Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 6801-6900 න් 9627

මෙසෙයින් ආයුෂ්මත් ධම්මරුචි ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ධම්මරුචීස්ථවිරාවදානය නව වැනි යි.
490. සාලමණ්ඩපිය ස්ථවිරාවදානය
5219 සල්වනයට පිවිස මා විසින් අසපුවක් මැනැවින් කරණ ලදි. එකල්හි සල්මලින් ගැවසීගත්තෙම් එ වනයෙහි වෙසෙමි.
5220. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ භාග්‍යවත් පියදස්සී සම්බුදුරජහු විවේකසැප කැමැත්තේ සල්වනයට එළඹි සේක.
5221. එකල්හි මම අසපුවෙන් නික්ම වනයට ගියෙමි. මුල් හා ඵල සොයමින් වනයෙහි ඇවිදිමි.
5222 එ මහවෙනෙහි මනාසේ වැඩහුන්නා වූ සමාධියට සමවන් බබලන්නා වූ මහත් යශස් ඇති පියදස්සි සම්බුදුරජුන් දිටිමි.
5223. මම මුදුනෙන් එකට බැඳි දඬුසතරක් තබා බුදුරජුන් මතුයෙහි සෙවෙනි පිණිස මනා මඩුවක් කොට සල්මලින් වැසීමි.
5224. මම සල්මලින් වැසූ මණ්ඩපය සතියක් දරා එහි සිත පහදවා බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට වැන්දෙමි.
5225. පුරුෂෝත්තම වූ භාග්‍යවතුන් වහන්සේ සමාධියෙන් නැගිට වියදඬු පමණ දුර බලමින් වැඩ හුන් සේක.
5226. පියදස්සි බුදුරජුන්ගේ වරුණ නම් ශ්‍රාවක තෙමේ ලක්‍ෂයක් රහතුන් සමඟ බුදුරජුන් වෙත එළඹියේ ය.
5227. පස්මරුන් දිනූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පියදස්සී භාග්‍යවතුන් වහන්සේත් බික්සඟන මැද හිඳ සිනා පහළ කළසේක.
5228. පියදස්සී බුදුරජුගේ අනුරුද්ධ නම් උපස්ථායක තෙමේ සිවුර එකස් කොට බුදුරජුන් මෙසේ විචාළේ ය:
5229. “භාග්‍යවතුන් වහන්ස, ශාස්තෲන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතු කිම? ශාස්තෘ තෙමේ කරුණක් ඇති කල්හි ම සිනා පහළ කරන්නේ ය.
5230. “යම් මාණවකයෙක් සතියක් මුළුල්ලෙහි මට මල් සෙවෙනියක් දැරී ද ඔහුගේ ඒ කර්‍මය සිහි කොට මම සිනා පහළ කෙළෙමි.
5231. යම් තැනක ඒ පින විපාක දේ නම් අවකාශයක් (එයට ඉඩ ඇතිට තැනක් මම නො දකිමි. දෙව්ලොවැ හෝ මිනිස් ලොවැ හෝ හෝ ඇති අවකාශය නො සෑහේ.
5232. පුණ්‍යකර්‍මයෙන් යුක්ත වූ දෙව්ලොව වසන ඔහුගේ සියලු පිරිස සල්සෙවෙනියෙන් වැසුනා වන්නේ ය.
5233. හේ පුණ්‍යකර්‍මවිපාකය සමඟ යෙදුනේ එහි දිව්‍යමය වූ නෘත්‍ය - ගීත - වාදිතයෙන් ද හැම කල්හි සිත් අලවා වසන්නේ ය.
5234. ඔහුගේ සියලු පිරිස සුගන්‍ධයෙන් සුගන්‍ධවත් වූයේ වන්නේ ය. එකෙණෙහි සල්මල් වැසි ද වස්නේ ය.
5235. මෙ මිනිස් තෙම දෙව්ලොවින් චුතව මිනිසත් බවට පැමිණෙන්නේ නම් මෙ මිනිස්ලොව්හි ද හැමකල්හි ම සල්මල් සෙවෙනියක් දරන්නේ ය.
5236. මෙහි කයිතාලම් යුත් නැටුම් ද, ගැයුම් ද ඔහු නිතර පිරි වරන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5237. හිරු උදාවන කල්හි සල්මල්වැසි වසී. පුණ්‍යකර්‍මයෙන් සංයුක්ත වූ ඔහට හැමකල් (එවැසි) වසී.
5238. අටළොස්සියවනකපෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළවන්නේ ය.
5239. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් ම නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූයේ සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පාන්නේ ය.
5240. ධර්‍මය අවබෝධ කරන්නා වූ මොහුට සල්මල් සෙවෙනියක් වන්නේ ය. පිරිනිවීමෙන් පසු චිතකය දැවෙන කල්හි ද සෙවෙනියක් එහි වන්නේ ය.”
5241. මහාමුනි වූ පියදස්සි බුදුරජ තෙමේ පුණ්‍යකර්‍ම විපාකය වදාරා දහම් වැස්සෙන් සනහමින් පිරිසට දහම් දෙසී ය.
5242. මම දෙවියන් අතුරෙහි තිස්කපක් දිව්‍යරාජ්‍යය කරවීමි. සත් සැටවරක් සක්විතිරජ වීමි.
5243. දෙව්ලොවින් මෙහි පැමිණ මහත් වූ සැප ලබමි. මෙහි ද සර්‍වකාලික වූ සල්මල්සෙවෙනියෙක් වන්නේ ය.
5244. ශාක්‍යකූලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් තුටු කොට ජය පරාජය හැරලා අචලස්ථානය වූ නිවණට පැමිණියෙම් වෙමි.
5245. අටළොස්සිය වන කපෙහි යම් බුද්ධපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5246. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5247. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5248. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන්වහන්සේගේ සසුන් කරණ ලදී.
මෙසෙයින් සාලමණ්ඩපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සාලමණ්ඩපියස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
පංසුකූල බුද්ධසඤ්ඤී භිසද ඥාණකිත්තික, චන්‍දනී ධාතුපූජි ය පුලිනුප්පාදක සහ තරණ ධම්මරුචික සාලමණ්ඩපිය මෙදසෙන් දෙගාසිය උනූවිසි මෙම වග සපිරුනේ වේ.
පංසුකූල වර්‍ගය එකුන්පනස් වැනියි.
50. තිකිඞ්කණිපුප්ඵ වර්‍ගය
491. තිකිඞ්කණිපුප්ඵිය ස්ථවිරාවදානය
5249. කිණිහිරිරුකක් මෙන් බබලන්නා වූ, කඳු අතරෙහි වැඩ හුන්නා වූ, ලෝකනායක වූ, කෙලෙස්රජස් විරහිත වූ විපස්සී බුදුරජුන් දිටිමි.
5250. කිඞ්කණිපුෂ්ප තුණක් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි. සම්බුදු රජුන් පුදා දකුණුදිගට මුහුණ ලා යෙමි.
5251. මම මැනවින් කරන ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්සිරුර හැරපියා තව්තිසා දෙව් ලොවට උත්පත්තිවශයෙන් ගියෙමි.
5252. මෙයින් එක් අනූවනකපෙහි යම් බුද්ධපූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5253. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5254. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5255. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් තිකිඞ්කණිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
තිකිඞ්කණිපුප්ඵියස්ථවිරාවදානය පළමුවැනියි.
492. පංසුකූලපූජක ස්ථවිරාවදානය
5256. හිමවතට නුදුරෙහි උදයඞ්ගණ නම් පර්‍වතයෙක් වීය. එහි ගස්මුදුනක එල්වන ලද පංසුකූල චීවරය දිටිමි.
5257. එකල්හි මම කිඞ්කණි මල් තුණක් නෙලා ගෙණ සතුටු වූයෙම් සතුටු සිතින් ම ඒ පාංශුකූල චීවරය පිදීමි.
5258. මැනැවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
5259. මෙයින් එක් අනූවන කපෙහි එකල යම් කර්‍මයක් කෙළෙම් ද, අර්‍හත්ධ්වජය පුදා (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි.
5260. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5261. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5262. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් පංසුකුලකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පංසුකුලකපූජකස්ථවිරාවදානය දෙවැනියි.
493. කොරණ්ඩපුප්ඵිය ස්ථිවිරාවදානය
5263. පෙර මම පියමුතුන් පරපුරෙන් වනයෙහි දඩයම් කරණුයෙකිම් වීමි. සිවුපා සතුන් මැරීමෙන් ජීවත් වෙමි. මට කුශලයෙක් නැත.
5264. මාගේ අසපුව අබියෙස පසැස් ඇති ලෝකාග්‍රනායක වූ තිස්ස බුදුරජ තෙමේ අනුකම්පායෙන් පියවරතුනක් දැක්වී ය.
5265. තිස්ස බුදුරජුන් දැක් වූ පියසටහන් දැක සතුටු වූයෙම් සතුටු සිතින් පියවර සටහනෙහි සිත පැහැද වීමි.
5266. පිපී කරඬු ගසක් දැක කොපු සහිත මල් ගෙණ ශ්‍රේෂ්ඨ ශ්‍රීපාදලාඤ්ජනය පිදීමි.
5267. මම මැනැවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
5268. මම දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද ප්‍රභා සහිත වූ කොරණ්ඩපුෂ්පවර්‍ණ වූ සිවි ඇත්තෙම් වෙමි.
5269. මෙයින් දෙයානූවනකපෙහි එකල යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාසටහන් පිදීමෙහි මේ විපාක යි.
5270. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5271. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5272. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කොරණ්ඩපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කොරණ්ඩපුප්ඵියස්ථවිරාවදානය තෙවැනියි.
494. කිංසුකපුප්ඵිය ස්ථවිරාවදානය
5273. පිපී ගිය කෑලගසක් දැක ඇඳිලි බැඳගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කොට අහසෙහි (තිබියදීම මල්) පිදීමි.
5274. මම මැනැවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
5275. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5276. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
5277. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5278. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කිංසුකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කිංසුකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනියි.
495. උපඩ්ඪදුස්සදායක ස්ථවිරාවදානය
5279. එකල්හි පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ සුජාත නම් ශ්‍රාවක තෙමේ පාංශුකූල (සිවුරු සඳහා) රෙදි කඩ සොයමින් කසළ ඇති තන්හි හැසිරෙයි.
5280. මම හංසවතී නගරයෙහි පරහට (මෙහෙ කරණ) බැලයෙක් වූ යෙම් උන්වහන්සේට අඩවතක් (රෙදිකැබැල්ලක්) දී හිස නමා වන්දෙමි.
5281. මම මැනැවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමි.
5282. මම තෙතිස් වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. සත් සැත්තෑ වරක් සක්විති රජ වීමි.
5283. (ලබන ලද) මහත් ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය. අර්‍ධවස්ත්‍රදානයෙන් අකුතොභය (භය විරහිත) වූයෙම් සතුටු වෙමි.
5284. මම අද කැමති වන්නෙම් නම් වන පර්‍වත සහිත වූ (සියලු පෙදෙස) කොමු පිළියෙන් වසන්නෙමි. අඩවත් දෙනෙහි මේ විපාක යි.
5285. එකල්හි මෙයින් සියක් දහස්වන කපෙහි යම් දනක් දුනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. රෙදි කඩක් දීමෙහි මේ විපාක යි.
5286. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5287. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5288. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් උපඩ්ඪදුස්සදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උපඩ්ඪදුස්සදායක ස්ථවිරාවදානය පස්වැනියි.
496. ඝතමණ්ඩදායක ස්ථවිරාවදානය
5289. මනා සිතුම් ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ වාතාබාධයකින් පීඩිතව මහවෙනෙහි වැඩහුන්නාහු දැක සිත පහදවා පිරිසිදු ගිතෙල් සුඟක් පිළිගැන් වීමි.
5290. (මෙම පුණ්‍යකර්‍මය) කළ බැවින් ද ආයුහිත බැවින් ද මේ භාගීරථී ගඟ ද සිවුමහසමුදුර ද මට ගිතෙල් සපයති.
5291. අප්‍රමාණ වූ අසඞ්ඛ්‍ය වූ මේ මහත් පෘථිවිය ද මාගේ අදහස දැන මී සකුරු (බවට පත්) වේ.
5292. සිවුමහ දිවයිනට අයත් මේ වෘක්‍ෂසමූහයෝ ද මාගේ අදහස දැන කල්පවෘක්‍ෂයෝ වෙති.
5293. පණස්වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කෙළෙමි. මම එක්පණස් වරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.