Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 7301-7400 න් 9627

මෙසෙයින් ආයුෂ්මත් ගිරිනෙලපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ගිරිනෙලපූජක ස්ථවිරාවදානය සත්වැනියි.
528. බෝධිසම්මජ්ජක ස්ථවිරාවදානය
5585. මම පෙර සෑමළුවෙහි ගොඩගැසුනු බෝපත් (දැක) එය ගෙණ බැහැර ලීමි. එයින් විසිඅනුසස් ගුණයක් ලැබීමි.
5586. එම කම්බෙලෙන් කුදුමහත් භවයෙහි සැරිසරන්නෙම් දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද දෙඅත්බැව්හි සැරිසරමි.
5587. දෙව්ලොවින් ච්‍යුතව මනුෂ්‍ය භවයට පැමිණ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ දෙකුලෙහි පමණක් උපදිමි.
5588. සුපුන් අඟපසඟ ඇත්තෙම් ආරෝහපරිණාහයෙන් යුතු වූයෙම් නො අඩු වූ සම්පූර්‍ණාඞ්ග ඇත්තෙම් පිරිසිදු වූයෙම් මනා රූ ඇත්තෙම් වෙමි.
5589. දෙව්ලොවෙහි හෝ මිනිස්ලොවෙහි හෝ යම්කිසි තැනක උපනෙම් නම් තවන ලද (=පිරිසිදුකළ) ස්වර්‍ණයක් මෙන් රන්වන් වන්නෙමි.
5590. හුනු බෝපත් බැහැර කළ පිනෙන් මාගේ සිවිය හැමකල්හි මෘදු ද, මොළොක් ද, සිනිඳු ද, සියුම් ද, සියුමැලි ද වේ.
5591. යම්කිසි ගතියක් සිරුර පහළ වූ කල්හි (එහි) දැලි කුණු නො තැවරේ. පත්කසල බැහැර ලීමෙහි මේ විපාක යි.
5592. ඒ කර්‍මය කළ මට උෂ්ණ වූ අව්සුලං ඇති කල්හි ද, යලි රස්මිය කරණ කොට ගෙණ ද සිරුරෙහි ඩහ නො වැගිරේ. පත්කසල බැහැර කිරීමෙහි විපාක යි.
5593. කුෂ්ට ද, ගඩු ද, කැසිලි ද, තලකැලල් ද, පිළිකා ද, එසේ ම දද ද සිරුරෙහි නො වෙත්. පත්කසල ඉවත් කිරීමෙහි මේ විපාක යි.
5594. ඒ මට අනිකුදු ගුණයෙක් ඇති වේ: කුදුමහත් භවයෙහි සිරුරෙහි රෝගාබාධයෝ නො වෙත්. පත්කසල බැහැර කිරීමෙහි මේ විපාක යි.
5595. ඒ මට අනිකුදු ගුණයෙක් ඇති වේ: කුදුමහත් භවයෙහි මානසිකපීඩාවක් ඇති නො වේ. පත්කසල බැහැර කිරීමෙහි මේ විපාක යි.
5596. ඒ මට අනිකුදු ගුණයෙක් ඇති වෙයි: කුදුමහත් භවයෙහි මට පසමිතුරෝ (ඇති) නො වෙත්. පත්කසල බැහැර කිරීමෙහි මේ විපාක යි.
5597. ඒ මට අනිකුදු ගුණයෙක් ඇති වෙයි: කුදුමහත් භවයෙහි නො අඩු වූ භෝගසම්පත් ඇත්තේ වේ. පත්කසල බැහැර කිරීමෙහි මේ විපාකයකි.
5598. ඒ මට අනිකුදු ගුණයෙක් වෙයි: කුදුමහත් භවයෙහි ගින්නෙන් රජුන්ගෙන් සොරුන්ගෙන් හෝ දියෙන් බියෙක් නො වේ.
5599. ඒ මට අනිකුදු ගුණයෙක් වෙයි: කුදුමහත් භවයෙහි දැසිදස්සෝ සිතැඟි අනුව පවත්නා අනුවරයෝ වෙති.
5600. යම් පමණ ආයු ඇති කලෙක මිනිසත් බැව්හි උපදී ද ඒ ආයු ඇතිතාක් එයින් නො පිරිහේ. සිටු නේ ම වේ.
5601. ඇතුළත වූවෝ ද පිටත්හි හැසිරෙන්නෝ ද නිගම්වැස්සෝ ද, රට වැසියන් සහිත වූ මේ සියල්ලෝ අභිවෘද්ධිය කැමති වූවාහු සුව කැමති වූවාහු අනුයුක්ත වූවෝ වෙත්.
5602. මම භෝග ඇත්තෙම් ද යශස් ඇත්තෙම් ද ශ්‍රීමත් වූ යෙම් ද ඥාති පක්‍ෂ ඇත්තෙම් ද වෙමි. භවයෙහි හැම ලෙසින් පහවූ භයසන්ත්‍රාය ඇත්තේ වෙමි.
5603. හැම කල්හි දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද, අසුරයෝ ද, ගන්‍ධර්‍වයෝ ද, යක්රකුසෝ ද යන මේ සියල්ලෝ භවයෙහි හැසිරෙන්නා වූ මාගේ ආරක්‍ෂාව කෙරෙත්.
5604. දෙව්ලොවෙහි ද මිනිස් ලොවෙහි ද යන මේ දෙලෙව්හි ම යශස් අනුභව කොට අවසන්හි අනුත්තර ශාන්තිය වූ නිවනට පැමිණියෙම් වෙමි.
5605. යම් පුරුෂයෙක් තෙම සම්බුදුරජුන් උදෙසා හෝ එම ශාස්තෲන් වහන්සේගේ බෝධිය උදෙසා හෝ පින් රැස් කරන්නේ නම් ඔහට කුමක් නම් දුර්‍ලභද?
5606. මාර්‍ගයෙහි හා ඵලයෙහි ද (දීර්‍ඝ-මධ්‍යම ආදී) නිකායයෙහි ද ධ්‍යානාභිඥා ගුණයන්හි ද අන් අයට වඩා අධික (ඥාන) ලාභියෙක් ව ආස්‍රව රහිතව පිරිනිවන් පාමි.
5607. පෙර මම තුටු සිත් ඇත්තේ බෝසෑමළුයෙහි හුනු පත් බැහැර කොට හැමකල්හි මෙම අඞ්ග විස්සෙන් යුක්ත වෙමි.
5608. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5609. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5610. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් බෝධිසම්මජ්ජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බෝධිසම්මජ්ජක ස්ථවිරාවදානය අටවැනියි.
529. ආමණ්ඩඵලදායක ස්ථවිරාවදානය
5611. සියලු දහම්හි තෙරපත් පස්මරුන් දිනූ ලෝකනායක වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ සමාධියෙන් නැගී සක්මන් කළ සේක.
5612. එකල්හි (මම) පිරිකරකද ගෙණ ඵල (නෙලා) ගෙණ එන්නෙම් කෙලෙස්රජස් විරහිත මහාමුනි වූ සක්මණෙහි යෙදෙන්නා වූ බුදුරජුන් දුටිමි.
5613. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හිසෙහි ඇඳිලි බැඳ සම්බුදුරජුන් වැඳ ආමණ්ඩ{1} ඵලයක් දුනිමි.
5614. මෙයින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමී. ආමණ්ඩ ඵලදනෙහි මේ විපාක යි.
5615. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5616. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5617. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් ආමණ්ඩඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආමණ්ඩඵලදායක ස්ථවිරාවදානය නව වැනියි.
530. සුගන්‍ධථේරාපදානය
5617-5618. මෙම භද්‍රකල්පයෙහි බ්‍රාහ්මණවංශයෙහි වූ මහත් යශස් ඇති අපි බුදුවරුම්හයි කියන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ (අසූවක්) අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්ත වූ දෙතිස්මහ පුරිස් ලකුණු ඇති බ්‍යාමප්‍රභා (බඹයක් පමණ ඈතට විහිදෙන) ආලෝකයෙන් පරිවෘත වූ රැස් සමූහයෙන් ගැවසී ගත් ගෝත්‍රයෙන් කාශ්‍යප නම් බුදුරජ තෙමේ ලොව පහළ විය.
5619. (බුදුරජ තෙම) සඳු මෙන් අස්වස් කරන්නෙක. හිරු මෙන් ප්‍රභා කරන්නෙක. වැහිවලාවක් මෙන් (කෙලෙස් ගිම්) නිවන් නෙක. සයුර මෙන් ගුණ (මැණික්) ආකරයක.
5620. සීලයෙන් මහපොළොව මෙනි. සමාධියෙන් හිමව් පව්ව මෙනි. ප්‍රඥාවෙන් අහස මෙනි. සුළඟ මෙන් නො ඇලෙන්නේ වේ.
5621. පිරිස් හමුවෙහි විශාරද වූ ඒ මහාවීර වූ බුදුරජහු කිසියම් දිනෙක මහාජනයා (සසරසයුරින්) ගොඩලමින් (සිවූ) සස් දෙසූ සේක.
5622. එකල්හි මම බරණැස්නුවර සමෘද්ධ වූ ධනධාන්‍යයනට ප්‍රභූ වූ මහත් යශස් ඇති සිටුපුතෙක් වීමි.
5623-5624. මම ජඞ්ඝා විහරණය කරන්නෙම් මිගදාය නම් වූ මුවන් වසන වනයට එළඹ අමාපදය (-නිර්‍වාණධර්‍මය) දෙසන්නා වූ කෙලෙස් රජස් විරහිත වූ විහිද යන මනෝඥ වචන ඇති කුරවි කෙවිල් හඬට බඳු හඬ ඇති හ සධ්වනීයට බඳු ධ්වනි ඇති මහාජනයාට දහම් අවබෝධ කරවන්නා වූ බුදුරජුන් දුටිමි.
5625. දේවාතිදේව වූ ඒ බුදුරජුන් දැක මිහිරිවචන ද අසා අපමණ වූ භෝගසම්පත් හැර දමා අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියෙමි.
5626. මෙසේ පැවිදි වූ මම නොබෝ කලකින් ම බහුශ්‍රුත වූ ධර්‍ම කථික වූ විසිතුරු ප්‍රතිභා ඇත්තෙක් වීමි.
5627. මම මහපිරිස් මැදෙහි සතුටු සිත් ඇත්තෙම් ගුණවැණීමෙහි විශාරද වූයෙම් ස්වර්‍ණවර්‍ණ වූ බුදුරජුන්ගේ ගුණ නැවත නැවත වර්‍ණනා කෙළෙමි.
5628. තෙල බුදුරජානන් වහන්සේ ක්‍ෂය කළ ආස්‍රවයන් ඇති සේක. උවදුරු රහිතසේක. දුරුකළ සැක ඇතිසේක. සියලු කර්‍මයන්ගේ ක්‍ෂයට පත්වූ සේක. උපධිසඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයෙහි වූ දුකින් මිදුනු සේක.
5629. මේ ඒ භාග්‍යවත් වූ බුදුරජ තෙමේ ය. මේ අනුත්තර වූ පුරුෂසිංය තෙමේ ය. දෙවියන් සහිත ලෝකයාට බ්‍රහ්මචක්‍රය පවත්වන්නා වෙයි.
5630. මහර්ෂි වූ බුදුරජ (තෙමේ) දැමුනේ මහාජනයා ද දමනය කරන්නේ ය. (තෙමේ) ශාන්ත වූයේ මහාජනයා ද ශාන්ත කරන්නේ ය. (තෙමේ කෙලෙස් ගින්නෙන්) නිවුනේ මහාජනයා ද නිවන්නේ ය. තෙමේ අස්වැසුනේ මහාජනයා ද අස්වසන්නේ ය.
5631. ඒ බුදුරජ තෙම වීරය, ශූරය, නැණවත්ය, පැණවත්ය, කාරුණිකය, පඤ්චවශිතායෙන් යුක්තය, දිනූ කෙලෙස් ඇත්තේ කාවිසියෙහි හළ දළකම් ඇතියේය. දිනනසුලුය. ආලය (-ආශා) නැතියේය.
5632. සර්‍වඥ තෙම තෘෂ්ණාව නැතියේය. නිශ්චලය, නුවණැතියේය, මෝහය නැතියේය, (සමකොට දැක්මට අනිකකු නොමැති බැවින්) අසමය, ධුර උසුලන්නේය, (උතුම් බැවින්) වෘෂභය, (පව්නැති බැවින්) නාගය, (ශ්‍රේෂ්ඨ බැවින්) සිංහය, ගුරුන් අතුරෙහිදු ශක්‍ය ය.
5633. රාගය නැත්තේය. නිර්‍මලය, ශ්‍රේෂ්ඨය, වාදීන් අතුරෙහි ශූරය, පව් දුරු කෙළේය, (සිත්හි රාගාදි කිලුටු නැති බැවින්) අඛිල ය, (පහ වූ රාගාදී හුල් ඇති බැවින්) විසල්ල ය. (ලෙව්හි සමාන කිරීමට අනිකෙකු නො මැති බැවින්) අසම ය, චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන් (සංවෘත බැවින්) සන්හුන්ය, පිරිසිදුය.
5634. (බැහැර කරණ ලද පව් ඇති බැවින්) බ්‍රාහ්මණය. ශමනය කරණ ලද පව් ඇති බැවින් ශ්‍රමණය. (අනාථයනට පිහිට වන බැවින්) නාථය. (කෙලෙස් ලෙඩට) වෛද්‍ය, (රාගාදී හුල් උදුරන) ශල්‍ය වෛද්‍යය (කෙලෙස් සතුරන් ජය ගන්නා) යෝධය. (සිවුසස් දත් බැවින්) බුදුය. ප්‍රකටය. (දමනය කළයුත්තන් දමනය කරණ බැවින්) සාරථිය. නිශ්චලය. මුදිතාවෙන් යුතුය. උත්ගතය.
5635. තෘප්තය. (මහාකරුණා ආදී ගුණ) දන්නේය. (කෙලෙස් සතුරන්) නැසුයේ ය. (ශාන්තිය) කරන්නේ ය. (නිවන්මගට) පමුණුවන්නේ ය. (අමාදහම්) දෙසන්නේ ය. (සව්වන්) සතුටු කරන්නේ ය. (සසරසක දැවි) බිඳින්නේය. කෙලෙස් බැඳුම් සිඳිනේ ය. (විනෙයජනයන්ගේ කථා භවාග්‍රයෙහි සිට නමුදු) අසන්නේ ය. (මනා ප්‍රතිපත්ති ඇතියනට) පසසන්නෙක.
5636. (රාගාදි කිලිටි නැති බැවින්) අඛිල ය. (පහවූ රාගාදී හුල් ඇති බැවින්) විසල්ල ය. උවදුරු රහිත ය. සැක රහිත ය. තෘෂ්ණාවිරහිත ය. කෙලෙස් රජස් රහිත ය. ඉවසන්නේ ය. නිවන්මග යන්නේ ය. (මග නොමග මෙයයි) කියන්නේ ය. (හිතාහිත මේ යයි) පවසන්නේ ය.
5637. (සත්ත්‍වයන් සසරින්) එතෙර ලන්නේ ය. අභිවෘද්ධිකාරක ය. (නිවන් සිදු) කරන්නේ ය. (කෙලෙස් නමැති ගල්කුළු) පළන්නේ ය. (සත්ත්‍වයන් නිවණට) පමුණුවන්නේ ය. දුටුවන් සිත් ගන්නේ ය. (කෙලෙස්සතුරන්) නසන්නේ ය. (කෙලෙස් තවන) වීර්‍ය්‍යය ඇත්තේ ය. තපෝගුණ යුක්ත ය.
5638. (සතුරු මිතුරු මැදහත් කවුරුන් කෙරෙහිත්) සම සිත් ඇත්තේය. (අසම වූ බුදුවරයනට පමණක් සමානවන බැවින්) අසමසමය. මේ සමානය යි දැක්වීමට අනිකෙකු නොමැති බැවින්ය අසහායය. දයා ගුණයට නිවාසස්ථානය. ආශ්චර්‍ය්‍ය සත්ත්‍වය. කොහොන් ගුණ රහිතය. සර්‍වඥතාඥානය සඳහා කටයුතු තාක් දැය කෙළේ වේ. බුද්ධර්ෂීන් අතුරෙහි සත් වන බැවින් ඉසිසත්තමය.
5639. දුරුකළ සැක ඇතියේය. මාන රහිතය. පමණ කළ නො හැකි ගුණ ඇතියේය. උපමා විෂයය ඉක්මවූයේ ය. වර්‍ණනාවිෂය ඉක්මවූයේ ය. සත්‍යධර්‍මයාගේ හා දතයුතු සකලධර්‍මයන්ගේ පරතෙරට ගියේය. පස්මරුන් දිනූ යේ වේ.
5640. සත්ත්‍වයන් අතුරෙහි උතුම් හරය වූ මේ බුදුරජුන් කෙරෙහි ප්‍රසාදය අමාසුව එළවන්නේ වෙයි. එහෙයින් බුද්ධ රත්නය කෙරෙහි ද ධර්‍මරත්නය කෙරෙහි ද සඞ්ඝරත්නය කෙරෙහි ද වූ ශ්‍රද්ධා තොමෝ මහත් වූ ඍද්ධි ඇතිකරන්නී ය.
5641. මම මේ ආදී ගුණ විසින් තුන්ලොවට උතුම් පිළිසරණ වූ බුදුරජුන් වර්‍ණනය කරමින් පිරිස්මැද ධර්‍මකථාවක් කෙළෙමි.
5642. මම එයින් ච්‍යුතවූයේ තුෂිතයෙහි මහත් සැප අනුභව කොට ඉන් චුතවූයේ මිනිසත්බැව්හි උපන්නේ සුවඳවත් වූයේ වෙමි.
5643. මාගේ පිටතට හෙළන වාතය ද මුඛගන්‍ධය ද ශරීරගන්‍ධය ද එසේ ම මාගේ ඩහදියගඳ ද හැම කල්හි සියලු සුවඳ ඉක්මවා පවති.
5644. හැමකල්හි මාගේ මුවසුවඳ පියුම් උපුල් සපුමල් සුවඳ (මේ යයි) පෙන්වමින් හමයි. මාගේ සිරුරු සුවඳ ද එසේය.
5645. බුද්ධ ගුණකීර්‍තනයාගේ ඒ සියලු විපාක අතිශය විස්මයජනක ය. එය වර්‍ණනය කරන්නෙමි සියල්ලෝ එකඟ සිත් ඇත්තෝ ව මාගේ (ඒ වචනය) අසවු.
5646. ජනයා එක්වන තන්හි ඉතසිතින් මධුර ස්වරධ්වනි යුක්ත වූයේ (-මිහිරිහඬ ඇත්තෙම්) බුදුගුණ කියා හැම තන්හි සුව ඇතියෙම් වෙමි.
5647. යශස් ඇත්තෙම්, සුව ඇත්තෙම්, මනහර වූයෙම්, ප්‍රභාවත් වූයෙම්, ප්‍රිය දැකුම් ඇතියෙම් එසේ ම (සොඳුරු වදන්) බණන සුලුයෙම්, (අනුන්ගේ ධනයෙන්) අපරිපෝෂිතයෙම්, නිදොස් වූයෙම්, පැණවත් වූයෙම් ද වෙමි.
5648. ආයුෂ ගෙවී ගිය කල්හි බුද්ධභක්ති ඇතියනට නිවන පහසුවෙන් ලැබෙන්නේ වේ. ඔවුන්ගේ (නිවන් සුලබ බවට) හේතුව කියමි. එය තත්වූ පරිදි අසවු:
5649. මම භාග්‍යවතුන් වහන්සේගේ ශාන්ත වූ යශසට විධි වූ පරිදි අභිවාදනය කරන්නෙම් ඒ හේතුකොට ගෙන යම් ඒ තැනක උපනෙම් ද, යශස් ඇත්තෙම් වෙමි.
5650. දුක් කෙළවර කරන්නා වූ බුදුරජුන් ද ශාන්ත වූ අසංස්කෘත ධර්‍මය ද, වර්‍ණනා කරන්නෙම් සෙසු සත්නට ද සුව දෙන්නෙක් වීමි. ඒ හේතුවෙන් සුව ඇත්තෙක් වීමි.
5651. බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්ත වූයෙම් බුදුරජුන්ගේ ගුණ කියනෙම් ස්වකීය සිත්හි කැමැත්ත ද මෙරමාගේ සිත්හි කැමැත්ත ද ඇති කෙළෙමි. ඒ හේතුවෙන් සිත් අලවන ගති ඇති කෙනෙක් වීමි.
5652. තීර්‍ත්‍ථකයන් විසින් ගැවසී ගත් ජනසමූහයා කෙරෙහි මිථ්‍යාතීර්‍ත්‍ථකයන් මැඩ පවත්වා ගුණ කියමින් බුදුරජුන් බැබල වීමි. ඒ හේතුවෙන් පැහැපත් කෙනෙක් වීමි.
5653. මම සම්බුදුරජුන්ගේ ගුණ කියනෙම් ඒ හේතුවෙන් සරාසඳ මෙන් ජනයාහට ප්‍රියඞ්කර ගති ඇත්තෙම් ප්‍රිය දැකුම් ඇත්තෙම් වීමී.
5654. මම ශක්තිපමණින් බුදුරජුන්හට සියලු වචනයෙන් ස්තූති කෙළෙමි. ඒ හේතුවෙන් වාගීශ්වර වීමි. විසිතුරු වූ වැටහෙන නුවණ ඇත්තෙම් ද වීමි.
5655. විමතියට පත් යම් බාලකෙනෙක් මහාමුනි වූ බුදුරජුන්හට පරිභව කෙරෙත් නම් ඔවුනට කරුණු සහිතව නිග්‍රහ කෙළෙමි. ඒ හේතුවෙන් මම පරිභව නො ලද්දෙම් වීමි.
5656. මම බුදුගුණ වැණීමෙන් සත්ත්‍වයන්ගේ කෙලෙස් දුරු කෙළෙමි. එම කර්‍මයාගේ බලයෙන් නිකෙලෙස් සිත් ඇත්තෙම් වෙමි.
5657. බුදුගුණ සිහි කොට දෙසන්නෙම් අසනවුන්ට නුවණ ඉපදවීමි. එහෙයින් මම ප්‍රාඥ වූයෙම් සියුම් වූ අරුත් දක්නෙම් වීමි.
5658. සියලු ආස්‍රවයන් ක්‍ෂය කරණ ලදුයෙම් තරණය කරණලද සසරසයුරු ඇත්තෙම් උපාදාන (-දර) රහිත ගින්නක් මෙන් පිරිනිවනට පැමිණෙන්නෙමි.
5659. මම ඒ කල්පයෙහි ම බුදුරජුන්හට යම් ස්තූතියක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුගුණ වැණීමෙහි මේ විපාක යි.
5660. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
5661. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5662. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් සුගන්‍ධස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුගන්‍ධස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
තිණද මඤ්චද සරණ අබ්භඤ්ජන දායක සුපට දණ්ඩද නෙල පූජි බෝධිසම්මජ්ජක ආමණ්ඩඵලදායක සුගන්‍ධද්විජ දසමය. එක්සිය තෙවිසගයෙක් හැමසේ මෙහි ගිණුයේ.
තෘණදායකවර්‍ගය තෙපණස් වැනියි.
54. කච්චායන වර්‍ගය
531. මහාකච්චාන ස්ථවිරාවදානය
5663. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි නොපැරද විය හැකි මරරුපුනුදු ජය ගත්තා වූ තෘෂ්ණා රහිත වූ ලෝකනායක වූ පදුමුත්තර නම් බුදුරජ තෙමේ ලොව පහළ විය.
5664. වීර වූ පියුම්පතක් බඳු ඇස් ඇති සඳු බඳු පිරිසිදු මුහුණක් ඇති කනකපර්‍වතයක් මෙන් බබලන්නා වූ හිරුරැස් බඳු පැහැ ඇති-
5665. සත්ත්‍වයන්ගේ නෙත් සිත් පැහැර ගන්නා වූ උතුම් (දෙතිස් මහපුරිස්) ලකුණින් අලඞ්කෘත වූ සියලු (වර්‍ණනාත්මක) කථාමාර්‍ගය ඉක්ම වූ දෙව්මිනිසුන් විසින් සත්කාර කරණ ලද්දා වූ-
5666. වාගීශ්වර වූ මධුරස්වර ඇත්තා වූ කරුණාවෙන් බැඳුනු සිත් ඇත්තා වූ (සිවු) පිරිස්හි විශාරද (-බියරහිත) වූ සම්මා සම්බුදුරජ තෙමේ සත්ත්‍වයනට (දහම්) අවබෝධ කරවමින්-
5667. සිවුසස් සමග යෙදුනු මිහිරි දහම් දෙසයි. මෝහ නමැති මඩෙහි ගැළුනු සත්ත්‍වයන් (එයින්) නගා ලයි.
5668. එකල්හි හිමවත වාසස්ථාන කොට ඇති එකලාව හැසිරෙන තව්සකු වූ (මම) අහසින් මිනිස්ලොවට යන්නෙම් බුදුරජුන් දිටිමි.
5669. උන්වහන්සේ වෙත එළඹැ ශ්‍රාවකයකුගේ මහත් වූ ගුණය පසසන වීරයන් වහන්සේගේ දහම් දෙසුම ඇසීමි.