5294. මෙයින් සානූවන කපෙහි වූ එකල්හි යම් (ගිතෙල්) දනක් දුනිම් ද (ඒ හේතුවෙන් ) දුගතියක් නො දනිමි. පිරිසිදු ගිතෙල් දනෙහි මේ විපාක යි.
5295. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5296. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5297. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඝතමණ්ඩදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඝතමණ්ඩදායක ස්ථවිරාවදානය සවැනියි.
497. උදකදායක ස්ථවිරාවදානය
5298. පදුමුත්තර බුදුරජුන්ගේ අනුත්තර වූ භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පැන්කළයක් පිදීමි.
5299. පර්‍වත මුදුනෙහි වේවයි ගස් මුදුනෙහි වේවයි අහසෙහි වේවයි පොළොවෙහි වේවයි යම් කලෙක පැන් කැමති වෙම් නම් වහා මට (එය) පහළ වේ.
5300. එකල්හි මෙයින් සියක්දහස් වන කපෙහි යම් (පැන්) දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැන් දීමෙහි මේ විපාක යි.
5301. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
5302. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5303. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් උදකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උදකදායක ස්ථවිරාවදානය සත්වැනියි.
498. පුලිනථූපිය ස්ථවිරාවදානය
5304. හිමවතට නුදුරෙහි යමක නම් පර්‍වතයෙක් විය. (එහි) මාගේ අසපුව මැනැවින් කරණ ලද්දකි. පන්සැල ද මොනොවට නිර්මිත ය.
5305. මම නමින් නාරද නම් වූ උග්‍ර තපස් ඇති ජටිලයෙක් වෙමි. තුදුස්දහසක් ශිෂ්‍යයෝ මා පිරිවරත්.
5306. මම එකල්හි විවේකීව හුන්නෙම් මෙසේ සිතීමි. සියලු ජන තෙමේ මා පුදයි. මම කිසිවකු නො පුදමි.
5307. මට ඔවා දෙන්නෙක් නැත. කරුණු නො කරුණු කියන්නෙක් නැත. මම ආචාර්‍ය්‍ය - උපාධ්‍යාය විරහිතව වනවාසයට පැමිණෙමි.
5308. මම යමෙකු උපාසනා (ඇසුරු) කරන්නෙම්. ගුරුසිත උපදවන්නෙම් ද මට එබඳු ගුරුවරයෙක් නැත. වනයෙහි විසීම නිරර්‍ත්‍ථක ය.
5309. (මම) මවිසින් පූජ්‍ය වූ එසේ ම ගරුභාවනීය වූ උතුමකු සොයන්නෙමි. (එබඳු උතුමකු) ඇසුරු කරන්නෙක්ව වසනෙමි. කිසිවෙක් මට නො ගරහන්නේ ය.
5310. නො ගැඹුරු ඉවුරු ඇති මනා කොට ඇති සුදෝසුදු වැලිතලාවෙන් ගැවසීගත් කුඩා ගඟක් මාගේ අසපුවට නුදුරෙහි විය.
5311. එකල්හි මම අමරිකා නම් වූ එ නදියට එළඹ වැලි එකතුකොට පුලිනචෛත්‍යයක් (වැලිසෑයක්) කෙළෙමි.
5312. භවය කෙළවර කරන්නා වූ යම් ඒ සම්බුදු මුනිවරු වූහු නම් මෙබඳු වු සෑය උන්වහන්සේ උදෙසා ය. මෙය මම උන්වහන්සේ අරමුණු කොට කරමි.
5313. වැලි සෑයක් කොට මම (ඉදුහයෙන්) රන් නිපදවීමි. (එයින් සෑදූ) රන් කිකිණිමල් තුන් දහසක් පූජා කෙළෙමි.
5314. හටගත් ප්‍රීති ඇත්තෙම් බඳැඳිලි ඇත්තෙම් උදය සවස නමදිමි. සම්බුදුන් හමූයෙහිදී මෙන් පුලින චෛත්‍යය වැන්දෙමි.
5315. යම් කලෙක්හි කාමනිඃශ්‍රිත වූ විතර්‍කයෝ හටගනිත් ද, එකෙණෙහි සර්‍වඥස්තූපය සිහි කරමි. (මෙසේ ද) ප්‍රත්‍යවේක්‍ෂා කරමි:
5316. “නිදුකාණෙනි, සාර්‍ත්‍ථවාහක වූ විනායක වූ බුදුරදුන් (සිතින්) ඇසුරු කොට වසනේ කෙලෙස් සමග වසනෙහි නම් ඔබට (එය) නුසුදුසුය.“
5317. එකල්හි සෑය සිහිකළ කෙණෙහි මාගේ සිත්හි බුද්ධ ගෞරවය ඇති වේ. තොත්‍රයෙන් (කණමුල හනින යවුලෙන්) පෙළන ලද ඇතකු මෙන් මිත්‍ථ්‍යා විතර්‍කයන් දුරු කෙරෙමි.
5318. මෙසේ වසන මා මෘත්‍යුරාජයා මැඩලීය. මම එහි කලුරිය කළෙම් බඹලොව ගියෙමි.
5319. එහි දිවි ඇති තාක් වසා මම තව්තිසා දෙව්ලොවහි උපන්මි. අසූවරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍ය කෙළෙමි.
5320. මම තෙසියක් වර සක්විති රජ වීමි. මහත් ප්‍රදේශරාජ්‍යය ගණනින් ගිණිය නො හැකිය.
5321. මම ඒ කිඞ්කණිපුෂ්පයන්ගේ විපාකය අනුභව කරමි. භවයෙහි සියදහසක් කිරිමවුවරු මා පිරිවරත්.
5322. සෑය පිළිදැගුම් කළ බැවින් සිරුරෙහි රජස් දැලි නො වැකේ. ගත ඩහ නො වැගිරෙයි. මම ප්‍රභා සහිතයෙම් වෙමි.
5323. ආශ්චර්‍ය්‍යයෙකි, මා විසින් මැනැවින් කරණ ලද සෑයකි. අමරිකානදිය ද මැනැවින් දක්නා ලදී. වැලිසෑය කොට අචල පදය වූ නිවනට පැමිණියෙම් වෙමි.
5324. කුසල් කරණු කැමැත්තා වූ (නිර්‍වාණ) සාරය සොයන්නා වූ සත්ත්‍වයා විසින් ‘මෙය කෙත ය, මෙය නො කෙත ය’යි වෙන් කොට ගත යුත්තෙක්) නැත. ප්‍රතිපත්ති තොමෝ ම අර්‍ත්‍ථසාධක වන්නී ය.
5325-5326. බලවත් පුරුෂයෙක් තෙම සාගරය තරණය කරන්නට උත්සාහ කරන්නේ. කුඩා දඬුකඩක් ගෙන මහසයුරට පණින්නේ නම් “මම මේ දඬුකඩ නිසා මහසයුර තරණය කරන්නෙමැ” යි උත්සාහයෙන් ද වීර්‍ය්‍යයෙන් ද ඒ මිනිස් තෙම සයුරතරණය කරන්නේ යම්සේ ද-
5327. එසේ ම මා විසින් යම් කර්‍මයක් කරණ ලද නම් එය ඉතා කුඩා ය. (එහෙත්) ඒ කර්‍මය නිසා සසර ඉක්ම වීමි.
5328. ඒ කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් අන්තිම භවය පැමිණි කල සැවැත් නුවර ආඪ්‍ය වූ මහාසාර කුලයක උපන්නෙම් වෙමි.
5329. මාගේ මවුපියෝ සැදැහැත්තෝ ය. බුදුරජුන් සරණ ගියෝය. මේ දෙදෙන ම දක්නා ලද නිර්‍වාණ පදය ඇත්තෝ ය. ශාසනයට අනුව පවතිත්.
5330. (ඔහු) බෝධියෙන් (ගිලිහුනු) පොතු ගෙණ රන්සෑයක් කරවූහ. ශාක්‍යපුත්‍ර බුදුරදුන් හමුවෙහි මෙන් උදේ සවස නමස්කාර කෙරෙත්.
5331. පොහෝ දිනයෙහි ස්වර්‍ණස්තූපය බැහැරට ගත්හ. බුදුරජුන්ගේ ගුණ කියමින් තුන්යම් රැය ගෙවූහ.
5332. මම (ස්වර්‍ණ) ස්තූපය දැක එකෙණෙහි ම පුලිනචෛත්‍යය (අතීතයෙහි මවිසින් කළ වැලිසෑය) සිහි කෙළෙමි. එ අස්නෙහි ම හිඳ රහත්බවට පැමිණියෙමි.
(දෙවිසිවන බණවරයි.)
5333. ඒ වීරයන් (බුදුරජුන්) සොයනෙම් ධර්‍මසේනාපතීන් (සැරියුත් තෙරුන් වහන්සේ) දිටිමි. ගිහිගෙන් නික්ම උන්වහන්සේ වෙත පැවැදි විමි.
5334. උත්පත්තියෙන් සත්හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජානන් වහන්සේ ගුණ දැන මා උපසපන් කරවූසේක.
5336. ළදරු වූ මා විසින් (නිවන් සඳහා) කටයුතු නිම කරණ ලදී. ශාක්‍යපුත්‍ර වූ බුදුරජුන්ගේ සසුනෙහි කටයුතු දැය අද මා විසින් කරණ ලදි.
5337. මහාවීර වූ ඍෂීන් වහන්ස, මම සියලු වෛර හා භය ඉක්මවූයෙම් වෙමි. සියලු ක්ලේශඞ්ගයන් ඉක්මවා ගියෙම් වෙමි. මුබවහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. ස්වර්‍ණපුෂ්පපූජාවෙහි මේ විපාක යි.
5338. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5339. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5340. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් පුලිනථූපියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුලිනථූපිය ස්ථවිරාවදානය අටවැනියි.
499. නළකුටිදායක ස්ථවිරාවදානය
5341. හිමවතට නුදුරෙහි හාරිත නම් පර්‍වතයෙක් විය. එකල්හි සියල්ල තෙමේ ම දත් නාරද බුදුරජ තෙම රුක්මුලක වැඩ විසී ය.
5342. මම නළකුටියක් කොට තණපතින් සෙවෙනි කෙළෙමි. මම සක්මණ ද පිරිසිදු කරවා බුදුරජුන්හට දුනිමි.
5343. මැනැවින් කරණ ලද එ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස්සිරුර හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙමි.
5344. එහි (දෙව්ලොව) මැනැවින් කරණ ලද නළකිළියෙන් නිර්මිත වූ මාගේ විමානය සැට යොදුනක් උස ය. තිස් යොදුනක් පුළුල් ය.
5345. මම තුදුස් කපක් දෙව්ලොව සිත් අලවා විසීමි. එක්සැත්තෑ වරක් දිව්‍යරාජ්‍යය කරවීමි.
5346. මම සූතිස්වරක් සක්විතිරජ වීමි. (ලැබූ) මහත් ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
5347. මම සියලු ආකාරයෙන් උතුම් උපමා ඇති ධර්‍මනැමැති ප්‍රාසාදයට නැගී ශාක්‍යපුත්‍ර වූ බුදුරජුන්ගේ සසුනෙහි රුචිසේ වෙසෙමි.
5348. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නළකුටියෙහි මේ විපාක යි.
5349. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5350. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5351. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් නළකුටිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නළකුටිදායක ස්ථවිරාවදානය නවවැනියි.
500. පියාලඵලදායක ස්ථවිරාවදානය
5352. පෙර මම මුවවැද්දෙක් වීමි. එකල්හි වනයෙහි හැසිරෙන්නෙම් සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය කෙලෙස්රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5353. මම පියල් ගෙඩියක් ගෙණ පහන් වූයෙම් සියතින් ම පින්කෙත් වූ වීර වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
5354. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් පියාල ඵලයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකයි.
5355. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5356. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5357. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් පියාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
පියාලඵලදායක ස්ථවිරාවදානය දසවැනියි.
තිකිඞ්කණිපුප්ඵිය වර්‍ගය පණස් වැනියි.
උද්දානය:
කිඞ්කණි පංසුකූල කොරණ්ඩ හා කිංසුක. උපඩ්ඪදුස්සී ඝතද උදක ථූපකාරක නළාගාරි නව වන පියාලඵලදායක නවතුරු සිය ගයෙකින් මේ වග කියා නිමියේ.
වග්ගුද්දානය:
මෙත්තෙය්‍ය වග්ග භද්දාලි සකිං සම්මජ්ජක සහ එක විහාරී විහීතක ජගතී සාල පුප්ඵිය නළමාලී පංසුකූල කිඞ්කණි පුප්ඵියයි දස මෙහි ගී එක් දහස් සිවුසිය දෙ අසූවෙකි.
මෙත්තෙය්‍ය වර්‍ග දශකයයි.
පඤ්චම ශතකය සමාප්ත යි.
51. කණිකාර වර්‍ගය
501. තිකණිකාරපුප්ඵිය ස්ථවිරාවදානය
5358. දෙතිස් මහ පුරිස් ලකුණින් යුත් සර්‍වඥ වූ සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ විවෙක සැප කැමැත්තෝ හිමවතට එළඹිසේක.
5359. පුරුෂෝත්තම වූ අග්‍රකාරුණික වූ බුදුරජහු හිමවතට පිවිස පලක් බැඳ වැඩ හුන්සේක.
5360. එකල්හි මම අහසෙහි හැසිරෙන විද්‍යාධරයෙක් වීමි. මැනවින් කරනලද ත්‍රිශුලායුධයක් ගෙණ අහසෙහි යමි.
5361. කඳුමුදුනෙක්හි වූ ගින්නක් මෙන් ද පුණුරැස් සඳුමෙන් ද පිපී ගිය සල් රුකක් මෙන් ද බුදුරජතෙම වනයෙහි බබලයි.
5362. වනගින් නික්ම බුදුරැස් පැතිරෙත්. නළවෙනෙහි ඇවිලගත් ගින්නක් මෙන් (බබලන රශ්මීන්) දැක සිත පැහද වීමි.
5363. (ඒ මේ අත) සොයන්නෙම් දෙව් සුවඳ ඇති කිණිහිරි මල් දුටිමි. මල්තුණක් ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
5364. එකල්හි මාගේ ඒ මල්තුණ බුදුරජාණන් වහන්සේගේ අනුභාවයෙන් නැටි උඩුකුරුව පෙති යටිකුරුව බුදුරජුන්හට සෙවන කෙරෙති.
5365. මැනැවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්සිරුර හැර මම තව්තිසා දෙව් ලොවට ගියෙමි.
5366. එහි මැනැවින් කරණ ලද මාගේ විමානය ‘කණිකාරී’ දන්නා ලැබේ. (එය) සැට යොදුන් උසය. තිස් යොදුන් පුළුලු ය.
5367. දහසක් භාග ඇත්තේ ය. සියක් ගෝලාකාර ගෙමුදුන් ඇත්තේ ය. ධජයන්ගෙන් යුක්තය. නිල්වන් ය. මාගේ විමනෙහි සියදහසක් නිර්යූහ (ප්‍රමුඛශාලා) පහළ විය.
5368. එහි කැමැති තැනක් කැමැති තාක් රන්මුවා මිණිමුවා පියුම්රා මිණිමුවා පිළිමිණිමුවා පර්‍ය්‍යඞ්කයෝ වෙත්.
5369. පුලුන් බිහි ඈ යුත් දෙදාවලු එක්දාවලු ඇතිරි හා, බිම්බොහන යුත් මාහැඟි සයන ද ඇත.
5370. යම් කලෙක්හි භවනයෙන් නික්ම දිව්‍යසමූහයා විසින් පිරිවරන ලදුයෙම් දිව්‍යචාරිකාවෙහි හැසිරෙමින් යනු කැමැත්තෙම් ද,
5371. (එකල්හි) මල් යට සිටිමි. මාගේ මස්තකයෙහි හාත්පස සියක් යොදුන් වියන කිණිහිරිමලින් වසන ලද්දකි.