5965. ඉක්බිති සිඞ්ගී ස්වර්‍ණනිෂ්කයකට බඳු පැහැ ඇති භාග්‍යවත් තෙමේ කෙලෙස් මල හරනා වූ සිත් රැඳවිය යුතු මිහිරි ස්වරයෙන් මට (මෙසේ) වදාළේය:
5966. “සුවපත් වේවා. දීඝායුෂ්ක වේවා. තාගේ පැතුම සිදුවේවා. සඞ්ඝයා සහිත වූ මා කෙරෙහි තා විසින් කරණ ලද සත්කාරය අනුසස් වසයෙන් අති මහත් ය.
5967. මෙයින් මතු සියක්දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙම ලොව පහළ වන්නේ ය.
5968. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ රාධ යන නමින් යුත් ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.
5969. තොපගේ හේතුසම්පත්තියෙහි හා ගුණයෙහි තුටු වූ ශාක්‍ය පුත්‍ර වූ නරශ්‍රේෂ්ඨ වූ ඒ බුදුරජතෙම පටිභාණෙය්‍යක භික්‍ෂූන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නේ ය”යි.
5970. එකල්හි එය අසා සතුටු වූයෙම් මෙත්සිත් ඇත්තෙම් සිහියෙන් යුක්ත වූයෙම් ප්‍රඥාවත් වූයෙම් දිවි ඇති තාක් බුදුරජුන්හට පරිවරණය කෙළෙමි.
5971. මැනැවින් කරණලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
5972. මම තෙසියවරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
5973. කරණලද මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් මෙතෙකැයි ගිණිය නො හැකි ය. ඒ කර්‍මයාගේ බලයෙන් සියලු තන්හි සුව ඇත්තෙම් වීමි.
5974. පශ්චිමභවය පැමිණි කල්හි උතුම් වූ ගිරිව්‍රජ නගරයෙහි දුර්‍ලභ වූ වස්ත්‍ර ද ආහාර ද ඇති සමෘද්ධ නො වූ බමුණු කුලයක උපන්නෙමි.
5975. තාදීගුණ ඇති සැරියුත් තෙරුන්හට හැන්දක් පමණ වූ පිණ්ඩ දානය දුනිමි. යම් කලෙක්හි මම ජීර්‍ණ වූයෙම් ද, වෘද්ධ වූයෙම් ද, එකල්හි ආරාමයට එළඹියෙමි.
5976. එකල්හි ජීර්‍ණ වූ දුර්‍වල ව ගිය බල ඇති මා කිසිවෙක් පැවිදි නො කරත්. එහෙයින් මම බැගෑපත් වූයෙම් දුර්‍වණ සිරුරු ඇත්තෙම් ශෝකී වූයෙම් ද වීමි.
5977. මහාකාරුණික වූ බුදුරජතෙම මා දැක මෙසේ වදාළේ ය: “පුත, කුමක් පිණිස සොවින් ආතුර වූයෙහි ද, ඔබගේ සිතෙහි හටගත් රිදුම (චිත්තපීඩාව) කුමක්දැයි කියනු මැනැවැ” යි.
5978. “වීරයන් වහන්ස, ස්වාක්ඛාත වූ ඔබවහන්සේගේ සසුනෙහි පැවිද්ද නො ලබන්නෙම් ඒ ශෝකය හේතු කොට ගෙණ බැගෑපත් වූයෙම් වෙමි. ලෝකනායකයන් වහන්ස, මට පිහිට වනු මැනැවැ”යි රාධ කීය.
5979. එකල්හි විපස්සී බුදුරජුන් පටන් සත්වැනි වූ ගෞතම බුදුරජ තෙමේ භික්‍ෂූන් කැඳවා යම් කෙනෙක් මොහුගේ කිසියක් උපකාරයක් සිහිකෙරෙත් නම් ඔහු ඒ උපකාරය පවසත්ව යි වදාළේ ය.
5980. එකල්හි සැරියුත් තෙමේ මෙසේ කීය: “ඔහුගේ උපකාරයක් මම සිහි කරමි. (දිනක්) පිඬු පිණිස හැසිරෙන්නා වූ මට හේ හැන්දක් පමණ පිඬු දෙවී ය” කියා යි.
5981. සාධු, සාධු, ශාරීපුත්‍රයෙනි, ඔබ කළගුණ දන්නාව. මේ වෘද්ධ බ්‍රාහ්මණයා පැවිදි කරන්න. මෙතෙම ශ්‍රෙෂ්ඨයෙක් වන්නේ ය යි වදාළේ ය.
5982. ඉක්බිති පැවිද්ද ද, කර්‍මවාචා උපසම්පත්තිය ද ලැබීමි. නොබෝ කලකින් ම ආස්‍රවක්‍ෂයට (=නිවනට) පැමිණියෙමි.
5983. යම් විටෙක බුදුරජුන්ගේ වචනය මුදිත වූයෙම් සකසා අසම් ද එවිට බුදුරජතෙම මා පටිභානෙය්‍යක භික්‍ෂූන් අතුරෙන් අග්‍රය යි (අගතන්හි) තැබී ය.
5984. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5985. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5986. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් රාධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
රාධස්ථවිරාවදානය නවවැනියි.
540. මෝඝරාජ ස්ථවිරාවදානය
5987. පසැස් ඇත්තා වූ සියලු ලෝකයන් තත් වූ පරිදි දන්නා වූ පස්මරුන් ජයගත්තා වූ මෝනෙය්‍යගුණ ඇති පදුමුත්තර නම් බුදුරජ තෙමේ මෙයින් පෙර සියක්දහස් වන කපෙහි ලොව පහළ විය.
5988. සව්සත්නට ඔවා දෙන්නා වූ, දහම් පිළිවිදුවන්නා වූ සත්ත්‍වයන් සසරින් එතෙර කරන්නා වූ දේශනාවෙහි දක්‍ෂ වූ බුදුරජතෙමේ බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවී ය.
5989. සව්සත්නට අනුකම්පා කරන්නා වූ, කාරුණික වූ, හිත කැමැත්තා වූ ඒ බුදුරජ තෙම පැමිණි සියලු තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිටු විය.
5990. මෙසේ (ඒ කාලය) තීර්‍ත්‍ථකයන්ගෙන් හිස් වූ නිරවුල් වූ, තාදීගුණ ඇති (පඤ්ච වශිතාවන්ගෙන්) වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වූවක් වී ය.
5991. ඒ බුදුරජතෙම අටපණස්රියනක් උස ය. රන්ඇගෑයක් මෙන් බබලන්නේ ය. දෙතිස්මහපුරිස් ලකුණු ඇත්තේ ය.
5992. එකල්හි වර්‍ෂලක්‍ෂයක් ආයුෂ වෙයි. එ පමණ කල් වැඩසිටිමින් ඒ සර්‍වඥතෙම බොහෝ ජනසමූහයා (සසරින්) එතෙර කෙළේ ය.
5993. එකල්හි මම හංසවතී නගරයෙහි එක්තරා කුලයෙක උපනිමි. අනුන්ගේ බැලමෙහෙ කිරීමෙහි යෙදුනේ වෙමි. මට කිසිදු ස්වකීය ධනයක් නැත.
5994. ආසන ශාලාවෙහි පිරියම් නො කළ බිම්හි වසන්නෙම් එහි ගිනි දැල්වීමි. එ පොළොව දැඩිසේ කළු වී ය.
5995. එකල්හි සිවුසස් පවසන්නා වූ බුදුරජතෙමේ පිරිස් මැදෙහි රළු සිවුරු දරන්නා වූ සව්වකු පැසසී ය.
5996. මම ඔහුගේ ඒ ගුණයෙහි සතුටු වූයෙම් තථාගතයන් නැමී වැඳ රූක්‍ෂචීවරධාරී භික්‍ෂූන් අතුරෙන් අග්‍ර වූ උතුම් තනතුර පැතීමි.
5997-5999. එකල්හි පදුමුත්තර බුදුරජ තෙමේ සව්වනට මෙසේ වදාළේ ය: “වැරහැලි වූ වස්ත්‍ර ඇති, සිහින් සිරුරු ඇති මෙපුරිස් බලවු. ප්‍රීතියෙන් පැහැදුනු මුහුණු ඇති, ශ්‍රද්ධාධනයෙන් යුත්, ඌර්‍ධවාග්‍ර වූ රෝම ඇති, සතුටු වූ, නිශ්චල වූ, සාලපිණ්ඩ ඇති මෙතෙම රූක්‍ෂචීවර ධාරී වූ සත්‍යසේන නම් භික්‍ෂූහුගේ ඒ වර්‍ණයට (ආකාරයට) ඇදීගිය සිත් ඇත්තේ ඒ තනතුර පතා”යි.
6000. එය අසා තුටු වූයෙම් හිස නමා බුදුරජුන් වැඳ බුදුසසුන්හි දිවි ඇති තාක් යහපත් වූ කර්‍ම කොට-
6001. මම මැනැවින් කරණලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද මිනිස්සිරුර හැර තව්තිසා දෙව් ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙම් වෙමි.
6002. ආසනශාලාවෙහි බිම දැවීමේ කර්‍මය හේතු කොට ගෙණ දුක් වේදනාවෙන් පීඩිත වූයෙම් යම් සහස්‍රවර්‍ෂයක් (=අවුරුදු දහසක්) නිරයෙහි දැවුනෙමි.
6003. මම ශේෂ වූ ඒ කර්‍මයෙන් පන්සියක් ජාතීන්හි කුලවත් මිනිසෙක් ව උපතින් ම සිරුරෙහි ලප ඇත්තෙක් වීමි.
6004. පන්සියක් ම ජාතීන්හි කුෂ්ටරෝගයෙන් ආතුර වූයෙම් ඒ කර්‍මයාගේ බලයෙන් මහත් දුක් වින්දෙමි.
6005. පැහැදි සිත් ඇති මම මේ භද්‍රකල්පයෙහි යසස් ඇති උපරිට්ඨ (පසේ බුදුරජුන්) පිණ්ඩපාතයෙන් තර්‍පණය කෙළෙමි.
6006. ඒ විශේෂ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
6007. පශ්චිම භවය පැමිණි කල්හි කැත්කුලෙහි උපනිමි. පියාගේ ඇවෑමෙන් මම මහරජයට පැමිණියෙම් වෙමි.
6008. මම කුෂ්ටරෝගයෙන් මැඩුනෙම් ආස්වාදයක් සුවයක් නො ලබමි. යම් හෙයකින් මගේ රජසුවය හිස් වූවක් වීද එහෙයින් මම මෝඝරාජ නම් වීමි.
6009. ශරීරයාගේ දොස් දැක පැවිද්දට පැමිණියෙමි. බාවාරි නම් ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයකු බවට පැමිණියෙමි.
6010. මහත් වූ පිරිවර සහිතව බුදුරජුන් වෙත එළඹ වාදීන් මඩින්නා වූ ඒ වීරයන් වහන්සේගෙන් සියුම් ප්‍රශ්නයක් විචාළෙමි.
6011. මේ මිනිස් ලෝ වැසියා ද එයින් අන් ලෝවැසියා ද දෙවියන් සහිත බඹ ලෝ වැසියා ද යසස්වි වූ ගෞතම ගෝත්‍ර ඇති මුබවහන්සේගේ දෘෂ්ටිය නො දනී.
6012. මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් කරා ප්‍රශ්න හේතුයෙන් අර්ත්‍ථී වැ ආයෙමි. ලොව කෙසේ බලන්නාහු මෘත්‍යුරාජ තෙමේ නො දකී ද?
6013-6014. “මෝඝරාජ, හැමකල්හි සිහි ඇත්තේ සත්කායදෘෂ්ටිය නැති කොට (වසඟයෙහි නො පවත්නා බැවින් හෝ සංස්කාරයන්ගේ අසාර බැවින්) ශූන්‍ය (=හිස්) වූවක් ලෙස ලෝකය දෙස බලනු මැනැව. මෙසේ (විදසුන් නැණින්) ලොව බලන්නේ මාරයා ඉක්ම යන්නේ වේය”යි සියලු සසර රෝගයනට වෛද්‍යචරයා වූ බුදුරජතෙම මට මෙසේ වදාළේ ය.
6015. ගාථාව දෙසා අවසන් වත්ම කෙස් රැවුල් විරහිත වූයෙම් කසාවත් හැඳුනෙම් එබඳු වූ රහත් භික්‍ෂුනමක් වීමි.
6016. (කුෂ්ට) රෝගයෙන් පෙළුනා වූ මම වාතරෝගයකිනුදු පීඩිත වූයෙම් “විහාරය කිලිටි නො වේව”යි සඞ්ඝික විහාරයන්හි නො විසීමි.
6017. කසළගොඩින් ද, සොහොනින් ද, වීදිවලින් ද රෙදිකැබලි ගෙනවුත් එයින් සඟල සිවුරක් කොට රූක්‍ෂචීවරයක් දැරීමි.
6018. මාගේ ඒ ගුණයෙහි සතුටු වූ සසරලෙඩට අග්‍රවෛද්‍ය වූ ලෝකනායක බුදුරජතෙමේ මා රූක්‍ෂචීවරධාරීන් අතුරෙන් අග්‍රය යි ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
6019. ක්‍ෂීණ වූ පුණ්‍යපාප ඇත්තෙම් සියලු රෝගයන්ගෙන් වෙන් වූයෙම් දර නො මැති ගින්නක් මෙන් ආස්‍රව රහිත ව පිරිනිවන් පාන්නෙමි.
6020. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
6021. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් භද්‍ර විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
6022. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් මෝඝරාජ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මෝඝරාජ ස්ථවිරාවදානය දසවැනියි.
කච්චාන වර්‍ගය සිවුපණස් වැනියි.
උද්දානය:
කච්චාන, වක්කලී ථේර, මහා කප්පින නම් දැරූ, දබ්බ, කුමාරකස්සප, බාහිය, වසී කොට්ඨිත, උරුවේලකස්සප, රාධ, පණිඩිත මෝඝරාජ ද, තෙසිය දෙසැටගයෙක් මෙම වග පිඬු වී ඇති.
55. භද්දිය වර්‍ගය
541. ලකුණ්ටකභද්දිය ස්ථවිරාවදානය
6023. මෙයින් පෙර සියක් දහස්වන කපෙහි සියලු ධර්‍මයෙහි විෂය (විනිවිද දක්නා) ඇස් ඇත්තා වූ ලෝකනායක වූ පදුමුත්තර නම් බුදුරජතෙමේ ලොව පහළ විය.
6024. එකල්හි මම හංසවතී නගරයෙහි මහත් ධන ඇති සිටුපුතෙක් වීමි. ඒ මම ජඞ්ඝාවිහාරයෙහි (සක්මණෙහි) හැසිරෙන්නෙම් සඞ්ඝාරාමයට ගියෙමි.
6025. එකල්හි ලොවට පහන් වූ ලෝකනායක ඒ බුදුරජ තෙම දහම් දෙසී ය. මධුරස්වර ඇතියවුන් අතුරෙන් අග්‍ර වූ ශ්‍රාවකයකු පැසසී ය.
6026. එය අසා සතුටු වූයෙම් මහර්ෂි වූ බුදුරජුන්හට සත්කාර කොට ඒ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ ඒ තනතුර පැතීමි.
6027. එකල්හි ශ්‍රේෂ්ඨ නායක වූ බුදුරජතෙම සඞ්ඝයා මධ්‍යයෙහි දී “මතුකාලයෙහි තෙල මනෝරථය සමෘද්ධ වන්නේ ය” යි ප්‍රකාශ කෙළේ ය:
6028. මෙයින් මතු සියක්දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නේ ය.
6029. උන් වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් භද්දිය නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.
6030. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමි.
6031-6032. මෙයින් පෙර දෙයානූවන කපෙහි ගුණයෙන් කිසිවකුටත් ගැටිය නො හෙන්නා වූ, මැඩලිය නො හෙන්නා වූ, සව්ලෝ මුදුන් වූ, පස්මරුන් ජයගත්තා වූ (පසළොස්) චරණධර්‍මයන්ගෙන් යුක්ත වූ, මහත් වූ ඍජු ප්‍රතාපගුණ ඇති ඵුස්ස නම් බුදුරජතෙමේ ලොව පහළ වි ය. සව්සත්නට හිත කැමැත්තා වූ ඒ බුදුරජ තෙම බොහෝ ජනයා සසර බැඳුමෙන් මිදී ය.
6033. උන්වහන්සේගේ නන්‍දාරාම නම් රාජෝද්‍යානයෙහි ඵුස්ස නම් වූ කෝකිලයෙක් වීමි. ඒ මම ගඳකිලිය අබියස අඹරුකෙක්හි වසමි.
6034. එකල්හි මම පිඬුපිණිස වඩනා වූ දක්‍ෂිණාර්‍හ වූ බුදුරජුන් දැක සිත පහදවා මිහිරි නදින් හැඬීමි.
6035. එකල්හි රජඋයනට ගොස් රන්වන් වූ පිට සිවි ඇති මොනොවට ඉදුනු අඹගෙඩියක් ගෙණ සම්බුදුරජුන්හට පිරිනැමීමි.
6036. එකල්හි ලෝකනායක වූ මහාකාරුණික වූ බුදුරජතෙම මාගේ අදහස දැන උපස්ථායකයා අතින් පාත්‍රය ගත්තේ ය.
6037-6038. මම සතුටු සිත් ඇත්තෙම් අඹගෙඩිය බුදුරජුන්හට දුනිමි. එය පාත්‍රයෙහි බහා පියාපතින් ඇඳිලි බැඳ සිත් අලවන්නා වූ මනෝඥ වූ මිහිරි වූ ශ්‍රවණීය වූ ස්වරයෙන් බුදුපුද පිණිස හඬලමින් මම කැදැල්ලට ගොස් හොත්තෙමි.
6039. එකල්හි බූද්ධාලම්බනප්‍රීතිසහගත සිත් ඇති ප්‍රමුදිත වූ මා වෙත දුෂ්ට සිත් ඇති උකුස්සෙක් පැමිණ මා නැසී ය.
6040. මම එයින් සැව ඒ කර්‍මයාගේ බලයෙන් තුෂිත දෙව්ලොව මහත් සැප අනුභව කොට මිනිසත් බවට පැමිණියෙමි.
6041. මෙම මහාභද්‍රකල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහි වූ මහත් යශස් ඇති, වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ බුදුරජතෙම ලොව පහළ විය.
6042. උන්වහන්සේ සසුන බබුළුවා මිථ්‍යාතීර්‍ත්‍ථයකයන් මැඩ විනෙයජනයන් හික්මවා ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුරජානන්වහන්සේ පිරිනිවි සේක.
6043. උන්වහන්සේ පිරිනිවි කල්හි පැහැදුනා වූ බොහෝ දෙන ඒ ශාස්තෲ වූ බුදුරජානන් වහන්සේට පූජා පිණිස සෑයක් කරවත්.
6044. මහර්ෂි වූ බුදුරජුන්හට සත්රුවනින් අලඞ්කෘත වූ සත්යොදුන් සෑයක් කරන්නෙමු’ යි මෙසේ ඔහු මන්ත්‍රණය කරත්.
6045. එකල්හි මම කිකීනම් කාසිරජුගේ සේනාවෙහි නායක ව චෛත්‍යයෙහි ප්‍රමාණය අප්‍රමාණ (විශාල) බව කීමි.
6046. එකල්හි මාගේ වචනය නිසා ඔහු බුදුරජුන්ගේ චෛත්‍යය (සත් යොදුනක් නොව) යොදුනක් උසට නොයෙක් රත්නයෙන් අලඞ්කාර කොට කළාහුය.
6047. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
6048. මම දැන් මේ පශ්චිම භවය පැමිණි කල්හි සැවැත් පුරවරයෙහි සමෘද්ධ වූ පිරුණා වූ මහත් ධන ඇති සිටුකුලයෙක උපන්නෙමි.
6049. නුවරදොර බුදුරජුන් දැක විස්මය පත් සිත් ඇත්තෙම් පැවිදිව නොබෝ කලකින්ම රහත් බවට පැමිණියෙමි.
6050. චෛත්‍යයාගේ (විශාලත්‍වය අඩු කොට) යම් ප්‍රමාණයක් කෙළෙම් ද, ඒ කර්‍මය හේතු කොට ගෙණ මම නින්‍දාවට සුදුසු වූ මිටි සිරුරු ඇත්තෙම් වීමි.
6051. මම මධුර ස්වරයෙන් බුදුරජුන් පුදා මධුරස්වර ඇති භික්‍ෂූන් අතුරෙන් අගතැන්පත් බවට පැමිණියෙමි.
6052. බුදුරජුන්හට අඹපල දීමෙන් ද බුදුගුණ සිහිකිරීමෙන් ද (මාර්‍ගඵල සඞ්ඛ්‍යාත) ශ්‍රාමණ්‍ය ඵලයන්ගෙන් යුක්ත වූයෙම් ආස්‍රව රහිත ව වෙසෙමි.
6053. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
6054. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
6055. සිවු පිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
ලකුණ්ටකභද්දියස්ථවිරාවදානය පළමුවැනියි.
542. කඞ්ඛාරේවත ස්ථවිරාවදානය
6056. මෙයින් සියක් දහස්වන කපෙහි සියලු ධර්‍මයන් විෂයයෙහි (විනිවිද දක්නා සුලු) නුවණැස් ඇති ලෝකනායක වූ පදුමුත්තර බුදුරජ තෙමේ ලොව පහළ විය.