4891. එකල්හි මෙයින් සිවුඅනූ වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
4892. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4893. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4894. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් අවණ්ටඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අවණ්ටඵලිය ස්ථවිරාවදානය සවැනි යි.
467. ලබුජදායක ස්ථවිරාවදානය
4895. එකල්හි (මම) බන්‍ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (=අරමක වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩින්නා වූ කෙලෙස්රජස් විරහිත බුදුරජුන් දුටිමි.
4896-4897. මම දෙල්පලයක් ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. මාගේ ප්‍රීතිය ඇති කරන්නා වූ මෙලෙව්හිදී ම සුව ගෙන දෙන්නා වූ මහත් යශස් ඇති බුදුරජානන් වහන්සේ අහසෙහි ම සිටි සේක් එය පිළිගත්හ. පැහැදි සිතින් (එම) පලය බුදුරජුන්හට දී,
4898. එකල්හි මහත් වූ ප්‍රීතිය ද උතුම් වූ සැපය ද ලැබීමි. ඒ ඒ තන්හි උපන්නා වූ මට රුවන් ද උපදී.
4899. මෙයින් එක්අනූ වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
4900. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4901. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4902. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ලබුජදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ලබුජදායකස්ථවිරාවදානය සත්වැනි යි.
468. පිලක්ඛඵලදායක ස්ථවිරාවදානය
4903. වනයෙහි දි මහත් යශස් ඇති අත්‍ථදස්සී බුදුරජුන් දැක පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පුලිලඵලයක් උන්වහන්සේට දුනිමි.
4904. අටළොස්සිය වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යී.
4905. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4906. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4907. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් පිලක්ඛඵලදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පිලක්ඛඵලදායකස්ථවිරාවදානය අටවැනි යි.
469. සයම්පටිභාණිය ස්ථවිරාවදානය
4908. (මල්පල්ලෙන්) බබලන්නා වූ කුඹුක්ගසක් වැනි වූ දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ වීථියට පිළිපන්නා වූ බුදුරජුන් දැක කවරෙක් නො පහදී ද?
4909. (මෝහ නමැති) ඝනාන්‍ධකාරය නසා බොහෝ දෙන (සසරින්) එතෙර කොට ඥානාලෝකයෙන් බබලන්නා වූ බුදුරජුන් දැක කවරෙක් නො පහදී ද?
4910. රහතුන් ලක්‍ෂයක් සමඟ වඩින්නා වූ ලෝකනායක වූ බොහෝ සත්ත්‍වයන් (දුකින්) ගොඩලන්නා වූ බුදුරජුන් දැක කවරෙක් නො පහදී ද?
4911. දහම්බෙරය ගසන්නා වූ තීර්‍ත්‍ථකසමූහයා මඩින්නා වූ සිහනද (=ශ්‍රේෂ්ඨනාද) කරන්නා වූ බුදුරජුන් දැක කවරෙක් නො පහදී ද?
4912. බඹලොව තෙක් දෙවියෝ බඹුන් සහිත වූවාහු අවුත් සියුම් පැණ විචාරත් ද, (ඒ බුදුරජුන්) දැක කවරෙක් නො පහදී ද?
4913. දෙවියන් සහිත ලෝවැස්සෝ යම් උතුමකුට ඇඳිලි බැඳ අයදිත් ද, එයින් (ඔහු) පින් ලබත් ද, ඒ බුදුරජුන් දැක කවරෙක් නො පහදී ද?
4914. සියලු දෙන රැස්ව බුදුරජුන් පවරත්. එසේ ආරාධිත වූයේ ද නො සැලේ. (ඒ බුදුරජුන්) දැක කවරෙක් නො පහදී ද?
4915. නුවරට පිවිසෙන්නා වූ යමකුට බොහෝ භේරිහු (-බෙර) නාද කෙරෙත් ද, මතැත්හු කුඤ්ච නාද කෙරෙත් ද. (ඒ බුදුරජුන් දැක) කවරෙක් නම් නො පහදී ද?
4916. හැමකල්හි වීථියෙහි වඩින්නා වූ යමකුගේ (සිරුරින්) සියලු පැහැ නිති බබලයි ද, (භූමියෙහි) උස් ස්ථානයෝ (පා තබන විට) සම වේ ද, (ඒ බුදුරජුන්) දැක කවරෙක් නම් නො පහදී ද?
4917. බුදුරජුන් බණන කල්හි සක්වළෙහි ම ඇසේ හැම සතුන් හඟවා ලයි. (ඒ බුදුරජුන්) දැක කවරෙක් නම් නො පහදී ද?
4918. මෙයින් සියක්දහස් වන කපෙහි යම් බුදුවරයකු කීර්‍තනය කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුරජුන් පැසසීමෙහි මේ විපාක යි.
4919. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4920. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4921. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් සයම්පටිභාණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
සයම්පටිභාණිය ස්ථවිරාවදානය නව වැනි යි.
470. නිමිත්තව්‍යාකරණිය ස්ථවිරාවදානය
4922. මම එකල්හි හිමවතට පිවිස මන්ත්‍ර කියවමි. සූපණස් දහසක් ශිෂ්‍යයෝ මට උවටැන් කළාහු ය.
4923. ඔහු සියලු දෙන වේද හදාළාහු වේදය දත්තාහු ෂඩඞ්ගවේදයෙහි පරතෙරට ගියාහු ස්වකීය විද්‍යාවන්ගෙන් ස්ථිර බවට පැමිණියාහු හිමවතෙහි වෙසෙත්.
4924. මහායශස් ඇති (බෝධිසත්ත්‍ව) දිව්‍යපුත්‍ර තෙම තුෂිත දෙව්ලොවින් ච්‍යුතව මනානුවණැත්තේ සිහියෙන් යුතු වූයේ මවුකුසෙහි උපන්නේ ය.
4925. සම්බුදුරජුන් උපදනා කල්හි දසසහස්‍රීලෝකධාතුව කම්පා විය. ලෝකනායකයන් වහන්සේ උපදනා කල්හි අන්‍ධයෝ ඇස් ලැබූහ.
4926. මේ සම්පූර්‍ණ පෘථිවිය හැම අයුරින් ම කම්පා විය. ඒ මහහඬ අසා මහජනයෝ නොසන්සුන් වූහ.
4927. සියලු දෙන එකතුව මාගේ සමීපයට පැමිණියාහු ය. “මේ පොළොව කම්පා විය. කවර විපාකයෙක් වන්නේ දැ” යි විචාළහ.
4928. එකල්හි ඔවුනට මෙසේ කීමි: “බිය නො වවු. තොපට (මෙයින්) බියෙක් නැත. සියල්ලෝ සැක නැත්තෝ වවු. මෙය සැප ඇති උපතෙකි.
4929. හේතු අටෙකින් ගැටුනු මේ පොළොව කම්පා වෙයි. එබඳු නිමිතීහු පැණෙති. මේ අතිමහත් ආලෝකයෙකි.
4930. පසැස් ඇති බුදුරජ තෙම නිසැකව ම උපදින්නේ ය යි ජනසමූහයාට දන්වා මම ඔවුනට පන්සිල් කීමි.
4931. පඤ්චසීලය ද, දුර්‍ලභ වු බුද්ධෝත්පාදය ද අසා ඔහු සොම්නස් වූවාහු තුටුපහටු වූවාහු හටගත් උද්වේග ඇත්තෝ ද වූහ.
4932. මෙයින් දෙයානූ වන කපෙහි (බුදුරජ උපදින්නේ ය යි) යම් නිමිත්තක් පැවැසූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නිමිති පැවැසීමෙහි මේ විපාක යි.
4933. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4934. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4935. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් නිමිත්තව්‍යාකරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
නිමිත්තව්‍යාකරණියස්ථවිරාවදානය දසවැනි යි.
සාලකුසුමියවර්‍ගය සත්සාළිස් වැනි යි.
උද්දානය:
සාලකුසුමිය චිතකපූජක - නිබ්බාපක සේතුද ද තාලවණ්ටී - අවණ්ට ලබුජ පිලක්ඛ පටිභාණ වෙය්‍යාකරණීය බමුණු දැයි - පඬුවන් ගිණු ගී දෙසැත්තෑවකි.
48. නළමාලි වර්‍ගය
471. නළමාලිය ස්ථවිරාවදානය
4936. ලෝකයාගේ පූජාවට යෝග්‍ය වූ වනය මතුයෙහි (අහසින්) ගමන් කරන්නා වු ලෝකනායක වූ ස්වර්‍ණවර්‍ණ වූ සම්බුදුරජුන් දිටිමි.
4937. එකෙණෙහි මම නළ (බට) මලක් ගෙණ නික්මෙන්නෙම් චතුරෝඝයන් තරණය කළා වූ ආස්‍රවරහිත වූ සම්බුදුරජුන් එහි දී දිටිමි.
4938. පහන් සිත් ඇති සොම්නස් වූ මම දක්‍ෂිණාර්‍හ වූ මහාවීර වූ සියලු ලොවට අනුකම්පා කරන්නා වූ බුදුරජුන්හට එ ම නළමල පිදීමි.
4939. මෙයින් එක්තිස් වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, එයින් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4940. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4941. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4942. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් නළමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නළමාලිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
472. මණිපූජක ස්ථවිරාවදානය
4943. පදුමුත්තර නම් වූ සියලු ධර්‍මයන්හි පරතෙරට ගිය පස්මරුන් ජයගත් විවේක සැප කැමැති බුදුරජ තෙම අහස්මඟෙහි වඩියි.
4944. හිමවතට නුදුරෙහි මහත් වූ ස්වයංජාත විලෙක් විය. එහි පුණ්‍යකර්‍මයෙන් යෙදුනු හෙවත් පිණින් පහළ වූ මාගේ භවනය විය.
4945. භවනයෙන් නික්ම නිලුපුල් මෙන් දිලිසෙන ඇවිලගත් ගින්නක් වැනි ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
4946. බුදුරජුන්හට පුදන්නෙමැ යි සොයන්නෙම් මලක් නො දිටිමි. මම සිය සිත පහදවා ශාස්තෲන් වහන්සේට වැන්දෙමි.
4947. මාගේ හිසෙහි වූ මැණික ගෙණ “මේ මිණි පිදීමෙහි විපාකය යහපත් වේවා“යි ලෝකානායක වූ බුදුරජුන්හට පිදීමි.
4948. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට යෝග්‍ය වූ ලෝකවිද් පදුමුත්තර ශාස්තෲන් වහන්සේ අහසෙහි සිටිසේක් මේ ගාථාව වදාළහ:
4949. “තාගේ ඒ අදහස සමෘද්ධ වේවා. මහත් වූ සැප ලබනෙහි වා. මෙ ම මැණික්පූජාවෙන් මහත් යශස් අනුභව කරව” යි කියා යි.
4950. භාග්‍යවත් වූ පදුමුත්තර නම් වූ බුද්ධශ්‍රේෂ්ඨ තෙමේ මේ වචනය වදාරා වැඩියේ ය. යම් (ප්‍රාර්‍ත්‍ථනාවෙක) සිත පිහිටුවන ලද ද,
4951. (ඒ හේතුවෙන්) කල්පසැටක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. නේසියක්වර සක්විතිරජ වීමි.
4952. දෙවි වූ පූර්‍වකර්‍මය සිහි කරන්නා වූ මට මා ආලෝක කරන්නා වූ මාගේ ම මැණික් පහළ වේ.
4953-4954. මාගේ පිරිවර වූ සයාසුදහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු, පළඳින ලද මිණිකොඬොල් ඇත්තාහු, දිග ඇසිපිය ඇත්තාහු, සිනා සහිත වූවාහු, මනා තන ඇත්තාහු, සිහින් කටීප්‍රදේශ ඇත්තාහු, නිතර මා පිරිවරත්. මණිපූජාවෙහි මේ විපාක යි.
4955. රුවන්මුවා වූ ද මිණිමුවා වූ ද එසේ ම පියුම්රාමිණිමුවා වූ ද මාගේ භාණ්ඩයෝ මැනැවින් කරණ ලද්දාහු වෙත්. පළඳනාවෝ කැමැති පරිදි වෙත්.
4956. රම්‍ය වූ කූටාගාර ගුහාවෝ ද මාහැඟි සයනාසන ද මාගේ අදහස් දැන කැමැති තාක් පහළ වෙත්.
4957. යමෙක් මිනිසුනට පින්කෙත් වූ සව්සත්නට බෙහෙදක් වූ ධර්‍මශ්‍රවණය ලබත් නම් එය ඔවුනට ලාභයෙකි. මැනැවින් ලැබූ ලාභයෙකි.
4958. යම්බඳු වූ මම බුදුරජුන් දිටිම් ද, මා විසිනුදු මනා වූ කර්‍මයක් කරණ ලදි. එයින් දුගතියෙන් මිදුනෙම් වෙමි. අචලපදය වූ නිවනට ද පැමිණියෙම් වෙමි.
4959. දෙවි වූ හෝ මිනිස් වූ හෝ යම් යම් යෝනියෙක උපදිම් ද, (ඒ) හැමකල්හි හාත්පස සත්රියනක් මාගේ ආලොකය වේ.
4960. එ ම මැණික් පූජාවෙන් සම්පත් අනුභව කොට මා විසින් ඥානාලෝකය දක්නා ලදි. අචල වූ ශාන්තිපදයට පැමිණියෙම් වෙමි.
4961. මෙයින් සියක්දහස් වන කපෙහි යම් මැණික්පූජාවක් කෙළෙම් ද, එයින් දුගතියක් නො දනිමි. මණිපූජාවෙහි මේ විපාක යි.
4962. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4963. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4964. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් මණිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මණිපූජක ස්ථවිරාවදානය දෙවැනි යි.
473. උක්කාසතික ස්ථවිරාවදානය
4965. එකල්හි මුනිගුණ යුතු වූ ධ්‍යාන කරන්නා වූ ධ්‍යානයෙහි ඇළුනා වූ භාග්‍යවත් වූ කෝසික නම් (පසේ) බුදුරජ තෙමේ විවෙක සුවයෙහි ඇළුනේ චිත්‍රකූට පර්‍වතයෙහි වැඩ විසි ය.
4966. ස්ත්‍රීසමූහයා විසින් පිරිවරණ ලදුව හිමවතට පිවිස පුරපසළොස්වක් දිනයෙහි සඳු වැනි වූ කෝසික බුදුරජුන් දිටිමි.
4967. එකල්හි මම උල්කා (විලක්කු) සීයක් ගෙණ (උන්වහන්සේ) පිරිවැරීමි. මම රෑ දාවල් සතක් (එහි) සිට අටවෙනි දිනයෙහි ගියෙමි.