447. සීහාසනික ස්ථවිරාවදානය
4758. මම සවුසත්නට හිත කැමැත්තා වූ පදුමුත්තර බුදුරජුන්හට පහන්සිත් ඇත්තෙම්, සොම්නස් වූයෙම්, සිහසුනක් දුනිමි.
4759. මම දෙව් ලොවැ වේවයි මිනිස්ලොවැ වේවයි යම් යම් තැනක වෙසෙම් නම් මහත් වූ විමනක් ලබමි. සිහසුන් දනෙහි මේ විපාකයි.
4760. ස්වර්‍ණමය වූ ද, රජතමය වූ ද, පද්මරාගමාණික්‍යමය වූ ද, මණිමයවූ ද බොහෝ පර්‍ය්‍යඞ්කයෝ මට හැම කල්හි පහළ වෙත්.
4761. පදුමුත්තර නම් බුදුරජුන්ගේ බෝධියට අසුනක් කොට උසස් කුලයෙහි උපදිමි. ධර්‍මයාගේ යහපත් බව ආශ්චර්‍ය්‍යයෙකි.
4762. මම මෙයින් සියක් දහස්වන කපෙහි සිහසුනක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සිහසුන් දනෙහි මේ විපාකයි.
4763. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4764. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4765. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් සීහාසනික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සීහාසනික ස්ථවිරාවදානය සත්වැනියි.
448. පාදපීඨිය ස්ථවිරාවදානය
4766. අග්‍ර වූ කාරුණික වූ මෝනෙය්‍යගුණ ඇති මහත් යශස් ඇති ඒ සුමේධ නම් සර්‍වඥ තෙම බොහෝ සත්ත්‍වයන් (සසරසයුරින්) එතෙර කරවා පිරිනිවන් පෑය.
4767. සුමේධ බුදුරජුන්ගේ සිහසුන් සමීපයෙහි පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පාපුටුවක් කෙළෙමි.
4768. සැපවිපාක ඇති සුව ගෙණ දෙන්නා වූ කුශලකර්‍මය කොට මම ඒ කුශලකර්‍මය හා යෙදුනෙම් තවිතිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4769. පුණ්‍යකර්‍මයෙන් සමන්‍වාගත එහි වසන්නා වූ මට පියවර ඔසවත් ම ස්වර්‍ණමය (පාද) පීඨයෝ පහළ වෙත්.
4770. යමෙක් බුදුරජුන්ගේ හමුයෙහි සිට දහම් ඇසීම ලබත් නම් ඔවුන්හට එය ලාභයෙකි. පිරිනිවි කල්හි ද (උන්වහන්සේ කෙරෙහි) සත්කාර කොට මහත් වූ සැප ලබත්.
4771. මා විසිනුදු (උන්වහන්සේ කෙරෙහි) මැනවින් යොදන ලද වෙළඳාමක් බඳු පුණ්‍යකර්‍මයක් මොනොවට කරණ ලදී. මම පාපුටුවක් පූජා කොට රන්පුටුවක් ලබමි.
4772. කිසියම් හේතුවකින් මම යම් යම් දිශාවකට යෙම් නම්, රන්පුටුයෙහි ම පා තබමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකයි.
4773. එකල්හි තිස්දහස්කපකින් පෙර යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාදපීඨදානයාගේ මේ විපාකයි.
4774. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4775. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4776. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් පාදපීඨිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පාදපීඨිය ස්ථවිරාවදානය අටවැනියි.
449. වේදිකාරක ස්ථවිරාවදානය
4777. පදුමුත්තර බුදුරජුන්ගේ ශ්‍රේෂ්ඨ වෘක්‍ෂරාජයා වූ බෝධියෙහි වේදිකාවක් මැනැවින් කොට සිය සිත පැහැද වීමි.
4778. එහෙයින් කළා වූ ද නො කළා වූ ද භාණ්ඩයෝ අහසින් වැටෙත්. වේදිකාදානයෙහි මේ විපාකයි.
4779. දෙපසින් නැගසිටි භයානක යුදෙහි දී ද (ඉදිරියට) පනින්නෙම් නමුදු භයජනක අරමුණක් නො දනිමි. වේදිකා දනෙහි මේ විපාකයි.
4780. මාගේ අදහස දැන ශුභ වූ විමනක් නිපදේ. මාහැඟි සයනයෝ ද වෙත් වේදිකා දානයෙහි මේ විපාකයි.
4781. මෙයින් සියදහස්වන කපෙහි මම යම් වේදිකාවක් කරවූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වේදිකා දානයෙහි මේ විපාකයි.
4782. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4783. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4784. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් වේදිකාරක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
වේදිකාරක ස්ථවිරාවදානය නවවැනියි.
450. බෝධිඝරිය ස්ථවිරාවදානය
4785. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බෝධිගෘහයක් කරවීමි.
4786. (ඒ හේතුවෙන්) තුසිතයෙහි උපන්නෙම් වෙමි. රතනගෘහයෙහි වසමි. මාගේ සිරුරෙහි ශීතය හෝ උෂ්ණය හෝ වාතය හෝ නො පහස්නේ ය.
4787. මම මෙයින් පන්සැටවන කපෙහි සක්විතිරජ වීමි. මට විශ්වකර්‍මයා විසින් මවන ලද කාසික නම් නුවරක් විය.
4788. දසයොදුනක් දිග අටයොදුනක් පුළුල් ඒ නගරයෙහි දඬු හෝ වැල් හෝ මැටි (මෙයින් කළ දැයක්) නැත.
4789. (එහි) විශ්වකර්‍මයා විසින් මවන ලද මඞ්ගල නම් ප්‍රාසාදය යොදුනක් දිග ය. අටයොදුනක් පුළුල් ය.
4790. (එහි) සුවාසූ දහසක් රන්මුවා ටැම් විය. මුදුන්ගෙවල් මිණිමුවා වූහ. සෙවෙනිය (=පියසි) රිදීමුවා විය.
4791. සර්‍වස්වර්‍ණමය ගෘහයක් විශ්වකර්‍මයා විසින් මවන ලදී. තෙල මවිසින් වසන ලදී. ගෘහදානයාගේ මේ විපාකයි.
4792. දෙවි මිනිස් බෙවෙහි එ හැම සමිපත් අනුභව කොට අද නිරුත්තර ශාන්තිපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.
4793. මෙයින් සිවුඅනූවන කපෙහි යම් බෝධිගෘහයක් කරවූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගෘහදානයාගේ මේ විපාකයි.
4794. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4795. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4796. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් බෝධිඝරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බෝධිඝරිය ස්ථවිරාවදානය දසවැනියි.
විභීටකවර්‍ගය පන්සාළිස්වැනියි.
උද්දානය:
විහිටකී කෝලඵලී බිල්ලභල්ලාත උත්තලී අම්ඛාට සීහාසන ද පාදපීඨක වේදිකාරක බෝධිඝරිය යී දස වත් වේය මෙම වගෙහී එකුන් අසූ ගයකින් එය මෙහි කියන ලදුයේ.
46. ජගතිදායක වර්‍ගය
451. ජගතිදායක ස්ථවිරාවදානය
4797. මම පහන්සිත් ඇත්තෙම්, සොම්නස් වූයෙම්, ධම්මදස්සී බුදුරජුන්ගේ උතුම් බෝධිවෘක්‍ෂය (පිහිටි තන්හි) බිම කරවීමි.
4798. මම පර්‍වත විවරයකින් වේවයි පර්‍වතයකින් වේවයි ගසකින් වේවයි වැටුනෙම් පිහිටක් ලබමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4799. සොරු මාගේ (වස්තුව) පැහැර නො ගණිත්. රජ තෙම (මට) අවමන් නො කෙරේ. සියලු පසමිතුරන් ඉක්මවමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4800. දිව්‍ය වේවයි මනුෂ්‍ය වේවයි යම් යම් යෝනියක උපදිම් ද ඒ සියලු තන්හි පුදන ලදුයෙම් වෙමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4801. මම අටළොස්සියවන කපෙහි පොළෝ (සකස්) කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4802. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4803. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4804. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ජගතිදායකස්ථවීරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ජගතිදායක ස්ථවිරාවදානය පළමුවැනියි.
452. මොරහත්‍ථිය ස්ථවිරාවදානය
4805. මම මොණරපිල්වැටියක් ගෙණ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ලෝකනායක වූ බුදුරජුන් වෙත එළඹියෙමි. එළඹ මොණරපිල්වැටිය පිදීමි.
4806. මෙම මොණරපිල්වැටී දන හේතුකොටගෙන ද, චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙන ද ත්‍රිවිධාග්නීහු (රාග - ද්වේෂ - මෝහ) නිවී ගියහ. මහත් වූ සැප ද ලබමි.
4807. බුදුවරයෝ ආශ්චර්‍ය්‍යයහ. (නෛර්‍ය්‍යාණික) ධර්‍මයෝ ද ආශ්චර්‍ය්‍යයහ. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍යයෙකි. මම මොණර පිල්වැටියක් දී මහත් සුව ලබමි.
4808. මාගේ ත්‍රිවිධාග්නීහු නිවී ගියහ. සියලු භවයෝ නසන ලදහ. ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
4809. එකල්හි මෙයින් එක්තිස් වන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මොණරපිල්වැටි දනෙහි මේ විපාකයි.
4810. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4811. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන්වහන්සේගේ සසුන කරණ ලදි.
4812. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් මොරහත්‍ථියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මොරහත්‍ථිය ස්ථවිරාවදානය දෙවැනි යි.
453. සීහාසනවීජක ස්ථවිරාවදානය
4813. මම තිස්ස බුදුරජුන්ගේ බෝධීවෘක්‍ෂයට වැන්දෙමි. විජිනිපතක් ගෙන එහි සිහසුනට පවන් සැලීමි.
4814. මම මෙයින් දෙයානූවන කපෙහි සිහසුනට පවන් සැලූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පවන්සැලීමෙහි මේ විපාක යි.
4815. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4816. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4817. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් සීහාසනවීජකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සීහාසනවීජක ස්ථවිරාවදානය තෙවැනි යි.
454. තිඋක්කාධාරක ස්ථවිරාවදානය
4818. පදුමුත්තර බුදුරජුන්ගේ උතුම් බෝධිවෘක්‍ෂයෙහි (ආලෝකය පිණිස) පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් උල්කා (විලක්කු) තුනක් දැරීමි.
4819. ඒ මම මෙයින් සියක් දහස් වන කපෙහි උල්කා දැරුයෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. උල්කා දනෙහි මේ විපාක යි.
4820. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4821. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4822. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් තිඋක්කාධාරකස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
තිඋක්කාධාරකස්ථවිරාවදානය සිවුවැනි යි.
455. අක්කමනදායක ස්ථවිරාවදානය
4823. වැස නිමවන ලද බඹසර ඇති බ්‍රාහ්මණවංශයෙහි වූ දිවා විහරණයෙහි හැසිරෙන්නා වූ කකුසඳ බුදුරජුන්හට මම ආක්‍රමනයක් (පාපුවරුවක්) දුනිමි.
4824. මෙම කල්පයෙහි ම වූ එකල්හි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාපුවරු දනෙහි මේ විපාක යි.
4825. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රරහිතව වෙසෙමි.
4826. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4827. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් අක්කමනදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.