇඟිලිතුඩින් වැසූ, දහස්ගණන් සඳ හිරු මුදුන් මල්කඩ සෙයින් ධැරූ.
314. සියුසයුරෙහි දිය එක් අත්ලෙන් ධැරූ, යුගාන්ත මෙඝයක් බඳු මහවැසි වැස්වූ.
315. ඕ අහස්තලෙහි සපිරිස් සක්විතිරජකු මැවූ, ගුරුළකු, ඇතකු ගර්‍ජනාකරන සිංහයකු දැක්වූ.
316. එකලා වැ අපමණ මෙහෙණ ගණයා මවා යළි අතුරුදන් කොට එකක් වැ මුනිරජුනට (මෙසේ) කිවු:
317. “මහා වීරයන් වහන්ස, (මේ) ඔබගේ අනු සසුන් කරන ඔබගේ සුළුමවයි. චක්‍ෂුර්මතාණනි, (ඕ) ස්වාර්‍ත්‍ථයට පැමිණියා (ඔබ) පා වඳියි.”
318. ඕ නොයෙක් ඍද්ධි දක්වා අහස්තෙලෙන් බැස ලොවට පහනක් වූ බුදුරදුන් වැඳ එකත්පසෙකැ හුන්නා යැ.
319. (ඉක්බිති මහාපජාපති ගෝතමි මෙසේ කිවු:) “මහා මුනිවරයාණනි, ඒ මම උපතින් එක්සියවිසි හැවිරිදි වෙමි. වීරයාණනි, මෙපමණකින් සෑහෙයි, නායකයාණනි, පිරිනිවෙන්නෙමි” යි .
320. එකලැ අතිවිස්මයට පැමිණි ඒ සියලු පිරිස් කෘතාඤ්ජලී වැ (මෙසේ) කී: “ආර්‍ය්‍යාවනි, කෙසේ නම් (මෙබඳු) අසමාන ඍද්ධි පරාක්‍රම ඇති වූයෙහි ද?”
321. සියලු ධර්‍මයන්හි චක්‍ෂුර්මත් වූ (ලොවට) නායක වූ පදුමුත්තර ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙයින් සුවහස්වන කප්හි (ලොවැ) පහළ වූ සේකි.
322. එසමයෙහි මම හංසවතී නගරයෙහි සියලු උපකරණයෙන් යුත් සමෘද්ධිමත් සර්‍වසම්පූර්‍ණ මහාධන ඇති ඇමැතිකුලයෙකැ උපන්මු.
323. කිසිවිටෙකැ දාසි සමූහයා විසින් පෙරටුකරන ලදු වැ මහ පිරිවරින් පියා සමග ඒ නරශ්‍රේෂ්ඨයන් වෙතැ එළැඹ -