අක්කමනදායකස්ථවිරාවදානය පස්වැනි යි.
456. වනකොරණ්ඩිය ස්ථවිරාවදානය
4828. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති සිද්ධාර්‍ත්‍ව බුදුරජානන් වහන්සේට වනකරඬු (මලක්) ගෙණ පිදීමි.
4829. මෙයින් සිවුඅනූ වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4830. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රරහිතව වෙසෙමි.
4831. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4832. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් වනකොරණ්ඩියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වනකොරණ්ඩියස්ථවිරාවදානය සවැනි යි.
විසිවැනි බණවර යි.
457. ඒකඡත්තිය ස්ථවිරාවදානය
4833. පෘථිවී තොමෝ අඟුරු වී ය. මහී තොමෝ උණුඅළු සහිත වී ය. පදුමුත්තර බුදුරජ තෙමේ එළිමහනෙහි සක්මන් කළේ ය.
4834. මම සේසත ගෙණ මඟට පිළිපන්නෙමි. එහි සම්බුදුරජුන් දැක මට ප්‍රීතිය ඇති විය.
4835. භූමිතොමෝ මිරිඟුවෙන් වැසුනී ය. මේ පෘථිවිය (දිලිසෙන) අඟුරු මෙනි. සිරුරෙහි පණ නසන්නා වූ මහාවාතයෝ ද හමත්.
4836. ශීතය හා උෂ්ණය නසන්නා වූ වාතය හා අව්ව වළහන්නා වූ මේ ඡත්‍රය පිළිගනු මැනව. මම ඒ හේතුවෙන් නිවන් ලබන්නෙමි“යි ඡත්‍රය පිළිගැන්වී ය.
4837. එකල්හි (ලෝකයා කෙරෙහි) අනුකම්පා ඇති කාරුණික වු මහර්ෂී වූ පදුමුත්තර බුදුරජතෙමේ මාගේ අදහස දැන එය පිළිගත්තේ ය.
4838. තිස්කපක් මුළුල්ලෙහි දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සියවරක් සක්විතිරජ වීමි.
4839. (ලබන ලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය. පෙර තමා විසින් මැනවින් කළ ස්වකීය පුණ්‍යකර්‍මය (විපාකය) අනුභව කරමි.
4840. මාගේ මේ පශ්චිමආත්මය යි. මේ අන්තිමභවය පවති. අදත් මට හැමකල්හි සේසතක් දැරෙයි.
4841. එකල්හි මෙයින් සියක්දහස් වන කපෙහි යම් ඡත්‍රදානයක් දුනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඡත්‍රදානයාගේ මේ විපාකය යි.
4842. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4843. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4844. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඒකඡත්තිය ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
ඒකඡත්තියස්ථවිරාවදානය සත්වැනි යි.
458. ජාතිපුප්ඵිය ස්ථවිරාවදානය
4845. මහත් යශස් ඇති පදුමුත්තර බුදුරජුන් පිරිනිවි කල්හි මම දෑසමන්මලින් මුදුන්මල්කඩක් කොට බුද්ධදේහයට පිදීමි.
4846. මම එහි සිත පහදවා නිර්‍මාණරතී දෙව්ලොවට ගියෙමි. මම දෙව්ලොවට ගියෙම් ඒ පින්කම සිහිකරමි.
4847. හැම කල්හි මට අහසින් මල්වැසි වසී. ඉදින් මිනිස් ලොවෙහි සැරිසරම් නම් මහත් යශස් ඇති රජෙක් වෙමි.
4848. සර්‍වදර්ශී වූ බුදුරජුන්හට කරණ ලද එම පුෂ්පපූජාවෙහි ම බලයෙන් එහි (=මිනිස්ලොවෙහි) ද මට මල්වැසි වසී.
4849. මේ මාගේ පශ්චිමභවය යි. මේ අන්තිමභවය පවතී. අද ද හැම කල්හි මට මල්වැසි වසී.
4850. මෙයින් සියක් දහස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුබඳ පිදීමෙහි මේ විපාක යි.
4851. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4852. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යායෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4853. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ජාතිපුප්ඵියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ජාතිපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.
459. පටටිපුප්ඵිය ස්ථවිරාවදානය
4854. බෙර වයද්දී ශරීරය (ආදාහනය සඳහා) ගෙණ යන කල්හි මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් රත්ලොත්මල් පිදීමි.
4855. මෙයින් සියක් දහස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දේහපූජාවෙහි මේ විපාක යි.
4856. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4857. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යායෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4858. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් පට්ටිපුප්ඵියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පට්ටිපුප්ඵියස්ථවිරාවදානය නවවැනි යි.
460. ගන්‍ධපූජක ස්ථවිරාවදානය
4859. (ආදාහනය සඳහා) චිතකය කරණ කල්හි නානාසුගන්‍ධයන් රැස් කරණ කල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සුවඳ මිටක් පිදීමි.
4860. මෙයින් සියක්දහස් වන කපෙහි යම් චිතකපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතකපූජාවෙහි මේ විපාක යි.
4861. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4862. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4863. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ගන්‍ධපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ගන්‍ධපූජකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
ජගති මොරහත්‍ථි ආසනී උක්කධාරක අක්කමී වනකොරණ්ඩී ඡත්තද ජාතිපූජක පට්ටිපුප්ඵිගන්‍ධපූජක දසවත්ය මෙවගෙහි ආ ගීසත්සැටෙකින් එය මෙහි කියන ලද්දේ.
ජගතිදායකවර්‍ගය සසාළිස් වැනි යි.
47. සාලකුසුමිය වර්‍ගය
461. සාලකුසුමිය ස්ථවිරාවදානය
4864. පදුමුත්තර නම් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි (උන්වහන්සේගේ දේහය) චිතකයට නැංවූ කල්හි සල්මල් පිදීමි.
4865. මෙයින් සියක්දහස් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතකපූජාවෙහි මේ විපාක යි.
4866. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4867. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4868. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් සාලකුසුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සාලකුසුමිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
462. චිතකපූජක ස්ථවිරාවදානය
4869. ධ්‍යාන වඩන්නා වූ ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජානන් වහන්සේගේ චිතකයට සපුමල් අටක් පිදීමි.
4870. මෙයින් එක්තිස් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.
4871. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
4872. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4873. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චිතකපූජක ස්ථවිරාවදානය දෙවැනි යී.
463. චිතකනිබ්බාපක ස්ථවිරාවදානය
4874. වෙස්සභූ බුදුරජුන්ගේ සිරුර දැවෙන කල්හි මම සුවඳ පැන් ගෙණ චිතකය නිවීමි.
4875. මම මෙයින් එක්තිස් වන කපෙහි බුදුරජුන්ගේ චිතකය නිවූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුවඳදිය පිදීමෙහි මේ විපාක යි.
4876. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4877. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4878. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් චිතකනිබ්බාපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චිතකනිබ්බාපක ස්ථවිරාවදානය තෙවැනි යි.
464. සේතුදායක ස්ථවිරාවදානය
4879. සක්මන් කරන්නා වූ විපස්සී බුදුරජුන් හමුවෙහි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හෙයක් කරවීමි.
4880. මෙයින් එක්අනූ වන කපෙහි මම යම් හෙයක් කරවූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සේතු දානයාගේ මේ විපාක යි.
4881. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
4882. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4883. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් සේතුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සේතුදායකස්ථවිරාවදානය සිවුවැනි යි.
465. සුමනතාලවණ්ටිය ස්ථවිරාවදානය
4884. මම සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට සමන්මලින් වසන ලද තල්වැටක් දුනිමි. (එහෙයින්) මහත් යශස් දරමි.
4885. මම මෙයින් සිවුඅනූ වන කපෙහි යම් තල්වැටක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තල්වැට (වටාපත්) දීමෙහි මේ විපාක යි.
4886. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
4887. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4888. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ.
මෙසෙයින් ආයුෂ්මත් සුමනතාලවණ්ටිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුමනතාලවණ්ටියස්ථවිරාවදානය පස්වැනි යි.
466. අවණ්ටඵලිය ස්ථවිරාවදානය
4889. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ඒකී භාවය කැමැති සතරංසී නම් (පසේ) බුදු භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස නික්මුණු සේක.
4890. අතින් ගත් ඵල ඇති මම බුදුරජුන් දැක වෙත එළඹියෙමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් එ ම අවණ්ටඵලය උන්වහන්සේට දුනිමි.