4968. සමාධියෙන් නැඟී සිටියා වූ පස්මරුන් දිනූ සියල්ල තෙමේ ම අවබෝධ කරගත් කෝසික බුදුරජුන් වැඳ පහන්සිත් ඇත්තෙම් මම එක් භික්‍ෂාවක් දුනිමි.
4969. ද්විපදෝත්තමයාණන් වහන්ස, ලෝකජ්‍යේෂ්ඨයාණන් වහන්ස, නරශ්‍රෙෂ්ඨයානන් වහන්ස, එ ම කර්‍ම හේතුකොට ගෙණ තුෂිත දෙව් ලොවැ උපනිමි. එක් භික්‍ෂාදානයෙහි මෙ විපාක යි.
4970. දිවාකල්හි ද රාත්‍රියෙහි ද හැම කල්හි මාගේ අලෝකය වෙයි. මම හාත්පස සියක්යොදුනක් ආලොකය විහිදුවමි.
4971. මම පස්පණස් කපක් සිවුමහසයුරු හා සිවුමහදිවයින් කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සතුරු රජුන් ජයගන්නා සුලු වූ (දඹදිව රාජධානි කොට ඇති බැවින් හෝ වෙසෙසින් එයට ඉසුරු බැවින් හෝ) ජම්බුද්වීපයට අධිපති වූ සක්විති රජ වීමි.
4972. එකල්හි මට සමෘද්ධ වූ සම්පත්තියෙන් පිරුණා වූ මැනැවින් නිමවන ලද තිස් යොදුන් දිගු විසි යොදුන් පුළුල් නගරයෙක් විය.
4973. ඒ සෝභන නම් නුවර විශ්වකර්‍මයා විසින් මවන ලද්දේ විය. (එව-කව බොව) යනාදි දශවිධ ශබ්දයෙන් තොර නො විය. කයිතාලම් (ආදි තූර්‍ය්‍ය) නාදයෙන් ද යුක්ත විය.
4974. ඒ නගරයෙහි වැල් දර ද මැටි ද නැති. සියල්ල ස්වර්‍ණමය වූයේ ම හැම කල්හි බබල යි.
4975. ප්‍රාකාර සතරෙකින් වට කරණ ලද්දේ විය. ඒ පවුරුහු මිණිමුවා වූහ. මැද පෙදෙසෙහි තාලපඞ්ක්තීහු ද විශ්වකර්‍මයා විසින් මවන ලදහ.
4976. පියුම්උපුලෙන් වැසුනු පඬෙරින් ගැවසී ගත් නොයෙක් සුවඳ වහනය වන්නා වූ පොකුණු දසදහසෙක් වූහ.
4977. මම මෙයින් අනූ වන කපෙහි (බුදුනට) යම් උල්කාවක් දැරූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උල්කාධාරණයෙහි මේ විපාක යි.
4978. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4979. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4980. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් උක්කාසතික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උක්කාසතික ස්ථවිරාවදානය තෙවැනි යි.
474. සුමනවීජනිය ස්ථවිරාවදානය
4981. විපස්සී බුදුරජුන්ගේ උතුම් බෝධිවෘක්‍ෂය සමීපයෙහි සමන් මල් වීජනියක් ගෙණ මම ඒ උතුම් බෝධියට පවන් සැලිමි.
4982. මෙයින් එක්අනූ වන කපෙහි උතුම් බෝධියට පවන් සැලූයෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පවන් සැලීමෙහි මේ විපාකයි.
4983. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4984. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4985. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් සුමනවීජනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුමනවීජනීය ස්ථවිරාවදානය සිවුවැනි යි.
475. කුම්මාසදායක ස්ථවිරාවදානය
4986. පිඬු පිණිස හැසිරෙන්නා වූ විපස්සී බුදුරජුන්ගේ හිස් පාත්‍රය දැක කොමු පිඬු පිරවීමි.
4987. මෙයින් එක් අනු වන කපෙහි වූ එකල්හි යම් භික්‍ෂාවක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කුම්මාසදානයෙහි මේ විපාක යි.
4988. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
4989. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4990. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කුම්මාසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුම්මාසදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
476. කුසට්ඨදායක ස්ථවිරාවදානය
4991. වැස නිමවන ලද බඹසර ඇති බ්‍රාහ්මණවංශයෙහි වූ කාශ්‍යප බුදුරජුන් හට පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ලහබත් අටක් දුනිමි.
4992. මේ කල්පයෙහි ම සලාකබත් අටක් දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ලහබත් අට දීමෙහි මේ විපාක යි.
4993. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
4994. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4995. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කුසට්ඨදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
කුසට්ඨදායක ස්ථවිරාවදානය සවැනි යි.
477. ගිරිපුනනාගිය ස්ථවිරාවදානය
4996. එ කල්හි සෝභිත නම් සම්බුදුරජ තෙම චිත්‍රකූට පර්‍වතයෙහි වැඩ විසී ය. මම ගිරිපුන්නාගපුෂ්පයක් ගෙණ බුදුරජුන් පිදීමි.
4997. මෙයින් සිවුඅනූ වන කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
4998. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
4999. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5000. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් ගිරිපුනනාගිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ගිරිපුන්නාගීයස්ථවිරාවදානය සත්වැනි යි.
478. වල්ලිකාරඵලදායක ස්ථවිරාවදානය
5001. එකල්හි සුමනා නම් සම්බුදුරජ තෙම තක්කරා රාජධානියෙහි වැඩ විසී ය. මම සියල්ල දත් බුදුරජානන් වහන්සේට වල්ලිකාර ඵලයක් ගෙන දුනිමි.
5002. මෙයින් එක්තිස් වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
5003. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5004. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5005. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් වල්ලිකාරඵලදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වල්ලිකාරඵලදායක ස්ථවිරාවදානය අටවැනි යි.
479. පානධිදායක ස්ථවිරාවදානය
5006. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පසැස් ඇති අනෝමදස්සී බුදුරජ තෙමේ දිවාවිහරණයෙන් නික්ම මාර්‍ගයට පිළිපන්නේ ය.
5007. මම මැනවින් කරණ ලද පාවහන් (යුවලක්) ගෙන මාර්‍ගයට පිළිපන්නෙමි. එහිදී මනෝඥවූ දර්‍ශන ඇති පාගමනින් වඩින්නා වූ සම්බුදු රජුන් දුටුයෙමි.
5008. සිය සිත පහදවා පාවහන් (යුවල) බැහැරට ගෙන (බුදුරජුන්ගේ) පාමුල තබා මේ වචනය කීමි:
5009. විනායකයාණන් වහන්ස, සුගතෙන්‍ද්‍රයාණන් වහන්ස, මහාවීරයාණන් වහන්ස, (මේ පාවහන්යුවලට) නැංග මැනැව. මෙයින් යම් විපාකයක් ලබන්නෙම් ද, (ඉන්) මාගේ යම් අභිමතාර්‍ත්‍ථයෙක් වේ නම් එය සමෘද්ධ වේ වා.
5010. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අනෝමදස්සී බුදුරජ තෙම වහන්සඟළෙහි නැඟ සිට මේ වචනය වදාළේ ය.
5011. “යමෙක් තෙම පහන් සිත් ඇත්තේ මට සියතින් ම වහන් සඟලක් දුන්නේ ද, ඔහු පිළිබඳ වූ ඒ විපාකය මම කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.“
5012. බුදුරජානන් වහන්සේ ගේ හඬ අසා ඔද වැඩි සිත් ඇති සොම්නස් වූ ප්‍රීතිමත් වූ බඳැදිලි ඇති සියලු දෙවිවරු රැස් වූහ.
5013. “මේ තෙමේ වහන්සඟළ පිදීම හේතුකොට ගෙන සුව ඇත්තෙක් වන්නේ ය. පස්පනස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
5014. දහස්වරක් සක්විතිරජ වන්නේ ය. ලබන්නා වූ මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් මෙතෙකැ යි ගිණිය නො හැකි ය.
5015. මෙයින් අපරිමෙය්‍ය වූ කල්පයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේ ය.
5016. උන්වහන්සේගේ ධර්‍මය දායාදකොට ගත් ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූ (මෙ තෙමේ) සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥාවශයෙන්) දැන ආස්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.
5017. පින්වත් වූ (මෙ තෙමේ) දෙව්ලොව හෝ මිනිස් ලොව හෝ උපදින්නේ නම් දිව්‍යයානයක් වැනි යානයක් ලබන්නේ ය.“
5018. මාගේ ප්‍රාසාදයෝ ද සිවිකාවෝ ද මැනැවින් සැරසූ ඇත්තු ද ආජානේය අශ්වයන් යෙදූ රථ ද හැමකල්හි මට පහළ වෙත්.
5019. මම ගිහිගෙන් නික්මෙන්නෙම් ද රථයෙන් නික්මුනෙමි. කෙස් සිඳින (හිසකේ බාන) කල්හි රහත් බවට පැමිණියෙමි.
5020. මට ලාභයෝ ය. මවිසින් මොනොවට ලද ලාභය. මැනැවින් යෙදූ වෙළඳාමක් වැනි ය. එක වහන්සඟළක් දී අචලපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.
5021. මම මෙයින් අපරිමෙය්‍ය වූ කල්පයෙහි යම් වහන්සඟළක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පානධිදානයාගේ මේ විපාකයි.
5022. මා විසින් ක්ලේශයෝ දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5023. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදි.
5024. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් පානධිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පානධිදායකස්ථවිරාවදානය නවවැනි යි.
480. පුලිනචඞ්කමිය ස්ථවිරාවදානය
5025. මම පෙර මහවෙනෙහි මුවවැද්දෙක් වීමි. වාතමෘගයකු සොයන්නෙම් මම සක්මනක් දුටුවෙමි.
5026. මම ඇකයෙන් (ඔඩොක්කුවෙන්) වැලි ගෙණ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ශ්‍රීමත් වූ බුදුරජුන්ගේ සක්මනෙහි ඉස්සෙමි.
5027. මෙයින් එක්තිස්වන කපෙහි මම යම් වැලි ඉසීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි, පුලිනදානයාගේ මේ විපාක යි.
5028. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5029. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5030. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් පුලිනවඞ්කමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුලිනවඞ්කමියස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
නළමාලිමණිද ද උක්කාසතික වීජනී කුම්මාසකුසට්ඨ ගිරිපුන්නාගිය ද යළි වල්ලීකාරපානධි ද පුලිනවඞ්කම දස වේ. පඬුවන් විසින් ගිණූ ගී මෙහි පස්අනූවෙකි.
නළමාලීවර්‍ගය අටසාළිස්වැනී යි.
49. පංසුකූල වර්‍ගය
481. පංසුකූලසඤ්ඤක ස්ථවිරාවදානය
5031. සියල්ල තමා ම දත් අග්‍රපුද්ගල වූ තිස්ස නම් බුදුවරයෙක් විය. (එම) සර්‍වඥ තෙමේ පවුල් (-පංසුකූල) සිවුරු තබා විහාරයට පිවිසියේ ය.
5032. මම නමන ලද දුන්න ගෙන අහර පිණිස (වනයෙහි) හැසිරුනෙමි. කඩුව ද ගෙන මම වනයට පිවිසියෙමි.
5033. එ කල්හි එහි ගසක් මුදුනෙහි එල්වන ලද පවුල් සිවුර දුටිමි. (දැක) දුන්න එහි ම තබා සිරසෙහි ඇඳිලි බැඳ-
5034. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මහත් වූ ප්‍රීතියෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් සිහි කොට පාංසුකූල චීවරයට වැන්දෙමි.
5035. මම මෙයින් දෙයානූවන කපෙහි පසුල්සිවුරට වැන්දෙම් ද, (එ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වන්‍දනාවෙහි මේ විපාක යි.
5036. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5037. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5038. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් පංසුකූලසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.