Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 7101-7200 න් 9627

මෙසෙයින් ආයුෂ්මත් තාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තාලඵලදායකස්ථවිරාවදානය නවවැනියි.
510. නාළිකෙරදායක ස්ථවිරාවදානය
5448. එකල්හි මම බන්‍ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (අරමෙහි වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩනා වූ කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5449. මම නාළිකෙරඵලයක් (-පොල්ගෙඩියක්) ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. මහත් යසස් ඇති බුදුරජ තෙමේ අහසෙහි සිටියේ ම එය පිළිගෙණ වදාළේ ය.
5450. මට ප්‍රීතිය උපදවන්නා වූ මෙලොව්හි දී ම සුව එළවන්නා වූ ඵලය පහන් සිතින් බුදුරජුන්හට දී -
5451. එකල්හි මහත් වූ ප්‍රීතියට ද උතුම් සැපයට ද පැමිණියෙමි. ඒ ඒ තන්හි උපන් මට රුවන් පහළ වේ.
5452. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් (නාළිකෙර) ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5453. මාගේ දිවැස පිරිසිදු විය. මම සමාධියෙහි දක්‍ෂ වීමි. අභිඥාවන්හි කෙළ පැමිණියෙම් ද වෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
5454. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5455. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5456. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් නාළිකේරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නාළිකේරදායකස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
කණිකාර ඒකපත්ත කාසුමාරි අවට ද වාරඵල මාතුලුඞ්ග අජෙල ද මෝදඵල, තාල නාළිකෙරදැයි මෙසෙයින් ගා ගිණූ මෙහි. අඩු වැඩි නැතිව ම එගා එක් සියෙක් වේ.{*}
කණිකාරවර්‍ගය එක්පණස් වැනියි.
52. ඵලදායක වර්‍ගය
511. කුරඤ්ජියඵලදායක ස්ථවිරාවදානය
5457. මම පෙර වනයෙහි හැසිරෙන්නා වූ මුව වැද්දෙක් වීමි. සියලු දහම්හි කෙළ පත් කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5458. මම කුරඤ්ජිය ඵලයක් ගෙණ වීර වූ පුණ්‍යක්‍ෂේත්‍ර වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට පහන් වූයෙම් සියතින් දුනිමි.
5459. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) මම දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5460. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5461. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5462. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කුරඤ්ජියඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුරඤ්ජියඵලදායක ස්ථවිරාවදානය පළමුවැනියි.
512. කපිත්‍ථඵලදායක ස්ථවිරාවදානය
5463. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ වීථියට පිළිපන්නා වූ සම්බුදුරජුන් දැක ගිවුලූපලක් දුනිමි.
5464. එකල්හි මෙයින් එක්අනූවනකපෙහි යම් (ගිවුළු) පලයක් දුනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5465. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5466. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5467. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කපිත්‍ථඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කපිත්‍ථඵලදායක ස්ථවිරාවදානය දෙවැනියි.
513. කෝසුම්භඵලදායක ස්ථවිරාවදානය
5468. කුඹුක් රුකක් මෙන් බබලන දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ වීථියට පිළිපන් බුදුරජුන්හට කොසුම්භඵලයක් දුනිමි.
5469. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5470. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5471. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5472. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කෝසුම්භඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කෝසුම්භඵලදායක ස්ථවිරාවදානය තෙවැනියි.
514. කෙතකපුප්ඵිය ස්ථවිරාවදානය
5473. පුරුෂෝත්තම වූ බුදුරජ තෙම විනතා නදීතීරයෙහි වැඩහුන්නේ ය. මැනැවින් සන්හුන් වූ එකඟ සිත් ඇති කෙලෙස්රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5474. එකල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මධුසුගන්‍ධය වෑහෙන වැටකේ මලින් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
5475. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5476. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5477. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5478. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කෙතකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කෙතකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනියි.
515. නාගපුප්ඵිය ස්ථවිරාවදානය
5479. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට යෝග්‍ය වූ ස්වර්‍ණවර්‍ණ වූ වීථියට පිළිපන් සම්බුදුරජුන්හට නාමලක් පිදීමි.
5480. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5481. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5482. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5483. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නාගපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනියි.
516. අජ්ජුනපුප්ඵිය ස්ථවිරාවදානය
5484. එකල්හි (මම) චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. කෙලෙස් රජස් විරහිත සියල්ල තෙමේ ම දත් පස්මරුන් දිනූ බුදුරජුන් දිටිමි.
5485. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හටගත් ප්‍රීති ඇත්තෙම් බැදැඳිලි ඇත්තෙම් කුඹුක් මලක් ගෙණ බුදුරජුන් පිදීමි.
5486. මැනැවින් කරණ ලද එම කර්‍මය හේතුකොට ගෙන ද චිත්ත ප්‍රණිධීන් හේතුකොට ගෙණ ද මම කිඳුරුසිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
5487. සතිස්වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. දසවරක් චක්‍රවර්ති මහාරාජ්‍යය කරවීමි.
5488. (ලබන ලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගණිය නො හැකිය. ස්වසම්භු වූ මනා පින්කෙතෙහි මා විසින් වපුළ බිජුවට ආශ්චර්‍ය්‍යයයි.
5489. මාගේ කුශලය විද්‍යමාන වේ අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියෙමි. මම අද ශාක්‍යපුත්‍ර වූ බුදුරජුන්ගේ සසුනෙහි පිදිය යුත්තෙක් වෙමි.
5490. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5491. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5492. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් අජ්ජුනපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අජ්ජුනපුප්ඵිය ස්ථවිරාවදානය සවැනියි.
517. කුටජපුප්ඵිය ස්ථවිරාවදානය
5493. හිමවතට නුදුරෙහි චාවල නම් පර්‍වතයක් විය. (එහි) කඳු අතරෙහි සුදස්සන නම් බුදුරජ තෙමේ වැඩ වෙසෙයි.
5494. මම හිමවතෙහි හටගත් මල් ගෙණ අහසට (නැගී) ගියෙමි. එහිදී චතුරෝඝයන් තරණය කළ ආස්‍රව රහිත වූ සම්බුදුරජුන් දිටිමි.
5495. කෙළිඳ මල් ගෙණ හිස ඇඳිලි බැඳ සියල්ල තෙමේම දත් මහර්ෂි වූ බුදුරජුන් හට පිදීමි.
5496. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5497. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5498. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5499. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කුටජපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුටජපුප්ඵිය ස්ථවිරාවදානය සත්වැනියි.
518. ඝෝසසඤ්ඤක ස්ථවිරාවදානය
5500-5501. මම පෙර මහවෙනෙහි මුවවැද්දෙක් වීමි. කෙලෙස් රජස් විරහිත, දිව්‍යසමූහයා විසින් පිරිවරන ලද, චතුස්සත්‍යය ප්‍රකාශ කරන්නා වූ අමාපදය දෙසන්නා වූ බුදුරජුන් දිටිමි. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්ගේ මිහිරි ධර්‍මය ඇසීමි.
5502. අසම වූ අප්‍රතිපුද්ගල වූ (බුදුරජුන්) කෙරෙහි ද (උන්වහන්සේගේ බ්‍රහ්ම) ස්වරයෙහි ද සිත පැහැද වීමි. එහි සිත පහදවා තරණය කිරීමට දුෂ්කර වූ භවය තරණය කෙළෙමි.
5503. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් සංඥාවක් ලදුයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධර්‍මඝෝෂසංඥාවෙහි මේ විපාක යි.
5504. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5505. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5406. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඝෝසසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඝොසසඤ්ඤකස්ථවිරාවදානය අටවැනියි.
519. සබ්බඵලදායක ස්ථවිරාවදානය
5505. එකල්හි (මම) මන්ත්‍රයන්හි කෙළ පැමිණි නමින් වරුණ නම් වූ බ්‍රාහ්මණයෙක් වීමි. පුත්‍රයන් දසදෙනකු හැර දමා වනයට පිවිසියෙමි.
5506. මම මනා බෙදුම් ඇති අසපුවක් සාදා පන්සැලක් ද කොට වනයෙහි වෙසෙමි.
5507. ලෝකයාගේ පූජාවන්ට යෝග්‍ය වූ ඒ පදුමුත්තර බුදුරජ තෙම මා සසරින් ගොඩලනු කැමැත්තේ මාගේ අසපුවට පැමිණියේ ය.
5508. බුදුරජානන් වහන්සේගේ අනුභාවයෙන් මුළු වන ලැහැබෙහි මහත් වූ ආලොකයෙක් වී. එකල්හි වනය ඇවිලගත්තාක් බඳු විය.
5509. මම තාදීගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඒ පෙළහර දැක කොළගොටුවක් ගෙණ ඵලයෙන් පිරවීමි.
5510. මම බුදුරජුන් වෙත එළඹ කොළගොටුව සහිතව ම දුනිමි. බුදුරජතෙම මට අනුකම්පාවෙන් මේ වචනය වදාළේ ය:
5511. “තෝ ඛාරිහාරිය හෙවත් පලගොටුව රැගෙන මා පස්සෙන් එව. සඞ්ඝයා එය වැළඳු කල්හි තොපට පින් (සිදු) වන්නේ ය.” (කියායි).
5512. මම ඒ (පල) ගොටුව ගෙණ භික්‍ෂුසඞ්ඝයාට දුනිමි. එහි මම සිත පහදවා තුසිතදිව්‍යලෝකයෙහි උපනිමි.