4371. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4372. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මේ අයුරින් ආයුෂ්මත් තිණසුලකඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
තිණසූලකඡදනිය ස්ථවිරාවදානය තෙවැනි යි.
414. මධුමංසදායක ස්ථවිරාවදානය
4373. මම බන්‍ධුමතී නගරයෙහි හුරුවැද්දෙක් වීමි. කැවුතු පපුමස් පිස ඒ මසෙහි මීපැණි වත් කෙළෙමි.
4374. මම භික්‍ෂූන් රැස් වන (ශාලාවට) ගොස් එක් පාත්‍රයක් ගතිමි. මම ඒ පාත්‍රය මසින් පුරා භික්‍ෂුසඞ්ඝයාට දුනිමි.
4375. යමෙක් මේ භික්‍ෂුපිරිසෙහි වෘද්ධතර ස්ථවිර වී ද, හේ මට පින් දුන්නේ ය. “පාත්‍රය පුරවා දුන් මේ දනින් මහත් සුව ලබාවා.”
4376. මේ කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ (දිව්‍ය මනුෂ්‍ය) ද්විවිධ සම්පත් අනුභව කොට අන්තිම භවය පවත්නා කල්හි ක්ලේශයන් දවන්නේ ය” (කියායි.)
4377. මම එහි හිත පහදවා තව්තිසාවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. එහි (දිවබොජුන්) අනුභව කොට (දිවපැන්) පානය කොට මහත් වූ සුව ලබමි.
4378. මඩුවෙක්හි හෝ රුක්මුලක හෝ (හිඳ) පූර්‍වකර්‍මය සිහි කෙළෙම් ද, එකෙණෙහි මට ආහාර පාන වැසි වසී.
4379. මේ මාගේ පශ්චිම භවය යි. අන්තිම භවය පවතී. මෙහි දු මට හැම කල්හි ආහාර පාන (වැසි) වසී.
4380. මම ඒ මාංසදානය කරණ කොට ගෙණ භවයෙහි සැරිසරා සියලු ආස්‍රවයන් ප්‍රහාණ කොට ආස්‍රව රහිතව වෙසෙමි.
4381. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මධුදානයාගේ මේ විපාක යි.
4382. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4383. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4384. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මේ අයුරින් ආයුෂ්මත් මධුමංසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
මධුමංසදායක ස්ථවිරාවදානය සිවුවැනි යී.
415. නාගපල්ලවක ස්ථවිරාවදානය
4385. මම බන්‍ධුමතී නගරයෙහි රජඋයනෙහි වෙසෙමි. මාගේ අසපුව සමීපයෙහි ලෝකනායක වූ බුදුරජහු වැඩහුන් සේක.
4386. මම නාදලු ගෙණ බුදුරජුන් පිදීමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් තථාගතයන් වහන්සේට වැන්දෙමි.
4387. මෙයින් එක් අනූවන කපෙහි යම් නාදලු පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යී.
4388. ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4389. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4390. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මේ අයුරින් ආයුෂ්මත් නාගපල්ලවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
නාගපල්ලවක ස්ථවිරාවදානය පස්වැනි යි.
416. ඒකදීපිය ස්ථවිරාවදානය
4391. ලෝකනායක වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි සියලු දිව්‍යමනුෂ්‍යයෝ බුදුරජුන්හට පූජා කෙරෙත්.
4392. සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්ගේ (දේහය) චිතකයට නැගූ කල්හි සියල්ලෝ තමන්ට හැකි පමණින් ශාස්තෲන් වහන්සේගේ චිතකය පුදත්.
4393. මම් ඒ චිතකයට නුදුරෙහි පහනක් දැල්වීමි. මාගේ පහන හිරු උදාවන තුරු ම දැල්වුනේ ය.
4394. මම මැනවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4395. එහි මට කරණ ලද (=මැවුනු) විමානය “එකදීපී” යි කියනු ලැබේ. මාගේ විමනෙහි දස දහසක් ප්‍රදීපයෝ දැල්වෙත්.
4396. හැම කල්හි මාගේ සිරුර උදාවන හිරු මෙන් බබලයි. මාගේ ශරීරප්‍රභා කරණ කොට ගෙණ හැම කල්හි ආලොකය වේ.
4397. මම පවුරු සරස ද, ගල් සරස ද, පර්‍වත ද සම්පූර්‍ණයෙන් විනිවිද සියැසින් හාත්පස යොදුන් සියයක් දකිමි.
4398. මම සත්සැත්තෑ වරක් දෙව්ලොවෙහි සිත් අලවා විසීමි. එක්තිස්වරක් දිව්‍ය රාජ්‍යය කෙළෙමි.
4399. මම අටවිසි වරක් සක්විතිරජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි යි.
4400. දෙව්ලොවින් චුතව මවුකුසෙහි උපන්මි. මවුකුසට පැමිණියාවූ ද මාගේ ඇස් නො පිය වේ. (=ඇසිපිය නො වැටේ.)
4401. උත්පත්තියෙන් සිවුවස් වූ මම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි. (පැවිදිව) අඩ මසක් පිරෙන්නට පෙර රහත්බවට පැමිණියෙමි.
4402. දිවැස පිරිසිදු කෙළෙමි. සියලු භවයෝ නසන ලදහ. සියලු ක්ලේශයෝ සිඳින ලදහ. එක පහනක් පිදීමෙහි මේ විපාක යි.
4403. පවුරු සරස ද ගල් සරස ද හුදු පර්‍වතය ද, විනිවිද දකිමි. එක පහනක් පිදීමෙහි මේ විපාක යි.
4404. මට විෂමස්ථානයෝ සම වෙති. අඳුරක් නො මැත. මම ඝනාන්‍ධකාරයක් නො දකිමි. එක පහනක් පිදීමෙහි මේ විපාක යි.
4405. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් පහනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ප්‍රදීපදානයාගේ මේ විපාක යි.
4406. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි.
4407. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4408. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මේ අයුරින් ආයුෂ්මත් ඒකදීපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ඒකදීපිය ස්ථවිරාවදානය සවැනි යි.
417. උච්ඡඞ්ගපුප්ඵිය ස්ථවිරාවදානය
4409. මම එකල්හි බන්‍ධුමතී නගරයෙහි මල්කරුවෙක් විමි. මල් උකුළක් (ඔඩොක්කුවක්) පුරවාගෙණ ඇතුළු වීථියට ගියෙමි.
4410. එසමයෙහි ලෝකනායක වූ භාග්‍යවත් තෙමේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලදුයේ මහත් වූ අනුභාවයෙන් මාර්‍ගයෙහි වඩියි.
4411. ලොව බබුළුවන්නා වූ ලෝවැස්සන් සසරින් එතෙර කරන්නා වූ විපස්සී බුදුරජුන් දැක ඔඩොක්කුවෙන් මල් ගෙණ පිදීමි.
4412. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4413. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් පුනර්‍භවයෙක් නැත.
4414. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4415. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මේ අයුරින් ආයුෂ්මත් උච්ඡඞ්ගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
උච්ඡඞ්ගපුප්ඵිය ස්ථවිරාවදානය සත්වැනි යි.
418. යාගුදායක ස්ථවිරාවදානය
4416. එකල්හි මම මාර්ගෝපකරණ ද ගෙණ ගමකට ගියෙමි. පිරී ගිය නදිය දැක සඞ්ඝාරාමයකට එළඹියෙමි.
4417. ආරණ්‍යක වූ ද, ධුතාඞ්ගධාරී වූ ද, ධ්‍යාන කරන්නා වූ ද, රූක්‍ෂචීවර දරන්නා වූ ද, විවේකයෙහි ඇලුණු ඒ ප්‍රාඥයෝ සඞ්ඝාරාමයෙහි වෙසෙත්.
4418. මැනවින් කෙලෙසුන්ගෙන් මිදුනා වූ තාදීගුණ ඇති ඔවුන්ගේ ගමනාගමනය වැළකුනේ ය. (දිය පිරීමෙන්) ඇවිරුනු ගඟ ඇති බැවින් ඔහු පිඬු පිණිස නො යෙත්.
4419. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ප්‍රීතිමත් වූයෙම් බඳැඳිලි ඇත්තෙම් මාගේ සහල් ගෙණ කැඳ දනක් දුනිමි.
4420. මම පහන් සිතැත්තෙම් සියතින් ම පස් නමකට කැඳ දන් දී ස්වකීය කුශලකර්‍මය කරණ කොට ගෙණ පහන් වූයෙමි. (මරණින් මතු) තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4421. මට තව්තිසා දෙව්ලොවෙහි මිණිමුවා විමනක් පහළ විය. ඒ උතුම් විමනෙහි දිව්‍යස්ත්‍රීසමූහයා සහිතව සතුටු වෙමි.
4422. තෙතිස් වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. තිස්වරක් චක්‍රවර්තී ව මහාරාජ්‍යය කරවීමි.
4423. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් ගිණිය නො හේ. මම දෙව්ලොව ද මිනිස්ලොව ද යසස් අනුභව කොට -
4424. පශ්චිම භවය පැමිණි කල්හි අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි. මම හිස කෙහෙ බෑ කෙණෙහි සියල්ල අවබෝධ කෙළෙමි.
4425. සිරුර ඛය - වය වශයෙන් මෙනෙහි කරන්නෙම් සිකපද ගැණීමට පෙරාතුව ම රහත්බවට පැමිණියෙමි.
4426. මා විසින් උතුම් දනක් මැනවින් දෙන ලදී. වෙළෙඳාමක් මොනවට යොදන ලදී. කැඳ දන කරණකොට ගෙණ ම අචලපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.
4427. උපන්නා වූ ශෝකයක් හෝ පරිදේවයක් (=වැලපීමක්) හෝ ව්‍යාධියක් හෝ ක්ලාන්තයක් හෝ චිත්තසන්තාපයක් නො දනිමි. කැඳ දනෙහි මේ විපාක යි.
4428. නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝයාට කැඳ දන් දී අනුසස් පසක් ලබමි. කැඳ දන මැනවින් දෙන ලදි. ආශ්චර්‍ය්‍යයෙකි.
4429. මාගේ ලෙඩ නැති බව, රූමත් බව, වහා දහම් පිළිවිදුනා බව, ආහාරපාන (සුලභ ව) ලබන බව හා පස්වැනි අනුසස දීර්‍ඝායුෂ්ක බව ද වෙයි.
4430. යමෙක් සතුට උපදවමින් සඞ්ඝයා කෙරෙහි කැඳ දෙන්නේ නම් ඒ නැණවත් තෙමේ මේ අනුසස් පස ලබන්නේ ය.
4431. එකල්හි මෙයින් කප්තිස්දහසකට පෙර යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කැඳ දනෙහි මේ විපාක යි.
4432. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4433. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් වීය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4434. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් යාගුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි
යාගුදායක ස්ථවිරාවදානය අටවැනි යි.
419. පත්‍ථොදනදායක ස්ථවිරාවදානය
4435. පෙර මම නිතර වනකම් කරණ වනයෙහි හැසිරෙන්නෙක් වීමි. (සහල්) පතක බතක් ගෙන කර්‍මාන්තයට ගියෙමි.
4436. එහි දී සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ සම්බුදු රජුන් දිටිමි. වනයෙන් පිඬු පිණිස නික්මෙන්නා වූ (උන්වහන්සේ) දැක සිත පැහැදැවීමි.
4437. අනුන්ගේ බැළමෙහෙ කිරීමෙහි යෙදුනා වූ මට පිනක් ද නැත. මේ බත්පතක් ඇත. මෙය මම බුදුරජුන් වළඳවන්නෙමි.
4438. එකල්හි මම බත්පත ගෙණ බුදුරජුන්හට දුනිමි. මා සිතමින් බලා සිටියදී ම තථාගතයන් වහන්සේ වැළඳු සේක.
4439. මම මැනවින් කරණ ලද එම කර්‍මය හා චිත්තප්‍රණිධීන් කරණ කොට ගෙණ මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4440. සතිස්වරක් ශක්‍රදේවේන්‍ද්‍ර වූයෙම් දිව්‍යරාජ්‍යය කරවීමි. තෙතිස් වරක් සක්විති රජ වීමි.
4441. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් ගිණිය නො හෙයි. සුව ඇත්තෙම් යශස් ඇත්තෙම් ද වෙමි. පතක් පමණ බත් දන් දීමෙහි මේ විපාක යි.
4442. කුදුමහත් භවයෙහි සැරිසරමින් අපමණ ධනය ලබමි. මාගේ භෝගසම්පත්තියෙහි අඩුබවෙක් නැත. බත්පතක් දීමෙහි මේ විපාක යි.
4443. මට ගඟදියදහර මෙන් භෝගසම්පත්තීහු නිපැදෙත්. පමණ කළ නො හැක්කෙමි. බත්පතක් දීමෙහි මේ විපාක යි.
4444. ‘මෙය කව, මෙය වළඳව, මේ යහන්හි හොව’ යි ඒ පැවරීමෙන් මම සුඛිත වෙමි. බත්පතක් දීමෙහි මේ විපාක යි.
4445. එකල්හි මෙයින් සිවුඅනූවන කප්හි යම් දනක් දුනිම් ද එයින් දුගතියක් නො දනිමි. බත්පතක් දීමෙහි මේ විපාක යි.
4446. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4447. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4448. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් පත්‍ථොදනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
පත්‍ථොදනදායක ස්ථවිරාවදානය නවවැනි යි.
420. මඤ්චදායක ස්ථවිරාවදානය
4449. කාරුණික වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් පිරිනිවි කල්හි දෙවිමිනිසුන් විසින් සත්කාර කරණ ලද (උන්වහන්සේගේ) සසුන පැතිරී යන කල්හි,