Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 7401-7500 න් 9627

5670. “මවිසින් සංක්‍ෂිප්ත කොට දෙසන ලද්ද විස්තර වශයෙන් පවසමින් මේ කච්චායන තෙමේ පිරිස ද මා ද යම්සේ තුටුකෙරේ ද,
5671. මෙබඳු වූ අන්කිසි ශ්‍රාවකයකු මම නො දනිමි. මහණෙනි, එහෙයින් මෙ කරුණෙහි මෙතෙම අග්‍ර යයි. මෙසේ දරවු.
5672. එකල්හි මම ඒ මනෝඥවචනය අසා විස්මිතව හිමවතට ගොස් මල්රැසක් ගෙනවුත්-
5673. ලොවට පිහිට වූ බුදුරජුන්හට පුදා එ ම තනතුර පැතීමි. කෙලෙසුන් දුරු කළ ඒ බුදුරජ තෙමේ එකල්හි මාගේ අදහස දැන (මෙසේ) පැවසී ය:
5673-5674. පිරිසිදු කළ ස්වර්‍ණයක් බඳු පැහැපත් සිවි ඇති, අග් උඩු කැරුව ගිය ලොම් ඇති, පිරුණු (මසින් වැසුනු) උරහිස් ඇති, නිශ්චල ව බඳැඳිලි ව සිටියා වූ, සතුටුකඳුලින් පිරී ගිය ඇස් ඇති, බුදුගුණ වැණුමෙහි පෙළඹුනු සිත් ඇති, අමායෙන් ඉසින ලද්දාක් බඳු මූර්‍තතිමත් ධර්‍මය වැනි උතුම් සිරුරක් ඇති මෙ ඍෂිවරයා බලවු.
5675. (මෙ තෙම) කච්චානයන්ගේ ගුණ අසා එ තනතුර පතමින් සිටියේ ය. ගෞතමමහාමුනීන්‍ද්‍රයන් වහන්සේගේ (සසුන පවත්නා) අනාගත කාලයෙහි-
5676. එ ම බුදුරජුන්ගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් ම නිර්මිත කළාක් වැනි වූ ඖරසපුත්‍ර වූ නමින් කච්චාන නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
5677. යම් සේ මා විසින් මෙය පවසන ලද නම් එසේ ම (අනාගතයෙහි) බහුශ්‍රැතයෙක් ව මහනුවණැත්තෙක් ව, බුදුරජුන්ගේ අදහස් දන්නෙක් ව එ ම තනතුරට පැමිණෙන්නේ ය” (කියායි).
5678. එකල්හි මෙයින් සියක්දහස්වන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5679. දෙව්අත්බැව්හි ද මිනිස්අත් බැව්හි ද යන දෙ අත්බැව්හි සැරිසරමි. අන් ගතියකට නො යමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5680. කැත් කුලයෙහි ද යලි බමුණුකුලයෙහි ද යන දෙකුලයෙහි උපදිමි. නීචකුලයෙහි නො උපදිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5681-5682. දැන් පශ්චිම වූ ම භවයෙහි උදේනි නගරයෙහි උපන්නෙම් වෙමි. චණ්ඩප්‍රද්‍යොත රජුගේ තිරිටවච්ඡ (නම්) පුරෝහිත බමුණාගේ පුත්‍ර වූයෙම් සියුම් නුවණැත්තෙම් වේදයෙහි පරතෙරට ගියෙම් වීමි. මවු තොමෝ චන්‍ද්‍රිමා නම් වූවා ය. මනා සිවිපැහැ ඇති මම කච්චාන නම් වෙමි.
5683. බුදුරජුන් විමසනු පිණිස රජු විසින් යවන ලදුයෙම් ගුණ සමූහය වූ ලෝකනායක වූ බුදුරජුන් ද මොක්පූර දොරටුව ද දැක-
5684. (සසර) ගති නමැති මඩ වියලවන්නා වූ නිර්‍මල (බුද්ධ) වචනය ද අසා (මා කැටුව ගිය) සෙසුසත් දෙනා සමග ශාන්ත වූ අමෘතයට (=නිවනට) පැමිණියෙමි.
5685. මහාමුනි වූ බුදුරජුන්ගේ අදහස් දන්නෙක් වීමි. මැනැවින් සමෘද්ධ වූ මනෝරථ අත්තෙම් ඒතදග්‍රස්ථානයෙහි තබනලද්දෙම් ද වීමි.
5686. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5687. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5688. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
මහාකච්චාන ස්ථවිරාවදානය පළමු වැනියි.
532. වක්කලි ස්ථවිරාවදානය
5689. මෙයින් සියක් දහස්වන කපෙහි ලෝකනායක වූ අලාමක වූ නම් ඇති අපමණ ගුණ ඇති නමින් පදුමුත්තර වූ බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක.
5690. උන්වහන්සේ පියුමකට බඳු මුහුණ ඇතියහ. පියුමක් සේ නිමල මනා සිවි ඇතියහ. ජලය හා (නො ගැටෙන) පියුම් මෙන් ලෝකය හා නො ම ගැටෙන්නාහ.
5691. වීරයහ. පියුම්පෙති බඳු ඇස් ඇතියහ. පියුමක් මෙන් කාන්තයහ. උතුම් පියුම් සුවඳ බඳු සුවඳ ඇතියහ. එබැවින් උන්වහන්සේ පදුමුත්තර නම් වනසේක.
5692-5693. ලෝකජ්‍යේෂ්ඨ වූ මාන රහිත වූ අන්‍ධයනට ඇසක් වැනි වූ ශාන්ත වේශ ඇති ගුණනිධාන වූ කුළුණු නැණ සයුරෙක් වූ බඹ අසුර සුරන් විසින් පුදන ලද දෙවියන් සහිත මිනිසුන් විසින් පිරිවරණ ලද අතිඋත්තම වූ ඒ මහාවීර වූ බුදුරජානෝ කිසියම් දිනෙක ජනමධ්‍යයෙහි-
5694. සුවඳවත් මුවින් මියුරු වූ හඬින් සියලු පිරිස් රඳවමින් සියසව්වකු (මෙසේ) වැණූ සේක:
5695. “පිහිටි සැදැහැ ඇති මනා නුවණැති මා දැකුමෙහි ලොල් වූ මේ වක්කලී භික්‍ෂුනම බඳු අන් භික්‍ෂුනමක් නැත” කියා යී.
5696. එකල්හි මම හංසවතී නගරයෙහි බ්‍රාහ්මණපුත්‍රයෙක් ව (බුදුරජුන්ගේ) ඒ වචනය අසා ඒ තනතුර රුචි කෙළෙමි.
5697. එකල්හි ශ්‍රාවකසඞ්ඝයා සහිත ඒ නිර්‍මල බුදුරජුන් පවරා සතියක් (බොජුන්) වළඳවා (චීවර) වස්ත්‍රයෙන් හැඳවීමි.
5698. උන්වහන්සේගේ අනන්ත වූ ගුණසයුරෙහි සිරසින් හෙව ගිළුනෙම් ප්‍රීතියෙන් සම්පූර්‍ණ වූයෙම් මේ වදන් කීමි:
5699. “මුනින් වහන්ස, මෙයින් සත්වැනි දිනයෙහි යම් ඒ භික්‍ෂුනමක් සැදැහැතියනට අග්‍රය යි මුබ වහන්සේ විසින් පසස්නා ලද ද, මම ද එබන්දෙක් වෙමි” යි (කියා යි).
5700. මෙසේ කී කල්හි මහාවීර වූ අනාවරණඥානදර්‍ශන ඇති බුදුරජහු පිරිස්හි මෙ ම වචනය වදාළහ:
5701. “රන්වන් පුනනූලක් දැරූ සිරුරු ඇති ජනයාගේ නෙත් සිත් ගන්නා වූ, කසාවත් හඳනා වූ මේ මාණවකයා බලවු.
5702. මෙතෙම මතුකාලයෙහි ගෞතම බුදුරජුන්ගේ සද්ධාධිමුත්ත (බලවත් සැදෑ ඇති) යනට අග්‍ර වූ ශ්‍රාවකයා වන්නේ ය.
5703. දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ සියලු තැවුලින් බැහැර වූයේ හැම භෝගසම්පත්තීන්ගෙන් ආඪ්‍ය ව සුවපත් වූයේ සසර සැරිසරන්නේ ය.
5704. මෙයින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදනා වූ නමින් ගෞතම වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
5705. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත වූවාක් වැනි වූ ඖරස වූ නමින් වක්කලී නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.”
5706. මම ඒ කර්‍ම විශේෂය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
5707. මම සියලු තන්හි සුව ඇත්තෙම් කුදුමහත් භවයෙහි සැරිසරනෙම් සැවැත් නුවර එක්තරා කුලයක උපන්නෙම් වෙමි.
5708-5709. වෙඬරු මෙන් සිවුමැලි වූ අසෝකදළු මෙන් මොළොක් වූ ලදරු උඩුකුරු ව හෝනා මා පිසාචියක් බියෙන් තැතිගැන්විය. දුක්පත් සිත් ඇති දෙමාපියෝ “නාථයන් වහන්ස, මුබවහන්සේට මුන් දෙමු. නායකයන් වහන්ස, පිහිට වනු මැනැවැ”යි මහර්ෂි වූ බුදුරජුන්ගේ පාමුල මා හොවා ලූහ.
5710. එකල්හි බිය පත් වූවනට පිහිට වූ ඒ බුදුරජ තෙම ජාලාඞ්ගුලි ඇති සක්ලකුණුයුත් මෘදුකොමලහස්තයෙන් මා පිළිගත්තේ ය.
5711. මම එතැන් පටන් අරක්ඛෙය්‍ය වූ (කිසිවකු විසින් නො රැකිය යුතු) ඒ බුදුහු විසින් රැකුණෙම් සියලු පසමිතුරන්ගෙන් මිදුනෙම් සුවයෙන් වැඩුනෙමි.
5712. මොහොතකුදු බුදුරජුන්ගෙන් වෙන් වූයෙම් උකටලී වෙමි. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට වන්මි.
5713. මම සියලු පාරමිතාබලයෙන් හටගත්තා වූ උතුම් වූ ලක්‍ෂ්මියට (-සම්පත්තියට) වාසස්ථාන වූ සියලු ශුභ (-වර්‍ණඝණ්ඨාන) යන්ගෙන් ගැවසී ගත් (බුදුරජුන්ගේ) රූපය (දැක්මෙහි) තෘප්ත (සෑහීමට පත්) නො වූයෙම් ආසා කෙරෙමි.
5714. එකල්හි බුද්ධරූපයෙහි ඇලුනු මා දැක “වක්කලිය, කම් නැත. බාලයන් තුටුවන්නා වූ රූපයෙහි කිම ඇලෙහි දැ”යි කෙලෙස් දිනූ බුදුරජානන් වහන්සේ මට අවවාද කළසේක.
5715. යමෙක් සදහම් දන්නේ වේ ද, ඒ පණ්ඩිත තෙමේ මා දකී. සදහම් නො දක්නේ මා දක්නේ නමුදු නො දක්නේ ම ය.
5716. රූ කය අපමණ වූ දොස් ඇත්තකි. විෂවෘක්‍ෂයකට බඳු උපමා ඇත්තකි. සියලු රෝගයනට නිවාසස්ථානයකි. හුදු දුඃඛපිණ්ඩයකි.
5717. එබැවින් රූපයෙහි කලකිරී ස්කන්‍ධයන්ගේ උදය-ව්‍යයය (-ඇතිවීම - නැතිවීම) බලව. එයින් සියලු කෙලෙසුන්ගේ අන්තයට සුවසේ පැමිණෙන්නෙහි ය.
5718. හිතෛෂී වූ ඒ ලෝකනායකයන් වහන්සේ විසින් මෙසේ අනුශාසනා කරණ ලද මම ගිජුකුළුපව්වට නැගී ගිරිකඳුරෙහි බුද්ධරූප දර්‍ශන වියෝගයෙන් (මැරෙන්නට) සිතමි.
5719-5720. ඒ පස්මරුන් දිනූ බුදුරජානන්වහන්සේ කඳුබෑවුමෙහි සිටියහු ‘වක්කලී’ය යි මට ඇමතූසේක. මම ඒ වචනය අසා තුටු වූයෙම් නොයෙක් සියගණන් පුරිස්පමණින් ගැඹුරු වූ පර්‍වත ප්‍රපාතයට පැන්නෙමි. එකල්හි බුද්ධානුභාවයෙන් සුවසේ ම පොළොවෙහි පිහිටියෙම් වෙමි.
5721. (බුදුරජ තෙම) නැවතත් ස්කන්‍ධයන්ගේ උදය - ව්‍යය පිළිබඳ දහම් දෙසී ය. මම එදහම් දැන රහත්බවට පැමිණියෙමි.
5722. එකල්හි මරණාන්තය වූ නිවනට පැමිණි මහා ප්‍රාඥයන් වහන්සේ ශ්‍රද්ධාධිමුක්තික (බලවත් සැදැහැ ඇති) යනට මා අග්‍ර කොට ඉමහත් පිරිස් මැද පණවා වදාළ සේක.
5723. එකල්හි මෙයින් සියක්දහස් වන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5724. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5725. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5726. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් වක්කලිස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වක්කලී ස්ථවිරාවදානය දෙවැනියි.
533. මහාකප්පින ස්ථවිරාවදානය
5727. සියලු දහම්හි තෙරපත් ඒ පදුමුත්තර නම් බුදුරජ තෙමේ සරදාකාශයෙහි සූර්‍ය්‍යයා සෙයින් ලෝකය නැමැති අහසෙහි උදා වීය. ඒ ලෝකනායක තෙමේ-
5728. වචන නැමැති රශ්මියෙන් විනේජන නැමැති පියුම් පුබුදුවයි. නුවණ නැමැති රැසින් කෙළෙස් නැමැති මඩ වියලයි.
5729. හිරු කදෝකිමිපැහැ (නසන්නාක්) සේ තීර්‍ත්‍ථකයන්ගේ යශස් නසයි. සූර්‍ය්‍යතෙමේ රත්නයන් ප්‍රකට කරන්නාක් මෙන් සත්‍යාර්‍ත්‍ථප්‍රභාව ප්‍රකට කෙරෙයි.
5730. රත්නයනට සයුර මෙන් ගුණයනට රැස්වන තැන් (ආකරයක්) වේ. වැහිවලාවක් මෙන් ලෝකයා දහම්වැස්සෙන් තෙමයි.
5731-5732. මම එකල්හි හංසවතී නගරයෙහි නීතිවිශාරද වූ ආචාර්‍ය්‍යවරයෙක් වීමි. භික්‍ෂූනට ඔවා දෙනවුන් අතුරෙන් අගතැන්පත් කෘතකෘත්‍ය වූ ශ්‍රාවකයකුගේ ගුණ පවසන්නා වූ මාගේ සිත තුටු කරණ පියුම්තුරා බුදුරජුන්ගේ ධර්‍මය එහි පැමිණ ඇසීමි.
5733. ධර්‍මය අසා සතුටු වූයෙම් සොම්නස් වූයෙම්, ශිෂ්‍යයන් සහිත වූ තථාගතයන් පවරා (බොජුන්) වළඳවා මම ද එ ම තනතුර පැතීමි.
5734-5735. “එකල්හි හස් බෙරහඬට බඳු මනා ස්වර ඇති මහත් භාග්‍ය ඇති බුදුරජ තෙමේ පැවසී ය. මැනැවින් නැගුනු ඌර්ධ්වාග්‍රරෝම ඇති මාගේ පාමුල වැටුනා වූ, මේඝවර්‍ණ වූ, පිරිපුන් උරහිස් ඇති, පැහැදි ඇස් හා මුහුණ ඇති මේ මහාමාත්‍රයා බලවු.
5736. මහ පිරිවරින් ඒ මහා යශස් බබුළුවන ප්‍රමුදිත සිත් ඇති මෙ තෙම කතාවී වූ ඒ ශ්‍රාවකයාගේ තනතුර පතයි.
5737. මේ පිණ්ඩපාතදානය කරණ කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් කරණ කොට ගෙණ ද කල්පලක්‍ෂයක් දුගතියක නූපදී යි.
5738. දෙවියන් අතුරෙහි දිව්‍යමය සෞභාග්‍යය ද, මිනිසුන් අතුරෙහි මහත්බව ද අනුභව කොට ඒ කර්‍මාවශේෂයෙන් නිවනට පැමිණේ යයි වදාළේය.
5739. මෙයින් සියක්දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදනා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
5740. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිතකළාක් බඳු වූ ඖරස පුත්‍ර වූ නමින් කප්පින නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය (කියා යි).
5741. ඉක්බිති මම සර්‍වඥශාසනයෙහි මෙ ම මනා පින්කම කොට මිනිස් සිරුර හැර තුසිත දෙව්ලොවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
5742. දැහැමින් සෙමින් සියක්වර දිව්‍යමනුෂ්‍යරාජ්‍යයන් අනුශාසනය කොට බරණැස සමීපයෙහි පේශකාරකුලයෙහි උපන්නෙම් වෙමි.
5743. භාර්‍ය්‍යාව සහිත වූ මම දහසක් පිරිවර සමග පන්සියක් පසේබුදුවරයනට උවැටැන් කෙළෙමි.
5744. තෙමසක් වළඳවා පසුව තුන් සිවුරු දුනිමු. අපි සියල්ලෝ එයින් ච්‍යුතව තව්තිසා දෙව්ලොවට ගියෝ වූමු.
5745. යලි එයින් සැව මිනිසත් බවට පැමිණියෙමු. හිමවත්පව් පසෙකැ වූ කුක්කුට පුරයෙහි උපන්නමෝ වූමු.
5746. මම මහත්යශස් ඇති කප්පින නම් රාජපුත්‍රයෙක් වීමි. සෙස්සෝ ඇමතිකුලයෙහි උපන්නාහු මා මැ පිරිවැරූහ.
5747. සියලු කාමසුඛයෙන් සමෘද්ධ වූ මම මහරජසුවයට පැමිණියේ වෙළෙඳුන් විසින් කියන ලද බුදුඋපත ඇසීමි:
5748. “අසම වූ අසහාය පුද්ගල වූ බුදුරජ තෙම ලොව පහළ විය. හෙතෙම උතුම් වූ අමාසුව (දෙන) සදහම් දෙසයි.
5749. උන්වහන්සේගේ ශිෂ්‍යයෝ ද මැනැවින් (ඒ ධර්‍මයෙහි) යෙදුනෝ ය. ආස්‍රවයන් කෙරෙන් මැනැවින් මිදුනෝ ය” කියා යි. ඔවුන්ගේ මේ භද්‍රවචන අසා ඒ වෙළෙඳුන්හට සත්කාර කොට-
5750. රාජ්‍යය හැර ලා ඇමතියන් සහිතව බුද්ධමාමක වූයෙම් (තථාගතයන් දක්නට) නික්මුනෙමි. මුවවිට දක්වා පිරුණා වූ චන්‍ද්‍රභාගා මහානදිය දැක-
5751. (එහි වැටුනු අයට කිසිදු පිහිටක් නො මැති බැවින්) ප්‍රතිෂ්ඨා විරහිත වූ (එල්බ ගැනීමට කිසිවක් නැති බැවින්) නිරාලම්බ වූ, තරණය කිරීම දුෂ්කර වූ, ශීඝ්‍රව ගලා බස්නා වූ (චන්‍ද්‍රභාගා නදිය) බුදුරජුන්ගේ ගුණ සිහිකොට සුවසේ තරණය කෙළෙමි.
5752. ලෝකයෙහි අන්තයට ගියා වූ සියල්ල දන්නා වූ සර්‍වඥ තෙමේ ඉදින් භව සැඩපහර තරණය කෙළේ නම් ඒ සත්‍යවචනය කරණකොට ගෙණ මාගේ ගමන සමෘද්ධ වේ වා.
5753. ඉදින් මාර්‍ගය නිවන කරා යන සුළු වේ නම්, මෝක්‍ෂය ද අත්‍යන්තසුඛ වේ නම්, ඒ සත්‍යවචනය කරණ කොට ගෙණ මාගේ ගමන සමෘද්ධ වේවා.
5754. ඉදින් ආර්‍ය්‍යසඞ්ඝ තෙමේ තරණය කරණ ලද භවකාන්තාරය ඇත්තේ වේ ද, නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රය වේ ද, ඒ සත්‍යවචනය කරණ කොට ගෙන මාගේ ගමන සමෘද්ධ වේවා යි සත්‍යක්‍රියා කෙළෙමි.
5755. මේ උතුම් වූ සත්‍යක්‍රියාව කළ කෙණෙහි මාර්‍ගයෙන් ජලය ඉවත් විය. ඉක්බිති සුවසේ (ගඟින්) එතෙර වූයෙම් මනරම් වූ ගඞ්ඟා තීරයෙහි-
5756-5757. උදාවන හිරු වැනි, දිලිසෙන හිමාලයපර්‍වතය වැනි, බබලන ප්‍රදීපවෘක්‍ෂයක් වැනි වූ, තරු සහිත වූ සඳු මෙන් ශ්‍රාවකයන් විසින් පිරිවරන ලද, එකල්හි වර්‍ෂා කරණ මෙඝයක් මෙන් දේශනා ජලදායක වූ වැඩහුන් බුදුරජුන් දිටිමි.
5758. මම ඇමතියන් සහිතව (බුදුරජුන්) වැඳ එකත් පසෙක හුනිමි. ඉක්බිති බුදුරජ තෙමේ අපගේ අදහස් දැන දහම් දෙසී ය.
5759. අපි නිර්‍මල වූ ධර්‍මය අසා බුදුරජුන්හට මෙසේ කීමු. “මහාවීරයන් වහන්ස අපි භවයෙහි කලකිරුනෝ වෙමු. පැවිදි කරවනු මැනවැ”යි.
5760. “මහණෙනි, ධර්‍මය (මැනවින් දෙසනලද බැවින්) ස්වාක්ඛාතය. තොපගේ දුක් කෙළවර කිරීම පිණිස බඹසර හැසිරෙවු”යි (විපස්සී බුදුරජුන් පටන් මේ බුදුරජුන් තෙක් ගිණිමෙන්) සත්වැනි වූ (ගෞතම) මුනිතෙම වදාළේ ය.
5761. එම වචනය හා සමග ම අපි සියල්ලෝ භික්‍ෂුවේශ ධරන්නමෝ සසුනෙහි උපසපන් වූ සෝවන් වූ පැවිද්දෝ වූමු.
5762. ඉක්බිති බුදුරජතෙම දෙව්රම් වෙහෙරට ගොස් අනුශාසනා කෙළේ ය. බුදුරජුන් විසින් අනුශාසනා කරණලද මම රහත්බවට පැමිණියෙමි.
5763. ඉක්බිති (මාගේ පිරිවර වූ) ඒ භික්‍ෂූන් දහසට මම අනුශාසනා කෙළෙමි. එකල්හි මාගේ අනුශාසනය කරන්නා වූ ඔහුදු ආස්‍රව රහිතයෝ (රහත්හු) වූහු.
5764. එම ගුණයෙහි සතුටු වූ බුදුරජහු මහාජනයා ඉදිරියෙහි කප්පින තෙමේ භික්‍ෂූනට ඔවා දෙන්නවුන් අතුරෙන් අග්‍රය යි මා ඒතදග්‍රස්ථානයෙහි තැබූහ.
5765. මෙයින් සියදහස් වන කපෙහි මා විසින් කරණලද කර්‍මය මෙහි දී විපාක දැක්වී ය. (දුන්නෙන්) මැනවින් මිදුනු හීවේගයක් මෙන් (එම කර්‍මඵලය) මාගේ කෙලෙසුන් දැවී ය.
5766. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5767. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5768. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මහාකප්පින ස්ථවිරාවදානය තෙවැනියි.