6057. (ඒ සර්‍වඥ තෙම) සිංහයකුගේ හණු බඳු පිරුණු හණු ඇත්තේ ය. (අෂ්ටාඞ්ගසමුපේත) බ්‍රහ්මස්වර ඇත්තේ ය. හස්බෙර හඬ බඳු හඬ ඇත්තේ ය. හස්තියෙකුගේ ගමනට බඳු ගමන් ඇත්තේ ය. සඳහිරු පැහැයට අධික වූ පැහැ ඇත්තේ ය.
6058. මහනුවණැත්තේ ය. මහාවීර්‍ය්‍ය ඇත්තේ ය. මහත් වූ ධ්‍යාන ඇත්තේ ය. මහත් බල ඇත්තේ ය. මහා කරුණා ඇත්තේ ය. අනාථයනට නාථ ය. මහත් වූ මොහඳුර නසන්නේ ය.
6059. සත්ත්‍වයන්ගේ ආශයානුශය දන්නා වූ, තිලොවට අග්‍ර වූ, මෝනෙය්‍ය ගුණයුත්, ඒ සම්බුදු රජතෙම කිසි කලෙක්හි බොහෝ වෛනෙය ජනයන් හික්මවමින් දහම් දෙසී ය.
6060. ඒ බුදුරජතෙමේ ධ්‍යාන කරණසුලු වූ ධ්‍යානයෙහි ඇලුනා වූ උපශාන්ත වූ නො කැළඹුනා වූ වීර වූ ශ්‍රාවකයෙකු පිරිස් මැදදී (ධ්‍යානකරන්නවුනට අග්‍ර ය යි.) වර්‍ණනා කරමින් ජනසමූහයා සතුටු කරවී ය.
6061. එකල්හි මම හංසවතී නගරයෙහි වේදයෙහි තෙරපත් බමුණෙක් වීමි. ඒ ධර්‍මය අසා සතුටු වූයෙම් එකී තනතුර පැතීමි.
6062. එකල්හි විශිෂ්ට නායක වූ බුදුරජ තෙමේ සඟමැද (මෙසේ) පැවසී ය: “බමුණ, තුටු වනු මැනව. ඒ චිත්තාභිලාෂය (සමෘද්ධව) ලබනෙහි ය.
6063. මෙයින් මතු සියදහස් වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
6064. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් රේවත නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.
6065. මැනවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
6066. මම දැන් පශ්චිමභවය පැමිණි කල්හි කෝලිය නගරයෙහි කුලවත් වූ සමෘද්ධ වූ සම්පූර්‍ණ වූ මහත් ධන ඇති ක්‍ෂත්‍රියවංශයෙහි උපන්මි.
6067. යම් කලෙක්හි (ගෞතම) බුදුරජතෙමේ කපිලවාස්තුනගරයෙහි දහම් දෙසී ද, එකල්හි බුදුරජුන් කෙරෙහි පැහැදුනෙම් අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියෙමි.
6068. ඒ ඒ තන්හි දී කැප - නො කැප දැයෙහි මාගේ සැකය බහුල වීය. බුදුරජහු උතුම් දහම් දෙසා ඒ (වැරදි අදහස්) සියල්ල නැති කළ සේක.
6069. ඉක්බිති මම තරණය කරණ ලද සසර සයුරු ඇත්තෙම් හැම කල්හි දැහැන්සුවයෙහි ඇලුනෙම් වෙසෙමි. එකල්හි බුදුරජහු මා දැක මෙය වදාළ සේක:
6070. ධ්‍යාන කරන්නා වූ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ බඹසරෙහි හැසිරෙන්නා වූ යම් කෙනෙක් වෙත් නම් (ඔහු) මෙලෙව්හි හෝ පරලෙව්හි හෝ යම්කිසි සැකයෙක් වේ ද, ඒ සියල්ල සිය දැනුමෙන් හෝ මෙරමා දැනුමෙන් හෝ දුරු කෙරෙත්.
6071. මෙයින් සියක්දහස් වන කපෙහි කරණ ලද මාගේ කර්‍මය මෙහි දී විපාක දැක්වී ය. දුන්නෙන් මනාව මිදීගිය හීසැරයක් මෙන් මාගේ කෙලෙස් දැවී ය.
6072. ඉක්බිති ලෝකාන්තයට ගිය මෝනෙය්‍ය ගුණ යුත් මහනුවණැති බුදුරජ තෙම ධ්‍යානයෙහි ඇලුනා වූ මා දැක ධ්‍යාන කරන්නා වූ භික්‍ෂූන් අතුරෙන් අග්‍ර යයි (අග්‍රස්ථානයෙහි) තැබී ය.
6073. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
6074. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
6075. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කඞ්ඛාරේවත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කඞ්ඛාරේවත ස්ථවිරාවදානය දෙවැනි යි.
543. සීවලී ස්ථවිරාවදානය
6076. මෙයින් සියක්දහස් වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්‍මයන්හි (විනිවිද දක්නා සුලු) නුවණැස් ඇති පදුමුත්තර නම් බුදුරජ තෙම ලොව පහළ විය.
6077. උන්වහන්සේගේ ශීලය සඞ්ඛ්‍යා රහිත ය. සමාධිය (බිඳිය නොහැකි බැවින්) වජ්‍රයක් (දියමන්තියක්) මෙනි. උතුම් වූ ඥානය ද පමණ කළ නො හැකිය. විමුක්තිය ද උපමා රහිත ය.
6078. ලෝකනායක වූ බුදුරජ තෙම මහණ බමුණන්ගෙන් ගැවසී ගත් මිනිස් දෙව් නා බඹ යන මොවුන්ගේ සමාගමයෙහි දහම් දෙසී ය.
6079. පිරිස්හි විශාරද වූ බුදුරජ තෙමේ පින්වත් වූ පුණ්‍යශෝභා ඇති මහත් ලාභ ලබන්නා වූ සිය සව්වකු අග්‍රස්ථානයෙහි තැබී ය.
6080. එකල්හි මම හංසවතී නගරයෙහි ක්‍ෂත්‍රියයෙක් වීමි. (එකී) ශ්‍රාවකයාගේ බොහෝ ගුණ (පවසන) බුදුරජුන්ගේ ඒ වචනය අසා-
6081. ශ්‍රාවකයන් සහිත බුදුරජුන් පවරා සතියක් වළඳවා මහදන් දී එම තනතුර පැතීමි.
6082. එකල්හි පුරුෂශ්‍රේෂ්ඨ වූ මහාවීර වූ (බුදුරජ තෙම) පාමුල වැඳගෙන නැමුනා වූ මා දැක මිහිරි ස්වරයෙන් මෙම වචනය කී ය:
6083. ඉක්බිති බුදුරජුන්ගේ වචනය අසනු කැමැති මහජනයා ද, දිව්‍යාසුරගන්‍ධර්‍වයෝ ද, මහත් ඍද්ධි ඇති බ්‍රහ්මයෝ ද, -
6084. මහණබමුණෝ ද කරණ ලද ඇඳිලි ඇත්තාහු පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා; පුරුෂෝත්තමයාණන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේව යි වැන්දාහු ය.
6085. ඔබවහන්සේට සතියක් මුළුල්ලෙහි මේ ක්‍ෂත්‍රියයා විසින් මහාදානයක් දෙනලදි. මහාමුනීන්වහන්ස ඔහුගේ කර්‍මවිපාකය අසනු කැමැත්තෝ වෙමු. පවසනු මැනැවැ” යි කීහ.
6086-6087. ඉක්බිති භාග්‍යවත් තෙමේ (මෙසේ) වදාළේ ය: “මාගේ වචනය අසවු. දක්‍ෂිණා තොමෝ අපමණ වූ ගුණ ඇති බුදුරජුන් කෙරෙහි ද, සඞ්ඝයා කෙරෙහි ද, මැනැවින් පිහිටියා ය. ඒ දක්‍ෂිණාවගේ (විපාකය) පවසන්නේ කවරෙක් ද? ඕ තොමෝ අප්‍රමේය වූ විපාක ඇත්තී ය. එතෙකුදු වුවත් මේ මහාභාග්‍ය ඇති ක්‍ෂත්‍රිය තෙමේ උතුම් තනතුරක් පතයි.
6088. මහත්ලාභ ඇතියවුන් අතුරෙන් අග්‍රලාභී වූ සුදර්‍ශන භික්‍ෂු තෙමේ යම්සේ ද, මම ද එසේ ම වෙම්වා (යනු ඔහුගේ පැතුමයි). මතු කාලයෙහි මෙ තනතුර (හෙතෙම) ලබන්නේ ය.
6089. මෙයින් මතු සියක්දහස් වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ, නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
6090. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ, ඖරසපුත්‍ර වූ නමින් සීවලී නම් ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේ ය.”
6091. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙන ද, චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව් ලොවට (උත්පත්ති වශයෙන්) එළඹියෙම් වෙමි.
6092. මෙයින් එක් අනූවන කපෙහි මනෝඥ ඇස් ඇති සියලු දතයුතු ධර්‍මයන් වෙසෙසින් දක්නාසුලු වූ, ලෝකනායක වූ විපස්සී බුදුරජ තෙමේ ලොව පහළ විය.
6093. එකල්හි මම බන්‍ධුමතී නගරයෙහි එක්තරා කුලයෙක (නෑයන් විසින් කරණ ලද) දයාව ඇත්තා වූ (දෙමාපියන් විසින්) ප්‍රාර්‍ත්‍ථනා කොට ලබන ලද්දා වූ පුතෙක් ව කර්‍මාන්තයන්හි ව්‍යාපෘත විමි.
6094. එකල්හි එක්තරා උපාසක සමූහයක් විපස්සී බුදුරජුන් හට ඉතා ප්‍රකට වූ මහදනක් පැවැත්වී ය.
6095. මහදන් නිමි කල්හි ද ඛාද්‍ය වර්‍ග දෙන්නේ අළුත් දිහි ද මී ද සොයමින් නො ම දිටී.
6096. එකල්හි මම ඒ අළුත් දී හා කැටිමී ද ගෙණ කර්‍මාන්ත ස්වාමියාගේ ගෙට ගියෙමි. ඒ අළුතු දී හා කැටි මී සොයන්නාහු මා දුටුවාහු ය.
6097. දහසකුදු දී මගෙන් ඉල්වා ඒ දෙක ඔවුහු නො ලැබුවාහු ය. එයින් “මෙය අල්පවූවක් නො වන්නේ ය”යි මම සිතීමි.
6098. යම්සේ මේ සියලු ජනයෝ තථාගතයන් වහන්සේට සත්කාර කෙරෙත් ද, මම ද ශ්‍රාවක සඞ්ඝයා සහිත වූ ලෝකනායක බුදුරජුන් කෙරෙහි සත්කාරයක් කරන්නෙමි යි සිතීමි.
6099. එකල්හි මම මෙසේ සිතා දී ද මී ද එකට යොදා සඞ්ඝයා සහිත වූ ලෝකනාථයන් වහන්සේට දුනිමි.
6100. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව් ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
6101. මම නැවත බරණැස් නුවර මහත් යස පිරිවර ඇති රජෙක් ව එකල්හි සතුරු රජකුට කිපියෙම් නුවරින් පිට විය නො හැකි සේ දොර වස්වා ලීමි.
6102. එකල අවුරන ලද සතුරෝ සත්දිනක් (හිරකොට) රක්නා ලද්දාහු ය. ඒ කර්‍මයාගේ විපාකය කරණ කොට ගෙන දැඩි වූ නිරය දුකට වැටුනෙමි.
6103. මම දැන් අන්තිම ජාතියෙහි කෝලියනගරයෙහි උපන්නෙම් වෙමි. මාගේ මවු තොමෝ සුප්පවාසා (රජමෙහෙසිය) ය. පිය තෙමේ මහාලි ලිච්ඡවි රජ තෙමේ ය.
6104. කුශලකර්‍මබලයෙන් කැත්කුලයෙහි (උපන්මි). නුවර දොර වැස්වූ අකුශලකර්‍මබලයෙන් සත්හවුරුද්දක් මවුකුසෙහි දුක්ඛිතව විසීමි.
6105. මම සතියක් මූඪගර්‍භ ව මහදුකින් යුක්ත වීමි. මාගේ මවුතොමෝ (නුවර දොර වැසීමට) කැමැත්ත දීම හේතු කොට ගෙණ මෙසේ අතිශයින් හටගත් දුක් ඇති වූ ය.
6106. බුදුරජුන් විසින් අනුකම්පා කරණ ලද මම නිදුකින් (මව් කුසින්) නික්මුනෙමි. (සතියකට පසු ගිහිගෙන්) නික්මුනු දවස්හි ම අනගාරිය සඞ්ඛ්‍යාත පැවිද්දට වන්මි.
6107. මහනුවණැති ශාරීපුත්‍ර තෙමේ මාගේ උපාධ්‍යාය විය. මහත් ඍද්ධි ඇති මෞද්ගල්‍යාන තෙමේ මාගේ හිසකේ බාමින් අනුශාසනා කෙළේ ය.
6108. හිසකේ බාන කල්හි ම (-කරගෙහි දී ම) රහත් බවට පැමිණියෙමි. දෙවියෝ ද, නාගයෝ ද, මනුෂ්‍යයෝ ද, මට සිව්පස එළවත්.
6109. පදුමුත්තර බුදුරජුන් ද, විපස්සී බුදුරජුන් ද යම් හෙයෙකින් ප්‍රමුදිත වූයෙම් සිව්පසයෙන් වෙසෙසින් පිදුයෙම් නම්,
6110. ඒ හේතුවෙන් ඒ කුශලකර්‍මයන්ගේ විශේෂයෙන් වනයෙහි ද, ගමෙහි ද, දියෙහි ද, ගොඩබිම්හි දැයි හැමතන්හි උතුම් සිවුපසය මහත්සේ ලබමි.
6111. යම් කලෙක්හි ලෝකාග්‍රනායක වූ බුදුරජ තෙම තිස්දහසක් භික්‍ෂූන් සමග රේවත තෙරණුවන් දකින පිණිස වඩී ද,
6112-6114. එකල්හි මාගේ ප්‍රයෝජනය පිණිස දෙවියන් විසින් එළවන ලද සිව්පසයෙන් මහත් ප්‍රඥා ඇත්තා වූ, මහත් වීර්‍ය්‍ය ඇති සඞ්ඝයා සහිත වූ, තුන්ලොවට නායක වූ බුදුරජ තෙම මා විසින් උවටැන් කරණ ලද්දේ එහි වැඩ රේවත තෙරුන් දිටී ය. ඉන්පසු දෙව්රමට වැඩ, “මහණෙනි, මාගේ සිසුන් අතරෙහි සීවලී තෙමේ ලාභීන් හට අග්‍ර ය” යි මා ලාභීන් අතුරෙහි ඒතදග්‍රස්ථානයෙහි තැබී ය. සව් ලොවට හිත වූ ශාස්තෘ තෙමේ පිරිස් මැද දී මට පැසසීය.
6115. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
6116. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
6117. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් සීවලී ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සීවලි ස්ථවිරාවදානය තෙවැනි යි.
544. වඞ්ගීස ස්ථවිරාවදානය
6118. මෙයින් සියක්දහස් වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්‍මයන්හි විනිවිද දක්නාසුලු නුවණැස් ඇති පදුමුත්තර නම් බුදුරජ තෙම ලොව පහළ විය.
6119. සයුරෙහි රළ, අහසෙහි තරු යම් සේ විසිතුරු ද එසේ ම උන්වහන්සේගේ සසුන රහතුන්ගෙන් විසිතුරු විය.
6120. ඒ ජනෝත්තම වූ බුදුරජතෙම දිව්‍යඅසුරනාගමනුෂ්‍ය යන මොවුන් විසින් පිරිවරණ ලදුයේ මහණ බමුණන්ගෙන් ගැවසීගත් ජනයා මැද-
6121. (භවෝත්පත්තිය දුරුකිරීමෙන්) ලෝකාන්තයට ගිය ඒ බුද්ධදිවාකර තෙමේ ප්‍රභාවෙන් ලොව රඳවමින් වෛනෙයජන නමැති පියුම්, වචන නමැති රැසින් පොබයමින්-
6122. චතුර්වෛශාරද්‍යයන්ගෙන් යුක්ත වූ දුරු කරණ ලද බිය හා ඇලුම් ඇති, (ක්‍ෂේම යයි කියන ලද) නිවණට පැමිණි විශාරද වූ පුරුෂෝත්තම වූ-
6123. ලෝකනායක වූ බුදුරජ තෙමේ උතුම් ආසභස්ථානය ද කේවල (අනන්‍යසාධාරණ) බුදධත්‍වය ද තමා තුළ ඇතැයි ප්‍රතිඥා කෙරෙයි. ඔබට එය නැතැයි චෝදනා කරණ කිසි චෝදකයෙක් නැත.
6124. මෙසේ අභිතසිංහනාද කරණ කම්පා නැති උන්වහන්සේට ප්‍රතිවක්තෘව (විරුද්ධ ව) කියන දෙවියෙක් මිනිසෙක් හෝ බඹෙක් නැත.
6125. උතුම් දහම් දෙසමින්, දෙවියන් සහිත ලෝකයා (සසරින්) එතෙර කරමින් පිරිස් මැද විශාරද ව දම්සක් පවත්වයි.
6126. ඒ බුදුරජ තෙම ප්‍රතිභානවත් (වැටහීම ඇති) භික්‍ෂූන් අතුරෙන් අග්‍ර වූ සාධුසම්මත ශ්‍රාවකයකු බොහෝ ගුණ පවසා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
6127. එකල මම හංසවතී නගරයෙහි උපන්නෙම් සාධුසම්මත වූ, සියලු වේදයන් දන්නා වූ, වාගීශ වූ, වාදීන් මැඩලන බමුණෙක් වූයෙම්-
6128. ඒ මහාවීර වූ බුදුරජුන් වෙත එළඹ එ දම්දෙසුම අසා ශ්‍රාවකයන්ගේ ගුණයෙහි ඇලුනෙම් උතුම් ප්‍රීතිය ලැබීමි.
6129. එකල්හි මම සඞ්ඝයා සහිත වූ ලෝකනන්‍දන වූ බුදුරජුන් පවරා සතියක් වළඳවා වස්ත්‍රයෙන් හැඳවීමි. හඳිනා (පොරෝනා සිවුරු පිණිස පිළි පිදීමි.)
6130. හිසින් පාමුල හෙව ලබන ලද අවකාශ ඇත්තෙම් බඳැඳිලි ඇත්තෙම් සතුටු වූයෙම් එකත් පසෙක සිටියෙම් උතුම් වූ බුදුරජුන්හට (මෙසේ) ස්තූති කෙළෙමි.
6131. “වාදීශාර්දුලයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයාණන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. මුළුලොවට අග වූ උතුමානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. අභය (දානය) කරන්නා වූ උත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා.
6132. මාරබල මර්දනය කරණුවන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. දෙසැටමිසදිටු මඩින උතුමානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ශාන්තිසුඛදායකයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. සත්ලොවට පිහිට කරණ උතුමානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා.
6133. පින්වත් තෙමේ අනාථයනට පිහිට ය. බියවූවනට අභය දායක ය. ශ්‍රාන්ත (-විඩා) වූවනට විශ්‍රාම්භූමි ය. පිහිට සොයන සත්නට පිළිසරණෙක් ය.
6134. මේ ආදි නයින් මහත් වූ ගුණ ඇති සම්බුදු රජුන් හට පසසා “වාදීශූර වූ (ප්‍රතිභානවත්) භික්‍ෂුහුගේ තත්ත්‍වයට පැමිණෙමැ” යි කීමි.
6135-6136. එකල්හි අනන්ත වූ වැටහීම් ඇති භාග්‍යවත් තෙමේ (මෙසේ) වදාළේ ය: ඒ යමෙක් තෙම පහන් වූයේ ශ්‍රාවකයන් සහිත වූ බුදුරජුන් සතියක් සියතින් වැළඳවී ද, (ඒ සම්බුද්ධ වූ) මාගේ ගුණ පැවසී ද, මෙ තෙම වාදීශූර වූ (ඒ ප්‍රතිභානවත්) භික්‍ෂුහුගේ තනතුර පතයි.
6137. නො අඩු වූ දෙවි - මිනිස් සැප අනුභව කොට මතු කාලයෙහි (ඔහුගේ) ඒ මනෝරථය ලබන්නේ ය.
6138. මෙයින් (මතු) සියක් දහස් වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
6139. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් ම නිර්මිත කළාක් වැනි, ඖරසපුත්‍ර වූ නමින් වඞ්ගීස නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය” (කියායි)
6140. එකල්හි එය අසා සතුටු වූයේ මෙත් සිතැත්තේ දිවි ඇති තාක් තථාගත වූ බුදුරජුන්හට (සිවු) පසයෙන් උවටැන් කෙළෙමි.
6141. මම මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මිනිස් සිරුර හැර තුසිත දෙව් ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
6142. මම දැන් මේ අන්තිමජාතියෙහි පිරිවැජිකුලයෙහි උපනෙම් උපතින් සත්හැවිරිදි වූයෙම් වීමි.
6143. සියලු වේද දන්නෙක් වූයෙම් වාදශාස්ත්‍රයෙහි විශාරද වූයෙම් වාදීන්හට ශ්‍රේෂ්ඨ වූයෙම් චිත්‍රකථික වූයෙම් විරුද්ධවාදීන් මඩනාසුලු වූයෙමි.
6144. “වඞ්ගරටෙහි උපන්නේ නු”යි වඞ්ගිස ය, නොහොත් “වචනයෙහි අධිපති නු” යි වඞ්ගිස ය යි මාගේ නාමය ලෝකසම්මත විය.
6145. යම් කලෙක්හි මම දනුමැති බවට පැමිණියෙම් පළමු යොවුනෙහි සිටියෙම් වෙම් ද, එකල්හි රම්‍ය වූ රජගහනුවරදී සැරියුත් තෙරුන් දිටිමි.
පස්විසි වැනි බණවර යි.
6146. පිඬු පිණිස හැසිරෙන්නා වූ පාත්‍රය ගත් අත් ඇති සන්හුන් වූ ලොල් නො වූ නිශ්චල ඇස් ඇති පමණ දැන කථා කරන්නා වූ වියදඬු පමණ දුර බලන්නා වූ
6147. ඒ සැරියුත් තෙරුන් දැක මම හටගත් විස්මය ඇත්තෙම් සිතට සුදුසු වූ, එකෙණෙහි වැටහුනා වූ එතන්හි දී ම රචිත වූ විචිත්‍ර වූ ගාථාපදයක් කීමි.
6148. එකල්හි ඒ වීර වූ පණ්ඩිත ශාරිපුත්‍ර තෙමේ මට ලෝකනායක වූ ශාස්තෘ වූ සම්බුදු රජුන් ගැණ කී ය. මට පිළිතුරු ද කී ය.
6149. තාදී ගුණ ඇති එම සැරියුත් තෙරුන් විසින් තෘෂ්ණා නිඃශ්‍රිත නො වූ බැවින් විරාගසංහිත වූ දුද්දස හෙවත් අවබෝධයට දුෂ්කර වූ උතුම් වූ වාක්‍යයක් කොට විසිතුරු ප්‍රතිභානයෙන් සතුටු කරණ ලද මම (උන්වහන්සේගේ) පාමුල සිරසින් නැමී (වැඳ) “මා පැවිදි කළ මැනවැ”යි කීමි.
6150. ඉක්බිති ඒ මහාප්‍රාඥ වූ ශාරීපුත්‍රස්ථවිර තෙමේ මා බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණවී ය. පාමුල සිරසින් නැමී (වැඳ) ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි හුනිමි.
6151. කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ බුදුරජ තෙම ‘වඞ්ගීස කිම’ කිසියම් ශිල්පයක් දනිහි දැ’යි මා ඇසී ය. මම උන්වහන්සේට දනිමි යි කීමි.
6152. වනයෙහි බැහැර ලූ දොළොස් හවුරුදු ඉක්ම ගිය මළ හිස්කබලක් (දක්වා) තාගේ විද්‍යාවිශේෂයෙන් (මේ හිස් කබල අයත් තැනැත්තා කොහි උපන්නේ දැ යි) ඉදින් හැකි වෙහි නම් කියව යි වදාළහ.
6153. එසේ ය යි මා පිළිණ කළ කල්හි හිස්කබල් තුණක් දැක්වී ය. නරකය මිනිස්ලොව දෙව්ලොව යන මේ තන්හි උපන්නවුන් කීමි.