Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 5901-6000 න් 9627

4531. තිස්ස නම් වූ බුදුරජුන් තැබූ පියවර දැක සතුටු වූයෙම් සතුටු සිතින් පිය සටහනෙහි සිත පැහැදවීමි.
4532. මම පිපීගිය කරඬු රුකක් දැක (එයින්) කිණිති සහිත් මල්ගෙණ ශ්‍රේෂ්ඨ පදලස පිදීමි.
4533. මැනැවින් කරණ ලද එම කර්‍මය කරණකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් කරණකොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසාවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4534. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද මම කරඬුමල් පැහැ ඇතියෙම් ම ප්‍රභා සහිතයෙම් වෙමි.
4535. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පදපූජාවෙහි මේ විපාක යි.
4536. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4537. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4538. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කොරණ්ඩපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
කොරණ්ඩපුප්ඵියස්ථවිරාවදානය පස්වැනි යි.
426. ඝතමණ්ඩදායක ස්ථවිරාවදානය
4539. (සිවුසස් දහම් පිළිබඳව) මැනැවින් සිතූ ලෝක ජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වු මහවනයට පිවිසියා වූ වාතාබාධයකින් පෙළුනා වූ බුදුරජුන් දැක සිත පහදවා (ඉතා පිරිසිදු) ගිතෙල් මණ්ඩයක් පිළිගැන්වීමි.
4540. (මෙම පුණ්‍ය කර්‍මය) කරණ ලද බැවින් රැස්කරන ලද බැවින් මේ නාගිරථි නදිය ද සිවුමහ මුහුදු ද මට ගිතෙල් සපයති.
4541. මේ ඝෝර වූ අප්‍රමාණ වූ අසංඛ්‍ය වූ පෘථිවිය ද මාගේ අදහස දැන මීසකුරු බවට පත් වේ.
4542. සිවුමහදිවයිනෙහි පොළොවෙහි වැඩුනු මේ සියලු වෘක්‍ෂ පාදපයෝ (වෙත්ද) එ හැම මාගේ අදහස දැන කල්පවෘක්‍ෂයෝ වෙත්.
4543. මම පණස් වරක් දේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරවීමි. එක් පණස් වරක් සක්විතිරජ වීමි. (ලබන ලද ) මහත් වූ ප්‍රදේශරාජ්‍යය මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
4544. එකල්හි මෙයින් සිවු අනූවන කපෙහි යම් (ගිතෙල්) දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගිතෙල් මණ්ඩදානයාගේ මේ විපාක යි.
4545. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4546. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4547. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඝතමණ්ඩදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඝතමණ්ඩදායක ස්ථවිරාවදානය සවැනි යි.
427. ඒකධම්මසවණිය ස්ථවිරාවදානය
4548. සියලු ධර්‍මයන්හි පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජ තෙමේ සිවුසස් පවසමින් බොහෝ දෙනා (සසරසයුරින්) එතෙර කරවී ය.
4549. එසමයෙහි මම උග්‍රතපස් ඇති ජටාධරයෙක් (තවුසෙක්) වීමි. වැහැරිසිවුරු සලමින් අහසෙහි යමි.
4550. එකල්හි මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ (හිස) මතුයෙහි යන්නට නො සමත් වෙමි. මම ශෛලපර්‍වතයට පැමිණ පක්‍ෂියකු මෙන් ගමන් නො ලබමි.
4551. (පෙර) දියෙහි මෙන් කිමිද මෙසේ අහසෙහි යමි. මාගේ මේ ඉරියාපථ විකෝපනය (ඉරියවු වැරදීම) පෙර නො වූ විරූ ය.
4552. “ඒකාන්තයෙන් මෙය පිරික්සා බලන්නෙමි. අර්‍ත්‍ථයක් ලබන්නෙම් නම් ඉතා යෙහෙකැ” යි (සිතා) අහසින් බසින්නෙම් බුදුරජුන්ගේ ශබ්දය ඇසීමි.
4553. එකල්හි සිත් ඇලවිය යුතු ශ්‍රවණිය වූ මනෝඥ වූ ස්වරයෙන් අනිත්‍යතාව දෙසන්නා වූ (උන්වහන්ස්ගේ) ඒ ධර්‍මය ම උගතිමි.
4554. මම අනිත්‍ය සංඥාව ඉගෙන් මාගේ අසපුවට ගියෙමි. එහි දිවි ඇතිතාක් වැස කලුරිය කළෙම් වෙමි.
4555. අන්තිම අවස්ථාව පවත්නා කල්හි (-මරණාසන්නයෙහි) එම ධර්‍මශ්‍රවණමය පින සිහි කෙළෙමි. මැනැවින් කරණ ලද එම කර්‍මය කරණ කොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
4556. මම කල්ප තිස්දහසක් දෙව්ලොව සිත් අලවා විසීමි. එක් පණස් වරක් දිව්‍ය රාජ්‍යය ද කරවීමි.
4557. මම එක්විසිවරක් සක්විතිරජ වීමි. (ලබන ලද) ප්‍රදේශ රාජ්‍යය මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
4558. මම කුදු මහත් භවයෙහි සුඛිත වූයෙම් ස්වකීය පුණ්‍ය (ඵල) ය අනුභව කෙළෙමි. (එසේ ම) කුදු මහත් භවයෙහි සැරිසරමින් එම (අනිත්‍ය) සංඥාව සිහිකරමි. අච්‍යුත පද සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො පිළිවිදිමි.
4559. පියාගේ ගෘහයෙහි වැඩ හිඳ (වඩන ලද ශ්‍රද්ධා වීර්‍ය්‍ය ආදි ඉන්‍ද්‍රියයන් ඇති බැවින්) භාවිතින්‍ද්‍රිය වූ ශ්‍රමණ (බුදුරජ) තෙම (සිව්සස්) දක්වමින් (දහම්) දෙසන්නේ (සංස්කාරයන්ගේ) අනිත්‍ය බව වදාළේ ය.
4560. “ඒකාන්තයෙන් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ උත්පත්තිය හා විනාශය ස්වභාව කොට ඇත්තාහ. ඇතිව නැති වෙත්. එම සංස්කාරයන්ගේ සන්හිඳීම සුවයෙකි” යි.
4561. ගාථාව ඇසීම හා සමගම පූර්‍ව (අනිත්‍ය) සංඥාව සිහි කෙළෙමි එම අසුනෙහි ම හිඳ රහත් බවට පැමිණියෙමි.
4562. උත්පත්තියෙන් සත්හැවිදිරි කල්හි රහත් බවට පැමිණියෙමි. බුදුරජ තෙම මා උපසපන් කරවීය. ධර්‍මශ්‍රවණයෙහි මේ විපාක යි.
4563. එකල්හි මෙයින් සියක් දහස් වන කපෙහි යම් ධර්‍මයක් ඇසුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධර්‍මශ්‍රවණයාගේ මේ විපාක යි.
4564. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4565. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4566. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඒකධම්මසවණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකධම්මසවණිය ස්ථවිරාවදානය සත්වැනි යි.
428. සුචින්තිත ස්ථවිරාවදානය
4567. එකල්හි මම හංසවතී නගරයෙහි ගොවියෙක් වීමි. කෘෂිකර්‍මයෙන් ජීවත් වෙමි. එයින් අඹුදරුවන් පෝෂණය කරමි.
4568. එකල්හි කෙත මැනැවින් සමෘද්ධ ය. මාගේ ධාන්‍යය ද ඵල දැරිණි. ශස්‍ය පස්නා දවස් පැමිණි කල්හි මම මෙසේ සිතීමි.
4569. “යම් බඳු වූ මම ඉදින් අග්‍රශස්‍යය සඞ්ඝයාට නො දී වළදන්නෙම් නම්, එකල්හි ගුණ-අගුණ දන්නා වූ මා වැනියනට එය නුසුදුසු ය. නො හොබනේ ය.
4570. මේ දෙතිස්මහපුරිස්ලකුණෙන් හෙබි අසමසම බුදුරජ තෙමේ ය. නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝ තෙම එයින් (-එම බුදුරජුන්ගෙන්) ප්‍රභූත වීය.
4571. මම පළමු පළමුව එම සඞ්ඝයා කෙරෙහි නවශස්‍යදානය දෙමි. මම මෙසේ සිතා සතුටු වූයෙම් පිනා ගිය සිත් ඇත්තෙම් ද (වීමි).
4572. කෙතින් ධාන්‍ය ගෙණවුත් බුදුරජුන් වෙත එළඹියෙමි. නරශ්‍රේෂ්ඨ වූ ලෝකජ්‍යේෂ්ඨ වූ සම්බුදුරජුන් වෙත එළඹ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ මෙම වචනය කීමි.
4573. “නවශස්‍යය ද සමෘද්ධ විය. මුනීන්වහන්ස, දක්‍ෂිණාර්‍හයන් වහන්සේ ද ඔබ වෙහි ය. පසැස් ඇත්තානන් වහන්ස, අනුකම්පාව උපදවා මෙය ඉවසා වදාළ මැනව.”
4574. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ මාගේ අදහස දැන මෙම වචනය කීය:
4575. ප්‍රතිපන්නයෝ (මාර්‍ගස්ථ) සිවු දෙනෙකි. (සෝවන් ඈ සිවු) පෙළෙහි සිටියෝ සිවු දෙනෙකි. මේ ප්‍රඥාශීලයෙන් යුත් ඍජු භුත සඞ්ඝයා යි.
4576. පින් කැමැත්තා වූ භවසම්පත් දෙන ඔපධික පුණ්‍යකර්‍ම කරන්නා වූ දන් දෙන මිනිසුන්හට සඞ්ඝයා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වේ.
4577. ඒ සඞ්ඝයා කෙරෙහි පිදිය යුතු වූ නවශස්‍ය ද එසේ ම එයින් අධික් තවත් දැය ද සඟුන් උදෙසා භික්‍ෂූන් සිය ගෙදොරට වැඩමවා (තමන් විසින්) ගෘහයෙහි යමක් පිළියෙළ කරණ ලද නම් එය තෙපි භික්‍ෂුසඞ්ඝයාට දෙව.”
4578. මම සඟුන් උදෙසා භික්‍ෂූන් (සිය) ගෙද්‍රෙරට වැඩමවා මා විසින් ගෘහයෙහි යමක් පිළියෙළ කරණ ලද නම් (එය) භික්‍ෂු සඞ්ඝයාට දුනිමි.
4579. මැනැවින් කරණ ලද එම කර්‍මය හේතුකොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4580. එහි මැනැවින් කරණ ලද මාගේ විමානය ස්වර්‍ණවර්‍ණ ය. ප්‍රභා සහිත ය. සැට යොදුන් උස් ය. තිස්යොදුන් පුළුල් ය.
(එකුන්විසිවැනි බණවර යි.)
4581. මාගේ භවනය ආකීර්‍ණ ය. දිව්‍යස්ත්‍රී සමූහයාගෙන් ගැවසී ගත්තේ ය. මම ඒ තිදසෙහි කා-බී වසමි.
4582. මම තුන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විතිරජ වීමි. (ලබන ලද) ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
4583. කුදුමහත් භවයෙහි සැරිසරන්නෙම් අපමණ ධනය ලබමි. මාගේ භෝගයෙහි අඩු බවෙක් නැත. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4584. හස්තියාන ය, අශ්වයාන ය, සිවිකා ය, පල්ලැක්කි ය, යන මේ සියල්ල ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4585. අභිනව වස්ත්‍ර ද අභිනව ඵල ද අභිනව වූ අග්‍රරසභෝජන ද යන මේ සියල්ල ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4586. කෝසෙය්‍ය ය, කම්බල ය, ඛොම (කොමු) ය, කප්පාසික (-කපු) ය, යන මේ සියලු වස්ත්‍රවිශේෂ ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4587. ද්‍රසී සමූහයා ද, ද්‍රසසමූහයා ද, අබරණින් සරසන ලද ස්ත්‍රීහු ද යන මේ සියල්ල ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4588. මට ශීතය හෝ උෂ්ණය හෝ දැවීමක් හෝ නැත. යලි මාගේ හෘදයයෙහි චෛතසික දුකකුදු නැත.
4589. “මෙය කව, මෙය අනුභව කරව, මෙම සයනයෙහි සැතපෙව” යන මේ (මිහිරි වචන) සියල්ල ම ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4590. මේ මාගේ (භවයෙහි) අවසානය යි. දැන් අන්තිම භවය පවතී. අද පවා මාගේ දේයධර්‍මයෙහි ඵලය හැම කල් මා සතුටු කරයි.
4591. අති උතුම් සඞ්ඝසමූහයා කෙරෙහි නවශස්‍ය දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් අටක් විඳිමි.
4592. මහත් භෝගසම්පත් ඇත්තෙම්, යශස් ඇත්තෙම්, වර්‍ණවත් වූයෙම් වෙමි. හැම කල්හි මහත් වූ පිරිවර ඇත්තෙම් ද, නො බිඳිය හැකි පිරිස් ඇත්තෙම් ද වෙමි.
4593. පෘථිවිය ඇසුරු කළා වූ යමෙක් වෙත් නම් ඒ සියල්ලෝ මට ගරු බුහුමන් කෙරෙත්. යම්කිසි දෙය්‍යධර්‍මකෙනෙක් වෙත් නම් එය ද මම පළමු පළමු ලබමි.
4594. බික්සඟන මැද හෝ බුදුරජුන් හමුවෙහි හෝ දායකයෝ සියල්ලන් ඉක්මවා මට ම දෙති.
4595. උතුම් සඞ්ඝසමූහයා කෙරෙහි පළමු කොට නවශස්‍ය දී මෙම අනුසස් ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4596. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි වූ යම් දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නවශස්‍ය දානයාගේ මේ විපාක යි.
4597. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4598. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4599. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් සුචින්තිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුචින්තිතස්ථවිරාවදානය අටවැනි යි.
429. සෝවණ්ණකිඞ්කණිය ස්ථවිරාවදානය
4600. සැදැහැයෙන් (ගිහිගෙන්) නික්ම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි. තපොකර්‍මයෙහි අපේක්‍ෂිත වූයෙම් වැහැරි සිවුරු දරන්නෙම් වීමි.
4601. එසමයෙහි ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ මහාජනයා (සසර සයුරින්) තරණය කරමින් (ලොව) පහළ විය.
4602. දැඩි ව්‍යාධියකින් මාගේ බලය ද ඒකාන්තයෙන් ක්‍ෂය වීය. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කොට වැලිතෙලෙහි උතුම් සෑයක්-
4603. කොට මම සතුටු සිත් ඇත්තෙම් ඔද වැඩි සිතැත්තෙම් සියතින් රන් කිකිණි මල් විසිර වීමි. (-පිදීමි.)
4604. මම බුදුරජුන් හමුයෙහි මෙන් සෑයට වතාවක් කෙළෙමි. තාදීගුණ ඇති අත්‍ථදස්සී බුදුරජුන්හට කරණ ලද එම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ-
4605. දෙව්ලොව ගියෙම් මහත් වූ සැප ලබමි. එහි ස්වර්‍ණවර්‍ණ වූයෙම් වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4606. මට මනා අබරණින් සරසන ලද ස්ත්‍රීහු අසූකෝටියකි. ඔහු තුමූ හැම කල්හි මට උවටැන් කෙරෙත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4607. ගැටබෙර (ආදි) සැට දහසක් බෙර ද, සඞ්ඛයෝ ද, පණා බෙර ද යන හෙරීහු මනෝඥ ලෙස නාද කෙරෙත්.
4608. සැට වයස් වූ ත්‍රිමදගලිත මාතඞ්ග හස්තිකුලයෙහි උපන් ඇත්තු ද මනා කොට සරසන ලද ඇත්තු ද අසූසාර දහසක් -
4609. රන්දැලින් මලින් ගැවසී ගත්තාහු මට උවටැන් කෙරෙත්. බලසෙනගෙහි ද ඇතුන්ගේ ද අඩුබවෙක් මට නැත.
4610. මම රන්කිකිණි මල් පිදීමෙහි විපාකය විඳිමි. අට පණස් වරක් දිව්‍යරාජ්‍යය කරවීමි.
4611. මම එක්සැත්තෑ වරක් සක්විතිරජ වීමි. මම මේ පෘථිවියෙහි එක්සිය වරක් පෘථිවිරාජ්‍යය ද කරවීමි.
4612. ඒ (මම) දැන් අසංස්කෘත වූ සුදුද්දය (-දැකීම අතිශයින් දුෂ්කර) වූ නිවනට පැමිණියෙම් වෙමි. සියලු සංයෝජනයන් ක්‍ෂය කරණ ලදුයෙම් වෙමි. දැන් නැවත ඉපදීමෙක් නැත.
4613. මෙයින් අටළොස්සියවන කපින් පෙර යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4614. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4615. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4616. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් සෝවණ්ණකිඞ්කණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.