398. සල්ලමණ්ඩපිය ස්ථවිරාවදානය
3821. වැස නිමවන ලද බඹසර ඇති, බහා තබන ලද පව් ඇති, කකුසඳ බුදුරජුන් පිරිනිවි කල්හි මම සලල මල් ගෙණ මණ්ඩපයක් කරවීමි.
3822. (ඒ පිනින්) තව්තිසා දෙව්ලොවට ගියෙම් උතුම් විමනක් ලබමි. අනෙක් දෙවියන් මැඩගෙන බබළමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාක යි.
3823. ඉදින් දවල් හෝ රාත්‍රි හෝ සක්මන් කරන්නා වූ ද සිටියා වූ ද මම සලල මල්වලින් වැසුනෙම් වෙමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාක යි.
3824. මේ කපෙහි ම යම් බුදුවරයකු පිදූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3825. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන් යලි ඉපැදීමෙක් නැත. ආස්‍රව රහිතව වෙසෙමි.
3826. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
3827. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සල්ලමණ්ඩපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සල්ලමණ්ඩපිය ස්ථවිරාවදානය අටවැනි යි.
399. සබ්බදායක ස්ථවිරාවදානය
3828-3830. මහසමුදුර සමීපයෙහි මට භවනයක් මැවිනි. (ඒ අසල) සක්වාරැව් ඇති මන්‍දාලක මලින් හා පියුමින් හා උපුලින් හා ගැවසීගත් පොකුණක් මැවිනි. ඒ පෙදෙසෙහි සිත්කලු මනා තොට ඇති මස්කැසුබුවන්ගෙන් ගැවසීගත් මුළුදුන් නන් විහගගණා ඇති නදියක් ගලා බස්නීය. එහි මොණර හා කොස්වාලිහිණි කොවුල් ආදි පක්‍ෂීන්ගේ මනරම් නදින් එපෙදෙස දොඩමලුය.
3831. පරෙවි, රවිහංස, සක්වා ලිහිණි, (ගඞ්ගාවන්හි හැසිරෙන) නදීචර, දියකිරල, සැළලිහිණි උණහපුළු (ජීවජීව අනුකරණයෙන් හඬන්නාවූ) ජීවංජීවක යන මොහු එහි බොහෝ වූහ.
3832-3833. එහි රැව් දෙන හංසයෝ ද, කොස්වා ලිහිණියෝ ද, බකමුහුනෝ ද, පිඞ්ගලයෝ ද, යන මේ පක්‍ෂීහු බොහෝ වූහ. සත්රුවනින් යුත් මිණි මුතු සහිත වැලි ද, නොයෙක් සුවඳ හමන හැම රන්මුවා වූ ගස් ද, ඒ භවනය දිව රෑ හැමකල්හි බබුලුවත්.
3834. සැටදහසක් තූර්‍ය්‍යයෝ සවස්හි ද උදාසන්හි ද වැයෙත්. හැම කල්හි සොළොස් දහසක් ස්ත්‍රීහු මා පිරිවරත්.
3835. මම භවනයෙන් නික්ම පහන්සිත් ඇත්තෙම් සොම්නස් ඇත්තෙම් මහත් යශස් ඇති ලෝකනායක වූ ඒ සුමේධ බුදුරජුන් වැන්දෙමි.
3836. සම්බුදුරජුන් වැඳ සඞ්ඝයා සහිත ඒ බුදුරජුන් නිමන්ත්‍රණය කෙළෙමි. (මාගේ නිමන්‍ත්‍රණය) ලෝකනායක වූ ප්‍රාඥ වූ ඒ බුදුරජ තෙම ඉවසී ය.
3837. බුදුරජ තෙම මට ධර්‍මකථාවක් කොට (මා පින්දහම්හි) යෙදවී ය. ඒ සම්බුදුරජුන් වැඳ මාගේ භවනයට එළඹියෙමි.
3838. “පෙරවරු කල්හි බුදුරජ තෙම මාගේ භවනයට වඩනේ ය. තෙපි සියල්ලෝ රැස්වවු” ය යි පිරිවර ජනයාට ඇමතීමි.
3839. “යම් හෙයකින් ඔබ සමීපයෙහි වෙසෙමු ද, ඒ අපට මනා ලැබීමෙකි. යහපත් ලාභයෙකි. අපි දු ශාස්තෘ වූ බුදුරජුන්හට පූජාවක් කරන්නෙමු” යි.
3840. මම ආහාර-පාන පිළියෙල කොට තබා කාලය දැන්වීමි. ලෝකනායක වූ බුදුරජ තෙම රහතුන් සියදහසක් සමඟ වැඩියේ ය.
3841. මම පසඟතුරු සහිතව පෙරගමන් කෙළෙමි. පුරුෂෝත්‍තම වූ බුදුරජ තෙම සියල්ල රුවන්මුවා වූ පුටුවෙහි වැඩහුන්නේ ය.
3842. එකල්හි සියල්ල රුවන්මුවා වූ උඩුවියනක් විය. බික්සඟන අතුරෙහි විජිනිපත්හු පවන් සලත්.
3843. බොහෝ වූ ආහාරපානයෙන් භික්‍ෂුසඞ්ඝයා සන්‍තර්‍පණය කෙළෙමි. මම වෙන වෙන ම වස්ත්‍ර යුග්මය බැගින් බික්සඟනට දිනිමි.
3844. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ සුමේධ ය යි යමකුට කියත් ද, (ඒ බුදුරජ තෙම) භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය:
3845. “යමෙක් මා ද මේ සියල්ලන් ද ආහාරයෙන් හා පානයෙන් තෘප්ත කෙළේ නම් හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
3846. (හෙතෙම) අටළොස්සියක් කප් දෙව්ලොවෙහි සිත් අලවා වසන්නේ ය. දහස්වරක් සක්විති රජ ද වන්නේ ය.
3847. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් උපතකට යේ ද, හැමදා සර්‍වස්වර්‍ණමය වූ වියනක් දරන්නේ ය.
3848. තිස්දහස් කපකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදනා වූ නමින් ගොතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
3849. (හෙතෙම) උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධ පුත්‍රයෙක් වේ. සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ද වේ.
3850. බික්සඟන මැද හිඳ අභීතනාද කරන්නේ ය. (ඔහුගේ මළසිරුර තැන්පත් කළ) චිතකයෙහි පවා ඡත්‍රයක් දරත්. ඒ ඡත්‍රය යටදී ආදාහනය වන්නේ ය.”
3851. මා විසින් දැන් පැමිණෙන ලද (සෝවාන් ආදී වූ) සතරමග නුවණ ශ්‍රාමණ්‍යඵල ඇත්තේ ය. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. මණ්ඩපයක හෝ වෘක්‍ෂමූලයක හෝ සිටි මට සන්තාපයක් ඇති නො වේ.
3852. තිස්දහස් කපකට පෙර වූ එකල්හි යම් දනක් දුනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. සර්‍වදානයාගේ මේ විපාක යි.
3853. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. භවයෝ නසන ලදහ. සර්‍වාස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. අනාස්‍රවයෙම් වෙසෙමි.
3854. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3855. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සබ්බදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සබ්බදායක ස්ථවිරාවදානය නවවැනි යි.
400. අජිත ස්ථවිරාවදානය
3856. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය ලෝකනායක වූ පදුමුත්තර නම් බුදුරජ තෙම හිමවතට පිවිස වැඩහුන්නේ ය.
3857. මම බුදුරජුන් නො දිටිමි. (උන්වහන්ස්ගේ) ශබ්දය ද නො අසමි. එකල්හි මාගේ ආහාරය සොයමින් වනයෙහි ඇවිදිමි.
3858. එහි දී දෙතිස් මහපුරිස් ලකුණින් යුතු වූ බුදුරජානන් වහන්සේ දිටිමි. දැක “මේ සත්ත්‍ව කිනම් වන්නේ දැ” යි සිතක් ලැබීමි.
3859. ලක්‍ෂණ බලා මාගේ විද්‍යාව සිහි කෙළෙමි. “මා විසින් වෘද්ධ වූ පණ්ඩිතයන්ගේ මේ සුභාෂිතය අසන ලද මැ” යි.
3860. “ඔවුන්ගේ ඒ වචනයට අනුව මෙ තෙම බුදුවරයෙක් වන්නේ ය. මම උන්වහන්සේට සත්කාර කරන්නෙම් නම් ඉතා යෙහෙක. එයින් මාගේ ගතිය ද පිරිසිදු වන්නේය” යි සිතීමි.
3861. මම වහා අසපුවට ගොස් මීතෙල් ගතිමි. සැළියක් ද ගෙණ බුදුරජුන් වෙත එළඹියෙමි.
3862. මම ත්‍රිදණ්‍ඩය (පිරිවැජිපුටුව) ගෙණ එළිමහනෙහි තැබීමි. මම පහන දල්වා අටවරක් වැන්දෙමි.
3863. පුරුෂෝත්තම වූ බුදුහු ද දවරෑ සතක් එහි වැඩහුන් සේක. රැය අවසන්හි ලෝකනායකයන් වහන්සේ ඉන් නැගී සිටි සේක.
3864. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන්හට ප්‍රසන්නව ම දවරෑ සතක් සියතින් පහන් පිදීමි.
3865. එකල ගන්‍ධමාදන පර්‍වතයෙහි සුවඳවත් වූ (ගන්‍ධමය) සියලු වනයෝ බුද්ධානුභාවයෙන් බුදුරජුන් වෙත එළැඹියහ.
3866. එකල්හි වෘක්‍ෂයෝ පිපී ගියහ. වෙනෙහි ඇති සියලු පුෂ්පගන්‍ධයෝ බුද්ධානුභාවයෙන් එක්රැස් වූහ.
3867. හිමවත නා ගුරුළු යම් පමණ වෙද් ද, ඒ පසමිතුරු දෙවග දහම් අසනු කැමැත්තාහු බුදුරජුන් වෙත පැමිණියහ.
3868. බුදුරජානන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ දේවල නම් ශ්‍රමණ තෙමේ රහතුන් සියදහසක් සමග බුදුරජානන් වහන්සේ වෙත එළඹියේ ය.
3869. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට සුදුසු වූ පදුමුත්තර බුදුරජ තෙම භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක:
3870. “යමෙක් පහන් වූයේ සියතින් ම මට ප්‍රදීපයක් දැල්වූයේ ද, හේ (කවරෙක්දැ යි) මම පවසන්නෙමි. එය පවසන්නා වූ මාගේ වචනය අසවු.
3871. හෙතෙම කල්ප සැටදහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විතිරජ වන්නේ ය.
3872. සතිස් වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරන්නේ ය. සත්සිය වරක් පොළොවෙහි මහත් වූ රජය කරවන්නේ ය. (ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් නො ගිණිය හැකිය.
3873. මේ ප්‍රදීපදානය හේතු කොට ගෙණ දිවැස් ඇත්තේ වන්නේ ය. (එසේ ම) මෙතෙම හැම කල්හි හාත්පස = ක්‍රෝශ අටක් දුර දක්නේ ය.
3874. දෙව්ලොවින් ච්‍යුත වන්නා වූ ද (අන්තැනක) උපදින්නා වූ ද මේ සත්ත්‍වහට දිවාහිදු රැයිදු ප්‍රදීපයක් දරන්නේ ය.
3875. (මේ ප්‍රදීපදානමය) පුණ්‍යකර්‍මයෙන් යුක්ත ව උපදනා වූ සත්ත්‍වයා (උපදනා) නගරය යම්තාක් වේ ද, ඒතාක් බබලන්නේ ය.
3876. මෙ තෙම මේ ප්‍රදීපදානයාගේ ම අෂ්ටප්‍රදීපඵලයෙන් දිව්‍ය වූ හෝ යම් යෝනියක උපදී නම් (කිසිදු) සත්ත්‍වයෙක් මොහු ජය නො ගන්නේ ය. ප්‍රදීපදානයාගේ මේ විපාක යි.
3877. කල්ප සියදහසකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
3878. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූ (මෙතෙම) සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය.
3879. ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් සතුටු කොට නමින් අජිත නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.
3880. මම කල්ප සැටදහසක් දෙව්ලොවැ රමණය කෙළෙමි. එහි ද මට සාර්‍වකාලිකව ප්‍රදීප සියයක් බබලයි.
3881. දෙව්ලොවෙහි වුව ද, මිනිස්ලොවෙහි වුව ද මාගේ ප්‍රභාවෝ පැතිරෙත්. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කොට වැඩියක් ම සතුට ඉපදවීමි.
3882. මම තුසිත දෙව්ලොවින් ච්‍යුතව මවුකුසෙහි උපනිමි. ඒ මවුකුසින් බිහිවන්නා වූ මාගේ මහත් වූ ආලොකයෙක් විය.
3883. මම ගිහිගෙන් නික්ම සසුනෙහි පැවිදි වීමි. බාවරි තවුසා වෙත එළඹ ශිෂ්‍යබවට ද පැමිණියෙමි.
3884. හිමවතෙහි වසන්නා වූ මම ලෝකනායක වූ බුදුරජුන් (ගෙණ) ඇසීමි. උත්තමාර්‍ත්‍ථය වූ නිවන සොයන්නෙම් විනායක වූ ඒ බුදුරජුන් වෙත එළඹියෙමි.
3885. බුදුරජ දැමුනේ ය. අනුන් දමනය කරන්නේ චතුරෝඝයන් තරණය කෙළේ ය. (ස්‍කන්‍ධාදී) උපධි විරහිත ය. ඒ සර්‍වඥ තෙම සියලු දුක් මුදන නිවන ද වදාළේ ය.
3886. උන්වහන්සේ වෙත මාගේ පැමිණීම සිද්ධ විය. මහාමුනි තෙම තුස්වන ලද්දේ ය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
3887. මෙයින් සියක් දහස් වන කපෙහි වූ එකල්හි යම් ප්‍රදීපයක් පිදිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දීපදානයාගේ මේ විපාක යි.
3888. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
3889. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3890. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්අභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජිතස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අජිතස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
පිළින්‍දිවච්ඡ සෙල සබ්බකිත්ති මධුන්‍දද කූටාගාරී බක්කුල ගිරිමානන්‍ද සලල සබ්‍බද අජිත දස වේ - පන්සියෙන් මතු විසි ගීයෙක.
පිළින්‍දිවච්ඡවර්‍ගය සතළිස් වැනි යි.
යලි වග්ගුද්‍දානය:
පදුමාරක්‍ඛද, උම්මාගන්‍ධොදක ද, ඒකපදුමසද්දසඤ්ඤි, මන්‍දාර බෝධිවන්‍දක, අවණ්ට ද පිළින්‍දි - මෙහි ගිණු ගී ගණන, එක්දහස් එක්සියෙක - යළිදු සූ සැත්තෑවෙක.
පද්මවර්‍ග දශක ය යි.
චතුර්‍ත්‍ථශතකය සමාප්ත යි.
සූත්‍රාන්තපිටකයේ
ඛුද්දකනිකායෙහි
අපදාන පාළි
ද්විතීය භාගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන්වහන්සේට නමස්කාර වේවා.
41. මෙත්තෙය්‍ය වර්‍ගය
401. තිස්සමෙත්තෙය්‍ය ස්ථවිරාවදානය
3891. ශිලාපර්‍වතකූටයක පබ්භාරයක් ඇසුරු කොට සෝභිත නම් තවුසෙක් ස්වයංපතිතඵල අනුභව කොට කඳු අතරෙහි වෙසේ.
3892. මම එකල්හි ගිනි ද දර ද ගෙණවුත් උත්තමාර්‍ත්‍ථය සොයමින් බඹලොව ඉපදීම සඳහා එය දැල්වීමි.
3893. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම මා සසරදුකින් ගොඩලනු කැමැත්තේ මාගේ සමීපයට වැඩියේ ය. (වැඩ මෙසේ ද වදාළේය:)
3894. “මහපිනැත්තාණෙනි, කුම් කරහි ද? ගිනි හා දර මට ද දෙව. මම ද අග්නිපරිවරණය කරන්නෙමි. එයින් මාගේ ශුද්ධිය ද වන්නේ ය.”
3895. “මනුජය, මුඛ සුභද්‍ර වෙහි. දෙවිය, මුඛ දනිහි. මුඛ අග්නිපරිවරණය කළ මැනව. මේ ගිනි හා දර මුබට ය” යී තවුසා කීය.
3896. ඉක්බිති බුදුරජ තෙම දර ගෙණ ගිනි දැල්වී ය. එහි ඒ දර නො දැල්විනි. ඒ බුදුරජුන්ගේ ප්‍රාතිහාර්‍ය්‍යයකි.
3897. “තාගේ ගින්න නො දැල් වේ. තාගේ යාගයෙක් නැත. තාගේ ව්‍රතය නිරර්‍ත්‍ථක ය. මාගේ ගිනි පුදව” යී බුදුහු වදාළහ.
3898. “මහාවීරයන් වහන්ස, ඔබගේ ඒ ගින්න (ගිනිපිදුම) කෙබඳු යි කියනු ලැබේ ද, මට ද මෙය කියනු මැනව. අප දෙදෙන ම ගිනි පුදමු” යි තවුසා කීය.
3899. දුඃඛධර්‍මයන්ගේ හේතුනිරෝධය, කෙලෙස් සන්හිඳුවීම, ඊර්‍ෂ්‍යාමාත්සර්‍ය්‍යයන් හැර ලීම යන මේ තුණ මාගේ යාග ගින්නය” යි (බුදුරජ තෙම වදාළේය:)
3900. “මහාවීරයන් වහන්ස, මුබ කෙබඳු වූවෙක් වෙහි ද? නිදුකාණෙනි, (ඔබ) කිනම් ගෝත්‍ර ඇත්තෙහි ද? මුබගේ ආචාර ප්‍රතිපත්ති දැඩි සේ මට රුචි කෙරේ” යි.