Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 5401-5500 න් 9627

4084. මහාමුනි වූ ‘පියදස්සී’ බුදුරජුන් ය යි හැඳින සිය සිත පහදවා මේ වචනය කීමි:
4085. අන්‍යයෝ පුටුවෙහි ද පලඟෙහි ද දික්සඟලාහි ද හිඳිත්. සියල්ල දක්නා වූ බුදුරජානන් වහන්ස (ඔබ ද) රුවන් අසුනෙහි හිඳිනු මැනව.
4086. මෙසේ කියා එකෙණෙහි සියල්ල රුවන්මුවා පුටුවක් මවා ඍද්ධියෙන් නිර්මිත වූ ඒ පුටුව පියදස්සී බුදුරජුන්හට දුනිමි.
4087. ඍද්ධියෙන් නිර්මිත කරණ ලද රුවන්පුටුවෙහි වැඩ හුන් (බුදුරජුන්හට) එකෙණෙහි මම කළයක් පමණ වූ ජම්බුඵලයක් දුනිමි.
4088. බුදුරජ තෙම මාගේ සතුට උපදවමින් (එය) වැළඳීය. එකල්හි සිත පහදවා ශාස්තෲන් වහන්සේ වැන්දෙමි.
4089. ලෝකජ්‍යේෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨ වූ රුවන් අසුනෙහි වැඩහුන්නා වූ පියදස්සී භාග්‍යවත් තෙමේ මේ ගාථාවන් වදාළේ ය:
4090. “යමෙක් මට රුවන්මුවා පුටුවක් ද, අමා වැනි (දඹ) ඵලයක් ද දුන්නේ නම් හේ (කවරෙක් දැයි) කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු:
4091. (මෙ තෙම) සත්සැත්තෑ කපක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. පන්සැත්තෑ වරක් සක්විති රජ ද වන්නේ ය.
4092. දේවේන්‍ද්‍රව දෙතිස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. ලබන්නා වූ ප්‍රදේශරාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නො හැකිය.
4093. රන්මුවා වූ ද රිදීමුවා වූ ද පියුම්රාමිණිමුවා වූ ද රුවන්මුවා වූ ද මැනැවින් කළ පර්‍ය්‍යඞ්ක ලබන්නේ ය.
4094. පුණ්‍යකර්‍මය සහ යෙදුනා වූ සක්මන් කරන්නා වූ මේ මිනිසා එකල්හි බොහෝ පර්‍ය්‍යඞ්කයෝ පිරිවරත්.
4095. කූටාගාරයෝ ද, ප්‍රාසාදයෝ ද, මාහැඟි සයනාසනයෝ ද මොහුගේ සිත දැනගෙන මෙන් එකෙණෙහි පහළ වෙත්.
4096-4097. ඇතුන්ගේ පා විදිනා තෝමර හා අකුසු (=හෙන්ඩු) ගත් අත් ඇති ග්‍රාමණීන් (ගම්ප්‍රධානයන්) විසින් නැගුනු සියලු අලඞ්කාරයෙන් සරසන ලද සැටදහසක් ඇත්තු ද හෙම්මුවා පලස් ආදි වූ ආස්තරණ ඇති ඇත්තු ද මොහු පිරිවරත්. රත්නපීඨ දානයාගේ මේ විපාක යි.
4098-4099. කරපාලිකායෙන් උපලක්‍ෂිතව දුනු දරණ ග්‍රාමණීන් (ගම්ප්‍රධානයන්) විසින් නැගුනු ජන්මයෙන් ම ආජානීය වූ ශීඝ්‍රවාහී සෛන්‍ධව වූ සැට දහසක් අශ්වයෝ ද මොහු නිතර පිරිවරත්. රත්නපීඨ දානයාගේ මේ විපාක යි.
4100-4101. දුනු ගත් අත් ඇති, සන්නාහසන්නද්ධ වූ, ග්‍රාමණින් විසින් නැගුනු ඔසවන ලද ධජ ඇති සන්නද්ධ වූ දිවිසමින් වළඳන ලද රථ ද ව්‍යාඝ්‍රසමින් වළඳන ලද රථ දැයි මෙසේ සැට දහසක් රථයෝ මා නිතර පිරිවරත්. රත්නපීඨ දානයාගේ මේ විපාක යි.
4102. දෙවීමට සුදුසු වූ සැටදහසක් දෙන්නු අතිශ්‍රේෂ්ඨ වූ වස්සන් උපදවත්. රත්නපීඨ දානයාගේ මේ විපාක යි.
4103-4104. මැනැවින් අලඞ්කාර කරණ ලද සොළොස් දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු, පළඳින ලද මිණිකොඬොල් ඇත්තාහු, දිග ඇසිපිය ඇත්තාහු, සිනා සහිත වූවාහු, සිහිනිඟ ඇත්තාහු නිරතුරුව ම මොහු පිරිවරන්නාහු ය. රත්නපීඨ දානයාගේ මේ විපාක යි.
4105. මෙයින් අටළොස් සියවන කපෙහි පසැස් ඇත්තා වූ ගෞතම නම් බුදුරජ තෙමේ ගනඳුර නසා ලොව පහළ වන්නේ ය.
4106. උන්වහන්සේගේ දර්‍ශනය නිසා අකිඤ්චනව හෙවත් ධන රැස් කිරීම් නො මැතිව, පැවිදි වන්නේ ය. ශාස්තෲන් වහන්සේ තුටු කොට සසුනෙහි සිත් අලවා වසන්නේ ය.
4107. උන්වහන්සේගේ ධර්‍මය අසා කෙලෙස් නසන්නේ ය. සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය” (කියායි).
4108. යෝගක්‍ෂේම සඞ්ඛ්‍යාත නිවන දක්වා මා උසුලාගෙන යන මාගේ ධුරවාහක ගවයා වීර්‍ය්‍යය යි. මම උත්තමාර්‍ත්‍ථය වූ නිවන පතන්නෙම් සසුනෙහි වෙසෙමි.
4109. මේ මාගේ අවසානය යි. මේ පවත්නේ අන්තිමභවය යි, සියලු ආස්‍රව ක්‍ෂය කරණ ලදි. දැන් නැවත ඉපදීමෙක් නැත.
4110. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4111. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත පැමිණීම ඒකාන්තයෙන් මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4112. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මේ අයුරින් ආයුෂ්මත් හේමක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
හේමක ස්ථවිරාවදානය සත්වැනි යි.
සතළොස් වැනි බණවර යි.
408. තෝදෙය්‍ය ස්ථවිරාවදානය
4113. කේතුමතී නම් උතුම් නගරයෙහි විජය නම් රජෙක් විය. (හෙතෙම) ශූරය. වික්‍රමසම්පන්න ය. එකල්හි හේ (කේතුමතී) පුරයෙහි අධිපති ව විසී ය.
4114. ප්‍රමත්ත වූ ඒ රජුගේ (-දුර්‍වල අවස්ථාව දැන) වනචාරීහු නැගී සිටියහ. සිදුරු සොයන්නෝ ද මුඛරයෝ ද එකල්හි රට නැසූහ.
4115. රජ තෙමේ ප්‍රත්‍යන්තය කුපිත වූ කල්හි භටයන් ද බලසෙනග ද එකල්හි වහා රැස් කර වීය. සතුරාට නිග්‍රහ ද කෙළේ ය.
4116. ඇතරුවෝ ද, බලඇණියෙහි වූවෝ ද, ශූරයෝ ද, පලිහ ගෙණ යුද කරන්නෝ ද, දුනුවායෝ ද, බලවත්හු ද සියල්ලෝ එකල්හි රැස් වූහ.
4117. අරක්කැමියෝ ද, කරනැවෑමියෝ ද, දියවඩන්නෝ ද, මල්කරුවෝ ද, ශූර වූ ජයගන්නා ලද සඞ්ග්‍රාම ඇති සියල්ලෝ එකල්හි රැස් වූහ.
4118. එකල්හි කඩු ගත් ඇත් ඇති පුරුෂයෝ ද, දුනු ගත් ඇත් ඇත්තෝ ද, සන්නාහසන්නද්ධයෝ ද, රෞද්‍ර වූ වැද්දෝ ද යන යුද දිනූ වීරයෝ සියලු දෙන ම රැස් වූහ.
4119. බඳින ලද රන්පොරොදුවලින් අලඞ්කාර කරණ ලද්දා වූ, ත්‍රිමදගලිත ඇත්තු ද, සැටවයස් වූ කුජ්ජරයෝද ද, මේ සියල්ලෝ එකල්හි රැස් වූහ.
4120. යුදබිම ශීත, උෂ්ණ, කුණපහරණාදිය ඉවසන කෘතහස්ත වූ යොධාජීවයෝ (සෙබලු) සියල්ලෝ එකල්හි රැස්වූහ.
4121. සක්හඬ ද, බෙරහඬ ද, කාලම්හඬ ද යන මෙයින් ලොමුදහගන්වමින් ඔහු සියල්ලෝ එකල්හි රැස් වූහ.
4122. ත්‍රිශූලායුධය කුන්තායුධය මන්ත්‍රය යන මොවුන්ගෙන් ද, අයෝමය සැට්ටවලින් හා තෝමරයන්ගෙන් ද යුක්ත ව කොටමින් හෙළමින් සියල්ලෝ එකල්හි රැස් වූහ.
4123. ජය ගත නො හැකි යුද දිනූ ඒ රජ තෙමෙ කවර දඬුවමක් කළයුතුදැයි (නීතීන්) අසා දැන එකල්හි සැට දහසක් ප්‍රාණීන් හුලෙහි තබවා ලී ය.
4124. “අහෝ, රජ තෙම නො දැහැමි ය. නිරයෙහි පැසෙන්නා වූ ඔහුගේ (ඒ දුකෙහි) අවසානය කවරදා වන්නේදැ’ යි මිනිස්සු හඬ නැගූහ.
4125. එකල්හි මම යහනෙහි පෙරළෙමින් නිරයෙහි (මෙන්) සැතපෙමි. දිවා රෑ දෙක්හි නො නිදමි. මා හුලින් (=හුලතබන අයුරින්) තැති ගන්වත්.
4126. ප්‍රමාද කාරණ වූ රාජ්‍යයෙන් ද, වාහනයෙන් ද, බලයෙන් ද කවර ප්‍රයෝජන ද? ඒ සියල්ලෝ මා (නිරයෙන් වළකා) දරන්නට නො පොහොසත් වෙත්. හැම කල්හි මා තැති ගන්වත්.
4127. දරුවන්ගෙන් බිරියන්ගෙන් මුළුරජයෙන් හෝ මට ඇති ප්‍රයෝජනය කිම? මම සුගතිමාර්‍ගය ශුද්ධකෙරෙම් නම් පැවිදි වන්නෙම් නම් ඉතා මැනැවැයි සිතී ය.
4128-4129. ඇතුන්ගේ පා විදින තෝමර හා අකුසු (=හෙන්ඩු) ගත් අත් ඇති ග්‍රාමණීන් (=ගම්ප්‍රධානයන්) විසින් නගිනු ලැබූ සියලු අලඞ්කාරයෙන් සරසන ලද සැටදහසක් ඇතුන් ද හෙම්මුවා පලස් ආදී වූ ආස්තරණ ඇති සඞ්ග්‍රාමාවචර ඇතුන් ද එතන්හි ම අපේක්‍ෂා රහිත ව මම අත හැර ස්වකීය (මිනිසුන් හුල තැබීමේ) පාපකර්‍මයෙන් තැති ගත්තෙම් අනගාරිය සඞ්ඛ්‍යාත සසුනෙහි (පැවිදි වීමට) නික්ම ගියෙමි.
4130-4131. දුනු ගත් අත් ඇති සන්නාහ සන්නද්ධ වූ ග්‍රාමණීන් (=ගම්ප්‍රධානයන්) විසින් නැගුනු ජන්මයෙන් ම ආජානීය වූ ශීඝ්‍රවාහි සෛන්‍ධව වූ සැට දහසක් අශ්වයෝ වෙත් නම් ඒ සියල්ල ද හැර දමා අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි (පැවිදි වීමට) නික්ම ගියෙමි.
4132. ඔසවන ලද ධජ ඇති සන්නද්ධ වූ දිවිසමින් වළඳන ලද රථ ද ව්‍යාඝ්‍රසමින් වළඳන ලද රථදැයි මෙසේ සැටදහසක් රථයෝ වූවාහු ද, ඒ සියල්ල හැර දමා (අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) සසුනෙහි පැවිදි වීමි.
4133. (කිරි වැගිරෙන බැවින් නිතර ම බුරුලුවල) ලොහො බඳුන් දරන සියලු සැටදහසක් දෙන්නු වෙත් ද, ඒ දෙනුන් ද හැර දමා (අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) සසුනෙහි පැවිදි වීමි.
4134-4135. මැනැවින් අලඞ්කාර කරණ ලද සැටදහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු පළඳින ලද මිණිකොඬොල් ඇත්තාහු දිග ඇසිපිය ඇත්තාහු සිනා සහිත වූවාහු සිහිනිඟ ඇත්තාහු (වෙත් ද), හඬන්නා වූ ඒ ස්ත්‍රීන් හැර සසුනෙහි පැවිදි වීමි.
4136. සියල්ලෙන් සම්පූර්‍ණ වූ සැට දහසක් ගම් ද ඒ රාජ්‍යය ද හැරපියා සසුනෙහි පැවිදි වීමි.
4137. මම නගරයෙන් නික්ම හිමවතට එළඹියෙමි. භාගිරථි ගංඉවුරෙහි අසපුවක් කෙළෙමි.
4138. මම පන්සලක් ද කොට ගිනිහල් ගෙයක් ද කෙළෙමි. මම පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තෙම් (කාය ජීවිත නිරපේක්‍ෂක ව) භාවනාවට යොමු කළ සිත් ඇත්තෙමි ඒ අසපුවෙහි වෙසෙමි.
4139. ලියමඩුවෙක්හි හෝ රුක්මුලක හෝ හිස් ගෙයක හෝ ධ්‍යාන කරන්නා වූ මට තැති ගැණීමෙක් නැත. බිය උපදන අරමුණක් නො දකිමි.
4140. අග්‍රකාරුණික වූ මෝනෙය්‍යගුණ යුත් සුමේධ නම් සර්‍වඥ තෙමේ ඤාණාලෝකයෙන් බබළමින් එකෙණෙහි ලොව පහළ විය.
4141. මාගේ අසපුව හාත්පස මහාඍද්ධි ඇති යක්‍ෂයෙක් විය. (හෙ තෙම) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ලොව පහළ වූ කල්හි මට දැන්වීය:
4142. “සුමේධ නම් වූ පසැස් ඇති බුදුරජ තෙම ලොව පහළ විය. හෙතෙම සියලු ජනසමූහයා සසර සයුරින් එතර කරයි. ඔබ ද එතෙර කරවන්නේ ය” (කියා යි.)
4143. යක්‍ෂයාගේ වචනය අසා එකෙණෙහි (ප්‍රීතියෙන්) සැලුනෙම් වීමි. බුදුරජ, බුදුරජ යයි සිතමින් අසපුව පිළියෙල කෙළෙමි.
4144. ගිනි දර බැහැර කොට ඇතිරිලි පිළියෙල කොට තබා අසපුවට වැඳ මම මහවනයෙන් නික්මීමි.
4145. ඒ වනයෙන් සඳුන් ගෙණ ගමින් ගමට ද නගරයෙන් නගරයට ද විනායක වූ බුදුරජුන් සොයමින් (උන්වහන්සේ වෙත) ගියෙමි.
4146. එසමයෙහි ලෝකනායක වූ සුමේධ භාග්‍යවත් තෙමේ චතුස්සත්‍යය දේශනා කරමින් බොහෝ ජන සමූහයාට ධර්‍මාවබෝධය කරවයි.
4147. මම ඇඳිලි බැඳ හිසෙහි සඳුන් (තවරා) සම්බුදුරජුන් වැඳ මේ ගාථාවන් කීමි:
4148. “දෑසමන් පිපෙන කල්හි සමීපයෙහි (=අවට) සුවඳ හමයි. (එසේ ම) වීරයන් වහන්ස, ඔබ ගුණ සුවඳින් සියලු දිගුන් හමවහි ය.
4149. සපු, නා, කෝඹු, වැටකේ, සල් යන මෙකී මල් පිපෙන කල්හි සුළඟ අනුව සුවඳ හමා යෙයි.
4150. (එසේ ම) ඔබ වහන්සේගේ (ගුණ) සුවඳ ආඝ්‍රාණය කොට හිමවතෙහි සිට (මෙහි) ආමි. ලෝකජ්‍යේෂ්ඨයන් වහන්ස, මහත් යසස් ඇත්තානන් වහන්ස, මහාවීරයානන් වහන්ස, ඔබ වහන්සේ පුදමි.
4151. සුමේධ නම් ලෝකනායකයන් උතුම් සඳුනෙන් ආලේප කෙළෙමි. එකෙණෙහි (ඒ බුදුරජ තෙම) සියසිත පහදවා නිශ්ශබ්දව සිටියේ ය.
4152. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සුමේධ නම් භාග්‍යවත් තෙමේ භිෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය:
4153. “යමෙක් මාගේ ගුණ කීර්‍තනය කෙළේ ද, සඳුනෙන් පිදී ද, හේ කවරෙක් දැයි මම ප්‍රකාශ කරන්නෙමි. (එසේ) පවසන්නා වූ මාගේ වචනය අසවු:
4154. (මෙ තෙම) සියල්ලන් විසින් පිළිගතයුතු වචන ඇත්තේ, ශ්‍රේෂ්ඨ වූයේ, ඍජු වූයේ ප්‍රතාපවත් වූයේ වේ. පස්විසි කපක් මුළුල්ලෙහි ප්‍රභා සහිත වූවෙක් වන්නේ ය.
4155. කප් සවිසි සියයක් හෙවත් දෙදහස් හසිය කපක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විති රජ වන්නේ ය.
4156. ශක්‍රදේවේන්‍ද්‍ර ව තෙතිස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (ලබන්නා වූ) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය.
4157. මේ මිනිස් තෙමේ එයින් චුත වූයේ මිනිසත්බවට යන්නේ නම්, (මේ) පුණ්‍යකර්‍මය හා යෙදුනේ බ්‍රාහ්මණයෙක් වන්නේ ය.
4158. වේද හදාරන්නා වූ, මන්ත්‍ර දරන්නා වූ, වේදත්‍රයෙහි පරතෙරට ගියා වූ ලක්‍ෂණත්‍රයකින් යුක්ත වූ බාවරි නම් බමුණෙක් වන්නේය.
4159. (මෙතෙම) ඒ බාවරි බමුණාගේ ශිෂ්‍යයෙක් ව මන්ත්‍රශාස්ත්‍ර යෙහි පරතෙරට ගියේ ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරදුන් වෙත එළඹ-
4160. තියුණු ප්‍රශ්න විචාරා මාර්‍ගය වඩා සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය (කියායි)
4161. මාගේ ත්‍රිවිධාග්නීහු නිවී ගියහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.
4162. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත වූයෙම් වෙසෙමි.
4163. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4164. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මේ අයුරින් ආයුෂ්මත් තෝදෙය්‍ය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
තෝදෙය්‍ය ස්ථවිරාවදානය අටවැනි යි.
409. ජතුකණ්ණි ස්ථවිරාවදානය
4165. මම හංසවතී නගරයෙහි සිටුපුත්‍රයෙක් වීමි. එකල්හි මම (සියලු) කාමගුණයන්හි යෙදුනෙම් පිනායමි.
4166. ගෙවල් ලකුණු දන්නෝ (ප්‍රාසාදතුණක්) ගොඩනැගූහ. ඒ තුන්පහයට නැගී එකල්හි එහි නෘත්‍යයන්ගෙන් ද, ගීතයන්ගෙන් ද පිනායමි.
4167. මට කුළුතාලම් ආදියෙන් යුත් තූර්‍ය්‍යයෝ වයන ලදහ. සියලු ස්ත්‍රීහු නටන්නාහු මාගේ සිත පැහැර ගණිත් ම ය.
4168. පිළී හිස සිසාරන්නෝ ද, අඟුමිටිනැටුම් නටන්නෝ ද, කුදු වූවන් මෙන් නටන්නෝ ද, සිහදෙනකගේ මෙන් මැද පෙදෙස පෙන්වමින් නටන්නෝ ද, උඩට මතුවෙමින් නටන්නෝ ද, උසුළු - විසුළු පාමින් නටන්නෝ ද හැම කල්හි මා පිරිවරත්.
4169. ඝනතාලම්පොට ගසන්නෝ ද, කුම්භථූන නම් එක් මුහුණින් යුත් තූර්‍ය්‍ය විශේෂය වයන්නෝ ද, (රූකඩ) නටවන්නෝ ද, නටන්නෝ ද යන මොහු බොහෝ වෙති. මෙසේ නැටුම් නටවන්නෝ හා නටන්නෝ හැම කල්හි මා පිරිවරත්.
4170. කරණැවෑමියෝ ද, දියවඩන්නෝ ද, අරක්කැමියෝ ද, මල්කරුවෝ ද, මැනැවින් පසැට කෙළින්නෝ ද, පොර බදන්නෝ ද, මුෂ්ටි යුද්ධකරන්නෝ ද යන මෙකී සියල්ලෝ හැම කල්හි ම මා පිරිවරත්.
4171. (ශිල්පයන්හි) හික්මුනා වූ පලපුරුදුකම් ඇති මොවුන් ක්‍රීඩා කරණ කල්හි තව්තිසාවෙහි ශක්‍රයා මෙන් රෑ දාවල් නො දනිමි.
4172. දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නෝ ද, මගියෝ ද, යාචකයෝ ද (තැනක් නියමයක් නො මැතිව) ඇවිදින්නෝ ද යන බොහෝ වූ මොහු නිතර ඉල්ලමින් මාගේ ගෙට පැමිණෙත්.
4173. නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ ශ්‍රමණයෝ ද, බ්‍රාහ්මණයෝ ද, මාගේ පින වැඩි කරන්නාහු මාගේ ගෘහයට පැමිණෙත්.
4174. පටක ය, ලටක ය, පුප්ඵසාටක ය, තෙදණ්ඩික ය, ඒකසිඛ ය, යන සියලු නිගණ්ඨයෝ මාගේ ගෘහයට පැමිණෙත්.
4175. විලුත්තාවී ය, ගෝධම්ම ය, දේවධම්මික ය, රජෝජල්ලධර ය, යන මේ ආජීවකයෝ මාගේ ගෘහයට පැමිණෙත්.
4176. පරිවත්තක ය, සිද්ධිපත්ත ය යන තවුසෝ ද, කොණ්ඩ, පුග්ගණික යන බොහෝ වනචාරීහු ද මාගේ ගෘහයට පැමිණෙත්.
4177. ඔඩ්ඩක ය, දමිළ ය, සාකුල ය, මලයාලක ය, සබර ය, යොනක ය යන මොහු මාගේ ගෘහයට පැමිණෙත්.
4178. අන්‍ධකයෝ ද, මුණ්ඩකයෝ ද, කෝලකයෝ ද, සානුවින්‍දකයෝ ද, ආරාවචීතරාෂ්ට්‍රිකයෝ ද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.
4179. අලසන්‍දකයෝ ද, පල්ලවකයෝ ද, බබ්බරයෝ ද, භග්ගකාරුසයෝ ද, රෝහිතයෝ ද, වෙතපුත්තයෝ ද, මාගේ ගෘහයට පැමිණෙත්.
4180. මාධුරකයෝ ද, කෝසලකයෝ ද, කාසිකයෝ ද, හත්‍ථිපොරිකයෝ ද, ඉසිණ්ඩයෝ ද, මක්කලයෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.
4181. චේලාවකයෝ ද, අරම්මයෝ ද, ඔක්කලයෝ ද, මේඝලයෝ ද, ඛුද්දකයෝ ද, සුද්දකයෝ ද, යන බොහෝ දෙන මාගේ ගෘහයට පැමිණෙත්.
4182. රෝහණයෝ ද, සින්‍ධවයෝ ද, චිතකයෝ ද, ඒකකණ්ණිකයෝ ද, සුරට්ඨයෝ ද, අපරන්තයෝ ද, මාගේ ගෘහයට පැමිණෙත්.
4183. සුප්පාරකයෝ ද, කිකුමාරයෝ ද, මලයයෝ ද, සෝණ්ණභූමිකයෝ ද, වජ්ජීහු ද, තාරාවෝ ද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.