Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 6101-6200 න් 9627

438. හරීතකදායක ස්ථවිරාවදානය
4689. අරළු ද, නෙල්ලි ද, අඹ ද, ජම්බු ද, බුළු ද, ඩෙබර ද, බදුළු ද, බෙලි ද, මම තෙමේ ම රැස් කෙරෙමි.
4690. කඳු බෑවුමක වැඩ හුන් ධ්‍යාන කරන්නා වූ ධ්‍යානයෙහි ඇලුනා වූ ආබාධයකින් පෙළෙන්නා වූ (සමාන කොට තැකීමට) දෙවැන්නකු නැත්තා වූ බුදුරජුන් දැක,
4691. මම අරළු ගෙණ බුදුරජුන් හට දුනිමි. බෙහෙත් කළ කෙණෙහි රෝගය සන්සිඳුනේ ය.
4692. සන්සිඳුනා වූ (කාය) දරථය (ක්ලාන්තය) ඇති බුදුරජ තෙම අනුමෝදනාවක් කළේය: “මෙම බෙහෙත් දන හේතු කොට ගෙණ ද, රෝගව්‍යුපශමය හේතුකොට ගෙණ ද,
4693. දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අන් ජාතියක උපන්නේ හෝ ඒ සියලු තන්හි සුව ඇත්තෙක් වෙව. තොපට ව්‍යාධියක් නො පැමිණේවා”.
4694. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ සම්බුදුන් වහන්සේ මේ වචන කියා අහසෙහි යන හස්රජකු මෙන් අහසට නැංගේය.
4695. යම් තැනක පටන් සියල්ල තෙමේ ම දත් බුදුරජ හට අරළු දුනිම් ද, (එතැන් පටන්) මේ ජාතිය දක්වා මට ව්‍යාධියෙක් හට නො ගත්තේ ය.
4696. මේ මාගේ (සසරෙහි) අවසානය යි. දැන් අන්තිම භවය පවතී. ත්‍රිවිද්‍යාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4697. මෙයින් අනූවන කපෙහි වූ එකල්හි යම් බෙහෙසත් දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෙහෙත් දනෙහි මේ විපාක යි.
4698. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4699. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4700. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් හරීතකද්‍රයක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
හරීතකදායක ස්ථවිරාවදානය අටවැනියි.
439. අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය
4701. එකල්හි මම රාජවාහන යෝග්‍ය වූ උඩුකුරුව දික් ව වැඩුනු දළ ඇති ඇත් රජෙක් වීමි. මහ වෙනෙහි ඇවිදින්නෙම් ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
4702. මම අඹ ගෙඩියක් ගෙණ ශාස්තෲන් වහන්සේට දුනිමි. මහා වීර වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ එය පිළිගත් සේක.
4703. එකල්හි සර්‍වඥ තෙම මා බලා සිටිය දී එය වැළඳීය. මම විමසුම් නුවණින් එහි සිත පහදවා තුෂිත දිව්‍යලෝකයෙහි උපනිමි.
4704. මම එයින් ච්‍යුත ව සක්විතිරජ වීමි. මේ ක්‍රමයෙන් ම සම්පත් අනුභව කොට,
4705. වඩනා ලද වීර්‍ය්‍යය ඇති මම උපශාන්ත වූයෙමි. උපධි රහිත වූයෙමි. සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන ආස්‍රව රහිත ව වෙසෙමි.
4706. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
4707. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4708. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4709. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් අම්බපිණ්ඩිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය නව වැනියි.
440. ජමබුඵලිය ස්ථවිරාවදානය
4710. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති පිඬුපිණිස හැසිරෙන්නා වූ උතුම් යශස්ධර වූ පදුමුත්තර බුදුරජුන් හට,
4711. මම අග්‍ර වූ (-පළමුවෙන් හැදුනු) දඹ ඵලයක් ගෙණ පහන් සිතින් දක්‍ෂිණාර්‍හ වූ වීර වූ ශාස්තෲන් වහන්සේට දුනිමි.
4712. ලෝකජ්‍යේෂ්ඨ නරශ්‍රේෂ්ඨ ද්විපදෝත්තමයන් වහන්ස, මම ඒ කර්‍මය හේතුකොටගෙන ජය පරාජය හැර අචලස්ථානය වූ නිවනට පැමිණියෙම් වෙමි.
4713. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි වූ යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අග්‍රඵල දානයාගේ මේ විපාක යි.
4714. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4715. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4716. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ජමබුඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ජමබුඵලිය ස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
ඒකවිහාරී සඞ්ඛිය පාටිහීරක ථවික උච්ඡුඛණ්ඩි කලම්ඛ අම්බාටක ද, හරීතක අම්බපිණ්ඩි ජම්බුද දැයි දසයෙකි. ස අසූගයක් පඬුවන් මෙහි ගිණූ.
ඒකවිහාරීවර්‍ගය සූසාළිස් වැනියි.
45. විභීටක වර්‍ගය
441. විභීටකමිඤ්ජය ස්ථවිරාවදානය
4717. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය ඒ කකුසඳ බුදුරජ තෙමේ සමූහයා කෙරෙන් වෙන් වූයේ වනයට වැඩියේ ය.
4718. මම (බුළු) ඇට මද ගෙණ වැලක ඇවිනීමි. භාග්‍යවත් තෙම එසමයෙහි කඳු අතුරෙහි ධ්‍යාන කෙරෙයි.
4719. මම බුදුරජුන් දැක පැහැදි සිතින් වීර වූ දක්‍ෂිණාර්‍හ වූ බුදුරජුන් හට බුළු ඇට මද දුනිමි.
4720. මෙම කපෙහි වූ එකල්හි යම් ඵල දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුළු ඇට මද දීමෙහි මේ විපාකයි.
4721. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4722. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4723. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් විහීටකමිඤ්ජිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
විහීටකමිඤ්ජිය ස්ථවිරාවදානය පළමුවැනියි.
442. කෝලදායක ස්ථවිරාවදානය
4724. එකල්හි අඳුන් දිවිසම් හැඳි මම වැහැරි සිවුරු දැරූයෙම් පිරිකර කද ගෙණ අසපුවට ඩෙබර ගෙණාවෙමී.
4725. එසමයෙහි ශ්‍රේෂ්ඨපුද්ගල වූ අසහාය පුද්ගල වු සිඛී බුදුරජ තෙම ලොව පහළ විය. හැම කල්හි වූ දෑ දන්නා වූ (සර්‍වඥ තෙම) මාගේ අසපුවට එළඹියේ ය.
4726. මම බුදුරජුන් හට වැඳ සිය සිත පහදවා දොහොතින් ඩෙබර (ඵලයක්) ගෙණ දුනිමි.
4727. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් (ඩෙබර) ඵල දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඩෙබරපල දනෙහි මේ විපාකයි.
4728. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4729. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4730. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කෝලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කෝලදායකස්ථවිරාවදානය දෙවැනියි.
443. බිල්ලඵලිය ස්ථවිරාවදානය
4731. මා විසින් චන්‍ද්‍රභාගා නදීතීරයෙහි බෙලිගසින් ගැවසුනු නා නා වෘක්‍ෂයන්ගෙන් සෙව්නා ලද අසපුවක් මනාකොට කරණ ලදි.
4732. සුවඳැති බෙලි පලයක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි. සතුටු වූයෙම් (ප්‍රීතියෙන්) ඉපිළැ ගිය සිතැත්තේ කදක් බර පුරවා ගෙණ,
4733. කකුසඳ බුදුරදුන් වෙත එළඹ මම පුණ්‍යක්‍ෂේත්‍ර වූ වීර වූ උන්වහන්සේට පැහැදි සිතින් ඉදුනු බෙලිගෙඩිය දුනුමි.
4734. මෙම කල්පයෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකයි.
4735. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇතිරජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4736. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4737. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් බිල්ලඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බිල්ලඵලිය ස්ථවිරාවදානය තෙවැනියි.
444. භල්ලාතදායක ස්ථවිරාදානය
4738. මහ වනහිසින් වඩනා වූ උතුම් වූ දෙතිසමහපුරිස්ලකුණු ඇති පිපුණු සල්රුකක් බඳු ස්වර්‍ණවර්‍ණ වූ (බුදුරජුන් දුටිමි.)
4739. මම තණඇතිරියක් පනවා බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට අයැදුම් කෙළෙමි: “බුදුරජ තෙම මට අනුකම්පා කෙරේවා. භික්‍ෂාව දෙන්නට කැමැත්තෙමි” යි.
4740. (ලොවට) අනුකම්පා කරන්නා වූ කාරුණික වූ මහත් යශස් ඇති අත්‍ථදස්සී බුදුරජ තෙම මා අදහස දැන මාගේ අසපුවෙහි බැස්සේ ය.
4741. බුදුරජ තෙම (අහසින්) බැස පන්ඇතිරියෙහි වැඩහුන්නේ ය. මම බදුළු (ගෙඩි) ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
4742. එකල්හි මා (වළඳත් දෝ හෝ නො වළඳත් දෝ හෝ යි) සිතමින් සිටිය දී සර්‍වඥ තෙම එය වැළඳී ය. එහි සිත පහදවා එකල බුදුරජුන් වැන්දෙමි.
4743. එකල්හි අටළොස් සියවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකයි.
4744. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආනාස්‍රව ව වෙසෙමි.
4745. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4746. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් භල්ලාතකදායක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
භල්ලාතදායක ස්ථවිරාවදානය සිවුවැනියි.
445. උත්තලිපුප්ඵිය ස්ථවිරාවදානය
4747. මැනවින් වැඩුනු නිල්පැහැ ඇති නාගබෝධිවෘක්‍ෂයෙහි උත්තලි පුෂ්පදාමයක් ගෙණ පිදීමි.
4748. මෙම කල්පයෙහි ම යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
4749. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4750. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4751. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් උත්තලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උත්තලිපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනියි.
446. අම්බාටකිය ස්ථවිරාවදානය
4752. වෙස්සභූ බුදුරජ තෙම මැනවින් පිපී ගිය සල්වනයකට පිවිස ගිරිදුර්‍ගයන් හි විශිෂ්ටජන්ම ඇති සිංහරාජයකු මෙන් වැඩහුන්නේ ය.
4753. පුණ්‍යක්‍ෂේත්‍ර වූ මහාවීර (උන්වහන්සේ දැක) පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සියතින් ඇඹරැල්ල පිදීමි.
4754. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
4755. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4756. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4757. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් අම්බාටකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බාටකියස්ථවිරාවදානය සවැනියි.