5129. පූර්‍වකර්‍මය පිරික්සන්නෙමි මම (එය) ලමුසේ නො දිටිමි. තිස්දහස්කපෙහි මාගේ කර්‍මය සිහි කෙළෙමි.
5130. පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, මුබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස මුබ වහන්සේට නමස්කාර වේවා. මුබ වහන්සේගේ සසුන් පැමිණ අචලපදය වූ නිවන ලැබුයෙමි.
5131. තිස්දහස්කපෙහි යම් බුදු කෙනෙකුන් සකසා පිදූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5132. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භාවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5133. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5134. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන්වහන්සේගේ සසුන් කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් චන්‍දනමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චන්‍දනමාලිය ස්ථවිරාවදානය පස්වැනියි.
486. ධාතුපූජක ස්ථවිරාවදානය
5135. ලෝකනායක වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් පිරිනිවි කල්හි මම මාගේ ඥාතීන් රැස්කොට ධාතුපූජාවක් කෙළෙමි.
5136. මෙයින් සිවුඅනූවන කපෙහි යම් ධාතුපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධාතුපූජාවෙහි මේ විපාක යී.
5137. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5138. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5139. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් ධාතුපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ධාතුපූජක ස්ථවිරාවදානය සවැනියි.
487. පුලිනුප්පාදක ස්ථවිරාවදානය
5140. හිමවත් පව්වෙහි දේවළ නම් තවුසෙක් විය. එහි මාගේ සක්මන අමනුෂ්‍යයන් විසින් මවන ලද.
5141. එකල්හි දළමඬලින් බර වූ කමඬලා (=පැන්කෙණ්ඩි) දරන්නා වූ මම උත්තමාර්‍ත්‍ථය සොයමින් වනයෙන් නික්මුනෙමි.
5142 එකල්හි මට අසූහාරදහසක් ශිෂ්‍යයෝ උවටැන් කළාහු ය. (ඔහු) සිය කම්හි යෙදුනාහු වෙනෙහි වෙසෙත්.
5143. අසපුවෙන් නික්ම වැලිසෑයක් කෙළෙමි. නොයෙක් මල් රැස් කොට එම සෑය පිදීමි.
5144. මම එහි සිත පහදවා අසපුවට පිරිවිසෙමි. සියලු ශිෂ්‍යයෝ රැස්ව මාගෙන් මෙ කරුණ විචාළාහු ය:
5145. “භවත් වැල්ලෙන් කළ සෑයෙහි යම් දෙවියකුට නමස්කාර කෙරෙහිද එ දෙවියා අපිදු දැන ගණු කැමැත්තෙමු. අප විසින් විචාරණ ලද භවත් අපට කියනු මැනව”.
5146. අපගේ මන්ත්‍රපදයෙහි දක්වන ලද මහත් යශස් ඇති බුදුවරු වෙති. මම ඒ මහත් යශස් ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් නමදිමි.
5147. “ඒ මහාවීර වූ සර්‍වඥ වූ ලෝකනායකවරයෝ කෙබඳු වෙත් ද, කෙසේ වූ සටහන් ඇත්තෝ වෙත් ද, කෙසේ වූ ස්වභාව ඇත්තෝ වෙත් ද, ඒ මහත් සශස් ඇත්තෝ කෙබඳු වෙත් ද?”
5148. බුදුවරයෝ දෙතිස් (මහපුරිස්) ලකුණු ඇත්තෝ ය. සාළිසක් දත් ඇත්තෝ ය. උන්වහන්සේගේ ගෝපක්‍ෂමාකාර නේත්‍රයෝ හුනිඳ පලවන්හ.
5149. ඒ බුදුවරයෝ ගමන් කරන්නාහු වියදඬු පමණ ම දුර බලති. උන්වහන්සේගේ දණ හඬ නො නඟයි. (අත්පා හි) සන්‍ධි ශබ්දයක් නො ඇසෙයි.
5150. ගමන් කරන්නා වූ බුදුවරයෝ පළමු කොට දකුණුපය පෙරට තබමින් යෙත්. මේ බුදුවරයන්ගේ ධර්‍මතායි.
5151. ඒ බුදුවරයෝ කේසරසිංහරාජයන් මෙන් නිර්භීතයෝ ය. තමන් උසස් කොට නො දක්වත්. ප්‍රාණීන් (=මෙරමා) හෙළා නො දකිත්.
5152. බුදුවරයෝ මාන අවමාන දෙකින් මිදුනාහු සව්සතුන් කෙරෙහි සම සිත් ඇත්තෝ ය. තමන් හුවා නො දක්වන්නෝ ය. මේ බුදුවරයන්ගේ ධර්‍මතායි.
5153. උපදින්නා වූ ඒ බුදුවරයෝ අලෝකය දක්වත්. මේ මුළු පොළොව ආකාර සයකින් කම්පා කෙරෙත්.
5154. ඒ බුදුවරයෝ නිරය ද දකිත්. එකල්හි නිරය නිවී යෙයි. මහවැසි වසියි. මේ බුදුවරයන්ගේ ධර්‍මතා යි.
5155. අතුල්‍ය (=අසම) වූ මහත් යශස් ඇති අතිශ්‍රේෂ්ඨ වූ ඒ බුදුවරයෝ රූපකාය සම්පත්තියෙන් නොඉක්මවනු හැක්කෝ ය. තථාගතවරයෝ අප්‍රමේය ගුණ ඇත්තෝ ය.
5156. සියලු ශිෂ්‍යයෝ මාගේ වචනය ගෞරව සහිතව සතුටින් පිළිගත්තාහු ය. වචනයට අනුව ශක්ති පමණින් බල පමණින් පිළිපැද්දාහු ය.
5157. ස්වකීය කර්‍මාභිලාෂී වූ (ඔහු) මාගේ වචනය අදහන්නාහු බුදුබවට නැමී ගිය සිත් ඇත්තාහු වැලිසෑය පුදත්.
5158. එකල්හි මහත් සශස් ඇති (බෝසත්) දිව්‍යපුත්‍ර තෙමේ තුෂිත දිව්‍යලෝකයෙන් ච්‍යුතව මවුකුසැ උපන්නේ ය. දසදහසක් ලෝදා කම්පිත වීය.
5159. මම අසපුවට නුදුරෙහි සක්මනෙහි සිටියෙම් වෙමි. සියලු ශිෂ්‍යයෝ රැස්ව මාගේ සමීපයට පැමිණියාහු ය.
5160. “(පැමිණ) පෘථිවිය වෘෂභයකු මෙන් නාද කෙරෙයි. සිංහයකු මෙන් ශබ්ද පවත්වයි. සුංසුමාර නම් ජලචර ව්‍යාඞ්මත්ස්‍යයකු සේ සැලෙයි. කවර විපාකයෙක් වන්නේදැ?” යි (ඇසූහ).
5161. “වාලුකාස්තූපය සමීපයෙහි යම් බුදුවරයකු කීර්‍තනය කෙරෙම් ද ඒ භාග්‍යවත් ශාස්තෘ තෙමේ දැන් මවුකුසට එළඹියේ ය.”
5162. මම ඔවුනට ධර්‍මකථා කියා මහාමුනි වූ බුදුරජුන්හට පසසා සිය සිසුන් යවා පළහ බැඳ ගතිමි.
5163. මාගේ (ශරීර) බලය ද එකැතින් ක්‍ෂීණ විය. බලවත් ව්‍යාධියකින් මම පෙළුනෙම් වෙම්. මම් බුද්ධශ්‍රේෂ්ඨයන්වහන්සේ සිහිපත් කොට එහි කලුරිය කෙළෙමි.
5164. එකල්හි සියලු ශිෂ්‍යයෝ රැස්ව චිතකයක් කළාහු ය. මාගේ දේහය ගෙණ සෑයට නැංවූහ.
5165. හිසැ ඇඳිලි බැඳ සෑය පිරිවරා රැස්වූ ඔහු සෝහුලින් පෙළුනාහු හැඬූහ.
5166-5167. ඔවුන් විලාප කියමින් හඬද්දී චිතකය සමීපයට ගියෙමි. “මම තොපගේ ආචාර්‍ය්‍ය වෙමි. ශෝක නො කරවු. මනානුවණින් යුතුව දිවරෑ දෙක්හි අනලස් වූවාහු ස්වාර්‍ත්‍ථයෙහි උත්සාහ වඩවු. තෙපි ප්‍රමාදී වූවෝ නො වවු. තොපට (අෂ්ටදූෂ්ටක්‍ෂණ විනිර්මුක්ත බුද්ධොත්පාද) ක්‍ෂණය සැපයී ඇත.”
5168. (මෙසේ) සිය සිසුනට අනුශාසනා කොට යලි දෙව්ලොවට ගියෙමි. මම අටළොස්කපක් දෙව්ලොව සිත් අලවා විසීමි.
5169. මම පන්සියවරක් සක්විති රජ වීමි. නේසියක්වර දිව්‍යරාජ්‍යය කෙළෙමි.
5170. මම සෙසු කල්පයන්හි (දෙව්මිනිස් දෙගතියෙහි) ව්‍යතිමිශ්‍ර වශයෙන් සැරිසැරීමි. දුගතියක් නො දනිමි. වැලිසෑ පිදීමෙහි මේ විපාක යි.
5171. යම්සේ ඉල් මාසයෙහි (සරත් කල්හි) බොහෝ වෘක්‍ෂයෝ පිපෙත් ද, එසේ ම මම ද සුදුසු කල්හි මහර්ෂි වූ බුදුරජුන් විසින් පුබුදුවන ලදුයෙම් වෙමි.
5172. යෝගක්‍ෂේම සඞ්ඛ්‍යාත (නිවණ දක්වා ම ගෙන යන මාගේ ධූරවාහක (ගව) යා වීර්‍ය්‍යය යි. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5173. මෙයින් සියක් දහස්වන කපෙහි බුදුරජුන්හට යම් පැසසීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ ගුණ කීර්‍තනයෙහි මේ විපාකය යි.
5174. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5175. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5176. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන් කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් පුලිනුප්පාදක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුලිනුප්පාදක ස්ථවිරාවදානය සත්වැනි යි.
488. තරණිය ස්ථවිරාවදානය
5177. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ ලෝකනායක වූ භාග්‍යවත් වූ අත්‍ථදස්සී බුදුරජ තෙමේ විනතා නදීතීරයට වැඩියේ ය.
5178. (එකල මම) ජලයෙහි හැසිරෙන්නා වූ කැසුබුවෙක් වීමි. බුදුරජුන් ගඟින් තර වනු කැමති මම ලෝකනායකයන් වහන්සේ වෙත එළඹියෙමි. (එළඹ මෙසේ කීමි.)
5179. “මහාමුනි වූ බුදුරජ තෙමේ මාගේ පිටට නගීවා. ඒ මුබ මම් තරණය කරන්නෙමි. (මුඛ) ලෝකයාගේ දුක් කෙළවර කරන්නේ වෙහි ය” (කියා යි).
5180 මහත් යශස් ඇති අත්‍ථදස්සී බුදුරජානෝ මාගේ අදහස දැන මාගේ පිපිට නැගී සිටිසේක.
5181. යම් තැනක පටන් කොට තමා සිහි කෙරෙම් ද, යම් තැනක පටන් කොට නැණවත් බවට පැමිණියෙම් වෙම් ද, එතෙක් (මුබ වහන්සේගේ) පාදතලය ස්පර්‍ශ වූ කෙණෙහි ඇති වූ ඒ සුවය යම්සේ නම් එබඳු සුවයක් මට නැත.
5182. මහත් යශස් ඇති අත්‍ථදස්සී බුදුරජ තෙම එතර වී ගංතෙර සිට මේ ගාථාවන් වදාළේය:
5183 “මම ගඟ සැඩපහර තරණය කෙරෙමැයි යම්තාක් (මා තුළ) සිත පවතී ද, එකෙණෙහි පැණවත් මේ කැසුබුරජ තෙම් මං තරැවිය.
5184. මේ බුදුන් (ගඟින්) තැරැවීම හේතු කොට ගෙණ ද, මෙත් සිත් ඇතිබව හේතු කොට ගෙන ද, අටළොස්සියකපක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය.
5185. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් මෙහි පැමිණ හුනස්නෙහි ම සැක නමැති සැඩපහර තරණය කරන්නේ ය”.
5186. සරු කෙතක රෝපණය කරණ ලද ස්වල්ප වූ ද බිජුවට මැනැවින් වැසි වස්නා කල්හි ශස්‍යඵලය ගොවියා තුටු කරයි ද,
5187. එසේ ම සම්බුදුරජුන් විසින් දෙසන ලද මේ බුද්ධක්‍ෂේත්‍රය (දහම්) වැසි මැනැවින් වස්නා කල්හි පුණ්‍යඵලය මා තුටු කරන්නේ ය.
5188. ප්‍රධන් වීර්‍ය්‍යයෙහි මෙහෙයන ලද සිත් ඇත්තෙම් වෙමි. උපශාන්ත වූයෙම් උපධිරහිත වූයෙම් සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥාවශයෙන්) දැන ආස්‍රවරහිතව වෙසෙමි.
5189. එකල්හි අටළොස් සියවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුදුරජුන්) තරණය කරවීමෙහි මේ විපාකය යි.
5190. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5191. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5192. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන් කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් තරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තරණිය ස්ථවිරාවදානය අටවැනි යි.
489. ධම්මරුචි ස්ථවිරාවදානය
5193. යම් කලෙක්හි පස්මරුන් දිනූ දීපඞ්කර බුදුරජ තෙම සුමේධ තවුසාහට මෙය (විවරණවශයෙන්) ප්‍රකාශ කෙළේ ද: “මින් අප්‍රමේය වූ කල්පයෙහි මෙතෙම බුදු වන්නේ ය.
5194. එකල්හි මොහුගේ ජනකමාතාව මායා නම් වන්නී ය. පියතෙම සුද්ධෝදන නම් වන්නේ ය. මෙතෙම ගෞතම වන්නේ ය.
5195. වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට ඇසතුබෝරුක් මුල්හි දී මහත් යශස් ඇති මෙ තෙම සම්‍යක්සම්බුද්ධ වන්නේ ය.
5196. උපතිස්ස ද කෝලිත ද අග්‍රශාවකයෝ වන්නාහු ය. මේ බුදුරජුන්හට ආනන්‍ද නම් උපස්ථායක තෙමේ උවටැන් කරන්නේ ය.
5197. ඛේමා ද උත්පලවර්ණා ද අග්‍රශ්‍රාවිකාවෝ වන්නාහු ය. චිත්ත ද ආළවක ද අග්‍රෝපාසකයෝ වන්නාහු ය.
5198. ඛුජ්ජුත්තරා ද නන්දමාතා ද අග්‍රොපාසිකාවෝ වන්නාහු ය. මේ වීරයන් වහන්සේගේ බෝධිය ‘ඇසතු’ ය යි කියනු ලැබේ.”
5199. අසම වූ මහර්ෂීන් වහන්සේගේ මේ වචනය අසා සතුටු වූ දෙවිමිනිස්සු බදැඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.
5200-5201. එකල්හි මම සුශික්‍ෂිත වූ මේඝ නම් මාණවකයෙක් වීමි. සුමේධ විවරණය අසා කරුණා ඇති මනා නුවණ ඇති මහාමුනි කෙරෙහි විශ්වාස ඇතියෙම් පැවිදි වන්නා වූ ඒ (සුමේධ) වීරයන් අනුව එක්ව ම පැවිදි වීම්.
5202. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙහි ද පඤ්චවිධ ඉන්‍ද්‍රියසංවරයෙහි ද සංවෘත වූයෙම් පිරිසිදු ආජීව ඇතියෙම් සිහියෙන් යුතු වූයෙම් බුදුසසුන කරන්නා වූ වීරයෙක් වූයෙම්-
5203. මෙසේ වාස කරන්නා වූ මම කිසියම් පාපමිත්‍රයෙකු විසින් අනාචාරයෙහි යොදවන ලද්දෙම් සුමඟින් ගිලිහුනෙම්-
5204. විතර්‍කයට වසඟ වූයෙම් සසුනෙන් බැහැර වීමි. පසුව ඒ පාපමිත්‍රයා විසින් මාතෘඝාතනයෙහි යොදවන ලද්දෙම්.-
5205. ආනන්තර්‍ය්‍යයක් කෙළෙමි. දුෂ්ට සිත් ඇත්තෙම් මව මැරීමි. එ අත්බැවින් චුතවූයෙම් ඉතා දරුණු මහා අවීචි නරකයෙහි උපන්නේ වෙමි.
5206. දුගතියට ගියෙම් බොහෝ කලක් දුඃඛිත ව හැසිරුණෙමි. නැවත නරශ්‍රේෂ්ඨ වූ සුමේධ වීරයා නො දිටිමි.
5207. මෙම කල්පයෙහි සමුද්‍රයෙහි තිමිඞ්ගල නම් මත්ස්‍යයෙක් වීමි. සයුරෙහි නැවක් දැක ගොදුරු පිණිස (ඒ නැව ගිලගණු පිණිස) වෙතට ගියෙමි.
5208. මා දැක බියපත් වූ වෙළෙන්දෝ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කළාහු ය. ඔවුන් විසින් කියන ලද ‘ගොතම’ යන මහා ඝෝෂය අසා-
5209. පූර්‍ව (දීපඞ්කර විවරණ) සංඥාව සිහි කොට මම එඅත්බැවින් කලුරිය කෙළෙම්. සැවැත් නුවර ආඪ්‍ය වූ කුලයෙක බ්‍රාහ්මණ ජාතියෙහි උපන්මි.
5210. ධර්‍මරුචි නම් වූ යෙමි. සියලු පව් පිළිකුල් කරන්නෙක් වූ, උත්පත්තියෙන් සත් හැවිරිදි වූ මම ලොව බබුළුවන්නා වූ බුදුරජුන් දැක,
5211. දෙව්රම් මහ වෙහෙරට ගොස් සස්නෙහි පැවිදි වීමි. රෑදෙවෙහි තෙවිටක් බුදුරජුන් වෙත එළඹෙමි.
5212. එකල්හි මුනි තෙම මා බොහෝ කලෙකින් දැක ‘ධම්මරුචි’ය යි වදාළේ ය. ඉක්බිති මම පූර්‍වකර්‍මයෙන් ප්‍රභාවිත වූ බුදුරජුන්හට (මෙසේ) කීමි:
5213. “සියපින් ලකුණු ඇති, පෙර දිවකුරු පාමුල්හි පරිපූර්‍ණ (පාරමි) ප්‍රත්‍යයසම්භාර ඇති, සුන්‍දරදර්‍ශන ඇති, අනූපමශරීර ඇති මුබ වහන්සේ ඉතා බොහෝ කලෙකින් අද මම ඒකාන්තයෙන් දක්මි.
5214. මහා මූනීන්‍ද්‍රියන් වහන්ස, මුබ වහන්සේ විසින් බොහෝ කලෙකින් මොහඳුර වෙසෙසින් නසන ලද. පවිත්‍රධර්‍මගෝපන විසින් තෘෂ්ණා නදිය වියලන ලදු. බොහෝ කලෙකින් ඥානමය වූ දිවැස මුබවහන්සේ විසින් ලබන ලදි.
5215. ගෞතමයන් වහන්ස, බොහෝ කලක් මුබ වහන්සේ සමග එක්වූයෙම් නො නටුයෙම් වීමී. යළි (මුබ වහන්සේගෙන් වෙන්වීමේ) අතරතුර බොහෝ කලෙක. නැවත මම අද මුබ වහන්සේ සමග එක්වූ යෙම් (සමග වසනෙම්) වෙමි. (මුබ වහන්සේ සමග) කළ (සමාගමාදි) කර්‍ම (ස්කන්‍ධපරිනිර්‍වාණය තෙක්) නොනසිත් මයැ.”
5216. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5217. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5218. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන්වහන්සේගේ සසුන් කරණ ලදී.