677. එ කෙණෙහි දිගින් සූවිසියොදුන් වූ පුළුලින් තුදුස්යොදුන් වූ මැනැවින් කරණ ලද විමානයක් මට (පහළ) වී ය.
678. දිව්‍යකන්‍යාවෝ ලක්‍ෂයක් හැම කල්හි මා පිරිවරත්. විමානයෙහි මැනවින් නිර්මිත කළ ස්වර්‍ණමයපර්‍ය්‍යඞ්කයෙක් වී ය.
679. හස්තිවාහන ද අශ්වවාහන ද දිව්‍යවාහන ද එළඹ සිටියේ ය. කැමැති පරිදි ප්‍රාසාදයෝ ද සිවිකාවෝ (=දෝලා) ද පහළ වෙත්.
680. මිණිමුවා පර්‍ය්‍යඞ්කයෝ ද අන්‍ය වූ (රුක්) හරමුවා බොහෝ පර්‍ය්‍යඞ්කයෝ ද යන සියල්ල මට පහළ වෙත්. සිංහාසනදානයාගේ මේ විපාකය යි.
681. රුවන්මුවා වූ ද, රිදීමුවා වූ ද, පළිඟුමුවා වූ ද, විදුරුමුවා වූ ද, පාදුකා (=පාවහන්) නගිමි (=පලඳිමි). පාදපීඨ (=පාපුටු) දානයාගේ මේ විපාකය යි.
682. එකල්හි (එනම්) මෙයින් සිවුඅනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (එම කර්‍මබලයෙන්) දුගතියක් නො දනිමි. මේ පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.
683. මෙයින් (පෙර) තෙසැත්තෑවැනි කපෙහි තුන්අත්බවෙක ඉන්‍ද්‍ර නම් (=සක්විති රජ) වීමි. (එසේම) මෙයින් දෙසැත්තෑවැනි කපෙහි සුමන නම් ඇති ව තෙවරක් ද,
684. මෙයින් සමසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් සතර මහදිවයිනෙහි අධිපති වරුණ නම් ඇති ව තෙවරක් ද සක්විතිරජ වීමි.
685. සිවුපිළිසිඹියාවෝ ද -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සිංහාසනදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
සිංහාසනදායකස්ථවිරාවදානය පළමුවැනි යි.
12. ඒකත්‍ථම්භික ස්ථවිරාවදානය
686. ‘සිද්ධාර්‍ත්‍ථ’ භාග්‍යවතුන් වහන්සේට මහත් වූ උපාසක සමූහයෙක් වී ය. ඔහු බුදුරජුන් සරණ ගියාහු තථාගතයන් වහන්සේ අදහත්.
687. (ඒ) සියල්ලෝ එකතු ව මන්ත්‍රණය කොට බුදුරජානන් වහන්සේට උපට්ඨානසාලාවක් කෙරෙත්. (ඒ සඳහා) එක් ටැඹක් නො ලබන්නාහු මහවෙනෙහි සොයත්.
688. මම ඒ උවසුසමූහයා වනයෙහි දී දැක (එ ම) සමූහයා වෙත එළඹ ඇඳිලි බැඳගෙණ උවසුසමූහයාගෙන් (මෙසේ) විචාළෙමි.
689. මා විසින් විචාරණ ලද ඒ සිල්වත් උවසුවෝ මෙසේ පැවසූහ: “අපි උපට්ඨානසාලාවක් කරණු කැමැත්තෙමු. (ඒ සඳහා) එක් ටැඹක් නො ලැබේ ය” (කියායි.)
690. එක් ටැඹ මට දෙවු. මම ශාස්තෲන් වහන්සේට දෙන්නෙමි. මම ටැඹ ගෙණ එන්නෙමි; භවත්හු (ඒ සඳහා) උත්සාහ නැත්තෝ වෙත්වා” යි (කීමි)
691. පැහැදුනා වූ සතුටු සිත් ඇති ඔහු මට ටැඹ පැවරූහ. එ ම වනයෙන් පෙරළා ගොස් ස්වකීය ගෘහය ට පැමිණියාහු ය.
692. (උවසු) සමූහයා ගිය නොබෝ වේලාවකින් මම ටැඹක් දිනිමි. එකල්හි සතුට වූ මම සතුටු සිතින් (එය) පළමු කොට ම එසවීමි.
693. එ ම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ පැන නැගුනා වූ උස් වූ මහල් සියයක් ඇති මාගේ විමානයට මම (උත්පත්ති වශයෙන්) ගියෙමි.
694. එකල්හි බෙර වයද්දී මම (දෙව්පිරිස්) පිරිවරමි. (එයින්) පස්පණස්වන කපෙහි ‘යසෝධර’ නම් රජකේ වීමි.
695. එහි ද මට මහල් සියයක් ඇති උඩට නැගුනු උතුම් කුළු ගෙවලින් යුත් එක් ටැම් ඇති මනහර වූ භවනයෙක් වි ය.
696. එක්විසිවන කල්පයෙහි ‘උදේන’ නම් ක්‍ෂත්‍රියයෙක් වීමි. එහි ද මට සියයක් මහල් ඇති උස් ව පැන නැංගා වූ භවනයෙක් වී ය.
697. යම් යම් දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ යෝනියක උපදිම් ද, සියලු සුව අනුභව කරමි. මෙය එක් ටැඹ පිදීමේ විපාකය යි.
698. (මෙයින්) සිවු අනූවනකපෙහි එකල යම් ටැඹක් දිනිම් ද, (එහෙයින්) දුගතියක් නො දනිමි. එක් ටැඹ පිදීමේ මේ විපාකය යි.
699. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ඒකත්‍ථම්භික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේක් යී.
ඒකත්‍ථම්භික ස්ථවිරාවදානය දෙවැනි යි.
13. නන්‍ද ස්ථවිරාවදානය
700. ලෝකජ්‍යේෂ්ඨ වූ, තාදි (අටලෝදහමින් නො සැලෙන) ගුණ ඇති, සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ, මහර්ෂි වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට මා විසින් කොමු පිළියක් දෙන ලදී.
701. ඒ (වස්ත්‍රදායක වූ) මට පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක: “මේ වස්ත්‍රදානය කරණ කොට ගෙණ ස්වර්‍ණවර්‍ණ වන්නෙහි ය.
702. (දිව්‍ය මනුෂ්‍ය සඞ්ඛ්‍යාත) ද්විවිධ සම්පත් අනුභව කොට කුසල මූලයෙන් මෙහෙයන ලදුවහු ඔබ ගෞතම බුදුරජානන් වහන්සේගේ බාල සොහොයුරු වන්නහු ය.
703. ක්ලේශකාමයෙන් ඇලුනහු (කාය - චිත්ත) සුඛයන් අනුභව කරණ ස්වභාවය ඇත්තහු, වස්තුකාමයන්හි ගිජු වූවහු, බුදුරජානන් වහන්සේ විසින් මෙහෙයන ලදුවහු, ශාන්ත වූවහු එකල්හි පැවිදි වන්නහු ය.
704. තෝ එහි පැවිදි ව කුසලමූලයන් විසින් මෙහෙයන ලදුයෙහි සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවෙන් දැන හැර දමා ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නෙහි ය” (කියායි).
705. මෙ කපින් පෙර එක්දහස් එක්සිය වන කපෙහි ‘චෙල’ නම් වූ සක්විතිරජවරු සිවුදෙනෙක් වූහ. එක්දහස් සැට වන කල්පයෙහි (සිවු ජාතියක) ‘උපචෙල’ නම් වූ සක්විතිරජවරු සිවු දෙනෙක් වූහ.
706. එක්දහස් පස් වන කපෙහි ‘චෙල’ නම් වූ ම (සක්විතිරජවරු) සිවුදෙනෙක් වූහ. ඔහු සත්රුවනින් යුක්ත වූවාහු සතර මහ දිවයිනෙහි අධිපති වූහ.
707. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ‘නන්‍ද’ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
නන්‍දස්ථවිරාවදානය තෙවැනියි.
14. චුල්ලපන්‍ථක ස්ථවිරාවදානය
708. එකල්හි පූජාවන් පිළිගන්නා වූ හෙවත් පූජාවනට ගෙයක් බඳු වූ පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ ගණ(=සමූහ)යා කෙරෙන් වෙන් වූ සේක් හිමවතෙහි විසූ සේක.
709. එකල්හි මම ද හිමවතෙහි අසපුවක වෙසෙමි. පැමිණි නොබෝ කල් ඇති ලෝකනායක වූ මහාවීරයන් (=බුදුරජානන්) වහන්සේ වෙත එළඹියෙමි.
710. මල්සතක් (=මල්කුඩයක්) ගෙණ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මම සමවතට සමවන් උන්වහන්සේගේ සමාධියට අන්තරායක් නො කෙළෙමි.
711. මම දෑතින් ගෙණ මල්සත දුනිමි. මහාමුනි වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ (එය) පිළිගත් සේක.
712. සතුටු වූ ඒ සියලු දෙවිවරු හිමවතට එළඹෙත්. “පසැස් ඇති බුදුරජ තෙම අනුමෝදනා කරන්නේ ය” යි සාධුකාර පැවැත්වූහ.
713. ඒ දෙවිවරු මෙය කියා මාගේ පියුම් සත අහසෙහි දරන්නා වූ උතුම් වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියාහු ය.
714. “(මේ)තවුස්තෙමේ පියුම්සතක් ගෙණ මට දුන්නේ ය. ඔහු පිළිබඳ ව මම (කරුණු) ප්‍රකාශ කරමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු” යී (මෙසේ බුදුහු වදාළහ).
715. (මෙතෙම) පස්විසි වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. සූතිස් වරක් සක්විතිරජ ද වන්නේ ය.
716. (මෙතෙම) දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක සැරිසරා ද, අභ්‍යවකාශයෙහි (=එළිමහනෙහි) හුන්නේ පියුමක් (කුඩයක්) මෙන් දරන්නේ ය.
717. කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
718. උන්වහන්සේ පිටකත්‍රය ධර්‍මය දෙසූ කල්හි හෙතෙම මිනිසත් බව ලබන්නේ ය. මනෝමය වූ ශරීරනිර්‍මාණයෙහි අග්‍ර ද වන්නේ ය.
719. සොහොයුරෝ දෙදෙනෙක් වන්නාහු ය. දෙදෙන ම පන්‍ථක නම් වන්නාහු ය. උත්තමාර්‍ත්‍ථය වූ නිවණ ප්‍රතිවේධ කොට සසුන බබුලුවන්නාහු ය” (කියායි).
720. ඒ මම අටළොස්වියැ’ත්තේ අනගාරිය නම් වූ සාසනයෙහි පැවිදි වීමි. මම ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි විශේෂාධිගමය (ධර්‍මාවබෝධය) ක් නො ලැබීමි.
721. මාගේ ගතිය (=ස්වභාවය) දන්‍ධ (=මෝඩ) වි ය. (මම) පළමු කොට ගරහන ලදුයෙම් වීමි. දැන් ස්වකීය ගෘහයට යව යි කියා මාගේ සොහොයුරා ද මා නෙරපා දැමී ය.
722. නෙරපා දමන ලද ඒ මම සඟරම්දොරටුවෙහි නැවතී දොම්නස් වූයෙම් පැවිදිබැව්හි බලාපොරොත්තු සහිත ව එහි සිටියෙමි.
723. ශාස්තෘ තෙම එහි පැමිණියේ ය. මාගේ හිස පිරිමැද්දේ ය. මගේ අතින් අල්ලා සඟරමට පිවිසවී ය.
724. මෙසේ පිරිසිදු (මෙය ගෙණ) එකත්පසෙක හිඳ මනා කොට ඉටුව යි (=සිහි කරවයි) කියා මට අනුකම්පාවෙන් ශාස්තෘතෙම පාපිස්නා කඩක් දුන්නේ ය.
725. මම එය දෝතින් ගෙණ පියුම සිහි කෙළෙමි. එහි දී මගේ සිත (කෙලෙසුන්ගෙන්) මිදුනේ ය. රහත්බවට පැමිණියෙමි.
726. සියලු තන්හි මනෝමයශරීරයන් නිර්මිත කිරීමෙහි පරතෙරට පැමිණියෙම් සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන දුරු කෙළෙම් ආශ්‍රව රහිත ව (=රහත් ව) වෙසෙමි.
727. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මේ අයුරින් චුල්ලපන්‍ථක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
චුල්ලපන්‍ථක ස්ථවිරාවදානය සතරවැනියි.
15. පිළින්‍දිවච්ඡ ස්ථවිරාවදානය
728. ලෝකනාථ වූ අග්‍රපුද්ගල වූ ‘සුමේධ’ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති මනා සිත් ඇති මම ස්තූපපූජාවක් කෙළෙමි.
729. යම් ෂඩභිඥ වූ මහාඍද්ධි ඇති ක්‍ෂීණාශ්‍රව කෙනෙක් එහි (වූවාහු ද) මම උන්වහන්සේලා එහි රැස් කරවා සඟබතක් දිනිමි.
730. එකල්හි ‘සුමේධ’ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයෙක් වී ය. නමින් සුමේධ නම් වූ හෙතෙම එකල්හි අනුමෝදනා කෙළේ ය.
731. එ ම (ථුපපූජා කිරීම් වශයෙන් ඇති වූ) චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ මම දිව්‍යවිමානයක උපනිමි. අසූසයදහසක් දෙවඟනෝ මාගේ (සිත එහි) ඇලවූහ.
732. එ ම අප්සරාවෝ සියලු කාමයන් කරණ කොට ගෙණ මා අනුව ම පවතිත්. අනික් දෙවියන් (සම්පත්තියෙන්) ඉක්මවමි. මේ (ස්තූපපූජා) පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.
733. මම එකල්හි පස්විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති ‘වරුණ’ නම් සක්විතිරජෙක් වීමි.
734. ඒ මනුෂ්‍යයෝ බිජුවට නො වපුරත්. නගුල් (සීසෑම් වශයෙන්) නො පමුණුවනු ලැබේ. අරණයයෙහි නො සෑ බිම්පෙදෙස්හි තෙමේ ම හට ගත් හැල් අනුභව කෙරෙත්.
735. මම එහි රාජ්‍යය කොට නැවත දිව්‍යාත්මභාවයට පැමිණියෙමි. එකල්හි ද මට මෙබඳු ම වූ භෝගසම්පත්ති තොමෝ උපන්නී ය.
736. මිතුරු වූ හෝ පසමිතුරු වූ හෝ සියලු ප්‍රාණීහු මට හිංසා නො කෙරෙත්. සියලු දෙනාහට ම ප්‍රිය වෙමි. මෙය (ස්තූපපූජා) පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.
737. එකල මෙයින් එක්දහස්තිස්වන කල්පයෙහි මම යම් දනක් දිනිම් ද, (ඉන්) දුගතියක් නො දනිමි. (ස්තූපයෙහි) සුගන්‍ධාලේපයාගේ (=සුවඳ ගැල්වීමෙහි) ඵලය යි.
738. මේ භද්‍රකල්පයෙහි මම ජනාධිපති වූ මහානුභාව ඇති මහත් බල ඇති එක් සක්විතිරජෙක් වීමි.
739. ඒ මම බොහෝ ජනයා පන්සිල්හි පිහිටුවා සුගතියට ම පමුණුවා දෙවියනට ප්‍රිය වීමි.
740. පටිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘පිලින්‍දිවච්ඡ’ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී..
පිළින්‍දිවච්ඡස්ථවිරාපදානය පස්වැනියි.
16. රාහුල ස්ථවිරාවදානය
741. මම ලෝකජ්‍යේෂ්ඨ වූ තාදී ගුණ ඇති ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේට සත්බුමුපහයක කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් අතුළෙමි.
742. දෙපා ඇතියනට අග්‍ර වූ මහාමුනි වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ රහතුන් දහසක් විසින් පිරිවරණ ලද සේක් ගඳකිළියට එළඹි සේක.
743. “දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ ශාස්තෘ තෙමේ ගඳකිළිය බබුළුවන්නේ බික්සඟන මැද සිටියේ මේ ගාථාවන් වදාළේ ය:
744. යමකු විසින් මේ සෙනසුන බබුළුවන ලද ද කැටපතක් මෙන් පැහැපත් ඇතිරියක් මැනැවින් අතුරණ ලද ද මම ඔහු (කවරෙක් දැයි) ප්‍රකාශ කරන්නෙමි. (එසේ) ප්‍රකාශ කරන්නා වූ මාගේ වචනය අසවු:
745. “ස්වර්‍ණමය වූ ද රජතමය වූ ද යලි වෙරළුමිණිමුවා වූ ද යම්කිසි සිතට ප්‍රිය ආදාසයෝ වෙත් නම්, (ඒ ආදාසයෝ) පහළ වන්නාහු ය.
746. සූසැට වරක් ශක්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අනතුරු ව දහස්වරක් සක්විතිරජ වන්නේ ය.
747. එක්විසිවන කපෙහි සිවුමහසයුර හා සිවුමහදිවයින කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සතුරුරජුන් ජය ගන්නා සුලු වූ ‘විමල’ නම් සක්විති රජෙක් වන්නේ ය.
748. ගඩොළුවලින් නිර්මිත කරණ ලද නගරය රේණුවති නම් වේ. (එය) දිගින් තුන්සියයක් (යොදුන්) වේ. හතරැස්හැඩයෙන් යුතු ය.
749. (එහි) උතුම් වූ කුළුගෙවලින් යුත් සත්රුවනින් අලංකාර කරණ ලද විශ්වකර්‍මයා විසින් නිර්මිත කරණ ලද ‘සුදර්‍ශන’ නම් ප්‍රාසාදයෙක් වන්නේ ය.
750. එය දශවිධශබ්දයෙන් වෙන් නො වූ විද්‍යාධරයන්ගෙන් ගැවසී ගත් දෙවියන්ගේ සුදර්‍ශනනගරය මෙන් වන්නේ ය.
751. එ ම ප්‍රාසාදයාගේ ප්‍රභාව හිරු උදා වන කල්හි විහිදේ. එය නිරතුරු ව ම හාත්පස අටයොදුනක් (තන්හි) බබළන්නේ ය.
752. කල්පලක්‍ෂයකින් මතුයෙහි ‘ඔක්කාක’ කුලයෙහි උපදින්නා වූ නමින් ‘ගෞතම’ නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
753. හෙතෙම කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ, තුෂිතපුරයෙන් චුත ව ගෞතමයන් වහන්සේගේ ඒ ඖරසපුත්‍රයා වන්නේ ය.
754. හෙතෙම ඉදින් ගිහිගෙයි වසන්නේ නම්, සක්විතිරජ වන්නේ ය. තාදීගුණ ඇතියෙක් ගිහිගෙයි ඇලීමට පැමිණේ ය යන මේ කරුණ සිදු නො වන්නකි. (හෙවත් සිදු වීමට හේතු නැත්තකි.)
755. සුශික්‍ෂිත වූ (හෙතෙම) ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ ය. නමින් ඒ තෙම ‘රාහුල’ නම් වූ රහත් වන්නේ ය.”
756. මහාමුනි වූ ගෞතම බුදුරජානන් වහන්ස, කිරලා බිජුවට රකින්නාක් මෙන් ද, සෙමෙරමුවා වලග රකින්නාක් මෙන් ද මෙසේ සීලයෙන් යුක්ත වූ මම (මැනැවින් ශීලය) ආරක්‍ෂා කෙළෙමි.
757. මම ඒ බුදුරජානන් වහන්සේගේ ධර්‍මය දැන සසුනෙහි ඇලුනෙම් විසීමි. සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන හැර දමා ආශ්‍රව රහිත ව වෙසෙමි.
758. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ‘රාහුල’ ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.
රාහුල ස්ථවිරාවදානය සවැනියි.
17. උපසේන ස්ථවිරාවදානය