Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 5301-5400 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-41:16.10
405. උපසීව ස්ථවිරාවදානය
kn-ap-1-41:16.11
3990. හිමවතට නුදුරෙහි අනෝම නම් පර්‍වතයෙක් විය. මට එහි මැනැවින් කළ අසපුවෙක් විය. මනා කොට කටයුතු නිම වූ පන්සලක් ද විය.
kn-ap-1-41:16.12
3991. එහි මනා වූ කුඩා තොටු ඇති මනෝඥ වූ නදියක් ගලා බසී. ඒ කුඩා තොටුවල බොහෝ පද්මොත්පලයෝ හට ගනිත්.
kn-ap-1-41:16.13
3992. පාඨින නම් මත්ස්‍යයෝ (=පෙටියෝ) ද පාවුස නම් මත්ස්‍යයෝ (=ලූල්ලු) ද වලජ නම් මත්ස්‍යයෝ (=වලයෝ) ද මුඤ්ච නම් මත්ස්‍යයෝ (=මොද්දු) ද රෝහිත නම් මත්ස්‍යයෝ (=රෙහෙරු) ද යන මසුන් හා කැසුබුවන්ගෙන් ගැවසීගත්තා වූ නදිය හැමකල්හි ගලා බසී.
kn-ap-1-41:16.14
3993. එහි තිමීරය, අසෝකය, ඛුද්දමාලක (කුඩාමල් ඇතිගස්) ය පුන්නාග (දොඹය) ගිරිපුන්නාග (කඳුවල වැවෙන දොඹ) ය යන මේ වෘක්‍ෂයෝ පිපී ගියාහු මාගේ අසපුවෙහි සුවඳ පතුරුවත්.
kn-ap-1-41:18.1
3994. එහි පිපී ගියා වූ කෙලිඳ වෘක්‍ෂයෝ ද බෝලිද්දවනයෝ ද, සාලවෘක්‍ෂයෝ ද, එසේ ම පිපී ගියා වූ සලල (=හොර) වෘක්‍ෂයෝ ද චම්පක (සපු) වෘක්‍ෂයෝ ද එහි බොහෝ වෙති.
kn-ap-1-41:18.2
3995. පිපී ගියා වූ කුඹුක් ද යොහොඹු ද උක්ගස් ද, පිපී ගියා වූ පියා ගස් ද, මධුගන්‍ධී වෘක්‍ෂයෝ ද මාගේ අසපුවෙහි බොහෝ වෙති.
kn-ap-1-41:18.3
3996. ඇසළය පළොල් ය සීනිද්දය පුවඟුය රත්කරව්ය යන මෙකී වෘක්‍ෂයන්ගෙන් මාගේ අසපුව හාත්පස අඩයොදුනක් තන්හි වැසී ගියේ ය.
kn-ap-1-41:18.4
3997. පිපුණා වූ මාතඞ්ගව නම් වෘක්‍ෂයෝ ද, සත්පෙති දෑසමන් ද පළොල් ද නික ද රුකඟුන ද තාලකූට නම් වෘක්‍ෂයෝ ද එහි බොහෝ වූහ.
kn-ap-1-41:18.5
3998. මාගේ ඒ අසපුවෙහි පිපුණා වූ ගල්මල් ද බොහෝ ය. මේ වෘක්‍ෂයෝ පිපෙන කල්හි බෙහෙවින් හොබිත්. ඒ සුවඳින් මාගේ අසපුව හාත්පස සුවඳ හමයි.
kn-ap-1-41:18.6
3999. අරළු, නෙල්ලි, අඹ, ජම්බු, බුළු, ඩෙබර, බදුලු, බෙලි, බොරළුදමුණු යන මේ වෘක්‍ෂයන්ගේ ඵල ද,
kn-ap-1-41:18.7
4000. තිඹිරි, පියල්, වැල්මී, කාසුමාරිය, දෙල්, කොස්, කෙසෙල්, ඩෙබර යන මොවුන්ගේ ඵලයෝ ද එහි බොහෝ වෙති.
kn-ap-1-41:18.8
4001. ඇඹරැල්ල, වල්ලිකාර ඵලයෝ ද එහි බොහෝ වෙති. ලප්නාරග, සපාරිය මේ වෘක්‍ෂයෝ ද මාගේ අසපුවෙහි පල ගත්තාහු වෙති.
kn-ap-1-41:18.9
4002. ආලක, ඉසිමුග්ග (=වනමුං), යලි මෝදඵල යන මොහු එහි බොහෝ වෙති. හාත්පස වූ පුලිල දිඹුල් ද යන මේ වෘක්‍ෂයෝ ඵල භරිත වූවාහු ය.
kn-ap-1-41:18.10
4003. තිප්පිලි, මිරිස්, නුග, දිවුල්, දිඹුල්, කණ්ඩපක්ක, පාරිය මෙකී වෘක්‍ෂයෝ එහි බොහෝ වෙති.
kn-ap-1-41:18.11
4004. මේ වෘක්‍ෂයෝ ද තවත් බොහෝ වෘක්‍ෂයෝ ද මාගේ අසපුවෙහි පල ගත්තාහු වෙත්. මාගේ අසපුවෙහි බොහෝ මල් ගස් ද, පිපුනාහු වෙත්.
kn-ap-1-41:18.12
4005. ආලුව, කළම්බ, බීලාලි, තක්කල, ආලක, තාලක, යන අල දෑ ද මා අසපුවෙහි වෙත්.
kn-ap-1-41:18.13
4006. මාගේ අසපුවට නුදුරෙහි පැහැදි සිසිල් දිය ඇති මනා තොට ඇති සිත්කලු ස්වයංජාත විලෙක් විය.
kn-ap-1-41:18.14
4007. සුදුනෙළුම් හා රතුනෙළුම් හා උපුල් එහි බොහෝ ය. මදාරා ගස්වලින් වැසී ගිය තඩාගය නොයෙක් සුවඳ හමයි.
kn-ap-1-41:20.1
4008. පද්මයෝ ගැබ් ගණිති. ඇතැම් පද්මයෝ පිපෙත්. (ඇතැම් පියුම්හි) පිපුනා වූ පත්‍රයෝ වෙත්. පද්ම කර්ණිකාවෝ ද බොහෝ වෙති
kn-ap-1-41:20.2
4009. නෙළුඹලමලින් මී ද නෙළුඹුදැලින් කිරි හා ගිතෙල් ද වැගිරේ. නොයෙක් සුගන්‍ධ වහනය වූවාහු හාත්පස සුවඳින් යුක්ත ය.
kn-ap-1-41:20.3
4010. කුමුදු සුවඳ ද අඹමල් සුවඳ ද හමන වාතයෝ විද්‍යමාන වෙති. ස්වයංජාත විල් ඉවුරෙහි පිපුණු වැටකේ ගස් බොහෝ ය.
kn-ap-1-41:20.4
4011. මැනවින් පිපුනු සුවඳවත් බඳුවද ද, සෙතවාරිපුෂ්පයෝ ද වෙති. කිඹුලෝ ද (සු - සු හඬ නගමින් දිය මතුපිට කටින් දිය බුබුළු නංවන්නා වූ) ගැටකිඹුලෝ ද, ජලජ චණ්ඩ සත්ත්‍වයෝ එහි හටගනිති.
kn-ap-1-41:20.5
4012-4013. උඩට මතුවී ගොදුරු ඩැහැගන්නෝ ද පිඹුරෝ ද ඒ විලෙහි බොහෝ වෙති. (එය) පෙටියෝ, ලූල්ලු, වලයෝ, මොද්දු, රෙහෙරු, මෙකී මසුන් හා කැසුබුවන්ගෙන් ද ගැවසී ගත්තේ ය. යලි හුණපුපුළන්ගෙන් ද (එ විල) ගහණය. පරෙවියෝ, රවිහංසයෝ, කුකුත්‍ථක නම් පක්‍ෂීහු, නදීවර නම් පක්‍ෂීහු,
kn-ap-1-41:20.7
4014. කිරළපක්‍ෂීහු සක්වා ලිහිණියෝ, චම්පක පක්‍ෂීහු, (ජීව - ජීව යන අනුකරණයෙන් හඬන) ජීවජීවක පක්‍ෂීහු, ලෙහෙනු, උක්කුස නම් වූ කබරුස්සෝ, සේනක නම් වූ උකුස්සෝ, උද්ධර නම් වූ පක්‍ෂීහු ද එහි බොහෝ වෙති.
kn-ap-1-41:20.8
4015. කොට්ඨක නම් පක්‍ෂීහු, සුව (=ගිරා) පොතකයෝ, කකුළුවෝ, සෙමරු යන මෙකී සත්ත්‍වයෝ ද එහි බොහෝ වෙති. කාරෙණිය, තිලක යන මොහු ද එ විල ඇසුරු කොට ජීවත් වෙති.
kn-ap-1-41:20.9
4016. සිංහයෝ, ව්‍යාඝ්‍රයෝ, දිවියෝ, වලස්සු, කොක්නහවෝ, කරබානා වලස්සු, වඳුරෝ ද මාගේ අසපුවෙහි පැණෙත්.
kn-ap-1-41:20.10
4017. මම ඒ සුවඳ ආඝ්‍රාණය කරමින් ඵලවර්‍ග බුදිමින් සුවඳ දිය පානය කරමින් මාගේ අසපුවෙහි වෙසෙමි.
kn-ap-1-41:20.11
4018. එණිමෘගයෝ, හූරෝ, පසදමෘගයෝ, (ඔවුනට වඩා කුඩා ස්වරූප ඇති) ඛුද්දරූපකයෝ, අග්ගික, ජෝතික නම් සත්ත්‍වයෝ ද මාගේ අසපුවෙහි වෙසෙත්.
kn-ap-1-41:20.12
4019. හංසයෝ, කොස්වාලිහිණියෝ, මොණරු, සැළලිහිණියෝ, කොවුලෝ, මඤ්ජරීක නම් සත්ත්‍වයෝ ද, බකමුහුණෝ පොට්ඨසීස නම් පක්‍ෂීහු ද එහි බොහෝ වෙත්.
kn-ap-1-41:20.13
4020. පිසාචයෝ, අසුරයෝ, කුම්භාණ්ඩයෝ, රකුසෝ ද බොහෝ වෙති. ගුරුළෝ ද සර්‍පයෝ ද මාගේ අසපුවෙහි වෙසෙත්.
kn-ap-1-41:22.1
4021. මහත් අනුභාව ඇති සන්හුන් සිත් ඇති එකඟ වූ, පැන්කෙන්ඩි දරන්නා වූ අඳුන් දිවිසම් උතුරුසළු කොට හඳින්නා වූ ඒ සියලු ඍෂීහු දළමඬුලු බරින් යුතු වූවාහු මාගේ අසපුවෙහි වෙසෙත්.
kn-ap-1-41:22.2
4022. වියදඬු පමණ දුර බලන්නා වූ ප්‍රාඥ වූ ශාන්ත පැවතුම් ඇති ලාභ - අලාභ දෙකින් ම සමසේ සතුටු වන්නා වූ (ඍෂීහු) මාගේ අසපුවෙහි වෙසෙත්.
kn-ap-1-41:22.3
4023. වැහැරි සිවුරු කම්පා කරවමින් අඳුන් දිවිසම් පොළා හරිමින් ස්වකීය ධ්‍යානබලයෙන් ස්ථිරබවට පත් ඔහු හැම කල්හි අහසෙහි යෙති.
kn-ap-1-41:22.4
4024. ඔහු දිය හෝ දර හෝ ගිනිගානාදඬු හෝ ගෙණ නො එති. ඒ දිය ආදීහු තෙමේ ම ඔවුන් ලඟට පැමිණියාහු වෙති. ප්‍රාතිහාර්‍ය්‍යයාගේ මේ විපාක යි.
kn-ap-1-41:22.5
4025. ඔහු ලොහො දෙණක් ගෙණ කුඤ්ජර නම් වූ මහාහස්ති රාජයන් මෙන් ද, නිර්භීත කේශරසිංහයන් මෙන් ද වනමැදෙහි වසත්.
kn-ap-1-41:22.6
4026. (මේ ඍෂීන්ගෙන්) ස්වකීය ධ්‍යානබලයෙහි වශී වූ ඇතැමෙක් අපරගෝයානයට යෙත්. ඇතැමෙක් පූර්‍වවිදේහයට යෙත්. ඇතැමෙක් උතුරුකුරු දිවයිනට යෙත්. ඒ ඒ තැනින් පිඬු ගෙණවුත් සියලු දෙන ම එකතුව වළඳත්.
kn-ap-1-41:22.7
4027. උග්‍ර වූ තෙද ඇති තාදීගුණ ඇති එසේ අහසින් යන්නා වූ සියලු ඍෂීන්ගේ අඳුන් දිවිසම් හඬින් එකල්හි වනය හඬ නගන්නාක් මෙන් වෙයි.
kn-ap-1-41:22.8
4028. මහාවීරයන් වහන්ස, උග්‍රතපස් ඇති මෙබඳු ශිෂ්‍යයෝ මාගේ (අසපුවෙහි වෙති.) ඔවුන් විසින් පිරිවරන ලද මම මාගේ අසපුවෙහි වෙසෙමි.
kn-ap-1-41:22.9
4029. ස්වකීය (ධ්‍යානකාර්‍ය්‍යයෙන් තුස් වූ සිල්වත් වූ ප්‍රාඥවූ (මෙත්තා කරුණා මුදිතා උපේක්‍ෂා යන) අප්‍රාමාණ්‍ය ධර්‍මයන් විෂයයෙහි දක්‍ෂ වූ සියකම්හි ඇලුනා වූ එක් රැස් වූ ශිෂ්‍යයෝ මා සිත් ගත්තාහු ය.
kn-ap-1-41:22.10
4030. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ විනායක වූ පදුමුත්තර බුදුරජ තෙම සුදුසු කල් දැන එතැනට එළඹියේ ය.
kn-ap-1-41:22.11
4031. එළඹ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතු වූ ප්‍රාඥ වූ මෞනගුණ ඇති සර්‍වඥ තෙමේ පාත්‍රය ගෙණ පිඬු පිණිස මා වෙත වැඩියේ ය.
kn-ap-1-41:22.12
4032. (එ සේ) වැඩියා වූ පදුමුත්තර බුදුරජුන්හට තණ ඇතිරියක් පණවා සල්මල් විසිර වීමි.
kn-ap-1-41:22.13
4033. සම්බුදුරජුන් වඩා හිඳුවා ප්‍රීතියෙන් පිනා ගියෙම් ප්‍රීතියෙන් ම සැලෙන සිත් ඇත්තෙම් වහා පර්‍වතයට නැගී මම අගිල් රැස් කොට ගතිමි.
kn-ap-1-41:24.1
4034. කළයක් පමණ වූ දිව්‍යමය සුවඳ ඇති (ඉදුනු) කොස් ගෙඩියක් ද කරෙහි තබා ගෙණ බුදුරජුන් වෙත එළඹියෙමි.
kn-ap-1-41:24.2
4035. මම බුදුරජුන්හට ඒ ඵලය පිළිගන්වා අගිල් ද ආලේප කෙළෙමි. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වැන්දෙමි.
kn-ap-1-41:24.3
4036. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම ඍෂීන් මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය:
kn-ap-1-41:24.4
4037. “යමෙක් මට මේ (කොස්) ඵලය ද, අගිල් ද, ආසනය ද, දුන්නේ ද, හේ (කවරෙක්දැයි) මම තොපට කියමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු:
kn-ap-1-41:24.5
4038. ගමෙහි හෝ යලි අරණෙහි හෝ පබ්භාරයන්හි හෝ ගුහාවන්හි හෝ වසන මොහුගේ සිත් දැන බොජුන් උපදී.
kn-ap-1-41:24.6
4039. මේ මිනිස් තෙම දෙව්ලොව හෝ මිනිස්ලොව උපන්නේ භොජනයෙන් ද වස්ත්‍රයෙන් ද පිරිස තෘප්ත කරන්නේ ය.
kn-ap-1-41:24.7
4040. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යෝනියක උපදී නම් නො කැලඹුනු භෝගසම්පත් ඇත්තේ ව මෙ මිනිස් තෙම සසර සැරිසරන්නේ ය.
kn-ap-1-41:24.8
4041. (මෙ තෙම) කප් තිස්දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විති රජ වන්නේ ය.
kn-ap-1-41:24.9
4042. එක් සැත්තෑ වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (මොහු ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය.
kn-ap-1-41:24.10
4043. මෙයින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
kn-ap-1-41:24.11
4044. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූ (මෙ තෙම) සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වසන්නේ ය.”
kn-ap-1-41:24.12
4045. ඒ මම ලෝකනායකයන් වහන්සේ දිටිමි. මා විසින් මැනැවින් ලැබියයුතු ලාභය ලබන ලදී. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-41:24.13
4046. ගමෙහි හෝ යලි අරණෙහි හෝ පබ්භාරයන්හි හෝ ගුහාවන්හි හෝ මා කැමැත්තට අනුව හැම කල්හි මට බොජුන් පහළ වේ.
kn-ap-1-41:24.14
4047. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි.
kn-ap-1-41:24.15
4048. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-41:24.16
4049. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-41:24.17
මේ අයුරින් ආයුෂ්මත් උපසීවස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
kn-ap-1-41:24.18
උපසීවස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-41:26.1
406. නන්‍දක ස්ථවිරාවදානය
kn-ap-1-41:26.2
4050. පෙර මම මහවෙනෙහි වැද්දෙක් වීමි. පසද මෘගයකු සොයන්නෙම් සියල්ල තෙමේ ම දත් බුදුරජුන් දිටිමි.
kn-ap-1-41:26.3
4051. පස්මරුන් දිනූ, ස්වයං විද් ප්‍රාඥ වූ අනුරුද්ධ නම් සම්බුදු තෙම විවෙක සැප කැමැත්තේ එකල්හි වනමැද පිවිසියේ වේ.
kn-ap-1-41:26.4
4052. මම (දඬු සතරක් එක් කොට කෙළවරකින් බැඳ සාදා ගත්) චතුදණ්ඩය ගෙණ දඬු සතර තැනක පිහිටන සේ (දිග හැර) තැබීමි. මැනැවින් මඩුවක් ද කොට නෙළුම් මල් වලින් වැසීමි.
kn-ap-1-41:26.5
4053. ඒ මඩුව (නෙළුම්මලින්) වසා බුදුරජුන් වැන්දෙමි. දුන්න එහි ම තබා ශාසනයෙහි පැවිදි වී මි.
kn-ap-1-41:26.6
4054. පැවිදි වී නො බෝ කලකින් මට රෝගයෙක් විය. පූර්‍ව කර්‍මය සිහිපත් කොට මම එහි කලුරිය කෙළෙමි.
kn-ap-1-41:26.7
4055. (ඒ පසේබුදු රජුන්හට කුටිය පිදීමේ) පූර්‍වකර්‍මය හා යෙදුනෙම් මම තුෂිත දිව්‍යලෝකයෙහි උපනිමි. එහි කැමති දෑ ලැබෙන රුවන්මුවා විමනක් පහළ වේ.
kn-ap-1-41:26.8
4056. ඉටූයේ ම දහසක් අසුන් උසුලන දිව්‍යයානය පහළ වෙයි. මම ඒ දිව්‍යයානයට නැගී කැමති තැනකට යෙමි.
kn-ap-1-41:26.9
4057. ඒ යානයෙන් ගෙණ යනු ලබන්නා වූ දෙවි වූ ම මා හාත්පස යොදුන් සියක් තන්හි මට මණ්ඩපයක් දැරෙයි.
kn-ap-1-41:26.10
4058. මම නිති මල් අතුළ යහනෙහි නිදමි. නිරතුරුව ම අහසිනු දු නෙළුම්මල් වැසි වසී.
kn-ap-1-41:26.11
4059. මිරිඟු සැලෙන අව් පහරන කල්හි දු ඒ අව් මා නො තවයි. මණ්ඩපදානයාගේ මේ විපාක යි.
kn-ap-1-41:26.12
4060. දුගතිය ඉක්මවූයෙම් වෙමි. අපායෝ මට වසන ලදහ. මණ්ඩපයෙහි හෝ වෘක්‍ෂමූලයෙහි හෝ හුන්නා වූ මට සන්තාපයෙක් නො වේ.
kn-ap-1-41:26.13
4061. පෘථිවි සංඥාව ඉටා මම මහසයුර තරණය කරමි. ඒ මා විසින් මැනැවින් කරණ ලද කර්‍මඵලය යි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-41:26.14
4062. නො මග ද මග කොට අහසෙහි යෙමි. මා විසින් මනා කොට කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍ය යි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-41:26.15
4063. පෙර විසූ කඳපිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරණ ලදි. මාගේ ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-41:26.16
4064. පුරිම ජාතීහු හරණ ලදහ. බුදුරජුන්ගේ ඖරස පුත්‍රයෙක් වීමි. සද්ධර්‍මයෙහි දායාද (=උරුමය ඇත්තෙක්) වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-41:28.1
4065. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් ආරාධනය (=සතුටු) කෙළෙමි. ධර්‍මයට ධජයක් වූයෙම් ධර්‍මයට දායාද වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-41:28.2
4066. ශාක්‍යකුලතිලක වූ ගෞතම බුදුරජුන් උවටැන් කොට බුදුරජුන්ගෙන් නිවන්මග විචාළෙමි.
kn-ap-1-41:28.3
4067. (මා විසින්) ආරාධිත වූ බුදුරජ තෙම ගැඹුරු වූ සියුම් වූ නිර්‍වාණපදය වදාළේ ය. මම උන්වහන්සේගේ ධර්‍මය අසා ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනට පැමිණියෙමි.
kn-ap-1-41:28.4
4068. මා විසින් මැනැවින් කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍ය යි. (නැවත සසරෙහි) ඉපදීමෙන් මිදුනෙම් වෙමි. ක්‍ෂය කළ සියලු ආස්‍රවයන් ඇත්තෙම් වෙමි. දැන් නැවත ඉපදීමෙක් නැත.
kn-ap-1-41:28.5
4069. ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි.
kn-ap-1-41:28.6
4070. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-41:28.7
4071. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-41:28.8
මේ අයුරින් ආයුෂ්මත් නන්‍දක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-41:28.9
නන්‍දකස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-41:28.10
407. හේමක ස්ථවිරාවදානය
kn-ap-1-41:28.11
4072. එකල්හි අනෝම නම් තවුසෙක් තෙම පර්‍වතප්‍රාන්තයක් ඇසුරු කොට මනා අසපුවක් කොට ඒ පන්සලෙහි විසී ය.
kn-ap-1-41:28.12
4073. ඔහුගේ තපෝකර්‍මය සිද්ධිප්‍රාප්ත ය. ස්වකීය ධ්‍යානබලයෙහි ද සිද්ධිප්‍රාප්ත ය. ස්වීය ශ්‍රාමණ්‍ය ගුණයෙන් මැඩ පවත්වන ලද කෙලෙස් ඇත්තෙක. කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තෙක. ප්‍රාඥයෙක. ඍෂිවරයෙක.
kn-ap-1-41:28.13
4074. විශාරදයෙක. ස්වසමය පරසමයයන්හි දක්‍ෂයෙක. පොළොවෙහි හා අහසෙහි ප්‍රකට වූවෙක. උත්පාත ශාස්ත්‍රයෙහි දක්‍ෂයෙක.
kn-ap-1-41:28.14
4075. එකල්හි පහ වූ ශෝක ඇති ආරම්භ රහිත වූ ස්වල්පාහාරයකින් යැපෙන ලොල්බව නැති ලාභාලාභ දෙක්හි (සමව) සතුටු වන ධ්‍යානයෙහි ඇළුනා වූ මෝනෙය්‍ය ගුණ යුතු,
kn-ap-1-41:28.15
4076. සර්‍වඥ වූ අග්‍රකාරුණික වූ පියදස්සී නම් බුදුරජ තෙම සත්ත්‍වයන් (සසර සයුරින්) එතෙර කරනු කැමැත්තේ මහාකරුණාව පැතිර වී ය.
kn-ap-1-41:28.16
4077. පියදස්සී බුදුරජ තෙමේ ධර්‍මාවබෝධයෙහි සමතකු දැක සක්වළ දහසකට වුව ද ගොස් (ඒ විනෙයජනයනට) අවවාද කරයි.
kn-ap-1-41:28.17
4078. ඒ බුදුරජ තෙම මා සසර සයුරින් ගොඩ ලනු කැමැත්තේ මාගේ අසපුවට වැඩියේ ය. මා විසින් (ඊට) පෙර බුදුරජ තෙම නො දක්නා ලදී. කිසිවකුගෙන් (උන්වහන්සේ ගැන) නො අසන ලද්දෙම් ද වෙමි.
kn-ap-1-41:30.1
4079. මට උත්පාතය, සුපිනය, ලක්‍ෂණය යන මේ ශාස්ත්‍රයෝ මැනවින් ප්‍රකාශිතයහ. මම පොළොවෙහි හා අහසෙහි පතළ වූවෙක් වෙමි. නක්‍ෂත්‍ර පදයන්හි ද දක්‍ෂ වෙමි.
kn-ap-1-41:30.2
4080. මම බුදුරජුන්ගේ (තොරතුරු) අසා උන්වහන්සේ කෙරෙහි සිත පැහැද වීමි. අනුභව කරන්නේ ද, හුන්නේ ද, නිතිකල් (උන්වහන්සේ ම) සිහි පත් කරමි.
kn-ap-1-41:30.3
4081. මෙසේ මා උන්වහන්සේ සිහි කරණ කල්හි බුදුරජානන් වහන්සේ ද මා සිහි කළ සේක. බුදුරජානන් වහන්සේ සිහිපත් කරන්නාවූ මට එකෙණෙහි ප්‍රීතිය ඇති විය.
kn-ap-1-41:30.4
4082. නැවත සුදුසු කාලය ද එළඹ බුදුරජ තෙම මා සමීපයට වැඩියේ ය. (එසේ) වැඩි කල්හි දු “මේ මහාමුනි වූ බුදුරජ තෙමේ” ය යි මම නො දනිමි.
kn-ap-1-41:30.5
4083. (සත්ත්‍වලෝකයට) අනුකම්පා කරන්නා වූ, කාරුණික වූ පියදස්සී මහාමුනි තෙම “මම දෙවියන් සහිත ලෝකයෙහි සර්‍වඥ වෙමැ” යි තෙමේ ම දැන්වීය.