Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 6001-6100 න් 9627

සෝවණ්ණකිඞ්කණිය ස්ථවිරාවදානය නවවැනි යි.
430. සොණ්ණකොන්තරික ස්ථවිරාවදානය
4617. සම්භාවනීය වූ, ආත්මය (-සිත) දමනය කළා වූ, සන්හුන් වූ, ශ්‍රේෂ්ඨ ප්‍රතිපද්‍රමාර්‍ගයෙහි ගමන් කරන්නා වූ චිත්තව්‍යූපශමයෙහි ඇළුනා වූ, සියල්ල අවබෝධ කළා වූ-
4618. තරණය කරණ ලද චතුරෝඝ ඇති ධ්‍යාන කරන්නා වූ, ධ්‍යානයෙහි ඇළුනා වූ, මෝනෙය්‍ය ගුණයන්ගෙන් යුතු වූ, වැඩහුන්නා වූ සමාධියට සමවැදුනා වූ උපුල් පෙති පැහැ ඇති, සම්බුදුරජුන් (දුටිමි.)
4619. දැක ලබුකැටයකින් දිය ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. බුදුරජුන්ගේ සිරිපා දොවා මම ලබුකැටය දුනිමි.
4620. පදුමුත්තර බුදු රජ තෙමේ “මෙම ලබුකබලින් දිය ගෙනවුත් මාගේ පාමුල තබව” යි අණ කෙළේය.
4621. මම බුද්ධගෞරවයෙන් “යහපතැ” යි පිළිවදන් දී ලබුකබලින් දිය ගෙනවුත් බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත එළවීමි.
4622. මහාවීර වූ බුදුරජ තෙමේ “මේ ලබුකැටය දීමෙන් තාගේ අදහස් සමෘද්ධ වේ වා” යි මාගේ සිත නිවමින් අනුමෝදනා කෙළේ ය.
4623. මම පසළොස් කපෙක් හි දෙව්ලොව සිත් අලවා විසීමි. එසේ ම තිස් වරක් සක්විති රජ වීමි.
4624. දවල්හි හෝ රැයෙහි හෝ සක්මන් කරන්නා වූ ද, සිටිනා වූ ද, මාගේ ඉදිරියෙහි රන්කෙඬියක් ගෙණ (-කිසිවෙක්) සිටි.
4625. බුදුරජුන්හට ලබුකබලක් පුදා රන්කෙඬියක් ලබමි. තාදීගුණ ඇති උතුමන් කෙරෙහි ස්වල්ප වශයෙන් කරණ ලද පින ද මහත්ඵල වේ.
4626. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි යම් ලබු දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ලබු දනෙහි මේ විපාක යි.
4627. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4628. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4629. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් සොණ්ණකොන්තරික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සොණ්ණකොන්තරික ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
සකිංසම්මජ්ජක ඒකදුස්සී එකාසනී කදම්බකොරණ්ඩක ද ඝතමණ්ඩ සවණික ද සුචින්තිතකිඞ්කිණික සොණ්ණකොන්තරිකැයි දස එක්සිය එක්සැත්තෑ ගීයෙන් එය කියන ලදි.
සකිංසම්මජ්ජක වර්‍ගය තෙසාළිස් වැනියි.
44. ඒකවිහාරී වර්‍ගය
431. ඒකවිහාරිය ස්ථවිරාවදානය
4630. මේ මහාහද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ කුලයෙහි උපන් මහා යශස් ඇති, (ඇපි බුදු වම්හයි) කියනුවන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ බුදුහු ලොවැ පහළ වූහ.
4631. (තෘෂ්ණාදි) ප්‍රපඤ්ච රහිත වූ ආලම්බන රහිත වූ ආකාශසම (නොගැටෙන) සිත් ඇති ශුන්‍යතා බහුල කොට ඇති (ලාභාලාභාදියෙහි) තාදීගුණ ඇති අනිමිත්තලක්‍ෂණ නිවනෙහි ඇලුනු වසඟකළ ඉඳුරන් ඇති-
4632. (රාගාදි විසින්) නො ඇලුනු සිත් ඇති කෙලෙස් රහිත වූ කුලයා කෙරෙහි ගණයා කෙරෙහි නො ඇලුනු මහත් කරුණා ඇති වීර වූ (සත්ත්‍වයන්) හික්මවන උපායෙහි නිපුණ වූ-
4633-4634. පරවැඩෙහි උත්සුක වූ දෙවියන් සහිත ලෝකයා හික්මවන ලෝකයා සසරින් එතෙර කරවන යම් බුදු කෙනෙක් මහ පිරිස් මැද වැඩ හුන්නාහු නිවන් ගමනට මාර්‍ගවූ පස්ගති නමැති කලල් වියලවන පරමාස්වාද වූ ජරාමරණ වළහන අමෘතය දැක්වූ සේක් ද,
4635. කොවුලන්ට බඳු නාද ඇති ලෝකනාථ වූ බ්‍රහ්ම ඝෝෂ ඇති තථාගත වූ ඒ බුදුහු (මාර්‍ගදේශක) නායකයෙකු නැති (එහෙයින්ම) නට මාර්‍ග ඇති සත්ත්‍වයන් සංසාර මහාදුර්‍ගයෙන් නගාලමින්-
4636. මාර්‍ග ධර්‍මය දෙසන ලෝකනායක වූ බුදුහු මා විසින් දක්නා ලදහ. ඔබගේ දහම් අසා (මම) ශාසනයෙහි පැවිදි වීමි.
4637. එකල්හි දු මම පැවිදිව ගණ සසගින් පෙළුනෙම් බුදුසසුන් සිතමින් එකලාව ම සිත්කලු වෙනෙහි වාසය කෙළෙමි.
4638. ගණසංසර්‍ගයෙහි බිය දක්නා සුලු වූ මාගේ ස්වකීය කාය විවේකය චිත්තයාගේ විවේකයට මහත් හේතු වූයේ වී.
4639. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4640. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4641. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඒකවිහාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකවිහාරියස්ථවිරාවදානය පළමුවැනියි.
432. ඒකසඞ්ඛිය ස්ථවිරාවදානය
4642. විපස්සී බුදුරජුන්ගේ මහාබෝධියට පූජාවක් විය. මහජනයා රැස්ව උතුම් බෝධියට පූජා කෙරෙත්.
4643. යම් ශාස්තෘවරයකුගේ බෝධිය ද මෙබඳු පූජනීය වස්තුවක් නම්, ඒ උතුමා ලාමක කෙනෙකැයි නො හඟිම්. බුද්ධශ්‍රේෂ්ඨයෙක් වන්නේ ය.
4644. ඉක්බිති සකක් ගෙණ බෝරුක වෙත එළඹියෙමි. මුළු දවසෙහි ම එය පිඹිමින් උතුම් බෝධිය වැන්දෙමි.
4645. මරණාසන්න කල්හි කරණ ලද පුණ්‍යකර්‍මය මා දෙව්ලොවට පැමිණවිය. මාගේ සිරුර මැරී වැටිනි. මම දෙව්ලොව සිත් අලවා වසමි.
4646. තුටුපහටු වූ ප්‍රමුදිත වූ සැටදහසක් තූර්‍ය්‍ය (වාදකයෝ) හැම කල්හි මට උවටැන් කෙරෙත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4647. එක්සැත්තෑවන කපෙහි සිවුමහ දිවයින් හා සිව්සයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සතුරු රජුන් ජයගන්නා සුලු වූ ජම්බුද්වීපයට අධිපති වූ සුදස්සන නම් (සක්විති) රජෙක් වීමි.
4648. එහි සප්තාඞ්ගික තුර්‍ය්‍යයයෝ හැම කල්හි මා පිරිවරත්. ස්වකීය කර්‍මය අනුභව කරමි. (බෝධි) උපස්ථානයාගේ මේ විපාක යි.
4649. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් මවුකුස පිළිසිඳ ගත්තා වූ ද (මට) හැම කල්හි හෙරීහු වයනු ලැබෙත්.
4650. සම්බුදුරජුන් වෙත එළඹ, සම්පත් අනුභව කොට අතිශයින් ක්‍ෂේම වූ ශිව වූ අමෘත වූ අවලපදය වන නිවනට පැමිණියෙම් වෙමි.
4651. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4652. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4653. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4654. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඒකසඞ්ඛිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකසඞ්ඛියස්ථවිරාවදානය දෙවැනියි.
433. පාටිහීරසඤ්ඤක ස්ථවිරාවදානය
4655. එකල්හි ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට යෝග්‍ය වූ පදුමුත්තර නම් බුදුරජ තෙමේ රහතුන් ලක්‍ෂයක් සමග නුවරට පිවිසියේ ය.
4656. තාදීගුණ ඇති උපශාන්ත වූ (උන්වහන්සේ) නගරයට පිවිසෙන කල්හි රත්නයෝ (තුමූ ම) බැබලුනාහු ය. එකෙණෙහි මහත් ඝෝෂාවක් ද විය.
4657. නගරයට පිවිසෙන්නා වූ බුදුරජුන් ඉදිරියෙහි බුද්ධානුභාවයෙන් නො ගටන ලද භේරීහු (තුමූ ම) ශබ්ද වූවාහු ය. වීණාවෝ තුමූ ම වැයෙත්.
4658. මහාමුනි වූ පදුමුත්තර නම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ නො දකිමි. ප්‍රාතිහාර්‍ය්‍යය දැක එහි සිත පැහැද වීමි.
4659. “බුදුරජ තෙම ආශ්චර්‍ය්‍ය ය. ධර්‍මය ආශ්චර්‍ය්‍ය ය. අපගේ ශාස්‍තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය ය. අචේතන වූ තූර්‍ය්‍යයෝ පවා තුමූ ම වැයෙත්.
4660. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි යම් බුද්ධසංඥාවක් ලදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි මේ විපාක යි.
4661. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4662. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4663. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් පාටිහීරසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
පාටිහීරසඤ්ඤක ස්ථවිරාවදානය තෙවැනියි.
434. ඤාණත්‍ථවික ස්ථවිරාවදානය
4664. කිණිහිරි රුකක් මෙන් දිලිසෙන, ප්‍රදීපවෘක්‍ෂයක් මෙන් බබලන ස්වර්‍ණයක් මෙන් රැස් පතුරුවන ද්විපද්‍රෙත්තම වූ බුදුරජුන් දුටිමි.
4665. මම කමඬලාව ද වැහැරිසිවුර ද කෙණ්ඩිය ද තබා අඳුන් දිවිසම එකස් කොට බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ස්තුති කෙළෙමි.
4666. මහාමුනීන් වහන්ස, (ඔබ) මෝහජාලයෙන් අවුල් වූ ගණඳුර නසමින් ඥානාලෝකයා දක්වා (සසර සයුරින්) එතර වූ සේක.
4667. නිරුත්තර වූ තථාගතයන් වහන්ස, සියලු සත්ත්‍වයන් සහිත් මේ ලෝකය (සසරින්) ගොඩ ලනු මැනව. ලෝකය යම්තාක් ද ඒතාක් ඔබවහන්සේගේ නුවණ විෂයෙහි උපමාවෙක් නැත.
4668. ඒ අනුපම ඥානයෙන් සර්‍වඥ වූ සේක් “බුද්ධ” ය යි කියනු ලැබේ. මහාවීරයන් වහන්ස, ආවරණ රහිත වූ ඒ සර්‍වඥතාඥානය වඳිමි.
4669. මම මෙයින් සියදහස් වන කපෙහි බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ස්තුති කෙළෙමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සර්‍වඥතාඥානයට පැසසීමෙහි මේ විපාක යි.
4670. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4671. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4672. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඤාණත්‍ථවික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඤාණත්‍ථවික ස්ථවිරාවදානය සිවුවැනියි.
435. උච්ඡුඛණ්ඩික ස්ථවිරාවදානය
4673. මම බන්‍ධුමතී නගරයෙහි ද්වාරපාලක වීමි. (එකල්හි) නිර්‍මල වූ සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ බුදුරජුන් දිටිමි.
4674. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මහර්ෂි වූ විපස්සී නම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේහට උක් කඩක් ගෙන දුනිමි.
4675. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් උක් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උක්කඩක් දීමේ මේ විපාක යි.
4676. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4677. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4678. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් උච්ජුඛණ්ඩික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උච්ඡුඛණ්ඩිකස්ථවිරාවදානය පස්වැනි යි.
436. කලම්බදායක ස්ථවිරාවදානය
4679. රෝමස නම් (පසේ) බුදුන් වහන්සේ කඳු අතරෙහි වැඩ වසන සේක. පහන් වූයෙම් (මම) උන්වහන්සේට සියතින් විලපලා දුනිමි.
4680. එකල්හි මෙයින් සිවුඅනූවන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. විලපලා දනෙහි මේ විපාක යි.
4681. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4682. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4683. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කලම්බදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කලම්බදායකස්ථවිරාවදානය සවැනියි.
437. අම්බාටකදායක ස්ථවිරාවදානය
4684. මහවනයෙහි දී සියල්ල තෙමේ ම දත් පස් මරුන් දිනූ බුදුරජුන් දැක මම ඇඹරැල්ල (ගෙඩියක්) ගෙණ එම බුදුරජුන් හට දුනිමි.
4685. මෙයින් එක්තිස් වන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
4686. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4687. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4688. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් අම්බාටක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බාටක ස්ථවිරාවදානය සත්වැනියි.