Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 8201-8300 න් 9627

6423. ලෝකනාථ වූ සිද්ධාර්‍ත්‍ථ ලෝකනායකයන් වහන්සේ පිරිනිවි කල්හි මම් මාගේ නෑයන් කැඳවාගෙන ධාතුපූජා කෙළෙමි.
6424. මෙයින් සූ අනූවන කප්හි යම් ධාතුපූජාවක් කෙළෙම් ද, (එයින්) දුගතිය නො හඳුනමි, මෙ ධාතුපූජායෙහි විපාක යි.
6425. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.
6426. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ එකැතින් මාගේ මනා පැමිණීමෙක් විය ... බුදුවදන් කරණ ලද.
6427. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් අපරඋත්තර ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළා හ.
සත්වැනි අපරඋත්තර ස්ථවිරාවදාන යි.
558. භද්දජි ස්ථවිරාවදානය
6428. බොහෝ ඇතුන් විසින් සෙවුනා ලද යම් පොකුණකට බැසගෙන එකල්හි මම් ක්‍ෂුදා හේතුයෙන් එහි නෙළුඹල උදුරන්නෙම්ද,
6429-6430. එසමයෙහි පදුමුත්තර නමැති භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ රතුවත් (-සිවුරු) ධරණ සේක් පවුල් සිවුරු සලවමින් අහස්හි වඩනාසේක. එකලැ මම් (වඩනා එ) හඬ ඇසීමි. මම උඩු ගුවන බලනුයෙම් ලෝකනායකයන් වහන්සේ දිටිමි.
6431. එහි මැ සිටියෙම් ලෝකනායකයන් වහන්සේ අයැදීමි: “චක්‍ෂුර්මත් බුදුරජානන් වහන්සේ මට අනුකම්පා පිණිස නෙළුඹල සහිත වූ මී-කිරි-ගිතෙල්-නෙළුම්දැලි පිළිගන්නාසේක්වා”යි.
6432. ඉක්බිති මහායශස් ඇති කාරුණික වූ ශාස්තෲන් වහන්සේ (අහසින්) බැස මාගේ භික්‍ෂාව පිළිගත් සේක, චක්‍ෂුර්මත් සම්බුද්ධයන් වහන්සේ (භික්‍ෂාව) පිළිගෙණ මට අනුමෝදනා කළසේකි:
6433. “මහපිනැත්ත, (භවත්) සුව ඇත්තෙක් වේවා! තොප ගති සමෘද්ධ වේවා! මෙ නෙළුඹල දනින් (-තෙපි) මහත් සුව ලබන්නහුවා”.
6434. සම්බුද්ධ වූ පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙය වදාරා භික්‍ෂාව රැගෙණ අහසින් වැඩිසේකි.
6435. නෙළුඹල රැගෙණ එතැනින් මාගේ අසපුවට ආයෙමි, නෙළුඹල රුකෙකැ එල්වා තබා මාගේ දානය පුන පුනා සිහි කෙළෙමි.
6436. එවිට මහසුළඟෙක් නැඟි වනය සොල්වාලීයැ, අහස ද ගුගුළේ යැ, හෙණ ද පිපිරීණි.
6437. එකෙණෙහි ඒ හෙණ පහර මා මතුයෙහි හිණ, ඒ මම් එහි හුන්වනින් ම කලුරිය කෙළෙමි.
6438. පින්කමින් යුත් මම් උපත් විසින් තුෂිත දෙව්ලොවට පැමිණියෙමි, මා සිරුර හිණ, මම් දෙව්ලොව සිත් අලවා වාස කෙරෙමි.
6439. අසූසදහසක් දෙවඟනෝ මොනවට සැරසුණාහු උදය - සවස (මා) උවටැන් කරත්. නෙළුඹල දානයාගේ මේ විපාක යි.
6440. මිනිස්ගතියට අවුත් මම සැපවත් වෙමි, එ සමයෙහි මට භෝගයාගේ ඌනතායෙක් නැති. මෙ නෙළුඹල දානයාගේ විපාක යි.
6441. දෙවියන්ට දෙවි වූ අකම්ප්‍ය ගුණ ඇති එ බුදුරදුන් විසින් අනුකම්පා කරනලද වෙමි. සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ, දැන් (මට) පුනර්‍භවයෙක් නැති.
6442. මෙයින් සුවහස්වන කප්හි යම් නෙළුඹල දානයක් දිනිම් ද, දුගතියක් නො හඳුනමි. මෙ නෙළුඹල දානයාගේ විපාක යි.
6443. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... ආස්‍රව රහිත වූයෙම් වාස කෙරෙමි.
6444. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළැඹීමෙන් එකැතින් මට මනාගමනෙක් වියැ ... බුදුසසුන් කරන ලද.
6445. සිවුපිළිසිඹියාවෝ ද ... බුද්ධශාසනය කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.
අටවැනි භද්දජි ස්ථවිරාවදානය යි.
559. සීවක ස්ථවිරාවදානය
6446. පිඬු සොයා හැසිරෙන විපස්සී මහර්ෂීන්වහන්සේගේ සිස්වූ පාත්‍රය දැක මම කොමුයෙන් පිරැ වීමි.
6447. මෙයින් එක් අනූවන කප්හි යම් භික්‍ෂාවක් දිනිම් ද, (එතැන් පටන්) දුගතිය නො දනිමි, කොමු දානයෙහි මේ විපාක යි.
6448. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ පියා හැසිරෙන ඇත්රජකු සෙයින් අනාස්‍රව වූයෙම් වාස කෙරෙමි.
6449. බුදුරදුන් වෙතැ එළැඹීමෙන් මට ඒකාන්තයෙන් යහපතෙක් විය, ත්‍රිවිද්‍යා අනුපිළිවෙළින් පැමිණියා, බුදුසසුන් කරණ ලද.
6450. සිවු පිළිසිඹියා ද, මේ අෂ්ට විමෝක්‍ෂ ද, ෂඩ් අභිඥා ද සාක්‍ෂාත් කෘත යැ, බුද්ධශාසනය කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් සීවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.
නවවැනි සීවක ස්ථවිරාවදාන යි.
එහි උද්දානය:
යස යැ, නදීකස්සප යැ, ගයාකස්සප යැ, කිම්බිල වජ්ජි යන අපදාන දෙක යැ, උත්තර අපදාන දෙක යැ, භද්දජි යැ, සීවක යැ යන අපදාන නවය යි.
සපනස් වැනි යසවර්‍ග යි.
ථේරාපදාන නිමි.
[need trans]
සූත්‍රාන්තපිටකයේ ඛුද්දකනිකායෙහි
අපදාන පාළි
තෙවන භාගය
ථේරි අපදාන පාළි
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මා සම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
1. සුමේධා වර්‍ගය
1. 1 සුමේධා අපදානය
1. කෝණාගමන බුදුරජාණන් වහන්සේ අභිනවයෙන් කරවන ලද සඞ්ඝාරමයෙකැ වැඩවසන සමයෙහි යෙහෙළි වූ ධනඤ්ජානී යැ, ඛේමා යැ, මා (සුමේධා) යැ යන අපි තිදෙන ඒ බුදුරදුනට විහාරයක් කරවා දුනුම් හ.
2. (එ පිනෙන්) දසවරැ සියවරැ දහස්වරැ දසදහස්වරැ දෙවියන් කෙරෙහි උපනුම්හ. මිනිසත්බව්හි උපන්වාර කියනු කිම.
3. දෙවියන් කෙරෙහි උපන් කලැ මහත් ඍද්ධි ඇති වූම්හ. මිනිසුන් කෙරෙහි (උපන් කලැ) කවර කථා යැ. මම් සක්විති රජක්හුගේ ස්ත්‍රීරත්නය වූ මෙහෙසි වූමු.
4. ධනඤ්ජානී යැ, ඛේමා යැ, මා යැ යන අපි තිදෙන මෙලොව්හි රැස්කළ කුසල් ඇත්තමෝ මහත් ඉසුරුමත් කුලඟන වූමු.
5. සියල් අඟින් පිරිපුන් අරමක් මොනොවට කරවා බුදු පාමොක් සඟනට පවරා දී ප්‍රමුදිත වූම්හ.
6. (මම) යම් යම් තෙනෙකට උපත් විසින් යෙම් ද, එ කුසල් බෙලෙන් දෙවියන් අතරැ අගතැන් පැමිණියමු. මිනිසුන් අතරැ දු එසේ මැ යි.
7. මේ (භද්‍ර) කල්පයෙහි බ්‍රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍ර විසින් කාශ්‍යප නම් වූ දේශකයන් අතරැ ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් කෙනෙක් පහළ වූ සේක.
8. එකලැ බරණැස් පුරවරයෙහි මහර්ෂී බුදුරදුනට උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කසීරජෙක් වූයේ යැ.
9. ඒ රජුට සත් දූ කෙනෙක් වූහු. සුවසේ වැඩුණු ඒ රාජකන්‍යාවෝ බුදුවටන්හි නිරත වූහ. උහු තුමූ බඹසර සැරුහු.
10. මම් ඔවුනට සහාය වැ සිල්හි මොනොවට පිහිටියා සකසා දන් දී ගිහිගෙහි ම (රැඳී) වත් සපුරාලීමි.
11. ඒ කුශලකර්‍මහේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද මම මිනිස්කය හැරපියා (උත්පත්ති වශයෙන්) තව්තිසා දෙව්ලොවට පැමිණියෙමු.
12. මම එයින් සැවැ යාමදෙව්ලොවට ගියමු, එයින් සැවැ තුෂිතයට ගියමු, එයින් සැවැ නිර්‍මාණරතියට ද, එයින් සැවැ වශවර්තිපුරයට ද ගියමු.
13. පින්කම්හි මොනොවට පිහිටි මම් යම් යම් තෙනෙකැ උපන්මු ද, ඒ ඒ තෙනැ (දෙව්) රජුනට මෙහෙසිබව කළමු.
14. එයින් ච්‍යුත වූවා මිනිසත්බව්හි සක්විතිරජුනට ද, පෙදෙස් රජුනට ද මෙහෙසිබව කළමු.
15. (මෙසෙයින්) දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සැපත් වළඳා සියලු තන්හි සුවපත් වැ නොයෙක් ජාතිවලැ (උපත් විසින්) හැසුරුණමු.
16. (යථෝක්ත දෙව්මිනිස් සැපත් ලැබීමට) ඒ විහිර දානය හේතු වියැ, එය ප්‍රභවය වියැ, එය මුල් වියැ, එය මැ බුදුසසුන්හි නිධ්‍යාන ක්‍ෂාන්තිය වියැ, එය ප්‍රථම සමාගමය වියැ, එය දම්හි ඇලුණ සුමේධාවගේ නිර්‍වාණපදප්‍රාප්තිය වී.
17. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳ සරණ ඇත්රැජිනක සෙයින් ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.
18. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ හමියෙහි මට ඒකාන්තයෙන් යහපතක් වූයේ යැ. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්ත (පිළිවෙළින් පැමිණි) යහ. බුදුසසුන් කොට නිමවන ලදි.
19. මේ සිව්පිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද පසක් කරන ලදහ. බුදුසසුන් කොට නිමවන ලදි.
මෙසෙයින් සුමේධා භික්‍ෂුණී තොමෝ මේ ගාථා පැවැසූ යැ.
පළමුවැනි සුමේධා ස්ථවිරි අපදාන යි.
1. 2 මෙඛලාදායිකා අපදානය
20. සිද්ධාර්‍ත්‍ථ භගවත්හට ස්තූප කරන්නෝ වූහ. ශාස්තෘහු පිණිස (කරනු ලබන) නවකම් සඳහා මා විසින් මේඛලාවක් දෙන ලදි.
21. මහසෑ (නවහම්) නිමි කල්හි දු මම් යළි මෙවුලක් දුනුමු. ලෝකනාථ වූ මුනිඳුන්හට සියදිවියෙන් (දිව් හිම් කොට) ප්‍රසන්න වූවා වෙමි.
22. මෙයින් සූඅනුවන කප්හි, එකලැ යම් මෙවුලක් දුන්නෙම් ද, (එ හේතුයෙන්) දුගතිය නො මැ දනිමි. මෙ වූකලී සෑයක් කරවීමේ විපාක යි.
23. මා විසින් කෙලෙස්හු දවන ලද … අනාස්‍රව වැ වෙසෙමි.
24. මාහට එකැතින් යහපතෙක් වියැ ... බුදුසසුන් කරන ලද.
25. සිව්පිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලදි.
මෙසෙයින් මෙඛලාදායිකා භික්‍ෂුණී මේ ගාථා ප්‍රකාශ කළායැ.
දෙවැනි මෙඛලාදායිකා ස්ථවිරීඅපදාන යි.
1. 3 මණ්ඩපදායිකා අපදානය
26. කෝණාගමන බුදුරදුන්හට මා විසින් මණ්ඩපයක් කරවන ලදි. ලෝකබන්‍ධු වූ භාග්‍යවතුන්හට නිරන්තරයෙන් සිවුරු ද දුන්මු.
27. යම් යම් දනව්වකට යන්නෙම් ද, නියම්ගම්-රජදහනකට යන්නෙම් ද එ හැමතන්හි පුදනලද වෙමි. මේ වූකලි පින්කම්හි ඵල යි.
28. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.
29. ඒකාන්තයෙන් මා හට ස්‍වාගතයෙක් වී යැ ... බුදුසසුන් කරන ලද.
30. සිවු පිළිසිඹියාවෝ ද ... බුදුසසුන් කරන ලදි.
මෙසේ මණ්ඩපදායිකා භික්‍ෂුණී තොමෝ මේ ගාථා ප්‍රකාශ කළා යැ.
තෙවැනි මණ්ඩපදායිකා ස්ථවිරීඅපදාන යි.
1. 4 සඞ්කමනත්‍ථ අපදානය
31. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදී (අකම්ප්‍ය) ගුණයුක්ත, ප්‍රාණීන් (සසරකතරින්) එතෙරැ කරවන විදර්ශී භාග්‍යවතුන් වහන්සේ වීථියට පිළිපන්නවුන් හමියෙහි ...
32. මම් ගෙන් නික්මැ යටිහුරු වැ වැඳ වැටුණමු. ලෝකනාථයන් වහන්සේ අනුකම්පා කරන සේක් මාගේ ශීර්‍ෂාන්ත (කෙහෙ) ඇක්මැවූ සේක.
33. (මා) හිස ඇක්මැ ලෝකස්වාමි වූ බුදුරජාණන් වහන්සේ වැඩිසේකි. මම් ඒ චිත්ත ප්‍රසාදහේතුයෙන් උත්පත්ති වශයෙන් තුෂිත දෙව්ලොවට (උපත් විසින්) පැමිණියමු.
34. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.
35. ඒකාන්තයෙන් මට ස්‍වාගතයෙක් වියැ ... බුදුසසුන් දරන ලද යැ.
36. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලද්දේ යි.
මෙසේ සඞ්කමනත්‍ථ භික්‍ෂුණී මේ ගාථා ප්‍රකාශ කළා යැ.
සිවුවැනි සඞ්කමනත්‍ථා ස්ථවිරීඅපදාන යි.
1. 5 නළමාලිකා අපදානය
37. එක්කලෙක මම චන්‍ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරියක් වූමු. ස්‍වයම්භූ වූ අපරාජිත වූ විරජ වූ (සිද්ධාර්‍ත්‍ථ) බුදුරදුන් දුටුමු.
38. පහන් සිතැති (එහෙයින් මැ) සොම්නස් වූ උපන් ප්‍රීති ඇති මම් බදැඳිලි වැ නළමාලාවක් (හුණ මල්දමක්) ගෙණ (එයින්) සම්බුදුරදුන් ගරුබුහුමනින් යුතු වැ පිදුමු.
39. එ කුශලකර්‍මහේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද කිඳුරු සිරුර හැරපියා (උපත් විසින්) දේවගතියට ගියමු.
40. (එහි) සතිසක් දෙව්රජුනට මෙහෙසිබව කරවූයෙමි. (පසුව) දස සක්විති රජුනට ද මෙහෙසි වූමු. (මෙ අත්බව්හි) මා සිත සංවේගයට පමුණුවා බුදුසසුන්හි පැවැදි වූවා වෙමි.
41. මෙයින් සූඅනුවනකප්හි යම් පුෂ්ප පූජාවක් කරන ලද ද, (එ පිනෙන්) දුගතිය නො මැ දනිමි, මේ පුෂ්පපූජායෙහි විපාක යි.