405. උපසීව ස්ථවිරාවදානය
3990. හිමවතට නුදුරෙහි අනෝම නම් පර්‍වතයෙක් විය. මට එහි මැනැවින් කළ අසපුවෙක් විය. මනා කොට කටයුතු නිම වූ පන්සලක් ද විය.
3991. එහි මනා වූ කුඩා තොටු ඇති මනෝඥ වූ නදියක් ගලා බසී. ඒ කුඩා තොටුවල බොහෝ පද්මොත්පලයෝ හට ගනිත්.
3992. පාඨින නම් මත්ස්‍යයෝ (=පෙටියෝ) ද පාවුස නම් මත්ස්‍යයෝ (=ලූල්ලු) ද වලජ නම් මත්ස්‍යයෝ (=වලයෝ) ද මුඤ්ච නම් මත්ස්‍යයෝ (=මොද්දු) ද රෝහිත නම් මත්ස්‍යයෝ (=රෙහෙරු) ද යන මසුන් හා කැසුබුවන්ගෙන් ගැවසීගත්තා වූ නදිය හැමකල්හි ගලා බසී.
3993. එහි තිමීරය, අසෝකය, ඛුද්දමාලක (කුඩාමල් ඇතිගස්) ය පුන්නාග (දොඹය) ගිරිපුන්නාග (කඳුවල වැවෙන දොඹ) ය යන මේ වෘක්‍ෂයෝ පිපී ගියාහු මාගේ අසපුවෙහි සුවඳ පතුරුවත්.
3994. එහි පිපී ගියා වූ කෙලිඳ වෘක්‍ෂයෝ ද බෝලිද්දවනයෝ ද, සාලවෘක්‍ෂයෝ ද, එසේ ම පිපී ගියා වූ සලල (=හොර) වෘක්‍ෂයෝ ද චම්පක (සපු) වෘක්‍ෂයෝ ද එහි බොහෝ වෙති.
3995. පිපී ගියා වූ කුඹුක් ද යොහොඹු ද උක්ගස් ද, පිපී ගියා වූ පියා ගස් ද, මධුගන්‍ධී වෘක්‍ෂයෝ ද මාගේ අසපුවෙහි බොහෝ වෙති.
3996. ඇසළය පළොල් ය සීනිද්දය පුවඟුය රත්කරව්ය යන මෙකී වෘක්‍ෂයන්ගෙන් මාගේ අසපුව හාත්පස අඩයොදුනක් තන්හි වැසී ගියේ ය.
3997. පිපුණා වූ මාතඞ්ගව නම් වෘක්‍ෂයෝ ද, සත්පෙති දෑසමන් ද පළොල් ද නික ද රුකඟුන ද තාලකූට නම් වෘක්‍ෂයෝ ද එහි බොහෝ වූහ.
3998. මාගේ ඒ අසපුවෙහි පිපුණා වූ ගල්මල් ද බොහෝ ය. මේ වෘක්‍ෂයෝ පිපෙන කල්හි බෙහෙවින් හොබිත්. ඒ සුවඳින් මාගේ අසපුව හාත්පස සුවඳ හමයි.
3999. අරළු, නෙල්ලි, අඹ, ජම්බු, බුළු, ඩෙබර, බදුලු, බෙලි, බොරළුදමුණු යන මේ වෘක්‍ෂයන්ගේ ඵල ද,
4000. තිඹිරි, පියල්, වැල්මී, කාසුමාරිය, දෙල්, කොස්, කෙසෙල්, ඩෙබර යන මොවුන්ගේ ඵලයෝ ද එහි බොහෝ වෙති.
4001. ඇඹරැල්ල, වල්ලිකාර ඵලයෝ ද එහි බොහෝ වෙති. ලප්නාරග, සපාරිය මේ වෘක්‍ෂයෝ ද මාගේ අසපුවෙහි පල ගත්තාහු වෙති.
4002. ආලක, ඉසිමුග්ග (=වනමුං), යලි මෝදඵල යන මොහු එහි බොහෝ වෙති. හාත්පස වූ පුලිල දිඹුල් ද යන මේ වෘක්‍ෂයෝ ඵල භරිත වූවාහු ය.
4003. තිප්පිලි, මිරිස්, නුග, දිවුල්, දිඹුල්, කණ්ඩපක්ක, පාරිය මෙකී වෘක්‍ෂයෝ එහි බොහෝ වෙති.
4004. මේ වෘක්‍ෂයෝ ද තවත් බොහෝ වෘක්‍ෂයෝ ද මාගේ අසපුවෙහි පල ගත්තාහු වෙත්. මාගේ අසපුවෙහි බොහෝ මල් ගස් ද, පිපුනාහු වෙත්.
4005. ආලුව, කළම්බ, බීලාලි, තක්කල, ආලක, තාලක, යන අල දෑ ද මා අසපුවෙහි වෙත්.
4006. මාගේ අසපුවට නුදුරෙහි පැහැදි සිසිල් දිය ඇති මනා තොට ඇති සිත්කලු ස්වයංජාත විලෙක් විය.
4007. සුදුනෙළුම් හා රතුනෙළුම් හා උපුල් එහි බොහෝ ය. මදාරා ගස්වලින් වැසී ගිය තඩාගය නොයෙක් සුවඳ හමයි.
4008. පද්මයෝ ගැබ් ගණිති. ඇතැම් පද්මයෝ පිපෙත්. (ඇතැම් පියුම්හි) පිපුනා වූ පත්‍රයෝ වෙත්. පද්ම කර්ණිකාවෝ ද බොහෝ වෙති
4009. නෙළුඹලමලින් මී ද නෙළුඹුදැලින් කිරි හා ගිතෙල් ද වැගිරේ. නොයෙක් සුගන්‍ධ වහනය වූවාහු හාත්පස සුවඳින් යුක්ත ය.
4010. කුමුදු සුවඳ ද අඹමල් සුවඳ ද හමන වාතයෝ විද්‍යමාන වෙති. ස්වයංජාත විල් ඉවුරෙහි පිපුණු වැටකේ ගස් බොහෝ ය.
4011. මැනවින් පිපුනු සුවඳවත් බඳුවද ද, සෙතවාරිපුෂ්පයෝ ද වෙති. කිඹුලෝ ද (සු - සු හඬ නගමින් දිය මතුපිට කටින් දිය බුබුළු නංවන්නා වූ) ගැටකිඹුලෝ ද, ජලජ චණ්ඩ සත්ත්‍වයෝ එහි හටගනිති.
4012-4013. උඩට මතුවී ගොදුරු ඩැහැගන්නෝ ද පිඹුරෝ ද ඒ විලෙහි බොහෝ වෙති. (එය) පෙටියෝ, ලූල්ලු, වලයෝ, මොද්දු, රෙහෙරු, මෙකී මසුන් හා කැසුබුවන්ගෙන් ද ගැවසී ගත්තේ ය. යලි හුණපුපුළන්ගෙන් ද (එ විල) ගහණය. පරෙවියෝ, රවිහංසයෝ, කුකුත්‍ථක නම් පක්‍ෂීහු, නදීවර නම් පක්‍ෂීහු,
4014. කිරළපක්‍ෂීහු සක්වා ලිහිණියෝ, චම්පක පක්‍ෂීහු, (ජීව - ජීව යන අනුකරණයෙන් හඬන) ජීවජීවක පක්‍ෂීහු, ලෙහෙනු, උක්කුස නම් වූ කබරුස්සෝ, සේනක නම් වූ උකුස්සෝ, උද්ධර නම් වූ පක්‍ෂීහු ද එහි බොහෝ වෙති.
4015. කොට්ඨක නම් පක්‍ෂීහු, සුව (=ගිරා) පොතකයෝ, කකුළුවෝ, සෙමරු යන මෙකී සත්ත්‍වයෝ ද එහි බොහෝ වෙති. කාරෙණිය, තිලක යන මොහු ද එ විල ඇසුරු කොට ජීවත් වෙති.
4016. සිංහයෝ, ව්‍යාඝ්‍රයෝ, දිවියෝ, වලස්සු, කොක්නහවෝ, කරබානා වලස්සු, වඳුරෝ ද මාගේ අසපුවෙහි පැණෙත්.
4017. මම ඒ සුවඳ ආඝ්‍රාණය කරමින් ඵලවර්‍ග බුදිමින් සුවඳ දිය පානය කරමින් මාගේ අසපුවෙහි වෙසෙමි.
4018. එණිමෘගයෝ, හූරෝ, පසදමෘගයෝ, (ඔවුනට වඩා කුඩා ස්වරූප ඇති) ඛුද්දරූපකයෝ, අග්ගික, ජෝතික නම් සත්ත්‍වයෝ ද මාගේ අසපුවෙහි වෙසෙත්.
4019. හංසයෝ, කොස්වාලිහිණියෝ, මොණරු, සැළලිහිණියෝ, කොවුලෝ, මඤ්ජරීක නම් සත්ත්‍වයෝ ද, බකමුහුණෝ පොට්ඨසීස නම් පක්‍ෂීහු ද එහි බොහෝ වෙත්.
4020. පිසාචයෝ, අසුරයෝ, කුම්භාණ්ඩයෝ, රකුසෝ ද බොහෝ වෙති. ගුරුළෝ ද සර්‍පයෝ ද මාගේ අසපුවෙහි වෙසෙත්.
4021. මහත් අනුභාව ඇති සන්හුන් සිත් ඇති එකඟ වූ, පැන්කෙන්ඩි දරන්නා වූ අඳුන් දිවිසම් උතුරුසළු කොට හඳින්නා වූ ඒ සියලු ඍෂීහු දළමඬුලු බරින් යුතු වූවාහු මාගේ අසපුවෙහි වෙසෙත්.
4022. වියදඬු පමණ දුර බලන්නා වූ ප්‍රාඥ වූ ශාන්ත පැවතුම් ඇති ලාභ - අලාභ දෙකින් ම සමසේ සතුටු වන්නා වූ (ඍෂීහු) මාගේ අසපුවෙහි වෙසෙත්.
4023. වැහැරි සිවුරු කම්පා කරවමින් අඳුන් දිවිසම් පොළා හරිමින් ස්වකීය ධ්‍යානබලයෙන් ස්ථිරබවට පත් ඔහු හැම කල්හි අහසෙහි යෙති.
4024. ඔහු දිය හෝ දර හෝ ගිනිගානාදඬු හෝ ගෙණ නො එති. ඒ දිය ආදීහු තෙමේ ම ඔවුන් ලඟට පැමිණියාහු වෙති. ප්‍රාතිහාර්‍ය්‍යයාගේ මේ විපාක යි.
4025. ඔහු ලොහො දෙණක් ගෙණ කුඤ්ජර නම් වූ මහාහස්ති රාජයන් මෙන් ද, නිර්භීත කේශරසිංහයන් මෙන් ද වනමැදෙහි වසත්.
4026. (මේ ඍෂීන්ගෙන්) ස්වකීය ධ්‍යානබලයෙහි වශී වූ ඇතැමෙක් අපරගෝයානයට යෙත්. ඇතැමෙක් පූර්‍වවිදේහයට යෙත්. ඇතැමෙක් උතුරුකුරු දිවයිනට යෙත්. ඒ ඒ තැනින් පිඬු ගෙණවුත් සියලු දෙන ම එකතුව වළඳත්.
4027. උග්‍ර වූ තෙද ඇති තාදීගුණ ඇති එසේ අහසින් යන්නා වූ සියලු ඍෂීන්ගේ අඳුන් දිවිසම් හඬින් එකල්හි වනය හඬ නගන්නාක් මෙන් වෙයි.
4028. මහාවීරයන් වහන්ස, උග්‍රතපස් ඇති මෙබඳු ශිෂ්‍යයෝ මාගේ (අසපුවෙහි වෙති.) ඔවුන් විසින් පිරිවරන ලද මම මාගේ අසපුවෙහි වෙසෙමි.
4029. ස්වකීය (ධ්‍යානකාර්‍ය්‍යයෙන් තුස් වූ සිල්වත් වූ ප්‍රාඥවූ (මෙත්තා කරුණා මුදිතා උපේක්‍ෂා යන) අප්‍රාමාණ්‍ය ධර්‍මයන් විෂයයෙහි දක්‍ෂ වූ සියකම්හි ඇලුනා වූ එක් රැස් වූ ශිෂ්‍යයෝ මා සිත් ගත්තාහු ය.
4030. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ විනායක වූ පදුමුත්තර බුදුරජ තෙම සුදුසු කල් දැන එතැනට එළඹියේ ය.
4031. එළඹ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතු වූ ප්‍රාඥ වූ මෞනගුණ ඇති සර්‍වඥ තෙමේ පාත්‍රය ගෙණ පිඬු පිණිස මා වෙත වැඩියේ ය.
4032. (එ සේ) වැඩියා වූ පදුමුත්තර බුදුරජුන්හට තණ ඇතිරියක් පණවා සල්මල් විසිර වීමි.
4033. සම්බුදුරජුන් වඩා හිඳුවා ප්‍රීතියෙන් පිනා ගියෙම් ප්‍රීතියෙන් ම සැලෙන සිත් ඇත්තෙම් වහා පර්‍වතයට නැගී මම අගිල් රැස් කොට ගතිමි.
4034. කළයක් පමණ වූ දිව්‍යමය සුවඳ ඇති (ඉදුනු) කොස් ගෙඩියක් ද කරෙහි තබා ගෙණ බුදුරජුන් වෙත එළඹියෙමි.
4035. මම බුදුරජුන්හට ඒ ඵලය පිළිගන්වා අගිල් ද ආලේප කෙළෙමි. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වැන්දෙමි.
4036. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම ඍෂීන් මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය:
4037. “යමෙක් මට මේ (කොස්) ඵලය ද, අගිල් ද, ආසනය ද, දුන්නේ ද, හේ (කවරෙක්දැයි) මම තොපට කියමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු:
4038. ගමෙහි හෝ යලි අරණෙහි හෝ පබ්භාරයන්හි හෝ ගුහාවන්හි හෝ වසන මොහුගේ සිත් දැන බොජුන් උපදී.
4039. මේ මිනිස් තෙම දෙව්ලොව හෝ මිනිස්ලොව උපන්නේ භොජනයෙන් ද වස්ත්‍රයෙන් ද පිරිස තෘප්ත කරන්නේ ය.
4040. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යෝනියක උපදී නම් නො කැලඹුනු භෝගසම්පත් ඇත්තේ ව මෙ මිනිස් තෙම සසර සැරිසරන්නේ ය.
4041. (මෙ තෙම) කප් තිස්දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විති රජ වන්නේ ය.
4042. එක් සැත්තෑ වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (මොහු ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය.
4043. මෙයින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
4044. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූ (මෙ තෙම) සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වසන්නේ ය.”
4045. ඒ මම ලෝකනායකයන් වහන්සේ දිටිමි. මා විසින් මැනැවින් ලැබියයුතු ලාභය ලබන ලදී. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4046. ගමෙහි හෝ යලි අරණෙහි හෝ පබ්භාරයන්හි හෝ ගුහාවන්හි හෝ මා කැමැත්තට අනුව හැම කල්හි මට බොජුන් පහළ වේ.
4047. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි.
4048. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4049. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මේ අයුරින් ආයුෂ්මත් උපසීවස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
උපසීවස්ථවිරාවදානය පස්වැනි යි.
406. නන්‍දක ස්ථවිරාවදානය
4050. පෙර මම මහවෙනෙහි වැද්දෙක් වීමි. පසද මෘගයකු සොයන්නෙම් සියල්ල තෙමේ ම දත් බුදුරජුන් දිටිමි.
4051. පස්මරුන් දිනූ, ස්වයං විද් ප්‍රාඥ වූ අනුරුද්ධ නම් සම්බුදු තෙම විවෙක සැප කැමැත්තේ එකල්හි වනමැද පිවිසියේ වේ.
4052. මම (දඬු සතරක් එක් කොට කෙළවරකින් බැඳ සාදා ගත්) චතුදණ්ඩය ගෙණ දඬු සතර තැනක පිහිටන සේ (දිග හැර) තැබීමි. මැනැවින් මඩුවක් ද කොට නෙළුම් මල් වලින් වැසීමි.
4053. ඒ මඩුව (නෙළුම්මලින්) වසා බුදුරජුන් වැන්දෙමි. දුන්න එහි ම තබා ශාසනයෙහි පැවිදි වී මි.
4054. පැවිදි වී නො බෝ කලකින් මට රෝගයෙක් විය. පූර්‍ව කර්‍මය සිහිපත් කොට මම එහි කලුරිය කෙළෙමි.
4055. (ඒ පසේබුදු රජුන්හට කුටිය පිදීමේ) පූර්‍වකර්‍මය හා යෙදුනෙම් මම තුෂිත දිව්‍යලෝකයෙහි උපනිමි. එහි කැමති දෑ ලැබෙන රුවන්මුවා විමනක් පහළ වේ.
4056. ඉටූයේ ම දහසක් අසුන් උසුලන දිව්‍යයානය පහළ වෙයි. මම ඒ දිව්‍යයානයට නැගී කැමති තැනකට යෙමි.
4057. ඒ යානයෙන් ගෙණ යනු ලබන්නා වූ දෙවි වූ ම මා හාත්පස යොදුන් සියක් තන්හි මට මණ්ඩපයක් දැරෙයි.
4058. මම නිති මල් අතුළ යහනෙහි නිදමි. නිරතුරුව ම අහසිනු දු නෙළුම්මල් වැසි වසී.
4059. මිරිඟු සැලෙන අව් පහරන කල්හි දු ඒ අව් මා නො තවයි. මණ්ඩපදානයාගේ මේ විපාක යි.
4060. දුගතිය ඉක්මවූයෙම් වෙමි. අපායෝ මට වසන ලදහ. මණ්ඩපයෙහි හෝ වෘක්‍ෂමූලයෙහි හෝ හුන්නා වූ මට සන්තාපයෙක් නො වේ.
4061. පෘථිවි සංඥාව ඉටා මම මහසයුර තරණය කරමි. ඒ මා විසින් මැනැවින් කරණ ලද කර්‍මඵලය යි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4062. නො මග ද මග කොට අහසෙහි යෙමි. මා විසින් මනා කොට කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍ය යි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4063. පෙර විසූ කඳපිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරණ ලදි. මාගේ ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4064. පුරිම ජාතීහු හරණ ලදහ. බුදුරජුන්ගේ ඖරස පුත්‍රයෙක් වීමි. සද්ධර්‍මයෙහි දායාද (=උරුමය ඇත්තෙක්) වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4065. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් ආරාධනය (=සතුටු) කෙළෙමි. ධර්‍මයට ධජයක් වූයෙම් ධර්‍මයට දායාද වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4066. ශාක්‍යකුලතිලක වූ ගෞතම බුදුරජුන් උවටැන් කොට බුදුරජුන්ගෙන් නිවන්මග විචාළෙමි.
4067. (මා විසින්) ආරාධිත වූ බුදුරජ තෙම ගැඹුරු වූ සියුම් වූ නිර්‍වාණපදය වදාළේ ය. මම උන්වහන්සේගේ ධර්‍මය අසා ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනට පැමිණියෙමි.
4068. මා විසින් මැනැවින් කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍ය යි. (නැවත සසරෙහි) ඉපදීමෙන් මිදුනෙම් වෙමි. ක්‍ෂය කළ සියලු ආස්‍රවයන් ඇත්තෙම් වෙමි. දැන් නැවත ඉපදීමෙක් නැත.
4069. ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි.
4070. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4071. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මේ අයුරින් ආයුෂ්මත් නන්‍දක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
නන්‍දකස්ථවිරාවදානය සවැනි යි.
407. හේමක ස්ථවිරාවදානය
4072. එකල්හි අනෝම නම් තවුසෙක් තෙම පර්‍වතප්‍රාන්තයක් ඇසුරු කොට මනා අසපුවක් කොට ඒ පන්සලෙහි විසී ය.
4073. ඔහුගේ තපෝකර්‍මය සිද්ධිප්‍රාප්ත ය. ස්වකීය ධ්‍යානබලයෙහි ද සිද්ධිප්‍රාප්ත ය. ස්වීය ශ්‍රාමණ්‍ය ගුණයෙන් මැඩ පවත්වන ලද කෙලෙස් ඇත්තෙක. කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තෙක. ප්‍රාඥයෙක. ඍෂිවරයෙක.
4074. විශාරදයෙක. ස්වසමය පරසමයයන්හි දක්‍ෂයෙක. පොළොවෙහි හා අහසෙහි ප්‍රකට වූවෙක. උත්පාත ශාස්ත්‍රයෙහි දක්‍ෂයෙක.
4075. එකල්හි පහ වූ ශෝක ඇති ආරම්භ රහිත වූ ස්වල්පාහාරයකින් යැපෙන ලොල්බව නැති ලාභාලාභ දෙක්හි (සමව) සතුටු වන ධ්‍යානයෙහි ඇළුනා වූ මෝනෙය්‍ය ගුණ යුතු,
4076. සර්‍වඥ වූ අග්‍රකාරුණික වූ පියදස්සී නම් බුදුරජ තෙම සත්ත්‍වයන් (සසර සයුරින්) එතෙර කරනු කැමැත්තේ මහාකරුණාව පැතිර වී ය.
4077. පියදස්සී බුදුරජ තෙමේ ධර්‍මාවබෝධයෙහි සමතකු දැක සක්වළ දහසකට වුව ද ගොස් (ඒ විනෙයජනයනට) අවවාද කරයි.
4078. ඒ බුදුරජ තෙම මා සසර සයුරින් ගොඩ ලනු කැමැත්තේ මාගේ අසපුවට වැඩියේ ය. මා විසින් (ඊට) පෙර බුදුරජ තෙම නො දක්නා ලදී. කිසිවකුගෙන් (උන්වහන්සේ ගැන) නො අසන ලද්දෙම් ද වෙමි.
4079. මට උත්පාතය, සුපිනය, ලක්‍ෂණය යන මේ ශාස්ත්‍රයෝ මැනවින් ප්‍රකාශිතයහ. මම පොළොවෙහි හා අහසෙහි පතළ වූවෙක් වෙමි. නක්‍ෂත්‍ර පදයන්හි ද දක්‍ෂ වෙමි.
4080. මම බුදුරජුන්ගේ (තොරතුරු) අසා උන්වහන්සේ කෙරෙහි සිත පැහැද වීමි. අනුභව කරන්නේ ද, හුන්නේ ද, නිතිකල් (උන්වහන්සේ ම) සිහි පත් කරමි.
4081. මෙසේ මා උන්වහන්සේ සිහි කරණ කල්හි බුදුරජානන් වහන්සේ ද මා සිහි කළ සේක. බුදුරජානන් වහන්සේ සිහිපත් කරන්නාවූ මට එකෙණෙහි ප්‍රීතිය ඇති විය.
4082. නැවත සුදුසු කාලය ද එළඹ බුදුරජ තෙම මා සමීපයට වැඩියේ ය. (එසේ) වැඩි කල්හි දු “මේ මහාමුනි වූ බුදුරජ තෙමේ” ය යි මම නො දනිමි.
4083. (සත්ත්‍වලෝකයට) අනුකම්පා කරන්නා වූ, කාරුණික වූ පියදස්සී මහාමුනි තෙම “මම දෙවියන් සහිත ලෝකයෙහි සර්‍වඥ වෙමැ” යි තෙමේ ම දැන්වීය.