Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 8301-8400 න් 9627

42. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, සියලු ආස්‍රවයෝ ක්‍ෂීණයහ, දැන් (මට) පුනර්‍භවයෙක් නැති.
43. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... සියලු භවයෝ නසන ලදහ.
44. මට ඒකාන්තයෙන් යහපතෙක් මැ වියැ ... බුදුසසුන් කරන ලද.
45. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලදි.
මෙසේ නළමාලිකා භික්‍ෂුණී මේ ගාථා ප්‍රකාශ කළා යැ.
පස්වැනි නළමාලිකා ස්ථවිරීඅපදාන යි.
1. 6 ඒකපිණ්ඩදායිකා අපදානය
46. බන්‍ධුමතී නගරයෙහි බන්‍ධුමත් නම් රජෙක් වියැ. මම් ඒ රජහට භාර්‍ය්‍යා වූමු, නිරතුරු ඉඳුරන් පිනවා වාස කළමු.
47. එකලැ මම් රහසිගත වැ හිඳ මෙසේ සිතුමු: “(පරලොව) රැගෙන යායුතු, මා විසින් කළ කුශලකර්‍මයෙක් නැත.
48. මහත් බිහිසුණු තැවීම් ඇති කටුක වූ භයානක ස්වභාව ඇති අතිශයින් දරුණු වූ නිරයට ඒකාන්තයෙන් යමු, තෙල කරුණෙහි ලා මට සැකයෙක් නැති.”
49. රජු කරා එළඹැ මම් මෙ වදන් කීමු: “රජතුමනි, මා හට එක් මහණ කෙනකුන් දෙනු මැනැවැ, (මම ඔවුන්) වළඳ වමු” යි.
50. මහරජ මාහට භාවිතෙන්‍ද්‍රිය මහණ කෙනකුන් දුන්නේ යැ. ඔබ පාත්‍රය ගෙන උතුම් බොජුනෙන් (එය) පුරවා ලීමු.
51. මම උතුම් බොජුනෙන් (පාත්‍රය) පුරවා සුවඳ විලවුන් ද දුනුමු දහසක් අගනා පිළිසඟළෙකින් (සිරුර) වැස්වූමු.
52. මාගේ තෙල අරමුණ දිවිහිමියෙන් සිහි කෙරෙමි, මම එහි (එ මහණුන් කෙරෙහි) සිත පහදවා උපත් විසින් තව්තිසාවට ගියමු.
53. තිසක් දෙව්රජුනට මෙහෙසිබව කරවූයෙම්, මනසින් පැතූ ද සිතැඟි සේ මට නිපැයෙයි.
54. විසි සක්විතිරජුනට මෙහෙසි වූමු, මම තමා මැ රැස්කළ පින් ඇති වැ (සුගති) භවයන්හි (උපත් විසින්) හැසුරණමු.
55. මම සියලු භවබන්‍ධනයෙන් මුක්ත වෙමි, මාහට උපාදානයෝ පහවැ ගියහ, සියලු ආස්‍රවයෝ ක්‍ෂීණයහ, දැන් මට පුනර්‍භවයෙක් නැති.
56. මෙයින් එකානූවන කප්හි එකලැ යම් දනක් දුනුම් ද, (එතැන් පටන්) දුගතිය නො දනිමි, මෙ පිණ්ඩදානයාගේ විපාක යි.
57. - 59. මා විසින් කෙලෙස් දවන ලද ... බුදුසසුන් කරන ලදි.
මෙසෙයින් ඒකපිණ්‍ඩදායිකා මෙහෙණ මේ ගාථා ප්‍රකාශ කළා යැ.
සවැනි ඒකපිණ්ඩදායිකා ස්ථවිරීඅපදාන යි.
1. 7 කටච්ඡුභික්ඛාදායිකාපදානය
60. පිඬු පිණිස හැසිරෙන ශාස්තෘ වූ තිස්ස නම් බුදුරජාණන් වහන්සේට මම් කෙණෙසි අහරක් සපයා ගෙන දුනුමු.
61. ශාස්තෘ වූ ලෝකාග්‍රනායක තිස්ස සම්බුදුරජාණන් වහන්සේ (එ අහර) පිළිගෙන වීථියෙහි වැඩසිටිසේක් මට අනුමෝදනා කළ සේක.
62. “(තෝ) කෙණෙසි අහරක් දී තව්තිසායෙහි උපදනෙහි. (එහි) සතිස් දෙව්රජුනට මෙහෙසිබව කරන්නෙහි.
63. පනසක් සක්විත්තනට ද මෙහෙසිබව කරන්නෙහි, මනසින් පැතූතාක් සියල්ල හැම කල්හි ලබන්නෙහි.
64. සැපත් වළඳ කොට පළිබෝධ රහිත වැ පැවිදිවන්නෙහි, සියලු ආස්‍රව (පහාන පරිඤ්ඤා විසින්) පිරිසිඳ දැන අනාස්‍රව වැ පිරිනිවෙන්නෙහි” යි.
65. ලෝකාග්‍රනායක ධීර වූ සම්බුදුරජාණන් වහන්සේ මෙය වදාරා අහසට (වදනා) හංසරාජයක්හු සෙයින් නභෝගර්‍හයට පැන නැංග සේකි.
66. මා විසින් උතුම් දනක් දෙනලද යැ, යාගසම්පත් මොනොවට යාග විසින් කරන ලදයැ, කෙණෙසි අහරක් දී මම් අචල වූ නිවනට පැමිණායෙම් වෙමි.
67. මෙ කපින් දෙයානූවන කප්හි (උපන් මම) එකලැ යම් දනක් දුනුම් ද, (ඒ හේතුයෙන්) දුගතිය නො දන්මි. මේ වූකලී භික්‍ෂාදානයෙහි විපාක යි.
68-70. මා විසින් කෙලෙස් දවන ලද ... බුදුසසුන් කොට නිමවන ලදී.
මෙ සෙයින් කටච්ඡුභික්‍ඛාදායිකා මෙහෙණ මේ ගාථා පැවසූ යැ.
සත්වැනි කටච්ඡුභික්‍ඛාදායිකා ස්ථවිරීඅපදාන යි.
1. 8 සත්තුප්පලමාලිකා අපදානය
71. අරුණවතී නගරයෙහි අරුණවත් නම් රජෙක් වියැ. මම එරජහට භාර්‍ය්‍යා වූමු. ඉඳුරන් පිනවීමෙහි ලා (රජු) මෙහෙයවා ලූමු.
72. එකල්හි දෙව්සුවඳවහන උපුල්මල්දම් සතක් ගෙන උතුම් පහා මතුයෙහි හිඳ මෙසේ සිතුමු.
73. “මෙ මල්දම් (මා) හිසෙහි පළඳවාලීමෙන් මට කවර නම් වැඩෙක් ද? (මෙය) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඥාන (ශීර්‍ෂ) යෙහි අභිරෝපණය කරන ලද්දේ වඩා ලා මට උතුම් වෙයි.
74. යම් විටෙකැ සම්බුදුරජාණන් වහන්සේ වඩනා සේක් ද, එවිටැ (ඒ සිඛී) මහාමුනීන්‍ද්‍රයන් වහන්සේ පුදන්නෙමි” යි මම් සම්බුදුරදුන් බුහුමන් සහිත වැ අපේක්‍ෂා කෙරෙමින් දොර වෙතැ හුන්නමු.
75. දිලිසෙන පර්‍වතකූටයක් සෙයින්, කේශර සිංහරාජයකු සෙයින් ජිනේන්‍ද්‍රයන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සහිත වැ වීථියෙහි වැඩම කළසේක.
76. බුදුරැස් දැක හර්‍ෂ (සතුටු) වූයෙම්, සංවිග්නමනස් ඇතියෙම් දොර හැරපියා බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදුමු.
77. සත් උපුල්මල් අහස්කුසැ විසිරිණ. ඒ උපුල්හු සෙවෙණියක් කෙරෙමින් බුදුරදුන් මතුයෙහි ධරා සිටුනාහ.
78. ඔදවැඩි සිතැති සුමනස් වූ ප්‍රීතිමත් වූ කෘතාඤ්ජලී වූ මම් ඔබ කෙරෙහි සිත් පහදවා තව්තිසා දෙව්ලොව උපනුමු.
79. මා මුදුන්හි මහනෙල් සියනක් ධරත්. (මම්) දෙව්සුවඳ වහන කෙරෙමි. මෙ වනාහි සත් උපුලක් පිදීමේ විපාක යි.
80. කිසිවිටෙකැ නෑ සමූහයා විසින් ගෙන යනු ලබන මට යම් පමණ පිරිස් වේ ද, (එ පිරිස්) එකල්හි මට මහනෙල් ධරනු ලැබෙයි.
81. සැත්තෑවක් දෙව්රජුනට මෙහෙසිබව කරවූමු. (මෙසේ) සියලු තන්හි ඉසුරු වැ කුදුමහත් බෙවෙහි හැසිරෙමි.
82. තෙසැටක් සක්විතිරජුනට මෙහෙසිබව කරවූමු. සියල්ලෝ මා අනු වැ වැටෙති, (මම්) හැදහියයුතු වදන් ඇතිවූමු.
83. මාගේ පැහැය උපුලක පැහැය මෙන් වෙයි. (උපුල්) සුවඳ (මගේ කයින්) හමා යෙයි. දුර්වර්‍ණ බවක් නො දනිමි. මේ බුද්ධ පූජායෙහි විපාක යි.
84. ඍද්ධිපාදයන්හි නිපුණ වෙමි. බෝධ්‍යඞ්ගභාවනායෙහි ඇලුනෙම් අභිඥාපාරයට පැමිණියෙම් (ද) වෙමි. මේ වූකලී බුද්ධපූජායෙහි විපාක යි.
85. සතිපට්ඨානයෙහි දක්‍ෂ වෙමි. සමාධි-ධ්‍යාන ගෝචර කොට ඇත්තෙමි. සම්‍යක්ප්‍රධන්හි පුන පුනා යෙදුණමු. මේ වනාහි බුද්ධ පූජායෙහි ඵල යි.
86. මාගේ වීර්‍ය්‍ය (යෝගක්‍ෂේමසංඛ්‍යාත නිවනට පමුණුවන) ධුරවාහක (ගැල අදනා) ගවයා යි, (මාගේ) සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ, දැන් (මට) පුනර්‍භවයෙක් නැති.
87. මෙයින් එක්තිස්වන කප්හි යම් කුශල කර්‍මයක් කළමු ද, (එ හේතුයෙන්) දුගතිය නො දන්මි, මේ වූකලී පුෂ්පදානයාගේ ඵල යි.
88-90. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.
මෙසෙයින් සත්තුප්පලමාලිකා මෙහෙණි මේ ගාථා පැවසූ යැ.
අටවැනි සත්තුප්පලමාලිකා ස්ථවිරීඅපදාන යි.
1. 9 පඤ්චදීපිකාපදානය
91. එකල්හි මම් හංසවතී නගරයෙහි හැසිරෙන්නක් වූමු. කුසල් කැමති වැ අරමින් අරැමැ හැසුරුණමු.
92. (එක්) කළුවර පොහෝ දිනෙකැ උතුම් බෝරුක දුටුමු. එහි සිත් පහදවා මම් බෝමුල්හි හුන්මු.
93. එකල්හි බුහුමන් සිත් එළවා හිස් මුදුන්හි ඇඳිලි බැඳ සොම්නස් ලැබ මෙසේ සිතුවෙමු.
94. “ඉදින් (පියුමතුරා) බුදුහු අපමණ ගුණ ඇතිසේක් නම් අසම වූ අප්‍රතිපුද්ගල සේක් නම් මට පෙළහර දක්වන සේක්වා! මේ බෝරුක බබළාවා!” යි.
95. මාගේ ආවර්‍ජනාව හා සමග එකෙණෙහි බෝරුක දිලුණේ ය. සියල්ල රන්මුවා මෙන් විය. සියලු දිශාවෝ බැබළුණාහ.
96. මම් ඒ බෝමුල්හි සත්රූදාවලක් හුන්නමු. සත්වැනි දවස පැමිණි කල්හි මම් දීප පූජාවක් කළමු.
97. ආසනය පිරිවරා ප්‍රදීප පසෙක් දිලුණේ ය. එදවස හිරු උදාවන තාක් මාගේ ප්‍රදීපයෝ දිලුණාහ.
98. එ පුණ්‍යකර්‍ම හේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද, මම් මිනිස්කය හැර පියා තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියමු.
99. එහි මට මොනොවට කරන ලද විමනෙක් වියැ. සැටයොදුන් උස් වූ තිස්යොදුන් පුළුල් වූ එ විමන “පඤ්චදීපි” යි කියනු ලැබෙයි.
100. දෙව්විමන යම් තාක් ප්‍රදීපාලෝකයෙන් දිලියේ ද (එ තාක්) අසංඛ්‍යසංඛ්‍යාත ප්‍රදීපයෝ හාත්පස දිලියෙන්නාහ.
101. ඉදින් (මම) පරාම්මුඛ වැ හිඳ දක්නට රිසියුම් නම් උඩ ද යට ද සරසැ ද (වූ) සියල්ල මසැසින් දකිමි.
102. සුගත දුර්‍ගතයන් දක්නට යම් පමණින් රිසියුම් ද රුක්හි වේවයි පවුහි වේවයි එහිලා ආවරණයෙක් නැති,
103. අසූවක් දෙව්රජුනට මෙහෙසිබව කරවීමි. සියක් ගණන් සක්විත්තනට ද මෙහෙසිබව කරවූයෙමි.
104. දෙවි අත්බව යැ, යළි මිනිසත් බව යැ යන යම් යම් අත්බවකට (උපත් විසින්) එළැඹෙම් ද, මා පිරිවරා සියදහසක් ගණන් පහන්හු දිලියෙත්.
105. දෙව්ලොවින් සැව (මනුලොවැ) මවුකුස්හි උපන්මි, මවුකුසට ගියා වූ ම මාගේ ඇස් (පිය) නිමිලනය නො වෙයි.
106. (මම) පුණ්‍යකර්‍මසමන්‍වාගත යෙමි, (එහෙයින්) සියක් දහසක් පහන්හු තිඹිරි ගෙහි දිලියෙන්නාහ. මේ දීපදානයාගේ ප්‍රතිඵල යි.
107. පශ්චිමභවය පැමිණි කල්හි මනස කෙලෙසුන්ගෙන් මුදවා ලීමි. ජරාමරණ නැති සිහිල්බව වූ නිවන මම් ස්පර්‍ශ කළමු.
108. ජාතියෙන් සත්හැවිරිදි වූ මම් රහත්බවට පැමිණියමු, ගෞතම ගෝත්‍ර ඇති බුදුහු ගුණ සලකා (මා) උපසපන් කළහ.
109. මණ්ඩපයෙහි වේවයි, රුක්මුල්හි වේවයි, පහයෙහි වේවයි, ගුහායෙහි වේවයි, ශුන්‍යාගාරයෙහි වේවයි ධ්‍යාන කරන මාහට ප්‍රදීප පසෙක් දිලියෙන්නේ ය.
110. මට දිවැස විශුද්ධ වියැ, මම් සමාධියෙහි නිපුණ වීමි. අභිඥාපාරයට පැමිණියෙම් වෙමි. මෙ වූකලී පඤ්චප්‍රදීපදානයාගේ ප්‍රතිඵල යි.
111. චක්‍ෂුර්මත් මහාවීරයන් වහන්ස, සියලු බ්‍රහ්මචර්‍ය්‍යවාස වැස නිම වූ කෘතකෘත්‍ය වූ අනාස්‍රව වූ පඤ්චදීපා මෙහෙණ (ඔබ) පා වඳියි.
112. මෙයින් සුවහස්වන කප්හි, එකලැ යම් ප්‍රදීපදානයක් ප්‍රදානය කළමු ද, (එ හේතුයෙන්) දුර්‍ගතිය නො මැ දනිමි, මෙ වනාහි පඤ්චප්‍රදීපදානයාගේ ප්‍රතිඵල යි.
113. - 115. මා විසින් ක්ලේශයෝ දවන ලදහ ... බුද්ධශාසනය කරන ලදි.
මෙසෙයින් පඤ්චදීපිකා මෙහෙණ මේ ගාථා පැවැසූ යැ.
නවවැනි පඤ්චදීපිකා ස්ථවිරීඅපදාන යි.
1. 10 උදකදායිකාපදානය
116. බන්‍ධුමතී නගරයෙහි (පෙරැ මම්) දිය අදනා කළදැස්සක් වූමු. දිය ඇදීමෙන් ජීවත් වෙමි, එයින් දරුවනුදු පෝෂණය කෙරෙමි.
117. අනුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි මාහට දේයධර්‍මයෙක් (පුදනට නිසි දැයෙක්) නැත. (එ හෙයින්) නහන කොටුව වෙත එළැඹැ මම් දිය එළවා තැබූයෙමි.
118. එ කුශලකර්‍මයෙන් මම (උපත් විසින්) තව්තිසා දෙව්ලොවට ගියමු. එහි මා හට දිය ඇදීමේ පිනෙන් නිර්මිත වූ මොනොවට කළ විමනෙක් විය.
119. එකල්හි මම දහසක් අප්සරාවනට අග්‍ර වූමු. හැම කල්හි දස කරුණෙකින් ඒ සියල්ලන් අභිභවා සිටිමි.
120. පනසක් දෙව්රජුනට මෙහෙසිබව කරවූයෙමි. විසිසක්විති රජුනට ද මෙහෙසිබව කරවූයෙමි.
121. දෙවිබව යැ, යළි මිනිසත්බව යැ යන භවද්වයයෙහි සැරි සරමි, දුගතිය නො ම දනිමි. උදකදානයාගේ මේ විපාක යි.
122. පවු අග්හි වේවයි, රුක් අග්හි වේවයි, අහස්හි වේවයි, පොළොව්හි වේවයි යම් විටෙකැ දිය රිසියෙම් ද, (එවිටැ) මම් වහා (දිය) ලබමි.
123. වැසි නොවටනා දිශායෙක් (මට) නැත. තැවීමෙක් කැකෑරුණු බවෙක් දු නැති. මාගේ අදහස් දැන (මෙන්) මහාමේඝය වෙසෙසින් වස්නේ යි.
124. යම් විටෙකැ මම් වැසි රිසි වන්නෙම් නම් එවිටැ නෑ සමූහයා විසින් ගෙන යනු ලබන මට මහවැසි වසී.
125. මාගේ සිරුරෙහි උණුසුමෙක් වේවයි, දාහයෙක් වේවයි නැත, මාගේ කයෙහි රජස් ද නැති. මේ වූකලී උදකදනයාගේ විපාක යි.
126. අද (මම) විශුද්ධ මනස් ඇති වෙමි, පහ වැ ගිය කෙලෙස්මල ඇති වෙමි, සියලු ආස්‍රව ගෙවී ගියේ යැ, දැන් පුනර්‍භවයෙක් නැති.
127. මෙයින් එකානූවන කප්හි, එකලැ යම් පුණ්‍යකර්‍මයක් කළමු ද, (එ හේතුයෙන්) දුගතිය නො දනිමි. මේ උදකදානයාගේ විපාක යි.
128. - 130. මා විසින් ක්ලේශයෝ දවන ලදහ ... බුද්ධශාසනය කරන ලද්දේ යි.
මෙසෙයින් උදකදායිකා මෙහෙණ මේ ගාථා පැවැසූ යැ.
දසවැනි උදකදායිකා ස්ථවිරීඅපදාන යි.
එහි උද්දානය:
සුමේධා යැ, මෙඛලාදායිකා යැ, මණ්ඩපදායිකා යැ, සංකමනත්‍ථා යැ, නළමාලිකා යැ, පිණ්ඩපාතදායිකා යැ, කටච්ඡුභික්ඛාදායිකා යැ, උප්පලමාලිකා යැ,
දීපදායිකා යැ, උදකදායිකා යැ යන මොවුන් පිළිබඳ අපදාන දසය යි. මෙහි ගාථා එක්සිය තිසෙකි.
පළමුවැනි සුමේධා වර්‍ග යි.