Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 7901-8000 න් 9627

6154. එකල්හි ලෝකනායක වූ බුදුරජ තෙමේ පසේබුදුවරයකුගේ හිස්කබලක් දැක්වී ය. ඉක්බිති මම උන්වහන්සේ උපන් තැන කිය නො හැකි බැවින් නටුවා වූ විද්‍යාරම්භ ඇත්තෙම් පැවිද්ද ඉල්වීමි.
6155. පැවිදි ව බුදුරජුන්හට ඒ ඒ තන්හි දී ස්තූති කරමි. එහෙයින් මෙහි භික්‍ෂූහු මට කවි බැඳීම සැපත කොට ඇත්තේ ය යි දොස් පහළ කෙරෙත්.
6156. ඉක්බිති විශිෂ්ට නායක වූ බුදුරජ තෙම විමසනු සඳහා මට මෙසේ වදාළේ ය: මේ ගාථාවෝ (කල් ඇතිව) සිතා මතා ගොතන ලද්දාහු ද, නොහොත් කෙණෙහි වටහත් ද? (කියා යි)
6157. වීරයන් වහන්ස, මම කවි බැඳීම සැපත කොට ඇත්තෙක් නො වෙමි. ඒ කවි එකෙණෙහි මට වටහත් ය යි කීමි. වඞ්ගීස, එසේ වී නම් දැන් සිටිවන ම මට ස්තූති කරව යි බුදුරජ තෙම වදාළේ ය.
6158. එකල්හි මම ඍෂි සප්තම වූ බුදුරජුන්හට කෙණෙහි ම ගාථායෙන් ස්තූති කෙළෙමි. එකල්හි තුටු වූ බුදුරජතෙම මා (ප්‍රතිභානවත් භික්‍ෂූන් අතුරෙන්) අග්‍රස්ථානයෙහි තැබී ය.
6159. මම (ක්‍ෂණික) බුද්ධියෙන් අන්‍ය ප්‍රියශීල භික්‍ෂූන් ඉක්ම වීමි. එයින් උත්සාහ වත් වූයෙම් රහත්බවට පැමිණියෙමි.
6160. මෙම වඞ්ගීස භික්‍ෂු වැනි වහා වැටහීම් ඇත්තවුන් අතුරෙන් අග්‍ර වූ අන්කිසිවෙක් නැති. මහණෙනි, එසේ දරවු.
6161. මෙයින් පෙර සියක් දහස්වන කපෙහි කරණ ලද කර්‍මය මෙහි දී මට විපාක දැක්වී ය. මම මිදුණු හීසැරයක් බඳු වූයෙම් කෙලෙසුන් දැවීමි.
6162. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
6163. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
6164. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වඞ්ගීස ස්ථවිරාවදානය සිව්වැනියි.
545. නන්‍දක ස්ථවිරාවදානය
6165. මෙයින් පෙර සියක් දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්‍මයන් විනිවිද දක්නා සුලු නුවණැස් ඇති පදුමුත්තර බුදුරජතෙම ලොව පහළ විය.
6166. වාදීවර වූ පුරුෂශ්‍රේෂ්ඨ වූ බුදුරජතෙම දෙවියන් සහිත ලෝකයෙහි සව්සත්නට හිත පිණිස සුව පිණිස වැඩ පිණිස පිළිපන්නේ ය.
6167. යසසින් අගතැන් පැමිණියා වූ ශ්‍රී (-සම්පත්) ඇත්තා වූ කීර්‍තතිඝෝෂ ඇති බුදුරජ තෙම සියලු ලෝකයා විසින් පුදන ලද්දේ සව්දිගුන්හි ප්‍රකට විය.
6168. ඉක්ම වූ සැක ඇති, පරිපූර්‍ණ වූ චිත්තසඞ්කල්ප ඇති උන්වහන්සේ උතුම් සම්‍යක් සම්බෝධියට පැමිණි සේක.
6169. නූපන් මාර්‍ගය උපදවන්නා වූ මිනිස්නට උතුම් වූ ඒ බුදුරජතෙම (පෙර කිසිවකු විසින්) නො බිණූවක් (-චතුරාර්‍ය්‍යසත්‍යය) ද බිණී ය. නො හටගත් (ඵලසමාපත්තීන් ද) හට ගැන්වි ය.
6170. නිවන් මග පිළිවිදි, නිවන් මග දැනගත්, නිවන් මග පවසන්නා වූ, නිවන් මගෙහි දක්‍ෂ වූ, (දෙවිමිනිස්නට) අනුශාසනා කරන්නා වූ, පුරිසදම්ම සාරථි ගුණ ඇතියවුන් අතුරෙන් අති උතුම්, නරශ්‍රේෂ්ඨ වූ, ලෝකනායක වූ-
6171. මහකරුණා ඇත්තා වූ බුදුරජතෙම එකල්හි දහම් දෙසයි. මෝහමඩෙහි ගැලුනු සත්ත්‍වයන් (එයින්) ගොඩලයි.
6172. ඒ මහාමුනි තෙම භික්‍ෂුණීන්හට ඔවා දීමෙහි අග්‍රය යි සම්මත වූ ශ්‍රාවකයකු පසසමින් ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
6173. එය අසා සතුටු වූ මම බුදුරජුන් පවරා සඞ්ඝයා සහිත ව වළඳවා ඒ උතුම් තනතුර පැතීමි.
6174. එකල්හි ප්‍රමුදිත වූ මහර්ෂි වූ සර්‍වඥ තෙම මට මෙසේ කීය: සුව ඇත්තේ වේවා. දිගාසිරි ඇත්තේ වේවා. ඒ මනදොළ (සපුරා) ලබන්නේ ය.
6175. මෙයින් සියක් දහස්වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
6176. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් නන්‍දක නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය (කියා යි).
6177. මැනැවින් කරණලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමි.
6178. දැන් පශ්චිමභවය පැමිණි කල්හි මම සමෘද්ධ වූ (සම්පත්තීන්) පිරුණා වූ මහත් ධන ඇති උතුම් වූ සැවැත් නුවර සිටුකුලයක උපන්නෙම් වෙමි.
6179. නගරයට පිවිසෙන කල්හි බුදුරජුන් දැක විස්මිත වූ සිත් ඇත්තෙම් ජේතවනාරාමය පිළිගැණීමෙහි දී (අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) පැවිද්දට වන්මි.
6180. නො බෝ කලකින් ම රහත්බවට පැමිණියෙම් වෙමි. එ හෙයින් සර්‍වදර්ශී වූ බුදුරජුන් විසින් අනුශාසනා කරණලද මම තරණය කළ සසර ඇත්තෙම් වෙමි.
6181-6182. මම භික්‍ෂුණීන්හට ධර්‍මකථා ද පටිපුච්ඡා (-විචාරීම) ද කෙළෙමි. මා විසින් අනුශාසනය කරණ ලද ඒ සියලු භික්‍ෂුණීහු නො අඩු වූ පන්සියක් රහත් මෙහෙණියෝ වූහ. එකල්හි තුටු වූ බුදුරජතෙම භික්‍ෂුණීන්හට ඔවා දෙන්නවුන් අතුරෙන් මා අගතන්හි තැබී ය.
6183. මෙයින් පෙර සියක් දහස්වන කපෙහි කරණලද කර්‍මය මෙහි දී මට විපාක දැක්වීය. මම මිදුණු හීසැරයක් බඳු වූයෙම් කෙළෙ`සුන් දැවී මි.
6184. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
6185. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
6186. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් නන්‍දක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නන්‍දක ස්ථවිරාවදානය පස්වැනියි.
546. කාළුදායි ස්ථවිරාවදානය
6187. මෙයින් සියක් දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්‍මයන්හි විනිවිද දක්නා නුවණැස් ඇති පදුමුත්තර බුදුරජ තෙම ලොව පහළ විය.
6188. නායකයන් අතුරෙහි උතුම් වූ ගුණ - අගුණ දැය මේ මේ ය යි දන්නා වූ (දෙවිමිනිසුන්හට) ශාස්තෘ වූ කෙළෙහිගුණ දන්නා වූ කෙළෙහි ගුණ නැවත නැවත සිහි කරන්නා වූ බුදුරජ තෙම සත්ත්‍වයන් තීර්‍ත්‍ථයෙහි (නිවන්මගෙහි) යොදයි.
6189. අනන්තගුණ පිණ්ඩයක් බඳු වූ දයාවට වාසස්ථාන වූ (ඒ සර්‍වඥ තෙම) සියල්ල දන්නා නුවණින් (තරාදියකින් මෙන්) සත්ත්‍වයන්ගේ ආසයානුසය (චරිතාධිමූක්තීන්) විමසා බලා උතුම් වූ ධර්‍මය දෙසයි.
6190. ඒ මහාවීර වූ බුදුරජ තෙම කිසි කලෙක්හි අනන්තජනයා ගෙන් යුත් සබමැද සිව්සස් දහම් සහිත වූ මිහිරි ධර්‍මය දේශනා කරයි.
6191. ආදි මධ්‍ය පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ ඒ උතුම් ධර්‍මය අසා සියක් දහසක් ප්‍රාණීන්හට ධර්‍මාවබෝධය විය.
6192. එකල්හි පෘථිවි තොමෝ මහත් නාද පැවැත්වූ ය. මේඝයෝ ගර්‍ජනය කළාහු ය. දෙව් බඹ මිනිස් අසුර යන මොහු සාධුනාද පැවැත් වූහ.
6193. කාරුණික වූ ශාස්තෘ තෙමේ ආශ්චර්‍ය්‍යයෙකි. සදහම් දෙසුම ද ආශ්චර්‍ය්‍යයකි. සර්‍වඥතෙම භවසයුරෙහි ගිලුනවුන් ගොඩනැගී ය. ආශ්චර්‍ය්‍යයෙකි.
6194. මෙසේ දෙවිබඹුන් සහිත වූ මිනිසුන් ප්‍රීතියෙන් ඇලලී ගිය කල්හි බුදුරජතෙම කුලපහදවනුවන් අතුරෙන් අග්‍රය යි ශ්‍රාවකයකු පැසසී ය.
6195. එකල්හි මම හංසවතී නගරයෙහි ඇමතිකුලයක උපනෙම් දුටුවන් පහදවන්නා වූ, දැකුම්කලු වූ, සමෘද්ධ වූ ධනධාන්‍ය ඇති කෙනෙක් වීමි.
6196. මම හංසාරාමයට එළඹ ඒ බුදුරජුන්හට වැඳ මිහිරි දහම් අසා තාදීගුණ ඇති ඒ බුදුරජුන්හට සත්කාර කොට -
6197-6199. මම උන්වහන්සේගේ පාමුල වැඳ වැටී මේ වදන් කීමි: “මුනීන්‍ද්‍රයන් වහන්ස, ඔබ වහන්සේ විසින් කුලපහදවනුවන් අතුරෙන් අග්‍රය යි යම් ශ්‍රාවකයෙක් තෙම පසසනලද ද, වීරයන් වහන්ස, මම ද ශ්‍රේෂ්ඨ වූ බුදුවරයකුගේ සසුනෙහි එබඳු (කුලප්පසාදක භික්‍ෂූන් අතුරෙන් අග්‍ර වූ) ශ්‍රාවකයෙක් වෙමැ” යි කීමි. එකල්හි මහා කාරුණික වූ බුදුරජ තෙමේ මට අමා ඉසින්නාක් මෙන් “පුතණුවෙනි, නැගිටුව. ඒ මනදොළ ලබනෙහි ය. බුදුවරයකු කෙරෙහි සත්කාරයක් කොට කෙසේ නම් නිෂ්ඵල වන්නේ දැයි” මට වදාළේ ය.
6200. මෙයින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදනා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
6201. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් බඳු වූ ඖරස පුත්‍ර වූ, නමින් උදායී නම් වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය යි ද වදාළේ ය.
6202. එකල්හි එයඅසා සතුටු වූයෙම් මෙත් සිත් ඇත්තෙම් විශිෂ්ටනායක වූ බුදුරජුන්හට සිවුපසයෙන් උවටන් කෙළෙමි.
6203. ඒ කර්‍මවිපාකය හේතුකොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
6204. දැන් මේ අන්තිම භවයෙහි රම්‍ය වූ කපිලවාස්තු නගරයෙහි සුද්ධෝදන මිහිපතිහුගේ මහඇමතිකුලයෙහි උපන්නේ වෙමි.
6205. යම් කලෙක්හි නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්‍ත්‍ථ බෝසත් තෙමේ සව්ලොවට හිතපිණිස ද රම්‍ය වූ ලුම්බිනි සල්උයනෙහි දී (මව් කුසින්) බිහි වී ද,
6206. එදවස් ම මම ද උපනෙම් ඒ බෝසත් සිදුහතුන් සමග ම වැඩුනෙම් (ඔහුට) ප්‍රිය වූ දයාවත් වූ, ව්‍යක්ත වූ, නීතිදක්‍ෂ වූ සහායයෙක් වීමි.
6207. වයසින් එකුන්තිස් හැවිරිදි වූ ඒ (සිදුහත්) බෝසත් තෙමේ ගිහිගෙන් නික්මුනේ පැවිදි විය. (දුෂ්කරක්‍රියා වෙහි යෙදීමෙන්) සවසක් ගෙවා විශිෂ්ටනායක වූ බුදුවරයෙක් විය.
6208. (ඒ සිදුහත් තෙම) සේනා සහිත වූ මාරයා ජයගෙණ ආස්‍රවක්‍ෂය කොට භවසයුර තරණය කොට දෙවියන් සහිත ලෝකයෙහි බුදු විය.
6209. ඉසිපතනයට ගොස් පඤ්චවර්ගීය භික්‍ෂූන් හික්මවා ඉක්බිති භාග්‍යවත් තෙමේ ඒ ඒ තන්හි ගොස් විනෙයජනයන් හික්ම විය.
6210. හික්ම වියයුතු ජනයන් හික්මවන්නා වූ ඒ බුදුරජ තෙම දෙවියන් සහිත ලෝකයාට සඞ්ග්‍රහ කරමින් මගධපර්‍වතයට හෙවත් රජගහනුවරට එළඹ එකල එහි විසී ය.
6211. එකල්හි සුදොවුන් රජතුමන් විසින් යවන ලද මම ගොස් බුදුරජුන් දැක පැවිදි ව රහත් වීමි.
6212. එකල්හි බුදුරජුන් ඇයැද කපිලවාස්තු නගරයට පැමිණවීමි. උන්වහන්සේ එහි වැඩමවීමට පෙරාතුව ම මම ගොස් (සුද්ධෝදන) මහ රජකුලය පැහැදවීමි.
6213. ඒ ගුණයෙහි සතුටු වූ විශිෂ්ට නායක වූ ඒ (ගෞතම) බුදුරජ තෙම මහපිරිස් මැද මා කුල පහදවනුවන්ගෙන් අග්‍රස්ථානයෙහි තැබී ය.
6214. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
6215. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
6216. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කාළුදායිස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කාළුදායි ස්ථවිරාවදානය සවැනියි.
547. අභය ස්ථවිරාවදානය
6217. මෙයින් සියක්දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්‍මයන්හි (විනිවිද දක්නා සුළු) නුවණැස් ඇති පදුමුත්තර බුදුරජ තෙම ලොව පහළ විය.
6218. ඒ තථාගත තෙම කිසිවකු සරණගමනයෙහි පිහිටු වයි. කිසිවකු ශීලයෙහි ද උතුම් වූ දශ (කුශල) කර්‍මපථයෙහි ද පිහිටුවයි.
6219. ඒ බුද්ධවීර තෙමේ කිසිවකුට උතුම් වූ (සෝවන් ආදි වූ සතර) ශ්‍රාමණ්‍යඵලය දෙයි. එසේ ම ත්‍රිවිද්‍යාවන් ද අෂ්ටසමාපත්තීන් ද දෙයි.
6220. නරෝත්තම වූ බුදුරජ තෙම කිසියම් සත්ත්‍වකෙනෙකුන් ෂඩභිඥාවන්හි යොදවයි. අනාථයනට (පිහිට වන බැවින්) නාථ වූ තථාගත තෙමේ කිසිවෙකුට සිවු පිළිසැඹියාවන් දෙයි.
6221. දමනය කළයුතු නරයන් හික්මවන බැවින් නරසාරථි වූ බුදුරජතෙම නොගිණිය හැකි යොදුන් දුර සිටියා වූ ද ධර්‍මාවබෝධයට සුදුසු සත්ත්‍වසමූහය දැක මොහොතකින් එහි එළඹ උන් හික්මවයි.
6222-6223. එකල්හි මම හංසවතී නගරයෙහි සියලු වේදයන්ගේ පරතෙරට ගියා වූ ව්‍යාකරණ සඞ්ඛ්‍යාත ශබ්දශාස්ත්‍රයෙහි විශාරදයෙකැයි සම්මත වූ (ශබ්දාර්‍ත්‍ථයන් නිවැරදි ලෙස ගැණුමට උගන්වන) නිරුක්තිශාස්ත්‍රයෙහි දක්‍ෂ වූ (ශබ්දාභිධානයන් දැන ගැණුමට උගන්වන) නිඝණ්ඩුශාස්ත්‍රයෙහි විශාරද වූ (ව්‍යාකරණයෙහි ආදිම අවස්ථාව ලෙස සැලකෙන නාමාදී) පදයන් දන්නා වූ (කාව්‍යකරණයෙහි දී කවීන්හට උපකාර වන අලඞ්කාරාදිය ඇතුළත් ක්‍රියාකල්ප විකල්පය යි කියන ලද) කෙටුභශාස්ත්‍රය දන්නා වූ (අක්‍ෂරයන්ගේ නියමය දැක්වෙන ඡන්‍දස් වෙන් කොට දැනගැණීමට උගන්වන) ඡන්‍දෝවිචිති වේදාඞ්ගයෙහි ද දක්‍ෂ වූ බ්‍රාහ්මණ පුත්‍රයෙක් වීමි.
6224-6226. මම ජඞ්ඝාවිහාරයෙහි යෙදෙමින් හෙවත් ශරීර ව්‍යායාම පිණිස ඇවිදිමින් හංස රාමයට එළඹ, මහාජනයා විසින් පිරිවරන ලද්දා වූ වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ නිර්‍මල ධර්‍මය දේශනා කරන්නා වූ බුදුරජුන් දිටිමි. විරුද්ධ මතධාරී වූ මම සමීපයට එළඹ උන් වහන්සේගේ නිර්‍මල වූ වචන අසා ඒ බුදුරජුන්ගේ වැරදි ලෙස යොදන ලද්දා වූ හෝ පුන පුනා කියන ලද්දා වූ හෝ අපාර්‍ත්‍ථ වූ හෝ නිරර්‍ත්‍ථක වූ හෝ (වචනයක්) මම නො දිටිමි. එහෙයින් මම පැවිදි වීමි.
6227. නො බෝ කලකින් ම ශාස්ත්‍ර විශාරද වූයෙම් බුද්ධවචනයෙහි දක්‍ෂ වූයෙම් ගණයා පරිහරණයට සුදුසුය යි සම්මත වූයෙම් හෙවත් ස්ථවිර වූයෙම් වෙමි.
6228. එකල්හි මම බුදුරජුන්හට පසසා අක්‍ෂර වත් වූ සිවුගයක් ගොතා දිනපතා කියනෙමි. කෙසේද යත්:
6229. මහාවීරයන් වහන්ස, මුබ බිය සහිත වූ සසරෙහි වෙසෙමින් එහි විරතවූයේ වෙහි ය. කරුණායෙන් ම පිරිනිවන් නො පෑ ය. එහෙයින් බුදුරජ තෙම කාරුණිකය.
6230. යමෙක් පුහුදුන්ව සිටියදී පවා ක්ලේශ වසඟ නො වූයේ ද, සම්‍යක්ප්‍රඥාවෙන් හා ස්මෘතියෙන් යුක්තවූයේ වේ ද, එහෙයින් මෙතෙම නො සිතිය හැකි ගුණ ඇත්තේ ය.
6231. යමෙකුගේ සිත්හි මෙම දුර්‍වල ක්ලේශයෝ ඥානාගතියෙන් දවනලද්දාහු ශේෂ නො වූවාහු ද, එය විස්මයෙකි.
6232. යම් බුදුවරයෙක් තෙම සියලු ලෝකයාහට යම් සේ ගුරු ද, ඒ බුදුරජුන්හට ලෝකයා ද එසේ ම ගරු ය. එසේ ම උන්වහන්සේ ලෝකාචාර්‍ය්‍ය ය. ලෝකයා උන්වහන්සේ අනුගමනය කරන්නේ වේ.
6233. මේ ආදීන් සම්බුදුරජුන්ට පසසමින් දිවි ඇති තාක් ධර්‍ම දේශනා කොට ඉන් ච්‍යුත වූයෙම් ස්වර්‍ගගත වීමි.
6234. මෙයින් කල්ප ලක්‍ෂයකින් යට බුදුරජුන්හට යම් පැසසුමක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. (බුදුරජුන් හට) පැසසීමෙහි මේ විපාක යි.
6235. මම දෙව්ලොවෙහි මහාරාජ්‍යය ද, ප්‍රාදේශික වූ යම් රාජ්‍යයෙක් වේ නම් එය ද චක්‍රවර්‍තතිමහාරාජ්‍යය ද බෙහෙවින් අනුභව කෙළෙමි.
6236. දෙව් අත්බැව්හි ද යලි මිනිස් අත්බැව්හි ද යන දෙඅත් බැව්හි උපදිමි. ඉන් පිටත් අනික් ගතියක් නො දනිමි. බුදුරජුන්ගේ ගුණකීර්‍තනයෙහි මේ විපාකයි.
6237. කැත් බමුණු යන දෙකුලෙහි උපදිමි. පහත් කුලයෙහි නො උපදිමි. බුදුරජුන්ගේ ගුණකීර්‍තනයෙහි මේ විපාක යි.
6238. මම දැන් මේ පශ්චිම භවය පැමිණි කල්හි උතුම් වූ ගිරිව්‍රජ (=රජගහ) නගරයෙහි බිම්සරරජුගේ නමින් අභය නම් වූ පුත්‍රයෙක් වීමි.
6239. පාපමිත්‍රවශයට ගොස් මුළා කරණ ලදුයෙම් නිගණ්ඨ නාතපුත්‍රයා විසින් මෙහෙයන ලද්දා වූ මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹ,
6240. නිවටුන් විසින් පුහුණු කරණලද ප්‍රශ්නයක් විචාරා බුදුරජුන්ගේ උතුම් වූ (ඒ ප්‍රශ්න) විසඳීම අසා පැවිදි ව නො බෝ කලකින් ම රහත්බවට පැමිණියෙමි.
6241. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට පසසා හැමකල්හි පසස්නා ලදුයෙම් වෙමි. සුවඳවත් වූ සිරුරු හා මුව ඇත්තෙම් සැපයෙන් ආඪ්‍යයෙක් වීමි.
6242. මම ඒ කර්‍මයාගේ බලයෙන් තික්ඛපඤ්ඤ ද හාසුපඤ්ඤ ද මහාපඤ්ඤ ද වූයෙම් විසිතුරු වැටහීම් ඇත්තෙම් ද වීමි.
6243. පහන් සිත් ඇත්තෙම් අසම වූ සර්‍වඥ වූ පදුමුත්තර නම් බුදුරජුන්හට පසසා ඒ කුශලකර්‍මයාගේ විපාකයෙන් කල්පලක්‍ෂයක් අපායභූමියට (උත්පත්ති වශයෙන්) නො ගියෙමි.
6244. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
6245. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගතය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
6246. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් අභය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අභය ස්ථවිරාවදානය සත්වැනියි.
548. ලෝමසකඞ්ගිය ස්ථවිරාවදානය
6247. මේ මහාභද්‍රකල්පයෙහි බ්‍රාහ්මණවංශික වූ මහත් යශස් ඇති නමින් කාශ්‍යප නම් වූ බුදුරජතෙම ලොව පහළ විය.