Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 7501-7600 න් 9627

534. දබ්බ ස්ථවිරාවදානය
5769. මෙයින් සියක් දහස්වන කපෙහි පසැස් ඇත්තා වූ සර්‍වලෝ දත්, පස්මරුන් දිනූ පදුමුත්තර නම් මුනීන්‍ද්‍රයන් වහන්සේ උපන් සේක.
5770. සව්සත්නට ඔවා දෙන්නා වූ දහම් අවබෝධ කරවන්නා වූ (ඔවුන් සසරින්) එතෙර කරන්නා වූ දේශනාවෙහි දක්‍ෂ වූ බුදුරජානන් වහන්සේ බොහෝ ජනසමූහයා (සසරින්) තැරැවූසේක.
5771. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ හිත කැමති (බුදුරජ) වෙත පැමිණි සියලු තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිට වූ සේක.
5772. එකල මෙසේ තීර්‍ත්‍ථකයන්ගෙන් හිස් වූයේ නිරවුල් වූයේ (සස්න) තාදීගුණ ඇති වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වී ය.
5773. එමුනි රජ තෙමේ අටපනස්රියන් උස් වූයේ රන් ඇගෑයක් මෙන් බබලන්නේ ය. දෙතිස්මහපුරිස් ලකුණු ඇත්තේ ය.
5774. එකල්හි (සත්නට) වර්‍ෂලක්‍ෂයක් ආයු වෙයි. ඒතාක් වැඩහුන් ඒ සර්‍වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතර කෙළේ ය.
5775. එකල්හි මම හංසවතී නගරයෙහි මහත් යශස් ඇති සිටු පුත්‍රයෙක් වූයෙම් ලෝපහන් වූ බුදුරජුන් වෙත එළඹ දම්දෙසුම් ඇසීමි.
5776. භික්‍ෂූනට සෙනසුන් පනවන්නා වූ සිය සව්වකු පසසන උන්වහන්සේගේ වචනය අසා සතුටු වූ මම-
5777. සඞ්ඝයා සහිත වූ ඒ බුදුරජුන්හට (දන්දීම් ආදී) අධිකාර කොට (උන්වහන්සේගේ) පාමුල සිරසින් වැටී එම තනතුර පැතීමි.
5778. එකල්හි මහාවීර වූ බුදුරජතෙමේ මාගේ පුණ්‍යකර්‍මය පසසමින් මෙසේ කීය. “යමෙක් සඞ්ඝයා සහිත බුදුරජුන් සතියක් වැළඳ වී ද,
5779. (හෙළ) පියුම්පත් බඳු ඇස් ඇති, සීහාංස (සිංහයකුගේ මෙන් පිරුණු උරහිස්) ඇති, රන්වන් වූ සිවි ඇති ඒ මේ සිටුපුත්තෙම උතුම් තනතුරක් පතමින් මාගේ පාමුල වැටුනේ ද,
5780. මෙයින් සියක් දහස්වන කපින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදනා වූ නමින් ගෞතම නම් වූ බුදුරජතෙමේ ලොව පහළවන්නේ ය.
5781. එකල්හි මෙතෙම එම බුදුරජුන්ගේ දබ්බ නමින් ප්‍රසිද්ධ වූ, සෙනසුන් පනවන අගසව් වන්නේ ය” කියා යි.
5782. මැනවින් කරණලද ඒ කර්‍මයෙන් ද, චිත්තප්‍රණිධියෙන් ද මම මිනිස් සිරුර හැර තව්තිසාවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
5783. මම තෙසිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
5784. (කරනලද) මහත් ප්‍රදේශරාජ්‍යය ගණනින් ගිණිය නොහේ. එම කර්‍මයාගේ බලයෙන් හැමතන්හි සුව ඇත්තෙම් වීමි.
5785. මෙයින් යට එක් අනූවන කපෙහි, මනෝඥ ඇස් ඇති සියලු ධර්‍මයන් මැනැවින් දක්නා වූ විපස්සී නම් බුදුරජතෙම ලොව පහළවිය.
5786. තාදීගුණ ඇති ඒ බුදුරජුන්ගේ සියලු ආස්‍රවයන් ක්‍ෂය කළ ශ්‍රාවකයකුට ‘ශුද්ධයෙකැ’යි දැන ම දුෂ්ටසිත් ඇත්තෙම් නින්‍දා කෙළෙමි.
5787. මම නරවීර වූ එම බුදුරජුන්ගේ ම මහර්ෂී (-රහත්) සව්වනට සලාකයක් ගෙණ කිරිබතක් දුනිමි.
5788. මේ භද්‍රකල්පයෙහි බ්‍රහ්මබන්‍ධු (බ්‍රාහ්මණ කුලයෙහි) වූ මහත් යශස් ඇති වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ නමින් කාශ්‍යප නම් වූ බුදුරජතෙමේ ලොව පහළ විය.
5789. ශ්‍රාවකයන් සහිත වූ උන්වහන්සේ මිසදිටුතීර්‍ත්‍ථකයන් මැඩ සසුන බබුළුවා වෛනෙය (-හික්මවියයුතු) ජනයන් හික්මවා පිරිනිවන් පෑ සේක.
5790. බුදුරජහු ද ශිෂ්‍යයන් ද පිරිනිවී පසු සසුන අස්තයට (පිරිහීමට) යන කල්හි සංවේගයට පත් දෙවියෝ මුදා ලූ කෙස් ඇත්තාහු, වලප්නා මුහුණු ඇත්තාහු හැඬූහ:
5791. “දහම් ඇස නිවී යන්නේ ය. මනාව්‍රත ඇති (ශ්‍රාවක) යන් නො දක්නෙමු. සදහම් නො අසන්නෙමු. අහෝ! අපගේ පින් මඳ බව යි”.
5792. එකල්හි මේ නිශ්චල වූ සියලු පෘථිවි තොමෝ සසල ව කම්පා වූවා ය. සයුර ද සෝක සහිත වූවකු මෙන් දුක් හඬින් හැඬී ය.
5793. සිවුදිගෙහි වූ දිව්‍ය භේරීහු නාද කළහ. හාත්පස භයජනක වූ අසනීහු (-හෙණ) පුපුළහ.
5794. අහසින් උල්කා හින. ධුමකේතූහු ද පැණුනාහ. ගොඩ උපදින සියලු සත්ත්‍වයෝ ද මෘගයෝ ද බැගෑ හඬ හැඬූහ.
5795. සස්න බැසයනු හඟවන දරුණු උත්පාත (-භූතවිකාරායන්) දැක සංවිග්න (සැලුනා) වූ අපි භික්‍ෂූහු සත්නමක් එකල මෙසේ සිතුම්හ:
5796. “සසුනෙන් තොර වූ අපගේ ජීවිතයෙන් කම් නැත. අපි මහ වනයට පිවිස බුදුසසුනෙහි යෙදෙමු” ය (කියා යි).
5797. එකල්හි අරණෙහි උස් වූ උතුම් පර්‍වතයක් දුටිමු. හිණිමගකින් ඒ පර්‍වතයට නැගී හිණිමග බිම හෙළීමු.
5798. එකල්හි සඞ්ඝස්ථවිරතෙමේ අපට අවවාද කෙළේ ය: බුද්ධෝත්පාදය අතිශයින් දුර්‍ලභය. දුර්‍ලභ වූ ශ්‍රද්ධා ද ලබන ලදී. සස්න ද ස්වල්පයක් ශේෂව ඇත.
5799. අෂ්ටදුෂ්ටක්‍ෂණවිනිර්මුක්ත මේ උතුම් මොහොත ඉක්මවූවෝ අනන්ත වූ දුක් සයුරෙහි වැටෙත්. එහෙයින් සර්‍වඥමතය (-බුදු සසුන) පවතිත් ම එහි යෝග කළයුතුයි.
5800. ඒ (ඔවා දුන්) ස්ථවිර තෙමේ රහත් විය. උන්වහන්සේ අනුව ගිය (දෙවැන්නා) අනාගාමී විය. එහි යෙදුනු සෙසු සිල්වත් වූ අපි (ඉන් සැව) දෙව්ලොව ගියෙමු.
5801-5802. (අනාගාමී වූ භික්‍ෂුතෙම) හුදකලාව ශුද්ධාවාසයෙහි තිණු සසර ඇත්තේ (රහත්ව) පිරිනිවියේ ය. මම ද පුක්කුසාති ද එසේ ම සභියබාහියකුමාරකස්සප දැයි අපි ඒ ඒ තන්හි උත්පත්ති වශයෙන් ගියාහු ගෞතම බුදුරජුන් විසින් අනුකම්පා කරණලද්දාහු සසරබැඳුමෙන් මිදුනෝ වීමු.
5803. මම මල්ල රට කුසිනාරායෙහි උපන්මි. මා ගැබැවත් ම මවු මළා ය. ඈ චිතකයට නංවන ලදු. එයින් මම ගිලිහී වැටුනෙමි.
5804. කුසතණ පඳුරෙක්හි වැටුනෙමි ඒ හේතුවෙන් දබ්බ යයි ප්‍රකට වීමි. බඹසැරිබලයෙන් මම සත්හැවිරිදි වූයෙම් (සසරින්) මිදුනෙමි.
5805. මම කිරිබත් දන්දීමේ විපාකයෙන් (ආයු - වර්‍ණ - සැප - බල - ප්‍රඥා යන) අඞ්ග පසකින් යුක්ත වූයෙමි. රහතුන් වහන්සේ කෙනකුන්ට නින්‍දා කිරීම හේතුකොට ගෙණ බොහෝ පාපීන් විසින් චෝදිත වූයෙමි.
5806. දැන් මම පින් ද පව් ද දෙක ම ඉක්ම වූයෙම් වෙමි. ආස්‍රව රහිත වූයෙම් පරමශාන්තියට පැමිණ වෙසෙමි.
5807. මනා ව්‍රත ඇති භික්‍ෂූන් තුටු කොට සෙනසුන් පැණවීමි. ඒ ගුණයෙහි තුටු වූ බුදුරජහු මා (සෙනසුන් පණවන භික්‍ෂූන් අතුරෙන් අග්‍රයයි) ඒතදග්‍රස්ථානයෙහි තැබූ සේක.
5808. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5809. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5810. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් දබ්බමල්ලපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
දබ්බමල්ලපුත්ත ස්ථවිරාවදානය සිවුවැනියි.
535. කුමාරකස්සප ස්ථවිරාවදානය
5811. මෙයින් ලක්‍ෂයක් වන කපෙහි සියලු ලොවට හිත වූ වීර වූ පදුමුත්තර නම් ලෝකනායක (-බුදුරජ) තෙමේ ලොව පහළ විය.
5812-5813. එකල්හි මම වේදයෙහි පරතෙරට ගිය බමුණෙක් ව ප්‍රකට වූයෙම් දිවාවිහරණය කරනෙම් සිවුසස් දෙසන්නා වූ දෙවියන් සහිත ලෝකයාට දහම් අවබෝධ කරවන්නා වූ මහජනයා ඉදිරියෙහි විචිත්‍ර කථිකයනට අගතැන්පත් සව්වකු වර්‍ණනය කරන්නා වූ ලෝකනායකයන් වහන්සේ දිටිමි.
5814-5815. එකල්හි ප්‍රමුදිත සිත් ඇති මම තථාගතයන් වහන්සේ පවරා නන්රුවනින් බබලන මඩුවක් නොයෙක් පැහැයෙන් රැඳු වතින් සරසා එහි සඞ්ඝයා සහිත බුදුරජුන් වැළඳවීමි. සතියක් මුළුල්ලෙහි නොයෙක් අගරස බොජුනෙන් වළඳවා-
5816. නන්වන් මලින් ශ්‍රාවකසඞ්ඝයා සහිත බුදුරජුන් පුදා පාමුල වැද හෙව මම එම තනතුර පැතීමි.
5817-5819. එකල්හි කරුණා රසයට එක ම නිධාන වූ බුදුරජතෙම (මෙසේ) වදාළේ ය: “පියුමකට බඳු මුහුණ හා ඇස් ඇත්තා වූ ප්‍රීතිප්‍රමෝද්‍ය බහුල වූ (එයින්) නැගුනු ලොම් ඇති, හර්‍ෂයෙන් දැල්වුනු විශාල ඇස් ඇති, මාගේ සසුනෙහි ඇලුම් ඇති, මාගේ පාමුල වැටුනා වූ, එක ම අරමුණට හැරුනු මනා සිත් ඇති මේ බමුණහු බලවු. මෙතෙම විචිත්‍රකථිකත්‍වය වූ ඒ මේ තනතුර පතයි.
5820. මෙයින් සියක්දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපත ලබන ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
5821. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරසපුත්‍ර වූ කුමාරකස්සප නම් ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.
5822. (පුදනලද) විචිත්‍ර පුෂ්පවස්ත්‍රයන්ගේ ද, රත්නයන්ගේ ද බලයෙන් හෙතෙම විචිත්‍රකථික භික්‍ෂූන් අතුරෙන් අග්‍ර බවට පැමිණෙන්නේ ය” (කියායි).
5823. මම මැනැවින් කරණලද ඒ කර්‍මය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්සිරුර හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
5824. රඟ මැද නළුවකු මෙන් භව නමැති අහසෙහි පරිභ්‍රමණය කරමින් ශාඛා නම් මුවාගේ පුත්‍ර ව මුවදෙනගේ කුස පිළිසිඳ ගතිමි.
5825. එසඳ මා කුස පිළිසිඳගත් කල්හි (මවගේ) මරණයට වාරය එළඹ සිටියේ ය. ශාඛාමුවා විසින් අත්හළ මාගේ මව්තොමෝ න්‍යග්‍රෝධ මුවරජු පිහිට කොට ගියා ය.
5826. එකල්හි ඒ න්‍යග්‍රෝධ මුවරජු විසින් ස්වකීය ප්‍රාණය පරිත්‍යාග කොට මරණයෙන් මුදා ලූ ඕ තොමෝ මට මෙසේ අවවාද කළා ය:
5827. “න්‍යග්‍රෝධ මුවරජු ම සේවනය කරව, ශාඛා මුවා සමග වාස නො කරව. න්‍යග්‍රෝධ කෙරෙහි වැස මිය යෑම ශාඛා වෙත වැටෙන ජීවිතයට වඩා උතුම් ය”.
5828. ඒ න්‍යග්‍රෝධ මුවරජ විසින් අනුශාසනය කරණලද මම ද, මව් ද එසේ ම සෙස්සෝ ද, දුරරටක සිටියකු සියගෙට එන්නාක් මෙන් රම්‍ය වූ තුෂිතදෙව්ලොව විසුමට ගියෝ වෙමු.
5829. යලි කාශ්‍යප බුදුරජුන්ගේ සසුන පිරිහී යන කල්හි ගලක් මුදුනට නැගී ජිනසාසනයෙහි ප්‍රතිපත්තීන් යෙදී-
5830. දැන් මම රජගහනුවර සිටුකුලයක උපනෙම් වෙමි. ගැබිනි වූ (එ බැව් නො දත්) මාගේ මව් තොමෝ අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියා ය.
5831. ගැබ් සහිත බව දැන (භික්‍ෂුණීහු) ඇය දෙව්දත් තෙරුන් වෙත පැමිණවූහ. ඒ දෙව්දත් තෙමේ “මේ පවිටු භික්‍ෂුණිය (සිවුරු හැරවීමෙන්) නසවුයි කී ය.
5832. දැනුදු මුනීන්‍ද්‍ර වූ බුදුරජුන් විසින් අනුකම්පා කරණ ලද මාගේ මව් තොමෝ සුඛිත වූවා භික්‍ෂුණි ආශ්‍රමයෙහි මා ප්‍රසූත කළා ය.
5833. කොසොල් රජ තෙමේ එය දැන මා කුමරපෙරහරින් පෝෂණය කළේ ය. මම නමින් කාශ්‍යප නම් වූයෙමි.
5834. මහාකාශ්‍යප තෙරුන් නිසා මම කුමාරකාශ්‍යප ය යි ප්‍රසිද්ධ වීමි. කය තුඹසකට සම කොට බුදුරජුන් විසින් දෙසන ලද්ද (වම්මික සූත්‍රය) අසා-
5835. එයින් මාගේ සිත උපාදාන රහිත ව හැම ලෙසින් ආස්‍රවයන් කෙරෙන් මිදුනේ ය. මම පායාසි (රජු) දමනය කොට (චිත්‍රකථික භික්‍ෂූන් අතුරෙන්) ඒතදග්‍රස්ථානයට පැමිණියෙමි.
5836. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5837. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5838. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුමාරකාශ්‍යපස්ථවිරාවදානය පස්වැනියි.
සූවිසි වැනි බණවරයි.
536. බාහිය ස්ථවිරාවදානය
5839. මෙයින් සියක්දහස් වන කපෙහි මහත් ප්‍රභා ඇති, තිලොවට අග්‍ර වූ නමින් පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළ විය.
5840. (එකෙණෙහි දහම් අවබෝධ කළ බැවින්) ක්‍ෂිප්‍රාභිඥ වූ භික්‍ෂුනමකගේ ගුණය පසසන බුදුරජුන්ගේ (දේශනාව) අසා ඔද වැඩි සිත් ඇති මම මහර්ෂි වූ එ බුදුරජුන්හට අධිකාර කොට -
5841. එකල්හි මම සිසුන් සහිත බුදුරජුන්හට සතියක් මුළුල්ලෙහි දන් දී සම්බුදුරජුන් වැඳ එම තනතුර පැතීමි.
5842-5844. ඉක්බිති බුදුරජතෙම මට මෙසේ පැවසී ය: “මාගේ පාමුල වැටුනා වූ පහන් වූ ඇස් හා මුහුණු ඇති, පුනනූල් සහිත කය ඇති, සුදු සිරුරු සිවි පැහැ ඇති, එල්බෙන බිඹුපල වැනි රතු දෙතොල් ඇති, සුදු තියුණු සම දත් ඇති, ගුණෝඝයට ආයතන වූ ප්‍රීතියෙන් මැනැවින් පුබුදු වූ මුහුණු ඇති මෙ බමුණහු බලවු.
5845. මෙතෙම ක්‍ෂිප්‍රාභිඥ වූ භික්‍ෂූහුගේ එම තනතුර පතයි. අනාගතයෙහි මහාවීර වූ ගෞතම නම් බුදුරජතෙම ලොව පහළවන්නේ ය.
5846. උන්වහන්සේගේ ධර්‍මයට දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් බාහිය නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.”
5847. එකල්හි ඉතා තුටුවූයෙම් නැගිට දිවි ඇති තාක් බුදුරජුන්හට සත්කාර කොට ඉන් ච්‍යුත වූයෙම් සිය ගෙට යන්නාක් මෙන් ස්වර්‍ගයට ගියෙමි.
5848. මම ඒ කර්‍මයාගේ බලයෙන් දෙවි වූයෙම් හෝ මිනිස් වූයෙම් හෝ සුඛිත වූයෙම් සැරිසරමින් සම්පත් අනුභව කෙළෙමි.
5849. යලි කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ සසුන පිරිහී යන කල්හි ගල මුදුනට නැගී බුදුසසුනෙහි යෙදී-
5850. පිරිසිදු සිල් ඇති ප්‍රඥායෙන් යුතු වූ බුදුසසුන් කරන්නා වූ අපි පස්දෙනෙක් එයින් ච්‍යුත වූවාහු දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමු.
5851. ඉක්බිති භාරුකච්ඡ නම් උතුම් නගරයෙහි උපන්නෙම් බාහිය නැමැත්තෙම් වීමි. එයින් නැව් නැගී අර්‍ත්‍ථ සිද්ධි රහිත (අර්‍ත්‍ථ සිද්ධි සංශය ඇති) සයුරට පිවිසියෙමි.
5852. ඉක්බිති කිහිප දිනක් ගොස් නැව බිඳුනේ ය. එකල්හි දැති මුවර (ආදී චණ්ඩ මත්ස්‍ය) යනට ආකර වූ ගොරබිරම් සයුරෙහි වැටුනෙමි.
5853. එකල්හි මම මහසයුර තරණය කොට වැර දරා (වෙහෙස හේතු කොට ගෙණ) මඳ වූ වැටහීම් නුවණ ඇත්තෙම් සුප්පාරක පටුනට පැමිණියෙමි.
5854. දාරුචීර (හෙවත් දරපතුරු වස්ත්‍රයක් මෙන් ගොතා) හැඳ ගමට පිඬු පිණිස ගියෙමි. එකල්හි ඒ ජනතෙමේ තුටු වූයේ මේ රහත් කෙනෙක් මෙහි පැමිණියහයි කී ය.
5855. අපි මොහුට ආහාරයෙන් ද, පානයෙන් ද, වස්ත්‍රයෙන් ද, සයනයෙන් ද, බෙහෙදින් ද සත්කාර කොට සුඛිත වෙමු.
5856. එකල්හි ප්‍රත්‍යයලාභී වූයෙම් ඒ ගම්වැසියන් විසින් සත්කාර පූජාකරණලදුයෙම් ‘මම රහතෙක්මි’යි නුනුවණින් අදහසක් ඉපිදවීමි.
5857. ඉක්බිති පෙර එක්ව මහණදම් පුරමින් සිට බඹලොව උපන් අනාගාමී බ්‍රහ්මදේවතාවෙක් මාගේ සිත දැන “තෝ (නිර්‍වාණගාමී) උපාය මාර්‍ගය දන්නෙක් නො වෙහි ය. තෝ කවරහෙයකින් රහතෙක් වෙහි දැ”යි චෝදනා කෙළේ ය.
5858. ඔහු විසින් චෝදනා කරණලද මම කලකිරුනෙම් එකල්හි ඔහුගෙන් විචාළෙමි: මේ රහත්හු නම් කවරහු වෙත් ද? ඒ නරෝත්තම වූ රහත්හු ලෝකයෙහි කොහි වෙසෙත් ද? (කියා යි).
5859. සැවැත්නුවර කොසොල් මැදුරෙහි සම්පූර්‍ණ වූ ප්‍රඥා ඇති උතුම් වූ මහනුවණැති ආස්‍රව රහිත වූ රහත් වූ ඒ ශාක්‍යපුත්‍ර වූ බුදුරජතෙමේ රහත්බවට පැමිණීම පිණිස දහම් දෙසයි.
5860. එකල්හි ඔහුගේ වචනය අසා නිධානයක් ලැබ දුගියකු මෙන් අතිශයින් පිණාගියෙම් ඉතා විස්මයපත් වූයෙම් ඔදවැඩි සිත් ඇත්තෙම් අතිශයින් දැකුම්කලු වූ අනන්ත වූ (සත්ත්‍ව සංස්කාර අවකාශ ලෝකයන්) විෂයයෙහි විනිවිද ගිය නුවණ ඇති අර්‍හත් වූ උතුම් වූ බුදුරජුන් දැකීමට-
5861. එකල්හි ඉන් වහා නික්ම පිරිසිදු මුහුණක් ඇති බුදුරජුන් කවදා දකිම්දැ’යි රම්‍ය වූ විජිත නම් වනයට එළඹ ‘ලෝකනන්‍දන වූ බුදුරජුන් කොහි දැ’යි බමුණන්ගෙන් විචාළෙමි.
5862. ඉක්බිති ඔහු මෙසේ කීහ. “දෙවි මිනිසුන් විසින් වඳින ලද්දා වූ බුදුරජ තෙම පිඬු සිඟීමෙහි අදහස් ඇත්තේ නගරයට පිවිසියේ ය. ඉදින් බුදුරජුන් දැකීමෙහි උත්සාහවත් වූයෙහි නම් වහා එළඹ ඒ අග්‍රපුද්ගල වූ බුදුරජුන් වඳුව.”
5863. ඉක්බිති මම වහා උතුම් වූ සැවැත්නුවරට ගොස් ඉච්ඡා ගේධ විරහිත ව පිඬු පිණිස හැසිරෙන්නා වූ එ බුදුරජුන් දිටිමි.
5864. (ද්වාත්‍රිංශද්වර අශීත්‍යනුව්‍යඤ්ජන) ශ්‍රියගේ නිවාසස්ථානය වැනි, සූර්‍ය්‍යයාගේ දීප්තියට බඳු (දීප්තිමත්) මුහුණු ඇති, නිසසල ඇස් ඇති, අමා බෙදන්නකු මෙන් පාත්‍රය ගත් අත් ඇති-
5865. එම බුදුරජුන් වෙත එළඹ මම පාමුල වැටී ‘ගෞතමයන් වහන්ස, උවදුරු සහිත මාර්‍ගයෙහි මුළා වී නටුවහුට පිහිට වනු මැනැවැ’යි මෙ වදන් කීමි.
5866. “මම සත්ත්‍වයන් (සසරසයුරින්) එතෙර කිරීම පිණිස පිඬු පිණිස හැසිරෙමි. තට ධර්‍මකථාවට කාලය නො වේ” ය යි මුනිශ්‍රේෂ්ඨ වූ බුදුරජ තෙමේ වදාළේ ය.
5867. එකල්හි දහම්හි ලොල් වූයෙම් නැවත නැවතත් බුදුරජුන් අයැදිමි. ඒ බුදුරජතෙම ගැඹුරු වූ ශුන්‍යත (නිර්‍වාණ) පදය වූ ධර්‍මය මට දෙසී ය.