3901. “මම ක්‍ෂත්‍රිය කුලයෙහි උපන්නෙම් වෙමි. අභිඥාවන්ගේ පරතෙරට ද ගියෙම් වෙමි. සියලු ආස්‍රවයන් ක්‍ෂය කෙළෙමි. දැන් නැවත ඉපදීමෙක් ද නැතැ” යි (බුදුරජ තෙම වදාළේය.)
3902. සර්‍වඥයන් වහන්ස, නිර්‍වාණාලෝකය කරන්නවුන් වහන්ස, (මෝහ නමැති) අඳුර දුරු කරණ උතුමානන් වහන්ස, ඉදින් මුබ බුදු වෙහි නම් (විශුද්ධි) දේවයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර කරන්නෙමි. මුබ දුක් නැති කරන්නෙහි ය”.
3903. (එසේ කියා) මම අඳුන්දිවිසම් අතුරා (බුදුරජුන්හට) හිඳීමට දුනිමි. (මෙසේ ද කීමි:) ලෝකනාථයන් වහන්ස, වැඩ හිඳිනු මැනව. සර්‍වඥයන් වහන්ස, මම ඔබට උවටැන් කරන්නෙමි” යි.
3904. භාග්‍යවත් තෙමේ මොනොවට අතුළ අඳුන්දිවිසමෙහි වැඩ හුන්නේ ය. මම සම්බුදුරජුන් පවරා පර්‍වතයට ගියෙමි.
3905. පිරිකරද පුරවා තිඹිරිගෙඩි ගෙණ ආමි. මම ඒ ගෙඩි මී සමග යොදා බුදුරජුන්හට දුනිමි.
3906. සර්‍වඥ තෙම මා කල්පනාවෙහි යෙදී සිටියදී (ඒ දානය) වැළඳීය. බුදුරජුන් දෙස බලමින් එහි දී සිත පැහැදවීමි.
3907. ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසු වූ පදුමුත්තර බුදුරජ තෙමේ මාගේ ආශ්‍රමයෙහි හිඳ මේ ගාථාවන් වදාළ සේක:
3908. “යමෙක් පැහැදුනේ සියතින් ඵලයෙන් මා සන්තර්‍පණය කෙළේ ද, හේ (කවරෙක්දැයි) මම කියන්නෙමි. කියන්නාවූ මාගේ වචනය අසවු.
3909. හෙතෙම පස්විසිවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දහස්වරක් සක්විති රජ වන්නේ ය.
3910. පූර්‍වකර්‍මයෙන් සමන්‍වාගත වූ ඔහුගේ අදහස දැන මාහැඟි ආහාර ද පාන ද වස්ත්‍ර ද සෙනසුන් ද,
3911. කුශලකර්‍මවිපාකය හා යෙදුනාහු එකෙණෙහි උපදනාහුය. හැමකල්හි මෙතෙම නීරෝග වූයේ ප්‍රමුදිත වූයේ ද වන්නේ ය.
3912. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යෝනියක උපන්නේ ද, ඒ සියලු තන්හි සුව ඇතිව මිනිසත් බවට පැමිණෙන්නේ ය.
3913. හෙතෙම වේද හදාරන්නා වූ මන්ත්‍ර දරන්නා වූ වේදත්‍රයෙහි පරතෙරෙට ගිය (බමුණෙක්ව) සම්බුදුරජුන් වෙත එළඹ රහත් වන්නේ ය.” (කියායි).
3914. යම් තැනක පටන් මාගේ අත්බව සිහි කෙරෙම් ද, යම් තැනක පටන් නුවණැති බවට පැමිණියෙම් වෙම් ද, (ඒ මේ කාලය තුළ) මාගේ භෝගසම්පත්තියෙහි අඩු බවෙක් නැත. ඵලදානයාගේ මේ විපාක යි.
3915. උතුම් වූ සසුනට පැමිණියෙමි රාගද්වේෂයන් වැනසීමි. සියලු ආස්‍රවයන් ක්‍ෂය කෙළෙම් වෙමි. දැන් නැවත ඉපදීමෙක් නැත.
3916. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. හස්තිරාජයකු සේ බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
3917. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
3918. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මේ අයුරින් ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍ය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
තිස්සමෙත්තෙය්‍ය ස්ථවිරාවදානය පළමු වැනි යි.
402. පුණ්ණක ස්ථවිරාවදානය
3919. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ගුණගරු වූ පසේබුදුහු හටගත් ආබාධ ඇත්තාහු පර්‍වතකූට පබ්භාරයක් ඇසුරු කොට පර්‍වත අතරෙහි වැඩ වෙසෙන සේක.
3920. එකෙණෙහි මාගේ අසපුව හාත්පස මහත් වූ නාදයෙක් විය. බුදුන් පිරිනිවන් පානා කල්හි ආලෝකය පහළ විය.
3921. එකෙණෙහි මුළු වනලැහැබෙහි වලස් වෘක කළුහිස්වලස් ව්‍යාඝ්‍ර සිංහ යන සියලු සත්ත්‍වයෝ නාද කළාහු ය.
3922. මම ඒ භූතවිකෘතිය දැක (බුදුරජුන් වැඩ විසූ) පර්‍වතයට ගියෙමි. එහි දී පිරිනිවි අපරාජිත වූ සම්බුදුරජුන් දිටිමි.
3923. සුපිපි සල්රුකක් වැනි, උදා වූ හිරු වැනි, පහ වූ සිළු ඇති ගිනි අඟුරු (රැසක්) වැනි පිරිනිවියා වූ බුදුරජුන් (උදෙසා)-
3924. මම එහි තණ ද දර ද පුරවා චිතකයක් කෙළෙමි. ඒ චිතකය මැනැවින් කොට (බුද්ධ) ශරීරය දැවීමි.
3925. සිරුර දවා සුවඳ දිය ඉස්සෙමි. එකෙණෙහි අහසෙහි සිටි යක්‍ෂයෙක් මට නමක් තැබීය:
3926. “සියල්ල තෙමේ ම අවබෝධ කරගත් බුදුරජුන්ට යම් (ආදාහන) කෘත්‍යයක් තා විසින් සම්පූර්‍ණ කරණ ලද ද, මුනිවරය, ඔබ හැමකල්හි නමින් පුණ්ණක නම් වෙව” යී.
3927. මම ඒ අත්බැවින් ච්‍යුතව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. එහි අහසෙහි දිව්‍යමය සුවඳ හමයි.
3928. එකල්හි එහිදී ද මාගේ නම ‘පුණ්ණක’ නම් විය. දෙවි වූයේ ද මිනිස් වූයේ ද (මාගේ) අදහස් සම්පූර්‍ණ කරමි.
3929. මේ මාගේ (සසරෙහි) අවසානය යි. (දැන් මේ) අන්තිම භවය පවතී. මෙහි දී ද පූර්‍ණක නාමය ප්‍රකාශ වේ.
3930. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් සතුටු කොට සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.
3931. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ශරීරාදාහන කෘත්‍යයාගේ මේ විපාක යි.
3932. ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. අනාස්‍රව වූයෙම් වෙසෙමි.
3933. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත පැමිණීම ඒකාන්තයෙන් මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3934. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මේ අයුරින් ආයුෂ්මත් පුණ්ණක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුණ්ණක ස්ථවිරාවදානය දෙවැනි යි.
403. මෙත්තගු ස්ථවිරාවදානය
3935. හිමවතට නුදුරෙහි අසෝක නම් පර්‍වතයෙක් විය. එහි මට විශ්වකර්‍මයා විසින් මවන ලද ආශ්‍රමයෙක් විය.
3936. අග්‍රකාරුණික වූ සුමේධ නම් සර්‍වඥ මුනි තෙමේ පෙරවරුයෙහි හැඳ පොරවා මා වෙත පිඬු පිණිස එළඹියේ ය.
3937. එළඹියා වූ මහාවීර වූ ලෝකනායක වූ සුමේධ බුදුරජුන් (දැක) සුගතපාත්‍රය ගෙණ ගිතෙලින් පිරවීමි.
3938. මම ලෝකනායක වූ සුමේධ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි එය පිළිගන්වා ඇඳිලි බැඳගෙණ වැඩියක් ම සතුට ඉපදවීමි. (මෙසේ ද පැතීමි.)
3939. “මේ ගිතෙල් දන හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද දෙවි වූයේ හෝ මනුෂ්‍ය වූයේ හෝ මහත් වූ සැප ලබමි.
3940. දුගතිය හැර කුදු මහත් භවයෙහි සැරිසරමි. එහි සිත පිහිටුවා අමෘතපදය ලබමි” (කියායි).
3941. යම් හෙයකින් බ්‍රාහ්මණ වූ (නසන ලද පව් ඇති) මා දුටුයේ ද, (එය) ඔබට ලාභයකි. ඔබ විසින් මැනැවින් ලබන ලද්දකි. මාගේ දර්‍ශනයට පැමිණ ඔබ රහත් වන්නෙහි ය.
3942. විශ්වාසය ඇත්තෙක් (අස්වැසුනෙක්) වන්න, බිය නො වන්න. මට ගිතෙල් දී මහත් යශස් ලබා ජාතියෙන් ද මිදෙන්නෙහි ය.
3943. මේ ගිතෙල් දන හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මුබ දෙවි වූයේ ද මිනිස් වූයේ ද මහත් සුව ලබන්නෙහි ය.
3944. මෙත්සිතින් යුතු ව කළ මේ ගිතෙල් දන හේතු කොට ගෙණ අටළොස්සිය වන හෙවත් එක්දහස්අටසිය වන කපෙහි දෙව්ලොව සිත් අලවා වසන්නෙහි ය.
3945. අටතිස් වරක් දෙව්රජ වන්නෙහි ය. මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නො හැකි ය.
3946. එක්පණස් වරක් සිවුමහදිවයින් හා සිවුසයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ (සතුරු රජුන්) ජයගන්නාසුලු වූ ජම්බුද්වීපයට ඊශ්වර වූ සක්විතිරජ වන්නෙහි ය.
3947. යම් සේ මහසයුර නො කැළඹිය හැකි ද මහපොළොව නො සෙල්විය හැකි ද ඔබගේ භෝගසම්පත්හු ද පමණ කළ නො හැක්කාහු වෙති.”
3948. මම සැටකෙළක් අගනා හිරණ්‍ය හැර දමා කුසල් කර්‍මය යි සොයමින් බාවරි වෙත එළඹියෙමි.
3949. එහි මම මන්ත්‍ර ද ෂඩඞ්ගලක්‍ෂණශාස්ත්‍රය ද හදාරමි. මහා මුනීන් වහන්ස, මුබවහන්සේ ඝනාන්‍ධකාරය විධ්වංසනය කරමින් ලොව පහළ වූ සේක.
3950. මහාමුනීන් වහන්ස, මුබවහන්සේගේ දර්‍ශනය කැමැත්තෙන් මම පැමිණියෙම් වෙමි. මුබ වහන්සේගේ ධර්‍මය ද අසා අමෘතපද සඞ්ඛ්‍යාත නිවණට පැමිණියෙම් වෙමි.
3951. මම තිස්දහස් කපකට පෙර බුදුරජුන්හට ගිතෙල් දුනිමි. මේ අතරතුර මා විසින් විනවන ලද (වචනයෙන් ලබා ගන්නා ලද) ගිතෙලක් ගැණ නො දනිමි.
3952. මාගේ අදහසට අනුව ඉදින් කැමැති කැමැති දෙය පහළ වේ ද, සිත දැන ගෙණ මෙන් පහළ වූ එයින් මම සියල්ලන් සන්තර්‍පණය කරමි.
3953. බුදුරජ තෙම ආශ්චර්‍ය්‍යය. ධර්‍මය ද ආශ්චර්‍ය්‍යය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය ය. බුදුරජුන්හට ගිතෙල් මඳක් දී එය අපමණ ව ලබමි.
3954. මේරුපර්‍වත පාර්‍ශවයෙහි ඇති මහසමුදුරෙහි දිය යම් පමණ ද මාගේ ඒ ගිතෙල් හා සසඳන කල්හි එය දෙතිසෙන් කොටසක් වූ (කලභාගයකට) ද නො පැමිණෙන්නේ ය.
3955. මට පහළ වන්නා වූ වස්ත්‍ර මුළුසක්වළෙහි ම රැස් කරණ කල්හි ද එයට ඒ අවකාශය නො පොහෝනේ වේ.
3956. ඉතා උස් වූ හිමවත් පර්‍වතරාජයා පවා මා අලෙව් දුන් සුවඳ විලෙවුන් හා උපමාවකට පමණ නො වන්නේ ය.
3957. වස්ත්‍ර ද සුවඳ ද ගිතෙල් ද මේ අත්බැව්හි දී ම ලබන ලද අසංස්කෘත නිර්‍වාණය ද ඇත්තෙම් වෙමි. ගිතෙල් දනෙහි මේ විපාක යි.
3958. අද මම සතිපට්ඨානසයනය ද, සමාධිධ්‍යානගෝචරය ද බොධ්‍යඞ්ගභෝජනය ද ඇත්තෙම් වෙමි. ගිතෙල් දන්හි මේ විපාකයි.
3959. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සර්‍වාස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. අනාස්‍රව වූයෙම් වෙසෙමි.
3960. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත පැමිණීම මට ස්වාගත ම විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3961. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මේ අයුරින් ආයුෂ්මත් මෙත්තගු ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මෙත්තගු ස්ථවිරාවදානය තෙවැනි යි.
404. ධෝතක ස්ථවිරාවදානය
3962. හිමවතින් ප්‍රභූත භාගිරථි ගඞ්ගා තොමෝ (ගඞ්ගානදිය) එකල්හි හංසවතී නගරද්වාරයෙන් ගලා බස්නී ය.
3963. ගංඉවුරෙහි මැනවින් කරණ ලද සෝභිත නම් ආරාමයෙක් විය. එහි ලෝකනායක වූ පදුමුත්තර බුදුරජ තෙමේ වැඩ වෙසෙයි.
3964. තව්තිසාවෙහි දෙවියන් සහිත ශක්‍රයා මෙන් මනුෂ්‍යයන් විසින් පිරිවරණ ලද භාග්‍යවත් තෙමේ එහි අභීත කේශරසිංහ රාජයකු මෙන් වැඩහුන්නේ ය.
3965. මම හංසවතී නගරයෙහි බමුණෙක් ව වෙසෙමි. නමින් ඡළඞ්ග නම් වෙමි. එනම් ඇති මහමුනිවරයෙක් වෙමි.
3966. එකල්හි අටළොස් සියක් (-එක්දහස් අටසියයක්) ශිෂ්‍යයෝ මා පිරිවරත්. ඒ ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් ගඞ්ගාතීරයට එළඹියෙමි.
3967. එහි දී කොහොන්කම් විරහිත දොවා හළ පව් ඇති ශ්‍රමණයන් වහන්සේ දිටිමි. (උන්වහන්සේ) භාගීරථි ගඟ තරණය කරණ කෙණෙහි මම මෙසේ සිතීමි.
3968. “මහත් කීර්ති ඇති මේ බුද්ධපුත්‍රයෝ සවස්හි ද උදයෙහි ද මේ ගඟ තරණය කරන්නාහු තමන් වෙහෙසට පමුණුවත්. ඔවුන්ගේ ආත්මභාවය පෙළෙයි.
3969. දෙවියන් සහිත ලෝකයා අතුරෙන් බුදුරජ තෙම අග්‍රයයි කියනු ලැබේ. දක්‍ෂිණාර්‍හයන් කෙරෙහි (කළ) සසර ගමන්මග පිරිසිදු කරණ පින්කමකුදු මට නැත.
3970. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ගඟෙහි හෙයක් කරන්නෙම් නම් ඉතා මැනැවි. මේ පින්කම කරවා මේ භවය තරණය කරමි යි.
3971. මා විසින් කරණ ලද පින්කම් මහත්ඵල වන්නේ යයි අදහමින් මම ලක්‍ෂයක් දී හෙයක් කරවීමි.
3972. ඒ හෙය කරවා ලෝකනායක බුදුරජුන් වෙත එළඹියෙමි. සිරසෙහි ඇඳිලි බැඳ මේ වචනය ද කීමි:
3973. “මහාමුනීන් වහන්ස, මා විසින් ලක්‍ෂයක් වැය කොට ඔබ වහන්සේ උදෙසා මහත් වූ හෙයක් කරවන ලදී. ඒ පිළිගණු මැනව” යී.
3974. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේය:
3975. “යමෙක් පහන් වූයේ සියතින් මට හෙයක් කරවූයේ ද, මම හේ (කවරෙක්දැයි) පවසන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
3976. මෙ තෙම කඳුරකින් (=පර්‍වතවිවරයකින්) වේවයි පර්‍වතයකින් වේවයි ගසකින් වේවයි ගිලිහුනේ නමුදු (ඉන්) ගිලිහුනේ ම පිහිට ලබන්නේ ය. සේතුදානයාගේ මේ විපාක යි.
3977. වැඩිගිය මුල්සමූහය ඇති නුගගසක් වාතය බලයෙන් උදුරා නො දමන්නාක් මෙන් පසමිතුරෝ (මොහු) නො මැඩලත්.
3978. මොහුගේ (දෙය) සොරු බලයෙන් පැහැර නො ගනිත්. රජවරු මොහුට අවමන් නො කරත්. සියලු පසමිතුරන් ජය ගන්නේ ය. සේතුදානයාගේ මේ විපාක යි.
3979. එලිමහනකට ගියේ නමුදු දැඩි අව්වෙන් තැවුනේ නමුදු ඒ සේතුදානමය පුණ්‍යකර්‍මයෙන් යුත් මොහුට (දුක්) වේදනාවෝ නො වන්නාහු ය.
3980. දෙව්ලොවෙහි හෝ මිනිස්ලොවෙහි හෝ මැනවින් නිර්මිත හස්තියානයක් ඔහුගේ අදහස පරිදි එකෙණෙහි පහළ වන්නේ ය.
3981. වාතවේගයෙන් දුවන ශීඝ්‍රවාහන වූ දහසක් සෛන්‍ධවයෝ උදය සවස වෙත එළඹෙන්නාහු ය. සේතුදානයාගේ මේ විපාක යි.
3982. මෙ තෙම මිනිසත්බවට පැමිණ සැපවත් වන්නේ ය. මෙහි මිනිස්කල්හි දු ඔහුට හස්තියානයක් වන්නේ ය.
3983. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක වංශයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
3984. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූ මෙතෙම සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේය” යී.
3985. පදුමුත්තර බුදුරජුන් කෙරෙහි මා විසින් මැනැවින් කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍යයකි. උන්වහන්සේ කෙරෙහි බුහුමන් කොට මම ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිවණට පැමිණියෙම් වෙමි.
3986. කාය - ජීවිත දෙක්හිත් අපේක්‍ෂා රහිත වූයෙම් වීර්‍ය්‍ය කිරීමෙහි යෙදුනෙම් වෙමි. සන්හුන් වූයෙම් උපධිරහිත වූයෙම් ඇතකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
3987. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. පැමිණෙනලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. මා විසින් බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි
3988. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් පුනර්‍භවයෙක් නැත.
3989. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුසසුන කරණ ලදි.
මේ අයුරින් ආයුෂ්මත් ධෝතක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ධෝතක ස්ථවිරාවදානය සිවුවැනි යි.