Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 7601-7700 න් 9627

5868. (මම) පිරිහුනු ආයු ඇත්තෙම් උන්වහන්සේගේ ධර්‍මය අසා ආස්‍රවක්‍ෂය වූ නිවණට පැමිණියෙමි. (අසරණයනට) අනුකම්පා කරන්නා වූ ශාස්තෲන් වහන්සේ ආශ්චර්‍ය්‍ය සේක් මැ යි.
5869. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5870. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5871. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5872. භූතාවිෂ්ට වූ දෙනක විසින් (පහර දීමෙන්) කසලගොඩක වැටුනු බාහිය දාරුචීරිය තෙමේ මෙසේ (තමාගේ චරිතය පිළිබඳ තොරතුරු) පැවසී ය.
5873. මහනුවණැති ඒ වීර වූ දාරුචීරිය තෙමේ උතුම් සැවැත්පුරයෙහි දී තමාගේ පෙර සිරිත පවසා පිරිනිවන් පෑවේ ය.
5874-5875. නුවරින් නික්මෙන්නා වූ (විපස්සී බුදුරජුන් පටන් ගිණුකල) සත්වැනි ඍෂි වූ ගෞතම බුදුරජ තෙමේ “දැවපතුරු ගොතා කළ වතක් දරන්නා වූ නැණවත් වූ බැහැර කරණලද භවාගමනය ඇති, බිම වැටුනා වූ දැමුනා වූ හෙළනලද ඉඳුකෙහෙලියක් මෙන් අවසන් වූ ආයු ඇති, ඉක්ම ගිය කෙළෙස් ඇති, බුද්ධශාසනකාරක වූ ඒ බාහිය තෙරුන් දැක-
5876. ඉක්බිති ශාස්තෘ තෙමේ සසුනෙහි නිරත ශ්‍රාවකයන් ඇමතූය. (අමතා) “මේ සබ්‍රහ්මචාරීහුගේ සිරුර ගණිවු. ගෙණ ගොස් ආදාහනය කරවු.
5877. සෑයක් කරවු. (ඒ සෑයට ද) පුදවු. ඒ මහනුවණැත්තේ පිරිනිවන් පෑවේ ය. මාගේ වචනය කරන්නා වූ හෙවත් සුවච වූ මේ ශ්‍රාවක තෙමේ වහා දහම් පිළිවිදුනා භික්‍ෂූන් අතුරෙන් අග්‍ර ය.
5878. ඉදින් අර්‍ත්‍ථ විරහිත පදයෙන් යුක්ත වූ ගාථාවෝ දහසෙක් නමුදු උතුම් නො වෙති. යම් ගාථාවක් අසා (පුද්ගල තෙමේ) සන්හිඳේ ද, එබඳු එක ගාථාපදය නමුදු ශ්‍රේෂ්ඨ ය.
5879. යම් තැනෙක්හි ආපෝධාතුව ද, පඨවීධාතුව ද, තේජෝධාතුව ද, වායෝධාතුව ද නො ගටා නම් එ නිවනෙහි ශුක්ලප්‍රභා ඇති ඕසධීතාරකාදීහු නො බබලති. හිරු නො පැනේ. එහි සඳ නො බබලයි. එහි අඳුර නැත.
5880. යම් කලෙක්හි (බහා තබනලද පව් ඇති බැවින්) බ්‍රාහ්මණ ය යි ද, මෝනෙය්‍ය ගුණයෙන් යුතු බැවින් මුනි ය යි ද තෙමේ ම (තමා) දැන ගත්තේ නම් එකල්හි හේ රූපභවයෙන් ද අරූපභවයෙන් ද සුවදුක් දෙකින් ද, මිදේ”ය යි මෙසේ තිලොවට පිළිසරණ වූ (අනාථයනට) නාථ වූ බුදුරජ තෙම වදාළේ ය.
මෙසෙයින් ආයුෂ්මත් බාහිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බාහිය ස්ථවිරාවදානය සවැනියි.
537. කොට්ඨිත ස්ථවිරාවදානය
5881. පසැස් ඇති සියලු ලෝකයන් (තත් වූ පරිදි) දැන ගත්තා වූ පස්මරුන් දිනූ පදුමුත්තර නම් බුදුරජ තෙමේ මෙයින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළ වී ය.
5882. සව් සත්නට ඔවා දෙන්නා වූ, දහම් පිළිවිදුවන්නා වූ, (සත්ත්‍වයන් සසරින්) එතෙර කරන්නා වූ, දේශනාවෙහි දක්‍ෂ වූ බුදුරජ තෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවී ය.
5883. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ වැඩ කැමැත්තා වූ (එ බුදුරජ තෙම) පැමිණි සියලු තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිට වී ය.
5884. මෙසේ (ඒ කාලය) තීර්‍ත්‍ථකයන්ගෙන් හිස් වූ, නිරවුල් වූ, තාදීගුණ ඇති (පඤ්ච වශිතායෙන්) වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වූවක් විය.
5885. ඒ බුදුරජතෙම අටපණස්රියනක් උස ය. රන්ඇගෑයක් වැන්න. දෙතිස් මහපුරිස් ලකුණු ඇත්තේ ය.
5886. එකල්හි ලක්‍ෂයක් හවුරුද්දට ආයු වෙයි. එපමණ කල් වැඩහුන්නා වූ ඒ සර්‍වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කෙළේ ය.
5887. එකල්හි මම හංසවතී නගරයෙහි වේදයෙහි පරතෙරට ගිය බමුණෙක් වූයෙම් බුදුරජුන් වෙත එළඹ දම්දෙසුම් ඇසීමි.
5888. එකල්හි ඒ වීර වූ බුදුරජතෙමේ අර්‍ත්‍ථයෙහි ද ධර්‍මයෙහි ද නිරුක්තියෙහි ද ප්‍රතිභානයෙහි ද දක්‍ෂ වූ ප්‍රභේදගත ප්‍රතිසම්භිදාඥාන ඇති ශ්‍රාවකයකු-
5889. ඒතදග්‍රස්ථානයෙහි තැබී ය. එය අසා ප්‍රමුදිත වූ මම එකල්හි ශ්‍රාවකයන් සහිත උතුම් වූ බුදුරජුන් සතියක් වැළඳවීමි.
5890. මම බුද්ධිසාගර වූ බුදුරජුන් ශිෂ්‍යයන් සහිතව වස්ත්‍රයෙන් (-සිවුරින්) හඳවා පාමුලෙහි වැටී එම තනතුර පැතීමි.
5891. ඉක්බිති ලෝකාග්‍ර වූ බුදුරජ තෙම මෙසේ වදාළේ ය. “මාගේ පාමුල නැවුනා වූ පියුම්ගැබකට බඳු පැහැ ඇති මේ උතුම් බමුණා දෙස බලවු.
5892. මෙතෙම සිවුපිළිසැඹියාවන් දත් ශ්‍රේෂ්ඨ වූ භික්‍ෂුහුගේ තනතුර පතයි. (මොහු තුළ ඇති) එම ශ්‍රද්ධාවෙන් ද ත්‍යාගයෙන් ද, දහම් ඇසුමෙන් ද,
5893. සියලු තන්හි සුව ඇත්තේ ව කුදුමහත් භවයෙහි සැරිසරා මතුකාලයෙහි එම මනෝරථය ලබන්නේ ය.
5894. මෙයින් ලක්‍ෂයක් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
5895. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ, ඖරස පුත්‍ර වූ, නමින් කොට්ඨිත නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය”.
5896. එකල්හි එය අසා සතුටු වූයෙම් දිවිහිමියෙන් මෙත් සිත් ඇත්තෙම් ස්මෘති ඇත්තෙම් ප්‍රඥාවෙන් යුක්ත වූයෙම් බුදුරජුනට (වතාවත් කිරීම් වශයෙන්) පරිචරණය කෙළෙමි.
5897. මම ඒ කර්‍මවිපාකය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්කය හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
5898. මම තෙසියවරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සියවරක් සක්විතිරජ වීමි.
5899. (ලබනලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය. එම කර්‍මයාගේ බලයෙන් සියලු තන්හි සුඛිත වූයෙමි.
5900. දෙව් ඇත් බැව්හි ද මිනිස් අත් බැව්හි ද (යන) දෙඅත් බැව්හි සැරිසරමි. අනික් ගතියකට නො යමි. මේ රැස්කරනලද පුණ්‍යකර්‍මයාගේ විපාක යි.
5901. කැත්කුලයෙහි ද යලි බමුණුකුලයෙහි ද යන දෙකුලයෙහි උපදිමි. නීච කුලයෙහි නො උපදිමි. මේ රැස්කරනලද පුණ්‍යකර්‍මයාගේ විපාක යි.
5902. මම පශ්චිම භවය පැමිණි කල්හි බමුණෙක් වීමි. සැවැත් නුවර මහත් ධන ඇති බමුණු කුලයක උපන්මි.
5903. මාගේ මවු තොමෝ චන්‍ද්‍රවතී නම් වූවා ය. පියතෙම අස්සලායන නම් විය. යම් කලෙක්හි බුදුරජතෙම මාගේ පියා සර්‍වශුද්ධියෙහි හෙවත් රහත් බවට පැමිණවීමෙන් හික්මවී ද,
5904. එකල්හි බුදුරජුන් කෙරෙහි පහන් වූයෙම් අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියෙමි. මෞද්ගල්‍යාන තෙමේ ආචාර්‍ය්‍ය විය. ශාරිප්‍රත්‍ර තෙමේ උපාධ්‍යාය විය.
5905. හිසකේ කපන කල්හි (සක්කාය) දිට්ඨි තොමෝ සහමුලින් සිඳින. යලි කසාවත් හඳනේ රහත්බවට පැමිණියෙමි.
5906. මාගේ ස්මෘති තොමෝ අර්‍ත්‍ථ ධර්‍ම නිරුක්තීන්හි ද ප්‍රතිභානයෙහි ද වෙන වෙන ම විනිවිද ගිය බැවින් ප්‍රභේදගත විය. එහෙයින් ලොවගපත් බුදුරජතෙම (පිළිසැඹියා පතුවන් අතුරෙන්) මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
5907. උපතිස්සයන් (-ශාරීපුත්‍රයන්) විසින් ප්‍රතිසම්භිදාවන් විෂයයෙහි ප්‍රශ්න විචාරණ ලදුයෙම් නිසැක ව විසඳා පැවසීමි. එහෙයින් මම සම්බුදුසසුනෙහි පිළිසැඹියා පතුවනට අග්‍ර වූ යෙම් වෙමි.
5908. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5909. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5910. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මහාකොට්ඨිත ස්ථවිරාවදානය සත්වැනියි.
538. උරුවේලකස්සප ස්ථවිරාවදානය
5911. පසැස් ඇත්තා වූ සියලු ලෝකයන් තත් වූ පරිදි දැනගත්තා වූ පස්මරුන් ජයගත්තා වූ පදුමුත්තර නම් බුදුරජතෙමේ මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි ලොව පහළ විය.
5912. සව්සත්නට ඔවා දෙන්නා වූ දහම් පිළිවිදුවන්නා වූ (සත්ත්‍වයන්) සසරින් එතෙර කරන්නා වූ දේශනාවෙහි දක්‍ෂ වූ බුදුරජ තෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවී ය.
5913. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ හිත කැමැත්තා වූ ඒ බුදුරජ තෙම පැමිණි සියලු තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිට විය.
5914. මෙසේ ඒ කාලය තීර්‍ත්‍ථකයන්ගෙන් හිස් වූ නිරවුල් වූ, තාදී ගුණ ඇති පඤ්චවශිතායෙන් වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වූවක් විය.
5915. ඒ බුදුරජතෙම අටපණස්රියනක් උස ය. රන්ඇගෑයක් වැන්න. දෙතිස්මහපුරිස් ලකුණු ඇත්තේ ය.
5916. එකල්හි ලක්‍ෂයක් හවුරුද්දට ආයු වෙයි. එපමණ කල් වැඩහුන්නා වූ ඒ සර්‍වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කෙළේ ය.
5917. එකල්හි මම හංසවතී නගරයෙහි සාධුසම්මත වූ බ්‍රාහ්මණයෙක් වූයෙම් බුදුරජුන් වෙත එළඹ දම්දෙසුම් ඇසීමි.
5918. එකල්හි මම (මහපිරිස් ඇතියනට අග්‍රය යි) ඒතදග්‍රස්ථානයෙහි තබන්නා වූ මහපිරිස් ඇති බුද්ධශ්‍රාවකයකු දැක සතුටු වූයෙමි.
5919. බමුණන් දහසක් සහිත වූ මම මහපිරිවරින් බුදුරජුන් පවරා දන් දුනිමි.
5920. මහදන් දී බුදුරජුන් වැඳ සතුටු වූයෙම් එකත්පසෙක සිටියෙම් මේ වචනය කීමි:
5921. “වීරයන් වහන්ස මා විසින් ඔබ වහන්සේ කෙරෙහි සැදැහැයෙන් කරණලද පූජාසත්කාර සඞ්ඛ්‍යාත අධිකාර ගුණ හේතු කොටගෙන ඒ ඒ තන්හි උපදින්නා වූ මට මහත් වූ පිරිස ඇති වේවා.
5922-5923. එකල්හි මේඝගර්ජිතයකට බඳු මනා වූ ගම්භීර ස්වර ඇති කුරවිකෙවිල් හඬකට බඳු ස්වර ඇති ශාස්තෘ තෙමේ පිරිස අමතා මෙසේ කී ය: “ස්වර්‍ණවර්‍ණ වූ මහාබාහු ඇති, පියුමකට බඳු මුහුණ හා ඇස් ඇති, ඌධර්‍වාග්‍රරෝම ඇති, ප්‍රීතිමත් වූ මාගේ ගුණයෙහි සැදැහැවත් වූ මේ බමුණු දෙස බලවු.
5924. මෙතෙම මහපිරිස් ඇත්තවුනට අගතැන්පත් වු ශ්‍රේෂ්ඨ ඝෝෂ ඇත්තා වූ නොහොත් සිංහඝෝෂ නම් වූ භික්‍ෂුහුගේ ඒ තනතුර පතයි. මතුකාලයෙහි ඔහුගේ ඒ චිත්තාභිලාෂය සමෘද්ධ වන්නේ ය.
5925. මෙයින් සියක් දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ, ග්‍රොතයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙම ලොව පහළ වන්නේ ය.
5926. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් කාශ්‍යප නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය” කියා යි.
5927. මෙයින් පෙර දෙයානූවන කපෙහි ලෝකයෙහි ශ්‍රේෂ්ඨ නායකයාණන් වූ මෙබඳුයයි කීමට උපමාවක් නැත්තා වූ සමානය යි දැක්වීමට කෙනෙකු නැත්තා වූ ඵුස්ස බුදුරජතෙම ලොව පහළ විය.
5928. ඒ බුදුරජ තෙමේ ද සියලු මොහො අඳුරු නසා මහත් වූ තෘෂ්ණා අවුල නිරවුල් කොට දෙවියන් සහිත ලෝකයා පිණවමින් දහම් අමාවැසි වස්වයි.
5929. එකල්හි අපි බරණැස්නුවර රාජපුත්‍රයෝ වීමු. එසේ ම අපි තිදෙනෙ ඔවුනොවුනට සොහොයුරු වීමු. අපි සියලුදෙන රජුගේ විශ්වාසයෝ ද වීමු.
5930. එකල්හි කිපුනු පසල්දනව් ඇති රජතෙම රූසපුවෙන් දිව්‍යපුත්‍රයන් සමාන ශරීර ඇති නොහොත් වීරමය (වීර්‍ය්‍යයෙන් ම කරණ ලද) ශරීර ඇත්තා වූ බලවත් වූ යුද්ධයෙහි පරාජය නො වූ අප (අමතා) මෙසේ කී ය:
5931. “දරුවෙනි, එවු ගොස් පසල්දනව්හි වල් සොර බල සෝධා මාගේ රට නිර්‍භය කොට පෙරළා එවු යි කී ය.
5932. ඉක්බිති අපි මෙසේ කීමු: “ඉදින් ලෝකනායක වූ බුදුරජුන් උවටැන් කිරීම සඳහා අපට දෙන්නෙහි නම් ඒ හේතුයෙන් තොපගේ සතුරන් ගන්නෙමු”ය කියා යි.
5933-5934. ඉක්බිති ලබන ලද වර ඇති අපි රජුවිසින් මෙහෙයන ලද්දමෝ කුපිත වූ පසල්දනව්ව බහා තබන ලද අවි ඇත්තක් කොට (සෙමෙහි තබා) පෙරළා අවුත් රජුගෙන් එම බුද්ධෝපස්ථානය අයැද ලෝකනායක වූ ඒ බුදුරජුන් ලැබ දිවි ඇතිතාක් පූජා පැවැත්වීමු.
5935-5937. දැහැමින් උපයන ලද මාහැඟි වස්ත්‍ර ද ප්‍රණීත රසයන් ද මනරම් සෙනසුන් ද, හිත බෙහෙත් ද සඞ්ඝයා සහිත බුදුරජුන්හට දී සිල්වත් වූවාහු කාරුණික වූවාහු භාවනාවෙහි යෙදූ සිත් ඇත්තාහු හැම කල්හි මෙත්සිතින් යුතු ව ලෝකනායක වූ බුදුරජුන්හට පරිවරණය (=වතාවත්) කොට ඒ බුදුරජුන් පිරිනිවි කල්හි ද හැකි පමණින් පූජා කොට-
5938. අපි සියල්ලෝ එයින් සැව තුසිත දෙව්ලොවට ගියාහු එහි මහත් වූ සැප අනුභව කළම්හ. මේ බුද්ධපූජාවෙහි විපාක යි.
5939. යම්සේ මායාකාරයෙක් රඟමඩලෙහි බොහෝ විසුලු දක්වා ද, එසේ ම භවයෙහි සැරිසරන්නා වූ මම විදේහ රටෙහි අධිපතියා වීමි.
5940-5941. ගුණ නම් අවේලකයාගේ වචනයෙන් මිසදිටු බව්හි ගිය සිත් ඇත්තෙම් වැරදි මගට පිළිපන්නෙම් රුජා නම් වූ මාගේ දුවගේ අවවාදය නො පිළිගෙණ නාරද බ්‍රහ්මයා විසින් නොයෙක් අයුරින් අනුසාසිත වූයෙම් පවිටු මිසදිටුබව හැර-
5942. මම වෙසෙසින් දශකර්‍මපථයන් පුරා මිනිස් සිරුර හැර සිය ගෙදරට යන්නාක් මෙන් ස්වර්‍ගයට ගියෙමි.
5943. පශ්චිමභවය පැමිණි කල්හි මම බ්‍රාහ්මණයෙක් වීමි. සමෘද්ධ වූ බාරාණාසී නගරයෙහි බමුණු මහසල්කුලෙහි උපන්නෙමි.
5944. මරණය ව්‍යාධිය ජරාව යන මෙයින් බිය වූයෙම් මහත් වූ ධනය හැර නිර්‍වාණපදය සොයන්නෙම් (ජටාධර තවුසන් වූ) ජටිලයන් කෙරෙහි පැවිදි වීමි.
5945. එකල්හි මාගේ දෙබෑයෝ මා සමග පැවිදි වූහ. මම උරුවේලායෙහි අසපුවක් ඉදිකොට එහි විසීමි.
5946. උරුවේලායෙහි වසන්නා වූ මම ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වීමි. එහෙයින් මට උරුවේලකස්සප යන ප්‍රඥප්තිය විය.
5947. මාගේ සොහොයුරු තෙමේ ගඞ්ගානදිය සමීපයෙහි විසූ බැවින් නදීකාශ්‍යප නම් විය. ගයාවෙහි විසූ කාශ්‍යප තෙමේ සමීපනාමයෙන් ගයාකාශ්‍යප නම් විය.
5948. කණිටු බෑ කාශ්‍යපට දෙසියක් ද මැදිබෑ නදී කාශ්‍යපට තුන්සියක් ද, මට නො අඩු වූ පන්සියක් දැයි (දහසක් වූ) සියලු ශිෂ්‍යයෝ මා අනුව ගියාහු ය.
5949. එකල්හි පුරිසදම්මසාරථි වූ ලෝකාග්‍ර වූ බුදුරජ තෙමේ මාගේ සමීපයට එළඹ නන්වැදෑරුම් ප්‍රාතිහාර්‍ය්‍යයන් කොට මා හික්ම වී ය.
5950. මම දහසක් පිරිවර සහිත ව ඒහිභික්‍ෂුභාවයෙන් පැවිදි වීමි. ඒ සියලුදෙනා සමග ම රහත්බවට පැමිණියෙමි.
5951. ඒ ශිෂ්‍යයෝ ද අනික් බොහෝදෙන ද මා පිරිවැරූහ. මම ඔවුනට අනුශාසනා කිරීමට සමර්‍ත්‍ථ වෙමි. ඉක්බිති විපස්සී බුදුරජුන් පටන් ගිණුකල සත්වැනි වූ බැවින් ඍෂිසප්තම වූ ගෞතම බුදුරජ තෙමේ-
5952. මහපිරිස් ඇති බැව්හි මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය. ආශ්චර්‍ය්‍යයෙකි. බුදුරජුන් කෙරෙහි කරණලද සත්කාරය සඵල විය.
5953. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5954. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5955. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් උරුවේලකස්සප ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උරුවේලකාශ්‍යප ස්ථවිරාවදානය අට වැනි යි.
539. රාධ ස්ථවිරාවදානය
5956. පසැස් ඇත්තා වූ සියලු ලෝකයන් තත් වූ පරිදි දැනගත්තා වූ මෝනෙය්‍යගුණ ඇති පදුමුත්තර නම් බුදුරජ තෙමේ මෙයින් පෙර සියක්දහස් වන කපෙහි ලොව පහළ විය.
5957. සව්සත්නට ඔවා දෙන්නා වූ දහම් පිළිවිදුවන්නා වූ සත්ත්‍වයන් සසරින් එතෙර කරන්නා වූ දේශනාවෙහි දක්‍ෂ වූ බුදුරජ තෙමේ බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවී ය.
5958. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ හිත කැමැත්තා වූ ඒ බුදුරජතෙම පැමිණි සියලු තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිටු විය.
5959. මෙසේ ඒ කාලය තීර්‍ත්‍ථකයන්ගෙන් හිස් වූ, නිරවුල් වූ තාදී ගුණ ඇති පඤ්චවශිතාවන්ගේ වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වූවක් විය.
5960. ඒ බුදුරජතෙම අටපණස් රියනක් උස ය. රන්ඇගෑයක් මෙන් බබලන්නේ ය. දෙතිස්මහපුරිස් ලකුණු ඇත්තේ ය.
5961. එකල්හි වර්‍ෂලක්‍ෂයක් ආයුෂ වෙයි. එපමණ කල් වැඩ සිටිමින් ඒ සර්‍වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කෙළේ ය.
5962. එකල්හි මම හංසවතී නගරයෙහි වේද මන්ත්‍රයන්හි තෙරපත් බමුණෙක් වූයෙම් ඒ බුදුරජුන් වෙත එළඹ දම්‍ දෙසුම ඇසීමි.
5963. පටිභාණෙය්‍යක (-වැටහීම් ඇති) භික්‍ෂුනමක් ඒතදග්‍රස්ථානයෙහි තබන්නා වූ පිරිස්හි විශාරද වූ, විශිෂ්ට නායකත්‍වය ඇති, මහාවීරයන් වහන්සේ දැක,
5964. එකල්හි මම සඞ්ඝයා සහිත ලෝකනායකයන් වහන්සේ කෙරෙහි අධිකාර කොට සිරසින් හෙව වැඳ ඒ තනතුර පැතීමි.