Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 6601-6700 න් 9627

පංසුකූලකසඤ්ඤක ස්ථවිරාවදානය පළමුවැනි යි.
482. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
5039. (මම) ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද ඉතිහාසයෙහි ද නිඝණ්ඩු සහිත වූ කවීන්ට හිත ක්‍රියාකල්පවිකල්පසංඛ්‍යාත කෙටුභශාස්ත්‍රයෙහි ද ත්‍රිවේදයෙහි ද පරතෙරට ගිය මන්ත්‍ර හදාරන්නා වූ මන්ත්‍රධරයෙක් වීමි.
5040. එ කල්හි ගඟසැඩවතුරු මෙන් ශිෂ්‍යයෝ මා වෙත එති. දිවාරෑ දෙක්හි අනලස් වූයෙම් ඔවුනට මම මන්ත්‍ර හදාරවමි.
5041. එ කල්හි සිද්ධාර්‍ත්‍ථ නම් සම්බුදු රජ තෙමේ ලොව පහළ විය. (මෝහ නමැති) ගනඳුර නසා ඥානාලෝකය පැවැත්වී ය.
5042. මාගේ එක්තරා ශිෂ්‍යයෙක් විය. හෙ තෙමේ මාගේ සෙසු සිසුනට මෙය කීය. එ කල්හි ඔහු මෙය අසා මට සැළ කළාහු ය.
5043. “සර්‍වඥ වූ ලෝකනායක වූ බුදුරජ තෙමේ ලොව පහළ විය. ජන තෙමේ උන්වහන්සේට අනුවර්‍තනය වේ. අපට ලාභයෙක් නො වන්නේය. (කියා යි.)
5044. මහත් යශස් ඇති පසැස් ඇත්තා වූ බුදුවරයෝ (දිව්‍යබ්‍රහ්මාදී කිසිවකුන්ගේ උපදේශහේතු විරහිත ව) ලොව පහළවන්නෝ වෙති. මම ලෝකනායක වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ දකින්නෙම් නම් ඉතා යෙහෙකැයි (සිතීමි)
5045. සිතා මාගේ අඳුන්දිවිසම ද වැහැරි සිවුර ද, කමඬලාව (-පැන්කෙණ්ඩිය) ද ගෙණ අසපුවෙන් නික්ම මම සිසුන් ඇමතීමි.
5046. “දිඹුල් මල් මෙන් ද, සඳෙහි සාවා මෙන් ද, කපුටන්ගේ කිරි මෙන් ද, බුදුවරයෝ දුර්‍ලභයහ.
5047. බුදුරජ තෙමේ ලොව උපන්නේ ය මිනිසත් බව ද දුබල ය. මේ (බුද්ධෝත්පාදය-මිනිසත්බව) දෙක ම ඇති කල්හි සද්ධර්‍ම ශ්‍රවණය අතිශයින් දුර්‍ලභ ය.
5048. බුදුරජ තෙමේ ලොව උපන්නේ ය. පින්වතුනි, අපගේ (දහම්) ඇස ලබමු. එවු, සියල්ලෝ ම සම්බුදුරජුන්ගේ සමීපයට යන්නෙමු”.
5049. එ කල්හි සියල්ලෝ කමඬලා (-පැන්කෙණ්ඩිය) දරන්නාහු කුර සහිත අඳුන්දිවිසම් හැන්දාහු දළමඬුලු බරින් බර වූවාහු වනයෙන් නික්මුනාහු ය.
5050. වියදඬු පමණ දුර බලන්නාහු උත්තමාර්‍ත්‍ථය වූ නිවණ සොයන්නාහු ඇලුම්දොස් නැත්තාහු නිර්‍භය කේශරසිංහයන් වැනි වූවාහු-
5051. ස්වල්පකෘත්‍ය ඇත්තාහු ලොල් නො වූවාහු ප්‍රඥා ඇත්තාහු සන්හුන් පැවතුම් ඇත්තාහු පිණ්ඩචරියාවෙහි හැසිරෙන්නාහු ඔහු බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට එළඹියාහු ය.
5052. (එසේ එළඹෙන කල්හි) යොදුන් එකහමාරක් ශේෂව ඇති කල්හි මට ව්‍යාධියක් උපන්නේ ය. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කොට එහි දී මම කලුරිය කෙළෙම් වෙමි.
5053. මෙයින් සිවුඅනූ වන කපෙහි වූ එ කල්හි යම් බුද්ධසංඥාවක් (බුදුන් පිළිබඳ හැඟීමක්) ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි මේ විපාක යි.
5054. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5055. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5056. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය දෙවැනි යි.
483. භිසදායක ස්ථවිරාවදානය
5057. මම එකල්හි නොයෙක් හස්තීන් විසින් සෙව්නා ලද පොකුණකට බැස සාදුක හේතුකොට ගෙණ එහි නෙළුඹල උදුරමි.
5058-5059. එ සමයෙහි (කසටින්) රැඳ වූ වත් දරන්නා වූ භාග්‍යවත් වූ පදුමුත්තර නම් වූ බුදුරජ තෙමේ පසුල්සිවුරු කම්පා කරමින් අහස් මගෙහි මගෙහි වඩියි. එ කල්හි මම (එම) ශබ්දය ඇසීමි. උඩ බලන්නා වූ මම ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
5060-5061. මම එහි ම සිටියෙම් බුදුරදුන්ගෙන් මෙසේ ඉල්ලීමි: “මාගේ නෙළුඹල සහිත වූ මී ද කිරි ද ගිතෙල් ද නෙළුඹුදැලි ද පසැස් ඇත්තා වූ බුදුරජ තෙමේ පිළිගනීවා. ඉක්බිති මහත් යසස් ඇති කාරුණික වූ ශාස්තෘ තෙමේ අහසින් බැස-
5062. පසැස් ඇති සර්‍වඥ තෙම මාගේ භික්‍ෂාව අනුකම්පාවෙන් පිළිගත්තේ ය. බුදුරජ තෙමේ එය පිළිගෙන අනුමෝදනාවක් කෙළේ ය:
5063. “මහපින්ඇතියාණනි, සුවපත් වන්න. ඔබගේ ගතිය සමෘද්ධ වේවා, මේ නෙළුඹලදන හේතුකොට ගෙණ මහත් සැප ලබාවා.”
5064. පස්මරුන් දිනූ පදුමුත්තර නමු සම්බුදුරජ තෙමේ මෙය වදාරා භික්‍ෂාව ගෙණ අහසින් වැඩියේ ය.
5065. ඉක්බිති (මම) නෙළුඹල ගෙණ මාගේ අසපුවට පැමිණියෙමි. නෙළුඹල ගසෙක්හි එල්වා මාගේ දානය සිහිපත් කෙළෙමි.
5066. එ කල්හි මහ වාතයෙක් නැඟී වනය කම්පා කෙළේ ය. සෙණ පුපුරණ කල්හි අහස ශබ්ද පැවැත්වී ය.
5067. එකල්හි සෙණපහරෙක් මාගේ හිසමතුයෙහි පතිත විය. එහි මම හුන්නෙම් ම කලුරිය කෙළෙමි.
5068. මම පින්කම හා යෙදුනෙම් තුසීදෙව්ලොවෙහි ඉපදුනෙමි. මාගේ සිරුර පතිත විය. මම දෙව්ලොවෙහි සිත් අලවා විසීමි.
5069. මැනැවින් සැරසුණු සයාසූදහසක් ස්ත්‍රීහු සවස ද උදෑසන ද මට උවටැන් කෙරෙත්.
5070. මම මිනිසත් බවට පැමිණ හැමකල්හි සුව ඇත්තෙම් වෙමි. මාගේ භෝගයෙහි අඩුබවෙක් නැත. නෙළුඹලදනෙහි මේ විපාක යි.
5071. තාදීගුණ ඇති ඒ දේවාතිදේවයන්වහන්සේ විසින් කරණ ලද අනුකම්පා ඇත්තෙම් සියලු ක්‍ෂය කළ ආස්‍රව ඇත්තෙක් වීමි. දැන් නැවත ඉපදීමෙක් නැත.
5072. එකල්හි මෙයින් සියක්දහස්වන කපෙහි යම් භික්‍ෂාවක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නෙළුඹලදනෙහි මේ විපාක යි.
5073. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5074. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5075. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් භිසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
භිසදායක ස්ථවිරාවදානය තෙවැනි යි.
484. ඤාණත්‍ථවික ස්ථවිරාවදානය
5076. හිමවතට දකුණෙහි මැනවින් කරණ ලද මගේ අසපුවෙක් විය. එකල්හි මම උත්තමාර්‍ත්‍ථය සොයනෙම් වනයෙහි වෙසෙමි.
5077. ලාභ අලාභ දෙකින් ද මූලයෙන් ද ඵලයෙන් ද තුටුවූයෙම් මම ආචාර්‍ය්‍යයකු සොයමින් හුදකාලාව ම වෙසෙමි.
5078. එකල්හි සුමේධ නම් සම්බුදුරජ තෙම ලොව පහළ විය. මහජනයා සසරින් ගොඩ ලමින් චතුස්සත්‍යය ප්‍රකාශ කෙරෙයි.
5079. (මෙතෙක් කල්) මම සම්බුදුරජුන් ගැණ නො අසමි. කිසිවෙක් මට (එය) නො කියයි. අටවසක් ඉක්ම ගිය කල්හි බුදුරජුන් ගැණ ඇසීමි.
5080. මම ගිනි දර බැහැර කොට අසපුව හැමද පිරිකරකද ගෙණ වනයෙන් නික්ම ගියෙමි.
5081. එකල්හි මම ගම්හි නියම්ගම්හි එක් රැයක් වෙසෙමින් පිළිවෙළින් චන්‍ද්‍රවතී ගඟ වෙත එළඹියෙමි.
5082. එසමයෙහි භාග්‍යවත් වූ සුමේධ නම් බුදුරජ තෙම බොහෝ සත්ත්‍වයන් (සසරින්) ගොඩලමින් අමෘතපදය (නිවන) දෙසයි.
5083. ජනසමූහයා ඉක්මවා ගොස් ගුණසයුරක් වූ ජිනේන්‍ද්‍රයන් වැඳ අඳුන් දිවිසම එකස් කොට ගෙන බුදුරදුන්ට ස්තුති කෙළෙමි.
5084. “ද්විපදෝත්තම වූ මුබ වහන්සේ සත්ත්‍වයනට ශාස්තෘ ද කේතුව ද ධ්වජය ද යාගස්තම්භය ද පරායණය ද ප්‍රතිෂ්ඨාව ද ප්‍රදීපය ද වෙති.
(එක්විසිවැනි බණවර යි.)
5085. චතුරාර්‍ය්‍යසත්‍ය දර්‍ශනයෙහි නිපුණ බව ඇති වීර වු මුබ ජනසමූහයා සසරින් තැරැවූ ය. මුනීන් වහන්ස, ලෙව්හි මුබවහන්සේට වඩා උසස් අනෙක් තරවන්නෙක් නැත.
5086. ඒකාන්තයෙන් මහසයුර කුස තණ අගින් පමණ කරන්නට හැකිවන්නේ ය. එහෙත් ඔබවහන්සේගේ සර්‍වඥාතාඥානය ප්‍රමාණ කරන්නට නො හැක්කේ ම ය.
5087. පසැස් ඇත්තානන් වහන්ස, තරාදියෙහි තබා පොළොව දැරීමට (කිරාබැලීමට) හැකිවන්නේ ය. එහෙත් මුබ වහන්සේගේ ප්‍රඥාවෙහි ප්‍රමාණයක් නැත්තේ ම ය.
5088. අහස රැහැණින් හෝ අඟුලින් මැනීමට හැකිවන්නේ ය. සර්‍වඥයන්වහන්ස, මුබවහන්සේගේ සීලය පමණ කරන්නට නො හැක්කේ ම ය.
5089. මහසමුදුරෙහි දිය ද අහස ද පොළොව ද යන මොහු පමණ කළ හැක්කාහු වෙති. පසැස් ඇත්තානන් වහන්ස, මබ පමණ නො කට හැක්කේ වෙයි.”
5090. එකල්හි මම මහත් යශස් ඇති සර්‍වඥයන් වහන්සේට මෙසේ ගාථා සයකින් ස්තුති කොට ඇඳිලි බැඳගෙන නිශ්ශබ්දව සිටියෙමි.
5091. මහා ප්‍රඥා ඇති මනා නුවණ ඇති යමෙකුට සුමේධ ය යි ලෝවැස්සෝ කියත් ද, ( එ සුමේධ බුදුරජහු) භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක:
5092. “යමෙක් ප්‍රසන්න වූයේ සියසිතින් මාගේ නුවණ පැසැසී ද, හේ කවරෙක්දැ යි මම කියන්නෙමි. කියන්නා වූ මාගේ (වචනය) අසවු.
5093. හේ සත්සැත්තෑකපක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් දේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
5094. නේසියක් වර සක්විති රජ වන්නේ ය. (ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
5095. මෙම කුශලකර්‍මයෙන් යුක්තවූයේ දෙවි වූයේ හෝ මිනිස් වූයේ අනූන වූ චිත්තසඞ්කල්පනා ඇත්තේ තියුණුපැන ඇත්තේ වන්නේ ය.
5096. (මෙයින්) තිස්දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.“
5097. (මෙතෙම) ගිහිගෙන් නික්ම බන්‍ධන නැත්තේ පැවිදිවන්නේ ය. උත්පත්තියෙන් සත්හැවිදරි කල්හි රහත්බව ලබන්නේ ය.
5098. යම් තැනක පටන් තමන් ගැන සිතම් ද යම් තැනක පටන් සසුනට පැමිණියේ (පැවිදිවූයේ) වෙම් ද මේ අතරතුර මනෝඥ නො වූ සිතක් නො දනිමි.
5099. මම සියලු භවයෙහි හැසිර සම්පත් අනුභව කෙළෙමි. මාගේ භෝගයෙහි අඩුබවෙක් නැත. සර්‍වඥතාඥානය පැසසීමෙහි මේ විපාක යි.
5100. මාගේ ත්‍රිවිධාග්නීහු නිවී ගියහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ පරීක්‍ෂීණයහ. දැන් පුනර්‍භවයෙක් නැත.
5101. (මෙයින්) තිස්දහස්වන කපෙහි යම් බුදු නුවණක් පැසසූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සර්‍වඥතාඥානයට පැසසීමෙහි මේ විපාක යි.
5102. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇතිරජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5103. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් වීය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5104. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් ඤාණත්‍ථවික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඤාණත්‍ථවික ස්ථවිරාවදානය සිවුවැනි යි.
485. චන්‍දනමාලිය ස්ථවිරාවදානය
5105. ප්‍රියස්වරූප වූ මනරම් වූ පස්කම් ගුණ හැර අසූකෙළක් ධනය ද හැර පැවිද්දට පැමිණියෙමි.
5106. මම පැවිදිව කයින් පව්කම් දුරු කෙළෙමි. වාග්දුශ්චරිතය හැර ගංඉවුරෙහි වෙසෙමි.
5107. හුදකලාව වසන්නා වූ මා වෙත බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ එළඹි සේක. බුදුරජය යි මම නො දනිමි. පිළිසඳර කථා කෙළෙමි.
5108. මම පිළිසඳර කථා කොට නම්ගොත් විචාළෙමි: භවත් දෙවි වෙයි? නොහොත් පුරින්‍දද නම් වූ ශක්‍ර වෙයි?
5109. භවත් කවර හෝ වෙයි? කාගේ පුත්‍ර හෝ වෙයි? මහාබ්‍රහ්මයා මෙහි පැමිණියේ දෝ? උදාවන හිරු මෙන් සියලු දිගුන් බබුළුවයි.
5110. නිදුකාණෙනි, (මුබගේ) පාදයෙහි දහසක් දැවි ඇති චක්‍රයෝ පැණෙත්. භවත් කවර හෝ වෙයි? කවරෙකුගේ පුත්‍ර හෝ වෙයි? එය අපි කෙසේ දැනගනිමු ද? නම් ගොත් පවසනු මැනව. මාගේ සැක දුරු කරණු මැනව.
5111. “මම දෙවි නො වෙමි. ගන්‍ධර්‍ව ද නො වෙමි. පුරින්‍ද නම් ශක්‍ර ද නො වෙමි. මට බ්‍රහ්මත්‍වයෙක් ද නැත. ඔවුනතුරෙන් මම උතුම් වෙමි.
5112. ඔවුන්ගේ විෂයය ඉක්ම වූයෙම් වෙමි. කාමබන්‍ධන ප්‍රදාලනය කෙළෙමි. සියලු කෙලෙසුන් දවා උතුම් වූ සම්‍යක්සම්බෝධියට පැමිණියෙම් වෙමි.” (යි බුදුහු වදාළහ.)
5113. මම උන්වහන්සේගේ වචනය අසා මෙම වචනය කීමි: ඉදින් භවත් සර්‍වඥ බුද්ධයෙහි නම්, මහාමුනි, මැඬහිඳිනු මැනව. මම මුබ පුදන්නෙමි. භවත් දුක් කෙළවර කරන්නේ වෙහි ය.
5114. මම අඳුන්දිවිසම අතුරා ශාස්තෲන් වහන්සේට දුනිමි. භාග්‍යවතුන් වහන්සේ ගිරිගුහායෙකැ සිංහයකු මෙන් එහි වැඩහුන් සේක.
5115. වහා පර්‍වතයට නැග අඹකැණක් ගතිමි. සල්කලණමල් ද මාහැඟි සඳුන් ද -
5116. ඒ සියල්ල වහා ගෙණ ලෝකනායකයන් වහන්සේ වෙත එළඹ බුදුරජුන් හට අඹ ඵල දී සල්මල් පිදීමි.
5117. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මහත් වූ ප්‍රීතියෙන් සඳුන් අලෙව් කොට බුදුරජානන් වහන්සේ වැන්දෙමි.
5118. එ කල්හි සුමේධ බුදුරජ තෙමේ අඳුන්දිවිසමෙහි වැඩ හිඳ මා තුටු කරමින් මාගේ කර්‍මය පැවසී ය:
5119. “ගඳ මල් දෙවගය සහිත මෙම අඹපල දීම හේතු කොට ගෙණ එක්සියවිසිපස් කපක් දෙව් ලොවෙහි සිත් අලවා වසන්නේ ය. සම්පූර්‍ණ වූ චිත්තසඞ්කල්පනා ඇති වශවර්ත්ති දෙවියෙක් ද වන්නේ ය.
5120. එක්සියසවිසිකපක් මිනිසත්බවට යන්නේ ය. සිවුසයුරු හා සිවුමහදිවයින් කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ මහත් ඍද්ධි ඇති සක්විතිරජෙක් වන්නේ ය.
5121. විශ්වකර්‍මයා විසින් මවන ලද වෙභාර නම් නගරයෙක් ද වන්නේය. නන් රුවනින් සරසන ලද එය සර්‍ව ස්වර්‍ණමය වන්නේය.
5122. හෙතෙම මෙ ක්‍රමයෙන් ම භවයෙහි සැරිසරන්නේ ය. දිවඅත්බැව්හි ද යලි මිනිසත්බැව්හි ද සියලු තන්හි පූජිත ව පශ්චිමභවය පැමිණි කල්හි බ්‍රාහ්මණයෙක් වන්නේ ය.
5123. ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ ය. අභිඥාවන්හි පරතෙරට ගියේ ආස්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.”
5124. ලෝකනායක වූ සුමේධ බුදුරජ තෙම මෙය වදාරා මා බලා සිටිය දී ම අහස්මගෙහි වැඩියේ ය.
5125. මැනැවින් කළ ඒ කර්‍මහේතුයෙන් ද චිත්තප්‍රණිධිහේතුයෙන් ද මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
5126. තුෂිතදිව්‍යලෝකයෙන් ච්‍යුතව මවුකුසෙහි උපනිමි. මම යම් මවුගැබක වෙසෙම් ද, එකල්හි මාගේ භෝගයෙහි ද අඩුබවෙක් නැත.
5127. මා මවුකුසෙහි පිළිසඳගත් කල්හි මාගේ අදහසට අනුව මවුට කැමති තාක් ආහාර පාන භෝජන ද පහළ වේ.
5128. උත්පත්තියෙන් පස්හැවිරිදි කල්හි සසුනෙහි පැවිදි වීමි. (පැවිද්ද සඳහා) හිසකේ බෑ කල්හි රහත්බවට පැමිණියෙමි.