Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 8001-8100 න් 9627

6248. එකල්හි මම ද (මාගේ සහාය වූ) චන්‍දන තෙමේ ද සසුනෙහි පැවිදි ව ජීවිතාන්තය දක්වා සස්නෙහි පිළිවෙත්දම් පුරා-
6249. අපි දෙදෙන ම ඉන් සැව සන්තුෂීතයෙහි උපන්නමෝ එහි දිව්‍යමය වූ නෘත්‍ය ගීතවාදිතයෙන් ද,
6250. රූපාදි දශවිධ අඞ්ගයෙන් ද සෙස්සන් අභිභවනය කොට මහත් සම්පත් අනුභව කොට දිවි ඇති තාක් වැස,
6251. ඉන් සැව චන්‍දන තෙමේ තිදස්පුර දෙවියෙක් ව උපන්නේ ය. මම කපිලවාස්තු නගරයෙහි ශාක්‍යපුත්‍රයෙක් වීමි.
6252. යම් කලෙක්හි උදායි ස්ථවිරයන් විසින් අයදනාලද බුදුරජ තෙම ශාක්‍යයන්හට අනුකම්පා කොට කපිලවාස්තු නගරයට වැඩියේ ද,
6253. එකල්හි බුදුරජුන්ගේ ගුණ නො දන්නා අතිශය මානවත් වූ ජාතිමානයෙන් තද වූ, ආදර විරහිත වූ ශාක්‍යයෝ සම්බුදුරජුන්හට නො වඳිත්.
6254. ඔවුන්ගේ අදහස දැනගත් බුදුරජතෙම අහසෙහි සක්මන් කළේය. මේඝය සෙයින් වැස්විය. ගින්න සෙයින් දිලිසුනේ ය.
6255. අසමාන වූ (උන්වහන්සේගේ) රූපය දක්වා නැවත අතුරුදහන් විය. (පළමුවෙන්) එකෙක් ව (පෙනී) නැවත බොහෝ දෙනා (ලෙස පෙනෙන්නට) විය.
6256. අඳුර ද එළිය ද නොයෙක් අයුරින් දක්වා ප්‍රාතිහාර්‍ය්‍ය කොට බුදුරජ තෙම ඥාතීන් හික්ම වි ය.
6257. එකෙණෙහි චාතුද්දීපික මහාමේඝයෙක් වර්‍ෂණය කළේය. එකල්හි බුදුරජ තෙම වෙස්සන්තරජාතකය දෙසී ය.
6258. එකල්හි ඒ සියලු ක්‍ෂත්‍රියයෝ ජාතිමානයෙන් හටගත් මදය නැතිකොට බුදුරජුන් සරණ ගියාහු ය. එකල්හි සුද්ධෝදන රජතෙම මෙසේ කීය:
6259. මහත් ප්‍රඥා ඇති බැවින් භූරිපඤ්ඤ නම් වූ (සර්‍වඥතාඥානයෙන් යුත් බැවින්) සමන්තචක්ඛු නම් වූ බුදුරජානන් වහන්ස, ඔබ වහන්සේගේ සිරිපා වඳිමි. මේ තෙවන වැඳුම යි. යම් කලෙක්හි විශිෂ්ට ජන්ම ඇත්තේ පෘථිවිය කම්පා කළේ ද, (ඒ අසිත තවුස් හමුවෙහි දී මාගේ පළමු වැඳුම වීය. (එසේ ම) යම් කලෙක්හි වප්මගුලැ පළමු සමවතින් පළක් බැඳ හුන් ඔබ දඹරුක්සෙවන නො හැරී ද, එහිදී මාගේ දෙවෙනි වැඳුම විය.
6260. එකල්හි ඒ බුද්ධානුභාවය දැක විස්මය පත් සිත් ඇත්තේ මව පුදන්නා වූ මම පැවිදිව එහි (ගෙහි) ම විසීමි.
6261. එකල්හි චන්‍දන දිව්‍යපුත්‍ර තෙමේ මා වෙත එළඹ භද්දේකරත්ත සූත්‍රය පිළිබඳ සංක්‍ෂිප්ත ක්‍රමය හා විස්තාර ක්‍රමය විචාළේ ය.
6262. එකල්හි ඒ දිව්‍යපුත්‍රයා විසින් මෙහෙයන ලද මම බුදුරජුන් වෙත එළඹ භද්දේකරත්ත සූත්‍රය අසා කලකිරුනේ වනයෙහි විසීමට කැමැති වීමි.
6263. එකල්හි හුදෙකලාව වනයෙහි වසන්නෙමැයි මවගෙන් (කැමැත්ත) විචාළෙමි. මාගේ මවුතොමෝ (මා) සිව්මැලිය යි එය වැළකුවා ය. එකල්හි (මම මවට) මෙසේ කීමි:
6264. හිඳීම් සිටීම් සක්මන් කිරීම් යන ත්‍රිවිධ ඉරියව්වෙන් භාවනා වඩමින් දබ්භ නම් වූ කුසතණ ද, වැළුක් හෙවත් කාශ නම් තෘණ ද, සැවැන්න ද, මුදුතණ හා බබුස්තණ ද ලයින් ඉවත් කරන්නෙමි (ඒ මත නො හෝනේ) වෙමි යි කියා යි.
6265. එකල්හි වනයට පිවිසි මම බුද්ධානුශාසනය වූ භද්දේකරත්ත අවවාදය සිහිකොට රහත්බවට පැමිණියෙමි.
6266. අතීත වූ පස්කඳ ගැන (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සිතමින්) ඒ අනුව නො යන්නේ ය. අනාගත වූ පස්කඳ (තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් සිතමින්) නො පතන්නේ ය. යම් අතීතයක් වූයේ නම් එය ගෙවී ගියේ ය. යම් අනාගතයක් වන්නේ නම් එය නො පැමිණියේ ය.
6267. යමෙක් තෙම වර්‍තමාන වූ (පඤ්චස්කන්‍ධ) ධර්‍මයන් පිළිබඳව සිතට ඇතිවන අදහස් ඒ ඒ තන්හි දී ම (අනිත්‍යාදි වශයෙන්) විදසුන් නුවණින් දකී ද, එබඳු නුවණැත්තේ (රාගාදියෙන්) නො හැකුළුණු කොට (එසේ ම රාගාදියෙන්) නො නැසුණු කොට ඒ විදර්‍ශනාව භාවනා වශයෙන් වඩන්නේ ය.
6268. අද අද ම වීර්‍ය්‍යය කළ යුතු ය. මරණය හෙටදැයි කවරෙක් දන්නේ ද? (ගිනි විස අවි ආදී මරණයට කරුණු වන නොයෙක් හේතු නමැති) මහසෙනග ඇති මරණය හෙවත් මාරයා සමග (මිත්‍ර සන්‍ථව වශයෙන් හෝ අල්ලස් දීම් වශයෙන් හෝ බලයෙන් මැඩලීම් වශයෙන් හෝ) අපගේ ගිවිසුමෙක් නැත.
6269. මෙසේ වසන්නා වූ, වීර්‍ය්‍යවත් වූ, දිව රෑ දෙක්හි අනලස් වූ හේ ඒකාන්තයෙන් භද්දේකරත්ත ය යි ශාන්ත වූ බුදුරජ තෙම වදාරයි.
6270. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
6271. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
6272. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් ලොමකසඞ්ගිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ලොමකසඞ්ගිය ස්ථවිරාවදානය අටවැනියි.
549. වනවච්ඡ ස්ථවිරාවදානය
6273. මෙම භද්‍රකල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහි වූ මහත් යශස් ඇති වූ නමින් කාශ්‍යප නම් වූ බුදුරජ තෙම ලොව පහළවිය.
6274. එකල්හි මම ඒ බුදුරජුන්ගේ සසුනෙහි පැවිදිව දිවි ඇතිතාක් බඹසර හැසිර ඉන් සැව-
6275. මැනවින් කරණ ලද ඒ කර්‍මය හේතුකොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
6276-6277. එයින් ච්‍යුත වූයෙම් මම අරණෙහි පරවියෙක් වීමි. හැමකල්හි ධ්‍යානයෙහි ඇලුනා වූ (අභිඥා) ගුණයන්ගෙන් යුක්ත වූ මෙත් සිත් ඇති, කාරුණික වූ, නිතරම පුබුදු වූ මුහුණු ඇති, උපේක්‍ෂාවෙන් යුක්ත වූ, මහත් වීර්‍ය්‍ය ඇති, (මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා සඞ්ඛ්‍යාත) අප්‍රාමාණ්‍යාලම්බනයන්හි දක්‍ෂ වූ, භික්‍ෂුනමක් ඒ වනයෙහි වසයි.
6278. කෙලෙසුන්ගෙන් නො ඇවුරුණු සිත් ඇති සව්සත්නට හිත වූ අදහස් ඇති, ඒ බුද්ධශ්‍රාවකයන් වහන්සේ කෙරෙහි නොබෝ කලකින් ම විශ්වාසී වූයෙම් වෙමි.
6279. එකල්හි එ තවුස් තෙම වෙත එළඹ පාමුල හුන් මට කිසි දිනක ආමිසය (අහර) දෙයි. කිසි දිනක දහම් දෙසයි.
6280. එකල්හි මහත් වූ ප්‍රේමයෙන් ඒ බුද්ධශ්‍රාවකයන් ඇසුරු කොට එයින් චුත වූයෙම් විප්‍රවාසයෙන් (රටින් බැහැර ගොස් සිට) සිය ගෙට යන්නකු මෙන් ස්වර්‍ගයට ගියෙම් වෙමි.
6281. ස්වර්‍ගයෙන් ච්‍යුතව පුණ්‍යකර්‍ම බලයෙන් මිනිසත් බැව්හි උපන්නා වූ මම ගිහිගෙය හැර වහා පැවිදි වීමි.
6282. එසේ ම මම අනේසියක් වර ශ්‍රමණයෙක් ද තාපසයෙක් ද, බ්‍රාහ්මණයෙක් ද, පරිව්‍රාජකයෙක් ද වී අරණෙහි විසීමි.
6283. දැන් මේ අන්තිම ජාතියෙහි, රම්‍ය වූ කපිලවාස්තු නගරයෙහි වච්ඡගොත්ත නම් බ්‍රාහ්මණයෙක් විය. මම ඔහුගේ භාර්‍ය්‍යාවගේ කුසෙහි පිළිසිඳ ගතිමි.
6284. මව්කුසෙහි පිළිසිඳගත් කල්හි මාගේ මව ප්‍රසූතිය ලංවත් ම වනයෙහි විසීමේ තීරණය වූ දොළ ඇත්තී වූ ය.
6285. ඉක්බිති මාගේ මව් තොමෝ සිත්කලු වනයෙහි දී මා ප්‍රසූත කළා ය. මව්කුසින් නික්මෙන්නා වූ මා කසාවතකින් පිළිගත්හ.
6286. ඉක්බිති ශාක්‍යවංශයට ධජයක් වැනි වූ සිදුහත් කුමර තෙමේ උපන්නේ ය. මම ඔහුගේ ඉතා විශ්වාස වූ අතිශයින් බුහුමන් කරණ ප්‍රියමිත්‍රයා වීමි.
6287. මහත් වූ සම්පත් හැර දමා බෝසතුන් ගිහිගෙන් නික්මුනු කල්හි මම ද පැවිදිව හිමවතට එළඹියෙමි.
6288. වනවාසී වූ ගරුකටයුතු වූ ධුතවාදී වූ (මහ) කසුප් තෙරුන් දැක බුද්ධෝත්පාදය ගැණ අසා තථාගතයන් වහන්සේ වෙත එළඹියෙමි.
6289. ඒ සර්‍වඥ තෙම සියලු අර්‍ත්‍ථයන් ප්‍රකට කරමින් මට දහම් දෙසී ය. ඉක්බිති මම පැවිදිව යලි වනයට ම ගියෙමි.
6290. නො පමා වූයෙම් එහි වෙසෙමින් ෂඩභිඥාවන් ලැබීමි. කලණ මිතුරු (මහකසුප්) තෙරුන් විසින් අනුකම්පා කරණලදූයෙම් උත්තමලාභය ලදුයෙම් වෙමි. ආශ්චර්‍ය්‍යයෙකි.
6291. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
6292. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
6293. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් වනවච්ඡ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වනවච්ඡස්ථවිරාවදානය නව වැනියි.
550. චූළසුගන්‍ධ ස්ථවිරාවදානය
6294-6297. මෙම භද්‍රකල්පයෙහි බ්‍රාහ්මණවංශයෙහි වූ, මහත් යශස් ඇති, වාදීන්හට අග්‍රවූ දෙතිස් මහපුරිස් ලකුණු ඇති, අසූවක් අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්ත වූ, බ්‍යාමප්‍රභායෙන් පරිවෘත රැස්සමූහයෙන් ගැවසී ගත්තා වූ, සඳු මෙන් (ලෝවැස්සන්) අස්වසන්නා වූ හිරු මෙන් පැහැ විහිදෙන්නා වූ වැහිවළාවක් මෙන් (සත්ත්‍වයන්ගේ ගිමන්) නිවන්නා වූ, සයුර මෙන් ගුණයට ආකරයක් වූ ශීලයෙන් මහපොළොව වැනි වූ, සමාධියෙන් හිමවත්පව් වැනි වූ ප්‍රඥාවෙන් අහස වැනි වූ සුළඟ මෙන් නො ඇලෙන්නා වූ, නමින් කාශ්‍යප නම් වූ බුදුරජ තෙම ලොව පහළ විය.
6298. එකල්හි මම බරණැස් නුවර සමෘද්ධ වූ ධන ධාන්‍ය ඇති විවිධ රත්න සමූහ ඇති මහාකුලයක උපනිමි.
6299. මහත් වූ පිරිවර සහිතව වැඩහුන්නා වූ බුදුරජුන් වෙත එළඹ අමෘතය මෙන් මනෝඥ වූ ධර්‍මය ඇසීමි.
6300. තාරකා සහිත වූ සඳු මෙන් දෙතිස් මහ පුරිස්ලකුණු දරන්නා වූ, අසූඅනුව්‍යඤ්ජනයන් ගෙන් යුක්ත වූ, පිපුනු සල්රුකක් බඳු වූ-
6301. රැස් සමූහයෙන් වට කරණලද දීප්තිමත් ස්වර්‍ණපර්‍වතයක් වැනි වූ, බ්‍යාමප්‍රභා රශ්මියෙන් පරිවෘත සරා හිරු වැනි වූ-
6302. රන්වන් වතැති, මණි පර්‍වතයක් බඳු, (පස්මරුන් දිනූ බැවින්) ජිනවර වූ, පූර්‍ණහෘදයක් ඇත්තා වූ, ගුණයෙන් සයුර වැනි වූ-
6303. ලෝකයෙහි ප්‍රකට කීර්‍තති ඇත්තා වූ, සිනේරු පර්‍වතරාජයා වැනි වූ, යසසින් පතළා වූ, වීර වූ, ආකාශය සදෘශ වූ, (මෝනෙය්‍ය ගුණ යුක්ත බැවින්) මුනි වූ-
6304. වාතය මෙන් සියලු තන්හි නො ඇලෙන සිත් ඇති, (නිවන් මගට පමුණුවන බැවින්) නායක වූ, මහපොළොව මෙන් සව්සත්නට පිහිට වූ සත්තම මුනි-
6305. ජලයෙන් නො තැවරුන පියුම මෙන් ලෝකය හා නො තැවරුනා වූ, මිථ්‍යාවාද නමැති පැළෑටි දවන ගිනිකඳක් මෙන් (ඒ කසුප් බුදුරජතෙම) බබලයි.
6306. ඒ බුදුරජ තෙම සියලු තන්හි කෙලෙස් විස නසන්නා වූ බෙහෙදක් මෙනි. ගුණ සුවඳින් සරසන ලද්දා වූ ගන්‍ධමාදන පර්‍වතය මෙනි.
6307. ඒ වීර වූ බුදුරජතෙම රත්නයනට සයුර මෙන් ගුණයනට ආකරයකි. වනරාජින්ගේ (කසළ සෝදා හරණා වූ) සින්‍ධුනදිය මෙන් කෙලෙස්මල හරණේ වෙයි.
6308. සතුරන් දිනන සුලු මහායෝධයකු මෙන් මරසෙනග මඩනේ වෙයි. එසේ ම ඒ බුදුරජතෙම (සත්රුවනට ඉසුරු වූ) සක්විති රජකු මෙන් බෝධ්‍යඞ්ග නමැති රත්නයනට අධිපතියෙකි.
6309. (ක්ලේශ) දෝෂ නමැති ව්‍යාධියට පිළියම් කරන්නා වූ මහාවෛද්‍යවරයකු මෙනි. (මිථ්‍යා) දෘෂ්ටි නමැති ගඩය සිඳුනා වූ ශ්‍රේෂ්ඨ ශල්‍යවෛද්‍යවරයකු වැනිය.
6310. එකල්හි දෙවිමිනිසුන් ගරු කරණ ලද ලොව බබුළුවන්නා වූ මිනිස්නට හිරු වූ ඒ බුදුරජතෙම පිරිස්මැද දහම් දෙසයි.
6311. “දන් දී මහත් භෝග සම්පත් ඇත්තෙක් වන්නේ ය. සීලය හේතු කොට ගෙණ සුගතියට (උත්පත්ති වශයෙන්) යන්නෙක් වන්නේය. භාවනා වෙන් (කෙලෙස්පිරිනිවනින්) පිරිනිවන්පානේය”යි මෙසේ අනුශාසනාකෙළේ ය.
6312. මහත් ආස්වාද ජනක වූ හෙවත් රසවත් වූ, ආදි මධ්‍ය පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ එ දහම් දෙසුම සියලු පිරිස මහත් රසවත් අමෘතයක් මෙන් අසත්.
6313. ඉමිහිරි දහම අසා බුදුසසුන්හි පැහැදුනෙම් මම බුදුරජුන් සරණ කොට ගොස් දිවි ඇතිතාක් (සරණගතයෙක් ව) නමස්කාර කෙළෙමි.
6314-6315. එකල්හි මම දුර්‍ගන්‍ධ ශරීරයාගේ සුගන්‍ධභාවය පතා බුදුරජුන්ගේ ගඳකිළියෙහි පොළොව මසකට අටදිනක් සිවුදෑගඳින් පිරිබඩගැන්වීමි. එකල්හි මට සුවඳවත් සිරුරක් ලැබෙන බව බුදුරජතෙම වදාළේය:
6316. ‘යමෙක් මේ ගඳකිළිබිම නොයෙක්වර සුවඳ ගල්වා ද ඒ කර්‍මවිපාකය හේතු කොට ගෙණ ඒ ඒ තන්හි උපන්නේ-
6317. හැම තන්හි මේ මිනිස්තෙම සුගන්‍ධ දේහ ඇත්තෙක් වන්නේ ය. ගුණසුවඳින් යුතු වූයේ ආස්‍රව රහිතව පිරිනිවන් පාන්නේ ය. (කියායි.)
6318. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතුකොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
6319. දැන් (මේ) අන්තිම ජාතියෙහි මම බමුණු කුලයෙහි උපන්නෙමි. මා මවු කුසෙහි වසත් ම මාගේ මවුතොමෝ සිරුරින් සුවඳවත් වූ ය.
6320. යම් කලෙක්හි මවුකුසින් නික්මෙම් ද, එකල්හි සැවැත්නුවර හැම සුවඳින් කවනලද්දාක් මෙන් සුවඳ හැමී ය.
6321. මනරම් වූ සුමිහිරි දිව්‍යමය සුවඳ ඇති මල්වැසි ද වට. මාහැඟි සුගන්‍ධධූමයෝ ද එකෙණෙහි හමා ගියහ.
6322. යම් ගෘහයක මම උපනෙම් ද, දෙවියෝ ඒ ගෘහය සියලු සුවඳ දුම් හා මල් සුවඳින් සුවඳ කැවූහ.
6323. යම් කලෙක්හි (මම) භද්‍ර වූ ප්‍රථම යෞවනයෙහි සිටි තරුණයෙක් වූයෙම් ද එකල්හි බුදුරජතෙම පිරිස් සහිත වූ සේල බ්‍රාහ්මණයා හික්මවා-
6324. ඒ සියල්ලන් සමග සැවැත් පුරයට පැමිණියේ ය. එකල්හි මම ඒ බුද්ධානුභාවය දැක පැවිදිවූයෙම්-
6325. අනුත්තර වූ සීලය ද, සමාධිය ද, ප්‍රඥාව ද, විමුක්තිය ද, යන සතර දහමුන් වඩා ආස්‍රවක්‍ෂයසඞ්ඛ්‍යාත නිවනට පැමිණියෙමි.
6326. මම යම් කලෙක්හි පැවිදිවූයේ වෙම් ද, යම් කලෙක්හි රහත් වූයෙම් වෙම් ද, එසේ ම යම් කලෙක්හි පිරිනිවන් පානෙම් ද, ඒ (සියලු) කල්හි සුගන්‍ධ වර්‍ෂා පැවැත්තාහ.
6327. මාහැඟි වූ සඳුන් සපු උපුල් මල් සුවඳ මිශ්‍රව මාගේ ශරීරගන්‍ධය හැම කල්හි හමයි. එසේ ම ඒ ඒ තන්හි ගියෙම් සෙසු සුගන්‍ධයන් මැඩ ශරීරසුගන්‍ධය වහනය කරමි.
6328. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇතකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
6329. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් වී ය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කරණලදී.
6330. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චූලසුගන්‍ධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
චූළසුගන්‍ධ ස්ථවිරාවදානය දසවැනියි.
භද්දිය වර්‍ගය පස්පණස් වැනියි.
උද්දානය:
භද්දිය රේවත සහ මහාලාභී සීවලී වඞ්ගීස නන්‍දක කාළුදායී අභය ද, ලෝමස වනවච්ඡ - දසම වූ සුගන්‍ධය. මෙහි ගී තෙ සියෙකි වැඩියෙන් ගී සොළොසෙකි.
යලි, වග්ගුද්දානය:
කණිකාර නම් වග ඵලදා තිණදායක, කච්චාන භද්දිය වග. මෙහි ගිණූ ගී නවසිය සූ අසූවෙක. අපදාන පන්සිය පණසක් මෙහි කියන ලදහ. උද්දානගාථා සමග ගාථා සදහසෙක් වෙති ඉන් වැඩි ගාථා දෙසිය අටළොසකි.
56. යස වර්‍ගය
551. යස ස්ථවිරාවදානය
6331-6333. මහසමුදුර අබියස මාගේ භවනය සුනිර්මිතය. හෙල්මැල්ලෙන් හා පද්මොත්පලයෙන් ගැවසීගත් සක්වාරැව් ඇති පොකුණක් සුනිර්මිත වෙයි. ඒ පෙදෙසෙහි සිත්කලු මනා තොට ඇති මස්කැසුබුවන්ගෙන් ගැවසීගත් මුළුදුන් නානාවිහග්ගණා ඇති නදියක් ගලා බස්නීය. මොණර කොස්වාලිහිණි කොවුල් ආදී පක්‍ෂීන්ගේ මනරම් නදින් එපෙදෙස දොඩමලුය.
6334. පරෙවි රවිහංස සක්වාලිහිණි නදිවර දියකිරල සැළලිහිණි හුනපුපුළු (ජීව - ජීව අනුකරණයෙන් හඬලන) ජීවංජීවක යන මොහු එහි බොහෝ වූහ.
6335-6336. එහි රැව්දෙන හංසයෝ ද කොස්වාලිහිණියෝ ද මහමුහුනෝ ද පිඞ්ගලයෝ ද යන මේ පක්‍ෂීහු බොහෝ වූහ. සත්රුවනින් යුත් මිණිමුතු සහිත වැලි ද නොයෙක් සුවඳ හමන හැම රන්මුවා රුක් ද එ භවන දිව රෑ හැමකල් බබුලුවත්.
6337. සැටදහසක් තූර්‍ය්‍යයෝ සවස්හි ද උදයෙහි ද වැයෙත්. සොළොස්දහසක් ස්ත්‍රීහු හැම කල්හි මා පිරිවරත්.
6338. මම භවනයෙන් නික්ම පහන්සිත් ඇත්තෙම් සොම්නස් ඇත්තෙම් මහත් යශස් ඇති ලෝකනායක වූ ඒ සුමේධ බුදුරජුන් වැන්දෙමි.
6339. සම්බුදුරජුන් වැඳ සඞ්ඝයා සහිත එ බුදුරජුන් නිමන්ත්‍රණය කෙළෙමි. (මාගේ නිමන්ත්‍රණය) ලෝකනායක වූ ප්‍රාඥ වූ ඒ බුදුරජ තෙමේ ඉවසී ය.
6340. බුදුරජ තෙමේ මට ධර්‍මකථාවක් කොට (මා කුසල්හි යෙදවී ය. ඒ සම්බුදුරජුන් වැඳ මාගේ භවනයට එළඹියෙමි.