4184. නළකාරයෝ ද, (රෙදි වියන) පෙසකාරයෝ ද, (සම් වැඩ කරණ) චම්මකාරයෝ ද, වඩුවෝ ද, කම්මාරයෝ ද, කුම්භකාරයෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.
4185. (මිණිකම් කරණ) මණිකාරයෝ ද, (ලොහො කම් කරණ) ලෝහකාරයෝ ද, (රන් කම් කරණ) සොණ්ණකාරයෝ ද, (රෙදි කම් කරණ) දුස්සිකයෝ ද, (ඊයම් කම් කරණ) තිපුකාරයෝ ද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.
4186. (ඊ කම් කරණ) උසුකාරයෝ ද, (ලියන වඩු කම් කරණ) භමකාරයෝ ද, (රෙදි වියන) පෙසකාරයෝ ද, (සුවඳ සාදන හෝ විකුණන) ගන්‍ධිකයෝ ද, (රෙදි සෝදන පොවන) රජකයෝ ද, (රෙදි මහන) තුණ්ණවායෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.
4187. (තෙල් සාදන හෝ විකුණන) තෙලිකයෝ ද, (දර අදින) කට්ඨහාරයෝ ද, (ජලය අදින) උදකහාරයෝ ද, (පණිවුඩ ගෙන යන) පෙස්සිකයෝ ද, (සූපසාදන) සූපිකයෝ ද, (සූප රකින) සූපරක්ඛයෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.
4188. (දොරටුපාල) දෝවාරිකයෝ ද, බලඇණි රක්නෝ ද, (තුතිපැවසුම් කරණ) වන්‍දිකයෝ ද, (ගැබ්මල ආදිය බැහැර ලන) පුප්ඵඡඩ්ඩකයෝ ද, (ඇතුන් පිට නගින) හත්‍ථාරුහයෝ ද, (ඇතුන් බලන) හත්‍ථිපාලයෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.
4189. ප්‍රමාදී වූ ආනන්‍ද මහරජුට මම ධනය දුනිමි. මම සත්රුවනින් ඔහුගේ අඩුබැව් පුරවමි.
4190. මා විසින් මෙහි පවසන ලද ඒ සියල්ලෝ නා නා ජාතිවලට අයත් බොහෝ දෙන වෙති. මම ඔවුන්ගේ සිත් දැන රුවනින් සන්තර්‍පණය කෙළෙමි.
4191. මිහිරිවදන් කියන කල්හි බෙර වයන කල්හි සක් පිඹින කල්හි මම ස්වකීය ගෘහයෙහි සිත් අලවා වෙසෙමි.
4192-4193. එසමයෙහි භාග්‍යවත් වූ ඒ පදුමුත්තර බුදුරජ තෙමේ ක්‍ෂය කළ ආස්‍රවයන් ඇති රහත් භික්‍ෂූන් ලක්‍ෂයක් සමග වීථියට පිළිපන්නේ ය. පසැස් ඇති සර්‍වඥ තෙම සියලු දිගුන් ආලෝකවත් කරමින් ප්‍රදීප වෘක්‍ෂයක් මෙන් බබළයි.
4194. බුදුරජුන් වඩින කල්හි සියලු භේරිහු වාදනය වෙත්. උදා වූ හිරු මෙන් උන් වහන්සේගේ රස් විහිදෙයි.
4195. කවුළු අතරින් පිවිසි රසින් ඇතුළු ගෙහි ද එකෙණෙහි මහත් වූ ආලෝකයෙක් විය.
4196. මම බුදුරජුන්ගේ රස් දැක පිරිසට මෙසේ කීමි. (කෙසේ ද යත්?) “නිසැකව බුද්ධශ්‍රේෂ්ඨ තෙම මේ වීථියට එළඹියේ ය” (කියා යි.)
4197. වහා පහයෙන් බැස ඇතුළු වීථියට ආයෙමි. සම්බුදු රජුන් වැඳ මේ වචනය ද කීමි:
4198. “පදුමුත්තර නම් වූ බුදුරජානන් වහන්සේ මට අනුකම්පා කරණ සේක්වා” යනුයි. ඒ බුදුරජතෙම ලක්‍ෂයක් රහතුන් සමග ඒ ආරාධනය පිළිගත්තේ ය.
4199. සම්බුදු රජුන් පවරා ස්වකීය ගෘහයට වැඩම කර වීමි. එහි ආහාරපානයෙන් බුදුරජුන් වැළඳවීමි.
4200. වළඳා අවසන් වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ (දැක) සුදුසු කලැයි දැන තාදීගුණ ඇති ඒ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ශතාඞ්ගික තූර්‍ය්‍යයන්ගෙන් උවටැන් කළෙමි.
4201. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම ඇතුළුගෙහි හිඳ මේ ගාථාවන් වදාළේ ය:
4202. “යමෙක් තූර්‍ය්‍යයන්ගෙන් මට උවටැන් කෙළේ ද, මට ආහාර පානයන් දුන්නේ ද, හේ (කවරෙක්දැයි) මම කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.
4203. රැස් කළ සම්පත් අනුභව කරන්නෙක් ව අමුරන් සහිතව බොජුන් සහිතව මේ මිනිස් තෙම සිවුමහදිවයිනෙහි ඒකාතපත්‍ර කොට රාජ්‍යය කරවන්නේ ය.
4204. පන්සිල් සමාදන් ව ඉක්බිති දශකර්‍මපථයන් ද සමාදන් ව පවත්වමින් පිරිස හික්ම වන්නේ ය.
4205. මැනවින් අලඞ්කාර කරණ ලද ස්ත්‍රීහු නිතර තූර්‍ය්‍යයන් ලක්‍ෂයක් වාදනය කරන්නාහු ය.
4206. කල්ප තිස්දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. සූසැට වරක් ශක්‍රදේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
4207. සූසැට වරක් සක්විතිරජ වන්නේ ය. (ලබන) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
4208. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
4209. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යෝනියක උපදින්නේ නම්, අනූන වූ භොග සම්පත් ඇත්තේ ම මිනිසත් බවට පැමිණෙන්නේ ය.
4210. වේද හදාරන්නෙක් ව වේදත්‍රයෙහි පරතෙරට ගියේ උත්තමාර්‍ත්‍ථය වූ (නිවන) සොයමින් මේ පෘථිවියෙහි හැසිරෙන්නේ ය.
4211. කුශලමූලයෙන් මෙහෙයන ලද හෙතෙම පසුව පැවිදි ව ගෞතම බුදුරජුන්ගේ සසුනෙහි සිත් අලවා වසන්නේ ය.
4212. මෙතෙම ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් සතුටු කොට කෙලෙස් දවා රහත් වන්නේ ය.
4213. මහවනයෙහි ව්‍යාඝ්‍රයෙක් මෙන් ද, කේශරසිංහ රාජයකු මෙන් ද, අද ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ සසුනෙහි නිර්භීතව වෙසෙමි.
4214. දෙව්ලොව වුව ද මිනිස් ලොව වුව ද දිළිඳු බැව්හි හෝ දුගතියක හෝ මාගේ ඉපදීමක් නො දකිමි. (බුදුරජුන්ට) උවැටන් කිරීමේ මේ විපාක යි.
4215. සන්හුන් වූයෙම් උපධි රහිත වූයෙම් විවේකයෙහි යෙදුනෙම් වෙමි. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වසමි.
4216. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4217. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන් කරණ ලදී.
4218. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මේ අයුරින් ආයුෂ්මත් ජතුකණ්ණී ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ජතුකණ්ණී ස්ථවිරාවදානය නවවැනි යි.
410. උදේන ස්ථවිරාවදානය
4219. හිමවතට නුදුරෙහි පදුම නම් පර්‍වතයක් විය. එහි මට අසපුවක් මැනැවින් කරණ ලදී. පන්සල ද මැනැවින් නිමවන ලදී.
4220. මනා වූ තොට ඇති, මනෝඥ වූ නදීහු එහි ගලා බසිත්. ඒ නදීහු හැමකල්හි පිරිසිදු දිය ඇත්තාහු ය. සිසිල් දිය ඇත්තාහු ය. සුන්‍දර ද වෙති.
4221. නදීන් හොබවන්නා වූ පාඨින (පෙටියෝ) ද, පාවුස (ලූල්ලු) ද, වලජ (වලයෝ) ද, මුඤ්ජ (මොද්දු) ද, රෝහිත (රෙහෙරු) ද, යන මත්ස්‍යයෝ හැම කල්හි නදියෙහි වසත්.
4222. අඹ දඹ රුක්වලින් වැසී ගිය නදිය ද, එසේ ම ලුණුවරණ තිලක (මදටය), උද්දාලක (ඇසළ), පාටලි (පළොල්) යන වෘක්‍ෂයෝ ද මාගේ අසපුව හොබවත්.
4223. පිපී ගිය අඞ්කෝලක (රුකඟුන) බිම්බිජාල, රත්කරවු, මායාකාරී, මෙකී වෘක්‍ෂයන්ගේ සුවඳින් හමන වාතයෝ මාගේ අසපුව හොබවත්.
4224. මැනැවින් පිපීගිය අතිමුත්ත (යොහොඹු), සත්තලික (සත්පෙති දෑසමන්), නාග (නා), සාල (සල්) යන මොහු දිව සුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
4225. කෝසම්බ (කොසඹ), සලල (හොර), නීප (=කොළොම්), අට්ඨඞ්ග - වෘක්‍ෂයෝ පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
4226. අරළු, නෙල්ලි, අඹ, දඹ, බුළු, ඩෙබර, බදුලු, බෙලි මෙකී ඵලයෝ අසපුවෙහි බොහෝ වෙති.
4227. කලම්බ (කොළොම්), කන්‍දලී (බිම් කෙහෙල්) ද එහි මාගේ අසපුවෙහි පිපෙත්. දිව සුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
4228. අසෝකපිණ්ඩී, චවරී කොසඹ මෙකී වෘක්‍ෂයෝ පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
4229. පුන්නාග (දොඹ), ගිරිපුන්නාග මේ වෘක්‍ෂයෝ එහි පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
4230. නිග්ගුණ්ඩී (සිරිනික), සපු මේ වෘක්‍ෂයෝ පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
4231. අසපුවට නුදුරෙහි පොකුණ සක්වාලිහිණියන් විසින් හඬන ලද ය. හෙල්මැල්ලෙන් නොහොත් දියකන්‍දරයෙන්, විලපලායෙන්, පියුම් උපුල් මලින් ගැවසුනේ ය.
4232. පැහැදි දිය ඇති සිසිල් ජලය ඇති මනා තොට ඇති මනරම්පලිඟු මෙන් පැහැදිලි පුෂ්කරණී තොමෝ මාගේ අසපුව හොබවයි.
4233. එහි රත් පියුම්, හෙළ පියුම්, උපුල් ද පිපෙත්. හෙල්මැලියෙන් ගැවසීගත් ඒ පුෂ්කරණී තොමෝ මාගේ අසපුව හොබවයි.
4234. පාඨීන, පාවුස වලජ, මුඤ්ජ, රෝහිත යන මත්ස්‍යයෝ එහි හැසිරෙමින් මාගේ අසපුව හොබවත්.
4235. කුම්භීල, සුංසුමාර යන චණ්ඩ ජලජ සත්ත්‍වයෝ ද, කැසුබුවෝ, ඔගුහ නම් සත්ත්‍වයෝ, අජගරයෝ ද බොහෝ වූවාහු මාගේ අසපුව හොබවත්.
4236. පරෙවි, රවිහංස, චක්‍රවාක, නදීවර, දින්‍දිහ (කිරලු), සාළික - මේ පක්‍ෂීහු මාගේ අසපුව හොබවත්.
4237. නයිතා, අම්බගන්‍ධි, කේතකී - මෙකී වෘක්‍ෂයෝ පිපී ගියාහු එහි දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
4238. සිංහ, ව්‍යාඝ්‍ර, දිවි, වලස්සු, කොක්නහ, කරබානාවලස්සු මොහු මහවෙනෙහි හැසිරෙන්නාහු මාගේ අසපුව හොබවත්.
4239. අඳුන් දිවිසම් ඈ ජටාහාරයෙන් බර වූ තවුසෝ මහ වෙනෙහි හැසිරෙන්නාහු මාගේ අසපුව හොබවත්.
4240. මේ තවුසෝ අඳුන් දිවිසම් දරන්නෝ ය. ප්‍රාඥයෝ ය. සන්හුන් පැවතුම් ඇත්තෝ ය. අල්පාහාර ඇති ඒ සියල්ලෝ මාගේ අසපුව හොබවත්.
4241. පිරිකර කද ගෙණ වනයට පිවිස මුල් හා ගෙඩි අනුභව කරන්නා වූ ඔහු එකල හැම දා අසපුවෙහි වසත්.
4242. ඔහු දර, පා දෝනා දිය නො ගෙණෙත්. සියල්ලන්ගේ ආනුභාවයෙන් (ඒ දෑ තෙමේ ම) පැමිණෙයි.
4243. අසූහාර දහසක් ඍෂීහු මෙහි රැස් වූහ. මේ සියල්ලෝ ම ධ්‍යාන කරන්නෝ උත්තමාර්‍ත්‍ථය වූ විමුක්තිය සොයන්නෝ ය.
4244. තපස්වී වූ බ්‍රහ්මචාරී වූ අර්‍පණාව්‍රතයෙහි යෙදුනාවූ අහසෙහි හැසිරෙන්නා වූ (ඒ) සියල්ලෝ එකල්හි අසපුවෙහි වෙසෙත්.
4245. එකඟ වූ සන්හුන් පැවතුම් ඇති මොහු පස් දිනකට වරක් රැස් වෙත්. (රැස්ව) ඔවුනොවුනට වැඳ ඒ ඒ දිශාභිමුඛ වූවාහු යෙත්.
4246. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජ තෙම එකෙණෙහි මොහඳුර දුරුකරමින් ලොව පහළ විය.
4247. මාගේ අසපුව සමීපයෙහි මහා ඍද්ධි ඇති යක්‍ෂයෙක් විය. හෙතෙම පදුමුත්තර නම් වූ බුදුරජුන්හට (මෙසේ) ප්‍රශංසා කෙළේ ය:
4248. “නිදුකානෙනි, මේ මහාමුනි වූ පදුමුත්තර නම් බුදුරජ තෙම ලොව පහළ විය. වහා ගොස් ඒ සම්බුදුරජුන් භජනය කරනු මැනව” (කියා යි.)
4249. එකල්හි යක්‍ෂයාගේ වචනය අසා පැහැදි සිතින් අසපුව පිළියෙළ කොට තබා මහවනයෙන් නික්මුනෙමි.
4250. වස්ත්‍රය ගිනි ඇවිළගත් කල්හි මෙන් අසපුවෙන් නික්ම එක් රැයක් (මග) වැස බුදුරජුන් වෙත එළඹියෙමි.
4251. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම සිවුසස් පවසමින් අමෘතපදය දේශනා කෙළේ ය.
4252. මනාව පිපුණු පියුමක් ගෙණ (බුදුරජුන් වෙත) එළඹ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මහර්ෂී වූ සර්‍වඥයන් වහන්සේට පිදීමි.
4253. පදුමුත්තර නම් වූ බුදුරජානන් වහන්සේ පුදා අඳුන් දිවිසම එකස් කොට ලෝකනායක වූ තථාගතයන් හට ස්තූති කෙළෙමි.
4254. යම් සර්‍වඥතාඥානයක් කරණකොට ගෙණ සම්බුදු රජ තෙම ආස්‍රව රහිත ව මෙලොව්හි වැඩ වෙසේ ද, ඒ ඥානය කීර්‍තනය කරන්නෙමි. පවසන්නා වූ මාගේ වචනය අසවු.
4255. (ඔබ) සසර සැඩ පහර කපා සියලු ප්‍රාණීන් (සසරසයුරින්) එතෙර කෙරෙහි ය. ඒ සත්ත්‍වයෝ ඔබවහන්සේගේ ධර්‍මය අසා තෘෂ්ණාව නමැති සැඩ පහර තරණය කෙරෙත්.
4256. ද්විපදෝත්තම වූ බුදුරජානන් වහන්ස, ඔබ සත්ත්‍වයන්හට ශාස්තෘ වන සේක. කොඩියක් ධජයක් යාගස්ථම්භයක් වන සේක. ආරක්‍ෂාව වන සේක.
4257. ලෙව්හි යම්තාක් ගණප්‍රධාන වූවාහු සාර්‍ත්‍ථවාහයෝ ය යි කියනු ලබද්ද, සර්‍වඥයන් වහන්ස, ඔවුනට ඔබ අග්‍ර වන සේක. ඔහු ඔබවහන්සේට ම ඇතුළත් වෙත්.
4258. සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේගේ නුවණ කරණකොට ගෙණ බොහෝ දෙන (සසර සයුරින්) එතෙර කරණ සේක. ඔහු ඔබවහන්සේගේ දර්‍ශනය නිසා දුක් කෙළවර කෙරෙත්.
4259. පසැස් ඇතියානන් වහන්ස, ලෙව්හි මේ යම්කිසි සුගන්‍ධ ජාතයෝ හමත් නම්, මහාමුනීන් වහන්ස, පින්කෙත්හි වූ ඔබගේ ගුණ සුවඳ වැනි අනික් සුවඳෙක් නැත.
4260. පසැස් ඇතියානන් වහන්ස, ඔබ තිරිසන් ගතිය ද, නිරය ද, දුරු කරණ සේක. මහාමුනීන් වහන්ස, ඔබ අසංස්කෘත වූ ශාන්තපදය හෙවත් නිවන දේශනා කරණ සේක. (කියා යි.)
4261. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථා වදාළ සේක:
4262. “යමෙක් තෙම පහන්වූයේ සියතින් මාගේ සර්‍වඥතාඥානය පිදී ද, හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. පවසන්නා වූ මාගේ වචනය අසවු.
4263. (මෙතෙම) කල්ප තිස්දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විති රජ වන්නේ ය” (කියා යි.)
4264. මම මනා ව්‍රත ඇති බුදුරජුන් තුටු කොට උතුම් ලාභයක් ලැබුයෙම් වෙමි. සියලු ආස්‍රවයන් ප්‍රහාණ කොට ආස්‍රව රහිත ව වෙසෙමි.
4265. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4266. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4267. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මේ අයුරින් ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
උදේන ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
මෙත්තෙය්‍ය පුණ්ණකථේර මෙත්තගු ධෝතක සහ, උපසීව නන්‍ද හේමක තෝදෙය්‍ය ජතුකණ්ණී උදේන ද, ගී තෙසිය තෙ අසූවකින් එවග මෙහි කීයේ,
මෙත්තෙය්‍යවර්‍ගය එක්සාළිස්වැනි යි.
42. භද්දාලි වර්‍ගය
411. භද්දාලි ස්ථවිරාවදානය
4268. මෝනෙය්‍යගුණ යුත් අග්‍රකාරුණික වූ ලොකාග්‍ර වූ සුමේධ නම් සර්‍වඥ තෙමේ විවෙක සුව කැමැත්තේ හිමවතට එළඹියේ ය.
4269. පුරුෂෝත්තම වූ සුමේධ නම් ලෝකනායක තෙම හිමවතට පිවිස පලක් බැඳ වැඩ හුන්නේ ය.
4270. ලෝකනායක වූ ඒ සුමේධ බුදුරජ තෙම සමාධියට සමවැදුනේ ය. පුරුෂෝත්තම වූ සර්‍වඥ තෙම රෑ දාවල් සතක් (සතියක්) එසේ වැඩ හුන්නේ ය.
4271. පිරිකර කද ගෙණ මම වනයට පිවිසියෙමි. එහි දී චතුරෝඝයන් තරණය කළා වූ සම්බුදුරජුන් දිටිමි.
4272. මුස්න ගෙණ අසපුව හැමද චතුදණ්ඩය (=එකට බැඳ සාදා ගත් දඬුසතර) සිටුවා එකල්හි මණ්ඩපයක් කෙළෙමි.
4273. මම සල්මල් ගෙණවුත් මඩුව සෙවෙනි කෙළෙමි: පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන් වැන්දෙමි.
4274. මහා ප්‍රාඥ වූ උතුම් නුවණැති යමකුට සුමේධ යයි කියත් ද, ඒ සුමේධ බුදුරජ තෙම භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය.