Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 8101-8200 න් 9627

6341. පෙරවරු කල්හි බුදුරජානන් වහන්සේ මාගේ භවනයට වඩිනසේක් යයි පිරිවරජනයා ඇමතීමි. එකල්හි සියල්ලෝ රැස්වූහ.
6342. ‘යම් හෙයකින් ඔබ සමීපයෙහි වෙසෙමු ද එ අපට මනා ලැබීමකි. යහපත් ලාභයෙකි. අපිදු ශාස්තෘ වූ බුදුරජුන්හට පූජාවක් කරන්නෙමු’යි ඔහු කීහු.
6343. මම ආහාර පාන පිළියෙල කොට තබා කාලය දැන්විමි. ලෝකනායක වූ බුදුරජතෙමේ රහතුන් සියක්දහසක් සමග වැඩියේ ය.
6344. මම පසඟතුරු සහිත ව පෙරගමන් කෙළෙමි. පුරුෂෝත්තම වූ බුදුරජතෙමේ ගනරන්මුවා පළඟෙහි වැඩහුන්නේ ය.
6345. එකල්හි සියල්ල රුවන්මුවා වූ උඩුවියනක් විය. උතුම් බික් සඟනට විජිනීහු පවන් සලත්.
6346. මම බොහෝ ආහාරපානයෙන් බික්සඟන සැතැප්වීමි. වෙන වෙන මැ දුහුල් සඟළ බැගින් බික්සඟනට දිනිමි.
6347. සුමේධ යයි යම් කෙනෙකුන් ගෙණ කියත් ද ආහුනෙය (-පූජා) පිළිගන්නා ඒ බුදුහු බික්සඟන මැද වැඩහිඳ මේ ගාථා වදාළහ:
6348. “යමෙක් ආහාරපානයෙන් මා හා මේ සියල්ලන් (භික්‍ෂූන්) හා සැතැප්වී ද, ඔහු කීර්‍තන කෙරෙමි (-කියමි). එසේ කියන මා බස් අසවු.
6349. මෙ අටළොස්කප්සියයක් මුළුල්ලෙහි දෙව්ලොව ඉඳුරන් පිනවන්නේ ය, දහසක් වර සක්විතිරජ වන්නේ ය.
6350. උපත් විසින් දෙවිබව ය යළි මිනිස්බව ය යන යම් ගතියකට එළැඹෙන්නේ ද, ඔහට සියල්ල රන්මුවා වූ සෙවෙනියක් ධරන්නේ ය.
6351. තිස්දහස් වන කප්හි ඔකාවස් කුලැ උපත් ඇති වැ නමින් ගෞතම නම් ශාස්තෘහු ලොවැ පහළ වන්නාහ.
6352. (මෙ) ඔබ දහමට දායාද (-හිමි) වූ ධර්‍මයෙන් නිර්මිත වූ ඖරස ශ්‍රාවකයෙක් වැ සියලු ආස්‍රවයන් (පහානපරිඤ්ඤා විසින්) පිරිසිඳ දැනැ ආස්‍රව රහිත වැ (ස්කන්‍ධ පරිනිර්‍වාණයෙන්) පිරිනිවෙන්නේ ය.
6353. (පිරිනිවීමට පෙර) බික්සඟන මැද හිඳ අභීතනාද කරන්නේ ය, (පිරිනිවීමෙන් පසු සැදැහැ ඇත්තෝ) චිතකයෙහි ඡත්‍රයක් ධරන්නාහ. (හෙ) ඡත්‍රය යට දැවෙන්නේ යි”.
6354. මට ශ්‍රාමණ්‍ය (-රහත් ඵල)ය පිළිවෙළින් පැමිණියේ ය, මා විසින් කෙලෙස් දවනලද, මණ්ඩපයෙහි හෝ රුක්මුලැ හෝ මට සන්ත්‍රාසයෙක් නැති.
6355. එකලැ තිස්දහස්වනකප්හි යම් දනක් දිනිම් ද, (එ පිනෙන්) දුගතිය නො දනිමි. මෙ වූකලි සියල්ල දීමේ විපාකයි.
6356. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳ හැසිරෙන ඇත්රජකු සෙයින් ආස්‍රව රහිතවූයෙම් වාස කෙරෙමි.
6357. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙතැ මාගේ එළැඹීම එකැතින් මනා වියැ, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ, බුදුසසුන් කරණ ලද.
6358. සිවු පිළිසිඹියා ද, මෙ අෂ්ටවිමෝක්‍ෂ ද, ෂඩ් අභිඥා ද සාක්‍ෂාත්කෘත යැ, බුදුසසුන් කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් යස ස්ථවිරයන්වහන්සේ මේ ගාථා වදාළාහ.
පළමුවැනි යසස්ථවිරාවදාන යි.
552. නදීකාශ්‍යප ස්ථවිරාවදානය
6359. ලොවට දෙටු වූ තාදී (-අටලෝ දහමින් නො සැලෙන) ගුණ ඇති පිණ්ඩචර්‍ය්‍යායෙහි හැසිරෙන ශාස්තෘ වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේට, මම උතුම් වූ අග්‍රඵලයක් රැගෙණ එළැඹි වාරයෙහි දිනිමි.
6360. ඒ කුශලධර්‍මයෙන් ලෝකජ්‍යේෂ්ඨ වූ නරෝත්තම වූ දේවේන්‍ද්‍ර වීමි, ජයපරාජය හැරපියා අචලස්ථානයට පැමිණියෙම් වෙමි.
6361. මෙයින් සුවහස් වන කප්හි යම් ඵලයක් (පියුමතුරා බුදුනට) දිනිම් ද දුගතිය නො හඳුනමි. මේ අග්‍රදානයාගේ ඵලයි.
6362. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳපියා සරණ ඇත්රජකු සෙයින් ආස්‍රව රහිත වූයෙම් වාස කෙරෙමි.
6363. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ එළැඹීම මට එකැතින් යහපත් වියැ, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්තවූවා, බුදුසසුන් කරණ ලද.
6364. සිවුපිළිසිඹියා ද, මේ අෂ්ටවිමෝක්‍ෂ ද, ෂඩ් අභිඥා ද, පසක් කරන ලද, බුදුසසුන් කරන ලදී.
මෙසේ ආයුෂ්මත් නදීකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.
දෙවැනි නදීකාශ්‍යපස්ථවිරාවදාන යි.
553. ගයාකාශ්‍යප ස්ථවිරාවදානය
6365. අඳුන්දිවිසම් වස්ත්‍ර කොට ඇති, පිරිකර කද දරන මම කද උසුලා ගෙන අසපුවට ඩෙබරපල ගෙණ ආයෙමි.
6366. එ සමයෙහි හැමකල්හි ලොව බබුළුවන ජිනේන්‍ද්‍ර වූ භාග්‍යවතුන්වහන්සේ එකලා වූසේක් දෙවැන්නකු නැති වැ මාගේ අසපුවට එළැඹිසේක.
6367. මම සිය සිත පහදවා ගෙණ මනාව්‍රත ඇති ඔබ වැඳ ඩෙබරපල දෙඅතින් ගෙණ බුදුරදුනට දිනිමි.
6368. එකලැ එනම් මෙයින් එක්තිස්වන කප්හි යම් ඵලයක් බුදුනට දිනිම් ද, දුගතිය නො හඳුනමි. මේ ඩෙබරපල දානයාගේ විපාක යි.
6369. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ උපුටාහරණ ලදහ, බැඳුම් සිඳ සරණ ඇත්රජකු සෙයින් ආස්‍රව නැතියෙම් වාස කෙරෙමි.
6370. මාහට, බුද්ධශ්‍රේෂ්ඨයන්වහන්සේ වෙතැ ඒකාන්තයෙන් මනා එළැඹීමෙක් විය, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ, බුදුසසුන් කරණ ලද.
6371. සිවුපිළිසිඹියා ද, මේ අෂ්ටවිමෝක්‍ෂ ද, ෂඩ්අභිඥා ද, සාක්‍ෂාත්කෘත යැ, බුදුසසුන් කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් ගයාකාශ්‍යප ස්ථවිරයන්වහන්සේ මේ ගාථා වදාළාහ.
තෙවැනි ගයාකාශ්‍යප ස්ථවිරාවදාන යි.
554. කිම්බිල ස්ථවිරාවදානය
6372. විසූ බඹසර ඇති බාහිතපාපී වූ කකුසඳ බුදුරදුන් පිරිනිවි කල්හි (ඔබ උදෙසා) මම හොරදඬුයෙන් මණ්ඩපමාලයක් කරවීමි.
6373. (මිනිස් බැවින් සැවැ) තව්තිසා දෙව්ලොවට (උපත් විසින්) ගියෙම් උතුම් පහයක් ලදිමි. සෙසු දෙවියන් ඉක්මැ බබළමි, පින්කම්හි මේ විපාක යි.
6374. දාවලෙහි හෝ ඉදින් රෑහි හෝ මම් සක්මන් කරනුයෙම් ද, සිටියෙම් ද සලලපුෂ්පයෙන් වැසුණේ වෙමි. මෙ වූකලි පින්කම්හි ඵල යි.
6375. මෙ කප්හි මැ යම් බුදුකෙනෙකුන් පිදුයෙම් ද, දුගතිය නො හඳුනමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
6376. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ හැසිරෙන ඇත්රජෙකු සෙයින් ආස්‍රව නැතියෙම් වෙසෙමි.
6377. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ එකැතින් මාගේ මනා එළැඹීමෙක් වියැ, ත්‍රිවිද්‍යාවෝ පිළිවෙළින් එළැඹියහ, බුදුසසුන් කරණ ලද.
6378. සිවුපිළිසිඹියා ද, මේ අෂ්ටවිමෝක්‍ෂ ද, ෂඩ්අභිඥා ද, සාක්‍ෂාත්කෘත යැ, බුදුවදන් කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.
සතරවැනි කිම්බිලස්ථවිරාවදාන යි.
555. වජ්ජිපුත්ත ස්ථවිරාවදානය
6379. ස්වයම්භූ වූ අපරාජිත වූ සහස්‍රරශ්මි වූ (සිද්ධාර්‍ත්‍ථ) භාග්‍යවතුන් වහන්සේ විවේකයෙන් (-පලසමවතින්) නැගී සිට පිඬු පිණිස නික්මුණු සේක.
6380. අත්හි ඵල ඇති මම් නරශ්‍රේෂ්ඨයන් දැක වෙතැ ගියෙමි. (ගොස්) පහන් සිත් ඇතියෙම් සුමනස් වූයෙම් තුවටුව (-නැට්ට) සහිත ඵලයක් දිනිමි.
6381. එකල්හි එනම්, මෙයින් සූඅනූවන කප්හි යම් ඵලයක් (බුදුරදුනට) දිනිම් ද, දුගතිය නො දනිමි. මේ ඵලදානයාගේ විපාකයි.
6382. මා විසින් කෙලෙස් දවන ලද ... ආස්‍රව නැතියෙම් වෙසෙමි.
6383. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ එළැඹීම මට ඒකාන්තයෙන් ස්වාගත වියැ ... බුදුසසුන් කරණ ලද.
6384. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් වජ්ජිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.
පස්වැනි වජ්ජිපුත්ත ස්ථවිරාවදාන යි.
556. උත්තර ස්ථවිරාවදානය
6385. දෙතිස්මහපුරිස් ලකුණෙන් හෙබි භාග්‍යවත් වූ සුමේධ නම් සම්බුදුරජානන් වහන්සේ විවෙක කැමැතිසේක් හිමවතට එළැඹි සේක.
6386. අග්‍ර වූ කාරුණික වූ පුරුෂෝත්තම වූ මුනීන්‍ද්‍රයන්වහන්සේ හිමවතට පිවිස ගෙණ පළක් බැඳ වැඩහුන් සේකි.
6387. එසමයෙහි මම් අහස්හි හැසිරෙන විද්‍යාධරයෙක් වීමි, එකලැ ත්‍රිශූලයක් රැගෙණ අහසින් යමි.
6388. පවුඅග්හි ගින්නක් සෙයින්, පුන්පොහෝ දිනැ සඳ සෙයින්, සුපිපි සල්රුකක් සෙයින් බුදුහු වනය හොබවති.
6389. බුදුරැස් වනගින් නික් මැ (ඔබමොබ) දුවයි, හුණගින්නක් වන් එරැස් දැක (මම්) සිත පහදවාලීමි.
6390. (පුදනට නිස්සක්) සොයනුයෙම් දෙව්සුවඳවහන කිණිහිරිමලක් දිටිමි. මල් තුණක් (නෙලා) ගෙණ (එයින්) බුදුරදුන් පිදීමි.
6391. එවිටැ මා විසින් පිදූ ඒ මල් තුණ බුදුරදුන්ගේ ආනුභාවයෙන් උඩුහුරු තුවටු ඇති වැ යටිහුරු පත් ඇති වැ ශාස්තෘන් වහන්සේට සෙවන කෙරෙයි.
6392. මැනැවින් කළ ඒ පුණ්‍යකර්‍මයෙන් ද, චේතනාප්‍රණිධියෙන් ද මිනිස්කය හැරපියා උපත් විසින් තව්තිසා දෙව්ලොවට ගියෙමි.
6393. එහි මට මැනැවින් කරණ ලද විමනෙක් වෙයි. (එ විමන) කණිකාර නමින් දක්නා ලැබෙයි. (එ) සැටයොදුන් උස් ය. තිස් යොදුන් පුළුල් ය.
6394. දහසක් භාග ඇත්තේ ය, සියයක් ගෝලාකාර ගෙමුදුන් ඇත. ධ්වජ බහුල ය, රන්මුවා ය, මාගේ විමන්හි සියක් දහසක් ද්වාර පහළ විය.
6395. (එහි) රිසිතැනෙක රිසිතාක් රන්මුවා මිණිමුවා පියුම්රාමිණිමුවා පිළිමිණිමුවා පර්‍ය්‍යඞ්කයෝ වෙති.
6396. පුලුන් බිහි ඈ යුත් උඩුහුරු ලොම් ඇති එක්දාවලු ඇතිරි හා කන්වයින් (බිම්බොහන) යුත් මාඇඟි ශයන ද ඇති.
6397. භවනින් නික් මැ දේවචාරිකා සරනුයෙම් යම් විටෙක ගමන් රිසියෙම් ද, දේවගණයා විසින් පෙරටු කරණ ලදුයෙම්-
6398. මල් යටැ සිටිමි, මා මතුයෙහි (පුෂ්පමය) ඡදනයෙක් වෙයි, (එ) අවට සියක්යොත්නෙකැ කිණිහිරිමලින් වැසුණු ඡදනයෙකි.
6399. සැටදහසක් තූර්‍ය්‍යවාදකයෝ උදය - සවස උවටැන් කළහ, දිවාරෑ අනලස් වැ මා පිරිවරත්.
6400. එහි නැටුමෙන්, ගැයුමෙන්, තාළයෙන් හා වැයුමෙන් ඉඳුරන් පිනවමි. මම් රූපාදිකාමසම්පත් රිසියෙනුයෙම් කෙළිදෙළෙන් සතුටු වෙමි.
6401. එකල්හි එ දෙව්ලොවැ අනුභවකොට පානයකොට (කමින්-බොමින්) මුදිත වෙමි, උතුම් විමනෙහි අප්සරාගණයා සමග සතුටු වෙමි.
6402. මම් පන්සියක් වරැ දෙව්රජය කරවීමි, තුන්සියක් වරැ සක්විති රජ වීමි, මහත් වූ පෙදෙස්රජය ගණන් විසින් සඞ්ඛ්‍යා රහිත යැ.
6403. කුදුමහත් බෙවෙහි හැසිරෙන මම් මහත් භොග ලබමි, මාගේ භෝගසම්පත්හි උනුබවෙක් නැති. මෙ වූකලී බුද්ධපූජායෙහි විපාක යි.
6404. දෙව්බව යැ යළි මිනිස්බව යැ යන දෙඅත්බව්හි හැසිරෙමි, අන්ගතියක් (-අත්බවක්) නො දනිමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
6405. කැත්කුලය, බමුණුකුලය යන දෙකුලෙහි උපදිමි. පහත් කුල නො දනිමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
6406. ඇත්යාන, අස්යාන, සිවිකා හා රිය හා යන තෙල සියල්ල ලබමි. මෙ වනාහි බුද්ධපූජායෙහි විපාක යි.
6407. දැස්ගණයා, දස්ගණයා හා මොනොවට සරහන ලද ඉතිරි ගණයා යන තෙල සියල්ල ලබමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
6408. තිහිරිපිළී යැ, ලොමුපිළී යැ, කොමුපිළී යැ, කපුපිළී යැ යන තෙල සියල්ල ලබමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
6409. නවවත් යැ, නවඵල යැ, සුමිහිරි නවබොජුන් යැ යන තෙල සියල්ල ලබමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
6410. මෙය කව, මෙය අනුභව කර, මෙ යහන්හි සයනය කර යන තෙල සියල්ල ලබමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
6411. හැමතන්හි පුදන ලද වෙමි, මාගේ යශස් ඉතා උස් වැ පැන නැගිණ, හැම කල්හි මහ පිරිස් ඇතියෙම් වෙමි, හැම කල්හි නො බිඳියැ හැකි පිරිස් ඇත්තෙම් ද වෙමි, නෑයනට උතුම් වෙමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
6412. සිහිල උණුසුම නො දනිමි, දහයෙක් නැත, යළි චෛතසික දුඃඛයෙක් මා ළෙහි කැල මැ නැති.
6413. රන්වන් වැ කුදු-මහත් බෙවෙහි සරමි, විවර්‍ණ බවක් නො දනිමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
6414. දෙව්ලොවින් සැවැ කුශලමූලයෙන් චෝදනා කරණ ලදුයෙම් සැවැත් නුවරැ මහාසාරකුලයන් අතර ආඪ්‍ය කුලයෙකැ උපන්මි.
6415. පස්කම්ගුණ හැරපියා (බුදු) සසුන්හි පැවිදි වීමි, උපතින් සත් හැවිරිදි වූ මම් රහත්බවට පැමිණියෙමි.
6416. පසැස් ඇති බුදුහු ගුණ දැන (මා) උපසපන් කළහ, තරුණ වූ මම් පූජාර්‍හ වීමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
6417. මට දිවැස විශුද්ධ විය, මම සමාධියෙහි දක්‍ෂයෙමි, අභිඤ්ඤාපාරයට පැමිණියෙමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
6418. (සිවු) පිළිසිඹියාවනට පිළිවෙළින් පැමිණියෙම් වෙමි, ඍද්ධිපාදයන්හි දක්‍ෂ වෙමි, ලොව්තුරු දහම්හි පාරයට පැමිණියෙමි. මෙ බුද්ධ පූජායෙහි විපාක යි.
6419. යම්හෙයෙකින් තිස්දහස්වන කප්හි බුදුරදුන් පිදුයෙම් ද, (එහෙයින්) දුගතිය නො හඳුනමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
6420. කෙලෙස්හු මා විසින් දවන ලදහ, ... අනාස්‍රව වැ වාස කෙරෙමි.
6421. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙතැ එළැඹීමෙන් මට ඒකාන්තයෙන් යහපතෙක් විය ... බුදුසසුන් කරණ ලද.
6422. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් උත්තර තෙරණුවෝ මේ ගාථා වදාළාහ.
සවැනි උත්තරස්ථවිරාවදාන යි.
557. අපරඋත්තර ස්ථවිරාවදානය