Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 8401-8500 න් 9627

2. ඒකූපෝසථික වර්‍ගය
2. 1 ඒකූපොසථිකාපදානය
131. බන්‍ධුමතී නුවරැ බන්‍ධුමත් නමැති රජෙක් වියැ. හේ පුණුපොහෝ දිනැ පෙහෙවස් විසී.
132. එසමයෙහි මම එනුවරැ කළදැස්සක් වූමු. (පෙහෙවස් වසන) රජු සහිත සෙනඟ දැක මම මෙසේ සිතූමු:
133. “රජ ද රජය හැරපියා පෙහෙවස් විසී යැ. එකැතින් ඒ ක්‍රියාව ඵල සහිත යැ. ජනසමූහයා ප්‍රමුදිත වූයේ වෙයි” යනු යි.
134. (මම් දු) දුගී බව ද දිළිඳුබව ද නුවණින් මෙනෙහි කොට සිත පහදවා පෙහෙවස් වුසූමු.
135. මම (විපස්සී) සම්බුදුසසුනෙහි පෙහෙවස් වැස ඒ කුශල කර්‍මයෙන් තව්තිසා දෙව්ලොව උපන්මු.
136. එහි මට විමනෙක් මැනැවින් කරනලද වෙයි. (එ විමන) යොදුනක් උස් යැ, මනාකුළුගෙවලින් යුතු යැ, (හැඳපුටු ඈ) සෙනසුනෙන් සැරහුණේ ද වේ.
137. සියදහසක් අප්සරාවෝ සැම කල්හි මට උවටැන් කෙරෙති. (මම) සැමදා සෙසු දෙවියන් ඉක්මවා අගිශයින් බබළමි.
138. සූසැටක් දෙව්රජුනට මෙහෙසි වූමු. තෙසැටක් සක්විති රජුනට ද මෙහෙසි වූවා වෙමි.
139. මම රන්වන් සිවිපැහැ ඇති වැ භවයන්හි හැසිරෙමි. සියලු තන්හි උතුම් වෙමි. මේ වූකලි පෙහෙවස් විසීමේ විපාක යැ.
140. හස්තියාන - අශ්වයාන - රථයාන - සිවිගෙවල් යන තෙල සියල්ල ලබමි. මේ වනාහි පෙහෙවස් විසීමේ විපාක යැ.
141. මම රන්මුවා වූ ද, රිදීමුවා වූ ද, පිළිමිණිමුවා වූ ද, රත්මිණිමුවා වූ ද (උපභෝග පරිභෝග වස්තු) සියල්ල පිළිලබමි.
142. තිහිරිපිළි යැ, එළුලොම්පිළි යැ, කොමු පිළි යැ, කපු පිළි යැ (අන්‍ය වූත්) මහාර්‍හ වස්ත්‍ර දැයි යන සියල්ල පිළිලබමි.
143. ආහාර පාන හා කෑයුතු දෑ ද, වස්ත්‍ර හා ශයනාසන ද යන තෙල සියල්ල ලබමි. මේ පෙහෙවස් විසීමේ විපාක යි.
144. මහඟු සුවඳ ද, මල්දම් ද, වත්සුණු හා විලවුන් ද යන තෙල සියල්ල ලබමි. මේ පෙහෙවස් විසීමේ විපාක යි.
145. කුළුගෙවල් යැ, මහපහා යැ, මණ්ඩප යැ, සඳලු සහිත ගේ යැ, ගුහා යැ යන තෙල සියල්ල ලබමි. මේ පෙහෙවස් විසීමේ විපාක යි.
146. උපතින් සත්හැවිරිදි වූ මම බුදුසසුන්හි පැවිදි වූමු. (පැවිද්දෙන්) අඩමසක් නො පැමිණි කල්හි රහත්බවට පැමිණියා වෙමි.
147. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂීණ වූහ. දැන් (මට) පුනර්‍භවයෙක් නැති.
148. මෙයින් එක්අනූවන කප්හි යම් කුශලකර්‍මයක් කළමු ද, (ඒ හේතුයෙන්) දුගතිය නො හඳුනමි. මේ පෙහෙවස් විසීමේ ඵල යි.
149. බුදුරදුන් වෙතැ එළැඹීම මට ස්වාගත (-යහපත්) වියැ, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ, බුදුසසුන් කරන ලද යැ.
150. මේ සිවුපිළිසිඹියා ද, අෂ්ටවිමෝක්‍ෂ ද, ෂඩ් අභිඥා ද මා විසින් පසක් කරන ලද යැ. බුදුසසුන් කරන ලදී.
මෙසෙයින් ඒකුපෝසථිකා මෙහෙණ මේ ගාථා පැවසූ යැ.
පළමුවැනි ඒකූපොසථිකා ස්ථවිරාපදාන යි.
2. 2 සලලපුෂ්පිකාපදානය
151. (පෙරැ) මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරියක් වූමු. එකලැ දෙවියන්ට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනු දුටුමු.
152. මම් සලල මල් නෙලා “මහාවීරයන් වහන්ස, දිව්‍යමය සුවඳැති සලල මල් සුඹුනා සේක්ව” යි බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුන්මු.
153. එවිට මහාවීර වූ ලෝකනායක විපස්සී සම්බුදුරජාණන් මා බලා සිටිය දී මැ (එමල් ) සිඹ වදාළසේකැ.
154. ද්විපදෝත්තම බුදුරදුන් ඇඳිලි බැඳ වැඳ සිය සිත පහදවා ගෙන එතැනින් නික්මැ පර්‍වතයට නැගුණමු.
155. මෙයින් එක්අනූවන කප්හි යම් මලක් (පූජා විසින්) දිනිම් ද, (එ පිනෙන්) දුගතිය නො දනිමි. පුෂ්පපූජායෙහි මේ ඵල යි.
156. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... අනාස්‍රව වැ වාස කෙරෙමි.
157. මට යහපතක් වියැ ... බුදුසසුන් කරන ලද යැ.
158. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලදී.
මෙ සෙයින් සලලපුෂ්පිකා මෙහෙණ මේ ගාථා පැවැසූ යැ.
දෙවැනි සලලපුෂ්පිකා ස්ථවිරීඅපදාන යි.
2. 3 මෝදකදායිකාපදානය
159. මම බන්‍ධුමතී නගරයෙහි කළදැස්සක් වූමු. දිය අදනා මම මගේ (අහර) කොටස රැගෙන (දිය අදනට) ගියමු.
160. මගැ (වඩනා) ශාන්ත සිත් ඇති සන්හුන්ගමන් ඇති මහණ කෙනකුන් දැක මම් පහන් සිතැති වැ සොම්නස් වැ මෝදක (-රසකැවිලි) තුනක් ඔබට දුන්මු.
161. ඒ කුශලකර්‍මහේතුයෙන් ද, චේතනාප්‍රණිධියෙන් ද මම එක්අනු කපක් මුළුල්ලෙහි දුගතියකට (උපත් විසින්) නො ගියමු.
162. ම ඒ කුශලය කොට සියලු සැපත් අනුභව කරමි. මම් මෝදක තුනක් දන් දී අචලපදය වූ නිවනට පැමිණියා වෙමි.
163-165. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.
මෙසේ මෝදකදායිකා මෙහෙණ මේ ගාථා පැවසූ යැ.
තෙවැනි මෝදකදායිකා ස්ථවිරාපදාන යි.
2. 4 ඒකාසනදායිකාපදානය
166. එක්කලෙක මම් හංසවතී නගරයෙහි බාලිකාවක් වූමු. මාගේ මවත් පියාත් කර්‍මාන්තස්ථානයට ගියාහු යැ.
167. හිර මුදුන් සමයෙහි වීථියෙහි වඩනා මහණ කෙනෙකුන් මම දුටුමු. (මම් ඔබට හිඳුනා සඳහා) අස්නක් පැනවූමු.
168. මම කොඳුපලස්, විසිතුරු එළුලොම් ඇතිරි, ආදියෙන් අසුනක් පනවා පහන් සිත් ඇති වැ සොම්නස් වැ මෙ වදන් කීමි.
169. පොළොව රත්වී ඇත, ක්‍වථිත (-කැකෑරුණාක් මෙන්) යැ, හිර මධ්‍යාහ්නයෙහි සිටියේ යැ, සුළං ද නො හමයි, වළඳනා කාලය ද එළැඹැ සිටියේ යැ.
170. (මම් මෙසේ කීමි.) “මහාමුනිතුමනි, මෙ අස්න ඔබ සඳහා පනවන ලද යැ, මාගේ අස්නෙහි අනුකම්පා කොට වැඩ හිඳිනු මැනැවි.”
171. මොනොවට දැමුණු පිරිසිදු මනස් ඇති ශ්‍රමණයන් වහන්සේ එහි වැඩහුන්හ. ඔබගේ පාත්‍රය ගෙන මම (අහරින්) පුරවා දුන්මු.
172. ඒ කුසලකර්‍මයෙන් ද, චේතනාප්‍රණිධියෙන් ද, මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවැ උපන්මු.
173. එහි මට විමනක් කරන ලදි. (එය) අස්නෙන් යුතු කොට මොනොවට නිමවන ලද යැ. සැට යොත්නක් උස් යැ, පනස් යොත්නක් පුළුල් යැ.
174. මාගේ විවිධ පර්‍ය්‍යඞ්කයෝ රන්මුවා යැ, මිණිමුවා යැ, පිළිමිණිමුවා යැ, රන්මිණිමුවා ද වෙත්.
175. මාගේ පර්‍ය්‍යඞ්කයෝ පුළුන් මෙට්ටයෙන් හා රූ නඟාකළ එළුලොම් ඇතිරියෙන් ද රන්කම් කළ තිහිරි ඇතිරියෙන් හා විසිතුරු එළුලොම් ඇතිරියෙන් ද දෙ දා ඇතිරි එක් දා ඇතිරියෙන් ද මොනොවට අතුරන ලද්දාහ.
176. හාසයෙන් හා ක්‍රීඩායෙන් සමර්පිත වැ යම් විටෙකැ ගමනක් රිසියෙම් ද, වරපර්‍ය්‍යඞ්කය සහිත වැ මා රිසි තෙනට යෙමි.
177. අසූදෙව්රජුනට මෙහෙසිබව කරවූමු. සැත්තෑවක් සක්විති රජුනට ද මෙහෙසි වූමු.
178. කුදුමහත් බෙවෙහි හැසිරෙන මම් මහත් භෝග ලබමි. මාගේ භෝගයන්හි අඩුබවෙක් නැති. එක අසුනක ඵල යි මේ.
179. දෙව් බව යැ මිනිසත් බව යැ යන භව දෙක්හි හැසිරෙමි. අන් භවයෙක් නො දනිමි. මේ එක් අසුනක් පිදීමේ ඵල යි.
180. කැත් කුලෙහි යළි බමුණු කුලෙහි බමුණු කුලෙහි යන දෙකුලෙහි උපදිමි. සැමතන්හි උසස් කුල ඇති වූමු. ඒකාසනදානයේ ඵල යි මේ.
181. දොම්නස නො දනිමි. මාහට, සිත්තැවිල්ලකුදු නැත. විවර්‍ණ බව නො දනිමි. මේ වූකලි එක් අසුනක් දීමේ විපාක යි.
182. කුදු වූ ද, කෙළතොලු වූ ද බොහෝ උපමවුහු මට උවටන් කෙරෙති, (මම ඔවුන්ගේ) ඇකයෙන් ඇකයට යමි, මේ එක් අසුනක් දීමෙහි විපාක යි.
183. සැම කල්හි මා අන්හු නහවති, අන්හු වළඳවති, අන්හු තුටු කරවති, අන්හු ගඳ විලෙවුන් දෙත්. මේ ඒකාසනදාන ඵලයි.
184. මණ්ඩපයෙහි වේවයි, රුක්මුලැ වේවයි, ශුන්‍යාගාරයෙහි වේවයි මාගේ සිත්හසර දැන පළඟ එළැඹැ සිටියි.
185. මේ මාගේ අන්තිම (පැසුලු) භවයයි, අද රජය හැරපියා බුදුසසුන්හි පැවිදි වීමි.
186. මෙයින් සුවහස්වන කප්හි යම් දනක් දුනුමු ද, (එතැන් පටන්) දුගතිය නො දනිමි. මේ වනාහි එක් අස්නක් පිදීමේ විපාක යි.
187. - 189. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන කරන ලදි.
මෙසේ ඒකාසනදායිකා මෙහෙණ මේ ගාථා පැවසූ යැ.
සිවුවැනි ඒකාසනාදායිකා ස්ථවිරාපදානයි.
2. 5 පඤ්චදීපදායිකාපදානය
190. ඒ සුවහස්වන කප්හි මම හංසවතී නගරයෙහි චාරිකා කරන්නක් වූවා කුසල් කැමැති වැ අරමින් අරමැ හැසුරුණමු.
191. මම (එක්) කළුවර පොහෝ දිනෙකැ උතුම් බෝරුක දුටුයෙම් එහි සිත පහදවා බෝරුක් මුල්හි හුන්නමු.
192. එවේලෙහි බුහුමන් සිත් එළවා ඇඳිලි බැඳ සොම්නස් ලැබ මෙසේ සිතුවෙමි:
193. “ඉදින් (පියුමතුරා) බුදුහු අපමණගුණ ඇතිසේක් නම් අසම වූ අප්‍රතිපුද්ගල සේක් නම් මට පෙළහර දක්වන සේක්වා. මේ බෝරුක බබළාවා” යි.
194. මාගේ ආවර්‍ජනාව හා සමග එකෙණෙහි බෝරුක දිලුණේ යැ. සියල්ල රනින් කරන ලද මෙන් වියැ. සියලු දිශාවෝ බැබළුණාහ.
195. මම සත්රූදවාලක් ඒ බෝරුක්මුල්හි හුන්නෙම් සත්වැනි දවස එළැඹි කල්හි පහන් පූජාවක් කළමු.
196. ආසනය පිරිවරා ප්‍රදීප පසෙක් දිලුණේයැ. එදවසැ හිරු උදාවනතෙක් මාගේ ප්‍රදීපයෝ දිලුණ හ.
197. මැනැවින් කළ ඒ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනා ප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා මම දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියා වෙමි.
198. එහි මට මොනොවට කරනලද විමනෙක් වියැ. සැට යොත්නක් උස් වූ තිස්යොත්නක් පුළුල් වූ ඒ විමන පඤ්චදීපි යි කියනු ලැබෙයි.
199. යම්තාක් දෙව්විමන ප්‍රදීපාලෝකයෙන් දිලියේද (ඒතාක්) අසඞ්ඛ්‍යසඞ්ඛ්‍යාත ප්‍රදීපයෝ හාත්පස දිලෙත්.
200. ඉදින් (මම) පරාම්මුඛ වැ හිඳැ දක්නට රිසියෙම් නම් උඩ ද යට ද සරස ද වූ සියල්ල මසැසින් දකිමි.
201. සුගත - දුර්‍ගතයන් දක්නට යම්පමණින් කැමැත්තෙම් නම් එහිලා රුක්හි වේවයි පවුහි වේවයි ආවරණයෙක් නැති.
202. දෙව්රජුන් අසූදෙනකුන්හට මෙහෙසි වූමු. සියගණන් සක්විති රජුන්හට ද මෙහෙසි වූමු.
203. දෙව්බව යැ, මිනිස්බව යැ, යන යම්යම් ගතියෙකැ උපදනෙම් ද සියදහස්ගණන් පහන් මා අවට දිලියෙයි.
204. දෙව්ලොවින් සැවැ (මනුලොවැ) මවුකුසැ උපන්නෙම්, මවුකුසට ගියා වූ මාගේ ඇස් නිමිලනය (පිය) නො වෙයි.
205. (මම්) පුණ්‍යකර්‍මසමන්‍වාගතයෙමි. (එහෙයින්) සුවහස් පහන්හු තිඹිරිගෙහි දිලෙන්නාහ. මේ වූකලී පඤ්චදීපදානයාගේ ඵලයි.
206. පශ්චිමභවය පැමිණිකල්හි මනස කෙලෙසුන්ගෙන් මුදවා ලූමු. ජරා - මරණ රහිත සිහිල් වූ නිවන මම ස්පර්‍ශ කළමු.
207. ජාතියෙන් සත්හැවිරිදි වූ මම් රහත්බවට පැමිණියෙමු. ගෞතම ගෝත්‍ර ඇති බුදුහු ගුණ සලකා (මා) උපසපන් කළහ.
208. මණ්ඩපයෙහි වේවයි, රුක්මුල්හි වේවයි, ශුන්‍යාගාරයෙහි වේවයි වෙසෙන මාහට හැමකල්හි පහනක් දිලෙයි. මේ වූකලී පඤ්චප්‍රදීපදානයාගේ ඵලයි.
209. මට දිවැස විශුද්ධ වියැ, මම සමාධියෙහි දක්‍ෂ වූමු. අභිඥාපාරයට පැමිණියා වෙමි. මේ වනාහි පඤ්චප්‍රදීපදානයාගේ ඵලයි.
210. චක්‍ෂුර්මත් මහාවීරයන් වහන්ස, සකල බ්‍රහ්මචර්‍ය්‍යවාස වැස නිම වූ කෘතකෘත්‍ය ඇති අනාස්‍රව වූ පඤ්චදීපා මෙහෙණ (ඔබ) පා වඳියි.
211. මෙයින් සුවහස්වන කප්හි යම් පහන් පූජාවක් කළා වෙම් ද, (ඒ හේතුයෙන්) දුගතිය නො මැ දනිමි. මේ වූකලී පඤ්චදීපදානයාගේ ප්‍රතිඵලයි.
212. - 214. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.
මෙසෙයින් පඤ්චදීපදායිකා භික්‍ෂුණී මේ ගාථා ප්‍රකාශ කළා යැ.
පස්වැනි පඤ්චදීපදායිකා ස්ථවිරාපදාන යි.
2. 6 සාලමාලිකාපදානය
215. එක්කලෙක මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරියක් වැ උපන්මු. ඒ (මම්) ස්වයම්භූ වූ විරජ වූ (සිද්ධාර්‍ත්‍ථ) බුදුරදුන් දුටුමු.
216. පහන් සිතැති (එහෙයින් මැ) සොම්නස් වූ උපන් ප්‍රීති ඇතියෙම් බදැඳිලි වැ සාලමාලාවක් (සල්මල්දමක්) ගෙන එයින් සම්බුදුරදුන් පිදුමු.
217. ඒ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද කිඳුරු සිරුර හැරපියා දේවත්‍වයට ගියමු.
218. සතිසක් දෙව්රජුනට මෙහෙසි වූමු. මනසින් පැතූ යමක් වේද, ඒ සියල්ල මට සිතැඟි සේ උපදියි.
219. (මිනිස් ලොවැ) දසසක්විත්තනට මෙහෙසි වූමු. පෙර පින් රැස්කළ හෙයින් කුදුමහත් බෙවෙහි හැසිරෙමි.