488. කල්ප ලක්‍ෂයකින් මත්තෙහි ඔක්කාක කුලසම්භව වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
489. උන්වහන්සේගේ ඖරසපුත්‍ර වූ ධර්‍මයෙහි හිමිකම් ඇති ධර්‍මයෙන් නිම කළාක් වැනි වූ නමින් උපාලි නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
490. විනයයෙහි කෙළ පැමිණ කටයුතු නො කටයුතු දැනුමෙහි දක්‍ෂ වූයේ බුදුසසුන (=ත්‍රිපිටකධර්‍මය) දරන්නේ ආශ්‍රව රහිත ව වාසය කරන්නේ ය.
491. ශාක්‍යකූලශ්‍රේෂ්ඨ වූ බුදුරජ තෙම මේ සියල්ල දැන බික් සඟන මැද හිඳ මොහු අග්‍රස්ථානයෙහි තබන්නේ ය” (යනුයි).
492. අපමණ කලක පටන් ඔබවහන්සේගේ සසුන (විනය ධාරීන් ගෙන් අග්‍රස්ථානය) පතමි. සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීම වූ ඒ අර්‍ත්‍ථය මා විසින් ලබන ලදි.
493. යම් සේ රජදණ්ඩනයෙන් තැති ගත් පුරුෂ තෙම හුලෙහි ඇමිණුනේ හුලෙහි සැපයක් නොවිඳුනේ (ඉන්) මිදීම ම කැමති වෙයි ද,
494. මහාවීරයන්වහන්ස, මම ද එසේ ම භවදණ්ඩනයෙන් තැතිගත්තෙම් කර්‍මය නැමැති හුලෙහි ඇමිණුනෙම් තෘෂ්ණාවේදනාවෙන් මඩනාලද්දෙම්,
495. (රාග, ද්වේෂ, මෝහ) යන ත්‍රිවිධ අග්නියෙන් දැවෙන්නෙම් භවයෙහි සැපතක් නො විඳිමි. රාජදණ්ඩනයෙන් තැති ගත්තකු මෙන් මිදීම සොයමි.
496. යම්සේ විෂයෙන් (සර්‍පයකු විසින්) ඩහනලද පුරුෂයෙක් විෂයෙන් පෙළුනේ විෂ නසන ආයුෂ රකින බෙහෙතක් හෙතෙම සොයන්නේ ද,
497. (එසේ) සොයමින් විෂ නසන්නා වූ බෙහෙතක් දකින්නේ විෂයෙන් මිදීම පිණිස එය බී සුවපත් වන්නේ ද,
498. එසේ ම මහාවීරයන් වහන්ස, මම විෂයෙන් නටුවා වූ පුරුෂයකු මෙන් අවිද්‍යාවෙන් පෙළුනේ සදහම් බෙහෙත සෙවීමි.
499. දහම්බෙහෙත සොයන්නෙම් සියලු ඖෂධයනට අග්‍ර වූ සියලු (රාගාදි) හුල් දුරු කරන්නා වූ ඒ බුද්ධශාසනය දුටුවෙමි.
500. මම දහම්ඔසුව බී සියලු (සසර) විෂ දුරු කෙළෙමි. අජරාමර වූ සිසිල් වූ නිවණ ප්‍රත්‍යක්‍ෂ කෙළෙමි.
501. යම් සේ භූතයකු විසින් පෙළනලද පුරුෂයෙක් තෙම භූතග්‍රහණයෙන් පීඩිත වූයේ භූතයාගෙන් මිදීම පිණිස භූතවෛද්‍යයකු සොයන්නේ ද,
502. සොයමින් භූත විද්‍යාවෙහි දක්‍ෂයකු දකින්නේ ය. ඒ වෙද තෙම ඔහුගේ භූතයා නසන්නේ ය. සහමුලින් ම වනසන්නේ ය.
503. මහාවීරයන් වහන්ස, එසේ ම මම ක්ලේශාන්‍ධකාරයෙන් පෙළුනෙම් (එම) අඳුරින් මිදීම පිණිස ඤාණාලොකය (ප්‍රඥාව) සොයමි.
504. ඉක්බිති කෙලෙස්අඳුර දුරු කරන්නා වූ ශාක්‍යමුනීන් වහන්සේ දුටුවෙමි. උන්වහන්සේ භූතවෛද්‍යයකු භූතාවේශය දුරු කරන්නාක් මෙන් මාගේ ක්ලේශාන්‍ධකාරය දුරු කළසේක.
505. භූතවෛද්‍යයකු (භූතාවේශය) මෙන් සසර සැඩපහර සින්දෙමි. තෘෂ්ණාශ්‍රොතස වැළැක්වීමි. සියලු භවය මුලින් ම නැසීමි.
506. යම් සේ ගුරුළෙක් තෙම තමාගේ ගොදුර වූ නාගයා වෙත වේගයෙන් බසී ද, මහසමුදුර හාත්පස යොදුන් සියයක් කළඹා ද,
507. ඒ ගුරුළු තෙමේ හිස යටිකුරු කොට නාගයා ගෙණ පෙළන්නේ කැමැති තැනකට ගෙණයේ ද,
508. මහාවීරයන් වහන්ස, එසේ ම මම ගුරුළා බිලි සොයන්නාක් මෙන් අසංස්කෘත සඞ්ඛ්‍යාත නිර්‍වාණය සොයන්නෙම් (ක්ලේශ) දොස් (සමුච්ඡේද වශයෙන්) මම සෝදා හැරීමි.
509. නිරුත්තරශාන්තපදය වූ උතුම් නිර්‍වාණධර්‍මය දක්නාලද මම ගුරුළා නාගයකු මෙන් මෙය (=ධර්‍මය) ගෙණ වෙසෙමි.
510. චිත්‍රලතාවනයෙහි හටගත්තා වූ (දෙවියන් ආසා කරණ හෙයින්) ආසාවතී නම් වූ වැලක් වෙයි. ඒ වැලේ හවුරුදු දහසකින් එක මලක්{*} හටගනී.
511. එතෙක් දිගු කලක් ගොස් මල ඇති වූ කල්හි ඒ වැල දෙවියෝ ඇසුරු කෙරෙත්. ඒ ආසාවතී නම් උතුම් ලතාව මෙසේ දෙවියනට ප්‍රිය වන්නී ය.
512. කලාප ලක්‍ෂයක පටන් මම ඒ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමි. උදේ සවස නමදිමි. දෙවියන් ආසාවතී ලතාව ඇසුරු කරන්නාක් මෙනි.
513. පාරිචරියාව (බුදුරජාණන් වහන්සේට වත්පිළිවෙත් කිරීම) නො වඳ ය. නමස්කාරය නො සිස් ය. සසර බොහෝ දුර සිට ආවා වූ මට ඇති වූ මේ බුද්ධෝත්පාදක්‍ෂණය මා ඉක්මවා නො ගියේ ය.
514. මම පරීක්‍ෂා කොට බලන්නෙම් භවයෙහි ප්‍රතිසන්‍ධියක් නො දකිමි. (එසේ ම) මම (ඛන්‍ධ-කිලේස) උපධි විරහිත වූයෙම් (සියලු කෙලෙසුන්ගෙන්) මිදුනෙම් සන්සිඳුනෙම් හැසිරෙමි.
515. පියුම වනාහි යම් සේ හිරුරැසින් පිපේ ද, එසේ ම මහාවීරයන් වහන්ස, මම ද බුදුරැසින් පිපුනෙම් වෙමි.
516. යම් සේ බලාකායෝනියෙහි (=කොක් ජාතියෙහි) හැම කල්හි පිරිමිසත්තු විද්‍යාමාන නො වෙද්ද, ඒ කෙකින්නෝ හැම දා මේඝගර්‍ජනය කරණ කල්හි ගැබ් ගණිත් ද,
517. යම් තාක් කල් වැසි නො වසී ද, (ඒ තාක්) දීර්‍ඝකාලයක් නමුදු කෙකින්නෝ ගැබ් දරත්. යම් කලෙක් හි වැසි වසී ද, එකල්හි (ගැබ්) බරින් මිදෙත්.
518. ධර්‍මය නමැති මෙඝයෙන් ගර්‍ජනය කරන්නා වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධර්‍මමේඝයාගේ ශබ්දය කරණ කොට ගෙණ මම දහම්ගැබ් ගතිමි.
519. කල්ප ලක්‍ෂයක පටන් ම මම (රැස් කළ) පින් නමැති ගැබ් දරමි. ධර්‍ම නමැති මේඝය ගර්‍ජනා නො කරණ කල්හි (එම ගැබ්) බරින් නො මිදෙමි.
520. ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, යම් කලෙක්හි ඔබ රම්‍ය වූ කපිලවත්‍ථු නගරයෙහි ධර්‍මමේඝයෙන් ගර්‍ජනය කළසේක් නම්, මම (ඒ පින් ගැබ්) බරින් මිදුනෙම් වෙමි.
521. (ආත්ම දෘෂ්ටි විරහිත බැවින්) ශුන්‍ය වූ, (ක්ලේශ නිමිති රහිත බැවින්) අනිමිත්ත වූ, (තෘෂ්ණා ප්‍රණිධි රහිත බැවින්) අප්පණිහිත වූ විමෝක්‍ෂ ධර්‍මය ද, චතුර්විධ ශ්‍රාමණ්‍යඵල ද යන මේ සියලු ධර්‍මයන් මම ඉපදවීමි.
දෙවෙනි බණවරයි.
522. පමණ කළ නො හැකි කාලයක පටන් ඔබ වහන්සේගේ සසුන පැතීමි. මා විසින් පැමිණෙනලද එම (ප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථ ඇත්තෙම් පැමිණෙනලද ශාන්තපදය වූ නිවණ ද ඇත්තෙම් වෙමි.
523. (පදුමුත්තර බුදුසසුනෙහි) පාඨික භික්‍ෂුහු මෙන් විනයෙහි තෙර පතුයෙම් වෙමි. මට සමාන අනිකෙක් ද නැත. මම සසුන (ඔවාදසාසනය) දරමි.
524. විනයයෙහි (=භික්‍ෂු භික්‍ෂුණී විභඞ්ග සඞ්ඛ්‍යාත උභතෝවිභඞ්ගයෙහි) ද, ඛන්‍ධකයෙහි (=චුල්ලවග්ග මහාවග්ග දෙක්හි) ද, තික සඞ්සාදිසේසතික පාචිත්තියාදියෙහි ද, පස්වැනි වූ පරිවාරයෙහි ද යන මෙහි (=විනය පිටකයෙහි) අකුරක හෝ ව්‍යඤ්ජනයක හෝ මාගේ සැකයක් නැත.
525. (පාප භික්‍ෂූන්ට) නිග්‍රහ කිරීමෙහි ද, (සාපත්තික) භික්‍ෂූන්ට (පරිවාස දානාදියෙන්) ප්‍රතිකර්‍ම කිරීමෙහි ද, කරුණෙහි හා නො කරුණෙහි ද දක්‍ෂ වූයෙම් (තර්‍ජනීයාදි කර්‍මයන්ගේ පටිප්පස්සද්ධි වශයෙන් සසුනට ඇතුළු කරගන්නා) ඔසාරණයෙහි ද, ඇවතින් නැගිටුවාලන වුට්ඨාපනයෙහි ද යන මේ සියල්ලෙහි පරතෙරට පැමිණියෙම් වෙමි.
526. (උභතෝ විභඞ්ග සඞ්ඛ්‍යාත) විනයයෙහි ද, (චුල්ලවග්ග මහාවග්ග සඞ්ඛ්‍යාත) ඛන්‍ධකයෙහි ද මම සුදුසු පදය බහා (විභඞ්ග ඛන්‍ධක) දෙකින් නිරවුල් කොට (ක්‍රම දක්වා) කෘත්‍ය වශයෙන් (සුදුසු) අදහස් ඇතුළත් කරමි.
527. නිරුක්තියෙහි (=ව්‍යවහාරවචනයන්හි නියම අර්‍ත්‍ථ කීමේ ක්‍රමයෙහි) ඉතා දක්‍ෂ වූයෙම් අභිවෘද්ධිය පරිහානිය යන මේ දෙක්හි ද ඡේක වූයෙම් වෙමි. (ත්‍රිපිටකයෙහි) මා විසින් දැන නො ගන්නාලද්දක් නැත. බුද්ධ ශාසනයෙහි (මම ම) අසහාය වූ අග්‍රවිනයධරයා වෙමි.
528. මම අද ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ සසුනෙහි (විනයවිනිශ්චයදර්‍ශන සඞ්ඛ්‍යාත) රූපදර්‍ශනයෙහි සියලු සැක දුරු කරමි. සියලු කුකුස් සිඳිමි.
529. පෙර පසු පද (එක එක) අකුර, ද, (සිථිල ධනිතාදි) දශවිධ ව්‍යඤ්ජනවිධානය ද, (තෙන සමයෙන යනාදි) නිදානය ද, නිගමනය ද යන මේ සියල්ලෙහි මම දක්‍ෂ වෙමි.
530. යම් සේ බලවත් රජෙක් තෙම සතුරු රජුන්ගේ සෙනඟ පහ කොට සඞ්ග්‍රාමය ජය ගෙණ එහි නුවරක් ඉදි කරන්නේ නම්,
531. පවුර ද දියඅගළ ද ඉන්‍ද්‍රකීලය ද දොරටුව ද විවිධ අටලු ද යන බොහෝ දෙය (මේ) නගරයෙහි කරවන්නේ ය.
532. සිවු මංසන්‍ධි ද ඇතුළු වීථි ද මැනවින් බෙදනලද ආපණ ශාලාවන් ද (එසේ ම) එහි වරද නිවරද විනිශ්චය කරණ අධිකරණ ශාලාව ද කරවන්නේ ය.
533. හෙතෙම පසමිතුරන් නැසීම පිණිස ද දොස් නිදොස් දැන ගැණීම පිණිස ද භට (සේනා) සමූහය රැකීම පිණිස ද සෙන්පතියකු තබයි.
534. හෙතෙම “මාගේ භාණ්ඩයන් විනාශ නො වේවා යි” රාජ භාණ්ඩයන්ගේ ආරක්‍ෂාව පිණිස (ධනය) තැන්පත් කිරීමෙහි දක්‍ෂ වූ පුරුෂයකු භාණ්ඩාගාරක්‍ෂකයා කොට තබයි.
535. යමෙක් රජුට මමත්‍වය කරන්නේ වේ ද, යමෙක් ඒ රජුගේ අභිවෘද්ධිය කැමැති වේ ද, ඒ මිත්‍රයාහට (ධර්‍මානුකූලව ම) පිළිපැදීමට අධිකරණ නායකත්‍වය දෙයි.
536. හෙතෙම (උල්කාපාත දිග්දාහාදි භූතවිකෘතීන් පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා) උත්පාතශාස්ත්‍රයෙහි ද, (මුසිකච්ජින්න =මීයන් කැපීම ආදියෙහි වැඩ අවැඩ දැනගන්නා) නිමිති ශාස්ත්‍රයෙහි ද, (ස්ත්‍රීපුරුෂයන්ගේ අඞ්ගලක්‍ෂණ බලා ජීවිතය පිළිබඳ තොරතුරු පවසන) ලක්‍ෂණශාස්ත්‍ර යෙහි ද දක්‍ෂ වූ (බොහෝ ශිෂ්‍යයනට) වේද හදාරවන්තා වූ (වෙදත්‍රය සඞ්ඛ්‍යාත) මන්ත්‍ර දරන්නා වූ පුරුෂයකු පුරෝහිත තනතුරෙහි තබයි.
537. මේ අඞ්ගයන්ගෙන් යුක්ත වූයේ ක්‍ෂත්‍රියයා ය යි කියනු ලැබේ. (ඒ සේනාවෝ) ස්වකීය ඤාතීන් වූ දුඃඛිතයන් රකින සක්වාලිහිණියා මෙන් හැම කල්හි රජතුමා රකිත්.
538. මහාවීරයන් වහන්ස, එසේ ම ඔබවහන්සේ නසනලද සතුරන් ඇති රජකු මෙන් දෙවියන් සහිත ලෝකයෙහි ධර්‍මරාජ ය යි කියනු ලබන සේක.
539. තීර්‍ත්‍ථකයන් ද සේනා සහිත වූ මාරයා ද නසා ඝනමෝහාන්‍ධකාරය දුරු කොට ධර්‍මනගරය මැවූ සේක.
540. ප්‍රාඥයන් වහන්ස, ඒ ධර්‍මනගරයෙහි ප්‍රාකාරය ශීලය යි. දොර කොටුව ඔබවහන්සේගේ ඥානය යි. ඉන්‍ද්‍රකීලය ඔබවහන්සේගේ ශ්‍රද්ධාව යි. ද්වාරපාලයා නම් සංවරය වෙයි.
541. අටල්ල සතිපට්ඨානය යි. සර්‍වඥයන් වහන්ස, ඇතුළු වීථිය ඔබවහන්සේගේ ප්‍රඥාව යි. සතර මං සන්‍ධිය ඍද්ධිපාදය යි. (මේ ධර්‍මනගරය) සත්තිස්බෝපැකිදහම් නමැති වීථීන්ගෙන් මැනවින් නිර්මිත කරණ ලදී.
542. සූත්‍රය අභිධර්‍මය විනයය යන සියලු නවාඞ්ගබුද්ධවචනය ඔබගේ (නගරයෙහි) ධර්‍මාධිකරණසභාව යි.
543. (අනත්තානුපස්සනාවසයෙන් ලබන ලද) සුඤ්ඤතවිහාරය ද, (අනිච්චානුපස්සනාවසයෙන් ලබන ලද) අනිමිත්ත විහාරය ද, (දුක්බානුපස්සනාවසයෙන් ලබන ලද) අප්පණිහිතවිහාරය ද, (නිශ්චල වූ සතර ශ්‍රාමණ්‍යඵල සඞ්ඛ්‍යාත) අනෙජවිහාරය ද, (සියලු දුක් වැළැක්වීම නම් වූ) නිර්‍වාණය ද යන මොහු ඔබ වහන්සේගේ ධර්‍මකුටීහු වෙති.
544. ප්‍රඥාවෙන් අග්‍රස්ථානයෙහි තබන ලද, වැටහීමෙහි ද දක්‍ෂ වූ, නමින් ශාරීපුත්‍ර වූ (ශ්‍රාවක) තෙමේ ඔබ වහන්සේගේ ධර්‍මසේනාපතියා වෙයි.
545. සර්‍වඥයන් වහන්ස, චුතූප්පාතඤාණයෙහි දක්‍ෂ වූ ඍද්ධියෙහි පරතෙරට පැමිණි නමින් කෝලිත (නම් ශ්‍රාවක) තෙමේ ඔබවහන්සේගේ පෙරෙවියා (=පුරෝහිතයා) වෙයි.
546. මුනීන්‍ද්‍රයන් වහන්ස, පෞරාණිකවංශය දරන්නා වූ උග්‍ර වූ තේජස් ඇති, (ගුණධර්‍මයන්ගෙන්) ලං විය නො හැක්කා වූ ධූතවාදී වූ ධූතගුණයෙන් අග්‍ර වූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඔබ වහන්සේගේ අක්බදස්ස හෙවත් විවාදවිනිශ්චයයෙහි ප්‍රධානයා වේ.
547. බුදුරජානන් වහන්ස, ශාසනයෙහි බහුශ්‍රුත වූ ධර්‍මධර වූ සියලු ධර්‍ම අධ්‍යයනය කරන්නා වූ නමින් ආනන්‍ද (නම් ශ්‍රාවක) තෙමේ ඔබ වහන්සේගේ ධර්‍ම (භාණ්ඩාගාර) ආරක්‍ෂකයා වෙයි.
548. භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ශ්‍රාවකයන් ඉක්මවා මා පමණ කළ සේක. විනයයෙහි විනය දත් නැණවතුන් විසින් ප්‍රකාශ කරණලද දෝෂ විචාරණය මට ම පැවරූසේක.
549. යම් කිසි බුද්ධශ්‍රාවකයෙක් තෙම විනය පිළිබඳ ප්‍රශ්නයක් විචාරා ද, එහි මාගේ විමතියක් නැත. මම ඒ විචාළ අර්‍ත්‍ථය කියමි.
550. බුද්ධක්‍ෂේත්‍රය (=ආඥාක්‍ෂේත්‍රය) යම් පමණ තන්හි පැතිරේ නම්, එපමණ තන්හි ඒ බුදුරජානන් වහන්සේ හැර විනය පිටකයෙහි දක්‍ෂ වූ මා වැනි කෙනෙක් නැත. මට වැඩි කෙනෙක් කොයින් වන්නේ ද?
551. ගෞතම බුදුරජානන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ “(උභතෝ විභඞ්ග සඞ්ඛ්‍යාත) විනයයෙහි ද (චුල්ලවග්ග මහාවග්ග සඞ්ඛ්‍යාත) ඛන්‍ධකයෙහි ද උපාලි භික්‍ෂුහු හා සම කෙනෙක් නැතැ” යි මෙසේ සිංහනාද කරණ සේක.
552-553. බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරණ ලද නවාඞ්ග ශාස්තෘශාසනය යම් තාක් නම් ඒ සියල්ල විනයයෙහි ඇතුළත් ය. විනය මුල් කොට ඇත්තේ ය යි දකින්නා වූ මාගේ පූර්‍වප්‍රාර්‍ත්‍ථනාකර්‍මය ගෞතම නම් වූ ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්සේ සිහි කොට භික්‍ෂුසඞ්ඝයා මැද වැඩ හිඳ මා ඒතදග්‍රස්ථානයෙහි තැබූසේක.
554. කල්පලක්‍ෂයක (පමණ කාලයක) පටන් මේ තනතුර පැතීමි. පැමිණෙනලද එම අර්‍ත්‍ථ ඇත්තෙම් විනයෙහි පරතෙරට පත් වීමි.
555. මම පෙර ශාක්‍යයනට සොම්නස ඇති කරන්නා වූ කපුවෙක් වීමි. ඒ කුලය හැර මහර්ෂී වූ බුදුරජානන් වහන්සේගේ පුත්‍රයෙක් වූයෙම් ශාක්‍යපුත්‍ර වීමි.
556. මෙයින් (=මේ මහාභද්‍රකල්පයෙන්) දෙවෙනි කල්පයෙහි අපමණ තෙද ඇති අනන්ත වූ පිරිවර ඇති මහාධනවත් පෘථිවී පාලක වූ අඤ්ජස නම් රජෙක් වී ය.
557. පරිවාරමදයෙන් ද භෝගමදයෙන් ද ජාතිමදයෙන් ද මත් වූ එම රජුගේ පුත්‍ර වූ චන්‍දන නම් ක්‍ෂත්‍රියකුමාරයෙක් වීමි.
558. හස්තිකුලයෙහි උපන්නා වූ සියලු ඇත්අබරණින් (සැරසුම්) කරණලද්දා වූ ලක්‍ෂයක් (පමණ) ත්‍රිමදගලිත ඇත්තු නිතර මා පිරිවරත්.
559. ස්වකීය භටසේනාවන් විසින් පිරිවරණලද මම උයනට යනු කැමැත්තෙම් එකල්හි සිරික නම් ඇතුපිට නැගී නුවරින් නික්මුනෙමි.
560. පසළොස් චරණධර්‍මයන්ගෙන් යුත් වසනලද (චක්‍ෂුරාදි) දොරටු ඇති මැනවින් රැකි කායචිත්ත ඇති දේවල නම් පසේබුදු රජානන් වහන්සේ මාගේ ඉදිරිපසින් පැමිණි සේක.
561. එකල්හි සිරික නම් හස්තියා යවා බුදුරජානන් වහන්සේ ගැටවීමි. ඉන් හටගත් කෝප ඇති එම ඇත් තෙමේ පිය නූගුළුවයි. (නිශ්චල ව සිටියි.)
562. මම දූෂ්‍ය සිත් ඇති ඇතු දැක බුදුන් කෙරෙහි කෝප කෙළෙමි. බුදුරජානන් වහන්සේ පෙළා මම උයනට ගියෙමි.
563. එහි (ඒ කර්‍මවිපාකයෙන්) හිස ඇවිළ ගත්තකු මෙන් සුවයක් නො විඳිමි. බිළිය ගිලි මසකු මෙන් (පසුතැවිලියෙන්) දැවිල්ලෙන් තැවෙමි.
564. මට සයුර කෙළවර කොට ඇති පෘථිවිය ඇවිළ ගත්තාක් මෙන් විය. (මම) පියාගේ සමීපයට එළඹ මේ වචනය කීමි:
565. ‘කිපුනු සර්‍පයකු මෙන් ද, පැමිණි ගිනිකඳක් මෙන් ද, දළ ඇති මතැතකු මෙන් ද යම් පසේබුදුවරයන් වහන්සේ කෙනෙකුන් ගැටීම් ද,
566. (අනිකකු විසින්) නො ගැටිය හැකි බැවින් ඝෝර වූ උග්‍ර තපස් ඈති පස්මරුන් දිනූ පසේබුදුරජතෙම මා විසින් ගටන ලදී. (ඉන්) අප සියලු දෙනා ම වැනසෙන්නට පෙර ඒ පසේබුදුරජානන් වහන්සේ ක්‍ෂමා කොට ගණිමු.
567. ඉදින් චිත්තදමනය කළ එකඟසිත් ඇති ඒ පසේබුදු රජානන් වහන්සේ ක්‍ෂමා නො කරන්නෙමු නම්, සත් දිනකින් මෙපිට මගේ රට විනාශ වන්නේ ය.
568. සුමෙඛල ය, කෝසිය ය, සිග්ගව ය, සත්තුක ය යන මේ (සිවු) රජවරු ඍෂීන්ට ගටා (=අනදර කොට) ස්වකීය රටවල් සමග දුකට පත් වූහ.
569. කායසංයමයෙන් යුත් බ්‍රහ්මචාරී වූ ඍෂිහු යම් කලෙක්හි කිපෙත් ද, (එකල) සාගර පර්‍වත සහිත වූ දෙවියන් සහිත ලෝකය වනසත්.”
570. තුන් දහසක් යොදුන් තන්හි පුරුෂයන් රැස් කරවීමි. වරද පැවසීම සඳහා පසේබුදුරජානන් වහන්සේ වෙත එළඹියෙමි.
571. තෙත් වූ වස්ත්‍ර ඇති තෙත් වූ කෙස් ඇති සියල්ලෝ ම බඳින ලද ඇඳිලි ඇත්තාහු බුදුරජානන් වහන්සේගේ පාමුල වැටී මේ වචන කීවාහු ය:
572. මහාවීරයානෙනි, සමා වනු මැනවි. ජනසමූහයා එය විශේෂයෙන් ආයාචනය කරයි. පරිළාහය (=දැවිල්ල) දුරු කරණු මැනව. අපගේ රට නො නසනු මැනව.
573. දෙවිමිනිසුන් සහිත වූ ද අසුරයන් හා රාක්‍ෂසයන් සහිත වූ ද සියල්ලෝ හැම කල්හි යකුළින් මාගේ හිස පළන්නාහු ය.”
574. “දියෙහි ගිනි නො සිටී. ගලෙහි බිජුවට පැළ නො වේ. බෙහෙතෙහි කෘමියා නො සිටී. (එසේ ම) බුදුරජුන් කෙරෙහි කෝපය හට නො ගණී.
575. යම් සේ පොළොව නො සෙල්විය හැකි ද, මහසයුර පමණ කළ නො හැකි ද, අහස කෙළවරක් නැත්තේ ද, එසේ ම බුදුවරයෝ නො කැලඹිය හැක්කෝ ය.
576. මහාවීර වූ බුදුවරයෝ හැම කල්හි කමා කළාහු ය. තපස්වීහු කමා කරණ ලද්දෝ ද වෙත්. කමා කළවුන්ගේ ද, කමා කරණු ලැබූවන්ගේ ද (ඡන්‍දාදීන් වූ) එබඳු (අගති) ගමනක් නො වේ.” (නොහොත් කමා කිරීමෙක් නො යෙදේ).
577. එකල්හි පසේබුදු තෙමේ (ඔවුන්ගේ) සන්තාපය දුරු කරමින් මෙය වදාරා මහජනයාගේ ඉදිරියෙහි අහසට නැංගේ ය.
578. ප්‍රාඥයන් වහන්ස, මම ඒ කර්‍මය හේතු කොට ගෙණ පහත් (කරනැවෑමියකු) බවට එළඹියෙම් ඒ කුලය හැරදමා අභයපුරය (=නිවණ)ට පැමිණියෙමි.
579. මහාවීරයන් වහන්ස, එකල්හි දු දැවෙන්නා වූ (වරද වරද ලෙස පිළිගෙණ) මැනවින් සිටියා වූ මා (දැක) සන්තාපය දුරු කෙළේ ය. ඒ බුදුරජානන් වහන්සේ ද ක්‍ෂමා කොට මා වරද ඉවසූසේක.
580. මහාවීරයන් වහන්ස, අදත් (රාග - ද්වේෂ - මෝහ) ත්‍රිවිධාග්නියෙන් දැවෙන්නා වූ මා නිවූ සේක. ඒ ත්‍රිවිධාග්නිය ද සිසිල්බවට පැමිණවූ සේක.
581. යම් බඳු වූ තොපගේ කන් යොමු කිරීමක් ඇත් නම්, (ඒ තෙපි) කියන්නා වූ මාගේ (වචනය) අසවු. නිර්‍වාණපදය මා දක්නා ලද පරිදි තොපට ද කියමි.
582. ශාන්ත වූ සිත් ඇති එකඟ වූ ඒ පසේබුදුරජානන් වහන්සේට අවමන් කොට මම ඒ කර්‍මය හේතුකොට ගෙණ පහත් (කපු) කුලයෙහි උපන්නෙම් වෙමි.
583. තෙපි (මේ බුද්ධොත්පාද) ක්‍ෂණය වරද්දා නො ගණිවු. (බුද්ධොත්පාද) ක්‍ෂණය ඉක්මවූවෝ ශෝක කෙරෙත් ම ය. ස්වකීයාභිවෘදධියෙහි වෑයම් කරවු. තොප විසින් බුද්ධෝත්පාදක්‍ෂණය ලබන ලද්දේ ය.
584. කිසිවෙකුට වමනය ද කිසිවෙකුට විරේචනය ද එසේ ම කිසිවෙකුට හලාහලවිෂය ද ඖෂධ වේ ය යි ඇතැම්හු කියති.
585. මාර්‍ගසමඞ්ගීපුද්ගලයනට වමනය (=සංසාරමොචනය) ද ඵලස්ථයනට විරේචනය (=සංසාරවිරේචනය) ද, ඵල ලබා සිටිනවුනට නිර්‍වාණය ද, (දිව්‍ය මනුෂ්‍ය නිර්‍වාණ සම්පත්) සොයන්නවුනට පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝයා ද ඖෂධ ය යි වදාළසේක.
586. සසුන හා විරුද්ධවූවනට හලාහල ය යි කියනලද කුතුහලය විෂ ය යි (වදාළහ.) ආශීවිෂ දෘෂ්ටවිෂ සර්‍පයා යම් සේ ද එසේ (එය) ඒ පවිටු මිනිසා දවයි.
587. වරක් පානය කළ හලාහලවිෂය ජීවිතය විනාශ කෙරෙයි. (එසේ ම) සසුන හා විරුද්ධ වීමෙන් (ඒ පවිටු මිනිසා) කප් කෙළ ගණන් මුළුල්ලෙහි දැවේ.